Thursday, November 22, 2018

පුංචි දියකිඳුරිය සහ මහපොළොව දිග්විජය කිරීම



මහ පොළොවෙ පය ගහන්න ඕනෙ නම් හුස්ම ගන්නත් ඇවිදින්නත් අපට පුළුවන් වෙන්න ඕනෙ. ඒ දෙකම බැරිව හිටපු පුංචි දිය කිඳුරිය මුහුදු පතුලෙ ඉන්න නපුරු මුහුදු මන්තරකාරියකගෙන් ඉල්ලා ගත්තු මැජික් පානයකින් තමන්ගේ යටිකය වරල වෙනුවට කකුල් දෙකක් ලබාගෙන එයාගෙ ආලවන්ත කුමාරයාව හොයාගෙන ගිය කතාව බොහෝ දෙනෙක් අහලා ඇති.  



මේ කතාන්තරයේ අනුවාදයන් දෙකක් තිබෙනවා. ඉන් එකක තිබෙන්නෙ ඛේදාන්තයක්, අනෙක් අනුවාදයට නම් සතුටුදායක අවසානයක් තිබෙනවා. දිය කිඳුරිය ගොඩබිමට එද්දි එයාගෙ දෙපා වෙනුවට එයාගෙ මිහිරි කටහඬ කැප කරන්න වෙනවා. එයාගෙ ඒ නැති වෙන කටහඬ කතාවේ හැටියට ගොඩබිමේ වෙසෙන වෙනත් කුමාරිකාවකට ලැබෙනවා. කතාවේ මෙන්න මේ කොටස කියවද්දි මට කල්පනා වුණා, සමහර විට මේ කතාව හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් අතින් ලියැවෙද්දි, එයාට නොදැනීම එයා විශ්වාස කරන සමහර දේවල් මේ කතාවට එකතු වෙන්න ඇති කියලා. සාමාන්‍යෙන් විද්‍යාව විශ්වාස කරන ලෝකයේ තර්කයක් තියෙනවනෙ, මේ විශ්වයේ තිබෙන ධාතු/පදාර්ථ ප්‍රමාණය වෙනස් කරන්න බැහැ කියලා. ඒ කියන්නෙ සරලවම "මැවීම" කියන කාරනාව පසෙකට දාලා තිබෙනවා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නෙ ඔය ඉන්දියාවේ සෘෂිවරු එහෙම "මවනවා" කියලා කියන්නෙ යම් පදාර්ථ සමූහයක් එක් තැනක සිට තවත් තැනකට අදෘශ්‍යමානව පරිවහනය කිරීමේ හැකියාව කියලයි. ඒ විදියට බැලුවොත්, අර මූද යට ඉන්න මන්තරකාරිගේ මැජික් පානය නිසා නැති වෙන දිය කිඳුරියගෙ මිහිරි කටහඬ වචනාර්ථයෙන් ගත්තොත් නැත්තටම නැති වෙලා නැහැ, ඒක වෙන කෙනෙකුට ලැබිලා තිබෙනවා. මේක ටිකක් ඕනෙවට වඩා සහසම්බන්ධයක් දකින්න උත්සහ කිරීමක් වෙන්නත් ඇති. ඒත් ඉතින් හිත රස්තියාදු ගහන සමහර වෙලාවට මේ වගේ අභූත අදහස් ඔළුවට එනවා.


මේ අදහසත් එක්ක ඔය දිගටම හිතාගෙන හිතාගෙන යනකොට මට තවත් අදහසක් හිතට ආවා. ඒක ටිකක් සංකීර්ණ වුණාට හරිම විනෝදජනක අදහසක්. අපි හැමෝම කල්පනා කරනවනෙ මහ පොළොව මත ජීවය බිහි වුණේ කොහොමද කියලා. ඒක පැහැදිලි කරන විද්‍යාඥයෝ යෝජනා කරන්නේ මුහුදේ මුලින් ඇත් වූ ජීවය පසු කලෙක ගොඩබිමට අවතීර්ණ වුණා කියලයි. කොහේ හරි විද්‍යා පාඩමක... නැත්නම් ඉස්සර විදුසර පත්තරේ කියවනකොට මේ විස්තරේ මුලින්ම දැනගත්තු වෙලාවෙ මගෙ හිතේ ඇඳුණේ මාළුවෙක් වෙරළෙන් ගොඩට ඇවිත් කෙලින් හිටගෙන වරල් දෙකකින් ඇවිදගෙන යන රූපයක්!


ඒත් පස්සෙ කාලෙක පොතින්පතින් මේ ගැන වැඩි දුර විස්තර හොයාගෙන මේ උභතෝකෝටික ප්‍රශ්නයෙන් ටිකක් මිදෙන්න මට පුළුවන් වුණා. ඒත් තාමත් අර මාලුවා ඇවිදගෙන යන රූපෙ නම් එහෙමම හිතේ තියනවා!!! මම අහලා තියෙන විදිහට නම් මේ ගැන මුලින්ම කල්පිතයක් ගොඩ නැගෙන්නෙ ග්‍රීන්ලන්තයේ සිදුකරන ලද පර්යේෂණයකදී හම්බවුණු පොසිලයක් මගින්. ඩෙවෝනියානු යුගයට අයත් මේ පොසිලගත වෙලා හිටපු ජලයේ වෙසෙන සත්වයා වසර මිලියන 360 ක් පමණ පැරණි බව විද්‍යාඥයින් හඳුනා ගන්නවා. මේ සත්වයාට තිබෙන්නෙ මාලුවෙකුට එහා ගිය උරග පෙනුමක්. නමුත් මුහුණ මාළුවෙක් ආකාර ගන්නවා, ඒත් මාළුවෙකුගේ හිසට වඩා ශක්තිමත්. මෙම සත්වයා මීටර එකක්, එහෙම නැත්නම් අඩි තුනක් විතර දිගයි කියලා තමයි විශ්වාස කෙරෙන්නෙ.  මේ සත්වයාව සාමාන්‍යයෙන් හඳුන්වෙන්නෙ lobe-finned fish කියලා. වර්තමානයේ ජීවත් වෙන coelacanth  සහ lungfish කියන මාලු විශේශ මේ සත්වයාට නෑකම් කියනවා කියලත් විශ්වාසයක් තිබෙනවා.  මේ සත්වයාගෙ අපූර්වත්වය වුණේ, ඌට අත්,පා පිහිටා තිබීමත් ඇඟිලි පිහිටා තිබායි. ඒ විතරක් නෙවෙයි, මේ සත්වයාට ඇඟිලි අටක් පිහිටලා තිබිලා තියෙනවා. පෙඳපාසි,කොළ ගහන, ඔක්සිජන් අඩු නොගැඹුරු දියෙහි තමයි මේ සත්වයා ජීවත් වෙලා තියෙන්නෙ. මේ නොගැඹුරු දිය තුල/ගොහොරු බිම ඔස්සේ ඇවිද යන්න පහසු වෙන විදිහට තමයි මේ සත්වයාගෙ අත්,පා සහ ඇඟිලි පිහිටලා තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි, නොගැඹුරු දියෙහි අඩු ඔක්සිජන් ප්‍රමාණය ඇති නිසා ජලයෙන් මතු පිටට ඇවිත් හුස්ම ගැනීම සඳහා මේ සත්වයාට පෙනහළු නිර්මාණය වෙලත් තිබෙනවා කියා විශ්වාස කෙරෙනවා. ඒ වගේම මේ සත්වයන්ට පිහිටා තිබුණු අත්,පා,ඇඟිලි නිසා දියෙන් ගොඩට තමන්ව රැගෙන යන්න පුළුවන්කම තිබෙනවා. නිකම් මතක් කරගන්න පුංචි දියකිඳුරි මුහුදු රැලි අතරින් වෙරළ වෙනකම් තමන්ගෙ අත් දෙක පාවිච්චි කරලා යටිකය වරළ කොටස ඇදගෙන ගොඩබිමට සේන්දු වුණ හැටි......





ඉතින් පසු කලෙක සිව්පාවුන්, උරගයින්, උභයජීවීන්, ක්ශීරපායීන් සහ කුරුල්ලන් බවට පත්වුනේ මේ සත්වයින් කියලා තමයි විශ්වාස කරන්නෙ. අපේ පුංචි දියකිඳුරියට නම් සාගර පත්ලේ ඉඳන් තමන්ගේ රාජධානිය අතහැරලා ගොඩබිමට එන්න හිතුණේ ආදරය නිසානෙ. එතකොට ඇයි මේ නොගැඹුරු දියෙහි ජීවත් වුණු මේ උභයචාරී සත්වයින් ගොඩ බිමට සේන්දු වුනේ? ඇත්තටම හිතලා බැලුවොත් එයාලත් මේ ගොඩබිමට එන්නෙ එක්තරා විදිහක ආදරයක් හින්දා තමයි. හැබැයි ඒ කඩවසම් කුමාරයෙක් හින්දා නෙවෙයි, එයාලට එයාලගෙ ජීවිතේට තියන ආදරය නිසයි! මේ කාලේ සාගරයේ ජීවත් වුණාලු ඉතාම වේගවත් සහ භයානක මාළු විශේෂ. මේ මාළුන්ගේ වේගය වැඩිවෙන්න එක් හේතුවක් වෙලා තියෙන්නෙ උන් සතු අමතර වරල් සංඛ්යාවක්. ඉතින් මේ වේගවත් මාළුවගෙ දඩයමට, මේ නොගැඹුරු දිය පත්ල මත ඉතාම හෙමින් ඇවිදගෙන යන සත්වයින්ව පහසු දඩයමක් වුණාලු. තමන්ගෙ ජීවිතාශාව හින්දම පුළුවන් තරම් නොගැබුරු දියට සහ මඩ ගොහොරු වලට පලා ගිය මේ සත්වයින් අවසානයේදී ගොඩබිම දිග්විජය කළා කියලා තමයි විද්‍යාඥයින් විශ්වාස කරන්නෙ.


