Thursday, June 30, 2016

චීන නරි

ලබු කිරිබත් කාපු නරි හාමිගේ පටන් ගමරාළගේ දෝණියැන්දාව සහේට ගන්න ආපු නරි නයිදෙත්, මිදි කඩාගන්න බැරිවුණු  ඊසොප්ගේ නරිහාමි ගැනත්, ඒ විතරක්ය, සුවාදීන රූපවාහිනියේ ගියපු සුදු පුංචා පප්ට් ශෝ එකේ හිටපු 'එක පොතකට බුක් නම් පොත් දෙකට දෙබුක්' කියපු නරිහාමි ගැනත්  හැමෝටම මතක ඇතිනේ. ඔය සේරෝමලා අපට ලංකාවේ පාරතොටේ මුණුගැහෙන නරි නෙව. ඉතින් මීට වඩා ටිකක් වෙනස් නරි ටිකක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නෙ. මෙයාලා නිකම්ම නිකම් නරි නෙමෙයි, චීන නරි.
චීන ජනකතාවේ ජනප්‍රියම චරිතයක් තමයි නරියා කියන්නේ. චීනයේ මේ නරි ආභාෂය අතීතයේදිම ජපානයටත් කොරියාවටත් ලැබිලා තියනවා. ඒ නිසා මේ රටවල තුනේම ජනශ්‍රැතිකරණය වුණු නරි පෝලිමක් ඉන්නවා. මෙයැයිලාට නරි නරි කිව්වාට ඇත්තටම ගත්තොත් නම් මෙයැයිලා බවලත් නරිච්චියෝ. ඕං ඉතින් මෙච්චරෝ වෙලා කම්මැලිකමේ පෝස්ටුව කියෝ කියෝ හිටි සමහර කස්ටිය අලුතින් ලැබුණාවූ ඊස්ට්‍රජන් ඩෝස් එකෙන් කුල්මත් වෙලා ඉතිරි හෑල්ලත් කියෝලා දාන්ට හිත හදා ගන්න බව පේනවා මට මගේ ලැප්පොට් අඳුනෙන්. බලාන ගියාම ඒකෙත් වරදක් නෑ, මොකොදැ මෙයැයිලා හරි අපූරු චීන නරිච්චියෝ ටිකක් තමයි. 
චීන ජනශ්‍රැතියට අනුව නරියාට ඉතා දීර්ඝ ආයු කාලයක් හෙවත් hu-li එකක් තිබුණා.  නරියාගේ ආයු කාලය වසර 800-1000 පමණ දිගු වන බවත්, සමහරක් වෙලාවට අමරණීයත්වය වුවත් උදා කරගන්න ඌට පුළුවන්කම තිබෙනවා කියලා චීන ජනතාව විශ්වාස කළා. ඒ වගේම යින් සහ යැන් වලින් ජීවයේ ස්ත්‍රී පාර්ශවය ලෙස සැලකෙන යින් කොටස නරියා තුල වැඩියෙන් පවතින බවත් ඔවුන් විශ්වාස කළා. මේ නිසා නරි සඳහා විවිධ පන්සල් සහ වෙනත් සිද්ධස්ථාන පවා ඔවුන් විසින් ඉදිකෙරුණා. නරියාගේ තිබුණු නිශාචර ගතිගුණ සලකා බලා පැරණි චීන ජනයා විශ්වාස කලා යින් කොටසින් පිරි නරින්ට රාත්‍රී කාලයේදී සිය වෙස් මාරු කරගෙන සුන්දර කාන්තාවන් බවට පත් වෙන්න හැකියාවක් තිබෙන බව.ඒ වගේම නරින්ගේ ශරීරයේ ඇති යින් නම් ස්ත්‍රී කොටස යැන් කොටස සහ සමබර කරගැනීමේ අවශ්‍යතාව, එසේත් නැතහොත් පිරිමි ඇසුරක අවශ්‍යතාව සපුරා ගැනීමටත් කාන්තාවන් බවට පත්වන නරින්ට අවශ්‍ය වූ බව විශ්වාස කෙරෙනවා.  මේ පිරිමි ඇසුර සාමාන්‍යයෙන් දෙවිදියක් වුණා. එකක් තමයි මෙම නරියන් කාන්තාවන්ගේ වෙස් ගෙන, පුරුෂයින් සමග නිදිවැදීම. අනෙක් ආකාරය නම් පරපෝෂිත ක්‍රමයක්. පැරණි චීන ගැමියන් විශ්වාස කලා මෙලෙස ගැහැණු වෙස් ගෙන පැමිණෙන නරියන් පිරිමින්ගේ හදවත් හෝ අක්මාව ආහාරයට ගන්නා බව. 
නරි සහ නරි ආත්ම පිළිබඳ ප්‍රසිද්ධ චීන කතා එකතුකරන්නෙක් තමයි පූ-සොංග්-ලින් (1640-1715) කියන පැරණි චීන උගතෙක්. මෙයා උගතා වුණාට හෙන බේබද්දාලු. හොඳ රාජ්‍ය නිලධාරියෙක් වෙන්න හැකියාව සහ දක්ෂකම තිබුණත් මෙයාගෙ මේ බේබදු ජීවිතේ නිසා ඒ අදහස අතරමග අතෑර දාන්න පූ-සොංග්-ලින්ට සිද්ධ වුණාලු. මෙයා කොහේ හරි තැබෑරුමකට හේත්තු වෙලා බොනපාට් වැඩේ කරන ගමන් එක එක මිනිස්සුන්ගෙන් නරි පිළිබඳ කතාන්තර අසමින්, ඒවා සටහන් කරගනිමින් කාලය ගතකළාලු.
චීනයේ එන පැරණිම නරි මිත්‍යා කතාවක් තමයි හොන්ග්-යු කියන්නෙ. නරියන් පිළිබඳ පැරණිම මිත්‍යා කතන්දර වලට ආවේණික රාමුවක් තිබෙනවා. භෝ විට සිදු වෙන්නේ ගැහැණු වෙස් ගත් නරියා පිරිමියෙකුගේ ජිං සොරකම් කර ගැනීම. නරියා සොරකමේ යෙදෙන මේ ජිං යන්නට පිරිමියාගේ ශුක්‍රාණුත් ඔහුගේ ජීව ශක්තියත් යන දෙකම අයත් වෙනවා. රාත්‍රී කාලයේදී පිරිමියා සමග නිදි වදින ගැහැණු වෙස් ගත් නරියා, පිරිමියාව කිහිපවරක්ම සුරතාන්තයට පමුණුවා හිමිදිරිය වන්නට මත්තෙන් පැන යනවාලු. බොහෝවිට එසේ පැන යන විට සිය සැබෑ ස්වරූපයත් පෙනීමට සලස්වනවා කියලාත් මිනිසුන් විශ්වාස කරනවා. එක්තරා ආකාරයකට මෙය One Night Stand එකක්. 
හොන්ග්-යු කතාවේ නම් මේ සාම්ප්‍රදායික ක්‍රමය ටිකක් වෙනස් වෙනවා. මේ කතාවෙහි එන නරියා අන් චරිත වගේ එක රැයකින් පැනලා යන්නේ නැහැ. මේ ගැහැණු වෙස් ගත් නරියා එම පිරිමියා වෙත සෑම රාත්‍රියකම පැමිණෙනවා. මෙම මිනිස් තරුණයාගේ පියා මේ නරි ආගමනයට විරුද්ධ වුණාම, තරුණියකගේ වෙශයෙන් ආ නරියාම මේ තරුණයාට විවාහ කරගැනීමට තරුණියක් ද සොයා දෙනවා.  කාලයක් ගතවුණාම මේ තරුණයාට නපුර ලඟා වෙනවා. ගමේ ඉන්න බලපුළුවංකාර පෝසතෙක් මේ තරුණයාගේ බිරියව පැහැරගෙන යනවා. තමන්ව දූෂණය වනවාට වඩා මිය යාම හොඳයි කියා සිතන තරුණ බිරිය, සියදිවි නසා ගන්නවා. පැහැරගැනීම සිදුකරනා බලපුළුවංකාරයාගේ හදිසි මරණයට තරුණයාව සැක කෙරෙන අතර ඔහුගේ බිලිඳු පුතාව පැමිණිලි පාර්ශවයේ පිරිස විසින් කන්දකින් පහළට විසි කරදැමෙනවා. මේ අවාසනාවන්ත තත්වයේදී තරුණයාගේ පිහිටට එන්නේ අර තරුණියකගේ වෙස් ගත් සිවලායි. කන්දෙන් පහලට විසි කල දරුවාව බේරාගන්නා සිවලා තරුණයාට පිහිට වෙනවා. කතාව අවසානයේදී සිවලාව නිරූපනය කෙරෙන්නේ පරපෝෂිතයෙකු ලෙස නෙවෙයි, ගැලවුම්කාරයෙකු ලෙසටයි. නරියාගේ චරිත නිරූපණය විවිධ ආකාරයෙන් මේ චීන ජනකතාවලදී නිරූපණය වෙනවා. විටෙක පරපෝෂිතයෙකු ලෙසටත්, විටෙක ගැලවුම්කාරයෙකු ලෙසටත්, ගණිකාවක් ලෙසටත්, අහිංසක තරුණියක,ලිංගික අප්‍රාණිකත්වයෙන් පෙලෙන පුරුෂයෙකුගේ බිරිඳ,මාමණ්ඩියගෙන් සහ නැන්දණියගෙන් අතවරයට ලක්වන ලේලියක ලෙසටත් නරියාගේ වෙස් මාරුව නිරූපනය කෙරෙනවා.  
පෝස්ටුවේ මුලින්ම කිව්වනේ චීනයේ මේ නරි ආභාෂය ජපානයටත් කොරියාවටත් ලැබුණා කියලා. ජපානයේ මෙලෙස වෙස් මාරු කරන නරියන් හඳුන්වන්නේ කිට්සුනේ කියලයි. කොරියාවේ මොවුන්ව ගුමිඕ කියලා හඳුන්වනවා. ගුමිඕ කියන්නේ වල්ගා නවයක් සහිත නරියෙකුටයි. මේ වල්ගා නවයේ ජීවිත නවයක බලය තිබෙනවා කියලා ඔවුන් විශ්වාස කරනවා. මේ ගුමිඕ නම් කොයි වෙලාවෙත් පුරුෂයෙකුගේ හදවත කාලා තමන්ගේ යින් වුවමනාව සපුරාගන්න ආසාවෙන් ඉන්න පරපෝෂිතයෙකු ලෙස තමයි නිරූපනය වෙන්නෙ. ජපානයේ කිට්සුනේ ලෙස හඳුන්වන මේ නරි-මිනිස් වෙස් මාරු කතාන්තර වල, ලිංගික සන්තර්පණය පමණක් නෙමෙයි, අඹුසැමි ප්‍රේමය, තමන් සතු කර ගත නොහැකි ප්‍රේමය වැනි මාතෘකා පිලිබඳවත් කතා කෙරෙනවා. කිට්සුනේ යන්නෙහි තේරුම එන්න, ඇවිත් මා සමග නිදිවදින්න කියන සරල තේරුමයි. 
වරක් එක් මනුශ්‍යයෙක් යහපත් බිරියක් සොයාගෙන අස්පයා පිට ගමනක් ගියාලු. අතරමගදී ඔහුට ඉතා සුන්දර තරුණියක මුනගැසුණාලු. ඔබ කොයිබක යනවාද කියා මිනිසා තරුණියගෙන් ඇසූ කල මා යහපත් ස්වාමිපුරුෂයෙකු සොයා යමි කියා ඕ පිළිතුරු දුන්නාලු. දෙදෙනාම එකිනෙකාට කැමති නිසා මිනිසා මේ තරුණියව නිවසට ගෙන ගොස් සිය බිරිඳ කර ගත්තාලු. ඉක්මනින්ම මේ තරුණිය ගැබ්බර වුණාලු. ඒ එක්කම වාගේ නිවසේ සිටිය බැල්ලද ගැබ්බර වූවාලු. මේ බැල්ල නිතරම මේ තරුණියට බුරනවා. මොකද බැල්ලට දැනෙනවා සිවලාගේ ඉව. මේ බැල්ල මරා දාන්න කියලා කීවත් සැමියා ඊට කැමති වන්නේ නැහැ. ඉතින් මාස කිහිපයකට පසු අලුත් සහලෙන් රජතුමාට වෙන් කරන සහල් පංගුව ගෙන යාමට සූදානමින් ඒවා සකසමින් හිටපු සේවකයින් වෙත මේ සිවල් බිරිය රසකැවිලි ගෙනයනවා. අසල හිටපු අර බැල්ල එක වරම මේ බිරිය දෙසට කඩා පැන ඇයව සපා කන්න හදනවා. බියට පත් වූ තරුණිය එක වරම සිවල් ස්වරූපයට හැරී වැටට උඩින් පැන යනවා. 
සිය බිරියගේ මේ වෙස් මාරුව දකින සැමියා දුකට පත්වෙනවා. මට නුඹගෙන් දරුවකු ඉන්නවා. ඒ නිසා මට නුඹව අමතක කරන්න බැහැ. ඒ නිසා සෑම රැයකම ඇවිත් මා සමග සයන් ගත වෙන්න, සැමියා කියනවා. තමන්ගේ සැබෑ ස්වරූපය හෙළිදරව් වූ පසු සිවලා ආපිට මිනිස් ඇසුරට එන්නේ නැති බව තමයි විශ්වාසය.සැමියාගේ ඉල්ලීම නිසා සිවල් බිරිය සැමදාම රාත්‍රියට සිය සැමියාගේ සයනයට එනවා. එන්න ඇවිත් නිදිවදින්න හෙවත් කිට්සුනේ කියලා මේ සිවල් බිරියට නම් තැබෙනවා. සෑම උදෑසනකම, රක්ත වර්ණ ඇඳුමකින් හැඩවුණු සිය බිරිය සෑම උදෑසනකම තමාගෙන් වෙන් වී යන සොවින් සැමියා මෙලෙස සිය බිරියට දුක් ගීයක් ගායනා කරන්නේලු. 

ප්‍රේමය මගේ 
පිරිපුන් වූ සැපත
මොහොතක එක් වීමකින් පසු
අහෝ!

යන්නට යන්නීය.

Monday, June 27, 2016

ට්‍රෝජන් යුද්ධය සහ පශ්චාත් යුධ සමය ; නන්දිකඩාල් සිට ලියමි.

ලෝකයේ ප්‍රසිද්ධම යුද්ධ අතරින් ට්‍රෝජන් යුද්ධයට හිමි වන්නේ එක්තරා ආකාරයක මායාවී සහ විභූතිමත් පිළිගැනීමක්. ඔයාලා කවුරුත් අහලා ඇතිනේ ට්‍රෝජන් අස්වයා ගැන. වසර දහයක් පුරාම ග්‍රීකයින් මොන සෙල්ලම් දැම්මත්, ට්‍රෝජන්වරුන්ව මුහුණට මුහුණ සටන් කරලා පරාජය කරන්න බැරිවෙනවා. ඔඩිසියස් කියන සටකපට රණශූරයා කපටි සැලැස්මක් හදලා ගරිල්ලා ක්‍රමයට තමයි අන්තිමට මේ මහා ට්‍රෝජන් යුද්ධය අවසාන කරන්නේ.

