Thursday, August 18, 2016

දාලිත්සෝවත : ජාදුමානි

මං ජාදුමානි. ඉපදුණේ ඔරිස්සා ප්‍රාන්තෙ. ඉන්දියාවෙ දුප්පත්ම ප්‍රාන්තයක් තමයි ඔරිස්සා කියන්නෙ. මගේ ගම භන්ජාපාලි. ඒක පුංචි ගමක්. මං හීන කුලේ. ගාන්ධි ජී නම් කිව්වෙ අපි හරිජනයො කියලා. හරිජන කියන්නෙ දෙයියොන්ගෙ ළමයි කියන එකයි. මං නං දන්නෙ නෑ අපි මොන දෙයියන්ගෙ ළමයින් ද කියන්න. සමහරවිට ඒ ගාන්ධි ජී ගේ දෙයියො වෙන්ඩ ඇති. මං දන්නෙ නෑ ඒ දෙයියො මොනතරම් සාධාරණයි ද කියන්න. හැබැයි ඒ දෙයියෝ කියනවා අපි අතින් අල්ලන්නවත් තරම් නොවෙන අසික්කිත වර්ගයක් කියලා. කොහොමින් කොහොමහරි අපේම කියලා ඡන්දකොට්ඨාස වලින් අපේ ජාතියෙ මිනිස්සුන්ව බලයට පත් කරනවට (Granting the Communal Award) ගාන්ධි ජී කැමති වුණේ නෑ. මං දන්නෙ නෑ ගාන්ධි ජී මොන තරම් සාධාරණයි ද කියන්න. සමහරවිට මං වැරදියට හිතාගෙනවත්ද දන්නෙ නෑ.අපි දාලිත් මිනිස්සු (Untouchables).අපි ලෝකෙ ගැන මොනවා කියලා දන්නවටද........

මං උපන්නෙ ගාන්ධා කුලේ. හීන කුලේ අයව තව එක එක කුල වලට බෙදිලා තියනවා. හින්දු දෙයියො කියන ප්‍රධාන කුල හතරට අපි අයිති නෑ. අපි පහළ කුලේ (low caste) අය නෙවෙයි. හරියටම කිව්වොත් අපිට කුලයක් නෑ. අපි කුලෙන් පිට මිනිස්සු (out caste). ඔය කියන විදියට අපි බොහෝම නරක උදවිය වෙන්න ඕනෙ. 

මායි මගේ සනුහරේමයි ගැතිකං කරේ හින්දු ඉහල කුලේ අයගේ වැඩකාරයෝ, කම්කරුවෝ විදියට. හීන කුලේ අපට ඉඩං අයිතියක් නෑ. ඉස්සර කාළේ අපේ කුලේ ඈයින් ජීවිතේ සරි කරගත්තෙ බෙර ගහලා, රෙදි වියලා. අපිට ගමේ ජීවත් වෙන්ඩ අයිතියක් නෑ. අපි හිටියේ ගමින් පිට අටවාගත්තු ගුබ්බෑයම් වල. අපි කවුරුත් කළේ ගමේ හින්දු පවුල් වල දාසකම්. අපේ දුප්පත්කම ඉහටත් උඩින්. අපිට මුකුත් වෙළහෙළඳාමක් කරන්න තහංචි. රස්සාවක් කරන තරමට ඉගෙනගන්නත් තහංචි. අපේ පරම්පාරා ගාණක්ම කළ දාසකම්, වැටුණු කඳුලු, හළපු ලේ ගංගානම් ගඟට වඩා බොහොම උසයි.
සාමාන්‍ය මිනිස්සුන්ට හම්බුවෙන කිසිම පොදු පහසුකමක්වත් ලබාගන්න අපට අයිතියක් නැහැ. මං ඉස්කෝලේ යද්දි වාඩි ගන්න ලැබුණේ පන්තියේ මුල්ලක. ඉහළ කුලේ ලමයින්ගෙන් අපිව ඈත් කරලායි තිබුණේ. දවල් කෑම වෙලාවට ඉස්කෝලෙන් කාටත් කෑම දුන්නා. අපිට දුන්නේ වෙනමම වාඩි කරවලා. ඉහල කුලේ ලමයි කෑම කන පළාතටවත් අපි හීන කුලේ ළමයින්ට යන්න දුන්නෙ නෑ. දවල් විවේක වෙලාවට ඉහළ කුළේ ළමයි ක්‍රිකට් ගහනවා. මාත් හරි ආසයි ක්‍රිකට් ගහන්න. ඉස්කෝලෙ වැට මායිමෙන් එහාට වුණත් මට පුළුවන් හයේ පාරවල් ගහන්ඩ. එතකොට හැමෝම මට අත්පුඩි ගහාවි. ඒත් ඉහල කුලේ ලමයි අපිව ක්‍රිකට් ගහන්න ගන්නෙ නෑ. ඉන්දියාව කීපවතාවක්ම ක්‍රිකට් ලෝක කුසලානෙ දිනුවාලු. අපිත් හරි ආසයි ක්‍රිකට් ගහන්න. ඉහල කුලේ අය දිහා කෙලින් බලන්න අපට තහනම්. ඒ නිසා  ඒ කාටවත් අපේ ඇස් වල දුක වේදනාව නොපෙනෙනවා ඇති.