මීට වසර මිලියන තුන්සිය හැට හැත්තෑවකට කලින් මහපොළොවට සේන්දුවුණු ජීවීන් ගැන මේ සිද්ධාන්තය ඉදිරිපත් කරන්න මෑත කාලීන් විද්‍යාඥවරියක් තමයි එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජෙනිෆර් ක්ලැක්. නමුත් මේ පොසිල භාවිතයෙන් මිහිමත අතීත ජීවය සොයායාමේ ගවේෂණය සහ ඒ පිළිබඳ නූතන යුරෝපයේ අධ්‍යයනය පටන්ගන්නේ 14 වන ශතවර්ශය තුලදි. නමුත් ඊට බොහෝ කාලයකට, ඒ කියන්නෙ ක්‍රිස්තුපූර්ව 480 වගේ කාලයේ ග්‍රීක දාර්ශනිකයන් වන සිනෝෆිනීස්, හෙරඩෝටස් වගේ අය මුහුදු ජීවී පොසිල ගැන සඳහන් කරලා තිබෙනවා. 14 සිට 17 වන ශතවර්ශ කාලය තුල යුරෝපයේ ඇතිවන පුනරුද සමයේ අධ්‍යයනය ඇරඹෙන මේ මාතෘකාව, ඒ කාලයේ දී කතාබහට ලක් වීම පුදුමයක් නොවේ. මොකද යුරෝපයේ පුනරුදයේ මූලික පදනම වෙන්නෙ ග්‍රීක ශිෂ්ටාචාරය. ඒ නිසා මේවා අතර තියෙන සියුම් සහසම්බන්ධය ඔයාලට පේනවා ඇති.




මේ විදියට ඇරඹුනු පොසිල අධ්‍යනය එහෙමත් නැත්නම් පාෂාණීය ධාතු විද්‍යාවවඩාත් නිවැරදිව ඇරඹෙන්නේ සහ වඩා ජනප්‍රිය වෙන්නෙ 17 සහ 18 වන ශතවර්ශ වලදීයි.   මේ උඩින් දැක්වෙන සිතුවම ඇඳලා තියෙන්නෙ තියෙන්නෙ 1830දි Henry Thomas De la Beche කියන භූ විද්‍යාඥයා. මේ කාලයේදී මේ විෂය ඉතාම ජනප්‍රිය වෙලා තිබෙනවා. මෙන්න මේ කාලයේදි තමයි හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ජීවත් වෙලා තිබෙන්නෙත්. (1805-1875) සමහරවිටඑයාත් මේ විෂය ගැන උනන්දුවක් දක්වන්න ඇති. පුංචි දියකිඳුරිය කතාව ලියද්දි සමහර විට මේ අධ්‍යයනිත කරුනු ගැන රචකයෙක් විදිහටපොතපත ඇසුරු කරන්නෙක් විදිහට යම් දැනුමක් ඇන්ඩර්සන්ට තිබෙන්නත් ඇති. මීට තවත් ටිකක් පසුකාලීනව  සර් ආතර් කොනන් ඩොයිල් (1859-1930) Lost World කෘතිය (1912) කියන පොත ලියද්දීත් මේ පොසිල ආශ්‍රිත අධ්‍යයනය ජනප්‍රිය තලයක තිබුණා.

ඉතින් ආයෙමත් වතාවක් කාට හරි පුංචි දිය කිඳුරිය කියවන්න හිතුණොත්, මීට අවුරුදු මිලියන තුන්සිය ගාණකට කලින් මේ මහපොළොව දිග්විජය කළ අපේ අතීත මුතුන්මිත්තන් ගැනත් ටිකක් මතක් කරගමු!



Saturday, September 15, 2018

මාරියා මොරේව්නා සුන්දර රැජිණ

පොඩි කාලෙ "රාජ කුමාරිකා" සෙල්ලම කරනකොට අම්මා අහනවා මගෙන්, මං ඔයාට "ඔල්ගා කුමරිය කියන්නද?" එහෙම නැත්නම් "ආන්නා කුමරිය කියන්නද" එහෙමත් නැතිනම් "මාෂෙන්කා" කියන්නද කියලා. දිග කොන්ඩයක් කියලා හිතාගෙන ඔළුවෙ ඔතා ගත්තු පරණ චීත්තෙ වනන ගමන් මම එතකොට උත්තර දෙනවා, "එපා, මට මාරියා මොරේව්නා කියලා කතා කරන්න..." කියලා. 

රුසියානු කතාන්තර ගොනුවේ එන මාරියා මොරේව්නා චරිතය හරිම අපූරු, වෙනස් චරිතයක්. කතාව කියවලා නැති අයටත් එක්ක බොහෝම කෙටියෙන් කතාව කියලා ඉන්නම් මුලින්ම. මොකද අද මගේ කතාව එයා ගැන.

ඔන්න එකෝමත් එක කාලෙක ඉවාන් කියලා කුමාරයෙක් හිටියා. එයාගේ දෙමාපියන් දෙදෙනා මියගියාට පස්සෙ, එයාගෙ නංගිලා තුන්දෙනා එක්ක මාළිගාවක ජීවත් වුණා. එයාගෙ නංගිලා තුන්දෙනාවම මායාකාරයින් කසාද බැඳගත්තාට පස්සෙ, ඉවාන් කුමාරයා ලෝකෙ වටේ ඇවිදින්න යනවා. එහෙම යනකොට යනකොට එයා යුද්ධ සේනාවක් කඳවුරු ලාගෙන ඉන්නවා දකිනවා. විපරම් කරලා බලනකොට එතන ඉන්නෙ මාර්යා මොරේව්නා කියන යුධ රැජිණ. ඉවාන් කුමාරයා මාරියා මොරේව්නාට ආලය කරන්න පටන්ගන්නවා. මාර්යා මොරේව්නාත් ඉවාන් කුමාරයාට ආදරය කරනවා. දෙන්නා විවාහ වෙලා කලක් ගත වෙනවා. මාර්යා මොරේව්නා යුද්ධයක් සඳහා පිටත්ව යනවා. ඉවාන් කුමාරයාට කියනවා මාලිගයේ ඕනෙම තැනක  යන්න යකඩ දම්වැල් දාපු කාමරයට නම් යන්න එපා කියලා.



ඒත් ඉවාන් කුමාරයා මේ කාමරයට ගිහින් බලනවා. ඒකෙ ඉන්නෙ නොමැරෙන කසේයි රාක්ෂයා. ඔහු දම්වැල් වලින් බැඳලා. ඔහු ඉවාන්ගෙන් බැගෑපත්ව ඉල්ලනවා මට වතුර ටිකක් දෙන්න කියලා. ඉවාන් කුමාරයා දුක හිතිලා නොමැරෙන කසේයි රාක්ෂයාට වතුර දෙනවා. වතුර බාල්දි දොළහක් බීලා කසේයි දම්වැල් කඩාගෙන පැන යනවා. තමන්ව හිර කරගෙන හිටපු මාරියා මොරේව්නාව අල්ලාගෙන ඈව සිරකර තබනවා. අන්තිමේදී ඉවාන් කුමාරයා බොහෝම දුෂ්කර ඉලක්ක සපුරලා ආපිට මාරියා මොරේව්නාව බේරාගන්නවා. කසේයිව විනාශ කරලා දානවා. ආලවට්ටම් නැතිව ගත්තොත් කතාව ඕකයි. ඕකෙ තව හරි අපූරු සිද්ධි තියෙනවා. නොකියවපු කෙනෙක් නම් කියවලාම බලන්න. 

දැන් අපි අපේ කතාවට එමුකො. මාරියා මොරේව්නා...කවුද මේ? බොහෝම තැන් වලදි ඇයව හැඳින්වෙන්නෙ එක්කො යුධ රැජිනක් ලෙස එහෙම නැත්නම් රණකාමී කුමාරිකාවක් ලෙස. ඒ වගේ චරිතයක් සාමාන්‍ය නිතර අහන්නට දකින්නට ලැබෙන කාන්තා චරිත වලට වඩා වෙනස්. අනිත් එක මෙයා නිකම්ම නිකම් නමට විතරක් රැජිණකුත් නොවෙයි. එයා තමයි නොමැරෙන කසේයි රාක්ෂයාව අල්ලාගෙන ඌව හිර කරගෙන ඉන්නෙ. ඒක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. මේ වෙනස්කමත් එක්ක තමයි මාරියා මොරේව්නා මගේ ප්‍රියතම චරිතයක් වෙන්නෙ මේ රුසියානු සුරංගනා-ජන කතා ගොන්න අතර. 

