Friday, September 18, 2020

ශේක්ස්පියර්

ශේක්ස්පියර් තනිකරම මුරණ්ඩු ඩෑල් එකකි. හෙනම ලොකු සීන් එකේ සිටිය ද අහිංසකයින්ට ශේක්ස්පියර්ගෙන් කිසිම කරදරයක් නැත. උඩ කරණම්, බිම කරණම් ඇතුලු සියලු වර්ගයේ ජිම්නාස්ටික් සහ සර්කස් කිරීමට උපන් හපන්කමක් ඇති ශේක්ස්පියර් ඉඳහිට බෙල්ල උලුක්කු වෙන පිමි නොපනින්නේ ද නොවේ. ශේක්ස්පියර් කන්නට ආසාම කඩල ය. නැතිනං ගස්ලබුය. නිස්කලංකයේ සිටින විට කොහේ හෝ මුල්ලකට වී හැලහොල්මනක් නැතිව ඉන්නා ශේක්ස්පියරයා කවුරුන් හෝ අහලින් පහලින් යන විට ඇස් රවුම් කරමින් සීසීටීවී පාරක් දමා ඒ කවුදැයි විමසා බලයි. උදේ හිට කංකුං ද මුකුණුවැන්න ද හිටු කියා ගිල දමයි. අඩි එක හමාරක් තරම් වූ දිගින් ද වියතක් තරම් පළලින් ද යුතු ශේක්ස්පියරයා ලා කහ පැහැයකට හුරු ජයන්ට් ගුරාමියෙකි. අපේ සිංහලෙන් කිව්වොත් "ජෑම් ගුරාමියෙකි."


ශේක්ස්පියරයා දඩබ්බරයෙක් වුව ද හැකි තරම් සමකාමීව ජීවත් වන්නට උත්සාහ කරන්නෙකි. ඉඳහිට ටැංකියේ ඉන්නා අනෙක් මොකෙක් හෝ පොල් කාවයියෙක් මැදිහත් වී ගිල දමන මාළු පැටවුන් වැටෙන්නේ ශේක්ස්පියරයාගේ ගිණුමට ය. තමන්ගේ කෑම පංගුව හොරා කෑමට එන  කාප්ලා එක්ක හැරුණු කොට ශේක්ස්පියර්ට කා එක්ක හෝ ආරෝවක් නැත. කොයිතරම් කේන්ති ගියත් අනෙක් මාළුන්ව නමට පමණක්ම බය කිරීමෙන් සැනසෙන ශේක්ස්පියරයා ඉඳහිට උන්ට නක්කලේ දමයි. හෙන වේගයෙන් පීනා ගොස් කාප් රංචුව මැදට කඩා පනී. උන් සීසී කඩ විසිරී හතිමුනින්දාගෙන පැන යන විට උන්ගේ නගුටු අල්ලා ගැනීමට පස්සෙන් එළවයි. එසේ කෝචෝක් දැමිල්ල එපා වූ විට  කාප් රංචුව පාකින් දමාගෙන සිටීමට ආසාම මුල්ල ආක්‍රමණය කර එය අත්පත් කරගනී. උන්ට පළාතටවත් එන්නට නොදෙයි. තැන් තැන් වල සරණාගතයින් බවට පත් වී සිටින කාප්ලා ශේක්ස්පියර්ට මේ සෙල්ලම එපා වෙනතෙක් ටැංකියේ එහාටත් මෙහාටත් සවගායං වෙයි. කාප් සෙල්ලම එපා වූ පසු ශේක්ස්පියරයා එයාගේ සුපුරුදු වාසස්ථානයට සේන්දු වෙයි. ඒ ටැංකියේ ඇති විශාල වීදුරු ෆිල්ටරය අසලටය. පොඩි කාලේ ඉඳන් වීදුරු ටැංකියක හැදුණු නිසා, සිමෙන්ති ටැංකියේ වුව ද ශේක්ස්පියරයා ඉන්නේ වීදුරුවක් තියෙන ඉසව්වකය. ශේක්ස්පියරයා වෙලාවකට කොතරම් වේගයෙන් පීනනවා ද කියතහොත් බ්‍රේක් ගසා ගැනීමට බැරි වූ විට දඩස් කියා ෆිල්ටරයේ හොම්බ ඇනගෙන චොපර වී සිටී. ටැංකියේ උඩටම වතුර පුරවන එක තරම් ශේක්ස්පියරයාට අන් සතුටක් නැත. ඒ වෙලාවට ටැංකියේ බිත්ති කණ්ඩිය උඩ වාඩි වෙන ඕනෑම කෙනෙකුගේ පස්සා පැති වලට හොම්බෙන් ඇණීමටත්, ඔවුන්ව බය කිරීමටත් ශේක්ස්පියර්ට ඇත්තේ පුදුමාකාර ආසාවකි. ටැංකියට එබෙන මුහුණු වලට ද, එහෙන්මෙහෙන් දාන අතපය වලට ද ශේක්ස්පියරයා කඩා පනින්නේ කොටි හපුවෙකු මෙනි. 
 