අපේ ගන්ධා මිනිස්සු සේරම පාරවල් හදන තැන් වල, ගෙවල්, ගොඩනැගිලි හදන තැන් වල අතේපයේ වැඩ තමයි කරන්නෙ. මං කාලයක් හින්දු ඉහල කුල ගොවිපොළ වල කුලී වැඩ කළා. කුළී වැඩ කරද්දී අපට එයාලාගෙ ගෙවල් පලාතටවත් එන්න දෙන්නෙ නැහැ. අපට පිපාසාවට වතුර ඩිංගක් ලිඳකින් බොන්ඩ අවසරයක් නැහැ. වැඩ කරලා හොඳටෝම පිපාසා වුණාම එයාලා කවුරු හරි අපේ අත් වලට හරි අපේ භාජනේකට හරි වතුර වක්කරනවා. එහෙම ලැබෙන වතුර ටික තමයි බොන්නෙ. එයාලගේ වතුර භාජන ලඟටවත් යන්න දෙන්නෙ නෑ අපට, එව්වා අපිරිසිදු වෙන්වාලු.  

මගෙ අම්මටත් තාත්තටත් අකුරු සාස්තරේ බැහැ. තාත්තා ගොවිපොලක කුලී වැඩ කළා. එයාට ලැබුණේ රුපියල් තිහයි දවසේ කුලිය. ඒ සොච්චමින් තමයි අපේ මුළු පවුලම නඩත්තු වුණේ. සමහර කාල වලදි ඒ සොච්චමත් ලැබුණේ නැහැ. මට මතකයි මීට අවුරුදු කීපයකට උඩදී ආපු සීත කාලේ මහපොළොවට එක වැහි බිඳක් වැටුනේ නැහැ. වැස්ස හීන වුනාම ගොවිපොළ වල වැඩ නවත්වනවා. වැඩ නැවතුවාම අපට කුලී වැඩ නැහැ. ඒ මුළු අවුරුද්දටම හරියකට වැස්ස නොවැටුණු නිසා සේරම ගොවිපොළවල වැඩ නතර වුණා. ඒ සීත කාලේ අපි දවස් ගණන් නොකා නොබී හිටියා. ඒක බොහෝම අමාරු සීත කාලයක්. 

*හෝබෝගේ සටහන: එහෙම අමාරු සීත සමයක් ගෙවාපු ජාදුමානිට දැන් වසන්තය උදා වෙලා. එයා හීන කුල මිනිසුන් වෙනුවෙන් හඬ නගපු ආචාර්ය අම්බෙඩ්කාර් මහත්මයාගේ අඩි පාරේ යන, බෞද්ධ දර්ශනය ප්‍රධාන කොටගත් නාගලෝක කියන බෞද්ධ මධ්‍යස්ථානයත් එක්ක සම්බන්ධ වෙලා, ජවහල්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරමින් ඉන්නවා. තමන් වගේ හීන කුලයේ ඉපදීම නිසා නොයෙක් කරදර කම්කටොළු වලට මුහුණ දෙන දාලිත් ජනතාව වෙනුවෙන් සමාජ සේවා කටයුතු වල නිරත වෙනවා. ජාදුමානි තමන්ගේ කතාව ලෝකයටම කියන්නෙ තවමත් සීත සමයට හසු වෙලා ඉන්න දාලිත්වරුන්ට වසන්තය උදා කරන බලාපොරොත්තුවෙනුයි. මට ජාදුමානිගේ ජීවිතෙන් එක මොහොතක් හමු කරලා දෙන්නෙ ඒ වගේ දාලිත්වරයෙකුව සිට දැන් මහණ දම් පුර භන්තේ සුගත හාමුදුරුවෝ. මට භන්තේ සුගත හාමුදුරුවන්ව මුනගැහෙන්නෙ සාසනේට යන්න කලිනුයි. ඒ කාලේ එයා දීපක්. මට දීපක්ව මුණගැහුණු හැටි තව දවසක කියන්නම්. 

Tuesday, August 16, 2016

අත්තම්මාගේ රස කතා-ඉස්කෝලේ ගමන

*ටික දොහකින් ලියන්නෙ. බැරි වුණා ලියන්න.කවුරුත් හොඳින් ඉන්නවාය කියලා හිතනවා. :)

අපූරු බෑණෙකු වන අපගේ තාත්තාගේ දවසේ ලොකුම රාජකාරිය උදැහැනැක්කේම අත්තම්මාට කියවීමට මොකක් හෝ දවසේ පත්තරයක් උස්සාගෙන ඒමයි. අත්තම්මාද බෑණා පොඩ්ඩ ගෙන එන පත්තරය කියවන්නේ බොහෝම ඕනෑකමකිනි. රටේතොටේ දවසේ විස්තර ඕ අපට වඩා දනී. පත්තරය ඔඩොක්කුව මතට ගන්නා අත්තම්මා පත්තරයේ බර බලයි. එයි කාලේ සිළුමිණ පත්තරයක් සත පහයි, මට ඒ පත්තරේ උස්සාගන්නවත් බෑ. එයි තරමට බරයි.අත්තම්මා මුල් පිටේ විස්තර බලන ගමන් කියයි. ඔබ්සර්වර් පත්තරේ වේකන්සි පිටු ගොල්ලෙන් අම්මා මල්ලීට යහමින් උදේට බත් බඳින හැටි හෝබෝවා මතක් කරගන්නේ හිනාවක් ද හක්කේ ගසා තලු මරන ගමන්ය. 