ස්ත්‍රීවාදී ප්‍රවේශයකින් බැලුවොත් දේශපාලන ලෝකය තුල ඉන්න බලවත් චරිතයක් විදියට තමයි මාර්යා මොරේව්නාව කියන කාන්තා චරිතය පිළිඹිඹු කරලා තිබෙන්නෙ. සරලවම කිව්වොත් මාග්‍රට් තැචර්,එළිසබෙත්, වික්ටෝරියා කියන්නෙත් මාරියා මොරේව්නා කෙනෙක් කියලා හිතන්න පුළුවන්. දැන් ඉතින් මේ වගේ බොහොම ශක්තිමත් චරිතයක් වෙන මාරියා මොරේව්නාට ඉවාන් කුමාරයාව මුණගැහෙනවානෙ. ඊට පස්සෙ මාරියාට මොකද වෙන්නෙ? ඔන්න ඒක නම් හොයාබලන්න හරි වටින සිදුවීම් පෙලක්. මේ එක්කම ඉවාන් කුමාරයා ගැනත් යමක් කියන්න වුවමනයි. එයා කිසිම පැකිලීමකින් තොරව මාරියා රැජිණගේ වල්ලභයා වෙන්න කැමති වෙනවා. ඇයට බොහෝ සේ ආලය කරනවා.අද වෙනකොට යළි හුස්ම දීමට උත්සාහයක් තිබෙන මාතෘ මූලික සමාජය තුළ මෙවැනි චරිත ප්‍රශ්ංසාවට ලක් වෙනවා. මොකද පුරුෂ මූලික සමාජයක් තුළ හැම විටම බලය පුරුෂයාට ආරෝපණය කිරීමක් තමයි සිද්ධ වෙන්නෙ. සුරංන්ගනා කතා තුලත් එහෙමයි. මම මේ ගැන කලිනුත් කතා කරලා තිබෙනවා මගේ "වසීලිස්සාගේ ඇටකටු උඩ බාබායිගා නැටීම" ලිපියෙන්.



හරි, දැන් ආයෙමත් කතාවට එමුකො. මේ කතාවේ ඉන්න ඉවාන් කුමාරයා තමන්ට වඩා දේශපාලන සහ යුධ බලයක් තිබෙන රැජිණකට ආලය කිරීම සහ ඇය සමග විවාහ වීම, සාම්ප්‍රදායෙන් බැහැර වූ විප්ලවීය කාරණයක් ලෙස අපට දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අද වෙනකොට නම් මේ විදියේ විවාහ දෙස ධනාත්මකව දකින්නත් පොඩි නැඹුරුවක් තිබෙනවා. ඒත් තවමත් වැඩි පිරිසකගේ ආකල්පය තියෙන්නෙ එක්කෝ සැමියා වැඩට ගිහින් නෝනා ගෙදර ඉන්න ඕනෙ, නැත්නම් නෝනා කරන්න ඕනෙ සැමියට වඩා අඩු පඩියක් ලැබෙන රැකියාඅවක්, නෝනා සැමියට වඩා උසස් තනතුරක් දරණ එක පිරිමියගෙ පිරිමිකමට මදි පාඩුවක් වගේ පටු ආකල්ප තමයි. බලය සහ පිරිමිකම එක තරාදියක දෙකොනේ දාලා මනින්න ගියාම තමයි වැඩිමනක්ම ඔය ගැටළුව නම් එන්නෙ. 

ඒ විතරක්ද, මේකෙ තව අපූරු සිදුවීමක් තමයි මාරියා මොරේව්නාගේ සහ ඉවාන් කුමාරයාගේ මුණගැසීම. 

"ඒ රටේ රැජිණ, මාර්යා මොරේව්නා ඉවාන් කුමාරයාව පිළිගන්න ආවා. 
ආයුබෝවන් ඉවාන් කුමාරයා, කොහේද නුඹ යන්නෙ, නිදහසේ යනවාද? නිදහස නැති නිසා යනවාද?
වීර කුමාරයෝ නිදහස් නැති හින්දා රට රටවල යන්නේ නැහැ, ඉවාන් කුමාරයා පිළිතුරු දුන්නා. 
ඉතින් නුඹට හදිසිය නැත්නම් මගේ කූඩාරමේ නැවතිලා විවේක ගනින්.
ඉවාන් කුමාරයා සතුටු වුණා. රෑ දෙකක්ම කූඩාරමේ ගත කළා. ඉවාන් කුමාරයාට මාරියා මොරේව්නා ගැන හිතක් ඇතිවෙලා එයාව සරන පාවා ගත්තා. 

බලන්න ඒ සංවාදය දිහා. මාර්යා මොරේව්නා අහනවා ඔබ නිදහසේ යනවාද නිදහස නැති හින්දා යනවාද කියලා. ඒ අහන්නේ ඔබ තනිකඩයෙක් ද ඔබ විවාහකයෙක්ද කියලා. ඊට පස්සෙ ඈ තමයි ඉවාන් කුමාරයාට ඈ එක්ක රාත්‍රියක් ගත කරන්න කියලා ඉල්ලා සිටින්නේ. සරලව අද කාලෙ වචනයෙන් කිව්වොත් මේක One Night Stand එකක්. ඒකෙන් පෙන්නුම් කෙරෙන්නෙ ඒ කාලයේ පවා මේ ලිංගික නිදහස, විවාහයට පෙර ලිංගික ඇසුර ආදී සංකල්ප මේ සමාජ තුළ තිබුණා කියන එකයි. පසුකාලීනව එන වික්ටෝරියානු මතවාද ලෝකයේ බොහෝ සංස්කෘතීන් බුල්ඩෝස් කරගෙන තමන්ගෙ පියුරිටන්වාදී අදහස් හිටවන්න කලින්, නිදහස් සමාජයක් සහ සංස්කෘතියක් තිබුණු බවට මේක සාහිත්‍යමය සාක්ෂියක් ලෙස ගන්නත් පුළුවන්. (මාරියා රැජිණක් වීමත්, ඈ සතුව දේශපාලනික බලයක් තිබීමත් මෙවැනි ආරාධනාවක් කරන්න ඇයට යම් ශක්තියක් වෙන්නත් ඇති.)

දැන් මෙතන අනිත් කාරණාව තමයි, ඉවාන් කුමාරයා ඇයව විවාහ කරගැනීමට සිතීම. ඒ කියන්නෙ මාරියාගේ ලිංගික ආරාධනාව දෙස හෝ ඇය දෙස "ඇය වරදකාරී එකියක්" අද කාලේ වචන වලින් කිව්වොත් "ඒකි බඩුවක්", "ඒකි කෑල්ලක්" "ඒකි මේ වගේ තව උන් කීයක් එක්ක වල්කමේ ගියාද දන්නෙ නෑ" "රූම් යන ගෑණු කසාද බඳින්නෙ නෑ" වගේ හිතිවිල්ලක් ඉවාන් කුමාරයාගේ හිතට ඇවිලා නෑ. ගැහැණියක් හා පිරිමියෙක් ස්ව කැමැත්තෙන් ලිංගිකව එකතු වීම එක් පාර්ශවයක් හොඳ වීම සහ අනෙක් පාර්ශවය වල් වීමට බලපාන්නෙ නෑ කියන එක ඉවාන් කුමාරයත් විශ්වාස කළ බවයි පෙනෙන්නෙ.

දැන් කොහොමින් හරි මාරියා මොරේව්නාගෙත් ඉවාන් කුමාරයාගෙත් විවාහය සිද්ධ වුණානෙ. ඊට පස්සෙ වුණු දේ ගැන කතාකාරයා හරි අපූරුවට මෙහෙම කියනවා. 
"සුන්දර රැජිණ මාරියා මොරේව්නා ඉවාන් කුමාරයාත් සමග ඇගේ රටට ගියා.ඔහොම ඉතින් ටික කාලයක් දෙදෙනාම එකට ජීවත් වුණා. මාරියා මොරේව්නාට හිතුණා යුද්ධ කරන්න ඕනෙ කියලා. යුද්ද හමුදාවත් අරගෙන යුද්ධෙට යන්න ලෑස්ති වෙලා මාරියා මොරේව්නා ඉවන් කුමාරයාට අණ කළා."

ඔන්න වැඩේ. මාරියා මොරේව්නා ඉවාන්ට දීලා තියෙන්නෙ අණක්. ඒක ඉල්ලීමක්වත් කරුණු පහදාදීමක්වත් නෙවෙයි. ඒක අණක්. නිදහස් කුමාරයෙක්ව සිටි අයෙකුට ඇය දෙන්නෙ අණක්. ඉතින් මේ කුමාරයා ඒ අණ පිළිගන්නවාද? කොහෙත්ම නෑ සහෝදරවරුනි! ඕං සැමියන්ට අණ දෙන උන්දලා එහෙම ඉන්නවා නම් ඒකත් ඔළුවට දාගන්නවා හොඳයි! සන්නිවේදනය සාර්ථක වෙන්න වෙන්න තමයි දෙපාර්ශවයම එකිනෙකාට යහපත් ප්‍රතිචාර දක්වන්නෙ.

අද ට්‍රැක් පයිනවා වැඩී.ගණං නොගෙන ඉස්සරහට කියවගෙන යමු. දැන් මේ මාරියා මොරේව්නා ඉවාන්ව කසාද බැඳලා ගෙදර ඉන්නකම් කිසි ප්‍රශ්නයක් නෑ. ඒත් මෙයාට ආයේ යුද්ධ කරන්න හිතිලා ගෙදරින් පිට වුණු ගමන් ප්‍රශ්න එකක් නෙමෙයි, ප්‍රශ්න මහ ගොඩකට මූණ දෙන්න වෙනවා. ඒ කියන්නෙ, මාරියා මොරේව්නා මාළිගාවට වෙලා හිටිය නම්...අද කාලෙ හැටියට නම් තියන දෙයක් කාලා, ළමයිබමයි බලාකියාගෙන ගෙදෙට්ට වෙලා හිටිය නම්...ඔය කිසි ප්‍රශ්නයක් එන්නෙ නෑ කියලා අපට මේක අරුත්ගනවා ගන්න පුළුවන්. 

