Sunday, June 19, 2016

අත්තම්මාගේ රස කතා - ජපන්නු බෝම්බ දමති i

අත්තම්මාගේ පැරණි මතකයන් මිල කළ නොහැකිය. ඒ කාලෙ පුතේ හැතැම්ම හයටම බස් එකේ ගන්නෙ සත හයයි. ඈ අතීත සිදුවීම් සිහි කරන්නේ කුස්සියේ පොල් මිරිකන ගමන්ය. ඒ කාලෙ ආණ්ඩුවේ බස් තිබුණේ නෑ. කොම්පැනි බස් තමයි තිබුණේ. එක කොම්පැනි බස් ජාතියක් තිවුණා 'පුෂ්ප උයන් බස්' කියලා. තව එකක් තිවුණා 'මව්ලානා බස්' කියලා. ඉස්කෝලෙ යන ළමයි බස් එක එනකම් බලාගෙන ඉන්නවා. ඒත් හුඟක් අය බස් වල යන්න ඉන්නෙ නෑ. මොකද මිනිස්සු රැවුල් බාලා මූණු හෝදගෙන එනකම් බස් නවත්තගෙන බලාගෙන ඉන්නවා. වෙළඳාම් කරන ගැණු  බස් එක එනකම් නොඉඳ, වට්ටි ඔළුවෙ තියාන අඹතලේ ඉඳන් තොට ළඟට හැතැප්ම පහක් පයින් යනවා.
මට මතකයි ඒ කාලෙ අපේ ගෙදර වටේට උන්නු ගෑණු මිනිස්සුන්ගේ නම්. ඇලිස්, ඇල්පේනිස්, ලොවිච්චි නෝනා.... තව මේරි කියලා රදා කෙල්ලෙකුත් උන්නා. ඉස්සර අපේ වත්තෙ පොල් කඩන්න එන්නෙ ලුයිස් කියලා හාදයෙක්. ලුයිස් පොල් කඩනවට අමතරව වොලන්ටියර් එකෙත් හිටියා. නිවාඩු මාස තුනට ඇවිත් තමයි පොල් කඩන්නෙ. ඉස්සර අපේ රටට හරිහමන් හමුදාවක් තිවුණේ නෑ. වොලන්ටියර් එක තමා තිබුණේ. ඒකට බඳෝ ගත්තු ඈයන් හුඟ දෙනෙකුට අකුරු සාස්තරේ බෑ. ලෝක යුද්දෙ (ඈ කියන්නේ දෙවන ලෝක යුද්ධය ගැනය.) කාලෙ වොලන්ටියර් එකේ අය තමා අපේ හමුදාව. ලුයිසා ඉස්සර වොලන්ටියර් එකෙන් දෙන බර සපත්තුත් දාගෙන නිවාඩුවට ගමට එනවා. උපන්තේකට දාලා නැති සපත්තුත් දාගෙන ඌ එන්නෙ දණිඉහෙන් නැමිලා බකල් ගහ ගහ. 
                           (https://en.wikipedia.org/wiki/Ceylon_in_World_War_II)
ලෝක යුද්ධෙ කාලෙ මයෙ වයස දහතුනක් හෝ දහහතරක් වගේ. ඒ කාලෙ වතු වල බිං ගෙවල් හාරනවා, යුද්ධෙ හන්දා. මට මතකයි අපේ වත්තෙත් බිං ගෙයක් හාරලා තිබුණා. අපේ ගෙවල් අහ තිවුණු මහ වෙලට ජපන්නු බෝම්බ දැම්මා. අපි ළමයි රොත්තම දුවනවා මහ වෙල දිහාවට ජපන්නු බෝම්බ දානවා බලන්නයි උන්ගේ අහස්යාත්තරා බලන්නයි. උන් යන්නෙ බොහොම පහතින්. මට මතකයි අහස්යාත්තරා පහේ පෝලිම් ගානේ අපි ගණන් කළා යාත්තරා විසිපහක්. බෝම්බ දාපුවාම මහ දවාලත් මහ රෑ වගේ කළුවර වෙනවා. පළාතම දුම් වලින් වැහෙනවා. ගිනි බෝල වීසි වෙනවා. අපි පොලොවෙ පස් කාගෙන වැටිලා ඉන්නවා. අපේ සිංහල වොලන්ටියර් එකෙ අය අපි මහ වෙල දිහාවට එනකොට අතින් කියනවා ආපහු යන්ඩ කියලා, ඒත් අපි එයැයිලට ආපහු අතවනනවා. අපි හිතන්නෙ එයැයිලා අපට අත වනනවා කියලා.  ජපන්නු IDH එකටයි, කොළඹටයි, පිස්සන් කොටුවටයි බෝම්බ දානවා. පස්සෙ එයාල පිස්සන් කොටුවට බෝම්බ දාපු එකට සමාව ඉල්ලනවා, වැරදීමකින් නොදැන බෝම්බ දැම්මාය කියලා. පිස්සන් කොටුවට බෝම්බ දැම්මට පස්සෙ ඒකෙන් පිස්සො හුඟ මළා. බේරිලා පැනලා ගියපු පිස්සෝ අහල ගම් හැමතැනෝම. අපේ පැත්තටත් ආවා. උන් ඇඳගෙන හිටියේ කොළ අතු. බෝම්බ දැමිල්ල ගැන ඒ කාලෙ කවි කොලත් ගැහුව. මට මතකයි එක කවියක තිවුණා ඔය පිස්සන් කොටුව එහෙම "මහ ගින්නෙන් දැවුණා ලූ" කියලා. 

4 comments:

  1. කෑගල්ල පැත්තේ දුහල තියෙන්නේ කොටිය බස්

    ReplyDelete
  2. "අපි ළමයි රොත්තම දුවනවා මහ වෙල දිහාවට ජපන්නු බෝම්බ දානවා බලන්නයි උන්ගේ අහස්යාත්තරා බලන්නයි."

    ඒකාලෙත් දැන්වගේම තමයි

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත. ඇයි කොච්චර කිව්වත් එන්න එපා කියලා, ඒක කනකට අරගෙනත් නෑනෙ. දැන් ඉන්න උන් වගේම තමයි! කොහෙද, සුනාමිය එන්ඩ ඉස්සරවෙලා වෙරලේ ඉඩම් බෙදාගත්තු කට්ටියනෙ!

      Delete
  3. ඒකනං මැවිලා පෙනුන වගේ ...
    මගෙ ආච්චිගේත් නෑයෙක් නැතිවුණ දවසක තමයි ඔය ජපන්නු කොළඹට බෝම්බ දාල තියෙන්නෙ. එදා ගෙදර පිරිමි කට්ටිය එකතුවෙලා පිටකොටු ගිහිං කළමනා ගෙන්න කෑම උයන්න.අන්තිමේදී දවසක් විතර ගිහිං නුලෙන් බේරිලා ගෙදර ඇවිත්. ගෙදර අය දෙලෝ රත්වෙලා ඉඳල තියෙන්නෙ.

    කළු සුදු පින්තූර බලද්දී අමුතුම අපූරු ගතියක් එනව. 👲🏾👲🏾👲🏾

    ReplyDelete