එතකොට දැන් මේ ට්‍රෝජන් යුද්ධය ඇත්තටම සිද්ධ වුණු දෙයක් ද? මෙහෙමයි, ලිඛිත සාහිත්‍යට අනුව ට්‍රෝජන් යුද්ධය පටන් ගත්තේ ක්‍රිස්තු පූර්ව 13 වන සියවසේදී විතර. හෙන්‍රිච් ශ්ලීමන් (Heinrich Schliemann 1822-1890) කියන පුරාවිද්‍යාඥයා මේ පුරාවෘත්තමය ට්‍රෝජන් යුද්ධය පිලිබඳ පුරාවිද්‍යාත්මක සාධක සොයා ගැනීමට යත්න දැරූ කෙනෙක්. මේ පර්යේෂණ වල ප්‍රතිඵලයක් වශයෙන්, හෙන්‍රිච් තමන්ගේ පර්යේෂණ කණ්ඩායමත් එක්ක තුර්කියේ උතුරු වෙරළ තීරය (Asia Minor) දිහාවට යනවා. එතැනදී ඔහු සොයා ගන්නවා ට්‍රෝයි කියන පුරාණ මහා බලකොටුවක් හැබෑවටම තිබිලා තියෙනවා කියලා. ට්‍රෝජන් යුද්ධයත් එක්ක බැඳී පවතින වෘතාන්ත, චරිත සහ ස්ථාන පිළිබඳව පුරාවිද්‍යාත්මක සාක්ෂි නැතැත්, එකළ මධ්‍යධරණී මුහුද ආශ්‍රිත වෙළඳ බලය තහවුරු කරගැනීම වැනි හේතූන් මත ට්‍රෝයි බලකොටුවට දරුණු ප්‍රහාර එල්ල වෙන්න ඇතැයි උපකල්පනය කිරීමට හැකියාව තිබෙනවා. මේ මහා ට්‍රෝජන් යුද්ධයට මූලික හේතුව වෙන්නෙ ට්‍රෝයි හි කුමරු පැරිස්, මෙනලස් රජතුමාගේ බිරිය වන සුරූපී හෙලනාව සමග පැනයාම කියලා තමයි පුරාවෘත්තවල සඳහන් වෙන්නෙ. හෙලනාව තමයි මිහිපිට විසූ සුන්දරම මිනිස් කාන්තාව. අර ඉංගිරීසි කියමනක් තියනවා නොවැ සෑම වරදකම පත්ලෙහි මත්පැන් හෝ ඉස්තිරියාවක් ඉන්නවාය කියලා, ඉතින් අන්න ඒ වගේ ට්‍රොජන් යුද්ධෙත් පටන්ගත්තාය කියන්නෙ ඉස්තිරියාවක් හින්දා. මම පෞද්ගලිකව ඉතාම අගය කරන නාට්‍යකරුවෙකු වන ක්‍රිස්ටොපර් මාලෝ (මෙයාගෙන් තමයි අපේ ශේක්ස්පියර් අයිය එයාගෙ නාට්‍ය වලට වස්තු බීජ හරීයට හොරකං කරගත්තාය කියන්නෙ. ඒ කතාව වෙන දවසක ඈ....) එයාගෙ අතිශය ජනප්‍රියම නාට්‍ය වන දොස්තර ෆෝස්ටස් නාට්‍යයෙහි ට්‍රෝයි හි හෙලනාව හඳුන්වන්නේ දහසක් නෞකා දියත් කරවූ ඒ සෝබමාන වතකමල කියලායි. (Was this the face that launch'd a thousand ships, / and burnt the topless towers of Ilium.\ Doctor Faustus, Act V, Scene I.\

නමුත් ඉතින් මේ කතන්දරයේ නිදාන කතාව හොයාගෙන ගියෝතින් ට්‍රෝයිහි පැරිස් කුමාරයා හෙලනාවත් අරගෙන පැනලා ගියේ ඇයි කියලා දැනගන්න අපට පුළුවන්. ඔලිම්පසයේ පැවැත්වූ එක්තරා සාදයකට අසමගියට අධිපති දෙවඟනට හැර අන් සියලුම දෙනාට ආරාධනා කළාලු. මේකෙන් කෝපයට පත් මේ අනාරාධිත දෙවඟන සාදයේ භෝජන මේසය මතට "මෙහි සිටිනා සුන්දරම තැනැත්තියට" යැයි සඳහන් කළ ඇපල් ගෙඩියක් විසි කළාලු. මේ ඇපල් ගෙඩිය තමාට කියලා ඇතීනාත්, ඇෆ්‍රොඩයිටිත්, හේරාත් සිතුවාලු. මේ තුන්දෙනාගේ ගැටුම විසඳන්න තීරණය ලබා දෙන්න සිදුවෙන්නෙ ට්‍රෝයි හි පැරිස්ට. ඇතීනා දෙවඟන ඔහුට ඥාන සම්පත්තියත්, හේරා සැපවත් විවාහ ජීවිතයකුත් ඇෆ්‍රොඩයිටි ඔහුට ලොව සුන්දරම කාන්තාවත් ලබා දෙන්න පොරොන්දු වෙනවා මේ ඇපල් ගෙඩිය තමන් වෙත ලබා දුන්නොත්. පැරිස් කුමාරයා ඇපල් ගෙඩිය දෙන්නෙ ඇෆ්‍රොඩයිටිට.ලෝකයේ සුන්දරම කාන්තාව වෙන්නෙ දැනටමත් මෙනලස් රජුත් එක්ක විවාහ වෙලා ඉන්න හෙලනාව. ඇෆ්‍රොඩයිටිගේ උදව්වෙන් තමයි පැරිස් කුමාරයාට හෙලනාව අරගෙන ට්‍රෝයි නුවරට පැනලා යන්න පුලුවන් වෙන්නෙ. මේ පළිය ගන්න තමයි මෙනල්ස් රජතුමාගේ සහෝදරයා අගමෙම්නොන් ප්‍රමුඛ අකීලීස, ඒජැක්ස සහ ඔඩිසියස් වැනි රණශූරයින්ගෙන් යුතු 100,000 ක ග්‍රීකයන් පිරිසක් ට්‍රෝයි නුවර බලා යාත්‍රා කළා කියන්නෙ. 

ඔන්න ඔහොම පටන්ගත්තු ට්‍රෝජන් යුද්ධය පිළිබඳ විස්තර අපට දැනගන්න ලැබෙන ප්‍රධානම මූලාශ්‍රය වන්නේ හෝමර් (ක්‍රි.පූ.750) විසින් ලියන ලද ඉලියඩ් සහ ඔඩිසි යන වීර කාව්‍ය ග්‍රන්ථ දෙකයි. හෝමර් ට්‍රෝජන් යුද්ධය ගැන ලියන්නේ ක්‍රි.පූ. අට වන සියවසේදීයි. ඒ කියන්නේ ට්‍රෝජන් යුද්ධය අවසන් වී වසර පන්සීයකට පසු තමයි මේ යුද්ධය ගැන හෝමර් ලියන්නේ.  එහෙනම් හෝමර් මේ ලියන්නේ ග්‍රීකයින්ට තමන් ට්‍රෝජන් යුද්ධයේදී  සිදු කළ, හැසිරුණු ආකාරය සහ ඔවුන් ඒ පිළිබඳ සිතන දේවලුයි. හෝමර් පශ්චාත් යුධ සමයක සිට ලියන ඉලියඩ් වීර කාව්‍ය ඇරඹෙන්නේ rage (කෝපයෙන් වියරු වැටීම) කියන වචනයෙන්. යුද්ධය විස්තර කිරීමේ ප්‍රධානතම වචනය ලෙස ඔහු යොදාගන්නා rage කියන වචනය මුළු යුද්ධයටම පොදු කාරණයක් වෙනවා.කතාව ආරම්භයේදීම ඔහු  පෙන්වා සිටින්නේ අකීලීස සහ අගමෙම්නොන් අතර ඇතිවන බහින්බස් වීමක් නිසා අකීලීසගේ සිතෙහි ඇති වන ක්‍රෝධය පිළිබඳවයි. අකීලීසගේ මෙම අසාධාරණ කෝපය, යුධ අවසානයේදී ග්‍රීකයන් ට්‍රෝජානුවන් මත පතිත කරන ක්‍රෝධය හා සමාන කරමින් එය ගර්හාවෙන් යුතුව හෝමර් හෙළා දකිනවා. ඒ විතරක් නෙවෙයි, හෝමර්ගේ අදහස නම් මධ්‍යධරණී මුහුදේ සිය බලය තහවුරු කරගැනීමේ අටියෙන් ග්‍රීකයන් හෙලන්ගේ සිදුවීම පිට දමා මේ ආක්‍රමණය කළ බවයි. මෙතැනදී හෝමර් පෙන්වා දෙනවා ඇත්තේ දේශපාලන සහ යුධ බලය සහිත ප්‍රතිරූපයන්ගේ ක්‍රියාකාරකම් නිසා සාමාන්‍ය සිවිල් ජනතාවට විඳීමට සිදුවන ගැහැට. මොකද මහා ජන සංහාරයක් වන මේ යුද්ධයට හේතුව වන්නේ රජ පවුල් දෙකක ගෞරවය පිළිබඳ කාරණාවක්. 

ට්‍රෝජන් අස්වයාගේ මාර්ගයෙන් ට්‍රෝයි නුවරට ඇතුල් වෙන ග්‍රීක හමුදාව නිදා සිටින අසරණ සිවිල් පුරවැසියන් සමූල ඝාතනය කරනවා. මුළු නගරයම ගිනි තබා විනාශ කරනවා. හෝමර් සිය කාව්‍යයෙන් පෙන්වා දෙනවා ග්‍රීකයෙකු ලෙස වුවත් සාධාරණීකරණය කළ නොහැකි ආකාරයට ග්‍රීකයින් ට්‍රෝජන්වරුන්ට හිංසා කළ බව. ඔහු කිසි විටෙකවත් එය යුද්ධයේ සාමාන්‍ය සොභාවයක් යැයි කියමින් ග්‍රීකයින්ව සාධාරණීකරණය කරන්නට යන්නේ නැහැ. ඔහු විස්තර කරනවා ග්‍රීක රණශූරයෙකු වන ඒජැක්ස, කැසෙන්ද්‍රා කුමරිය ඇතීනාගේ දෙවොලේ දී දූෂණය කරන ලද ආකාරය. දූෂණයෙන් පසුව ඇයව අගමෙම්නොන් රජුට යුධ ජයග්‍රහණයේ ත්‍යාගයක් ලෙස ලබා දෙනවා. වීර ට්‍රෝජානුවකු වන හෙක්ටර්ගේ බිරිය නෙප්තොලමියුස් රජුට ලබාදෙනවා. ප්‍රියම් රජුගේ බිරිය ඔඩිසියස් හට ලබා දෙනවා. යුධ අවසානයකදී පෙළපත තරාතිරම නොබලා කාන්තාවන් යුධ ජයග්‍රහණයේ කෙළිබඩු ලෙස අතින් අතට මාරු වීම, ලිංගික අතවරයට සහ දූෂණයට ලක් වීම යන කරුණු හෝමර් සිය වීර කාව්‍ය ඔස්සේ මනාව පිළිබිඹු කරනවා. ඒ විතරක් නොවෙයි, වීර හෙක්ටර් කුමරුගේ පුත්‍ර ඇස්තියානස් නම් බිළිඳාව ට්‍රෝයි බලකොටුවේ පවුරෙන් එපිටට විසි කර මරා දමනවා. හෝමර් මෙය ඉතාමත් පිළිකුලෙන් හෙළා දකිනවා. පොලිසිනා කුමරියව අකීලීසගේ සොහොන මත ඔහු වෙනුවෙන් බිලි දෙනවා. යුද්ධයක දරුණු අවසානය එහි පශ්චාත් සමයක වෙසෙන හෝමර් කවියා විස්තර කරන්නේ මේ ආකාරයට. 

හෝමර් ග්‍රීකයින් කළ මේ සංහාරය පිළිකුලෙන් යුතුව ප්‍රකාශ කරත් දී මට හිතුණේ මේ ලෝකයේ සෑම යුද්ධයකම අවසානය මෙය නොවේද කියලා. ලෝක යුද්ධයේ දීත්, කුරුස යුද්ධයේ දීත්, බ්‍රිතාන්‍යන් අධිරාජ්‍ය පැතිරවීමේ දීත්, සාර් රජ සමයේදීත්,ඇමරිකානු සිවිල් යුද්ධයේදීත්, ඉරාකය ආක්‍රමණයේදීත්, ඇෆ්ගනිස්ථානය ආක්‍රමණයේදීත්, නන්දිකඩාල් කලපුවේදීත් ඇතුලු සියළු යුද්ධයන්හි අවසානය මෙය නොවේද කියලා මම කල්පනා කළා. හෝමර් චරිත වලින් පණ පොවන සෑම හිංසනයක්ම, අතවරයක්ම සහ ඝාතනයක්ම යුද්ධයකට සම්බන්ධ වන සෑම පාර්ශවයක් විසින්ම සිදු කරනවා.මට හෝමර්ගෙන් සහ ඔහු නියෝජනය කරන ග්‍රීකයන්ගෙන් ලබා ගන්න තියන වැදගත්ම ආදර්ශය වෙන්නෙ අප යුද්ධයේදී අයත් වන්නේ කුමන පාර්ශවයට වුවද, යුද්ධයේ දී සිදුවන කිසිවක් අප සාධාරණීකරණය නොකළ යුතු බවයි. ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයෙක් වන්නට පුළුවන්. නමුත් හෝමර් වැනි සාධාරණ ලියන්නෙකු නම්, ඔහු යුද්ධය පිළිබඳ සැබෑ තතු ලියනවා මිස ජයග්‍රාහකයා පිළිබඳ නොලියනු ඇත. උදම් අනනවා වෙනුවට විවේචනයක් කරනු ඇත. නන්දිකඩාල් වලට හෝමර්ලා අවශ්‍ය ය. ඇමරිකාවට හෝමර්ලා අවශ්‍ය ය. මානව සංහතියේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් ලෝකයටම තව බොහෝ හෝමර් ලා අවශ්‍ය ය. 

Friday, June 24, 2016

සන් වූ කොන්ග් අපරදිගට ගිය ගමන (iii)

*ඕං මුලින්ම කිව්වා මේකෙ බරසාර විචාරයක් එහෙම නෑ. රජ වානරයාගේ අපරදිගට ගිය ගමනේ දී සිද්ධ වුණු සිද්ධි ගැන විතරයි ඇතුලත් වෙලා තියෙන්නෙ. කතන්දර කියවන්නන් සඳහා පමණයි!  