දැන් මාරියා රැජිණ යුද්ධේට ගියාම ඇගේ අණ කඩ කරලා වහලා තියෙන ගබඩා කාමරේ බලන්න යනවා ඉවාන් කුමාරයා. කාමරේ දොර ඇරලා බලද්දී කසේයි නම් නොමැරෙන් රාක්ෂයා දම්වැල් දොලහකින් බැඳලා ඉන්නවා. එයාට වතුර බාල්දි දොළහක් බොන්න දුන්නම, එයා දම්වැල් කඩාගෙන නිදහස් වෙලා, යමින් ගමන මාරියා රැජිණවත් පැහැරගෙන යනවා. මට හිතුණා මේ වගේ දෙයක්. ඉවාන් කුමාරයාගේ නිදහස් හිතට එකපාරටම මොකද්දෝ අමුතු ඊර්ෂියාවක්, එහෙමත් නැත්නම් (මේක අලුත් වචනයක් මෑතක හඳුන්වා දීපූ ) පුරුෂාත්ම හීනනයක් ඇති වෙනවා තමන් ගැන. දම් වැල් දොළහක්, වතුර බාල්දි දොළහක්...දොළහක් කියන්නෙ මාස දොළහක්...අවුරුද්දක් යනකොට මේ වෙනස ඇතිවෙලා. මාරියාගේ අණත් නොතකාම වහලා තියෙන පුරුෂෝත්තමවාදී ගබඩා කාමරය ඇරලා බලපුවාම එතන ඉන්නවා රාක්ෂයෙක්. ඌට විතරයි පුළුවන් මේ ශක්තිමත්, සුන්දර රැජිණව මෙල්ල කරන්න. ඉවාන් කුමාරයා මේ රාක්ෂයාට තමයි පණ පොවන්නෙ. කසේයි රාක්ෂයා ඉවාන් කුමාරයාගේ හිත ඇතුලේ හැංගුණ පුරුෂාත්ම හීනනය වෙන්නත් පුළුවන් කියලා යෝජනාවක් ගේන්න කැමතියි මම. 



මෙන්න මෙතන ඉඳන් තමයි ආයෙ පරණ පුරුදු විදියටම ප්‍රධාන පුරුෂ චරිතය පිම්බෙන්න පටන් ගන්නෙ. ඉවාන් කුමාරයා ලෝකෙ වටේම ගිහින් හරි භයානක ඉලක්ක වලින් ජයගෙන අන්තිමේදී කසේයි රාක්ෂයාවත් මරලා මාරියා මොරේව්නා රැජිණව බේර ගන්නවා. ඒ ටික අනිත් සුරංගනා කතා වගේමයි. පුරුදු විදියට ඉවාන් කුමාරයා වීරයෙක් වෙනවා. පුරුදු විදියටම Damsel in DistressKnight in Shining Armour ඇවිත් බේරගෙන යනවා. කතාවේ අන්තිම හරිය වෙද්දි පරණ තැටියම වාදනය වුණත්, මාරියා මොරේව්නා සුන්දර රැජිණගේ චරිතයට මම බොහොම ආසයි. 

මාරියා මොරේව්නාගේ කතාව මෙන්න මෙහෙම ඉවර වෙනවා.

"ඉවාන් කුමාරයයි, මාරියා මොරේව්නායි බොහොම සැපෙන්, සතුටින් ජීවත් වෙනවා. යහපත් වැඩ කරනවා, මී පැණි බොනවා."

ඒ කියන්නෙ මාරියා මොරේව්නා සුන්දර රැජිණ ආයෙමත් කවදාවත් යුද්ධෙට ගියේ නෑ...! 

ප.ලි. මගේ මිත්‍රයෙක් (බ්ලොග් ලෝකයේ හිපියා නමින් පසිඳු) නම් කියන්නෙ කසේයි මාරියාට බොහෝ සේ ආලය කළා කියලයි. ඒත් මොනවා කරන්නද...මාරියා ආලය කළේ ඉවාන් කුමාරයාටනෙ. සමහරවිට මාරියා ඔය දෙන්නාටම ආලය කලා වෙන්නත් බැරි නෑ!

Tuesday, June 26, 2018

පෙනිලෝපි

පමා වී මුණ ගැසුණු රෝමියෝ ඒදන් උයනේ තද කොළ පැහැති පාසි වැවුණු තහනම් ගසට තද කරගෙන සිප ගත්තා පෙනිලෝපිව, ඔව් ඒ ආදරබර, භක්තිමත් ප්‍රියාවිය ඔඩිසියස්ගේ.

 කිසිවකුටත් දුනු දිය ඇදිය නොහී වූ යවන රට ඔඩිසියස්ගේ රණ දුන්න සේ නොනැවුණු පෙනිලෝපිගේ හදවත පමා වී මුණ ගැසුණු රෝමියෝ ලඟ ගැහෙන්නට වූ හඬ මකා දමන්නැයි ඈ කළ ඉල්ලීම නෑසුණා සේ සිටි හේරාට හොරෙන් සුකොමළ ඇෆ්‍රොඩයිටි සිහින් තත්සර විණා සංගීතයෙන් සඟවා තැබුවාට, ඒ වන විටද රෝමියෝ අවසන්ය හඳුනාගෙන ඒ පෞරාණික තහනම් ප්‍රේමයේ ලය ස්වරය.


ගිනි ගෙන දැවෙන දෑසින් ඕ සිය පපුව මත රෝමියෝගේ අත්ල තබා රවා බැලුවා ඔහු දෙස, නුඹට තිබුණෙ ජුලියට් එක්ක මියැදෙන්න, ඈ කිව්වා සිහින් ස්වරයෙන්. නමුත් ඇගේ ස්වරයෙහි වූ වෙවුලුම් ස්වරූපය, ඇස අග දියමන්තිය සේ දෘඩව රැඳි ඒ අකලංක කඳුළු කැටය නොසලා දිගු හුස්මක් ඇදගෙන සඟවා ගත් ඇගේ ශෝභාමත් අකාල ආලය නුරුස්නාවෙන් බලා පෙනිලෝපි වෙත, නුඹට තිබුණේ පොම්පෙයි නගරයට නේන්න, කියා හූල්ලා බලාගත්තා ඈත අළු පාට අහස දෙස.  

ඇගේ දිගු ඇඟිලි, රත් නිය එකින් එක ගෙන සිප ගනිමින්, ඇගේ ගෙල මත වේගයෙන් ස්පන්ධනය වූ නාඩිය මත සිය දබරැඟිල්ලක් තැබූ රෝමියෝ සෙමින් පහත් වී ඇගේ සවනට කීවා, පෙනිලෝපි නුඹ මගේ සුකුමාර ජුලියට් වාගෙමයි.

පමා වී පැමිණි රෝමියෝ සිය දෑතින්ම පෙනිලෝපිගේ සිහින් සෘජු ගෙල අල්වාගෙන තද කරගත්තා තහනම් ගසට, ඇගේ පය නොසෙල්වෙන සේ සර්පයා බැඳ දැමුවේය මහ පොළොවට. ඒදන් උයන නිහඬව බලා සිටියා, වැටුණේ නෑ එක මල් පෙත්තක්වත්, ඒ තරම් නිහඬ බවක, පමා වී පැමිණි රෝමියෝ පෙනිලෝපි අමතා මෙසේ කීවේය, මට නුඹව විඳින්නට දීපන් පෙනිලෝපි, නුඹ මගේ මිය ගිය රුසිරු ජුලියට් වාගෙමයි.

මට තිබුණේ ඇෆ්‍රොඩයිටිට අවමන් නොකරන්න, පමා වී පැමිණි රෝමියෝගේ කාල වර්ණ දෙනෙතට එබීගෙන පෙනිලෝපි සිතුවාය, නෑ මම පෙනිලෝපි, මම නුඹේ ජුලියට් නෙමෙයි. පීතෲ ඝාතනයේ රුහිරෙන් උපන් ඇෆ්‍රොඩයිටි නුඹ, මා බිඳ දැමූ හැටි හරි අපූරුයි , නුඹ චපල ආලයේ දෙවඟන! හෙලනාව මට නොකිව්වා නොවෙයි නුඹ ගැන, පැරීසවන් ලපටි කොළුවෙකු හා පැන යන්න, ට්‍රෝජානු යුද්ධය, මිය ගිය හෙක්තාර සහ මනුල, අහෝ ඇෆ්‍රොඩයිටි නුඹ මේ ආලය තරම්ම නපුරුයි. පමා වී පැමිණි රෝමියෝ සිය ගෙල මත සටහන් ලූ සරාගී චුම්බන විඳිමින් පෙනිලෝපි සිය නෙත් පියා ගත්තාය, ජුලියට් නුඹ මිය ගිය එක ගැන මට සතුටුයි, විදිලියක් සේ ඇගේ සිත මොහොතකට සිතුවා මතකයි. 

උඹේ ඔය දෑත් දමා මා ගෙල වට සිප ගනින් මම නෙත් පියාගෙන මගේ පෙම්බර ජුලියට්ගේ සුවද උණුසුම සොයන්නම්...පෙනිලෝපි නුඹ මගේම ජුලියට්, පමා වී පැමිණි රෝමියෝ ගිලී ඒ අසිරිමත් නිමේෂයේ මිමිණුවා සිහින සැබෑවක අතරමක්ං, ඔහුට ඇහුණේ නැහැ දුර ඈත වීදි කොනේ විසූවියස් ගිනි කන්ද වේදනාවෙන් පුපුරු ගසනු පෙනිලෝපිගේ හදවතට පෙනෙන මානයේ සිට.

