Monday, December 11, 2017

අලි පස්න

*මේ ටිකේ ලියනෝ දිණමින සෙනසුරාදා වයර් සහ අකුරු විශේෂාංග පිටුවට කොලමක්. ඒකෙ නම ඊ-කොලම. මාත් ඉතිම් කෝලමක්නෙ. ඔහෙ ලියාගෙන යනවා. ගිය සතියේ ලියාපු එක බ්ලොග් හොබෝ එකෙත් දාන්න හිතුවා. මේ පේජ් එකේ ලොකු පොරිය ගිය ටිකේ  කොහෙද සවාරියක ගිය ටිකට පේජ් එකේ පොඩි අවුලක් වෙලා, වැරදිලාවත් පත්තරේ බලලා මේ ලියමනට යටින් තියෙන්නෙ වෙන නමක් කියලා රෙදි උස්සාන එහෙම එනෝ නෙවෙයි ඕං.   
මේ ටිකේම ලංකාවේ කුකුළන්, හාල්මැස්සන්, කීරමින්, ගවයින්, ඌරන්, ඉත්තෑවන්, රිලවුන් අපිත් එක්ක ඉන්නේ හෙන ඔරොප්පුවෙන්ය. ඊයේ මාළු ලෑල්ලේ හිටි අමු හාල් මැස්සෙක් "මෙයාලට ඉතිං ලොකු වෙලා තියෙන්නෙ ලොකු ලොකු අලි ඇත්තුනෙ." කියා ගස්සාගෙන අනික් පැත්ත හැරී නිදා ගත්තේය. හැබෑය, අපට අලි ඇත්තු හෙන ලොකුය. අලිඇත්තු මරණ විට අපේ හිත් කකියන්නේය. කඳුළු වැටෙන්නේය. වැඩේ වෙලා තියෙන්නේ අලිඇත්තු ගැන වැඩි අමාරුවක් තියෙන්නේ අපට මිසක උන් රැකබලාගැනීමට ඉහළ පුටු වලට වී ෂේප් එකේ ගේම ගහගෙන ඉන්න ලොකුලොක්කන්ට නොවෙයිය. ලංකාවේ ජනගහනය මිලියන විස්ස පැනලාය. තව  අපූරු දෙසිය ව්සිපහක් විලේ රඟන්නෝය. අපට ඇත්තු ඉන්නේ එකසිය තිහක් විතරය. අලි ඉන්නේ දෙපාර දෙපාර ගණන් කරලාත් හයදාහයි ය. පරිසරවේදීන්නම් කියන්නේ ලංකාවේ ඇත්තේ අලි 2500-3000 අතර ගානක් කියාය. මේ අවුරුද්දේ අග අලි සංගණනයක් කරන කතාවක් කීයා තිබුණේය. අද දෙසැම්බර් නමවැනිදාය. කමක් නෑ ය. තව 2017 ඉවර වෙන්න දවස් විසිදෙකක් තිබෙන්නේය. මේ පාරවත් හරියට අලි ටික ගැන ගන්න පුළුවන් වේවා කියා ඉත සිතින්ම පතන්නේය.

අලිඇත්තු ගැන ලේ කකියවාගෙන පිස්සො වගේ...ඔව් පිස්සො වගේ උන්ව රැක දෙන්න කියා ඉල්ලන පරිසරවේදියෝ අලිඇතුන් සඳහා ට්‍රැකිං සහ මොනිටරිං සිස්ටම් එකක් ඉල්ලුවේ ඊයේ පෙරේදා නොවේය. ඇතෙකුට අලියෙකුට ගිනි බිඳින පාරක් පාරක් ගාණේ මේ ඉල්ලීම කළෝය. උගුර ලේ රහ වෙනකම් කෑගැහුවෝය. දාඩිය මුගුරු වගුරාගෙන, කඳුළු පෙරාගෙන උන් වෙනුවෙන් වෙහෙසුණහ. ඒවා බීරි අලින්ට වුණත් ඇහෙන්නේය. අවාසනවාකට වාගේ වගකීම් කෙසේ වෙතත් නිකම් දරණ ගසාගෙන ලොකු පුටුවල ඉන්නේ බීරි අලිත් නෙමෙයිය. බැරි වෙලාවත් දුක ඇහෙන කවුරු හෝ හිටියොත් පුළුවන් තරම් අංචි ඇද පල නොකියා පලා බෙදන්නේය. අපි අලි ඇත්තු රකින්නේ ඒ වාගේය. ඊට පස්සේ සියඹලන්ගමුවේ ඇතා මැරුණේය. ඊයෙ පෙරේදා ගල්ගමුවේ මහපූට්ටුවා මැරුණේය. ඒ කවුරුත් සොබාවිකව මැරුණා නොවේය. මිනිසා නම් තිරිසනුන් විසින් මරා දමනු ලැබූහ. 

අපට තාක්ෂණය ඕනෙ වෙන්නේ එක එක ගෑණු ළමයින්ගේ මූණු නග්න ශරීර වලට සෙට් කර මන්ද මානසික සංතෝශයක් ලබන්නට නොවේය. එහෙම නැත්නම් ඩ්‍රෝන් යවා පහළ ගෙදර අක්කා නාන හැටි බලන්න නෙවෙයිය. අප තාක්ෂණය භාවිත කළ යුතු වන්නේ මිනිසා විසින් ලෝකය දූෂණය කොට මරා දැමීමේ ක්‍රියා පිළිවෙල වලකා ගන්නටය. පහුගිය දොහේම ලංකාවේ බොහෝ සෝෂල් මීඩියා අලිඇතුන් වෙනුවෙන් හඬ නගන්නට කළ භාවිතය පැසසුම් සහගතය. නෑහුනා වාගේ උන් බොහෝ දෙනෙක්ගේ කං කලාඳුරු කැඩී ඇති සෙයක් පෙනෙන්නට ඇත්තේය. ඒ කොයි කාලයකටදැයි සාධාරණ සැකයක් නැත්නම් මේක ලංකාව නොවිය යුතු වන්නේය. 
පහුගිය සතියේ වනජීවී අමාත්‍යංශය සමග කරන ලද සාකච්ඡා වලදී මෙතෙක් කලක් ටෙන්ඩර් දැම්මාය, මග නැවේ එනවාය, ගෙනල්ලාය කියූ ජී.පී.එස්. ට්‍රැකිං කොලර් වෙනුවට බැලැස්ටික් ශොක්වේව් සෙන්සර් නම් තාක්ෂණය අධ්‍යයනය කොට ගෙන ඒමට පොරොන්දුවක් දී ඇත. එසේම අනාරක්ෂිත වනබිම් වල ගැවසෙන සුවිශේශී සතුන්ටද එම කරපටි පැලඳවීමට පොරොන්දු වී ඇත. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය පිළිබඳ කඩිනමින් කටයුතු කිරීමට ද පොරොන්දු වී ඇත. හොරොව්පතාන අලි රැඳවුම ජීවත් වීමට සිදුසු යහපත් පරිසරයක් කරදෙන බවටද පොරොන්දු වී ඇත. මීට පස්සේවත් ඇත්තු ගැන වග විස්තර වනජීවී ඉහළ බලධාරීන්ට පිටින් ආරංචි නොවේවා කියා ප්‍රාර්ථනා කළ යුතුය. මන්ද ඒක හරි ලැජ්ජා සහගත නිසාය. අපේ බාසාවේ විදියට "වනජීවී එකට" ඉහල තාක්ෂණයත්,ඒ පිළිබඳ දැනුමත් ලබාදිය යුතුය. අලිඇත්තු ඡන්දය නොදෙන බව ඇත්තය. ඒත් අපි මේ හැම නාඩගමක්ම නටන්නේ උන්ට පිං සිද්ධ වෙන්ට බව කවුරුත් මතක තබා ගත යුතුය. ඒ වාගේම පැය විසිහතරේම හරිහමන් පඩිය නැතිව කැලෑ අස්සේ යක්කු ගස් නගින වෙලාවල් වල රිංගමින් මේ අලිඇතුන් වෙනුවෙන් නැහෙන වනජීවියේ ඉන්නා සැබෑ නිලධාරීන්ටත් මල් මිටක් දිය යුතුමය. මල් මාල කරවට නොවැටුණාට එයාලා දිගටම වැඩය. 

අලිඇතුන් වෙනුවෙන් බොහෝ වෙහෙස වී කටයුතු කරන පරිසරවේදී මිත්‍රයෙක් ගල්ගමුවේ දළ පූට්ටුවාගේ නික්ම යාමෙන් අනතුරුව මෙසේ සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණේය. "සියඹලන්ගමුවේ ඇතා. ලොකු පූට්ටුවා, මහකණදරාවේ අන්ධයා දැං එකට වතුරේ බැහැලා අනවතප්ත විල හරියේ හරි ලස්සනට ඇති." එය එසේ කියැවුණේය. අනවතප්ත විලට දැං ඇත්තු හොඳටෝම ඇතිය. මෙහෙ ඉන්නා උන්ටික කාටවත් නොදී කොහේවත් නොයවා අපේ පපුවට සිර කොට තබා ගත යුතුය. 


Wednesday, October 25, 2017

මාටිං බබා

*ළමායි, මගෙ අදහසක් තියනවා මාටිං අයියාගෙන් සෙමි ෆික්ෂන් (Semi-Fiction) ළමා කතාවක් ලියන්න. කස්ටියගෙ අදහස් වුවමනයි. 

මේ දිනවල මාටිං අයියා ඉවසීම ප්‍රගුණ කරන්නේය. ළඟකදී කොහෙදෝ සල්පිලකින් ඇරගෙන දුන් ඇතුලේ එළි පත්තු වෙන උල් උල් රබර් බෝලය මාටිං අයියාගේ නොයිවසිල්ලට හේතු වී තිබේ.

උල් උල් රබර් බෝලය ගැන මාටිං අයියාට ඇත්තේ කුකුස මුසු ආශාවකි. එය බ්ම ගැසූ විට අපූරු නිල්, රතු, කොළ පැහැයින් දිලිසෙයි. උල් උල් රබර් බෝලයේ පිට පැත්ත කහ, රතු, කොළ, නිල් ආදී බොහෝ වර්ණයන්ගෙන් යුතුය. මාටිං අයියා බෝලය බිම ගසා සතුටින් ඉපිළෙමින් හිකි හිකි ගා සිනාසෙමින් උඩ පනී. 

සති කිහිපයක් මෙසේ සතුටු වූ මාටිං අයියා ටික දවසක සිට බෝලයට අමුතු බැලුම් හෙලන්නට වෙයි. කොහොමද මේකෙ පාට පාට එළි පත්තු වෙන්නෙ? මේක ඇතුලෙ මොනවා හරි තියනවා...සිය විසිරුණු කුළු කනක් බෝලයට හේත්තු කරමින් මාටිං අයියා කියයි. රබර් බෝලය සොළවා බලයි. දැන් මාටිං අයියා බෝලය බිම ගසා එහි එළි බලමින් සතුටු වෙන්නේ නැත. මාටිං අයියාගේ සහ බෝලයේ සබඳතාව වෙනස් වී ගොසිනි. 
ඔහොම තව සතියක් ගත වෙයි. මාටිං අයියා බෝලයට ඉඟි මරයි. ඒ මේ අතට හරවයි. හෙමීට බෝලයත් ගෙන හාන්සි වී පොතක් කියවමින් සිටි ගවුමක් වෙත යයි. 