මායා මුගුරත් හොරාකාගත්තු රජ වානරයා කලින්ටත් වඩා එක එක මගෝඩි නටන්න පටන්ගත්තා. අර අපි පොඩි කාලෙ පන්තියේ දඟ ළමයි ගැන ටීචර්ට පැමිණිලි කරනවා වගේ මේ අමරණීය මැර වානරයා ගැන වටපිටාවේ කට්ටියම දෙව්ලොව විසූ ජේඩ් අධිරාජ්‍යා වෙත පැමිණිලි කරන්න පටන් ගත්තා. ලොං-වැං මුහුදු මකරුන් වඳුරු තඩියා තමන්ට අපහාස කළ බවටත් තමන්ගෙන් හොරා කෑ බවටත් ජේඩ් අධිරාජ්‍යාට පැමිණිලි කිව්වා. ඊලඟට දුක්ගැනවිලි කිව්වෙ යෙං-ලෝ-වැං. එයා තමයි අපායෙ රජ්ජුරුවෝ. අර කාලකන්නි වඳුරා මගේ අපායේ සේරම රාජකාරි අවුල් කරලා, යෙං-ලෝ-වැං මැසිවිලි කිව්වා. අපායේ තියනවාලු එක ලෙජරයක්. මේ ලෙජරයේ අමරණීය නොවන සියලුම දෙනාගේ ආයු කාලය සඳහන් වෙලා තියනවාලු. මේ ලෙජරයට අනුව සන් වූ කොන්ග්ගේ ආයු කාලයත් ඉවර වෙන්න කිට්ටු හන්දා, මල් හා පළතුරු කන්දේ ටිකක් ඇලවෙලා නිදාගෙන හිටපු සන් වූ කොන්ග්ව අපායේ යමපල්ලෝ ගිහිල්ලා අපායට කුදලාගෙන ආවා. අවුරුදු ගණනාවක් දුක් විඳලා විඳලා තාඕ සාස්තරයත් උගෙනගෙන අමරණීය භාවය ලඟා කරගෙන හිටපු රජ වානරයාට, මේ ආකාරයට තමන්ගේ ආත්මය අපායට කුදලාගෙන ඒම පිළිබඳ පුදුමාකාර කේන්තියක් ආවා. තමන්ගේ කනතුරෙහි සඟවාගෙන සිටි මායාකාර මුගුර එළියට අරගත්තා. මෙතෙක් වේලා ඉඳිකටුවක් තරම් කුඩා වෙලා තිබුණු මායාකාර මුගුර මගා දැවැන්ත මුගුරක් බවට පත් වුණා. මේක ටිකක එහාට මෙහාට වනලා, තමන් ඉගෙන ගත්තු සටන් ක්‍රම වලින් කීපයක් පෙන්වපුවාම අනේ අර අසරණ යමපල්ලෝ ටික හොඳටෝම බය වෙලා. යමපල්ලො ටික බය කරගත්තු රජ වානරයා වැරදියට දත්ත එක්කාසු කරලා තියන ලෙජරය වහාම තමන් වෙත ගෙන එන්න කියලා යමපල්ලන්ට අණ කරනවා. ඉතින් අනේ අර බිරන්තට්ටු වෙච්චි යමපල්ලෝ ටික අපායේ ලෙජරට මේ වඳුරු තඩියාට ගෙනැවිත් දෙනවා. බොහොම කේන්තියෙන් ලෙජරය අතට ගත්තු රජ වානරයා වහාම ඉන් තමන්ගේ නම කපා හරිනවා. ඒ විතරක් නම් බැරියැ, මේ ඇට්ටරයා, ලෙජරයේ සටහන් කර තිබුනු මනුතලයේ හිටපු වඳුරු සංහතියේම නම් ටික කපා දානවා! මේ වඳුරු තඩියාගේ වැඩ නිසා දැන් මගේ අපයට එන පිරිසත් හුඟක් අඩුවෙලා ගිහින්,  යෙං-ලෝ-වැං කංකෙඳිරි ගානවා. 
මේ පැමිණිල්ල අහගෙන හිටපු අධිරාජ්‍යයාගේ උපදේශකයා කල්පනා කළා වැඩේ ගොඩින් බේරගත්තොත් තමයි හොඳ කියලා. මොකද සටනක් දීලා මහා විනාසෙකුත් ලැජ්ජාවකුත් කරලා මිසක මේ රජ වානරයාව දෙව්ලොවට කුදලාගෙන එන එක නම් ලේසි වෙන එකක් නැති බව මේ උපදේශකයාට තේරුම් ගිහිනුයි තිබුණේ. ඉතින් මේ රජ වානරයාව උප්පරවැට්ටියෙන් රවටන්න හිතාගෙන උපදශකයා ජේඩ් අධිරාජ්‍යාට උපායක් කියලා දෙනවා. මේ අනුව ජේඩ් අධිරාජ්‍යයා සන් වූ කොන්ග්ට පණිවිඩයක් යවනවා දෙව්ලොව "දිවමය අස්වයින්ගේ මහා භාරකාරයා" බවට ඇති තානාන්තරය භාරගන්න එන්න කියලා. එතකොට මේ දඩබ්බරයා දිහා ඇහැ ගහගෙන ඉන්න පුළුවන්නෙ. 
රජ වානරයත් හරි මාන්නෙ නිසා මේ උප්පරවැට්ටියට එයා අහුවෙනවා. හැබැයි වැඩි කාලෙකට නෙමෙයි, එක දවසයි. රජ වානර බොහොම සන්තෝශෙන් තමනුත් දැන් දෙවියෙක් කියලා හිතාගෙන දෙව්ලොව සවාරියක් ගහනකොට දැනගන්නවා අධිරාජයාගෙ අස්පයින්ගේ මහාභාරකාරයා කිව්වාට, එයා හැබෑවටම නිකම්ම නිකම් අස්පයො බඳින ගොපල්ලෙක් ගාණට තමයි දෙව්ලොව උදවිය තමන්ට සලකන්නෙ කියලා. බොහොම සැරේට කෙන්ති ගන්න රජ වානරයා තමන්ගෙ පට්ටම අතහැරලා ආපිට තමන්ගෙ රාජධානියට යනවා.යනවා විතරක් නෙවෙයි, තමන් "දෙව්ලොව සම මහා මුනිවරයා" කියලා තමාවම නම් කරගන්නවා. මේ අපහාසයට වාඩුව ගන්න හිතාගෙන යක්දෙස්සන් දඩම්කරන්නන් කිහිපදෙනෙකුත්, නෙස්සා නම් දේව දරුවාත් මනු ලොව වෙත යැව්වුත්, මහා බලැති රජ වානරගේ සෙල්ලම් වලට ඒ කවුරුත් යට වෙනවා. ආයෙමත් කපටිකමින් වානරයාව මට්ටු කරන්න හදන රාජ උපදේශකයා, ආයෙමත් අලුත් පට්ටමකුත් දීලා රජ වානර ගෙන්නවා ගත්තා. "අමරණීය පීච් උයනේ මහා භාරකාරයා" තමයි මේ අලුත් පට්ටමේ නම. මේ පට්ටමත් අරගෙන මෙයා ඊළඟට අල්ලන අඩව්ව ඊලඟ පෝස්ටුවෙන් කියවමු. 

Thursday, June 23, 2016

අත්තම්මාගේ රස කතා - කාබෙරියන් දැකීම

පාන්දර හතරේ කණිසමට අවදි වෙන අත්තම්මා මල්ලීට බත් ගෙඩියක් බඳින්නට හොදි මාළු උයයි. මාළු තුනක්වත් බතට නොතිබ්බෝතින් එදාට අත්තම්මාගේ හිතට හොඳ මදිය. අපි පැය ගාණකට උයන ටික ඕ පැය බාගෙකින් පමණ උයා අහවර කරයි. සමහරදාක ඈ උයන්නේ දර ලිපේ ය.අම්මාගේ ගෝරියෙන් බේරෙන්නට බැරිකමට ඈ දැන් වැඩිපුර උයන්නේ ගෑස් ලිපේය. ගෙදර කවුරුකවුරුත් නිදා සිටින අල්ලපනල්ලේ පහළ මඩුවෙන් දර අදින්නට යාම නිසා අම්මා අත්තම්මා සමග ගෝරි අල්ලන්නීය. එදාට ගෙදර ලෝක යුද්ධෙකටත් හපන්ය. 
පාන්දර නිදිමරගාතේ අපි නැගිටගන්නා විට අත්තම්මා උදේට උයා මල්ලීව ද පිටත් කර හමාරය. කුස්සිය අතුගානා ගමන් ඕ අපට තේ හදයි. උදේට කිරි බොන්න හොඳ නෑ අත්තම්මේ'යි කීවද ඇගේ පදමට රහ කහට කිරි කෝප්පයෙන් බේරීම බොරුය. හාන්සි පුටුවට වැටී කබ කඩන ඩිංගට ඕ කිරි කෝප්පය අපේ අතේ තබයි. උඹලා බඩ පිරෙන්න බත් කනටකොට තමා මගේ බඩ පිරෙන්නෙ, අත්තම්මා කියයි. හදිස්සියකටවත් ගෙදර කාටවත් ඩයට් කිරීම උගහටය. අනේ උඹේ කෑම පාලනේ, ගිහින් අන්න කොච්චි එක්ක කරෝල තෙල් දාලා සම්බෝලයක් අඹරලා ඇති බෙදාගෙන කාපන්, ඇය කියයි. කනකම්ම අත්තම්මාගෙන් බේරිල්ලක් නැතිය.  අත්තම්මාගේ රහේ බැරි කරෝල බැදුම එක්ක බත් පිඟන් දෙක තුනක් ඇඹරීම අපට ද මහ කාරියක නොවේය. 

යුද්දෙ කාලෙ පුතේ සුද්දො ලංකාවට අරං ආවා කාබෙරි කියලා ජාතියක්, අපි බත් ගිලින අතරේ ඇය කියයි. බුදු අප්පේ උංගේ විසාල. අඩි හතකට වැඩි මිසක් අඩු නෑ මයෙ හිතේ. උංගේ තියෙන්නෙ බරි තොල්. කටවල් කන් ලඟටම දිගයි. උංගෙ තොල් මේං මේ කොස්සෙ මිට විතර ඇති මහතයි. එව්වා උන්ගේ නිකටවල ගෑවෙනවා. ඒ විතරක්යැ, උංගෙ කළු! කළුම කළුයි. මිනිස්සු කියනවා උන්ගෙන් සමහරක් මිනී කනවාය කියලා. 
ඒ කාලෙ මයෙ වයස අවුරුදු දොළහක් විතර වෙන්ට ඇති. මායි අපේ අක්කයි අම්මයි එක්ක මං යනවා ගෙවල් අහ තිවුණ ඇලකට. ඒ කාලේ වතුර හිඟයක් නිසා ඇලේ ලිං වගේ වළවල් හාරලා තිවුණා ගම්මුන්ට නාන්ට. ඉතිං ඕං මාත් රෙදි කෑල්ලකුත් ඇඟේ ඔතාගෙන නානවා. අම්මයි අක්කයිත් නානවා. මට ඉතිං වටපිටාව ගැනත් එහෙමයි කියලා වගක් නෑනේ. මෙන්න බොලේ එක පාරටම අපෙ අක්කයි අම්මයි ඇලෙන් ගොඩට පැනලා පණ යන්ට වගේ දුවන්වා. මට හිතාගන්න බැරිවුණා මොකද වෙන්නෙ කියලා. මේ අම්මණ්ඩිලා දෙන්නාම රෙදිත් උස්සාගෙන දුවලා ගිහිල්ලා ඒ අහල තිවුණ හබරල ගාලක් අස්සට ගාල් වුණා. මොකෝ වෙන්නෙ කියලා හිතා ගන්න බැරිව උන්නු මට ඇල කණ්ඩියට ඉහළින් සර සර සද්දයක් ඇහුණා. බාගෙට නාගෙන පොල් කට්ටක් ද සෙම්බුවක්ද කොහේද අතේ තියාගෙන රෙදි කඩමල්ලක් ඇඳගෙන හිටපු මං හැරිලා බැලුවා මොකද්දෑ මේ සද්දෙ කියල. ඇත්තමයි පුතේ අල කණ්ඩිය දිහා බලපු හැටියෙ මගේ සරුවාංගෙම සීතල වෙලා ගියා. 
කළුම කළු විසාල කාබෙරියෝ තුන් දෙනෙක් ඇල කණ්ඩිය උඩට වෙලා මගේ දිහාව බලාගෙන ඉන්නවා. උංව දැක්ක හැටියේ මට දුවාගන්ටවත් සිහිපතක් තිවුණේ නෑ. කාබෙරියෝ තුන්දෙනාම අඟුරු කළුයි. සද්දන්තයි. ඒ මදිවට මැද හිටිය එකාගේ කටට අලි තඩි ඉබ්බෙක් දාලා. එහෙම කටට ඉබ්බො දාන්නෙ මිනී කන කාබෙරියො කියලා මං අහලා තිබුණා. මාව දාල දුවපු අම්මණ්ඩිලා දෙන්නාත් හබරල ගාලෙ ගුලි ගැහිලා බලාගෙන ඉන්නවා වෙව්ල වෙව්ල. මං හිටියා හිටි පයම හැලහොල්මනක් නැතුව. මට හරි බය හිතුණා උන් මාව අල්ලගනීය කියලා. මං දිහාවෙ බලාගෙනම උං ඇල කන්ඩියෙන් පහළට බැස්සා. එහා පැත්තෙ හිටිය කාබෙරියා මැද හිටිය කටේ ඉබ්බා දාලා තිබුණු කාබෙරියාට මොකද්දෝ කිව්වා. ඊට පස්සෙ උන් තුන්දෙනාම හෙමීට එහා ඇල කණ්ඩියට නැගලා ඇල ඉහළට ඇවිදගෙන ගියා. ඒ කාලෙ ඔය මාලඹේ දිහාවෙ තිබුණලු කාබෙරියෝ ගෙනහල්ලා රඳෝලා තියන කඳවුර වගේ එකක්. එකත් එකටම අර කාබෙරි තුන්දෙනා ඒකෙන් පැනලා යනවා. ඇල ඉහෙන් කාබෙරියො තුන්දෙනා පේන්නෙ නැතුව ගියාටත් පස්සෙ තමයි අර හබරල ගාලේ හැංගිලා හිටි අම්මණ්ඩිලා දෙන්නා එළියට ආවෙ ඔන්න.එදා උන් පැනලා යන ගමන් නොවෙන්ට උන් ඉන්තේරුවෙන්ම මාව කාලා දාලා, අත්තම්මා කියන්නේ සිනාසෙන ගමන්ය.  

ඇතීනාට එරෙහිව ඇතීනා

අතීතය වත්මන් ඇසින් විමසීම විටෙක කාල විරෝධී යැයි කෙනෙකු සිතන්නට පුළුවන. නුමුත් වත්මන ගොඩනැගුනුයේ අතීතය මතින්,අතීතය අතික්‍රමණය කොට, අතීතයෙන් උගෙන හෝ ඊට ප්‍රති විරෝධය පාමිනි. වත්මනෙහි යමක් ගොඩනැගී ඇත්ද එහි පාදම අතීතයෙන් අපට විමසා දැන ගත හැකි වනු ඇත. වත්මන් කාන්තාව සහ ඈ සෙවූ, සොයා යන පුද්ගල නිදහස අතීතයෙහි එය කෙසේ වීද යන්න මත තීරණය වනවා යැයි මා සිතන්නේද මේ හේතුවෙනි. ලොව පුරා වූ ප්‍රවාද, මිත්‍යා සහ වෘතාන්තයන්හි එන කාන්තා චරිත අතුරින් මා ඉතාම සිත් ගත් තැනැත්තී ප්‍රඥා සම්පත්තියට, යුධ උපක්‍රම, ශිල්ප කලාවන්ට,කලා ශිල්පයට, වීරත්වයට, අනුප්‍රාණයට, නීතිය සහ සාධාරණත්වයට අධිපති ඇතීනා ග්‍රීක දෙවඟනයි. ඕ ග්‍රීක මිත්‍යාවන්හී ඇතීනා හෝ පලාස් ඇතීනා යන නමින් විස්තර කෙරෙන අතර ඇයගේ රෝමානු මූර්තිය වන්නේ මිනර්වා නම් රෝමානු දෙවඟනයි.
අතීතයේ සාහිත්‍ය තුල හෝ වේවා ආගම තුල වේවා දේශපාලනය තුල හෝ වේවා ස්වාධීන කාන්තා නියෝජන අතිශය සීමිතය. ඇතීනා දෙවඟන, ස්වාධීන කාන්තාවක නියෝජනය කරන වග කාන්තා නිදහස අගයන්නන්ගේ ආදරයට පත්ව ඇත්තේ මෙවැනි වටපිටාවක් තුලදීය. ඇතීනා දෙවඟන වෙත කුඩා කල සිටම මා ද ඇල්මක් දැක්වූයේ එවන් ස්වායත්ත චරිත ලක්ෂණ ඇයගෙන් විද්‍යමාන වන බැවිනි. නුමුත් කලක පටන් ඇය දෙස ආපිට හැරී බලත්දී මා දකින ඇතීනාව එසේමද, එසේත් නැත්නම් ඇය මා දකින්නට ආශා කරන ස්වරූපයට වඩා වෙනස් ස්වරූපයක් සඟවාගෙන සිටින්නීද යන ගැටළුව මා අභිමුව සෙමින් ගොඩ නැගෙන්නට විය. ඇතීනාට එරෙහිව ඇතීනා ලිපියෙන් මා විමසා බැලීමට යත්න දරනුයේ එම පැනයට පිළිතුරකි. 
කවීන්ටද මූර්ති ශිල්පීන්ට ද කතන්දර කියන්නන්ටද සිත්තරුන්ට ද ඇතීනා අපූරු සංකල්ප රූප මවන්නියක වූවා ය. වචනයෙන් ද මැටියෙන් ද ඇතීනා රූපයට නගන ලද සියල්ලන්ම පාහේ සෘජුව දෙපා වලින් සිටගත්, සන්නාහයෙන් සැරසුණු,  සුරතින් හෙල්ලක් ද වමතින් මෙඩූසාගේ හිස සහිත ඊජස් නම් යුධ මෙවලමක් ද දරාගෙන , ස්වර්ණමය උර තහඩුවකින් සහ ඔලිව් කොල හැඩය ඇති යුධ හිස් ආවරණයකින් ආරක්ෂිතව නැගී සිටින යුධයෙහි ශූරියක සහ ප්‍රඥාවෙහි අග්‍ර වන්නියක ලෙස ආලේඛනය කර ඇත. 

