අවසාන පඩි කිහිපය බහින විට හදිසියේම කිසිවක් මුහුණෙහි දැවටුණෙන් කාල දෑස් පියාගෙන මුහුණ පිස දැම්මේය. කැබලි කැබලි මුහුණ පුරා ඇලුණු එය මකුළු දැලකි. නාසය, කන සහ කෙස් අතර ද කබායේ ද පැටලී ඇලුණු මකුළු දැල ඉවත් කරමින්ම කාල බරැති දොර තල්ලු කළේය. කිසිවකු විසින් පාවිච්චි නොකරන හදිසි පිට වීමේ දොරටුව වේදනාත්මක හඬක් නංවමින් විවර වූයේය.
වෙනදාට කුඩා කහ පැහැති කුරුමිණි කුලී රථවලින්, වෙළෙන්දන්ගෙන්, පික්-පොකට්කරුවන්ගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් පිරී ගත් වීදිය සම්පූර්ණයෙන්ම හිස්ව තිබෙනු දැකීමෙන් කාල තිගැස්සුණේය. සති දෙකක් තිස්සේ ඇද හැලුණු වර්ෂාව ද සම්පූර්ණයෙන් නතර වී තිබිණි. තමා සිතුවාට වඩා හාත්පස කළුවර වැටී ඇත. නිවාඩු දිනයක පවා චීන-ලන්තෑරුම් වීදිය හිස් වන්නේ නැත. එතෙක් වේලා කිහිල්ලේ සිර කරගත් කුඩය ඉවත ලූ කාල රෙකෝඩින් ස්ටූඩියෝව වෙත යෑම සඳහා වීදියේ දකුණු කෙළවරින් දිවෙන කෙටි මාර්ගය දෙසට ඇවිද ගියේය. මොබයිලයෙන් ගිගුම් දෙන සංගීතය නතර කර දැමූ කාල තමා ඉදිරිපිට වූ ගොඩනැඟිල්ල සහ ඉන් ගැලවී බිමට එල්ලෙන දැවැන්ත ආලෝක තිරය දෙස සිය දෙබැම හකුළා බැලුවේය. මෙවැනි නමකින් යුත් ක්ලබ් එකක් හෝ මෙවැනි ගොඩනැඟිල්ලක් කාල මින් පෙර එම වීදියේ දැක තිබුණේ නැත. එල්ලෙමින් තිබූ පුවරුවේ වූ නියෝන් එළි නිවි නිවී පත්තු වූයේ මන්දගාමීවය. ඒ මන්ද චලිත කාලට සිහි කළේ මිනී රථයක ගමනයි. අහීමාන නිහැඬියාව කන් තුළ පිරෙන අතරේ කාලට නොදැනීම කෙළ ගිලුණි.
වියළි උණුසුම් වා තලය විනිවිද යමින් නැඟුණු විලාපයෙන් කාල වෙවුලුවේය. මොළයෙන් දෙපාවලට එවූ සංඥාව හුවමාරුවට පමා වූවා සේ ඔහු මොහොතක් ගල් ගැසුණි. ඊළඟ කෑගැසීමත් සමඟ කාල දුවන්නට වූයේය. ඉදිරියෙන් වමට වූ වීදිය මධ්‍යයේ තරුණියක් බිම වැටී දඟලමින් සිටියාය. පුද්ගලයන් තිදෙනකු විසින් ඇයව දෙකකුලෙන් ඇදගෙන යමින් සිටියේ ඒ අසල වූ විවරයකටය. එය කලකට පෙර දුරකතන රැහැන් ඇදීමට පාවිච්චි කළ උමඟකට දිවුණු පිවිසුමකි.
“ඒයි ඒයි, නවත්තපං!” කාල තරුණිය වෙතට දිවුවේ කෑගසමිනි. තරුණියගේ හිංසකයන් අතුරින් එකකු කාල වෙත හැරුණේය. තමා දුටු දෙයින් කාලගේ පිටකොන්ද හරහා ශීතල ඉරක් ඇඳී ගියේය.
කාල වෙත හැරුණු මිනිසාගේ මුහුණ මිනී ඔළුවක මෙන් සම කටුවලට ඇලී තිබිණි. දෑස්වල ජීවය හැර ගොස්ය. ඇඳුම් ඉරී වැරහැලිව එල්ලුණු අතර, ඔහු පාවහන් කිසිවක් පැලඳ සිටියේ නැත. කාලගේ කෑගැසීමට තරුණිය ඇදගෙන ගිය ඉතිරි දෙදෙනා ද කාල දෙස ඔළු නවමින් බලන්නට වූහ. කහ ගැහුණු සම, කුණු ඕජස්වලින් ගලන්නා වූ ගඳ කාලට දුන්නේ එකම එක අනතුරු හැඟවීමකි.