"මට රහසක් තියනවා කියන්න." මාටිං අයියා ගවුමට දන්වා සිටී.
"ම්ම්හ්... මොකද්ද." ගවුම අසයි.
"මම මෙච්චර කාලයක් ඉවසගෙන හිටියෙ ඔයා වෙනුවෙන්." මාටිං අයියා කියන්නේ ඉතා තැන්පත්වය.
"ඒ කිව්වෙ?" ගවුමේ අවධානය දිනා ගැනීමට මාටිං අයියා සමත් වී ඇත.
"මම කියන්නෙ මේක ගැන." මාටිං අයියා ගවුමට බෝලය පාමින් කියයි.
"ඉතිං?"
"මම මෙච්චර කාලයක් ඉවසගෙන මේ බෝලෙ කපලා ඇතුලේ තියෙන්නෙ මොකද්ද කියලා බැලුවෙ නැත්තෙ ඔයා නිසා. ඔයාට දුක හිතෙයි කියලා. ඒත් මට තවත් ඉවසගෙන ඉන්න බෑ." මාටිං අයියා, පල්ලියේ ස්වාමිට පාපොච්චාරණය කරනවා සේ කියාගෙන යයි.
"හා එහෙනම්, ඔයා බෝලෙ කපලා බලන්න." ගවුම කියන්නේ සිනාසෙමිනි. 

දැන් ටික දවසක සිට ගෙදර බෝලය පේන්න නැත. 

මාටිං අයියා ගැන ලියන්නට මග හැරුණු කාලය තුල පොඩියට වෙනස්කම් කීපයක් වී ඇත. ඉංගිරීසි පන්තියේ ඉන්න ලස්සන ටීචර්ට්ව දැන් මාටිං අයියා අමතන්නේ "බබා" කියාය. මාටිං අයියා චූටි ටීචර්ට බබා කියා පොතට තරු අරගෙන එන්නේය. පොත ගන්නා විට "තැන්යූ බබා" කියන්නේය. ඒ නිසා මේ දවස් වල ගෙදර ඈයින් පන්තිය පලාතේවත් යන්නේ නැත. හැබැයි කොට්ටේරුවාගේ හොට පැටලෙන්නට කිට්ටුය. මොකද මාටිං අයියාගේ ඊළඟ කල්පනාව ඉස්කෝලේ පන්තියේ ටීචර්ටද "බබා" කියා රවටා ගන්නටය. මාටිං අයියා තවම ඉස්කෝලෙ ටීචර් ගැන දන්නේ නැත. කවුරුත් බලාගෙන ඉන්නේ මාටිං අයියා ඉස්කෝලෙ ටීචර්ට "බබා" කියනකම්ය.

මොට්ටිසෝරි කාලේ මාටිං අයියාට රෝස පාට කෙලි ඇබිත්තක් සිටි බව කාටත් මතක ඇතිය. දැන් මාටිං අයියාට වෙන යහළු කෙළි ඇබිත්තක් සිටී. නමුත් ඒ කෙළි ඇබිත්තට මාටිං අයියාගේ එහෙමට කියා කැමැත්තක් නැත. "හපෝ හරි වදයක් එයා. හැම තිස්සේම කචපච කචපච ගගා කියෝනවා." මාටිං අයියා අලුත් ඇබිති කෙල්ල ගැන අවලාද කියයි. එහෙනම් ඇයි එයා ඔයාගෙ යාළුවා වෙලා ඉන්නෙ? ඔය කවුරුත් අහන අහිංසක ප්‍රශ්නයකි.

ඕං එතකොට මාටිං අයියාගේ මුහුණට ලැජ්ජාව මුසු කපටි හිනාවක් මතු වෙයි. "අපේ පොඩි ළමයින්ගේ ටොයිලට් තියෙන්නෙ ටිකක් දුරින්." එය මාටිං අයියාගේ උත්තරයයි. කවුරුත් මේ උත්තරයට තක්කු බුක්කු වෙන නිසා, මාටිං අයියා තව දුරටත් සිය පිළිතුර පැහැදිලි කරදෙයි. 

"මං තනියම ටොයිලට් තියන පැත්තට යන්න බයයි. මගෙ යාළුවා තමයි මාව එක්කගෙන යන්නෙ. මං චූ දාලා එනකම් එයා දොර මුර කරගෙන ඉන්නවා." මාටිං අයියා ඇඹරෙමින් කියයි. 

මාටිං අයියාගේ කට තිබ්බාට මිනිහා මහා බයගුල්ලෙකි. කාටුන් බල බලා හින්ද වෙලාවකට පුටු පෙරළාගෙන කාමරයට දුව ගොස් කොට්ටයෙන් ඔළුව වසා ගනී. මොකදැයි සොයා බලන විට කාටූනයේ මොකාක් හෝ බය හිතෙන ජවනිකාවක් දිස් වෙයි. මාටිං අයියා පරාණ බයේ දුවා ඇත්තේ ඊට බය වීය. බය හිතෙන ජවනිකාව අවසන් වී ඇත්දැයි තිර ලෙසම දැන ගන්නා මාටිං අයියා කිසිවක් නොවූවා සේ පැමිණ යළි හරිබරි ගැසී කාටූනය නරඹයි. 

අලුත් කෙළි ඇබිත්තගෙන් මාටිං අයියාට තවත් ප්‍රයෝජන තිබෙනා බව ගෙදර ඈයින් දැන ගන්නේ පසුවය. දවසක් දා ඉස්කෝලය ඉවර වුණත් මාටිං අයියා ගේට්ටුව වෙත පැමිණ සිටියේ නැත. වටපිටාව බලත්දී මාටිං අයියා අලුත් කෙළි ඇබිත්ත සමග එළියේ බංකුවක වාඩි වී කොක්සන් දී සිනාසෙමින් මොනවාදෝ ලියයි. ටික වේලාවකින් ලියා ගත් පොත බෑගයට දමාගෙන හෙමීට යන්නම් කියා මාටිං අයියා ගේට්ටුව දෙසට කඩිමුඩියේ දුව එයි. 

"මොකද පරක්කු? මොනවද ලිය ලියා හිටියේ?" ප්‍රශ්නය අසයි. 

"ආහ්....මේ අපේ ළමයි දාඩිය දාගෙන පොරකාගෙන බෝඩ් එකේ දාපු ගෙදර වැඩ ලියාගත්තා. මම නෑනෙ ඒ වගේ මහන්සි වෙන්නෙ. මම අරයගෙන් ගෙදර වැඩ පොත ඉල්ලගෙන අර බංකුවෙන් වාඩි වෙලා හුළං වැදි වැදී  ගෙදර වැඩ ලියා ගත්තා." මාටිං අයියා කියන්නේ වගේ වගක්වත් නැතිවය. 

මාටිං අයියාට ඇත්තේ යමර තර්කය. අභූත වේලාවන්ට මාටිං අයියාට බඩකිනි එන්නේය. ඒ වෙලාවට ටික වේලාවක් කුරුකුරු ගාමින් සිට ගවුමක් හෝ චීත්තයක් ලඟට කිට්ටු කර මැසිවිලි කියන්නේය. "ඔයාට මහන්සිද මේ වෙලාවෙ මට කන්න දෙයක් හදලා දෙන්න?" මාටිං අයියා එන්නේ පුල් සංහිදියානු ඇප්‍රෝච් එකකිනි. "ඔයාලා මං හින්දා හරීයට දුක් විඳිනවා නේද?" මාටිං අයියා ඔහොමත් කියයි. 

නමුත් මාටිං අයියාගේ බඩකින්න ඊට එහා අමාරුය. "කමක් නෑ. ඔයාලා ගොඩක් දුක් විඳින්න ඕනෙ. දිගටම, ගොඩාක් දුක් විඳින්න ඕනෙ. දුක් විඳලා විඳලා මැරුණහම, ඔයාලට පුළුවන් දිව්‍ය ලෝකෙ යන්න. ඒ හින්දා මට දැන් කන්න දෙයක් හදලා දෙන්න පුළුවන්ද?" මාටිං අයියා රොම්බ තර්කයක් ඉදිරිපත් කරයි.
දිව්‍ය ලෝකේ යන්නට ඇපකැප වී සිටින අයෙක් මාටිං අයියාගේ කෑම ඕඩරය බාර ගනී. 

මාටිං අයියාට ලඟකදී කොහේද රස්තියාදුවේ යන ගොළුබෙල්ලෙකු සමු වී ඇත. එක්කෝ ගොළුබෙල්ලා මොකාක් හෝ මහා පාප කරුමයක් කර ඇත. එසේත් නැතිනම් ගෙදර ඈයින්ට එවැනි කරුමයක් පඩිසන් දී ඇත. 

මාටිං අයියා ගොළුබෙලල්ලාගේ අලගිය මුල්ගිය තැනේ සිට සකල විධ ඥාති සමූහයා පිළිබඳවම විමසන්ට පටන්ගනී. ගැට පිච්ච ගාල යට සැඟවී සිටින ගොළු බෙල්ලා, මේ මොන නස්පැත්තියක් වූයේ දැයි බිරන්තට්ටු වී හෙළවෙන්නේවත් නැතිව සිටී. මාටිං අයියාට එය මහත් අරුමයකි. මාටිං අයියා සිතන්නේ ගොළුබෙල්ලා මිය ගොස් ඇතැයි කියාය. එහාට මෙහාට පෙරෙළා බැලුවද ගොළුබෙල්ලාගේ ඔළුවත් අං දෙකත් පෙනෙන්නට නැත. මාටිං අයියාට අනුව ගොළුබෙල්ල ගෙදර ගොසිනි. මාටිං අයියාට හමුවෙන අනෙකුත් ගැඩවිලන්, පනුව, ගෙම්බන් යනාදී සත්ව ප්‍රජාවම මාටිං අයියාගේ අන්වීක්ශ දෑසට යටත් වී බොහෝ කාලයක් ගත කරති. නමුත් මාටිං අයියා උන්ව මරා දමන්නේ නැත. මාටිං අයියා මරා දැමීමට කැමති එකම සත්වයා අක්කාගේ ඔළුවෙහි වසන කරුමක්කර උකුණන් පමණි. මන්ද මාටිං අයියාට තඩි බෝ වී ඇත්තේද අක්කාගේ හිසේ සිටින උකුණන් නිසාය. උකුණන්ගේ කෑම මළම වදයකි. ඒ නිසා උකුණන් මරා දැමිය යුතුය. මාටිං අයියාගේ තීරණය එයයි. 