ඇතීනා දෙවඟන රූපයෙන් සේම තාන්නමාන්නයෙන්ද ශූර ගැහැණියක වීර දෙවඟනක ලෙස මෙ නයින් අපගේ සිත් වල තැන්පත් වන්නීය. නුමුත් ඇයගේ කතාන්තරය ආරම්භයේ පටන්ම මොකක්දෝ නුහුරක්, අමුත්තක් ,ගැටළුවක් හොඳින් විමසා බලන්නකුගේ ඇසට හසුවනු ඇත. බොහෝමයක් දෙවිවරුන් සහ දේවතාවියන් මවකගේ සහ පියෙකුගේ එකතුවෙන් උත්පත්තිය ලබත්දී, ඇතීනා දෙවඟන උපත ලබන්නේ ඔලිම්පියානු මහා දෙවියා වන සියුස්ගේ හිසෙනි. එක් කතාවක, මෙම උපත ඉබේම හිසින් උත්පත්තිය ලබන බව කියැවෙන අතර, තවත් කතාවක කියැවෙන්නේ මෙතිස් නම් වූ දූරදර්ශීභාවයට අධිපති දෙවඟනට දාව සියුස් මහා දෙවියන්ට වඩා බලසම්පන්න දරුවකු බිහි කරන බවට අනාවැකි පළ කල හෙයින් මහා දෙවියා එම දෙවඟනව ගිලබත් කළ බවත්, එහි අතුරු ප්‍රථිඵලයක් ලෙස සියුස් මහා දෙවියාගේ හිසින් ඇතීනා දෙවඟන වැඩිහිටි ස්වරූපයෙන්ම බිහිවූ බවත් ය.  
එසේ නම් ඥානයට සහ යුධ උපක්‍රමය ඇතුලු බොහෝ ශිල්පයන්ට අධිපති වූ දෙවඟන ඉපදී ඇත්තේ පුරුෂ ශීර්ෂයකිනි. ඕ අස්වාභාවික යැයි කිව හැකි උපතකට හිමිකම් කියන්නේ ඇය වැන්නියක බිහිකිරීමට තරම් සමත් ගැහැණිය නොමැතියැයි කතාකාරයා විශ්වාස කළ හෙයින් ද? එවැන්නියක බිහි කළ හැක්කේ පුරුෂයෙකුට පමණක් ද? එසේ නම් ඇතීනා නම් ධීර, මහබලැති දෙවඟන පුරුෂ නිර්මාණයක් ද? ඕ නිර්වචනය කරනුයේ පුරුෂයින් ද? යන ප්‍රශ්න සමූහය, ඇතීනා දෙවඟනගේ උපත සමග ගොඩනැගේ. ඉතා සරළවම ගත් කළ වත්මන් සමාජයෙහි පවා 'සෙක්ස් ගොඩස්' ලෙස තීව්‍ර කර තිබෙන ආලයට අධිපති දෙවඟන වන ඇෆ්‍රොඩයිටිගේ ප්‍රොෆයිලය වෙනුවට ආදේශනය කිරීමට ඉතිරිව ඇති ආදර්ශමත්-මොඩලය වන ඇතීනාව බිහිවන්නේ පුරුෂ ශීර්ෂයෙනි. මෙම බිහිවීම අතීතයට හා සමානව වත්මනට ද අදාළ නොවේදැයි මට සිතීම අරුමයකැයි නොසිතමි. 
ඇතීනා දෙවඟනගේ උපත පමණක් නොව ඇගේ පැවැත්ම පුරාවටම මෙවැනි වූ ගැටුම්කාරී තත්වයන් බොහොමයක් ඇත. ඉන් එක් ජනප්‍රියම කතාන්තරයක් වන්නේ ඇරහ්නා නම් තරුණියගේ කතාවයි. ඇරහ්නා මැහුම්ගෙතුම් ඇතුලු හස්ත කර්මාන්තයට ඉතා දක්ෂ වූවාය. ඕ හස්ත කර්මාන්තයට අධිපතිනිය වන ඇතීනාටද වඩා තමා දක්ෂ වන බැව් පුරසාරම් දෙඩූ නිසා, උදහසට පත් ඇතීනාව අරහ්නිට තමා සමග තරගයකට එන ලෙස අභියෝග කළාය. එම තරගයේදී ඇතීනා දෙවඟන සිය විභූතිය ප්‍රදර්ශනය කරමින් ඔලිම්පස් කන්දේ වැඩ විසූ දෙවිදේවතාවියන් ගෙත්තම් කරමින් විචිත්‍ර ටැපැස්ට්‍රියක් නිර්මාණය කළ අතර ඇරහ්නා උපහාසාත්මක ලෙස, ඔලිම්පියානු දෙවියන්ගේ අසම්මත ගතිපැවතු, කාන්තාවන්ට සිදු කරන අතවර කිරීම් ගෙත්තමට නගමින් සිය ටැපැස්ට්‍රිය නිර්මාණය කළාය. 
ඇරැහ්නාගේ නිර්මාණයෙහි කිසිදු අඩුලුහුඩුකමක් සොයා ගත නොහී කෝපයට පත් ඇතීනාව, ඇරහ්නාගේ ටැපෑස්ට්‍රිය විනාශ කොට ඇයට අපහාස කළාය. ඉන් වේදනාවට පත් ඇරැහ්නා සිය දිවි නසාගැනීමට ගිය කළ, ඇතීනා දෙවගන විසින් මකුළුවකු බවට පත් කළ බව කියැවේ. ඇරහ්නා තමාගේ උඩඟුබවට දඬුවම් විඳි බව මින් ප්‍රකට කිරීමට යත්න දරා ඇති සේම, අතිශය පුරුෂවාදී කතාකරුවෙකු ලෙස ප්‍රකට ඕවිඩ් විසින් ලේඛනගත කොට ඇති මෙම කතාන්තරයෙන්, කාන්තාවන් ඊර්ෂියාවෙන් භරිත කොටසක් ලෙස උලුප්පා පෙන්වීමට ගෙන ඇති උත්සාහය ද කියවීමට අප අමතක නොකළ යුතුය. මෙහි අප අමතක නොකළ යුත්තක් ඇත.ඇතීනාව ඇරහ්නාගේ ටැපෑස්ට්‍රිය විනාශ කරන ලද්දේ දේශපාලනික බලය යොදාගනිමින් කාන්තාවන් අතවරයට, දූෂනයට ලක් කරමින් අයහපත් කල්ක්‍රියාවෙන් යුතුව කල් ගෙවන දෙවිවරුන් හට සිදුවන අවමානය නිසාවත් ද!මෙහි ගැබ්ව ඇති උපහාසය වනුයේ කාන්තාවන්ගේ ආදර්ශ-මොඩලයක් ලෙස රූපයට නංවන ඇතීනාව අතින්ම ඇරහ්නා වන් සුවිශේෂී කාන්තාවක සාපයට ලක්වීම සහ විවේචකයෙකු ගේ අදහස් ප්‍රකාශනයේ අයිතිය උදුරා ගැනීමත්, කාන්තාවන් හටසිදුවන අසාධාරණය ප්‍රසිද්ධියේ හෙළා දකින්නියක මර්ධනයට ලක්වීමයි. 
රූප සුන්දරියක ලෙස ප්‍රසිද්ධ මෙඩූසාටද ඇතීනා දෙවඟනගෙන් අයත් වන්නේ මෙවැනිම ඛේදනීය ඉරණමකි. ඇතීනා හට වඩා තමා රූපයෙන් අගතැන්පත් බවට මෙඩූසා වහසි දෙඩූ බව කතාන්තරයේ කියැවෙයි. නුමුත්, මෙඩූසා ඔය කියා තරම් උඩඟු වූවා නම් ඈ සිය ස්වරූපය සම කර පෙන්විය යුත්තේ ඇතීනා හට නොව, ආලයට සහ සුන්දරත්වයට අධිපති ඇෆ්‍රොඩයිටි හට විය යුතුය. එසේ නම් මෙම චෝදනාව සැබැවින්ම සත්‍යක් ද යන වග අප අසන්නෙකු ලෙස මුලින්ම කල්පනා කළ යුතුය. මෙඩූසා පිළිබඳ කතාවේ එක් අනුවාදයකට (මෙයද ඔවිඩ්ගේ රචනය ඇති සඳහනකි.) අනුව සුන්දර තරුණියක වන මෙඩූසාව වශී කරගත් සමුදුරට අධිපති පොසයිඩන් දේවතාවා ඇතීනාගේ දේවාලයේදී ඇයව දූෂණයට ලක් කළ බවයි. කාන්තාවකට අතවර කිරීම සහ ඊට දේවතාවියකගේ දේවාලයම යොදා ගැනීම මගින් ඇතීනාට අපහාස කරන ලද පොසයිඩන් දේවතාවා සමග සිය ආරවුල බේරාගැනීම පැත්තකින් තබන ඇතීනාව, සිය දේවාලය කෙලෙසීමේ වරදට මෙඩූසාව සර්ප කඳක් සහිත ගොර්ගනයෙක් බවට පත් කරයි. මෙම අරුම තීන්දුව වත්මනෙහි පවා දූෂණයට ලක්වූ කාන්තාවකට එරෙහිව පොදු සමාජය විසින් එල්ල කරනු ලබන "උඹට උඹේ ආරක්ෂාව තහවුරු කර ගන්න තිබුණා නොවේද" යන චෝදනාව, දූෂණයට ලක්වූ තරුණියක නිවසින් පන්නා දැමීම, ඇයව සමාජයේ අපහාසය ලක් වීම සහ අවසානයේදී ඇයව ගණිකාවක් බවට පත් කිරීම ආදී සියලු ඛේදනීය ප්‍රතිචාරයන් මට සිහිගන්වයි. පුරුෂ ශීර්ෂයෙන් බිහි වන ඇතීනා දෙවඟන කාන්තාවකගේ කන්‍යාභාවයට පුරුෂවාදී නිර්වචනයක් (මෙඩූසා කළාක් සේ කාන්තාවක් සිය රූපය උලුප්පමින් ඇයගේ රූප සොභාව අන්‍යන්ගේ අවධානයට යොමු නොකළ යුතුය.එසේ කළහොත් මෙඩූසා සේ දූෂණයට ලක්ව විනාශ වීමට සිදුවනු ඇත හඟවන) මෙහි දී ලබා දී නොතිබේද යන්න විමසිය යුතුමය. මන්ද මෙම තීන්දුව අද කාළේ නංගිලා බස් වල කොටට ඇඳගෙන නොයා යුතුය, ස්කිනි නොඇඳිය යුතුය හා සමාන කතන්දරයක් බව මට හැඟී යන නිසාවෙනි. එසේ නම් මෙඩූසාට මෙම තීන්දුව දෙනු ලබන්නේ ඇතීනාවමද යන්න සිතා බැලීම වටනේය. 
මෙම කතාවෙහිම එන තවත් අනුවාදයක මෙඩූසා සිය කැමැත්තෙන්ම ඇතීනාගේ දෙවොලෙහි දී පොසයිඩන් හා නිදිවදින්නීය. කතාවෙහි ඇති එකම වෙනස මෙඩූසා දූෂණය පත් නොවීම පමණකි. ඇගේ ඉරණම එසේමය. ඇතීනාගේ උදහසට ලක්වනුයේ කාන්තා පාර්ශවය පමණි. පුරුෂ පාර්ශවය බලසම්පන්න දෙවියෙකි.අවසන එයද තවත් එක් කැකිල්ලේ තීන්දුවකි.අද හන්දියේ ටවුමේද මීට වඩා ලොකු වෙනසක් ඇත්තේ නැත. හෝටල් කාමර වලට යන නංගිලා මෙඩූසලාය. පුරුෂ ශීර්ෂයෙන් උපන් ඇතීනා නම් අම්මා පොසයිඩන් පුතාව කහවතුරින් නහවා ගෙට ගන්නීය. මෙය කියවා මා හා එකඟවන්නෙකු වෙතොත් ඔබද මාද ඇරහ්නා සේ මකුළුවන් වී සාපලත් අවකාශයක සිට අකුරු ගොතමින් සිටිමු. 
ඇතීනා දෙවඟන පලාස් ඇතීනා යනුවෙන් හඳුන්වන බව ලිපියේ ඉහතින් සඳහන් කර ඇති බව ඔබට මතක ඇතැයි සිතමි. පලාස් යනු කලෙක ඇතීනාගේ මිතුරියකි. අත්වැරදීමකින් ඇතීනා අතින් පලාස්ව මරණය පත් වන්නේලු! ඉන් ශෝකයට පත් ඇතීනා සිය මිතුරියගේ නම සිය නමට ඉදිරියෙන් භාවිත කිරීමට පුරුදුව සිටි බව කතාකරුවන් කියති. ඇතීනා දෙවඟන වට සිටින අනෙකුත් කාන්තාවන් මෙලෙස මරණයට හෝ ඛේදජනක අවසානයන්ට මුහුණ දීම අතිශයෙන්ම උපහාසාත්මක සිදුවීම් පෙලකි. ඇතීනාවගේ උදහසට ලක් නොවූ කාන්තාවන් කිහිපදෙනෙකු අතුරින් ඔඩිසිගේ බිරිය වන පෙනිලෝප ඉදිරියෙන්ම සිටී. ඇතිනාවගේ ගජ මිතුරියක වූ කරික්ලෝගේ පුත්‍රයා, තමාව නිරුවතින් දැකීමේ වරද හේතුවෙන් අන්ධභාවයට පත් කිරීමට ඇතීනාවට සිදුවෙයි.  
ඇතීනා දෙවඟන කාන්තාවන් ආශ්‍රයට දක්වන්නේ යම් දුර්වලතාවක්ද ඒ හා සමාන දුර්වලතාවක් පුරුෂයින් ඇසුරේදී ද දක්වන හේතු නිසාදෝ ඇයව අවිවාහක ස්ත්‍රියක ලෙස ප්‍රකට කිරීමට කතාකරුවා උත්සුක වී ඇත. මින් හැඟවෙන්නේ පුරුෂ ලක්ෂණ මතින් නිර්මාණය වූ ඇතීනාව බිරිඳකට හෝ මවක නොසුදුසු බවදෝයි මගේ සිතෙහි හොල්මන් කරයි. එපමණකුදු නොව, රෝමානු මිත්‍යා කතාන්තර වලට අනුව වරෙක වල්කන (ඔහුගේ ග්‍රීක මූර්තිය හෙපස්ටස් වේ.) මිනර්වාට පෙම් බැඳ ඇය හා ප්‍රේමාලිංගනයේ යේදීමට උත්සාහ කර ඇතත් ඕ එය ප්‍රතික්ශේප කර ඇත. සුන්දර මෙන්ම දක්ෂ ඇතීනාවට ආලය කරන්නේ විරූපී රූපකායකින් හෙබි වල්කන පමණක් වීම ද පුරුෂ අනන්‍යතාවකින් ගොඩ නැගුණු කාන්තාවකට කෙරෙන අනතුරු හැඟවීමක්දෝ හෝ යි සිතීමට ද අයෙකුට නිදහ ඇතැයි මා සිතමි.  
ඇතීනාව නිරන්තරයෙන් පුරුෂ වීරයින්ට මාර්ගෝපදේෂකයෙකු වූවාය. ඔවුන් හට උපකාර කලාය. ඔවුනට පක්ෂපාතී වූවාය. අයිකිලොස්ගේ ඉයුමනයිඩ් වේදිකා නාට්‍යයෙහි ඕ විවාහය පිලිබඳ හැරුණුකොට අන් සියල්ලේදීම මා මාගේ පියාණන් හා එකඟ වෙමි, පුරුෂයින් හා එකඟ වෙමි'යි කීවාය. පුරුෂ අනන්‍යභාවයක් සහිත කාන්තාවන්ගේ ආදර්ශ-මොඩලය සිය මිතුරියන් අහම්බෙන් මරා දමමින්, සිය තරඟකාරියන්ට සාප කරමින් යන්නියක් බවට හදිසියේම පත් කර ඇත්තේ මෙලෙසය.  
ඇතීනා පුරුෂ නිර්මිත වහල් චරිතයකැයි මා කියන්නේ නැත. ඇය ඇතීනා නම් ස්වාධීන ධීර දෙවඟන වන්නීය. නුමුත් ඇය පුරුෂ ශීර්ෂයකින් උපන්නීය. පුරුෂ ශීර්ෂය ඈ වෙනුවෙන් තීරණ ගන්නේය. ඕ සංකීර්ණය. ඇතීනා ඇතීනාට එරෙහි විය යුතු කාලය එලැඹ ඇත. 