පෙනිලෝපි මේ දැන්ම නුඹ පලා ගියහොත් යවන රට තවමත් ඔඩිසියස් ඇත බලාගෙන නුඹ වෙනුවෙන්, පමා වී පැමිණි නුඹේ ඔය රෝමියෝ තවමත් ආදරේ ජුලියට්ට, නුඹ ජුලියට් නොවෙයි, නුඹ අමතක කරන්නට එපා නුඹ පෙනිලෝපි බව. එහෙම කිව්වෙ හීනෙන් ආ ඇතීනා, යුධ උපක්‍රමයට අධිපති දෙවගන. ඔව්, ආදරේ කියන්නෙ යුද්ධයක් තමයි, තමන්ගෙ හදවත තුල කැකෑරෙන බොහෝ දෑ සමග.

ඇස් තුලට ගිලීගෙන ඉන්නකොට පෙනිලෝපි, පමා වී පැමිණි රෝමියෝගේ කඩවසම් මුහුණ විසූවියස් ගිනි කන්දෙන් පිටවූ දුම්‍ රොටු සේ අදුරුව ගොසින් එක් නිමේශයක නිකටින් අල්ලා බිම බලාගෙන සිටි පෙනිලෝපිගේ මුහුණ ඉහලට ඔසවා ඔහු ආවේගයෙන් කිව්වා, නුඹට බැරිද මගේ ජූලියට්ම වෙලා ඉන්න? උඹ පෙනිලෝපිව අමතක කර දමාපන්, ඈට වඩා නුඹට ජුලියට් කියන නම ගැලපෙනවා. එසේ කියා ඔහු පෙනිලෝපිව යළිත් තද කර තහනම් ගසට සිප ගත්තා ඇගේ දෙතොල්, ගෙල සහ කම්මුල්, මිරිකමින් ඇගේ පයෝධර. නුඹේ දෙතන් ජුලියට්ගේ වගේ ලපටි නැහැ, මම ඔබේ පියෝරු වලට කැමතියි පෙනිලෝපි, ඔහු සිය අතෝරක් නැති චුම්බන අතරතුර පෙනිලෝපිගේ කනට රහසින් කෙදිරුවා.

පොම්පෙයි කෑගසමින් දුව ආවා තහනම් උයනේ ගේට්ටුව අබියසට, රාගයෙන් උණුසුම්ව සිටින පෙම්වතුන් වූත් පෙම්වතුන් නොවූත් යුවල දැක කෑ ගැසුවා මහ හඩින්, ඔතැන රති කෙලිය පසෙක තබා දුවාපල්ලා අන්න විසූවියස් ගිනි අරන්! අහස වසා කළු දුම්! මහ පොළොව ගිල දමමින් ඇදෙනවා ලාවා තහනම් උයන දිහාවට. කෑ ගසා හමාර කරන්නත් මත්තෙන් පොම්පෙයි කිදා බැස්සා පොළෝ ගැබට, රත් පැහැ ගිනි ගෙන දැවෙන ලාවා පොම්පෙයි වීදී හරහා තහනම් පෙම්වතුන් සොයා පැමණ ඇත.

ජූලියට්, මගේ ජූලියට්! පමා වී පැමිණි රෝමියෝ උමතුවෙන් වැලපුණා.අනේ ඈ තල ඇට විසුරපු සුවද පාන් ගන්න විසූවියස් කන්ද පාමුල පෝරණුවට ගියා, ඔහු වෙව්ලමින් ඇද වැටුණා පොළොව මත.බඩගාගෙන හේ විසූවියස්  දෙසට පණුවකු සේ ඇදෙන්නට වුණා, නවතනු නොහැකිව ඔහුව උරහිසින් ඇල්ලූ කල පෙනිලෝපි, පලයන් ගෑණියේ කවුද උඹ, ඇහුවා ඔහු ලාවා තට්ටුව මත බඩගාමින්, ඉන්න මගේ ආදර ජූලියට් මම එනවා නුඹ සොයාගෙන.

අහස ගුගුරා වැහැපන් අනෝරා වැස්ස, පමා වී පැමිණි රෝමියෝ ලාවා ගිනි අගුරු මත දැවී හළු වී යන්නට මත්තෙන්, පෙනිලෝපි තහනම් ගසට බර වී යැදුවා මහ දෙවිදු සියුස්. ගලාපන් මහ මුහුද ගොඩ බිමට එට්නාවගේ දැවෙන උමතුව සනහාලමින්, ඕ යැදුවා පසීදන අධිපති මහ සයුරට. තහනම් ගහේ අත්තක වැසූ සුදු පැහැති පෙරෙයියා අත ඔඩිසියස් එවා තිබුණා තුණ්ඩු කෑල්ලක්. පාළු දූපතේ හිටපු කැලිප්සෝ හරි අසරණ කෙල්ල, උඹ වගේ ශක්තිමත් ගෑණියෙක් නෙවෙයි ඈ...ආයෙ තනි වෙන්න බෑලු ඈට ඒ දූපතේ.ඊයේ පටන් ඈ යවන රට අපේ මාලිගාවෙ නුඹේ කාමරේට එහා පැත්තෙ වහලා දාපු කාමරේට එක්කගෙන ආවා මම.මං දන්නවා මුකුත් අහිතක් හිතන්නෙ නැති බව නුඹ.ඉක්මනට ගෙදර එන්න, කුස්සි අම්මා නිවාඩු ගිහින්.උයාපිහා ගන්න කවුරුත් නෑ.ඔයා නැතිව මට හරි පාළුයි. පොම්පෙයි කොහොමත් කසාද බැදපු ගෑනියෙකුට තනියෙන් යන්න හොද තැනක් නෙමෙයි. මීට ඔබේ ආදරණීය ග්ලැඩියේටර් සැමියා, ඔඩිසියස්. 


Sunday, March 4, 2018

ලුණු දෙහි ආලය


ගෙදරක බිත්ති කපරාදු කරලා සුදු පාටට ඔප කළාම ලස්සන වෙනවා වගේ කුස්සියේ කොහේහරි මුල්ලක ලුණුදෙහි බෝතලයක් නැත්නම් තුන් වේලම පාළුයි කියලා හිතෙන තරම් ලුණුදෙහි වලට රස වැටෙන්න පුළුවන්. ඉස්සර නම් අම්මා ලුණුදෙහි හැදුවේ ගෙදර වත්තෙ තිබුණු දෙහි ගස් වලින්.පෑවිල්ල කාලෙට කහ කුරුල්ලො රොත්තක් වහලා නිස්සද්දව ඉන්නවා වාගෙ කහම කහ පාට බෝල බෝල දෙහි ගෙඩි පොරෝගෙන ඉන්න දෙහි ගස් වලින් හොදට පැහුණු දෙහි ගෙඩි තමයි කඩාගෙන එන්නෙ. 

 ඒවා හතරට පලලා පැගිරි සුවදේ බැරුව හූල්ල හූල්ල දෝරෙ යන ඉස්ම ටික වෙනම මඩක්කුවකට එක්කාසු කරලා,හම්බන්තොට ඉදන් දුර ගමනක් ආපු උල් කැට කැට ලුණු මේ දෙහි ගෙඩි මැද්දෙන් තියලා වට්ටියක අඩුක් කරලා පිච්චෙන කට්ට අව්වට තිබ්බම ඒ ගැන තියන වගකීම අපි අමතක කරත්, උදේ ඉදන් හවස් වෙනකම් වහලේ උඩ හරි මිදුලෙ පොඩි බංකුවක් උඩ හරි වේලි වේලි ඉන්න ලුණුදෙහි වට්ටිය පොඩි දරුවෙක් බලාකියාගන්නවා වගේ රකින්නෙ අම්මා.ඒ අම්මලාගෙ හැටි, අපි වගේ නෙමෙයි.එයාලට තමයි වැඩක් එකදිගට කරගෙන යන්න පුළුවන්.

වැස්සට ගෙට ගන්න, හවහට අරන් තියන්න ආයෙ අව්වෙන් තියන්න, මේ සුමේ සතියක් හමාරක් කරන අතරෙ අර මඩක්කුවේ තියන දෙහි ඉස්ම ටිකත් පැත්තකට වෙලා සද්ද නැතිව කැකෑරෙනවා කට්ට අව්වට.ඊට පස්සෙ කහ පාටට බැබලි බැබලි හිටපු දෙහි ගෙඩි ටික ලා දුඹුරු පාටට වේලිලා ලුණුකැටත් එක්ක හාද වුණාට පස්සෙ, ගෙදර පොඩි කාමරේ මුල්ලකට කරලා තිබුණු පරණ හෝර්ලික්ස් බෝතල් වතුරට හේදිලා අව්වට වේලිලා සැදී පැහැදී එන්නෙ මේ ලුණුදෙහි ටික බාර ගන්න.
 සදුදා උදේට බස් එකට මිනිස්සු පටෝනවා වගේ අර විසාල වට්ටියෙම තියෙන ලුණුදෙහි ටික හෝර්ලික්ස් බෝතල් දෙකකට ඔබන කොට ඒ අතර හැදෙන හිදැස් වහන්න අර කැකෑරුණු දෙහි ඉස්ම ටිකත් වත්කරනවා. ඊට පස්සෙ කුස්සියේ කොහේ හෝ කොනක හැංගෙන මේ අපූරු ලුණු දෙහි බෝතල් එලියට එන්නෙ පරණ ලුණුදෙහි බෝතල් පෝලිමක් කාලා බෙදලා ඉවර වුණාට පස්සෙ.ඕන්න මේ පාරත් අම්මා ලුණුදෙහි හැදුවා.ඒ පොළෙන් ගෙනා දෙහි.සුදු පිගානක තියලා.ඒත් රිංගෙව්වෙ නම් පරණ හෝර්ලික්ස් බෝතලේකටම තමයි.