Wednesday, October 11, 2017

එතකොට ඔයා?


මං වැඩියෙන්ම කැමති කට දැවිල්ලට ලුණු ඇඹුල් සහෝදරකමට ඉන්න රහ කොච්චි සම්බෝලයක් එක්ක සුදු බත් කන්න. මොන පාන්දර ජාමෙක උනත් ඒ වගේ සම්බෝලයක් බතක් අඹරනවාය කියන්නෙ ඉතින් අමාරු කාරියක් නෙමෙයි. යහමින් කොච්චි සම්බෝලෙ බතුත් එක්ක අනාගෙන කනකොට තමයි ඔන්න දත් ටික මැද්දට හිරවෙලා දිවක් තියනවා කියලා දැනෙන්නෙ.

හැබැයි ඉතින් මගේ කෑම ආසාව එතනින් නතර වුනානම් මොනා කරන්න බැරිද කිව්වලු. කොහොමද හොඳ පොල් සම්බෝලයක් එක්ක යහපත් කරෝල කෑල්ලක් තෙල් දාලා හරි නිකාම්ම තෙලේ දාලා බැදලා ගත්තනම් කාරිය? රතට රතේ පිම්බිලා තියන නයි කොච්චියක් එහෙම නැත්නම් දම් පාට බෝල කොච්චියක් වගේ එහෙම කරෝල තෙල් දැමිල්ලට එක්කහු කලාට මගේ නම් ඕං කිසීම තරහක් නෑ ඕං කිව්වා. හොඳට බත් ඇට ටික වෙන්වෙන්ට මුතු ඇට වගේ පොඩි සම්බා හාලකුත් එක්ක තමයි මම නම් ඔහොම කරෝල බැදුමකුයි සම්බෝලෙයි කන්න කැමතියි.
 

දැන් මෙහෙමෙයි, ගොඩක් අය කන්න කැමති උණු උණුවට බත්. ඒත් වැඩේ කියන්නෙ මං එහෙම උණු බත් කන්න කැමතිම නෑ. එතකොට මාළුපිනි වල රස මට දැනෙන්නෙ නෑ. වෙන එකම දේ, කට පුච්චා ගැනීම සහ කට දැවිල්ල ඉස්මුරුත්තාවටම ඒමයි. 

ඕන් කියනකොට මතක් වුණේ, හොඳ කිරට බීට් අලයක් උයාලා බත් එක්ක කන්නත් මං හරි මනාපයි.ආයෙ වෙන මුකූත්ම ඕනෙ නෑ. ඒ වගේම තමයි යහමින් අබ ටිකක් අඹරලා දාලා අම්ම උයන කැකිරි මාළුව. (දැන් ඉතින් අහන්න එපා හොබෝ ටික්කො උඹ මොනා කන්නද අකමැති කියලා!)හොඳ සැපට හැදුණු පිටි වැඩියෙන් තියන වට්ටක්ක කෑල්ලක්, ලාවට තිත්ත රහ එන්න කරවිල මාළුවක්, එතකොට තව රසට ගුණට කන්න අඟුණ කොළ මැල්ලුමක්... 

ඔන්න ඕව මතක් කරනකොට මට එක්තරා නොස්ටැල්ජියාවක් හැදෙනවා. ඉස්සර ගෙදර ලඟ වෙලේ සරුසාරෙට හැදිලා තියෙන ගිරා පලා කඩාගෙන ඇවිත් කිරි රහට රසට රසේ මැල්ලුමක් හදනවා මට අද වගේ මතකයි. ඒත් අද එහෙම බෑ. වෙලවල් පුරාම එක එක වල් නාශක. කෘමි නාශක. නිදහසේ පලාකොළයක් කඩාගෙන කන එකත් ලේසි වැඩක් නෙමෙයි අද කාලෙ. 

හොඳ පැහුණු දෙල් ගෙඩියක් උයනකොට වත්ත පහළ මැල්ල ගහෙන් මැල්ල කොල ටිකක් කඩාගෙන ඇවිත් බැදගෙන කනකොට මට පොඩි කාලෙ දැනුනෙ මාත් මඩොල් දූවෙ උපාලියි ජින්නයි වගේ කියලා. වත්ත වටේට ඇවිදලා මයියොක්ක දළු, ජපන් බටු කොළ, තෙබු කොළ කඩාගෙන ඇවිල්ල මැල්ලුමක් හදනකොට ඒක හරි විසාල විනෝද සවාරියක් ගියා වගේ තමයි. කොරැල් දූපතේ අතරමන් වෙච්චි ළමයි ටික රහට රහේ කෑම හදාගන්න සීන් එක මතක් කරගෙන තමයි මම මැල්ලුමට කොළ හොයන්නෙ. 

මස්මාංස ගැන නම් මට එහෙමට කියලා ලොකූ පිරියක් නෑ. ඉඳලා හිටලා කුකුළු මස් ඉස්ටුවක්, කුකුළු මස් හොද්දක් කෑවොත් මිසක ඔය කිරි අම්මලගෙ මස්, දන්නෝ දනිති මස් එහෙම මං කාලම නෑ. හැබැයි ඉතින් මාළු කන්න නම් හරි කැමතියි. 

මට මතකයි මං පොඩි කාලෙ තාත්තා එක්ක මාළු ගන්න පාන්දර බස් එකේ මීගමු යනවා. අපි ප්ලාස්ටික් බාල්දියක් එහෙම අරගෙන යන්නෙ. පාන්දරම ලෙල්ලමට ගියාම ඉතින් එක එක ජාතියෙ මාළු. මට මතකයි, මහ විසාල පර්වතයක් වගේ කළු ගෑණු මනුස්පයෙක් දැල් වලින් කොටු කරල පාර්සල් කරපු පණ ඇති කකුළුවෝ විකුණනවා. මං කට ඇරගෙන බලාගෙන හිටියා මතකයි ඒ දිහා. ඉතින්, අලුත් මාළු අරගෙන අපි ගෙනාපු බාල්දියත් පුරෝගෙන තාත්තයි මාය් ගොඩවෙනවා උදේ කෑම කන්න කඩේකට. අපි දෙන්නම ඉඳි ආප්ප කන්න හරි රුසියො. ඉතින් අපි ඉඳි ආපයි කිරි මාළුයි තමයි කන්නෙ. ආයෙ ඉතින් රහ ගැන කියන්න ඕනෙ නෑනෙ. අර සයිවර් කඩ වල තියෙන ටින් බාල්දි වලින් යාරෙට හොදි වක්කරනවා මට තවම මතකයි. හොඳ හැටි බඩකට පුරෝගෙන මාළු බාල්දියත් අරගෙන අපි දෙන්න එළිය වැටෙන්න පටන් ගන්නකොට ආපිට ගෙදරත් ඇවිල්ල අහවරයි. මට මතකයි ඉස්සර අපෙ අම්මා අනුරාධපුරේ ගුරු පුහුණු ඉන්න කාලෙ මායි තාත්තයි කෝච්චියෙ අම්මව බලන්න යනවා. තාත්ත මට මුද්දරස්පලං දාපු බනිස් ආගෙන දෙනවා යනගමන් කකා යන්න කියලා. මාත් ඉතින් බෑ නොකියා කනවා. අපි එදා ඉඳන් ඔය කෑමට බීමට ඇඹරෙන ජාතියක් එහෙම නෙමෙයි ඔන්න. 

 මං බත් කන ගමන් රතු ළුුණු, අමු තක්කාලි, අමු මාළු මිරිස් කන්න හරි ආසයි. මං පොඩි කාලෙ මට තක්කාලි ඇලජික්. ගෑවුණත් පළු දාලා කසලා සෙම ඇවිස්සෙනවා. ඒ කාලෙ තමයි මට තක්කාලි කන්න පෙරේතකමක් ආවෙ. පස්සෙ පස්සෙ තක්කලි ඇලජික් එක නැතිව ගියා. ඒ නිසා ඉතින් දැන් නම් මොන තක්කාලියක්වත් මගේ ඇහෙන් බේරිලා එළවළු බක්කියෙ හැංගිලා ඉන්නවා බොරු. වතාවක් මම ඔය රටපිට ගිය වෙලාවක ගොවිපොළකට යන්න වාසනාව ලැබුණා. කෑමකට ඇරයුමකුත් ලැබිලඉ තිබුණේ. ගොවිපොළේ අලුත් එළවළු පලතුරු සහ මල් වලින් පිරුණු පාට පාට ලෝකයක් මේසෙ උඩ තිබුණා මතකයි. හප්පේ, "ගාඩන් සලාදෙ" තිබුණු ලා දළු සහ සුදු පාට, දම් පාට සළාද කොළයි ඇබිත්තං බෝල තක්කාලි වලයි රහ!
කාලා ඌෂ්ණ බිබිලි දාලා කස කසා ඉන්න වුණත් කමක් නැත් දෙයක් තමයි අච්චාරු කියන්නෙ. කොළපොතකින් කට වහපු මැටි මුට්ටියක විනාකිරි සහ අබ සුවඳ ගොජ ගොජ ගාන සිංහල අච්චාරුවක රහ අපට කියල දෙන්න එපා මහත්තයෝ, කියලා තමයි කියන්න වෙන්නෙ ඉතින්, හා නැද්ද? ඔය සිංහල අච්චාරුවට කැරට් දාන එක තරම් කේන්තියන එකක මට තවත් නෑ. අමු පැපොලක රහ වගේද හා?

හැබැයි ඉතින් අම්මා සූප විස්කම් දාලා හදන මැලේ අච්චාරුවෙ නම් කැරට් නැත්නම් මහ පාළුවක්. මිරිස් කුඩුයි සීනීයි වතුරයි පදමට ලිපේ තියලා ඉදවනකොට එන්නෙ හරිම වෙරිකාර මත්වෙන සුවඳක්. ඒකට බොම්බයි ළුුණු ලොකුවට කපලා, මාළු මිරිස් එක්ක චර බර ගාලා හපන්න කැරට් කෑලි දාපුවම තමයි අපූරු අච්චාරුව! එපා එපා, ඔය අන්නාසි අරවා මෙව්වා ඔන්නම් චට්නි හදාගෙන කන්න, මේ මැලේ අච්චාරුවට දාන්නෙ නැතිව.  

ලුණුදෙහි ගැන අපි වෙන්මම දවසක කතා කරමු!

 ඔය සේරමත් හරි කිරිහොද්දත් හරි. උළු හාල් ඇට නටන ලස්සන කහ පාටට ඉතිරෙන්න නොදී හැඳිගාලා පරිස්සම් කරගත්තු, රම්පෙ කරපිංචා වලින් සාර වෙච්චි කිරිහොද්දක් එක්ක මොනවද කන්න බැරි. සුද්දගෙ තිරුවානා ගල් හිටන් මේ කිරිහොද්දට දියවෙනවා නොවෙද හා? දන්න කියන ඉඳිආප්පයක් එක්ක මුහු වෙලා ඉන්නකොට බලන්ට එපායැ කිරිහොද්දෙ ආඩම්බර! එයිත් එක්ක යන්න හොඳ මාළු ඇඹුල් තියලක් එහෙමත් නැත්නම් හීනි කූනිස්සො එක්කසු කරපු තිබ්බොටු මැල්ලුමක්...රුහුණුකරේ කරක්ගහල එත්දි ගෙනාපු ජාඩි ටිකක් තිබේ නම් ඉතින්...මේවනෙ හීන කියන්නෙ බ්‍රෝ!