Wednesday, June 22, 2016

මිත්‍යාව අතීත ඇසින්


මිත්‍යා කතාන්තර පිළිබඳ විග්‍රහයේදී සාමාන්‍ය පාඨක සමාජය තුලට සම්ප්‍රේෂණය වී තිබෙන අදහස වනුයේ ඒවා හුදු අසත්‍ය කතාන්තර බවයි. එවිට අපට නැගෙන ඊළඟ ප්‍රශ්නය වන්නේ මිත්‍යා කතාන්තර කී පැරැණ්නන් මේ කතාන්තර සැබැවින්ම විශ්වාස කළාද යන්නයි. මේ ගැටළුව විසඳා ගැනීමට මේ පෝස්ටුවෙන් අපි පැරැණ්නන් මිත්‍යා කතාන්තර පිළිබඳ දැරූ අදහස් සහ ඒවාට කළ විවේචනත් විශ්ලේෂණත් පිලිබඳව ග්‍රීක සහ රෝමානු ඓතිහාසික මූලාශ්‍ර ඇසුරින් ලුහුඬින් සාකච්ඡා කර බලමු.
ග්‍රීක සහ රෝම මිත්‍යා කතාන්තර පිලිබඳ පැරණිම ලිඛිත අදහසක් දක්වන්නේ නම හඳුනා නොගත් විවේචකයෙකි. තමා කියවමින් සිටි මිත්‍යා කතාන්තරයක පිටුවෙහි පිටත තීරයක කුරුටු ගාමින් මේ විවේචකයා මිත්‍යා කතාන්තර වල ඇති සමහ සිදුවීම් පිළිබඳව සිය අප්‍රසාදය පළ කරනවා. ඔහුගේ අදහස වන්නේ ඔලිම්පියානු දෙවිවරුන් ප්‍රසිද්ධියේ ලිංගිකව හැසිරීම වැනි අවස්ථා අශීලාචාර බවත්, සමහර පුද්ගලයන් එවැනි සිද්ධි කතාන්තර වලට ඇතුලත් වීම නොසුදුසු යැයි සිතන බවත් සටහන් කරයි.
ලංකාව තුල මෙන්ම ලෝකයේ ද ලිඛිත, ශ්‍රව්‍ය, දෘශ්‍ය සාහිත්‍ය නිර්මාණ වෙත එල්ල කරන වාරණ පැනවීම් සහ නියාමනයේ උත්සාහයන්හි උත්පත්තිය විශද කරමින් මෙම ග්‍රීක කතාන්තර සංස්කරණයට ලක් විය යුතුයි මතයක් අතීතයේද පැවතිනි. ක්‍රි.පූ.429-337 කාලය තුල ජීවත් වූ සුප්‍රසිද්ධ බටහිර දාර්ශනිකයෙකු වන ප්ලේටෝ ද මෙවැනිම මතයක් දැරූ අයෙකි.ප්ලේටෝ කවියන්ගේ රසිකයෙකු නොවීය. මෙම කතා බොහොමයක් ශ්‍රද්ධාවෙන් තොර අසත්‍ය ඒවා බව ඔහු කියයි. මෙම කතාන්තර අසන්නන්ට ඒවායෙන් ඊටත් වඩා හානි පැමිණවෙයි. මෙම අසම්මත ක්‍රියාවන් දෙවිවරුන් විසින් සිදු කරන ලද්දක් බවත් එමගින් අසන්නන් අසන්නන් තම තමන්ගේ වැරදි සාධාරණීකරණය සිදු කර ගනු ඇති බවත් එය සමාජයෙහි පැවැත්මට හානිදායක බවත් ප්ලේටෝ පෙන්වා දෙයි.නමුත් මුලින් සාකච්ඡා කළ නම නොදන්නා විචාරකයා සහ ප්ලේටෝගේ අදහස් අතර ඇති වෙනස වන්නේ, පලමුවැන්නා සදාචාරාත්මක සහ සදාචාරාත්මක නොවන සිදුවීම් පිළිබඳව පමණක් විවේචනය කරන අතර ප්ලේටෝ ඉන් සමාජයට සහ සංස්කෘතියට සිදුවිය හැකි බලපෑම පිළිබඳව අවධානය දක්වයි. මෙවැනි කතාන්තර වලට සංස්කෘතියක් හැඩගැස්වීමත්, ඊට බලපෑම් කිරීමටත් හැකියාව ඇති බව මින් පිළිඹිබු කරයි. 
මිත්‍යා කතාන්තර පිළිබඳ ඉතා ආකර්ශණීය ලෙස සිය අදහස් ප්‍රකාශ කරන සිනෝෆනීස් (ක්‍රි.පූ.6-ක්‍රි.පූ.5) හට ඇත්තේ මෙවන් අදහසකි. දෙවිවරුන් මිනිසුන් මෙන් මිනිස් ස්වරූපයෙන් ඉපිද, කා බී වස්ත්‍ර වලින් සැරසීගෙන ජීවත් වන බව මිනිසුන් සිතාගෙන සිටිති.ඉතියෝපියානුවන් තම දෙවියන් මුක්කන් නාසා ඇති කාල වර්ණ කොට්ඨාසයක් බව සිතති. ත්‍රේසියානුවන් සිය දෙවිවරුන්ට ලා නිල් පැහැ දෑස් සහ රතු කෙස් ඇති බව විශ්වාස කරති. හරකුන්ට, අශ්වයින්ට හෝ සිංහයන් හට රූප ඇඳීමට හැකියාව තිබිණි නම් උන් උන්ගේ දෙවිවරුන් හරකුන්ගේ, අශ්වයින්ගේ සහ සිංහයන්ගේ පෙනුමින් සිතුවම් කරනු ඇත. සිනෝෆිනීස් මින් පෙන්වා දෙන්නේ මානවයා සිය දෙවියන්ව මානවීකරණය කර ඇති බවයි.  මින් ද නොනවතින සිනෝෆිනීස් පවසන්නේ භෞතික ස්වරූපය පමණක් නොව අප එකිනෙකා තුලින් දක්නා දෑ දෙවියන් තුලින් පිළිඹිබු කරන බවයි. මේ අනුව මිනිසා සිය භෞතික මෙන්ම මානසික ස්වරූපය ද මිත්‍යා කතාන්තර තුලින් පිළිඹිබු කරන බවට මෙම තර්කයෙන් ගොඩනැගෙයි.  ඉදින් අපට පැහැදිලි වනුයේ ප්ලේටෝගේ අදහසට හාත්පසින්ම වෙනස් අදහසක් සිනෝෆිලීස් ඉදිරිපත් කරන බවයි. ප්ලේටෝ යෝජනා කරනුයේ, මිත්‍යා කතාන්තර විසින් සංස්කෘතිය ගොඩ නැගෙන බවත්, ඊට විවිධ බලපෑම් ඇති කිරීමට හැකි බවත්ය. නුමුත් සිනෝෆිලීස් යෝජනා කරනුයේ සංස්කෘතිය විසින් මිත්‍යාව නිර්මාණය කරන බවයි. බොහෝවිට මෙම යෝජනා දෙකෙහිම සත්‍යතා ගැබ්වී ඇතැයි මට සිතෙන අතර  මිත්‍යාවත් මිනිසාත් අතර ඇති මානවීය සහ මායාවී බැඳියාව මා තුල ඊට ඇති ඇල්ම තවද වැඩි කරයි. එසේම අතීත මෙම කතාන්තර ඇති සැටීයෙන් පිළි නොගත් බවත් ඒවාට විවිධ අර්ථකථන දීමටත් යුහුසුහුළු වූ බව පැහැදිලිය. 

Sunday, June 19, 2016

අත්තම්මාගේ රස කතා - ජපන්නු බෝම්බ දමති ii

හනේ දෙයියනේ එහෙම කාලයක්...... මඳ සිනාවකින් මුව සරසාගෙන අත්තම්මා කුස්සියේ එහෙට මෙහෙට යමින් හොද්දට අඩුමකුඩුම එක් කරයි. ඇගේ ඉවිල්ල එකම රහකි. අපි ඒ රහ හොද්දකින් අරගනු බොරුවකි.  
ලෝක යුද්දෙ කාලෙ, කෑම හිඟයක් ආවා. අපේ ගෙදර තිබුණා හාල් මිටියකුයි, මුං ඇට මිටියකුයි, කව්පි මිටියකුයි. අපේ තාත්තා හැම එකෙන්ම හුණ්ඩුව ගානේ සේරෝම ගමේ මිනිස්සුන්ට බෙදා දුන්නා. ඉතින් අපට කෑම නැතිවුණා. මන් හුඟ පාරක් කන්ඩ නැතිව කලන්තෙ දාල වැටිලා තියනවා. අපේ තාත්තා කුරුම්බා ලොඳයි, කුරුම්බා වතුරයි හාමු කරලා අපට කවනවා. ඒ කාලෙ තිබුණා 'තුන් අවුරුදු' කියලා කොස් ජාතියක්. ඒ කොස් ගස් පීදෙන්නෙ අවුරුදු තුනකින්. අපි ඒ කොස් කනවා. තව ආවා බජිරි කියලා ජාතියකුයි කොම්බු කියලා එහෙකුයි. ඒ සේරම ආවෙ හාල් වෙනුවට කන්ඩ. ඒත් කොච්චර කෙටුවත් ඒවායේ පොත්ත යන්නෙ නෑ.
                                                (Photo credit: http://lankapura.com/)
කෑම හිඟයක් විතරක් නෙවෙයි, ඒ කාලෙ රෙදි හිඟේකුත් ආවා. තම්බි මුදලාලිලා තමයි රෙදි ගේන්නෙ. ඒ කාලේ හොඳෝම රෙදි 'චන්දරප්පට සරොං', 'චන්දරප්පට කම්බා' එහෙම තමයි. මගුල් ගෙවල් වලට යද්දි සල්ලිබාගෙ තියන අය එව්වා තමයි අඳින්නෙ. කම්බා කෑලි කියලා සත හයට විකුණුවා දියට අඳින්න ගන්න රෙදි. කාට වුණත් පුතේ ඒ කාලෙ ඇඳුං කෑලි දෙක තුනකට වඩා තිබුණේ නැහැ. සල්ලි බාගෙ තිබුණ අයත්, නැති අයත් ගමනකට අඳින්න ඇඳුමකුයි ගෙදරට අඳින්න ඇඳුමක්කුයි තියා ගත්තා මිසක මේ අද කාලෙ වගේ මහ ගොඩක් ඇඳුම් ගොඩ ගහගත්තෙ නෑ.  

අත්තම්මාගේ රස කතා - ජපන්නු බෝම්බ දමති i

අත්තම්මාගේ පැරණි මතකයන් මිල කළ නොහැකිය. ඒ කාලෙ පුතේ හැතැම්ම හයටම බස් එකේ ගන්නෙ සත හයයි. ඈ අතීත සිදුවීම් සිහි කරන්නේ කුස්සියේ පොල් මිරිකන ගමන්ය. ඒ කාලෙ ආණ්ඩුවේ බස් තිබුණේ නෑ. කොම්පැනි බස් තමයි තිබුණේ. එක කොම්පැනි බස් ජාතියක් තිවුණා 'පුෂ්ප උයන් බස්' කියලා. තව එකක් තිවුණා 'මව්ලානා බස්' කියලා. ඉස්කෝලෙ යන ළමයි බස් එක එනකම් බලාගෙන ඉන්නවා. ඒත් හුඟක් අය බස් වල යන්න ඉන්නෙ නෑ. මොකද මිනිස්සු රැවුල් බාලා මූණු හෝදගෙන එනකම් බස් නවත්තගෙන බලාගෙන ඉන්නවා. වෙළඳාම් කරන ගැණු  බස් එක එනකම් නොඉඳ, වට්ටි ඔළුවෙ තියාන අඹතලේ ඉඳන් තොට ළඟට හැතැප්ම පහක් පයින් යනවා.
මට මතකයි ඒ කාලෙ අපේ ගෙදර වටේට උන්නු ගෑණු මිනිස්සුන්ගේ නම්. ඇලිස්, ඇල්පේනිස්, ලොවිච්චි නෝනා.... තව මේරි කියලා රදා කෙල්ලෙකුත් උන්නා. ඉස්සර අපේ වත්තෙ පොල් කඩන්න එන්නෙ ලුයිස් කියලා හාදයෙක්. ලුයිස් පොල් කඩනවට අමතරව වොලන්ටියර් එකෙත් හිටියා. නිවාඩු මාස තුනට ඇවිත් තමයි පොල් කඩන්නෙ. ඉස්සර අපේ රටට හරිහමන් හමුදාවක් තිවුණේ නෑ. වොලන්ටියර් එක තමා තිබුණේ. ඒකට බඳෝ ගත්තු ඈයන් හුඟ දෙනෙකුට අකුරු සාස්තරේ බෑ. ලෝක යුද්දෙ (ඈ කියන්නේ දෙවන ලෝක යුද්ධය ගැනය.) කාලෙ වොලන්ටියර් එකේ අය තමා අපේ හමුදාව. ලුයිසා ඉස්සර වොලන්ටියර් එකෙන් දෙන බර සපත්තුත් දාගෙන නිවාඩුවට ගමට එනවා. උපන්තේකට දාලා නැති සපත්තුත් දාගෙන ඌ එන්නෙ දණිඉහෙන් නැමිලා බකල් ගහ ගහ. 
                           (https://en.wikipedia.org/wiki/Ceylon_in_World_War_II)
ලෝක යුද්ධෙ කාලෙ මයෙ වයස දහතුනක් හෝ දහහතරක් වගේ. ඒ කාලෙ වතු වල බිං ගෙවල් හාරනවා, යුද්ධෙ හන්දා. මට මතකයි අපේ වත්තෙත් බිං ගෙයක් හාරලා තිබුණා. අපේ ගෙවල් අහ තිවුණු මහ වෙලට ජපන්නු බෝම්බ දැම්මා. අපි ළමයි රොත්තම දුවනවා මහ වෙල දිහාවට ජපන්නු බෝම්බ දානවා බලන්නයි උන්ගේ අහස්යාත්තරා බලන්නයි. උන් යන්නෙ බොහොම පහතින්. මට මතකයි අහස්යාත්තරා පහේ පෝලිම් ගානේ අපි ගණන් කළා යාත්තරා විසිපහක්. බෝම්බ දාපුවාම මහ දවාලත් මහ රෑ වගේ කළුවර වෙනවා. පළාතම දුම් වලින් වැහෙනවා. ගිනි බෝල වීසි වෙනවා. අපි පොලොවෙ පස් කාගෙන වැටිලා ඉන්නවා. අපේ සිංහල වොලන්ටියර් එකෙ අය අපි මහ වෙල දිහාවට එනකොට අතින් කියනවා ආපහු යන්ඩ කියලා, ඒත් අපි එයැයිලට ආපහු අතවනනවා. අපි හිතන්නෙ එයැයිලා අපට අත වනනවා කියලා.  ජපන්නු IDH එකටයි, කොළඹටයි, පිස්සන් කොටුවටයි බෝම්බ දානවා. පස්සෙ එයාල පිස්සන් කොටුවට බෝම්බ දාපු එකට සමාව ඉල්ලනවා, වැරදීමකින් නොදැන බෝම්බ දැම්මාය කියලා. පිස්සන් කොටුවට බෝම්බ දැම්මට පස්සෙ ඒකෙන් පිස්සො හුඟ මළා. බේරිලා පැනලා ගියපු පිස්සෝ අහල ගම් හැමතැනෝම. අපේ පැත්තටත් ආවා. උන් ඇඳගෙන හිටියේ කොළ අතු. බෝම්බ දැමිල්ල ගැන ඒ කාලෙ කවි කොලත් ගැහුව. මට මතකයි එක කවියක තිවුණා ඔය පිස්සන් කොටුව එහෙම "මහ ගින්නෙන් දැවුණා ලූ" කියලා. 