සොම්බි!
“මේක චිත්‍රපටියක සෙට් එකක්වත් ද....” කාලගේ සිත මොහොතකට කීවත් තරුණියගේ මුහුණෙහි වූ භීතිය දුටු මතින් හේ එම අදහස බැහැර කළේය. කෙතරම් හොඳ නිළියකටවත් මුහුණෙන් එතරම් හැඟීම් ප්‍රකාශ කිරීමට බැරිය. ඈ යටි උගුරෙන් කෙඳිරිගාමින් දැඟලූවාය.
තමා සිටින්නේ නිරායුධව යැයි කාලට සිහි වූයේ මෙතෙක් වේලා නතරව බලා හුන් සොම්බියා වෙව්ලමින් සහ නොන්ඩි ගසමින් තමා වෙත ඇවිද එන්නට පටන් ගත් විටය.
වටපිටාවේ ආධාරකයක් ලෙසට කිසිවක් ඇද්දැයි බැලූ විට රෙදි කැබැල්ලක් ඔතා තිබූ දිගු රිටක් වැනි යමක් බිම වැටී තිබෙණු කාල හට දකිනට ලැබුණි. එකත් එකටම එම ආයුධය අර තරුණියගේ විය යුතුය. කාල සොම්බියාට ඇස ගසාගෙනම දිගු රිට අතට ගත්තේය. කාලගේ නාසා පුඩු අතරට ඉන්ධන ගන්ධයක් රිංගා ගත්තේය.
“මේක අල්ලගන්න...” සොම්බින් සමඟ පොර බදමින් හුන් තරුණිය ලද ඇසිල්ල තුළ කාල වෙත යමක් විසි කළාය. ඈ ශූරය. සොම්බින් තිදෙනකුටවත් ඇය මෙල්ල කිරීම පහසු වූයේ නැත.
“ඉක්මනට!” ඕ කෑගැසුවාය.
කාල අතට ලැබී තිබුණේ ලයිටරයකි. හේ කළ යුතු දෙය පහසුවෙන්ම තේරුම් ගත්තේය. දැල්වුණු පන්දම අතින් ගත් කාල පළමු වැනි සොම්බියා වෙත කඩා පැන්නේය. මොහොතකින් ඌ අළු වී ගිය නිසා අනෙක් සොම්බින් දෙදෙනා ද දවා හළු කිරීමට කාල හට වැඩි මහන්සියක් දැරීමට සිදු වූයේ නැත. ගිනි ඇවුළුණු තැන උන් මටලු මෙන් ගිනි ගෙන දැවී ගියහ.
සොම්බි ග්රහණයෙන් මිදී හුන් දැරිය බිම දණ ගහගෙන හති හැලුවාය. “මං හිතුවා මං ඉවරයි කියලා...” ඕ වේගවත් හුස්ම අතුරින් කීවාය. ඈ තමාට වඩා වසර දහයකින් පමණ බාල එකියක විය යුතු යැයි පන්දම් එළියෙන් කාල තීරණය කළේය.
වෙව්ලමින් දණ ඇන තබා ගත් තරුණිය මහත් වෙහෙසක් දරමින් ඉවතට විසි වී තිබූ ලෝහ ලෝහ පියන විවර මුව වෙත තල්ලු කරමින් එය වසා දමන්නට උත්සාහ කළාය. සියත වූ ගිනි පන්දම තරුණිය අතට දුන් කාල වැර යොදා බරැති ලෝහ පියනෙන් විවරය වසා දැම්මේය.
“උන් එනවා.” තරුණිය කීවේ අපේක්ෂාභංග ස්වරයකිනි.
“කී දෙනෙක් ද?” තමාට අසන්නට බොහෝ ප්‍රශ්න වුව ද ඒ මොහොතේ වැදගත් වූයේ මෙවැනි මළ මිනී මේ නගරය පුරා තව කොපමණ සැරිසරන්නේ ද යන්න වග කාල දැනගෙන සිටියේය. “දහස් ගණනින්...” තරුණිය කියන්නේ නළල අත්ලෙහි රඳවමිනි. “වතුර තියනව ද? මං දවස් දෙකක් තිස්සේ උන් මඟ අරිමින් දුවනවා. අන්තිමට කෑවෙ කොයි වෙලාවේදිද කියන්න මට මතක නෑ...”