මේකයි, කෑම ගැන කියන්න ගියොත් බඩකිනි වෙනකම් මාගලක් දිගට කියන්න දේවල් තියෙනවා. ඒ නිසා මම මෙහෙම කියන්නම්කො. "මම නම් කන්න කැමති මේවා. එතකොට ඔයා?"

Tuesday, September 26, 2017

තක්කාලි සහ බෝල්ට් ඇණ


වේදිකා නාට්‍ය ගැන මුලින්ම හිතක් පහළ වුණේ බොහෝම පොඩි කාලේ, මගෙ හිතේ තුන හෝ හතර වසරේ ඉන්නකොට ගම්පහ බණ්ඩාරනයක විද්‍යාලයේ පෙන්නපු සිංහබාහු බලන්න අම්මා මාව එක්කාගෙන ගියපු දවස් වලයි. ඊට පස්සෙ සිංහබාහු පස් හය වතාවක්ම බැලුවා. කොළඹ කැම්පස් එකේ නැට් හෝල් එකේ, පැය ගාණක් පෝලිමේ ඉඳලා තියෙනවා. ඉඩ මදිව, හිරවෙලා, තෙරපිලා. ඒත් අදටත් මට සිංහබාහු කියද්දි මට මතක් වෙන්නෙ මුල්ම වතාවට කළුවරේ ඉඳගෙන රතු පාට තැඹිලි පාට එළි දිහා කට ඇරගෙන බලාගෙන කියන මෙලෝ දෙයක් තේරුණෙත් නැතිව මම සිංහබාහු බලපු ඒ මුල්ම වතාව. 

ඉන්පස්සෙ බොහෝ වේදිකා නාට්‍ය බැලුවා, රසවින්දා. ඒත් ඊටපස්සෙ මට මැක්බෙත් මුණගැහුණා. මායාකාරියෝ තුන්දෙනා මගෙන් මෙහෙම අහනවා. "යළිත් අප කවදා නම් මුණගැසෙමුද? විදුලි කොටත්දී ද? අහස ගුගුරන විටද? නැතිනම් මුරුගසන් වරුසාවේදී ද?" මම උත්තර දුන්නා, "හැමදාම! හැමදාම! මැක්බෙත් කියවන, බලන හැමදාම." මට මැක්බෙත්ව මුණගැහෙන්නෙ දොළහ වසරේදී. මට මැක්බෙත් මුනගැස්සුවේ එයත් එක්ක යුද්ධෙට ගියපු සාජන්ට් කෙනෙක්. සාජන්ට් ඩන්කන් රජතුමාට මෙහෙම කිව්වා. "අහා! වීර මැක්බෙත්, ඇත්තටම ඒක නම් ඔහුටම සරිලන නමක්. ඔහුගේ අසිපතේ මිහිදුමක් සේ රුධිරය බැඳී තුබුණා. ඔහු සතුරා ඉසේ සිට පතුලටම සිය අසිපතින් දෙබෑකොට, සතුරාගේ හිස අපේ යුධ පිටියේ එල්ලා තැබුවා." මා මෙතරම් සුන්දර සහ අසුන්දර දිනක් දැක නැති තරම්." මැක්බත් මට එහෙම කිව්වා. මට මතකයි. 

එතකොට මගේ හිත ආයිමත් සිංහබාහු දිහාවට ඇදිලා ගියා. ඇඟ කීරි ගැහෙන බෙර තාලයකින් දිග නිය ඇති කේසර සිංහයා වේදිකාවට අවතීර්ණ වුණා. සිංහයා පෙනුමෙන් රෞද්‍රයි. දිග නියපොතු. කසා වර්ණ කෙසරු. මම භිරාන්ත වෙලා සිංහයා දිහා බලාගෙන හිටියා. සිංහයා දිහා බලාගෙන හිටපු මට මගේ හුස්ම හිරවේගන එක බවක් මට දැණුනා. "සිංහයා, ඔය තරම් දරුවන්ට ආදරය කරන්න එපා!" මම නිහඬව කෑහැහුවා. "සිංහබාහු හොයාගෙන නගරයට යන්න එපා." අවසානය දැන දැනත් මම හෙමීට මැතිරුවා. සිංහබාහු මගේ එහා පැත්තෙන් වාඩිවෙලා හිස වනමින් බලාගෙන හිටියා. "ඇයි? ඇයි මට නිදහසේ ඉන්න දෙන්නෙ නැත්තෙ?" සිංහබාහු මගෙන් ඇහුවේ කනට කොඳුරමින්. බෙර තාලය උඩින් සිංහයා නගරයට යනවා. "ගල් ලෙන බිඳලා ලෙන් දොර ඇරලා, සිංහබා! සිංහබා...සිංහබා!" සිංහයා හිටියේ වේදනාවෙන් කැකෑරෙමින්. "උඹට තිබුණෙ අර ගල් ගුහාවටම වෙලා ඉන්න." මම සිංහබාහුට කිව්වා. සිංහබාහු මා දිහා ඔලොක්කුවට බැලුවා. "උඹ ඔතෙන ඉන්නෙ ගල්ලෙනෙන් පැනලා ඇවිත් නෙමෙයිද?" සිංහබාහු මගෙන් ඇහුවා. සිංහබාහු කොහොමත් නහර උලුප්පගත්තු දඩබ්බරයෙක්. හරියට සිංහයෙක් වගේ.

 ඛේදාන්තයක් දිහාවට ඇවිද යන ඛේදනීය වීරියෙකු දිහා මම බලාගෙන හිටියා. වෙනදා වගේම මගෙ ඇඟ කීරි ගැහුණා. ඇහැට කඳුලක් නැගුනා. "සිංහයා! කැලේට වෙලා හිටපන්. උන් යන්න ගියාට උඹ අයිති කැලෑවට." මගේ හිත කෑගැහුවා. ඛේදාන්තයක වූ මායාකාරී වේදනාවක් හිත පුරා දුව යන්න පටන්ගත්තා. "මම දැනගතිමි, මම සැක කලෙමි!" මැක්බෙත් උඹ ඇයි මායාකාරියන්ගේ කීමට ඇහුම්කන් දුන්නෙ? උන්ගේ ඒ ව්‍යාකූල කතාන්තර හිතට ගත්තෙ? මම දන්නවා. උඹ කවුදෝර්හි වංශාධිපතියා පමණක් නොවෙයි, උඹට තිබුණා රජ වෙන්න! මමත් එහෙම හිතනවා. උඹට තිබුණා රජ වෙන්නෙ. නාකි ඩන්කන් සහ එයාගෙ පුත්තුන්ට වඩා උඹ හොඳ රජෙක් වෙන්න තිබුණා. සිංහාසනයට වෙලා, මිදි වයින් බිබී, මස් කකා, තමන්ගේ ඥාති සහෝදරයා දිනලා දුන් භූමියේ රජ වෙලා ඉන්න නිකම්ම නිකම් ලේ පරම්පරාවෙන් විතරක් ඔටුන්න දරන නිකමෙකුට වැඩිය මැක්බෙත් උඹ හොඳ රජෙක් වෙන්න තිබුණා! මට දුක ඒකයි. රජකම උඹට උරුම නැති නිසා උඹ ඩන්කන් මැරුවත්, මම උඹට සමාව දෙන්නෙ, ඒ වගේ නිකම්ම නිකම් කාඩ්බෝඩ් රජෙක්ට වඩා උඹ දක්ෂ රජෙන් නිසා. මට පිටිපස්ස ආසනේ වාඩිවෙලා ඉන්න ප්‍රජාතන්ත්‍රවාදෙ පුටුව යටින් මගේ කකුලට ඇන්නත්, "උඹ ඒ කාලේ හිටියෙ නෑ, මම ප්‍රජාතන්ත්‍රවාදෙට කිව්වා. උඹ කොහෙද මුල්ලක බුදි. ඡන්දයක් තිබුනා නම් මම මැක්බෙත්ට ඡන්දෙ දෙනවා. එහෙනම් ඩන්කන් පැරදිලා ගෙදර යනවා. මැක්බෙත් රජවෙනවා. මැක්බෙත් උඹ ඩන්කන් මැරුවට ඒක සිස්ටම් එකේ වරදක් මිසක් ඒක උඹේ වරදක් නෙමෙයි. උඹ වැරදිනම් මුළු ප්‍රංශ විප්ලවයම වැරදි. ඔව්, මැක්බෙත් උඹ ට්‍රැජික් වීරයෙක් විතරක් නෙමෙයි, උඹ විප්ලවකාරයෙක්!" මම මැතිරුවා. 

ඒත් මැක්බෙත් ඩන්කන්ව මැරුවා. "මම මේ මා ඉදිරියේ දකින්නෙ කිනිස්සක්ද? මා දෙසට හැරවුණු කිනිස්සක මිටක්? එන්න, මම උඹව අල්ලාගන්නම්!" මැක්බෙත් එහෙම කියනකොට මම මැක්බෙත් දිහා දුකින් බලාගෙන හිටියා. "සීනුව මට අඬගහනවා. ඩන්කන්ව දිව්‍ය ලෝකයට හෝ අපායට කැදවාගෙන යන්න..." උඹේ ආර්යාව තමන්ගේ තනයෙන් කිරි උරා බොන ළදරුවාව උනත් මරා දමන්න මට පුලුවන් කියද්දි, මැක්බෙත් උඹට තිබුනා ඩන්කන් නොමරා ඉන්න. මට කණගාටුයි උඹේ හිත ලදල්ලක් වගේ සැලුණාට. ගෙවුණු කුණාටු සහිත රාත්‍රියේ නිවී ගියා සියලු විලක්කු, භයානක වැලපීම සහ මරණීය කැගැසීම් මට ඇසුණා. මහ පොලොව දෙදරා ගියා..." ලෙනොක්ස් මට දැනුම් දෙනකොට මම ප්‍රමාද වැඩියි. මගේ එහා පැත්තෙ වාඩි වෙලා හිටපු සිංහබාහු ආපහු වේදිකාවට ගොඩ වෙලා සිංහයා දිහාවට දුනු දිය ඇදලාත් අහවරයි. මම දන්නවා, සිංහබාහු වතාවක්, දෙවතාවක් පැකිළුනත් තුන්වෙනිපාර හීය අතහරිනවා කියලා. මූණ වහගෙන ඇඟිලි අතරින් මම බලාගෙන හිටියා සිංහයා හීය බදාගෙන ඇදවැටෙනවා. 