Saturday, June 18, 2016

සන් වූ කොන්ග් අපරදිගට ගිය ගමන (ii කොටස)

සුබෝධි සෘෂිවරයාව කෝප කරවීම නිසා, ආරාමයෙන් පිටමං කරපු අපේ සන් වූ කොන්ග් හෙවත් රජ වානරයා ආපිට තමන්ගේ වානර රාජධානිය වෙත යන්න පිටත් වුණා. ඔන්න ඉතින් බොහෝම කාලෙකට පස්සෙ තමන්ගේ රාජධානිය කරා ආපහු ලඟා වෙන සන් වූ කොන්ග් දැනගන්නවා එයාගේ රාජධානියට සහ වැසියන්ට විපතක් ලඟා වෙලා ඇති වග. රජ වානර නැති අල්ලපනල්ලේ බොහොම භයානක රාක්ෂයෙක් වානර රාජධානිය යටත් කරගෙන. මේ රාක්ෂයත් නිකම්ම නිකං රාක්ෂයෙක් නෙවෙන නිසා සන් වූ කොන්ග්ගේ මායාකාර ප්‍රෝඩාවන් වලට එයා අහුවුණේ නැහැ. මේ රාක්ෂායාව පරදන්න සන් වූ කොන්ග්ට බලසම්පන්න ආයුධයක් අවශ්‍ය වුණා. ඉතිං මෙයා යනවා මකර රාජධානියට. එහෙ තමයි අඕ-කුඇන්ග් නම් මකර රජතුමා ජීවත් වෙන්නෙ. සන් වූ කොන්ග් එයාගේ සටකපටකම් පාවිච්චි කරලා මකර රජතුමාව රවට්ට ගන්නවා. එහෙම රවට්ටගෙන, මකර රජතුමාගේ රාජකීය භාණ්ඩාගාරයට රිංගා ගන්නවා. 
සන් වූ කොන්ග්, මේ රාජකීය භාණ්ඩාගාරයේ තැන්පත් කොට තිබුණු මායා යෂ්ටිය තමන්ගේ පාවිච්චියට අරගන්නවා. මේ මායා යෂ්ටිය එසේ මෙසේ යෂ්ටියක් නෙමෙයි. දිව්‍යරාජ්‍ය, ක්ෂීරපථය සමතලා කරන්න පාවිච්චි කරලා තියෙන්නෙ මේ බලසම්පන්න මායා යෂ්ටිය තමයි. කළු යකඩයෙන් නිම වූ මේ මායා යෂ්ටියේ බර රාත්තල් 13, 000ක් වුණා. මේ යෂ්ටිය මුළු විශ්වය තරමට දිගු කරන්නත්, ඉඳිකටුවක් තරම් කුඩා කරන්නත් පුළුවන්. මේ බලසම්පන්න ආයුධය ගැන ඉතා පැහැදුණු රජ වානරයා මේ යෂ්ටිය උදව්වෙන් තමන්ගේ රාජධානිය යටත් කරගෙන සිටපු භයානක රාක්ෂයාව පන්නා දැම්ම. ඒ වගේ තවත් රාක්ෂයින්වද තලා දැම්මා. 

සන් වූ කොන්ග් අපරදිගට ගිය ගමන (ii කොටස)

සුබෝධි සෘෂිවරයාව කෝප කරවීම නිසා, ආරාමයෙන් පිටමං කරපු අපේ සන් වූ කොන්ග් හෙවත් රජ වානරයා ආපිට තමන්ගේ වානර රාජධානිය වෙත යන්න පිටත් වුණා. ඔන්න ඉතින් බොහෝම කාලෙකට පස්සෙ තමන්ගේ රාජධානිය කරා ආපහු ලඟා වෙන සන් වූ කොන්ග් දැනගන්නවා එයාගේ රාජධානියට සහ වැසියන්ට විපතක් ලඟා වෙලා ඇති වග. රජ වානර නැති අල්ලපනල්ලේ බොහොම භයානක රාක්ෂයෙක් වානර රාජධානිය යටත් කරගෙන. මේ රාක්ෂයත් නිකම්ම නිකං රාක්ෂයෙක් නෙවෙන නිසා සන් වූ කොන්ග්ගේ මායාකාර ප්‍රෝඩාවන් වලට එයා අහුවුණේ නැහැ. මේ රාක්ෂායාව පරදන්න සන් වූ කොන්ග්ට බලසම්පන්න ආයුධයක් අවශ්‍ය වුණා. ඉතිං මෙයා යනවා මකර රාජධානියට. එහෙ තමයි අඕ-කුඇන්ග් නම් මකර රජතුමා ජීවත් වෙන්නෙ. සන් වූ කොන්ග් එයාගේ සටකපටකම් පාවිච්චි කරලා මකර රජතුමාව රවට්ට ගන්නවා. එහෙම රවට්ටගෙන, මකර රජතුමාගේ රාජකීය භාණ්ඩාගාරයට රිංගා ගන්නවා. 
සන් වූ කොන්ග්, මේ රාජකීය භාණ්ඩාගාරයේ තැන්පත් කොට තිබුණු මායා යෂ්ටිය තමන්ගේ පාවිච්චියට අරගන්නවා. මේ මායා යෂ්ටිය එසේ මෙසේ යෂ්ටියක් නෙමෙයි. දිව්‍යරාජ්‍ය, ක්ෂීරපථය සමතලා කරන්න පාවිච්චි කරලා තියෙන්නෙ මේ බලසම්පන්න මායා යෂ්ටිය තමයි. කළු යකඩයෙන් නිම වූ මේ මායා යෂ්ටියේ බර රාත්තල් 13, 000ක් වුණා. මේ යෂ්ටිය මුළු විශ්වය තරමට දිගු කරන්නත්, ඉඳිකටුවක් තරම් කුඩා කරන්නත් පුළුවන්. මේ බලසම්පන්න ආයුධය ගැන ඉතා පැහැදුණු රජ වානරයා මේ යෂ්ටිය උදව්වෙන් තමන්ගේ රාජධානිය යටත් කරගෙන සිටපු භයානක රාක්ෂයාව පන්නා දැම්ම. ඒ වගේ තවත් රාක්ෂයින්වද තලා දැම්මා. 

සන් වූ කොන්ග් අපරදිගට ගිය ගමන (ii කොටස)

සුබෝධි සෘෂිවරයාව කෝප කරවීම නිසා, ආරාමයෙන් පිටමං කරපු අපේ සන් වූ කොන්ග් හෙවත් රජ වානරයා ආපිට තමන්ගේ වානර රාජධානිය වෙත යන්න පිටත් වුණා. ඔන්න ඉතින් බොහෝම කාලෙකට පස්සෙ තමන්ගේ රාජධානිය කරා ආපහු ලඟා වෙන සන් වූ කොන්ග් දැනගන්නවා එයාගේ රාජධානියට සහ වැසියන්ට විපතක් ලඟා වෙලා ඇති වග. රජ වානර නැති අල්ලපනල්ලේ බොහොම භයානක රාක්ෂයෙක් වානර රාජධානිය යටත් කරගෙන. මේ රාක්ෂයත් නිකම්ම නිකං රාක්ෂයෙක් නෙවෙන නිසා සන් වූ කොන්ග්ගේ මායාකාර ප්‍රෝඩාවන් වලට එයා අහුවුණේ නැහැ. මේ රාක්ෂායාව පරදන්න සන් වූ කොන්ග්ට බලසම්පන්න ආයුධයක් අවශ්‍ය වුණා. ඉතිං මෙයා යනවා මකර රාජධානියට. එහෙ තමයි අඕ-කුඇන්ග් නම් මකර රජතුමා ජීවත් වෙන්නෙ. සන් වූ කොන්ග් එයාගේ සටකපටකම් පාවිච්චි කරලා මකර රජතුමාව රවට්ට ගන්නවා. එහෙම රවට්ටගෙන, මකර රජතුමාගේ රාජකීය භාණ්ඩාගාරයට රිංගා ගන්නවා. 
සන් වූ කොන්ග්, මේ රාජකීය භාණ්ඩාගාරයේ තැන්පත් කොට තිබුණු මායාකාර මුගුරක් තමන්ගේ පාවිච්චියට අරගන්නවා. මේ මායාකාර මුගුරක් එසේ මෙසේ මුගුරක්නෙමෙයි. දිව්‍යරාජ්‍ය, ක්ෂීරපථය සමතලා කරන්න පාවිච්චි කරලා තියෙන්නෙ මේ බලසම්පන්න මායාකාර මුගුරක් තමයි. කළු යකඩයෙන් නිම වූ මේ මායාකාර මුගුර බර රාත්තල් 13, 000ක් වුණා. මේ යෂ්ටිය මුළු විශ්වය තරමට දිගු කරන්නත්, ඉඳිකටුවක් තරම් කුඩා කරන්නත් පුළුවන්. මේ බලසම්පන්න ආයුධය ගැන ඉතා පැහැදුණු රජ වානරයා මේ මායාකාර මුගුර උදව්වෙන් තමන්ගේ රාජධානිය යටත් කරගෙන සිටපු භයානක රාක්ෂයාව පන්නා දැම්ම. ඒ වගේ තවත් රාක්ෂයින්වද තලා දැම්මා. 

Thursday, June 16, 2016

අත්තම්මාගේ රස කතා - ඉඩම් ගැනිල්ල

එන පොසොන් පෝයට අත්තම්මාගේ වයස අනූවකි. ඈ උපන්නේ 1926 පොසොන් පෝය දවසක බව ඕ කියයි. ඒ නිසා ඈ උපන්දිනය සමරන්නේ සෑම වසරකම පොසොන් පොහොය දවසටය. පොසොන් පොහොය යෙදෙන්නේ කවදාටද එදාට ඇගේ උපන්දිනය සැමරීමට අපි කවුරුත් පාහේ පුරුදුව සිටිමු. ජර්මනියේ වෙසෙන මාමාට නම් මෙය උභතෝකෝටික ගැටළුවකි.අපේ කැලැන්ඩරයේ පොසොන් පෝය පෙන්වූවාට ජර්මනියේ එසේ නැත. ඒ නිසා පොසොන් මාසයේ මුල සිටම හෙතෙම අත්තම්මාගේ උපන්දිනය සොයයි. අපෙන් අසා පොහොය දිනය දැනගෙන සටහන් කර තබා ගනී.මාමා විවාහ වී සිටින්නේ ග්‍රීක ජාතික කාන්තාවක් සමගය. මාමා කියන දවසට ඈ ද අත්තම්මාට සුබ පතයි. ඇය දන්නා ඇති පොසොන් පෝයක් නැත.ඈ දන්නේ අත්තම්මාගේ උපන්දිනය සෑම වසරකම ජූනි මාසයේ කවදාට හෝ යෙදී තිබෙන බව පමණි. 
අත්තම්මා කතා කීමට රුසියෙකි. ඈ එකම කතාව වුවද දහ දොළොස් වතාවක් කියයි. ඉස්සර අපේ ගමේ හිටියා කර්තේලිස් කියලා අත්තෙක්, ඇය කියයි. එයා මහ කපටියා. සල්ලි බාගෙ තිබුණා යහමින්. ඉතින් මිනිහා ගම් ගානේ ඇවිදින ගමන් හොඳට ඉඩම් තියන මෝඩ ගොයියෙක්ව අල්ලගන්නව. හිතවත් වෙනවා. ගෙදෙට්ට එක්කරගෙන ඇවිත් කන්න දෙනවා. ඒ කාලෙ තිබුණෙ පනං, සිලිං එහෙම. අපේ අක්කගෙ කසාදෙටම වියදම් වුණේ ඒ කාලෙ හැටියට පනං දෙක හමාරයි. ඇය අතුරු කතාවක් කියයි. ඒ කාලෙ හාල් එහෙම හරි ගාණ අඩුයි. හොඳෝම හාලෙ නම 'මල්කෝරා'. සේරු දොළහක විසාල මිටියක් සත හයක් විතර මගෙ හිතේ.අපේ අක්කගෙ මගුලට ගෙනාවෙත් මල්කෝරා. 

ඉතින් දැන් කරතේලිස් අත්තා අර යාළු කරගන්න මෝඩ ගොයිය මෙහෙම කියනවා. ඔහොම හැමදාම මඩේ ලැගගෙන ගොයිතැන් කර කර ඉඳලා හරියනවද. උඹත් මොකක් හරි වියාපාරයක් කොරහන්. ඉතින් මේ කතාව අහගෙන ඉන්න අර ගමයාටත් ඕකට හිත වැටෙනවා නොවැ. මෙහෙම ටික කලක් ගියාම කර්තේලිස් අත්තම රුපියල් පන් හයදාහක් අර ගමයගෙ අතට දෙනවා. මොකක් හරි ව්‍යාපාරයක් කරන්න කියලා. ඉතින් අර ගමයත් රැවටිලා මේ සල්ලි අරගෙන තමං නොදන්න මොකක් හරි ව්යාපාරයක් පටන් ගන්නවා. ඔය අතරේ කර්තේලිස් අත්තා හෙමීට අර ගොයියට කියනවා, මේ උන්නැහෙ දැන් මයෙන් මෙයාකාර සල්ලියක් ගත්තා නොවැ. ඒ නිසා අපි ඒ ගැන කියලා පොඩි ලියවිල්ලකට අස්සන් කරමුය කියලා. අර ගමයා ඉතින් අකුරු දන්න එකක් කියලද. මූත් ගොනා සේ හාය කියනවා. ඉතින් කර්තේලිසා නොතාරිස් කෙනෙක්වත් ලං කොරගෙන අර ගොයියා ණයක් ගත්තාය කියලා අස්සන ගන්නවා විතරක් නෙමෙයි ඒ ණයට පොළියකුත් නියම කොරගන්නවා. 
ඔහොම හොරට හදාගන්න ලියවිල්ලත් තියාගෙන කර්තේලිස් අත්තා ටික දොහක් සද්ද නැතුව ඉන්නවා. එතකොට අර ගත්තු ණයට ලොකු ගාණක පොළියක් හැදිලා. ගොයියාගෙ ව්‍යාපාර කෙරිල්ලත් අහවර වෙලා. ඕන්න එතකොට කර්තේලිස් අත්තා යනවා යකා වැහිලා වගේ, ණය සල්ලියි පොළියයි ඉල්ලාගෙන. එතකොට තමයි ගමයට දෙයියො සිහිවෙන්නෙ. ඇයි නොතාරිස් ගාවත් ලියවිල්ලක් තියවලුනෙ. ඉතින් ඔහොම ටික කාලයක් කර්තේලිස් අත්තා ගමයගෙ ගේ ලඟ සල්ලි ඉල්ලා අඩව් අල්ලනවා. අන්තිමට ඉතින් ගමය තමන්ගෙ ඉඩකඩම් ටික සේරම කර්තේලිස් අත්තට ලියලා දෙනවා ණයයි පොළියයි අහවර කරන්න කියලා. ඕං ඔහොම කුණු කොල්ලෙට තමයි ඒ කාලෙ ගොයිරාළලාගෙන් මුදලාලිලා ඉඩං ගත්තෙ. 