පත්තරය පුරා ඇති ගං වතුර විස්තරේ කියවමින් අත්තම්මා හූල්ලයි. ඉස්සර අපටත් හරීයට ගං වතුර, ඇය කියයි. ඒත් ඉතින් කොයි ගං වතුරටත් ඒ කාලේ අපි ඉස්කෝලෙ යනවා. අම්මලා තාත්තලාටත් ගානක් නැහැ. බයකුත් නැහැ. ගං වතුර කාලෙට අපි ඉස්කෝලේ යන්නේ කොල්ලෑවකින්. එයික පදින්නේ කොලුවෙක්. කැලණි ගඟ ගලලා ගංකරේම සප්ත මහා සාගරේ වගෙයි. කොල්ලෑවේ යන්නෙ මායි, මගෙ අයියයි, කොල්ලෑව පදින කොලුවයි ඉතරයි. හිටි ගමන් කොල්ලෑවට ඈතින් කිඹුල්ලු එහෙමත් යනවා. ඒත් අපි බය නෑ. මොකද අපි හිතාගෙන ඉන්නෙ උන් කබරයි කියලා. 

අපි ඉස්කෝලෙ යන්නෙ ගොඩැල්ලෙන් චූටි කැලේට, ඊට පහු ආණ්ඩුවේ කැලෙන් පට්ටියාවත්ත ගමට. ඉන් පස්සෙ කොතලාවල හංදියෙන් කඩුවෙල පැත්තට තමා ඉස්කෝලෙ තිවුණේ. ඒ කාලෙ අපි පොඩි ළමයි. ඉස්කෝලෙ ළමයින්ට තමා කියන්නෙ ඉස්කෝලෙ ගාන්න ගොම ගේන්ට කියලා. පොඩි කෙල්ලො ලව්වා ඉස්කෝලෙ බිම ගොම පිස්සෝනවා. පිරිමි ළමයි උදලු වලින් මැටි දානවා. ලොකු ගුරුන්නාන්සෙයි, පොඩි ගුරුන්නන්සෙයි තමා අපි ගොම ගානෙව්වා පරීක්ෂා කොරන්නෙ. තව හිටියා කවුදෝ අපේ නෑදෑවෙන කෙනෙකුත්. 

අපිට ඉස්කෝලෙ උගැන්නුවේ සිංහල, ගණිතය. ඉස්සරෝම වෙලා ගන්න තිබුණේ ඉස්කූල් වින් එක. ඉස්කූල් වින් එක කියන්නෙ ඉස්කෝලෙන් තියන විබාගෙ. ඊට පස්සෙ අවුරුද්දකින් ප්‍රාරම්භෙ. එයි විබාගෙට එනවා පිටින් ගුරුන්නාන්සෙ කෙනෙක්. අපි එයැයිට කියන්නෙ පාඩම් මහත්තයා කියාලා. එයැයි නමින් ගුණසේකර. පාඩම්ම හත්තයා එනකොට ඉස්කෝලෙ ළමයි සේරෝමලා දෙපැත්තෙ හිටගෙන එයැයිට ආචාර කරන්න ඕනෙ. ඉස්කෝලෙ ගුරුවරු එදාට අයින් වෙලා බලාගෙන ඉන්ට ඕනෙ. ඉන් පස්සෙ පාඩම් මහත්තයා ප්‍රශ්න පත්තර වගයක් දෙනවා. අත්තම්මාගේ මුහුණේ හීනියට හිනාවක් පහල වෙයි. ගුණසේකර පාඩම් මහත්තයා අපේ නෑදෑයෙක් වෙනවා. අපි ඉතින් වැඩ කළත් නොකළත් අපව පාස් කොරෝනවා!

අවසාන විභාගෙ ලියන්න වයස් මට්ටමක් නෑ. එයික ලියන්න හොඳට වැඩ කරන්න ඕනෙ. ඉස්කෝලෙන් ඉගෙනෙගෙන අවසානෙ ලියලා පාස් වුනාට පස්සෙ ඒ ඉස්කෝලෙම වැඩ කරන්න පුළුවන්. පාසල් ගුරුන්නාන්සෙකෙනෙකුට පඩිය මාසෙකට රුපියල් දහයයි. ලොකුම ගුරුන්නාන්සෙගෙ පඩිය රුපියල් දහ අටයි.