සිංහයා වැටෙන අතරේ මැක්බෙත් බොහොම අනුකම්පාවෙන් මා දිහා බලාගෙන මෙහෙම කියනවා. ඊටත් එහායින් බැන්කෝගේ අවතාරය මැක්බෙත් දිහා ශෝකයෙන් බලාගෙන ඉන්නවා. 

 "නිවී පලයන් ලිහුඬු ඉටිපහන.ජීවිතය යනු ඉබාගාතේ යන සෙවණැල්ලක් වැනිය, එය අසරණ නළුවෙකු සිය පැය කිහිපය ගෙවා ගනු වස් වේදිකාව මත නාටයක් රඟා අවසන, යළිත් කිසිදා දකින්නට නොමැති වන සේ අතුරුදන් වනවා සේය. ජීවිතය අමනයෙකු කී කතාන්තරයක් වැනිය.එහි ශබ්දය සහ උන්මාදය එමටය, නුමුත් වැදගත් එකදු හෝ යමක් නැත." 

වේදිකාවේ හැමෝම ආචාර කරලා බැහැලා ගියාට පසුව මම තනියම ගෙදර ඇවිදගෙන එනකොට සිංහයාත් මැක්බෙතුත් බර කතාවක් දාගෙන මා පස්සේ ඇවිදගෙන එනවා. "අපි දෙන්නා එක වගේ කියලා අරයා හිතුවට, මට නම් අපි දෙන්නගෙ සමානකමක් පේන්නෙ නෑ." මැක්බෙත් මාව පෙන්නලා සිංහයට කියනවා. සිංහයා කෝපයෙන් ගොරොවලා අහක බලාගෙන ගාටනවා. "සමහර වෙලාවට තක්කාලියි බෝල්ට් ඇණයි අගේට ගැලපෙනවා..." මම මටම කියාගන්නවා. මැක්බෙත් ආයෙමත් සිංහයාව කතාවකට ඇදලා ගන්න මොන මොනවාදෝ කියනව. 

 "උඹලා දෙන්නම එක වගේ නොවුනත්, උඹලා දෙන්නම එක වගේ මගේ හිත රිදවනවා."

Wednesday, July 12, 2017

ස්ටෝබෙරි ජෑම් සෑදීම



*ඉතා බොහෝ කාලයකින් පෝස්ටුවක් නොදැම්මේ වෙලාව නොමැතිකම හින්ද කියල හිතුණත් ලියන්න වැදගත් දෙයක් ඔළුවට නාපු එකත් එක්තරා හේතුවක් වුණා කියලත් හිතෙනවා. පෝස්ටු දෙක තුනක්ම ලියලත් අන්තිම මොහොතේ ඩිලීට් කරලා දැම්මේ ඒකයි. මොන බයිලයක් ලිව්වත්, ලියන්න ඕනෙ වැදගත් බයිලයක් කියනවනෙ.

අද පෝස්ටුව කතන්දරයක්. කතන්දරයෙ මුල වත් අග වත් නෙවෙයි, මැදින් මතුවෙන්න පුලුවන් එක් සිද්ධියක්. නිකමට කියවලා බලන්න, මේකෙ මුල මැද අග ගලපන්න තරම් හොඳ කතන්දරයක් වේවිද කියලා.


මේ බෙරී ඉතාමත් ආසා කළ කාලයයි. මේ කාලයට අම්මා ගොවිපොළෙන් නෙළාගත් පිම්බුණු රතු ස්ටෝබෙරි වලින් රසවත් ජෑම් සෑදුවාය. බෙරී ස්ටෝබෙරි ජෑම් වලට ඉතා ආසා කළාය. ස්ටෝබෙරි අයිස්ක්‍රීම් වලටද ආසා කළාය. චොකලට් තැවරූ ස්ටෝබෙරි කෑමටත් බෙරී ඉතාම ආසා කළාය. ස්ටෝබෙරි ඉදෙන කාලයට ඉස්කෝලේ යනවිට බෙරී චොකලට් තැවරූ ස්ටෝබෙරි පෙට්ටියක් අරගෙන යන්නේ ඉතාම ආඩම්බරයෙන්ය. පන්තියේ ගුරුතුමයත් යෙහෙළියනුත් සමග චොකලට් තැවරූ ස්ටෝබෙරි කන අතරතුරේ ගොවිපොළ ගැන විස්තර කියන්නට බෙරී ඉතා ආසා කළාය. ඒ වාගේම ස්ටෝබෙරි කේක් කෑමටත්, ස්ටෝබෙරි පස්තෑල කෑමටත් ආසා කළාය. වරක් අම්මා ස්ටෝබෙරි සහ කස කසා ඇට පුඩිමක් සෑදුවාය. බෙරීට එහි රස තාමත් මතකය. අම්මා තව නම මතක නැති රසවත් කෑම බොහෝමයක් ස්ටෝබෙරි වලින් සාදන කාලය මෙය විය. ස්ටෝබෙරි ජෑම් වලට වඩා බෙරී කැමති දෙයක් ඇත්නම් ඒ අම්මා ස්ටෝබෙරි ජෑම් සාදන පිළිවෙළ බලා සිටීමයි. 
අම්මා ඉතා සුන්දරය. අම්මා කියන්නේ නම් ලෝකේ හැම අම්මා කෙනෙකුම ඉතා සුන්දර බවය. ඒ ඇත්ත විය යුතුය. අම්මා ස්ටෝබෙරි ජෑම් හදන විට තවත් ලස්සනය. ලිපේ උණුසුමෙන් අම්මාගේ කම්මුල් රතු වන්නේය. ඈ සිනාසෙන විට ඇස් වල කඳුළු කැට දිලිසෙන්නේය. ස්ටෝබෙරි ජෑම් හදන දිනට අම්මා දිග රතු ගවොමක් ඇන්දාය. එදාට බෙරී ඉස්කෝලේ හෝ පන්ති යන්නේ නැත. බෙරී, අම්මා සහ ලිප අස්සේ පැටලෙමින් අම්මාගෙන් බැනුම් ඇසුවාය. අම්මා ඉතා කරුණාවන්ත ඉවසිලිවන්ත ගැහැණියක වූවාය. ඈ උස් හඬින් බැණ වැදුනේ නැත. සිහින් හඬින් යමක් දැඩිව කියන්නට ඇගේ සිහින් මුව සමත්ය. තාත්තාත් ස්ටෝබෙරි වලට ඉතා ආසා බව බෙරී දැන සිටියාය. කලබලේ වැඩ නැති ඕනෑම වෙලාවකම තාත්තා බෙරීව හැඳින්වූයේ 'මගේ පොඩි ස්ටෝබෙරි ගෙඩිය' කියාය. බෙරී එයට ඉතා ආසා කළාය.
කලින්දා උදෑසනම හීනි පින්නේ බෙරී අම්මා සමග ස්ටෝබෙරි කඩන්නට ගියාය. ස්ටෝබෙරි ඉතා ආඩමබර යැයි බෙරීට හිතුණු වාර අනන්තය. අම්මා සෙමින් පහත් වී හොඳින් ඉදුණු ස්ටෝබෙරි තෝරද්දී, බෙරී ඒවා කඩා සිය කුඩා වෙවැල් කූඩයට එක්කාසු කළාය. උණුසුම් අරුණාලෝකය ස්ටෝබෙරි කොළ අතරින් බෙරීගේ කුඩා ඇඟිලි හරහා ගොස් මහපොළොවට සුබ උදෑසනක් කියන විට බෙරීගේ කුඩා වෙවැල් කූඩය ඉදී පොපියන රතුම රතු ස්ටෝබෙරි ගොඩකින් පිරී තිබිණි.බෙරී ස්ටෝබෙරි කොළයක් කඩා සෙමින් සිය ඇඟිලි තුඩු වලට තබා පොඩි කර සුවඳ බැලුවාය.  

ඉන්පසු බෙරී සමග මුළුතැන්ගෙට යනවිට අප්පච්චී අවදිවී උණු කෝපි කෝප්පයක් තොලගාමින් දවසේ පත්තර කියවමින් සිටියේය. හැමදාම උදේට අප්පච්චී වැඩ පටන් ගන්නේ දවසේ සිංහල සහ ඉංග්‍රීසි පත්තර ස්යල්ලක්ම වාගේ කියවා දැමූ පසුය. අප්පච්චී සමග උණු කෝපි බොමින් පත්තර කියවන්නට බෙරීද ආසා කළාය. නමුත් අද බෙරීට වැඩ අධික දවසක්ය.

ස්ටෝබෙරි කූඩය මුළුතැන්ගෙයින් තැබූ අම්මා මෙතෙක් වේලා ලිහිල් කරගෙන සිටි කොණ්ඩය උස් කොට බැඳගෙන දෑත සෝදා ගත්තාය. බෙරී එළියේ සීතල වතුර පයිප්පයෙන් අත් ද පය ද සෝදාගෙන ආවාය. ආපිට එන විට අම්මා පිරිසිදු රෙදි කැබැල්ලකින් පිම්බුණු ස්ටෝබෙරි ගෙඩි පිස දමමින් සිටියාය. ස්ටෝබෙරි සේදුවහොත් ජෑම් වලට වතුර ගතිය වැඩිවෙන බව අම්මා කීවාය. අම්මා හදන්නේ ඉස්තරම්ම ස්ටෝබෙරි ජෑම්ය. 
ඉන්පසු ස්ටෝබෙරි ගෙඩි සියල්ල ලී බඳුනකට දමා ඒවා මතට යහමින් සීනි එක්කළාය. පසුදා ගැනීමට එය ලී පියනකින් වසා අරන් තැබුවාය. 
කලින්දා අරන් තැබූ ස්ටෝබෙරි බඳුන ගත් අම්මා සිය රතු ගවොමේ අත් උඩට කරගත්තාය. ලෙමන් පිරවූ යුෂ බඳුනකට සීනි උරා තවත් රතු වී තිබූ ස්ටෝබෙරි ගෙඩි ටික දමා, මද ගින්නේ ලිප තැබුවාය. උණු ජලයේ ඔබමින් තෙත් කළ ගත් පේස්ට්‍රි පින්සලක් ගෙන සෙමින් සෙමින් දිය වී නොතිබූ සීනි කැටිති ඉවත් කළාය. 

කුඩා ලී පුටුවක් ඇදගත් බෙරී ඊට නැග අම්මාට එහායින් ඉඳ ස්ටෝබෙරි ගෙඩි මද ගින්නේ නටන සැටි බලා සිටියාය. ඒවා ලා රෝස පැහැයෙන් පෙණ දමමින් සිරි සිරි ගා ලෙමන් යුෂ වල උඩපනිමින් තිබිණි. උණුසුම් වූ ලෙමන් යුෂ සහ ස්ටෝබෙරි වල ලා සුවඳක් මුළුතැන්ගෙය පුරා විසිරෙමින් තිබිණි.