Wednesday, June 15, 2016

සන් වූ කොන්ග් අපරදිගට ගිය ගමන (i කොටස)

මීට කලින් බ්ලොග් පෝස්ටුවක අපි සන් වූ කොන්ග් කියන්නෙ කවුද, එයා මොන වගේ කෙනෙක්ද කියලා කතා කලානේ. අද මම කියන්න හදන්නේ සන් වූ කොන්ග් කියන චරිතය වටා ගෙතුණු ඒ අපූරු කතාවයි. හැබැයි ඉතින් මේ පුත්තරයාගේ කතාව නම් ටිකක් දිගයි. මොකද මෙයාගෙ කැරැට්ටුව එයිතරම් හොඳ නෑ. මෙයා කලොත් මොකාක් හරි මගෝඩි වැඩක් තමයි කරන්නෙ.ඉතින් ඒ නිසා සන් වූ කොන්ග්ගේ කතාව කොටස් කිහිපයකින් තමයි බ්ලොග් අඩවියේ පළ කරන්න වෙන්නේ.  
කාලයේත් ලෝකයේත් ආරම්භයේ පටන්ම මල් සහ පළතුරු කඳු වැටියේ පිහිටා තිබුණු එක්තරා ගල් කුලක් ශක්තියෙන් පිරී ඉතිරී තිබුණා. දවසක් මේ ගල් කුල ශිලාමය බිත්තරයක් දැමුවා. මේ බිත්තරයෙන් ගල් වඳුරෙකු එළියට ආවා. ඌ ලොව සතර කොනටම වැඳ ආචාර කරලා පොඩි විනෝදයක් ලබා ගන්න මල් සහ පළතුරු කඳු වැටියෙන් පහළට පැන්නා. ආත්මාර්ථයෙනුත්, පුහු මානයෙනුත්, ප්‍රයෝග වලිනුත් අග තැන්පත් මේ ගල් වඳුරා, ඉතාමත් ඉක්මනින් වානරයින්ගේ රජු බවට පත්  වී වසර හාරසියයක්ම මේ වඳුරන්ව පාලනය කළා. නමුත් මේ මහා බලසම්පන්න රජ වානරයාට ලොකු ප්‍රශ්නයක්. කෙතරම් බලසම්පන්න කෙනෙක් වුනත්, එයා මරණයට පත් වෙනවනේ. ඉතින් අපේ රජ වානරත්, තමන්ගේ ආයුෂ ඉක්මනින් අහවර වෙන බව දැනගෙන, මරණයට මූණ දෙන්න වෙන එක ගැන බොහෙම බයෙන් කාලය ගත කළා. 
රජ වානරගේ භීතිකාව ගැන දැන ගත්තු එක් වානර උපදේශකයෙකු, රජ වානරට මෙහෙම යෝජනාවක් ගෙන ආවා. රජතුමනි, ඔබතුමාට මරණයෙන් ගැලවෙන්න නම් කරන්න තියෙන්නේ අමරණීය මහානුභාවසම්පන්න තාඕ සෘෂි සුබෝධි උත්තමයාණන් මුණගැසී අමරණීය බවෙහි රහස් උගෙනීම තමයි, වානර උපදේශකයා කිව්වා. මේ උපදේශය පිළිගත් රජ වානර සුබෝධි සෘෂිවරයා මුණගැහෙන්න පිටත් වුණා. ඒත් හිතූ තරම් ලේසියෙන් රජ වානරට සුබෝධි සෘෂිවරයා හමු වීමට බැරි වුණා. රජ වානරයා පුරා අවුරුදු දහයක් මහ මුහුදේ යාත්‍රා කරලා කරලා අවසානයේදී සෘෂිවරයාව සොයාගෙන ඔහුගේ ගෝලයෙකු බවට පත් වුණා.

රජ වානරයාගේ කට්ට වෙට්ට පිත්තල වැඩ ගැන මහා සෘෂි සුබෝධි උත්තමයාට නම් කිසිම පැහැදීමක් තිබුණේ නැහැ. ඒ නිසාමදෝ රජ වානරයාට ටිකක් විසුළු තේරුමකින් යුතු නමක් එතුමා වානරයාට ලබා දී තිබුණා. ඒ නම තමයි සන් වූ කොන්ග්. මේ නමේ තේරුම, 'හිස් බවට උපන් වානරයා' යන්නයි.ඉතින් කාලයාගේ ඇවෑමෙන් සුබෝධි සෘෂිවරයා සන් වූ කොන්ග්ට දිව්‍යමය වෙස්වලා ගැනීම් 72 ආකාරයත්, වළාකුළු මත නැගී ගමන් කිරීමටත්, සියලු දෙවිවරුන් සහ භූතාත්මයන් මට්ටු කල හැකි මන්තරත් කියා දුන්නා. සන් වූ කොන්ග්ට උගැන්වූ වලාකුළු පිනුම් ක්‍රමයෙන්, එක් පිනුමකදී මයිල 108,000ක දුරක් පැනීමට සන් වූ කොන්ග්ට පුළුවන්කම ලැබුණා. මීට අමතරව සෑම වර්ගයකම සටන් කලාවනුත් අමරණීය බව ලඟා කරගත හැකි අභ්‍යන්තර ශ්වසන ක්‍රමවේදයත් සුබෝධි සෘෂිවරයා සන් වූ කොන්ග්ට උගැන්වූවා. කොයි තරම් දේ ඉගෙන ගත්තත් සන් වූ කොන්ග්ගේ අර තිබුණු දඩබ්බරකමේ නම් අඩුවක් වුණේ නැහැ. මෙයා තමන්ට පහළ පන්ති වල හිටපු ගෝලයන්ට තමන්ගේ දස්කම් ගැන පම්පෝරි දොඩවලා ලොක්කෙක් වෙන්න ගිහින් අන්තිමේදී සුබෝධි සෘෂිවරයා අපේ සන් වූ කොන්ග් රජ වානරව තමන්ගේ ආශ්‍රමයෙන් පන්නා ගත්තාලු!

Sunday, June 12, 2016

මිත්‍යාවක් කියන්නෙ ඇත්තක්ද!


"මිත්‍යාවක් කියන්නෙ මොකද්ද?"
"බොරු කතාවක්නේ!"

අපිට දෙන්න පුළුවන් සරලම පිළිතුර තමයි ඒ. ඒත් ඔය කියන තරම් ඒ පිළිතුර සරලව දෙන්න පුළුවන්ද අපට.... මිත්‍යාව, එහෙමත් නැත්නම් myth කියන ඉංග්‍රීසි වචනයේ ඔරිජින් එක "Muthos" (මුතොස්) කියන ග්‍රීක වචනයයි. මේ වචනයට මුලින්ම ලොකු අර්ථයක් ගැබ් වෙලා තිබුණේ නැහැ. ඉන් සරලවම අදහස් කෙරුණේ Speech (කථනය) යන්න පමණයි. නමුත් කලකට පසු Muthos යන්නෙහි අරුත තරමක් පුළුල් වුණා. ඒ අනුව Muthos යන වචනයෙන් වෘතාන්තමය ආඛ්‍යානයක් (a narrative story) යන්න අරුත් ගැන්වුණා. මෙම වෘතාන්තයට ඇරඹුමක්, මැදක්, අවසානයක් තිබිය යුතු වුණා. එහි කතා වස්තුවක් සහ චරිත අඩංගු වුණා. නමුත් මෙම නිර්වචනයත්, සාමාන්‍ය කතාන්තරයක් යන්නෙහි නිර්වචනයත් එක හා සමානයි. යම් කාලයක් ගත වුණාට පස්සෙ muthos යන වචනයෙහි ලක්ෂණාර්ථ යළිත් වෙනස් වුණා. මේ අනුව muthos යනු යම් හෝ අර්ථයක් ගැබ් නොවූ අසත්‍ය කතාවක්. අද වුණත් මිත්‍යාවක් කියා හඳුන්වන ඕනෑම දෙයක් පිළිබඳ අපට ඇතිවන මුල්ම හැඟීම "මේක බොරුවක්නේ" කියන මේ අදහසයි. නමුත් කාලයත් සමග අපට තවත් නිර්වචනයක් ලැබෙනවා. මේ නිර්වචනයට අනුව මිත්‍යාවක් යනු හුදු අසත්‍ය කතාන්තරයක් නොවෙයි, විශ්වීය යථාර්තයක් ගැබ් කොට ගත්තක්. මේ නිර්වචනයත් සමග මිත්‍යාව යන්න මුසාවක්ද  කතාන්තරයක් ස්වරූපයෙන් ඇති විශ්වීය සත්‍යයක් ද යන ප්‍රශ්නය මත දෝලනය වෙමින් පවතින්නක් බවට පත්වෙනවා.

මිත්‍යාවක් කියන්නෙ විශ්වීය යථාර්තයක් ගැබ්කොට ගත් කතාන්තරයක් කියලා කියනකොට මේ විශ්වීය යථාර්තය කියන්නෙ ඇත්තටම මොකද්ද කියලා අපට ගැටළුවක් ඇතිවෙනවානෙ. මින් බොහෝ විට අදහස් වන්නේ යථා (මිනිස් හෝ මිනිස් නොවන) සොබාවය යන්නයි. ඒ කියන්නේ මේ හැම මිත්‍යාවකම තියෙන්නෙ අඩු හෝ වැඩි වශයෙන් ඔබ ගැන, මා ගැන, අප ගැන. එසේම මිත්‍යාව එය හට ගත් සංස්කෘතියෙහි පිළිඹිබුවක් ලෙසද දක්වන්න පුළුවන්. එසේම මිත්‍යාව විසින්, එය හට ගත් සංස්කෘතියේ සාමාජිකයෙකු වීමේ ඇති වැදගත්කම ද ඉස්මතු කරයි. මිත්‍යාව මේ ආකාරයෙන් ධනාත්මකව නිර්වචනය කළ හැකි එකක් වනවා සේම එය ආදිවාසීන්ගේ මනස්ගාත ලෙස හැඳින්වීම නම් සෘණාත්මකයි කියලා මතයක් තිබෙනවා. මොකද අපි මිත්‍යාවන් මුසාවක් ලෙස හඳුන්වන්නෙ විද්‍යාවට සාපේක්ෂව සලකා බලලයි. විද්‍යාවේදී සියල්ල පරීක්ෂණයට ලක් කර නිගමනයකට එලැඹීමේ ක්‍රියාවලිය මිත්‍යාවක් යන්න නිර්වචනයේදී යොදා ගැනීමට නොහැකි වීම මත පමණක්ම ඒවා හුදු මුසාවාද ලෙස හැඳින්වීම නොගැලපෙන බවයි මින් අදහස් කෙරෙන්නේ. ඒ වගේම අපට අමතක කරන්න බැහැ විද්‍යාවත් මිත්‍යාවත් යන දෙකම අප ජීවත් වන මේ විශ්වය යන පොදු මාතෘකාව නිර්වචනය කිරීමට උත්සාහ දරන කණ්ඩායම් දෙකක් බව. එතකොට සෑම විටම මේ දෙපාර්ශවය අතර ගැටුම් ඇතිවෙන්න පුලුවන්. ඉතින් මිත්‍යාව බොහෝ දුරට මිත්‍යාවක් වෙන්නෙ ඊට යම් විද්‍යාත්මයක පදනමක් නැති නම් පමණයි. විද්‍යාවට යම් පැහැදිලි කර දීමක් කිරීමට අපහසු බව් නිසාම මිත්‍යාව යන්න සංස්කෘති අධ්‍යයනයේදී පවා වැදගත් නොවන දේ ලෙස ලේබල් කිරීම එතරම් ප්‍රඥාගෝචර නැති බව නම් අනිවාර්යයෙන්ම කිව යුතුයි.

Thursday, June 9, 2016

සෙන් කතා ii


මෙයිජි යුගයේ (1868-1912) සිටි නන්-ඉන් නම් එක්තරා විශිෂ්ට සෙන් ගුරුවරයෙකු මුණගැසීමට වරක් සුදු ජාතික මහාචාර්යවරයෙක් පැමිණියේය. සෙන් බුදුදහම පිළිබඳ ප්‍රශ්න කරමින් වාදයකට එලැඹීම මහාචාර්යවරයාගේ අරමුණ විය.

කිසිත් නොදොඩා මහාචාර්යවරයාව පිළිගත් සෙන් ගුරුවරයා ඔහු වෙනුවෙන් තේ පිලියෙල කලේය. මහාචාර්යවරයා ඉදිරිපිට තැබූ බඳුන පිරෙන තෙක් තේ වත් කළ සෙන් ගුරුවරයා, බඳුන පිරුණු පසුවද දිගටම ඊට තේ වත් කළේය. මෙය තවදුරටත් බලා ඉවසාගත නොහී "ඔය බඳුනේ තවත් ඉඩ නැත. තවත් තේ වත් කිරීමෙන් පළක් වේද?" යැයි මහාචාර්යවරයා විමසීය. 

"මේ තේ බඳුන සේම," සෙන් ගුරුවරයා පිළිතුරු දුන්නේය. "ඔබද ඔබේ මතවාද සහ විශ්ලේෂණ වලින් පිරී සිටී. ඔබ ඔබේ ඒ පිරුණු බඳුන හිස් කරගන්නා තුරු මා කෙසේ ඔබට සෙන් දහම පිළිබඳ උගන්වමිද?"

Wednesday, June 8, 2016

සන් වූ කොන්ග් හෙවත් රජ වානර


පුංචි සන්දියේ මට ලැබුණු ලස්සන වර්ණ පිරුණු ඇබිත්තං අකුරු තිබුණු සිංහලයට පරිවර්තිත අමාඵලය කියන චීන කාටුන් පොතෙන් තමයි මට මුල්වරට සන් වූ කොන්ග්ව මුණගැහෙන්නේ. පොතේ එයාගේ නම සිංහලයට පෙරළලා තිබුණේ වානර වික්‍රම කියලයි. ඉතින් එදා වගේම අදටත් හැමදාටමත් සන් වූ කොන්ග් මට වානර වික්‍රමම තමයි. 
ඔයා කැමතිම සුපිරි වීරයා කවුද කියලා කෙනෙක් මගෙන් අහන හැම වාරයකදීම මගේ හිතට එන්නෙ සුපර් මෑන්,බැට් මෑන් නෙමෙයි,සන් වූ කොන්ග්. බැට්මෑන්ට,සුපර්මෑන්ට නැති අපූරු චරිත ලක්ෂණ කිහිපයක් සන් වූ කොන්ග් සතුව තිබෙනවා.නමුත් ඒ එකක්වත් සාමාන්‍යයෙන් අපි සුපිරි වීරයෙකුගෙන් බලාපොරොත්තු වෙන චරිත ලක්ෂණ එහෙම නම් නෙමෙයි. 
සන් වූ කොන්ග් අන්තිම දඩබ්බරයි. හිතුවක්කාරයි. මාන්නක්කාරයි. එක එක කූට උපක්‍රම, හොර මගඩි, බරක්පතලක් නැති විප්‍රකාර, ගිනි විජ්ජුම්බර සේරම අඩුවක්පාඩුවක් නැතිව සන් වූ කොන්ග් ලඟ තිබුණා. සරලවම අද කාලෙට ගැලපෙන නිර්වචනයක් දුන්නොත් මෙයා ෆුල් ඇටෙන්ෂන් සීකිං (තමා වෙත අවධනය යොමු කරවා ගැනීමට රිසි )සෙල්ෆ් සෙන්ටර්ඩ් (ආත්මාර්ථකාමී) පකිං ඕසම් බුවෙක්. සන් වූ කොන්ග් කොතෙනද එතන එකම ගාලගෝට්ටියයි. අනික නිකම් නෙමෙයි, මෙයා ගිහින් පැටලෙන්නෙම ලොකු ලොකු කට්ටිය එක්ක. ඉතින් මේ දඩබ්බර රාජකීය වානරයා තමයි මගේ ප්‍රියතම සුපිරි වීරයා වුණේ. අර හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ වගේ, ආපස්සට හැරිලා කල්පනා කරලා බලත්දී ඒ කාලෙත් මේ ටැපලිච්චි සිස්ටම් එක පිළිබඳ තිබුණු මගේ මද අවබෝධාත්මක විරෝධය, මුලු සිස්ටම් එකටම එලව එලව පහර දීපු සන් වූ කොන්ග් කියන විකට මූණක් ඇති චීන වඳුරු තඩියෙකුට වුණත් කමක් නෑ කියලා කැමති වුණු එකෙන්ම පේනවා කියලයි මට නම් හිතෙන්නෙ. 
සන් වූ කොන්ග් කියන මේ අපූරු චරිතය බිහි වෙන්නේ දහසය වන සියවසේදී වූ ෂෙං විසින් ලියන ලද Journey to the West (Xiyou Ji) නම් පොතින්. මේ පොත චීනයේ බිහි වුණු විශිෂ්ටතම නව කතා හතරින් එකක් ලෙසයි සැලකෙන්නේ. පරිච්ඡේද 81 වන මේ පොතේ පළමුවන පරිච්ඡේද හතම වෙන් වෙන්නේ සන් වූ කොන්ග් කියන රජ වානර කතා නායකයාටයි. අමරණීයත්වය ලඟා කරගත් මේ රජ වානරයා සියවස් ගණනාවක් පටන් අද දක්වා අපූරු ආරක වීරයෙක්ව සිටිනවා.ඔහු අධිකාරීත්වය ප්‍රශ්න කරනවා. විරෝධය පළ කරනවා. කැරලි ගහනවා. සන් වූ කොන්ග් මට මොහොතකට ලුසිෆර්ව සිහි ගන්වනවා. කැරලිකරුවන් ලෙස ගතහොත් ඔවුන් දෙදෙනාව එක වගේ කියා මට හිතෙනවා.  පවත්නා සමාජ රාමුවට, සමාජය වසා පවතින ධූරාවලියට විරුද්ධව අවි අතට ගත් රජ වානර අපේ මනසේ ඉඩ්ව නියෝජනය කරනවා කියාත් අපට හිතන්නට පුළුවන්. (සිග්මන් ෆ්‍රොයිඩ් මිනිස් මනස ඉඩ්,ඊගෝ සහ සුපර් ඊගෝ නම් ආකාර තුනකින් සමන්විත බවත්, තමන්ට රිසි සියල්ල සැබැවින්ම ඉටුකර ගැනීමට යත්න දරන්නේ ඉඩ් බව කියයි.) අප සෑම කෙනෙකුගේම මනසේ ඇති විප්ලවකාරී අදහස් සමුදාය පුද්ගලායනය කළ විට චීන හෝ වේවා, ආසියාතික වේවා, ඇමරිකානු වේවා ඕනෑම සහ සෑම වර්ගයකම සන් වූ කොන්ග් කෙනෙකු බිහි වෙනවා නොඅනුමානයි. 