වැරදිලා හෝ තමාට අවධානය නොදී ටැංකියේ සිටින අනෙක් මාළුන් දෙස බලයි නම්, නැත්නම් ෆිල්ටරය සුද්ධ පවිත්‍ර කරයි නම් ශේක්ස්පියර්ගේ පශ්චාත් භාගයේ ලොකු ඉත්තෑවුන් දෙතුන් දෙනෙකු දුවන්නට පටන් ගනී. ඒ වෙලාවට කොහොමින් හෝ එතැනට පිහිනා එන ශේක්පියරයා තමන්ගේ නම් ලකුණු කරවා ගැනීමට උත්සාහ දරමින් කොහොමින් හෝ ඒ වැඩය අල කර දමයි. බිත්තියේ සිට වතුර වෙත ඇදෙන කුඩා අල කොළ වැල් උඩ පැන කා දමයි. කොටින්ම කිව්වොත් කටට අසුවෙන පරිමාණයේ ඕනෙම පැලයක් ඇත්නම් එය එක්කෝ එහාටත් මෙහාටත් ඔලුවෙන් තල්ලු කරගෙන සෙල්ලම් කරයි, නැතහොත් කා දමයි. අමාරුවෙන් හිටවා ගත් රම්පෙ ගහේ ද දැන් කොළ දෙක තුනක් හප කර අවසන් ය. ඒ රම්පා කොළ කන්නේ තැම්බූ කවුපි, කඩල, අර්තාපල්, ගස්ලබු, කොමඩු වැනි යහමින් ගුණ සපිරි කෑම වට්ටෝරුවක් ගිල දැමීමෙන් අනතුරුවය. ඒ තනිකරම අලුකුත්තේරුකමටය. ඉස්සෙක්, අමු හාල්මැස්සෙක්, බිත්තර කෑල්ලක් කටේවත් තියන්නේ නැති උපාසක ශේක්ස්පියරයා රටකජු කන්නට ද ආසාය. හක්කේ ඈතින් පිහිටි ඇඹරුම් දත් දත් වලින් අපූරුවට රට කජු ඇට පොඩි කර කා දමන ශේක්ස්පියරයා පුහ් කියා රටකජු ඇටයේ පොත්ත අපූරුවට බේරා පිටතට දැමීමට ද හපනෙකි.