උණුසුම් වූ ස්ටෝබෙරි ගෙඩි කිටිකිටියේ තද වෙමින් පෙණ බුබුළු මතින් නැගෙන සැටි බෙරී ආසාවෙන් බලා සිටියාය. ටික වේලාවකට පසු අම්මා උකු වී සෑදෙමින් තිබූ ජෑම් බිඳක් අයිස් පෙට්ටියේ තබා තිබූ තසිමකට තබා සිය දබරැඟිල්ලේ තුඩින් තද කලාය. හිස වනමින් තමාටම යමක් මැතිරූ අම්මා ලිපෙහි ගිනි දළු මදක් වැඩික කළාය. 

"බෙරී, කෝ දැන් ඔයා මං කියපු වැඩේ කලාද?" අම්මා කරුණාවන්තව ඇසුවාය. ඇය සිනාසෙන විට ඇගේ ඇස් ද සිනාසෙයි. 
"අනේ අම්මා, අමතක වුණානේ." කිවූ බෙරී වහ වහා අම්මා කලින්දා කියූ පරිදි වීදුරු බඳුන් කිහිපයක් ලහි ලහියේ සොයා ගත්තාය. තඹලේරුවකට එම වීදුරු බඳුන් දමා පයිප්පයෙන් වතුර පිරීමට සැලැස්සූවාය. බෙරීගේ හිස අත ගෑ අම්මා තබලේරුව උඳුනේ තැබූවාය. ජෑම සෑදීමෙන් පසු වීදුරු බඳුන් වල ඒවා පිළිවෙලකට අඩුක් කිරීම අම්මාගේ සිරිතය. ජෑම් දැමීමට පෙර ඒවා දමන වීදුරු බඳුන් නටන උණුවතුරෙහි මිනිත්තු පහළොවක් පමන ගිල්වා විශබීජ නැසීමට අම්මා වගබලා ගත්තාය. තව ඩිංගෙන් බෙරීට එය්ය අමතක වන්නට තිබිණි.

නත්තලට සැන්ඩ්‍රීන් නැන්දලාගේ දිහා යනවිටද, අලුත් අවුරුද්දට ලොකුතාත්තාගේ දිහා යනවිටද, අම්මාඅමතක නොකර ඇගේ ඉස්තරම් ස්ටෝබෙරි ජෑම් ගෙනයාමට අමතක නොකළාය. නැන්දලාත්, ලොකුතාත්තලාත් කඩෙන් ජෑම් ගන්නේ ඉඳලා හිටලා බව වරක් අප්පච්චී කීවා බෙරීට මතකය. එයාලා හැමෝම ආසා කළේ අම්මා හදන ස්ටෝබෙරි ජෑම් කෑමටය. බෙරීට අම්මා ගැන ආඩම්බර ය.  

තම්බා පිසදමාගත් වීදුරු බඳුන් වලට උණු උණු රතු ස්ටෝබෙරි ජෑම් දමන්නට බෙරීටද අවස්ථාව ලැබිණි. ඇය වෙව්ලන අතින් ලී පත්තෙන් උණු ජෑම් ගෙන වීදුරු බඳුන් වලට පිරෙව්වාය. අම්මා ඉවත බලන තුරු හිඳ උණු ජෑම් බිඳක් ඇඟිල්ලට ගෙන රස බැලුවාය. අද හවසට ජෑම් සමග කර කර උණු පාන් කා තේ බොන්නට හැකි බව සිහි කරමින් බෙරී තනිව සිනාසුණාය. 

බෙරී ජෑම් පිරවූ වීදුරු බඳුන් එකින් එක සිහින් ඇඟිලි ව්ලින් ගත් අම්මා සිහින් ඉටි තට්ටුවක් ජෑම් මත ඇතිරූවාය. ඉන් අනතුරුව වීදුරු පියනින් වසා බඳුන් සීල් කළාය. අවසානයට ඇගේ අතින්ම මැහුම් මෝස්තරයෙන් හැඩ කළ, ප්‍රතිචක්‍රීකරණය කරන ලද ලා අළු සහ දුඹුරු පැහැ රෙදි කැබලි පියන මත අතුරා වීදුරු බඳුනේ කර වටා පිරිසිදු ගෝනි නූලකින් එතුවාය. මෝස්තර සහිත රෙදි කඩ වලින් ආවරනය කල ඒවා නෑගම් යනවිට අරගෙන යන්නට වබ බෙරී දැන සිටියාය. ඕනෑ තරම් බඩ පුරා ස්ටෝබෙරි ජෑම් කා, තෑගිත් දෙන්න පුළුවන් වීම ගැන බෙරී ඉතා සතුටු වූවාය. 

Wednesday, January 25, 2017

චිත්‍රානන්දෙන් බත් කෑම

හා, කවුද චිත්‍රානන්ද කඩෙන් බත් කාලා තියෙන්නෙ? සමහරු නම් කාලා ඇති, සමහරු නැතිව ඇති, තවත් සමහරු උපන්තේකට කඩේ නම අහලවත් නැතිව ඇති.

කොහොමින් කොහොම හරි හෝබෝවාට ලඟකදී චිත්‍රානන්දෙ ඩේලි කස්ටමර්ලා දෙන්නෙකුත් එක්ක කෑම කන්න යන්න පොටක් පෑදුණා. උදේ දහය විතර වෙනකම් කාලා නොහිටිය හින්දා, දවල්ටත් එක්කම කටට රහට බත් පොඩ්ඩක් කන්න හෝබෝවා අපායට උනත් යනවා ඕං!

චිත්‍රානන්දෙ තියෙන්නෙ බෝ ගහ හන්දිය හරියෙන් මැනිං මාරකැට්ටුවට ඇතුල් වුණාම වමට හැරිලා පොඩි පොඩි බිත්තර කඩ දිගේ මීටර් සීයක් විතර ඉස්සරහට ඇවිදගෙන යනකොටයි.

මේ කඩේ හුගක්ම ප්‍රසිද්ධ, කොටුවේ මුදලාලිලා සහ නාට්ටාමිලා අතර. ඇත්තම කිව්වොත්, කොටුවෙ ලොකූ ලොකු කෑම කඩ අයිති මුදලාලි මහත්තුරු හෙමීට චිත්‍රානන්දෙට රිංගල තමයි උදේ දවල් වේලට යහමින් බත් කන්නෙ.

හැබෑවටම කිව්වොත් කඩේ දැක්කම නම් එහෙමයි කියලා කන්න හිතෙන්නෙත් නෑ, ඒත් කඩේ වී.අයි.පී කස්ටමර් චාමා කියන විදියට ඔයි අනික් කොයි කඩේකටත් වඩා හොඳ පිරිසිදුවට උයන්නෙ මේ කඩේලු.

මාව සමග කැටුව ගිය චිත්‍රානන්දෙ ඩේලි කස්ටමර්ලා දෙන්නා, චාමා සහ දේවාට එහේ සලකන්නෙ ඉහටත් උඩින්. මේ දෙන්නා හතර රියන් සහ දෙරියන් වගේ. වැඩිය කන්න එහෙමත් බෑ. මේ දෙන්නව දැක්කම මට මතක් වෙන්නෙ අර පිප්පි දිගමේස් කතාවේ බඩගිනිකාර සේලරුවෙක් බර බර ගාලා පතෝල කන්නා වගේ මේස ලෑල්ලක් කාලා දාපු සිද්ධිය.

කොහොමින් කොහොම හරි, දැන් හෝබෝවාත් චාමයි දේවයි එක්ක චිත්‍රානන්දෙට රිංගා ගත්තා කියමුකො, හෝබෝවා දිහා කවුරුත් පිසකට්ටල ජීවියෙක් දිහා බලන්නා වාගේ ඇස් බෝල කරමින් බලනවා.

"මයෙ හිතේ ගොඩාක් කාලෙකට පස්සෙ වෙන්ටැ මේ කඩේට ඉස්තිරී පරාණයක් ගොඩ බැස්සෙ. ආවත් හෙන කෂට සැර ඉස්තිරියාවො තමයි එන්නෙ කොටුවෙ ඉන්න." මේක බලාගෙන ඉන්න දේවා කියනවා.

චිත්‍රානන්දෙ වී.අයි.පී. කස්ටමර් තමයි චාමා. ඒ ටිකටත් මෙයා ආප්ප කොත්තු දාන තැනට එන්ටර් වෙලා, උයන බාස්ට බිත්තර ඔම්ලට් ඕඩර් එකක් දානවා. ඒ අතරේ අපි ෆෑන් එකේ හුලඟ එන හොඳ මේසයක් කාරිය බලලා, කඩේ මුල්ලක තියන ටැප් එකෙන් අත හෝදගෙන හෙමීට වාඩිවෙනවා.

බිත්තර දහයකින් විතර දාපු ඔම්ලට් තොගේ කබල් රතු පාට පොඩි ප්ලාස්ටික් පිඟානක වැඩම කරවන ටිකට, කඩේ බත් බෙදන මල්ලි සං සං ගාලා මේසෙට කෑම අරිනවා.

චාමා කියන විදියට මේ කඩේ උයන හැම  එලෝලුවක්ම වස විසෙන් තොර එව්වා. මේ කඩෙන් කෑම කන්න එළවලු, මාළු මුදලාලිලා එන්න්නෙ මේ හේතුව හන්දාලු. රසායනික භාවිත කරලා වවපු එලෝලුවක රස වෙනසයි, කාබනික පොහොරෙන් හදපු එලෝලුවේ රස වෙනසයි අපේ එලෝලු මුදලාලිලා අගේට දන්නවාලු. අලුත් මාළු පරණ මාලු උයපුවම රස වෙනස මාළු මුදලාලිලා දන්නවාලු. ඉතින් වස විස ඇති එලෝලුවක හරි, පරන මාලුවෙකුගෙ හරි රසයක් ආවොත්, බත් පිඟාන කෙලින් පාරෙ බිමට පත බෑ කරල, මේ මුදලාලිලා යන්නෙ නොසරුප් වදන් බුරමින් කියලා තමයි චාමා කියන්නෙ. ඒ හින්දා මේ කඩේ ලිපේ ඉදෙන්නේ වස විසෙන් තොර, හොඳ අලුත් එලෝලු, මාළු විතරමයි.

"දන්නවද මාකට් එකට දුඹුරු පාට ගම් බිත්තර  එන හැටි?" චාමා හෝබෝවගෙන් අහනවා. දැන් යන්නෙ අතුරු කතාවක්. හෝබෝවටත් ඉතින් කතන්දරයක් නම් ඕනෙ එකක්නෙ.
"සුදු බිත්තර තියනවනෙ....ඒවා අරගෙන අර හෙනා කියලා තියෙන්නෙ ඩයි ජාතියක්. ඔය හෙනා ගාලා තමයි සුදු බිත්තර දුඹුරු බිත්තර වෙලා, රුපියලක් දෙකක් වැඩියෙන් විකුණන්නෙ!" චාමා ඔය කතාව කියලා පින්සලේකින් බිත්තරයක් පාට කරන හැටි රඟපාලත් පෙන්නනවා.