Monday, February 12, 2018

මල් කතා

ග්‍රීක මිත්‍යා කතාන්තර මහා ගොන්නක් අතරේ අද මම කියන්න හදන්නෙ පොඩි මල් කතාවක්. ලෝකෙ තිබෙන ලස්සන මල් බිහිවුණේ කොහොමද කියලා පැරණි ග්‍රීකයින් විවිධ කතාන්තර ගොතා කිව්වා. අද මම ලියන්නෙ ඒ අතරින් එන කතාන්තර කිහිපයක්. ආදරවන්තයින්ගේ දිනයත් ළඟපාත එන නිසා පුංචි මල් කතාවක් කිව්වොත් ගැලපෙනවා කියලා හිතුණා. 

අනෙමොන් (Anemone)


මේ මලේ නම බොහොම ප්‍රසිද්ධ ආල කතාවකට සෘජුවම සම්බන්ධ එකක්. ආලයට අධිපති වූ ඇෆ්‍රොඩයිට් දෙවඟනට සිටි එක් ආලවන්තයෙක් ලෙස සැලකෙන අදෝනිස් හට සිදුවුණු විපත තමයි මේ මලට නම වැටෙන්න හේතුවෙන්නෙ. කාලෙන් කාලෙට වෙනස් වෙන ඇෆ්‍රොඩයිටිගෙ ආලවන්තයින් අතර ලොක්කෙක් තමයි ඒරිස් හෙවත් යුධ දේවතාවා. ඒරිස් එක්ක ඇෆ්‍රොඩයිටි හාද වෙලා ඉන්න කාලෙ ඒරිස් ඇගේ හිටපු පෙම්වතා අදෝනිස් ගැන  ඊර්ෂියාකම් කරනවා.

මෙහෙමයි, කොහොමත් මේ ග්‍රීක කතාන්තර වල අනුවාද කීපයක්ම තිබෙනවා. ඉතින් කතාව අතරමගදී එක් එක අනුවාද වල යම් යම් කරුණු වෙනස් වෙනවා. අදෝනිස් කියන්නෙ ඉතා කඩවසම් දඩයක්කරුවෙක්. ඔහුගේ උපත සිදුවෙලා තිබෙන්නෙ ව්‍යභිචාරයෙන් කියලා තමයි ජනප්‍රවාදයේ පැවත එන්නෙ. මිරා කියන කුමරිය සයිප්‍රසයේ සිනිරස් නම් වන සිය පිය රජු පිළිබඳ කාම සිත් ඇතිව ඔහු හා රාත්‍රී නවයක් නිදිවැදුණාලු. මේ කාම සිතට මුල් වෙලා තිබෙන්නේ ඇෆ්‍රොඩයිටිගේ සාපයක්. තමා නිදිවැද තිබෙන්නේ තමාගේම දියණිය සමග කියා දැනගන්න රජතුමා බොහෝම කේන්තියට පත්වෙලා ඇයව මරාදාන්න සෙව්වාලු. ඇෆ්‍රොඩයිටිගේ ඉල්ලීම මත දෙවිවරු මැදිහත්ව මේ කුමරිය ගසක් බවට පත් කලාලු. ගසක්ව සිටියදී මේ කුමරිය අදෝනිස්ව බිහි කලා කියා තමයි කියන්නෙ. සමහර කතාන්තර වල කියැවෙනවා අදෝනිස් සිය උපත පිළිබඳ ඇෆ්‍රොඩයිටි සමග කේන්තියෙන් සිටිය බව. තවත් කතාන්තර වල නම් ඒ බවක් සඳහන් වෙන්නේ නෑ.

ඒ කොහොම නමුත් අලුත උපන් අදෝනිස් ළදරුවාව ඇෆ්‍රොඩයිටි වේවැල් පෙට්ටියක දාලා මළවුන්ගේලොව රැජිණ වූ පර්සිෆෝනාට භාර දෙනවාලු. අදෝනිස් තරුණයකු වෙන තෙක් හැදී වැඩෙන්නේ ඈ යටතේයි. අදෝනිස් ඉතාම කඩවසම් තරුණයෙකු ලෙස හැදීවැඩුණු පසු ඇෆ්‍රොඩයිටිට මේ තරුණයා පිළිබඳ සිත් ඇතිවේලු. නමුත් බොහෝ කලක් හදාවඩා ගත් නිසා ඔහුව ආපිට ලබා දෙන්න පර්සිෆෝන් කැමති වෙන්නේ නෑ. මේ හබය විසඳීමට අනෙකුත් දෙවිවරු මැදිහත් වෙනවාලු. දිවි වරුන්ගේ මහ දෙවි සියුස් අදෝනිස් හට අණ කරනවා වසරේ තුනෙන් එකක් පර්සිෆෝනා සමගද තවත් තුනෙන් එකක් ඇෆ්‍රොඩයිටිට් සමග ද ඉතිරි තුනෙන් එක තමන් රිසි කෙනෙකුද හා ගත කරන්නට කියා. අදෝනිස් තම රිසි කාලය ඇෆ්‍රොඩයිටි හා ගත කරන්න තෝරාගන්නවාලු.

 මෙන්න මේ තෝරා ගත් කාලය තුල දිනක් අදෝනිස් වනයේ දඩකෙළියේ නිරත වෙලා ඉන්නා විට ඒරිස් දරුණු වල් ඌරෙකුගේ වෙස් ගෙන අදෝනිස්ට පහර දී මරා දරුණු තුවාල කරනවා. සමහර කතාන්තර නම් කියන්නේ, අදෝනිස් ඉතා හොඳ දඩයක්කරුවෙක් නිසා ඒ ගැන ඊර්ශියාවෙන් ආටිමිස් දේවතාවිය වල් ඌරෙකු එව්වා කියායි. ඒ කෙසේ නමුත්, මරණාසන්නව වැටී කෙඳිරිගාමින් සිටි අදෝනිස්ගේ කෙඳිරිල්ල ඇෆ්‍රොඩයිටිට ඇසෙනවා. ඈ ඉක්මනින් එතනට ආවත් ඈ එතකොටත් ප්‍රමාද වැඩී. සිට හිටපු පෙම්වතාගේ නිසල සිරුර සිට දෑතට ගත් ඇෆ්‍රොඩයිටි දෙවියන් පානය කරන අමෘතය ඒ දේහයට ඉස්සාලු. අදෝනිස්ගේ රුධිරයත් සමග එක් වූ අමෘතයෙන් මේ අනෙමොන් කියන මල ඉපැදුණා කියලා තමයි කියැවෙන්නෙ. අදෝනිස්ගේ අකාල මරණයට සමාන කෙටි ජීවිතයක් තමයි මේ මලටත් තියෙන්නෙ. මේ මල පිබිදෙන්නෙ සුළං හමන විටදියි.ඊට පසුව එය ඉක්මනින්ම මිලින වෙලා යනවා. සුළඟේ උදව්වෙන් පිබිදෙන නිසා තමයි මේ මලට ඒ නම ලැබිලා තිබෙනවා කියන්නෙ. 

*අදෝනිස් පිළිබඳ මේ කතන්තරය ගෙන එන්නේ ඔවිඩ් නම් ග්‍රීක කවියෙකුයි. ඒ මෙටමෝපෝසිස් නම් ඔහුගේ කෘතියේ එන විස්තරයක දීය.
 
අයිරිස් මල් (Iris)


අයිරිස් මල් නම් කොට ඇත්තේ ඔලිම්පසයේ මහ දෙවි සියුස් සහ මව් රැජිණ හේරාගේ පණිවුඩ ගෙනයන දේවතාවිය නමින් කියා තමයි ග්‍රීක වැසියන් විශ්වාස කරන්නේ. අයිරිස් දේවතාවිය දේදුන්නට අධිපතිනියයි. අයිරිස් යන වචනයෙහි අරුත දිව්‍ය ලෝකයේ ඇස යන්නයි. 


හිසැන්තියා මල් (Hyacinths)


හිසැන්තියා මල් නම් කෙරෙන්නෙ ඉතාම කඩවසම් ස්ප්‍රාටානු තරුණයෙකුගේ නමින්. ඔහු කෙතරම් සුන්දර තරුණයෙකුද කිව්වොත් ඇපලෝ දේවතාවාත්, බටහිර සුළඟට අදිපති දේවතාවත් යන දෙන්නාම මේ හිසැන්තියස් ගැන පිළිබඳ සිත් ඇති කරගන්නවා. වරක් ඇපලෝ දේවතාවා මේ තරුණයාට කවපෙත්ත විසි කරන ආකාරය කියාදෙමින් ඉන්නකොට, ඒ පිළිබඳ ඊර්ෂියාවට පත්වුණු බටහිර සුළඟ, එම කවපෙත්තෙන්ම හිසැන්තියස් තරුණයාගෙ ගෙල සිඳ දැම්මා කියලා තමයි කියැවෙන්නෙ. මේ සුන්දර තරුණයා අකල් මරනයෙන් පසු හිසැන්තියා නම් මලක් බවට පත්වුණු බවයි මිත්‍යා කතාන්තර වල කියැවෙන්නෙ.  