ටැංකිය පිරිසිදු කරන වෙලාවට අල්ලා බේසමකට දැමූ පසු ශේක්ස්පියරයා ඉන්නේ එහෙමපිටින්ම බලු වෙලාය. වටේට වටේට කැරකෙමින් බකන්නිලාගෙන බඩ උලාගෙන ඉන්නා මේ හාදයා අත්දෙකෙන් උස්සා යළි ටැංකියට දානා තුරු පුදුමාකාර සංයමයක් දක්වයි. ඔළුව අතගානවාට හෙන පෙරේතකමක් දැක්වුව ද අඳුනන්නේ නැති කෙනෙකු හතරමායිමට නම් මේ හාදයා එනවා බොරුය. කන්න දෙන අයගේ අඩි සද්දයත්, කතාවත් හොඳ හැටියට නිච්චියක් ඇති ශේක්ස්පියර් ඒ කවුරුන් හෝ එන විට බල්ලෙක් මෙන් බුරන්නේ නැති ටික විතරය. සීතල, කොළ පාට වටපිටාවේ පිරිසිදු ටැංකියක ජීවත් වෙන ශේක්ස්පියරයා පොඩ්ඩක්වත් කම්මැලි නැති, නෙස්ටමෝල්ට් ඇඩ් එකකට වුණත් ගැනීමට සුදුසුකම් ඇති තරමේ ක්‍රියාශීලී හපුයියෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "ජෑම්" ගුරාමියෙකි. කොතරම් බලා හිටියත් කම්මැලි හිතෙන්නේ නැති අපූරු සජීවී නාට්‍යයකි. 
 
 
                        *Shakespeare, the Giant Gourami

Saturday, May 23, 2020

තරු පහේ වීදි කෑම



පූර්ව-කොරෝනා යුගය විය. ඒ, කඩෙන් කෑම සහ රස්තියාදු ගැසීම ඇති පදම් කළ හැකි වූ කාලයයි. පශ්චාත්-කොරෝනා සමයට හසුව ඔටලොං බස්සෙකු සේ බලාගත්තු අතේ බලාගෙන සිටින අතරේ මීට මාස කිහිපයකට පළමුව ගත් ඡායාරූප කිහිපයක් මතක මස්තකයට නැඟුණෙන් හෝබෝ ටික්කා ඒ ගැන පැරණි රසාංගයක් ලිවීමට තීරණය කළේය.

හෝබෝ ටික්කාගේ "දං පඳුරට ආ රැහැයියා" කෙටිකතා පොත මුද්‍රණය වීම සහ ඊට ප්‍රශස්තම කෙටි කතා සංග්‍රහයට හිමි සම සම්මානය  ලැබීමෙන් පසු එය සමරන්නට යමක් කළ යුතු යැයි මාගේ සුපුරුහු රස්තියාදු මිතුරු පදනම යෝජනා කළ අතර ඒ සඳහා සරිලන ස්ථානයක් සිතීමට හෝබෝ ටික්කා තම හීන ඔලොගුව අවුස්සා බලන්නට තීරණය කර තිබිණි.

අපූරුය! හරියටම මගේ තාලේ සැමරුමකට සුදුසු යෝජනාවක් ඔලොගු මල්ලේ අඩියේ සිට අත් ඔසවාගෙන උඩ පනිමින් කෑ ගසමින් සිටියේය. ඒ අනුව යමින් අපි කවුරුත් මාගේ සතුට සැමරීම සඳහා පිටකොටුවේ අලුත් කඩේ වීදියේ රාත්‍රියට විවෘත වන කුඩා කඩ පෙළෙහි "ස්ට්‍රී ෆූඩ්" සොයා යන්නට තීරණය විය. සුපිරි උසාවිය පසු කර ඒ ආසන්නයේ වූ විශාල ගසට ද අත වනාගෙන අපි පිවිසුණේ මිරානියා ස්ට්‍රීට් වෙතය. එකිනෙකා බදාගෙන ඉන්නා ලෙස ගාල් කර ඇති බයිසිකල් සහ වාහන අස්සේ අපේ වාහනය නතර කරගැනීම ලේසිපහසු කාරණයක් වූයේ නැත. මොකෙක් හෝ විත් සයිඩ් කන්ණාඩි ටික ගලවා ගෙන යාමේ තත්වය වලකා ගනිමින් ආරක්ෂිත තැනක් සොයාගැනීමට විනාඩි විස්සක පමණ සටනක් දිය යුතුය. ලෙහෙසිම සැලසුම වන්නේ, එක්කෝ අඳුනන එකෙකු ඒ හරියේ සිටිය යුතුය, නැතිනම් රෝද තුනේ රථාචාරියකු සමඟ මේ ගමන ආ යුතුය. පාකින් ගැටළුව පිළිවෙලක් කරගෙන මිරානියා වීදියෙන් අපි පිවිසෙන්නේ අබ්දුල් හමීඩ් වීදියටයි.