කාල වහ වහා කබා සාක්කු ඇවිස්සුවේය. ජලය වෙනුවට ශක්තිජනක පානයක් ද, ප්‍රෝටීන් බාර් එකක් ද පිටතට ඇදගත් හේ වහා එය දැරිය වෙත පෑවේය.
“දවස් දෙකක්?” ඔහු අසන්නේ දැරියට ශක්තිජනක පානයෙන් උගුරු කිහිපයක් බොන්න ඉඩ දීමෙන් අනතුරුවය.
“ඔව්, ඇයි ඔයා දන්නෙ නැද්ද? අන්තිමට වැටුණේ කලම්බො මෙට්‍රොපොලිටන් මිලිටරි ටවර් එක.”
කාලට තරුණිය කියන දේ පැහැදිලි නැත. ඊයේ ද පෙරේදා ද අම්මම්මා මහ හඬින් ප්රවෘත්ති ඇසූ බව කාලට හොඳටම විශ්වාසය. ඇයට සොම්බි ආක්‍රමණයක් තබා අලුතින් සොයා ගන්නා ලද කුරුමිණි විශේෂයක් හෝ මඟ හැරෙන්නේ නැත. “අපි යන්න ඕනෑ...” තරුණිය නැගිට ගත්තේ මහත් වෑයමකිනි. “මට ඕනෙ නම් දවසම මෙහෙම ඉඳගෙන ඉන්න පුළුවන්... ඒත් අපි යන්න ඕනෙ.”
“අපි?”
“ඇයි, ඔයා එක්ක තවත් කට්ටිය ඉන්නවද?”
“කට්ටිය?”
“ඔව්, බේරුණු අය. ඔයත් හරියට සොම්බියෙක් වගෙනෙ. මං කියන දේ ඔයාගෙ මොළේට යන්නෙ නැතිවා වගෙයි මට නං පේන්නෙ.”
“අහ්...ඔව්... මං කිව්වෙ මේ... දැන්...ඔයා කියන්නෙ කලම්බො මෙට්‍රොපොලිටන් ඉඳන් ඔක්කොම නගර සොම්බිලා යටත් කරගෙන කියලද?”
තරුණිය බැරෑරුම් ලෙස හිස වැනුවාය. “මට තේරෙනවා, ඒක පිළිගන්න අමාරුයි කියලා. ඒත් ඒක එහෙම වුණා. අපි වගේ කෙනෙක් දෙන්නෙක් ඇරුණු කොට දැන් මෙහෙ ඉන්නෙ හැමෝම මේ කාලකන්නි ඇවිදින මළකුණු විතරයි.... මං හිතන්නෙ අපි ගියොත් හොඳයි.”
මතු සම්බන්ධයි
අමාලි අනුපමා මල්ලවආරච්චි
ජයි හෝ
ReplyDeleteජෙයින් ජෙයීම වේවා!
DeleteBtw, have you read Rivers of London (by Ben Aaronovitch) series?
ReplyDeleteNope.
DeleteDo read
Deleteවිද්‍යා ප්‍රබන්ධ වලට ඉතා කැමති මුත්, සොම්බිලාට කැමති නැත.
ReplyDeleteඅර චිත්‍ර දෙකත් මල් හතයි.👌🙏
සොම්බි වුණාට සොම්බිමත් නෙමෙයි මෙයා. ඕන්න ඔහේ ඉතිරියත් කියවලාම බලමු.
Deletehttp://myhobotales.blogspot.com/2024/01/blog-post.html
Deleteඅඩෝ නෝ!
ReplyDeleteරෙසිඩන්ට් ඊවිල් මතක් උනා
රෙසිඩන්ට් ඊවිල් ඉස්ත්රියාව තමා ඉස්ත්රියාව!
Deleteනියමයි , මොකද්ද දිනමිණ සීන් එක
ReplyDeleteමේ කතාව කොටස් වශයෙන් දිනමිණ ද්වාර අතිරේකයේ පළ වෙනවා.
Deleteමගේ බ්ලොග් රෝලේ එල්ලා ගත්තෙමි; "නොයාම බැරි තැන් දහයක්" යටතේ!
ReplyDeleteහානේ!!!! යන්ඩෝනෙ බලන්න ඒ පැත්තට එහෙනම්! බොහොම ස්තූතියි.
Deletehttp://myhobotales.blogspot.com/2024/01/blog-post.html
Delete