නාසිසස් (Narcissus)


ග්‍රීක දේශයේ ජීවත් වූ නාසිසස් නම් තරුණයෙකු සිටියා. ඔහු ඉතාම කඩවසම්. තරුණියන් බොහෝ දෙනෙකු නාසිසස් ගැන පිළිබඳ සිත් ඇති කරගෙන දුක් වුනා. මේ තරුණයා තමන්ට තරුණියන් ආකර්ෂණය වීම ගැන උඩඟු සිත් ඇති කරගෙන මේ සියළු තරුණියන්ට ඉතාම කෲර ලෙස හැසිරුණා. කිසිවෙකුට අනුකම්පා කලේ නැහැ. මේ අකරුණාවන්තකම පිළිබඳ උරණ වුණු දෙවිවරු නාසිසස්ට සාප කලා. මෙතෙක් කලක් නාසිසස් තමන්ගෙ රූප ස්වභාවය සියැසින් දැක තිබුනේ නැහැ. ඔහු විල් තෙරක් අසබඩ ඉන්නා වෙලාවක අහම්බෙකින් වගේ තමන්ගේ ඡායාව පිරිසිදු නිල් දිය තුල දකිනවා. ඔහු තමන්ගේම රූප ස්වභාවයට වසඟ වෙනවා. දවස තිස්සේම, දිවා රෑ නැතිව සති ගනන් නාසිසස් විල් තෙරෙන් පෙනෙන තමන්ගෙ රුව දිහා බලාගෙන ඉඳ ඉඳලා වියැකිලා යන්න පටන් ගන්නවා. අවසානයේදී ඔහුව විල වෙත නැඹුරු වුණු මලක් බවට පත් වෙනවා. එදා ඉඳන් ඒ මල් හඳුන්වන්නේ නාසිසස් නමින්. 


මේ කතාවෙ තවත් අනුවාදයක් තිබෙනවා. ඒ නාසිසස් සහ එකෝ නම් වනදෙවඟන්ගේ කතව. එකෝ නම් වනදෙවඟන කතාවටත්, කේලාම් කීමටත්, ඕපාදූප දෙඩවීමටත් බොහොම දක්ෂයිලු. වරක් හේරා දෙවඟන එකෝගේ මේ දෙඩවිල්ල නිසා ඈ සමග කේන්ති ගන්නවාලු. සමහරු නම් කියන්නෙ එකෝ වරක් හේරා දෙවඟනගේ සැමියා වන සියුස් මහදෙවිඳුන් වන දිව්‍යාංගනාවන් පිරිසක් සමග අනඟ රැගුම් පාද්දී, ඒ ක්‍රියාව අතටම අල්ලගන්න උත්සාහ කරපු හේරා දෙවඟනට බාධා කරලා මහ දෙවිඳුත් තමන්ගෙ මිතුරියනුත් බේරා ගත්ත තරහට හේරා එකෝ සමග කේන්ති ගත්තා කියලය්. කොහොම නමුත්, හේරාගේ සාපයට අනුව, එකෝට කතා කරගන්න බැරිව යනවා. ඇයට පුළුවන් අන් කෙනෙක් කියන දෙයක අවසන් වචන කිහිපය ප්‍රතිරාව නංවන්නට පමණයි. දුක සේ වනන්තරයක කාලය ගත කරන එකෝ දෙවඟන නාසිසස් නම් ඉතා කඩවසම් තරුණයා දකිනවා. ඕ ඔහුත් සමග ප්‍රේමයෙන් වෙලුණත්, ඇගේ ආලය ප්‍රකාශ කරන්න ඇයට බැහැ. දිනක් හොර රහසේම එකෝ නාසිසස් පසුපස එනවා. ඇගේ පයට පෑගෙන කෝටුවක් බිඳී යන හඬ අසා නාසිසස් කලබල වෙනවා. "කවුද ඔතන?" ඔහු අහනවා. "ඔතන...ඔතන..." එකෝට කියන්න පුලුවන් එපමණයි. නාසිසස් තරුණයා හරිම උද්දච්චයි. බොහෝ තරුණියන් ඔහුට ආලය කලත් ඔහු ඒ කිසිවෙකුට පෙරළා ආලය කරන්නේ නැහැ. මෙයින් ඉතාම දුකට පත්වන එකෝ සිය හදවතේ වේදනාව නිසාම බොහෝ කෘෂ වී ගිහිල්ලා අවසානයේ ඇයව නොපෙනී ගියාලු. නාසිසස් තරුණයා එකෝගේ හඬ ඇසූ දිනම, වෙහෙසව විල් තෙරකට පැමිණ ඉන් සිය රූපය දුටුවාලු. නාසිසස් කුඩා කළ එක්තරා අනාගත වාක්‍යක කියවිලා තිබෙනවාලු, නාසිසස් බොහෝ කලක් ජීවත් වේවි, ඔහු සිය රුව සියැසින් නොදකින තුරා කියලා. ඉතින් පැහැදිලි විල් දිය ජලයෙන් සිය රූපය දකින් නාසිසස් තමන්ගේම රූපයට ආලය කරන්න පටන්ගන්නවාලු. ඔහු තමන්ගෙ රූපය දෙසම බල බල ඊට් ආලය කරමින් තමන් වෙත එන්න කියලා ඉල්ලා සිටිමින් හඬා වැටෙනවා. හරියට ඔහුගේ ආලය ඉල්ලා හඬා වැටුණු එකෝ වගේ. අවසානයේ දුකට පත් නාසිසස් එකෝ වාගෙම කෘෂ වෙමින් ගොස් නොපෙනී යනවාලු. අවසානයේදී ඔහු එතැනම විල් දියට නැඹුරු වී පිපෙන නාසිසස් මලක් බවට පත් වෙනවාලු. 

ක්‍රොකස්  (Crocus)



ක්‍රොකස් කියන්නේ හර්මීස් දේවතාවාගේ මිතුරෙක්. ඔහු වරක් හර්මීස් දේවතාවා සමග යම් ක්‍රීඩාවක නිරත වෙලා ඉන්නා විට හදිසි අනතුරකින් මිය යනවා. මෙසේ මිය යන ක්‍රොකස්ගේ ශරීරයෙන් ලේ බිඳු තුනක් මහපොළොව මත වැටෙනවාලු. ක්‍රොකස් මල් උපදින්නේ ඒ විදියටයි.

මේ මලේ උප්පත්තිය පිළිබඳ තවත් කතාන්තරයක් තිබෙනවා. ඒකට අනුව ක්‍රොකස් කියන මනුශ්‍ය තරුණයා ස්මිලැක්ස් නම් වනදෙවඟන හා ආලයෙන් වෙලී ඉතාම දුකට පත්වෙනවා. ඒ නිසා දෙවිවරු තීරණය කරනවා ඔහුව කහ ගසක් (Saffron) බවටත් 
ස්මිලැක්ස් වනදෙවඟන ගිරිතිල්ල වර්ගයේ වැලක් බවටත් හරවන්න.

ඩැෆ්නි (ලෝරල්) (Laurel)


ඩැෆ්නි නමින් එක්තරා වන දෙවඟනක් වාසය කළා. ඇය කන්‍යාවක් ලෙස දිවි ගෙවීමට ආටිමිස් දෙවඟනට කැපවී සිටි වන තරුණියක්. ඇගේ පියා ගංගා දේවතාවයි. ඇපලෝ දේවතාවා වරක් කියුපිඩ් (මල්සරා) හට විහිළු කරනවා. ඇපලෝ කියන්නේ දුනුහී වලට අධිපති දේවතාවායි. කියුපිඩ් සතුව තිබෙන්නේ මල් ඇමුණූ හීතල. මේ බව කියලා ඇපලෝ කියුපිඩ්ට විහිළු කරනවා. මින් කෝපයට පත් කියුපිඩ් ඇපලෝගෙන් පළිගන්න තීරණය කරනවා. ඔහු ඇපලෝ දේවතාවාට ඩැෆ්නි ගැන පිළිබඳ හිතක් ඇතිවෙන්න රන් හීසරයක් විදිනවා. ඒ ගමන්ම ඩැෆ්නි දෙවඟනට ඇපලෝ පිළිබඳ ජුගුප්සාවක් ඇතිවෙන්න ඊයම් ඊතලයක් විදිනවා.  ඇපලෝ දේවතාවා ඩැෆ්නිට වහ වැටිලා ඈ පසුපස පැන්නුවත් ඩැෆ්නි ඔහුගෙන් බේරී පලා යනවා. මේ විදියට ඇපලෝ ඩැෆ්නි පස්සෙ ගිහින් ගිහින් අන්තිමට කියුපිඩ්ට දුක හිතෙන නිසා ඩැෆ්නිව අල්ලා ගන්න ඇපලෝට උදව් කරනවා. නමුත් ඇපලෝ දේවතාවා ඩැෆ්නිව අල්ලාගන්න කොටම ඇය තමන්ගේ පියාට/ආර්ටිමිස් දේවතාවියට තමාව බේරගන්න කියලා ඉල්ලීමක් කරන්නවා. ඊට ඇහුම්කන් දීලා ඩැෆ්නි වනදෙවඟනව ලෝරල් ගසක් බවට පත් කරනවා. යළි පියවි සිහියට පැමිණෙන ඇපලෝ දේවතාවා ඩැෆ්නිට ගෞරවය පිණිස ලෝරල් අත්තක් පලඳිනවා. ඒ වගේම ඔහුගේ පූජනීය ගස බවටත් ලෝරල් ගස පත්කරගන්නවා. ඒ වගේම ඔලිම්පික් උළෙලේ ශූරයින්ටත් පලඳවන්නේ ලෝරල් හිස් පලඳනාවකයි.  