දැන් කල්පනා කර බලන කල ඒ සියලු වීදි එකම සුරපුරයකි. කාලයත්, දුකත්, දුහුවිලිත්, වේදනාවත් හා පොරබදා කැටයම් වූ තියුණු හකුපාඩා සහිත මිනිසුන් දිගු අත් කරත්ත තල්ලු කරමින් කුඩා වීදි ඔස්සේ වේගයෙන් එහාමෙහා යති. තැනින් තැන ලැග සිටින කාකයන් , ගිජුලිහිණියන් ද පිම්බුණු පසුම්බි මානාගෙන භාවනා කරති. සිංහල වූ ද දෙමළ වූ ද කචපච අස්සේ පල්ලියේ ශබ්ද විකාශන යන්ත්‍ර දිව්‍ය ලෝකයට යන පාර කියමින් බෙරිහන් දෙයි. කුඩා වීදිය ඔස්සේ හමා යන කොළඹ-සුළඟ දෙපස වූ දුම් දමමින් ඉදෙන දැවැන්ත තාච්චි වලින් පැන නඟින අනේක වූ කෑම වර්ග වල සුවඳ ඔසවා ගෙන යයි. ඒ පිරුණු, පොහොසත් සුවඳ අප කාගේත් කාස්පුටු අස්සෙන් රිංගා කුසගින්නට කිති කවයි.

විවිධ වූ රසවත් ආහාර පිරි අබ්දුල් හමීඩ් මාවත මට සිහි කළේ හැන්සල් සහ ග්‍රෙතල් කතාවේ පැණිකැවිලි ගෙදරය. හැන්සල් සහ ග්‍රෙතල් වගේ බඩගිනිකාරයින් වුණු අපිත් මුලින්ම වාඩි වූයේ සැන්විච් කඩයක් ඉදිරිපිටය. කුඩා ප්ලාස්ටික් මේස සහ පුටු වල අප වැනි බඩගිනිකාරයින් හරි හරියට සැන්විච් පෙති ගිල දමමින් සිටියහ. අප ද කෙසේ හෝ හිස්වුණු මේසයක් අල්ලාගැනීමට යුහුසුහුළු වූයේ සැන්විච් පෙති සෑදෙන වේගය දෙස බලාගෙනමය.

නමුත් එතන හිටගෙන හෝ සිට සැන්විච් පෙති කිහිපයක් ගිල දැමීම ඒ හැටි කාරිය ද නොවන්නේය. කොළඹ කිසිදා එතරම් සුවඳට දැනී නැත. තහඩුවක් මත එලා තිබූ පාන් පෙති විස්සක් තිහක් ලාවට මෙන් රෝස් වෙයි. පාන් සුවඳ මත බැදෙන මස් සහ බිත්තර වල වල සුවඳ ගැටෙයි. රත් වෙන තහඩුව පසෙක වූ සැන්විච් කෝකියාගේ වේගවත් අතින් ජෝන් රැම්බෝගේ තියුණු පිහියේ වේගයෙන් ගෝවා කොළ සහ ලා කොළ පැහැති සලාද කොළ කැපෙයි. සෝස් බෝතලය සහ මයොනීස් බෝතලය පාන් පෙති මත රතු තක්කාලි සෝස් සහ සුදු පැහැ උකු ඉරි අඳී. ඉන්පසුව සැන්විච් හැදෙන්නේ මෙගාපොලිස් තට්ටු නිවාස සංකීර්ණ මෙනි.

