Wednesday, October 25, 2017

මාටිං බබා

*ළමායි, මගෙ අදහසක් තියනවා මාටිං අයියාගෙන් සෙමි ෆික්ෂන් (Semi-Fiction) ළමා කතාවක් ලියන්න. කස්ටියගෙ අදහස් වුවමනයි. 

මේ දිනවල මාටිං අයියා ඉවසීම ප්‍රගුණ කරන්නේය. ළඟකදී කොහෙදෝ සල්පිලකින් ඇරගෙන දුන් ඇතුලේ එළි පත්තු වෙන උල් උල් රබර් බෝලය මාටිං අයියාගේ නොයිවසිල්ලට හේතු වී තිබේ.

උල් උල් රබර් බෝලය ගැන මාටිං අයියාට ඇත්තේ කුකුස මුසු ආශාවකි. එය බ්ම ගැසූ විට අපූරු නිල්, රතු, කොළ පැහැයින් දිලිසෙයි. උල් උල් රබර් බෝලයේ පිට පැත්ත කහ, රතු, කොළ, නිල් ආදී බොහෝ වර්ණයන්ගෙන් යුතුය. මාටිං අයියා බෝලය බිම ගසා සතුටින් ඉපිළෙමින් හිකි හිකි ගා සිනාසෙමින් උඩ පනී. 

සති කිහිපයක් මෙසේ සතුටු වූ මාටිං අයියා ටික දවසක සිට බෝලයට අමුතු බැලුම් හෙලන්නට වෙයි. කොහොමද මේකෙ පාට පාට එළි පත්තු වෙන්නෙ? මේක ඇතුලෙ මොනවා හරි තියනවා...සිය විසිරුණු කුළු කනක් බෝලයට හේත්තු කරමින් මාටිං අයියා කියයි. රබර් බෝලය සොළවා බලයි. දැන් මාටිං අයියා බෝලය බිම ගසා එහි එළි බලමින් සතුටු වෙන්නේ නැත. මාටිං අයියාගේ සහ බෝලයේ සබඳතාව වෙනස් වී ගොසිනි. 
ඔහොම තව සතියක් ගත වෙයි. මාටිං අයියා බෝලයට ඉඟි මරයි. ඒ මේ අතට හරවයි. හෙමීට බෝලයත් ගෙන හාන්සි වී පොතක් කියවමින් සිටි ගවුමක් වෙත යයි. 

"මට රහසක් තියනවා කියන්න." මාටිං අයියා ගවුමට දන්වා සිටී.
"ම්ම්හ්... මොකද්ද." ගවුම අසයි.
"මම මෙච්චර කාලයක් ඉවසගෙන හිටියෙ ඔයා වෙනුවෙන්." මාටිං අයියා කියන්නේ ඉතා තැන්පත්වය.
"ඒ කිව්වෙ?" ගවුමේ අවධානය දිනා ගැනීමට මාටිං අයියා සමත් වී ඇත.
"මම කියන්නෙ මේක ගැන." මාටිං අයියා ගවුමට බෝලය පාමින් කියයි.
"ඉතිං?"
"මම මෙච්චර කාලයක් ඉවසගෙන මේ බෝලෙ කපලා ඇතුලේ තියෙන්නෙ මොකද්ද කියලා බැලුවෙ නැත්තෙ ඔයා නිසා. ඔයාට දුක හිතෙයි කියලා. ඒත් මට තවත් ඉවසගෙන ඉන්න බෑ." මාටිං අයියා, පල්ලියේ ස්වාමිට පාපොච්චාරණය කරනවා සේ කියාගෙන යයි.
"හා එහෙනම්, ඔයා බෝලෙ කපලා බලන්න." ගවුම කියන්නේ සිනාසෙමිනි. 

දැන් ටික දවසක සිට ගෙදර බෝලය පේන්න නැත. 

මාටිං අයියා ගැන ලියන්නට මග හැරුණු කාලය තුල පොඩියට වෙනස්කම් කීපයක් වී ඇත. ඉංගිරීසි පන්තියේ ඉන්න ලස්සන ටීචර්ට්ව දැන් මාටිං අයියා අමතන්නේ "බබා" කියාය. මාටිං අයියා චූටි ටීචර්ට බබා කියා පොතට තරු අරගෙන එන්නේය. පොත ගන්නා විට "තැන්යූ බබා" කියන්නේය. ඒ නිසා මේ දවස් වල ගෙදර ඈයින් පන්තිය පලාතේවත් යන්නේ නැත. හැබැයි කොට්ටේරුවාගේ හොට පැටලෙන්නට කිට්ටුය. මොකද මාටිං අයියාගේ ඊළඟ කල්පනාව ඉස්කෝලේ පන්තියේ ටීචර්ටද "බබා" කියා රවටා ගන්නටය. මාටිං අයියා තවම ඉස්කෝලෙ ටීචර් ගැන දන්නේ නැත. කවුරුත් බලාගෙන ඉන්නේ මාටිං අයියා ඉස්කෝලෙ ටීචර්ට "බබා" කියනකම්ය.