රෝස (Rose)


මල් ලොවේ රැජිණ වන රෝස බිහිවෙන්නේ මල් වලට අධිපති දෙවන්නගන වන ෆ්ලෝරා අතින්. වරක් ඇය වනාන්තරයේ ඇවිදින්න යනවිට මියයමින් සිටි වනදෙවඟනක් හමුවෙනවා. ෆ්ලෝරා දේවතාවිය ආලයට අධිපති දෙවඟන ඇෆ්‍රොඩයිටිව සහ වයින් වලට අධිපති ඩයොනිසස් දේවතාවත් මියයමින් හුන් දෙවඟන සිටි තැනට කැඳවා ගන්නවා. මිය ගිය දෙවඟන මලක් බවට පරිවර්තනය වන විට ඇෆ්‍රොඩයිටි දෙවඟන එයට සුන්දරත්වය තෑගි කරනවා. ඩයොනිසස් දේවතාවා එම මලට ඉමිහිරි සුවඳක් ලැබෙන ලෙස අමෘතයෙන් බිඳක් ඉසිනවා. බටහිර සුලඟ අහසේ වළාකුළු මෑත් කොට හිරු දෙවියාට බැබලීමට සලස්වනවා. දීප්තිමත් හිරු එළියේ මේ අපූරු කුසුම පුබුදිනවා. ඒ තමයි මල් ලොව රැජිණ වන රෝස කුසුම.

Wednesday, January 10, 2018

මාටිං අයියා සහ ඩයිනෝසරයා


කාලෙකින් ආයෙත් ආවා මේ පැත්තට. හෝබෝ ටික්කාගේ ජනප්‍රියම නළුවාත් අරගෙන තමයි ලැබුවා වූ අලුත් අවුරුද්ද කාටත් සුබ වේවා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ආවෙ. කොහොමින් කොහොම හරි ආයෙ සති තුනකට සැරයක්වත් පෝස්ටුවක් දාන්න උපරිම උත්සාහ කරන්නම්. කට්ටියගේ බොක් පැත්තෙ නාවට සමා අවසර.

අන්නක්කාට ලැජ්ජවක් ඇත්තේම නැත. එක වාරයක් මාටිං අයියාට ඩිස්කවරි චැනල් එක පෙන්නා අමාරුවේ වැටුණ සිද්ධියේ උණුසුම යන්නටත් පෙර එයා මාටිං අයියාට තවත් රසවත් මාතෘකාවක් ගැන කියාදෙන්නට තීරණය කරයි. ඒ ඩයිනෝසරයන් ගැනය. කනාට කිරේ සුද පෙන්නුවා සේ අන්නක්කාද මාටිං අයියාට ඩයිනෝසරයින් ගැන වගතුග කියන්නට වූයේ ඉර බැහැගෙන යන හවසක අහසට ඇරී තිබූ බාගෙට නිමවූ බිල්ඩිමක් උඩ සිටය. හාන්සිපුටුවක හරිබරි ගැසී සිටි මාටිං අයියාද අහසේ එහෙන් මෙහෙන් බැලුම් හෙලන තරු දිහා බලාගෙනම අන්නක්කාගේ කතන්දරයට ඇහුම්කන් දුන්නේය.
මීට බොහෝම ඉස්සර කාලෙ, ඒ කියන්නෙ අපි ඉපදෙන්නටත් ගොඩාක් කාලෙකට කලින් මේ ලෝකෙ හිටියා ඩයිනෝසරයෝ කියලා සත්තු ජාතියක්.අන්නක්කා කීවාය.  
අපි හිටියෙ නැද්ද කාලෙ???” මාටිං අයියා විස්මය පල කරමින් විමසයි. ඇයි ඒ?”
  එහෙම තමයි. ඒ කාලෙ අපි වගේ අය ඉදලා නෑ.” 
  එතකොට ඩයිනෝසරලා තනියමද හිටියේ?”  
නෑ, නෑ එක එක ජාතියෙ ඩයිනෝසරයො හිටියා. විසාල අය. පොඩි අය. පියාඹන අය. පීනන අය.
  ඩයිනෝසරයන්ට පියාඹන්නත් පුළුවන්ද???” මාටිං අයියා පීරිසි කන් සොලවමින් අසයි. 
  සමහර අයට පුළුවන්.
 ඇයි ඒ?”
  එහෙම තමයි. සමහර අයට විතරයි තටු තිබුණේ.
 ඒ ඇයි?”
  එහෙම තමයි. ඒ හැටි.
  හැටි?”
ඔව් ඔව්. ඉන්නකො දැන් කතාව කියන්න.ඉතින් මේ ඩයිනෝසරයින්ගේ හිටියා මහ විසාල භයානක එකෙක්.
  ඌ කොච්චර ඉතර ලොකුද?”
  ගොඩාක්.
 මෙච්චර විතරද?” මාටිං අයියා සිය අත් දෙක හැකිතාක් දෙපසට විහිදුවා පෙන්වමින් අසයි.

නෑ, නෑ ඔයිට වඩා හුගාක් ලොකුයි.” අන්නක්කා හිස සොලවමින් කියයි. එහෙනම් අච්චර ඉතර?” එහා බිත්තියේ වැටී තිබූ සිය සෙවනැල්ල පෙන්වා දෙමින් මාටිං අයියා යලිත් ප්‍රශ්න කරයි.
නෑ නෑ ඔයිටත් වැඩිය ලොකුයි. මේ බිල්ඩිම විතර ඇති.” 
  මේ බිල්ඩිම විතර?”
  ඔව්.ඔව්.උන් ඇවිදිනකොට පොලොව හෙලවෙනවා.
ඉතිං කෝ උන් දැන් නෑනෙ.
 උන් මැරුණා.
ඒ කොහොමද?”
මෙහෙමයි. එක කාලෙක ආකාසේ ඉදලා මහ විසාල උල්කාපාත වැස්සක් වැස්ස.එව්වා පුපුරලා උන් මැරුණා.
 උල්කාපාත? ඒ මොනාද ඒ?”
ආකාසේ ඉදන් එනවා ලොකූ ගල් කෑලි වගේ එව්වා.
  එව්වා ඩයිනෝසරයින්ට වඩා ලොකුයිද?”  
මොන හත්වලාමක් කරගත්තාදැයි කල්පනා කරමින් අන්නක්කා මාටිං අයියාගේ මේ ලවක් දෙවක් නැති ප්‍රශ්න කිරිල්ලට උත්තර බදී.
ඔව්. එව්වා ඩයිනෝසරයින්ට වඩා ලොකුයි.  
ඒ කියන්නෙ මේ බිල්ඩිමටත් වඩා උල්පාකාතෙ ලොකුයි?” මාටිං අයියා දැන් අහන්නේ හරස් ප්‍රශ්නය.
  ඔව්, ඔව්.  
එතකොට දැන් ඔය උල්පාකාතෙ වැටුනොත් අපි මැරෙනවද?”  
දැන්නම් එකම හත්වලාමකි.
 ඔව්, අපිවත් මැරිලා යාවි.
 හරි, හරි ඔයා ඔය එක එක එව්වා කියන්නෙ නැතිව කතාව කියන්නකො.” මාටිං අයියා කියයි. මැරෙන කතා වලට මාටිං අයියා කැමති නැත. 
අන්නක්කට දැන් කතාව මතක නැත. තනිකරම කුස්කුටාය.
ඔයා ඔය කියන තරම් ඩයිනෝසරයි ලොකුද?” 
  ඔව්,ඔව් මහ විසාලයි.
හරි ශක්තිමත්ද උන්?”
  නැතුව. නැතුව.
එහෙනම් උන් මැරුණෙ?”
  එහෙම තමයි.උල්කාපාත වැටුනනෙ.
ඉතින් අපිට උන්ව පේන්න නෑනෙ?”

ඉන්නකො ෆිල්ම් එකක් තියනවා. අන්නක්කාගේ සූජානම මාටිං අයියාට ජුරාසික් පාක් පෙන්නීමටය.
දෙන්නාම ලැප්පොට් එක ඉස්සරහ එරමිණියා ගොතාගෙන ජුරාසික් පාක් බලන්න පටන් ගනී.
ඕන්න ටික වෙලාවකින් ජුරාසික් උද්‍යානයේ කරක් ගැසූ ටී රෙක්ස් ඩයිනෝසරයෙකු කොහෙදෝ පදුරක සිට කඩා පනී. ඔය ඉන්නෙ! ඔය ඉන්නෙ!  ඩයිනෝසරයො.” මාටිං අයියාට ඩයිනෝසරයින් පෙන්නීමේ සතුටින් ඔද වැඩුනු අන්නක්කා කෑගසයි.  
මාටිං අයියා හොදට ඇස් ඇරගෙන ලැප්ටොප් එකේ තිරයට ලං වී ඩයිනෝසරයා දෙස බලයි. ඒ වුනාට උන් පුංචිනෙ. ඔයා කිව්වෙ උං බිල්ඩිම විතර ලොකුයි කියලා.කෝ නෑනෙ.” මාටිං අයියා සිය පීරිසි ඇස් කරකවමින් කියන්නේය. 
  මාටියාට ජුරාසික් පාක් පෙන්නුවාට වඩා ඩයිනෝසරයෙක් කෑවා නම් හොදයි කියා ඔය වෙලාවට අන්නක්කාට සිතෙයි. ඔය ඉතින් ලැප්පොට් එකේ නෙ. ඇත්තට උන් හෙන ලොකුයි.” ඇය කියයි.  
ඔයා ඇත්තට ඩයිනෝසරයි දැකලා තියනවද?”  
අහ්...
අන්නක්කාගේ නොලැබුණු පිළිතුර ගැන මාටිං අයියාගේ අවධානය අඩුයි. ඔහු කෝපයෙන් වියරුව වාහනයක් හඹාගෙන යන ටී රෙක්ස් දෙස බලා සිටී.
ඔය මහ විසාලයි විසාලයි කිව්වට ඩයිනෝසරයො පොඩියිනෙ.” ලැප්පොට් එකට එබීගෙන සිටි මාටිං අයියා අවසාන තීරණය ගනී.
ඩයිනෝසරයො කියන්නෙ හරි පොඩි සත්තු ජාතියක්නෙ. මේ අන්නක්කගෙ බොරු!