*මේ සියලු ඡාරූප වල අයිතිය රුක්ෂාන් රණවීර මලයා සතුය. හෝබෝ ටික්කා මෙන් කම්මැලි සහ පෙරේත නොවී උනන්දුවෙන් පින්තූරු ටික ගත්තාට රුක්ෂාන් මලයාට අප කාගේත් ස්තූතිය හිමි විය යුතුය.  






සැන්විච් පෙති උණුවට ද කර කරව ද හැපෙයි. ඕනෑ තරම් කෑමට ද සිතෙයි. පාර පිරෙන්නට තිබූ බර්ගර් ද, සබ්මැරීන් ද, බාබකිව් ද අනේක වූ තවත් කෑම ද සිහි කරගනිමින් අපි බඩෙන් කාලක් පමණ සැන්විච් පෙති ගිල දමා යලිත් පාරට බැස්සෙමු. ඇස් වහගෙන වුවද කෑමට ඉව අල්ලමින් කඩ සොයාගත හැකි වූ පාරේ පොලිස් නිලධාරීන් ද නැතුවාම නොවේ. පුළුටු කරගත් මුහුණෙන් යුතු කාකි කළිසම් නපුරු වෙස් වළාගෙන විත් පාරේම වාගේ අටවා ඇති බාබකිව් තට්ටුව අසලට වී බාබකිව් හදන කොල්ලාට දොස් තියයි. "කොහෙද ඕයි තමුසෙ මේක අටෝගෙන ඉන්නෙ, තමුසෙ ඉන්නෙ පාරෙනෙ. බලනව මේකෙ දුම, මේ පාරටමයි කෙලින්ම යන්නෙ." බාබකිව් හදන කොල්ලා බෙල්ල හැකිතාක් ඇල කර පොලිස් නිළධාරියාගෙන් සමාව භජනය බලාපොරොත්තුවෙන් සිටී. බබකිව් කරන දිගු, උල් යකඩ කූරු ගිනියම්වී රතු-කහ-තැඹිලි පැහැ ගෙන ඇත. ඒවා ගිනි අඟුරු වලින් නැඟෙන ගින්දර වලින් මිරිකී දැවෙමින් තිබේ. විශාල මස් කැබලි එල්ලාගෙන ගින්න මත සැතපී සිටී. බබකිව් දාන කොලුවා යකඩ කූරු එහාටත් මෙහාටත් පෙරළයි. තඩි පින්සලකින් සෝස් වර්ග මස් කැබලි මත තවරයි. ඔහු කෑම-පින්තාරු කරන තෙක් අපි පාරටම වගේ තිබූ මේසය වටේ වූ කුඩා බංකු වල වාඩි වුණෙමු. එහා පැත්තේ මේසයේ පාසල් නිල ඇඳුම් හැඳගත් කොලුවන් කාණ්ඩයක් විශාල රිදී ප්ලේට් එකක් වටේට වාඩි වී රසවත් කොත්තුවක් ගිල දමති. ඔවුන් සිය ක්‍රිකට් භාණ්ඩ අසුරා ඇති මලු දෙපා මත තබාගෙන වගේ වගක්වත් නැතිව නිදහසේ කති. මේස සහ කුඩා කෑම කඩය අතර වූ ඉඩෙහි ගැබින් බර පූසියෙකි.