Sunday, June 5, 2016

සුරංගනා කතාන්තර සහ ඒවායේ කුප්‍රකට මුහුණත- 3


ලස්සන කිරි සුදු පාට වෙන්න කලින් අළුපාට අවලස්සන තාරා පැටියෙක් වෙලා හිටපු හංසයෙක්ගේ කතාව ඔයාලා අහලා ඇතිනෙ. අපේ මේ අවලස්සන තාරා පැටියා වගේ මුලින් ආසා නොහිතෙන, දුක හිතෙන, ඛේදාන්තයක් වෙලා තිබුණු සුරංගනා කතාවක් තමයි Little Mermaid හෙවත් පුංචි දිය කිඳුරියගේ කතාව. අපි අතරේ ජනප්‍රිය කතාවට අනුව නම් තමන් මහ මුහුදේදී දකින කඩවසම් කුමාරයෙක් එක්ක ආදරයෙන් වෙලෙන දිය කිඳුරියක්, මායාකාරියකගේ උදව්වෙන් මිනිස් දුවක් බවට පත්වෙලා අර කුමාරයාව හොයාගෙන යනවා. ඒත් නපුරු මායා බලෙන් ඇයට ඇගේ කටහඬ අහිමි වෙනවා. වෙනත් කෙනෙකු එක්ක කුමාරයා විවාහ වෙන්න සිටියත් කතාව අන්තිමේදී අර කුමාරයා මිනිස් බවට පත් වුණු කිඳුරියට ආදරේ වෙලා එයාව විවාහ කරගෙන සතුටින් ජීවත් වෙනවා. මේක තමයි අපි කවුරුත් ආදරය කරන පුංචි දිය කිඳුරියගේ ඩිස්නිමය අවසානය. 

ඒත් කතාව මුලින්ම නිර්මාණය කරපු හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් නම් අපේ දිය කිඳුරියට වැඩි අනුකම්පාවක් දක්වලා නැහැ. පහළොස් වසක් සමරන එක් සුන්දර රාජකීය දිය කිඳුරියක් ඔවුන්ගේ සම්ප්‍රදායට අනුව මුල්ම වතාවට මිනිස් ලෝකය දැක බලාගන්න මුහුද මතුපිටට එනවා. ගිලාබත් වුණු නැවක් දකින මේ කිඳුරියත් ඇගේ සොහොයුරියනුත් එය නැරඹීමට යනවා. එහිදී අනිත් කිඳුරිය නැවෙහි තිබුණු නොයෙක් අරුමෝසම් දෙයට ආසා කළත් කිඳුරු කුමාරිය ආසා කරන්නේ ඈ හොයාගන්න කුමාරයෙකුගේ කිරිගරුඬ පිළිමයකට සහ රතු මල්පොකුරකටයි. වෙනත් දවසක කුණාටුවකදී අනතුරට ලක්වෙන නැවක හිටපු කඩවසම් කුමාරයෙකුව බේර ගන්න දිය කිඳුරිය ඒ කුමාරයා එක්ක ආලයෙන් වෙලුනත් ඔහුව බේර ගත්තේ දිය කිඳුරියක් බව වත් ඇය ඔහුට ආලය කරන බව වත් කුමාරය දැනගෙන හිටියේ නැහැ.
මේ කතාවේදී තමන් ආලය කරන කුමාරයාව සොයා යාමට දිය කිඳුරිය තමන්ගේ මීන ශරීරය වෙනුවට පා යුගලක් ලබා ගන්න තමන්ගේ කටහඬ කැප කරනවා විතරක් නෙමෙයි,තබන හැම පියවරකදීම දරුණු වේදනාවකට  මුහුණ දීමට ඇය කැමැත්ත දෙනවා. කුමාරයා නර්තනාංග වලට ආසා කරන නිසා ඇය දරුණු වේදනාවක් විඳිමින් ඔහු වෙනුවෙන් නැටුමෙහි යෙදුනත්, අන්තිමේදී කුමාරයා වෙන කුමරියක සමග විවාහ වීමට තීරණය කරනවා. 

තමන්ගේ සහෝදරිය මේ දරුණු ඉරණමෙන් බේරගන්න බලාපොරොත්තුවෙන් දිය කිඳුරියගේ අක්කලා දෙදෙනා ඔවුන්ගේ  ලස්සන කෙස්කලඹ මායාකාර කිනිස්සක් වෙනුවෙන් විකුණනවා. ඒ කිනිස්සෙන් ඇනලා කිඳුරිය කුමාරයාව මරා දාලා ඔහුගේ සිරුරෙන් ගලන ලේ තමන්ගේ දෙපා මතට වැටෙන්නට සැලැස්සුවහොත්, කිඳුරියට ආයෙමත් සිය මීන ශරීරය ලැබෙනවා. අක්කලාගේ කීම අහලා කුමාරයාව මරා දමන්න ගියත් තමන් ආදරය කරන කුමාරයාව මරා දාන්න කිඳුරියට බැරි වෙනවා. ඒ නිසා කිඳුරිය මිය ගිහින් මහ මුහුදේ පෙණ පිඬක් බවට පත් වෙනවා. පස්සෙ කාලෙක ඇන්ඩර්සන් මේ කතාවෙ අවසානය වෙනස් කරනවා. ඒකට අනුව කිඳුරිය මිය ගියාම ඇය සුලඟේ දියණියක් බවට පත්වෙනවා. අවුරුදු තුන්සීය යහපත් කල්ක්‍රියාවෙන් ඇය ජීවත් වුණෝතින් ඇගේ ආත්මයට දිව්‍යලෝකයට යන්න පුළුවන් වෙනවාලු.  
ඩිස්නි අවසානයේත් හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ කතා අවසානයේත් ඇති වෙනස සුළුවෙන් තකන්න බැහැ කියලයි මට හිතෙන්නෙ.එක් පැතිකඩකින් බලද්දී ඇන්ඩර්සන්ගේ කතා අවසානයෙන් අපට පෙන්වලා දෙනවා අපි යමෙක් කෙරෙහි ආලයෙන් බැඳුණත්, කෙතරම් කැප කිරීම් කලත් ඔහු හෝ ඇය ඔබට පෙරළා ආලය නොකරනු ඇති, ඔබේ කැප කිරීම හඳුනා නොගන්නවා ඇති බව. එහි ප්‍රතිඵලයක් ලෙස අප නපුරට ඉඩ දී දුෂ්ට නොවිය යුතු බවත් කිඳුරිය කුමරාව මර නොදමන්නට තීරණය කිරීමෙන් කියාපානවා. වත්මන් සමාජයෙන් කෙතරම් දුරට මේ සහකම්පන හැඟීම දුරස් වෙලාද කියලා දිනෙන් දින ඉහළ යන අපරාධ, මිනීමැරුම්,දූෂණ සහ අපචාර වලින් අපට මතක් කරලා දෙනවා. 

මේ කතාවේ ප්‍රධාන චරිතය වන දිය කිඳුරිය සංකේතාත්මක අර්ථයෙන් ගත්තොත් ඒ ඔබ හරි මම හරි වෙන්න පුළුවන්. කිඳුරිය තමන්ගේ පැවැත්මට පිටුපා යෑම, අප අප වෙනුවෙන් මේ පවත්නා සමාජ රාමුවට පිටුපා යාමක් ලෙස අර්ථ දක්වන්න පුළුවන්කම තිබෙනවා. එතකොට ඇන්ඩර්සන්ගේ කතාවෙන්, සමාජ සම්ප්‍රදායට ප්‍රතිරෝධයක් එල්ල කරන සියල්ලන්ට දිය කිඳුරියට අත් වුණා වගේ අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ දෙන්නට වෙන බවට අනතුරු ඇඟවීමක් කරනවා නේද කියලත් මට හිතෙනවා. ඩිස්නිමය අවසානයෙන් ස්වාධීන තීරණ ගැනීමට බිය නැති, ජීවිතය තමන් හට ලබා දෙන සියල්ල එලෙසමැයි පිළිනොගන්නා, අවධානමක් දැරීමට ආත්ම ශක්තියක් ඇති විප්ලවකාරී කිඳුරියට ජයග්‍රාහී අවසානයක් දීම සතුටට කාරණාවක්. මෙම අවසානය එක්තරා ආකාරයක ගතහොත් pluralistic සමාජ සම්ප්‍රදාය බිඳගෙන individualistic approach එහෙම නැත්නම් පුද්ගලයාට සහ පුද්ගලයාගේ නිදහසට අවස්ථාවක් දෙන්නක් ලෙස අපට අරුත් නංවා ගන්නට පුළුවන්. 


Wednesday, June 1, 2016

සුරංගනා කතාන්තර සහ ඒවායේ කුප්‍රකට මුහුණත-2


එකෝමත් එක කාලෙක ජීවත් වුණු හැමෝම බොහෝම සතුටින් අන්තිමේදි ජිවත් වුණා කියලා අපි අහලා තිබුණට ඒ කාලෙ හිටපු හැමෝගෙම ඉරණම ඔය කියන තරම් සුන්දර වෙලා තිබුණෙ නෑ. ග්‍රීම් සහෝදරයින්ගේ මැදිහත් වීමෙන් තමන්ගෙ අවාසනාවන්ත ඉරණම සතුටුදායක අවසානයක් ලෙස වෙනස් කරගත් කෙනෙක් තමයි Little Red Riding Hood හෙවත් පුංචි රතු හැට්ටකාරි.


පුංචි රතු හැට්ටකාරිගේ අතීත අනුවාදයේ එයාවවත් එයාගෙ අත්තම්මාවත් බේරගන්න දර කපන්නෙක් එන්නෙ නෑ. රතු හැට්ටකාරිගෙ ඉරණම මරණය තමයි. රතු හැට්ටකාරි කා දැමුවාට පස්සෙ විශාල නපුරු වෘකයා දිගු නින්දකට වැටෙනව.ප්‍රකාශනයට පත් මුල්ම අනුවාදයේ කතාව අවසන් වෙන්නෙ එහෙමයි.මේ කතාව ප්‍රකාශනයට පත් කරන්නෙ චාල්ස් පෙරුල්ට් කියලා කෙනෙක්. ඒ විතරක්ද, තවත් අනුවාදයකට අනුව නපුරු විශාල වෘකයා, අත්තම්මාගේ මස් උයලා ඇගේ ලේ වයින් වීදුරුවකට දමා තියනවා මේසයක් උඩ. අත්තම්මාව බලන්න ආපු රතු හැට්ටකාරී, ඒවා කෑමට ගන්නවා. ඊට පස්සෙ තමයි වෘකයා ඇයව කාලා දාන්නේ.

පුංචි රතුහැට්ටකාරි කතාවේ නිධාන කතාව හොයාගෙන ලෝකෙ පුරාම ගිය එන්ගලන්තයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ ජෙයිමි ටෙර්හානි කියන මානව විද්‍යාඥයා අපූරු සොයාගැනීම් කිහිපයක් කරලා තියනවා. එයාට අනුව විවිධ අනුවාද වලින් මේ කතාන්තරය ලෝකයේ රටවල් සහ සංස්කෘති කිහිපයකම ජනප්‍රියව තිබෙනවා. අග්නිදිග ආසියාවේ මේ කතාවේ වෘකයා වෙනුවට විශාල කලෑ පූසෙකු ආදේශ වී තිබෙනවාලු. එතකොට ඉරානය ආශ්‍රිතව තිබෙන කතාන්තරයේ පුංචි ගැහැණු ළමයෙක් වෙනුවට ඉන්නෙ පුංචි පිරිමි ළමයෙක්. මොකද ඒ සංස්කෘතියට අනුව පුංචි ගැහැණු ළමයිට එහෙමෙහෙ ඇවිදින්න අයිතියක් නැහැ! මේ මානව විද්‍යාඥයා පවසන අන්දමට චාර්ල්ස් පෙර්ලුට් 17 වන සියවසේදී පුංචි රතුහැට්ටකාරි ප්‍රකාශනයට පත් කරන්න කලින් 11 වන සියවසේදී, පූජකයෙකු විසින් සටහන් කොට තබන ලද බෙල්ගියානු කවියක පුංචි රතුහැට්ටකාරිට සමාන කතාවක් අන්තර්ගතව ඇති බවයි. මීට අමතරව "වෘකයා සහ ළමයි" කියන ජන කතාවත් මෙවැනිම තේමාවක් සහිතයි. මේ කතාවේ, එළු ආයම්මා කෙනෙක් තමන්ට බලාගන්න බාරවෙලා ඉන්න එළු පැටවුන්ව මොහොතකට ගෙදර දමලා එළියට යනවාලු. එයා එනකම් වෙන කිසිම කෙනෙකුට දොර අරින්න එපා කියලා තමයි එයා යන්නෙ. මේ කතාව හොරෙන් අහගෙන හිටපු වෘකයෙක් එළු ආයම්මා වගේ රඟපාලා පුංචි එළු පැටවු ටික රවටලා උන්ව ගිල දමනවාලු. ඊටපස්සෙ අර එළු ආයම්මා මේ වෘකයාව ලුහුබැඳලා ඌව මරලා, බඩ පලලා පැටවු ටික එලියට ගන්නවාලු. මේ කියන කතාවේත් පුංචි රතු හැට්ටකාරිගේ කතාවේ අනුවාද චීනයේත් තිබෙනවාලු. නමුත් ජෙයිමි ටෙර්හානිට අනුව රතු හැට්ටකාරි කතාවේ දැනට සොයාගෙන තිබෙන පරණම සටහන පෙර කී බෙල්ජියානු කවියයි