කතාවෙ ඔය හරිය යද්දි හෝබෝවාත් කෙළ හල හලා මේසෙට වඩම්මන බත්, මාළු දිහා බලාගෙන ඉන්නවා. රතු ඉඳිආප්ප, රතු බත්, බැදපු උණු උණු හුරුල්ලො, පරිප්පු, මාළු මිරිස් කරියක්, බීට් රූට් කරියක්, තක්කාලි සම්බෝලයක්, කරවිල මාළුවක්, මාළු බොර හොද්දක් දිලිසි දිලිසි මේසෙ උඩ.

ඔයි අව්වස්සේ බත් ගේන මල්ලි, තඩි මාලු ඔළුවක් විසාල බෙලෙක් පිඟානක් උඩ තියාගෙන ඇවිත් මේසෙට බර කළා. මාළු ජාතියෙ නම හබරළියා. මේ හබරළියා මාළුවා උයාපුවාම කොළ පාට වෙනවා. කිරට උයා තිබුණු මේ මාළු ඔලුවත් කොළ පාටයි. හෝබෝවාට බයත් හිතුණා කාලා බලන්න. ඇයි වදේ කොළ පාට වෙන්නේ කෑම විස වුණාමයි, පිත්තල සුද්ද නොකලාමයි කියලනෙ හෝබෝවගෙ ඔළුවෙ තියෙන්නෙ!

දැන් ඉතින් වෙන මොනා බල බලා ඉන්නද කියලා හෝබෝවත් මේසේ උඩ අඩුක් කරලා තියන බත් මාළු මදි නොකියා දෙසා බාන්ට වුණා. කෑම ටික පංකාදු පහයි. බත් මල්ලි, කඩේට එන කාටත් අතදිගෑරලා විසාල බත් පිඟානක් බෙදලා දෙනවා. රතු බත් පිඟන් තමයි වැඩියෙන් යන්නෙ. මාත් කන්ට කැමති රතු බත්. අපේ ගෙදර පූසත් කන්නෙ වැඩියෙන් රතු බත්! ඌ සුදු බත වැඩිය ගණන් ගන්නෙ නෑ. සෞඛ්‍ය සම්පන්න පූසෙක්!  

හෝබෝවා හෙමීට බත් පිඟාන හිස් කොරාගෙන යනකොට ඉස්සරහා කවුන්ටරේ ඉඳලා බත් මල්ලි රුං ගාලා මේසෙට ලං වෙනවා. අපේ පිඟන් ටික දිහා බලන බත් මල්ලි, උණු උණු බත් පීරිසියක් ගෙනහල්ලා හෝබෝවගෙ පිඟනට අතාරිනවා.

"කන්න, කන්න අතගගා ඉන්නැතිව. මෙහෙ තියෙන්නෙ කන්න තමයි ඉතින්." ඔහොම කියාගෙන බත් මල්ලි තව බත් පිඟානක් කොත ගහන්න කවුන්ටරේ පැත්තට කඩිමුඩියේ දුවනවා.

අපරාදෙ කියන්ට බෑ ඉතින්, මේ හෝබෝවා ඉන්නවා නේද, බඩේ ඉන්නෙ විසාල හිඟන්නෙක්. දවසටම ලැබෙන බතත් ඔයි ටික තමා හින්දා හෝබෝවත් කොහොමින් කොහොමහරි යහමින් බඩට බත් අඩුක් කොරගන්නවා. ඔය අතරේ හබරළියා මාළු ඔළුව හෝබෝවගෙ පැත්තට දික් කරාගෙන චාමා 'කාහන්, කාහන්." කියනවා.

ඉතින් නිකා ඉන්ටයැ කියලා හෝබෝවා මාළු ඔළුවේ රස බලනවා. අපරාදෙ කියන්න බෑ, රහ නම්. රස නහර පිනා ගිහින් ඉස්මුරුත්තාවටම එනවා. මාළු ඔළුව ඇතුලේ හැංගිලා තියෙන කොටස් කන හැටිත් මේ අතරේ චාමා හෝබෝවාට කියාදෙනවා.

කාලා කාලා කා ගන්න බැරි වුණාම, හෝබෝවා අමාරුවෙන් බඩ ගාගෙන ගිහින් අත හෝදාගෙන එනවා.

"කෝපි කෝප්පයක් බොමුද?" හෝබෝවාගෙන් මෙහෙම අහන්නෙ දේවා. අපි නම් එපැයි කියයි ඕං!

උණුවට රසට සීනි ගාණට තිබුණු කෝපි කෝප්පෙ තොල ගාන ගමන්, රුපියල් හාරසීයකටත් අඩුවෙන් ආපු බිල එන්නෙ අපට බිත්තර ඔම්ලට් එක ගෙනාපු පිඟානෙමයි.

පිඟාන ගෙනාපු කොලුවට බැන බැන පන්සීයෙ කොළයක් හළන චාමා, සිගරැට් එකකුත් කටේ ගහගෙන හෝබෝවයි දේවයි එක්ක හෙමීට මැනිං මාරකැට්ටුවෙන් එළියට එනවා.

"ආයෙ එන්න බත් කාලා යන්න." චිත්‍රානන්දෙ බත් මල්ලිගෙ ඉල්ලීම ඉක්මනටම ඉෂ්ට කරන්න ඕනේ හිතමින් හෝබෝවත් පිටකොටුවේ කඩ පේළිය අහින් ඔපීසිය පැත්තට පයින්ම පාගනවා, බඩ බහින්න වියායාමෙට කියලා.  

ප.ලි. එකම දුකකට තියෙන්නෙ පිතූරියක් ගන්න අමතක වුණු එක තමයි හනේ....

Wednesday, January 11, 2017

ජපන් හොල්මන්

ජපානය කියන්නේ හොල්මන් වලට ඉතාම ප්‍රසිද්ධ රටක්. එයාලා කොයිතරම් හොල්මන් වලට බයයිද කිව්වොත්, අපේ අයියලා එහෙ බර ගණන් වලට අපේ සිංහල වෙස් මූණු විකුණනවා ඒවායින් පෙරේතයෝ, භූතයෝ බය කරනවා කියලා. 

අත්දැකීමෙන් කියන්නෙ, කවුරු හරි කෙනෙක් මිය ගිය අපාතො එකක් අනික් ඒවාට වඩා ඉතාම අඩු මිලකට විදේශිකයින්ට විකුණන්න ජපානයේ බුදෝසංලා පුරුදු වෙලා ඉන්නවා. සමහරු නම් කපටිකමට කියන්නෙත් නෑ මේ කාමර වල මනුස්සයෙක් මිය ගියා කියලා. මටත් වාරයක් බුදෝසං කෙනෙක් මනුස්සයෙක් එල්ලිලා මැරුණු කාමරයක් දෙන්න හැදුවා කියහල්ලකො!!!

ඒ විතරක් නෙවෙයි, Ring, The Grudge, One Missed Call වගේ ලෝකප්‍රසිද්ධ ජපන් හොල්මන් චිත්‍රපට විශාල ප්‍රමාණයක් තිබෙනවා. The Grudge චිත්‍රපටිය තරම් බය හිතෙන චිත්‍රපටියක් මම නම් ලොවෙත් බලලා නෑ ඕං! සමහර විට කට්ටිය කියවලාත් ඇති, 'ජපන් රස කතා' කියලා හොල්මන් කතාන්තර පොතක්. පරිවර්තක කවුරුන්ද කියන්න නම් මට මතකයක් නැහැ. ඒකේ තිබුණේ කෙටි කතා. එකක ඉන්නවා හොල්මන් සමුරායි කෙනෙක්, හරාකිරි ක්‍රමයට සියදිවිනසා ගත්තු. තව ඉන්නවා තරුණ වයසේ මිය ගිය තරුණ බිරියක්, සිය සැමියාගේ දෙවන බිරියව මරන්න එන! ඔය පොත අද කියෙව්වත් මට නම් තාම බයයි ඕං!

ජපානයේ ජන කතා කලාවේ හොල්මන් කතා වලින් අඩුවක් නැහැ. ජපානයේ පැරැණ්නන්ගේ විශ්වාසය වුණේ තමන්ගේ දූපත අත්භූත බලයන්ගෙන් පිරි භූමියක් කියලායි. ඒ විතරක් නෙවෙයි, එයාලාගේ විශ්වාසය හැටියට, සෑම මනුශ්‍ය ශරීරයකම 'රෙයිකි' නම් අභූත බලයක් තිබෙනවා. මේ බලය මරණයේදී ශරීරයෙන් මුදා හැරෙන බවයි ජපනුන්ගේ විශ්වාසය. 

1603-1868 කියන්නේ ජපානයේ හොල්මන් කතාවල ස්වර්ණමය යුගය කියලා හැඳින්වුවහොත් ඒකේ වරදක් නැහැ. මේ කාලය හඳුන්වන්නේ එදෝ යුගය ලෙසයි. මේ කාලේ ජපන්නු අතර අපූරු තරගයක් පැවැත්වුණා. ඒකෙ නම හියැකුමොනොගතරි කයිදන්කයි(Hyakumonogathari Kaidankai). මේ තරගයේදී සිද්ධ වුණේ, හොල්මන් කතාකරුවන් වළල්ලක් විදියට ඉඳගෙන ඉටිපහන් සියයක් නිවී යනතෙක් අභූත කතාන්තර කීම. 

මේ කතන්දර කිවිල්ලට ජපනුන් කොයිතරම් තරගකාරී වුණාද කිව්වොත්, ඉතාම අතීතයේ අඳුරට සැඟවී ගිය අභූත, හොල්මන් කතා බොහෝමයක් මේ තරගය නිසා පුනරාවතරණය කරනවා. 

දැන් මෙහෙමයි, කයිදන්කයි කියන්නේ නිකම්ම හොල්මන් කතා/Ghost Stories නෙමෙයි. මේ කතා බොහොමයක් ලේ සීතල වෙන කතාත් නෙමෙයි. කයිදන්කයි කියන වචනයේ තිබෙන කන්ජි වලින් කියැවෙන්නේ අපූරු, අත්භූත කතාන්තර කියන එකට ආසන්න තේරුමක්. 

මේ අභූත ජපන් කතා වල තිබෙන මූලිකම කතාවක් තමයි ඔයුකිගේ අවතාරය. 

ඉතින් කවුද මේ ඔයුකිගේ අවතාරය කියන්නේ? ඔයුකිගේ අවතාරය තමයි ජපානයේ ප්‍රසිද්ධම හොල්මන් චිත්‍රය. මේ චිත්‍රය පාදක කරගෙන තමයි ජපන්නු 'හොල්මන් මෙන්න මේ වගේය' කියලා තහවුරු කරලා කියන්නේ. මේ චිත්‍රය අඳින්නේ මුරයාමා ඕක්යෝ කියලා තරුණ චිත්‍ර ශිල්පියෙක්.