 
*All images copyrights @Rukshan Ranaweera 

අප ඇනවුම් කළ බාබකිව් මේසය මතට වඩම්මන්නේ ද විශාල රිදී තැටි දෙකකය. රතුවට පිළිස්සී තිබූ කුකුළු මසේ තනි රැකීමට යහමින් ලූණු ද පිපිඤ්ඤා ද මිරිස් ද දැමූ අපූරු සලාදයක් ද නාන් රොටී ද මස් හොදි ද ලැබෙයි. අමු එලවළු සලාද කෑමට රුසියෙකු වන හෝබෝ ටික්කා සලාද තසිම අත්අඩංගුවට ගන්නට වැඩි වේලාවක් යන්නේ නැත. යෝගට් හෝ මුදවපු කිරි, යාන්තම් ගම්මිරිස් සහ යහමින් දෙහි දමා තිබූ අපූරු සලාදය උණු උණු බාබකිව් කුකුළු මස් සමඟ එකම රස පාරාදීසයකි. බාබකිව් දුම ද, ගිනි රතු පැහැ යකඩ ද පාරේ කෑකෝස්සන් ගැසීම ද රවා බලන පොලීසිය ද සියල්ල ගත් කළ එය දඩබ්බර රස්තියාදු කෑම වේලකි. එය පංකාදු පහය. අත සෝදාගැනීමට කුඩා කරාමයක් ද අත් පිස ගැනීමට කොටුවට කපා ඇති පත්තර කොළ ද ඇත. එය මිටි බංකු සහිත තරු පහේ කෑමකි. 

ඊළඟට ඇත්තේ හෝබෝ ටික්කාගේ කෑම ප්‍රයාණයේ වැදගත්ම අදියරයි. ඒ බිරියානිය. ගෙදර කෙතරම් බිරියානි හැදුව ද, කඩෙන් කෙතරම් බිරියානි කෑව ද මේ බිරියානි ඇත්තටම බිරියානිය. විශ්ව විද්‍යාලයේ යන කාලයේ බම්බලපිටියේ කෑම කඩ පෙළෙන් වරෙක කෑ බිරියානිය ද රසම් ද වටලප්පන් ද රස කෑම ලැයිස්තුවේ ඉහළින්ම මතකයේ රැඳී තිබිණි. ඊට තරග කළ හැකි බිරියානියක් සොයා අපි පාරට බැස්සෙමු. ඔත්තු කිහිපයක් ලැබී තිබුණෙන් අපි කෙලින්ම කෑම පාරේ කප් ගසා හුන් බිරියානි කඩේකට ඇදුනේ, හෝබෝ ටික්කාට දැනුණේ වසර ගණනාවක් තිස්සේ එල් දොරාදෝව සොයා ගිය සැරිසරන්නෙකුට අවසානයේ ඒ රනින් දිලෙන ස්වර්ණ භූමියේ දිස්ණය දකින විට දැනෙන සතුටට දෙවැනි නොවූ ප්‍රහර්ෂයකි. බිරියානි දමා තිබූ විශාල බඳුන් දෙස බලමින් කෙළ ගිලිනවා හැරෙන්නට කුමන බිරියානි වර්ගය තෝරා ගත යුතු දැයි හෝබෝ ටිකාට වගක් තිබ්බේද නැත. හැකි නම් ඔක්කොම කනවා විනා, එකක් හෝ හැර දා පැමිණීමට හෝබෝ ටික්කාට හිත දුන්නේම නැත.

 *All images copyrights @Rukshan Ranaweera 

අන්දරේගේ කිරි වලට බඩේ ඉඩ කතාවේ මෙන් සැන්විච් සහ බාබකිව් පිරී තිබුණු බඩට බිරියානි බැස්සේ හිරවී, තෙරපී, මිරිකී තිබූ කාමරයට රජතුමා වැඩියා ලෙසිණි. සැබවින්ම බිරියානි රජ කෑමකි. බිරියානි සුවඳ ඇදෙන්නේ නාසා පුටු වලින් ඉහලටය. එය හෙමින් හෙමින් මොළයේ දැවටෙයි. ඉන් මිදෙන්නට බිරියානි කෑ යුතුමය. කෑවාට පසුව ද බිරියානි කෑමට ඇති ආසාව එසේමය. අපේ මේසයට දිලිසෙමින් ආවේ දං බිරියානිය (Dum Biriyani). උදේට හඬලා කෑමොර දී මළම වදයක් වෙන නිසා හෝබෝ ටික්කා කන්නේ කුකුළු මස් පමණි. ඒ නිසා මගේ ළඟට වැඩියේ දිලිසෙන කුකුළු මස් දං බිරියානියකි. සැෆ්‍රෝන් කහ පැහැති දං බිරියානිය රස ගුලාවකි. පුළුන් වැනි බාස්මතී හාලේ ඈතින් කුරුඳු, කරාබුනැටි, එන්සාල් සුවඳක් ද එයි. කුකුළු මසෙහි විවිධ වර්ගයේ කුළුබඩු සහ මසාලා රස වර්ග නිලා කූරක් පත්තු කරන්නාක් මෙන් දැනෙයි. කුකුළු මස මොළොක්ව ද රස පිරී ද අපූරුවට පදම්ව තිබිණි. ඊට අමතරව දෙහි රස ද මුදවපු කිරි රස ද එන්නේ බිරියානිය සමඟ තනියට එවන තසිම් වලිනි. බිරියානිය බතක් හෝ හුදෙක් කෑම වේලක් හෝ නොවන්නේය. බිරියානිය එහෙමපිටින්ම සංකල්පනාවකි, කලාවකි, සංසිද්ධියකි.

බිරියානි කෑමෙන් අනතුරුව වැඩිපුර ටිකක් පාරේ එහාමෙහා ඇවිද අමාරුවෙන් හෝ බඩ ටිකක් බස්සා ගැනීමට කවුරුත් ප්‍රයත්නයක් දැරුවේ ස්ට්‍රීට් ෆූඩ් බකට් ලිස්ට් එකේ යටත් පිරිසෙන් තව එකක් හෝ සම්පූර්ණ කරගැනීමට මාන බලමිනි. ටික වේලාවක් මැජික් ලිප් වලින් ඉදෙන කෑම සුවඳ අස්සේ රස්තියාදු ගැසූ අපි අන්තිම ප්‍රයාණය ලෙස කුඩා පැණිකැවිලි කඩයකට රිංගා ගතිමු. එහි ගුලාබ් ජමුන්, වෛවර්ණ බූන්දි සහ නොයෙක් වර්ගයේ පැණි කැවිලි තිබුණ ද තවදුරටත් අන්දරේගේ කිරි වලට බඩේ ඉඩ තියරිය ආදේශ කිරීමට කාටවත් පුළුවන්කමක් තිබුණේ නැත. ඒ නිසා අපි කෑමෙන් බීමට මාරු වීමට තිරණය කළෙමු. ඒ අනුව අපි එවර රස බැලුවේ කුරුඳු සහ එන්සාල් සුවඳැති කිරි කෝපිය. එය රස බැලිය යුතුම උණු උණු කිරි කෝපි වඩියකි.


ගොම්මන දුරස් වී රෑබෝ වී තිබිණි. අපි අලුත්කඩේ පාරට සමුදී එන විට බඩකට ද හිත ද සම්පූර්ණයෙන්ම පිරී ගොස් තිබිණි. යළි පැමිණ කා දැමිය යුතු බොහෝ රසවත් කෑම එහි විය. "අපි ආයෙ දවසක එමු..." එය කාගේත් සැලසුම විය. එදා ඒ සැලසුම ඉතා සරල එකක් වී නමුත් සැඳෑ ඇඳිරිය සමඟ වැටෙන ඇඳිරි නීතිය කරපින්නාගන අපේ හිත දැන් බොහෝ බරය. සියල්ල යථා තත්වයට පත් වේ යැයි අපි උදක්ම බලාපොරොත්තුවෙන් සිටිමු. නමුත් හැකි සෑම මොහොතකම නිදහසේ, සතුටින් ජීවත් විය යුතු බව කොරෝනා අපට යළි යළිත් සිහි කර දෙයි. අපට හෙට, හෝ අනිද්දා තබා අදවත් නැත. ඇත්තේ මේ මොහොත පමණි.