ජපන්නු විශ්වාස කරන සාම්ප්‍රදායික හොල්මන, ඉතාම සුදුමැලි මුහුණක් තිබෙන,හීන් කළු ඇස් ඇති, කඩා වැටෙන කළු කෙස් ඇති, සුදු කිමෝනෝවකින් සැරසුණු, දෙපා රහිත කාන්තාවක්. මේ විශ්වාසය ගොඩනැගෙන්නේ මුරයාමා ඕක්යෝගේ ඔයුකිගේ අවතාරය කියන චිත්‍රය මතිනුයි. 


මේ චිත්‍රයේ ජපන් නම, යූරෙයිසු: ඔයුකි නො මබොරොෂි. මේ නමේ ඉංග්‍රීසි අරුත ඔයුකිගේ හොල්මන/Ghost of Oyuki  වුණත්, එතනින් එහාට ගිය අරුතක් මෙහි ජපන් නමේ ඇතුලත් වෙන්වා. සිංහලෙන් මේ ජපන් නමේ අරුත, 'අඳුරු ආත්මයක චිත්‍රය: ඔයුකිගේ දර්ශනය වීම', කියලා අපට ගන්න පුලුවන්. 

අතීත කතාවලට අනුව නම්, මේ තරුණ චිත්‍ර ශිල්පියාට ඔයුකි කියන තරුණියක් එක්ක පෙම් පළහිලව්වක් තිබිලා තියෙනවා. විස්තරේට අනුව ඔයුකි කියන්නේ ගේෂාවක්. මේ ගේෂාව තරුණ කාලයේදීම මියගොස් තිබෙනවා. මේ මිය යෑම කෙසේ වූවාද යන්න ගැන සඳහන් නැහැ. ඔයුකිගේ මියයෑම ගැන චිත්‍ර ශිල්පියා ඉතාම කම්පාවට පත්වුණාලු.

ඉතින් මේ විදියට කම්පාවෙන් සිටි චිත්‍ර ශිල්පියා දිනක් නින්දට වැටී සිටි වේලාවක, හදිසියේම අවදි වූවාලු. එහෙම අවදි වූ විට එයාගේ හිසට උඩින් ඔයුකිගේ අපහැදිලි රුවක ඡායාවක් කැරකෙමින් සිටියාලු. තත්පර කිහිපයක් පෙනී සිටපු ඔයුකි, එක විටම නොපෙනී ගියාලු. දඩිබිඩි ගාලා ඇඳෙන් බැහැ ගත්තු චිත්‍ර ශිල්පියා, තමන් දුටුව දර්ශනය ඒ විදියටම චිත්‍රයට නැගුවාලු. 

මුරයාමා ඕක්යෝ චිත්‍ර ශිල්පියා Naturalistic Artist කෙනෙක් විදියට තමයි ජපානයේ ප්‍රසිද්ධියට පත්වෙලා තිබුණේ. ඒ කියන්නේ, මුරයාමා යමක් ඇන්ඳොත්, ඒක ඇති සැටියෙන්ම අඳින බවට ජපනුන් දැඩිව විශ්වාස කළා. ඉතින් එදා ඉඳන් ජපනුන් මේ චිත්‍රයට දැඩි සේ ගෞරව කලා සේම හොල්මනක් නම් මේ විදිහයි කියා දැඩිව විශ්වාස කළා. 


නූතන ජපන් හොල්මන් චිත්‍රපට භයානක ඒවා වුණත් කයිදන්කයි වල ඇතුලත් බොහොමයක් කතා ඒ වගේ ත්‍රාසජනක ඒවා නොවෙයි. ඒ වගේ තව එක් දුක්බර හොල්මන් කතාවක් තමයි මේකත්.

ඔන්න එකෝමත් එක කාලෙක සමුරායි කෙනෙක්, දුර ඈත ගමකට ගියාලු එහේ පාලන කටයුතු කරන්න. ඒ ගමනේදී ඔහු ඔහුගේ බිරිය ගෙන යන්නේ නැහැ. අලුත් ගමට ගිය සමුරායිවරයා, එහෙන් අලුත් බිරියක් විවාහ කරගන්නවා. තමගේ රාජකාරි කාලය ඉවර වුනු පසු සමුරායිවරයා ආපිට තමන්ගේ ගම් පලාතට එනවා. තමන්ගේ පැරනි බිරිය මතක්වෙන සමුරායිවරයා, එයාගේ පරන නිවසට ගොඩ වදිනවා.

ඒ සරත් සමයේ එක් රාත්‍රියක්. නිසල අහසේ සඳ බබලමින් තිබෙනවා. ලා සඳ එළියක් නිවසේ කවුළු වලින් නිවස තුලට වැටී තිබෙනවා. සමුරායිවරයාගේ දොරකඩ ඔහුගේ පැරණි බිරිය වාඩිවී සිටිනවා. තමන් අතහැර දැමුවාට පැරණි බිරිය ඔහුට බැණ වදින්නේවත්, රණ්ඩුසරුවල් කරන්නේවත් නැහැ. ඈ නිහඬව සමුරායිවරයා පිළිගන්නවා.

මෙයින් ඉතාම සංවේගයට පත් සමුරායිවරයා ඇයව යළි කිසිදු දිනක හැර නොයන බවට පොරොන්දු වෙනවා. ඔහුත් සිය පැරණි බිරිය අසලින් හිඳගෙන ඇයව තුරුලු කරගෙන නින්දට වැටෙනවා. 

පසුවදා උදෑසන අවදිවෙන සමුරායිවරයා තමන්ගේ ගරාවැටුණු නිවස දකිනවා. තමන්ගේ උකුළ මත මිය ගිය සිරුරක ඇටකටු කූඩුවක් වැතිරී සිටිනවා. ඉතාම භීතියට පත්වුණු සමුරායිවරය ගෙදරින් පැනලා දුවන්වා. අතරමගදී හමුවුණු කෙනෙකුගෙන් සමුරායිවරයා අහනවා අර නිවසේ හිටපු කාතාව කොහේදැයි කියා.

"ආ..ඒ කාන්තාවගේ සැමියා ඇයව දමා ගියා. ඇය බොහෝ කල් සිය සැමියා එනකම් මගබලාගෙන සිටියා. ඇය ඉතාම ශෝකයට පත්වී අන්තිමේදී ඇයට සාංකාව හැදුණා. මේ සරත් සමයේදී ඈ දුකින්ම මිය ගියා. ඇගේ මිනිය වල දමන්නට හෝ ඇයට අවමංගල්‍ය උත්සවයක් පවත්වන්නට කවුරුවත් නැහැ. මේ සරත් සමය පුරාවට ඇගේ මිනිය ඔය නිවසේ තිබෙනවා." ඔහු සමුරායිවරයාට කිව්වා. 


අඳ තරුණියගේ අවතාරය කතාව නම් ටිකක් මීට වඩා දරුණු කතාවක්. ඔන්න එකෝමත් එක කාලයක, තවත් එක් සමුරායිවරයෙක් මොකද්දෝ වැඩකට දුර පළාතකට ගමනක් ගියාලු. ඔය ගමනේදී ඔහු එක්තරා ලැගුම්හලක නවාතැන් ගත්තාලු. ඔහු තමන්ගේ කාමරයෙහි ගිමන් හරිමින් සිටිනකොට ඔහුට යාබද කාමරයෙන් ඉතාම මිහිරි කටහඬක් ඇසෙනවාලු. මේ ඉතාමත් මිහිරි කටහඬ අසා සිටින සමුරායිවරයා, මේ හඬට ලොබ බැඳී මේ කටහඬ පැමිණෙන කාමරයට ඇතුල්වෙනවා. මේ මිහිරි කටහඬ අයත් විය යුත්තේ එවැනිම සුන්දර කාන්තාවකට යැයි සිතන සමුරායිවරයා, කාමරයට කඩාවැදී, මේ ගී ගයන කාන්තාව දූෂණයට ලක්කරනවාලු. හැබැයි පුදුමයකට වගේ, මේ කාන්තාවගෙන් සමුරායිවරයාට කිසිම විරෝධයක් එල්ල වෙන්නේ නැතිලු.

උදේ අවදිවුණාම තමයි සමුරායිවරයාට දෙලෝ රත් වෙන්නේ. තමන් ලඟ වැතිරී සිටින මිහිරි ගී ගැයූ කාන්තාව ඉතාම අවලක්ෂණ අන්ධ කාන්තාවක් බව ඔහු දැනගන්නේ ඒ වේලාවේදීයි.

අවලක්ෂණ අන්ධ කාන්තාව අන්තිමේදී තමන්ගේ සත්‍ය ප්‍රේමය මුණගැසුණා කියා සිතාගෙන ඔහුත් සමග එන්න ඇවිටිලි කලාලු.

මේ කපටි සමුරායිවරයා, මේ කාන්තාව කැටුව යන අතරතුරේදී ඇයව කන්දක් පහළට තල්ලු කරලා මරා දමනවා. දැන් ඉතින් ඔන්න මගේ ප්‍රශ්නය ඉවරයි කියලා හිතාගෙන සමුරායිවරයා තමන්ගේ ගමට යන්න පිටත් වෙනවා. 

කාලයක් ගතවුණාට පස්සෙ, මේ සමුරායිවරයාට ආපිට අර අඳ තරුණිය මුණගැහුණු ගම්පලාතට යන්න වෙනවා. පුරුදු විදියටම එදා ගමනේ රාත්‍රිය ගත කරන්නට සමුරායිවරයා ගිමන්හලකට යනවා. නමුත් එයාට වැඩි වෙලාවක් ගිමන් හරින්නට නම් වෙලාවක් ලැබෙන්නේ නෑ. එක පාරටම ඔහුගේ ඇඳ ඉද්දරින්, ඔහු මරා දැමූ අඳ තරුණියගේ අවතාරය මතුවෙනවා.

"උඹ මාව රවටා මරා දැම්මා නේද?" කෝපයට පත්ව සිටි අවතාරය විමසා සිටියා.

අද නම් උඹට මගෙන් ගැලවීමක නැහැ, එහෙම කියූ අවතාරය සමුරායිවරයාගේ කකුල් දෙකෙන් ඇදගෙන යන්න පටන්ගත්තා. සමුරායිවරයා බේරෙන්න උත්සහ කලත්, ඔහුට ගැලවිල්ලක් නම් ලැබුනේ නැහැ.

අවතාරය සමුරායිවරයාවත් ඇදගෙන සොහොන් බිමක් වෙත ආවා. එක් සොහොන් කොතක් ලඟ නතර වුණු ඇය, සමුරායිවරයා දෙස බලා දත් විලිස්සා සිනාසුණා. ඔහුගේ ශරීරය බදා ගත් ඇය ඔහුවත් ඇදගෙනම ඇගේ මිනී වලට පැන්නා. එදා ඉඳන් කාටවත් සමුරායිවරයාව දකින්නට ලැබුනේ නැහැ.