මොට්ටිසෝරි කාලේ මාටිං අයියාට රෝස පාට කෙලි ඇබිත්තක් සිටි බව කාටත් මතක ඇතිය. දැන් මාටිං අයියාට වෙන යහළු කෙළි ඇබිත්තක් සිටී. නමුත් ඒ කෙළි ඇබිත්තට මාටිං අයියාගේ එහෙමට කියා කැමැත්තක් නැත. "හපෝ හරි වදයක් එයා. හැම තිස්සේම කචපච කචපච ගගා කියෝනවා." මාටිං අයියා අලුත් ඇබිති කෙල්ල ගැන අවලාද කියයි. එහෙනම් ඇයි එයා ඔයාගෙ යාළුවා වෙලා ඉන්නෙ? ඔය කවුරුත් අහන අහිංසක ප්‍රශ්නයකි.

ඕං එතකොට මාටිං අයියාගේ මුහුණට ලැජ්ජාව මුසු කපටි හිනාවක් මතු වෙයි. "අපේ පොඩි ළමයින්ගේ ටොයිලට් තියෙන්නෙ ටිකක් දුරින්." එය මාටිං අයියාගේ උත්තරයයි. කවුරුත් මේ උත්තරයට තක්කු බුක්කු වෙන නිසා, මාටිං අයියා තව දුරටත් සිය පිළිතුර පැහැදිලි කරදෙයි. 

"මං තනියම ටොයිලට් තියන පැත්තට යන්න බයයි. මගෙ යාළුවා තමයි මාව එක්කගෙන යන්නෙ. මං චූ දාලා එනකම් එයා දොර මුර කරගෙන ඉන්නවා." මාටිං අයියා ඇඹරෙමින් කියයි. 

මාටිං අයියාගේ කට තිබ්බාට මිනිහා මහා බයගුල්ලෙකි. කාටුන් බල බලා හින්ද වෙලාවකට පුටු පෙරළාගෙන කාමරයට දුව ගොස් කොට්ටයෙන් ඔළුව වසා ගනී. මොකදැයි සොයා බලන විට කාටූනයේ මොකාක් හෝ බය හිතෙන ජවනිකාවක් දිස් වෙයි. මාටිං අයියා පරාණ බයේ දුවා ඇත්තේ ඊට බය වීය. බය හිතෙන ජවනිකාව අවසන් වී ඇත්දැයි තිර ලෙසම දැන ගන්නා මාටිං අයියා කිසිවක් නොවූවා සේ පැමිණ යළි හරිබරි ගැසී කාටූනය නරඹයි. 

අලුත් කෙළි ඇබිත්තගෙන් මාටිං අයියාට තවත් ප්‍රයෝජන තිබෙනා බව ගෙදර ඈයින් දැන ගන්නේ පසුවය. දවසක් දා ඉස්කෝලය ඉවර වුණත් මාටිං අයියා ගේට්ටුව වෙත පැමිණ සිටියේ නැත. වටපිටාව බලත්දී මාටිං අයියා අලුත් කෙළි ඇබිත්ත සමග එළියේ බංකුවක වාඩි වී කොක්සන් දී සිනාසෙමින් මොනවාදෝ ලියයි. ටික වේලාවකින් ලියා ගත් පොත බෑගයට දමාගෙන හෙමීට යන්නම් කියා මාටිං අයියා ගේට්ටුව දෙසට කඩිමුඩියේ දුව එයි. 

"මොකද පරක්කු? මොනවද ලිය ලියා හිටියේ?" ප්‍රශ්නය අසයි. 

"ආහ්....මේ අපේ ළමයි දාඩිය දාගෙන පොරකාගෙන බෝඩ් එකේ දාපු ගෙදර වැඩ ලියාගත්තා. මම නෑනෙ ඒ වගේ මහන්සි වෙන්නෙ. මම අරයගෙන් ගෙදර වැඩ පොත ඉල්ලගෙන අර බංකුවෙන් වාඩි වෙලා හුළං වැදි වැදී  ගෙදර වැඩ ලියා ගත්තා." මාටිං අයියා කියන්නේ වගේ වගක්වත් නැතිවය. 

මාටිං අයියාට ඇත්තේ යමර තර්කය. අභූත වේලාවන්ට මාටිං අයියාට බඩකිනි එන්නේය. ඒ වෙලාවට ටික වේලාවක් කුරුකුරු ගාමින් සිට ගවුමක් හෝ චීත්තයක් ලඟට කිට්ටු කර මැසිවිලි කියන්නේය. "ඔයාට මහන්සිද මේ වෙලාවෙ මට කන්න දෙයක් හදලා දෙන්න?" මාටිං අයියා එන්නේ පුල් සංහිදියානු ඇප්‍රෝච් එකකිනි. "ඔයාලා මං හින්දා හරීයට දුක් විඳිනවා නේද?" මාටිං අයියා ඔහොමත් කියයි. 

නමුත් මාටිං අයියාගේ බඩකින්න ඊට එහා අමාරුය. "කමක් නෑ. ඔයාලා ගොඩක් දුක් විඳින්න ඕනෙ. දිගටම, ගොඩාක් දුක් විඳින්න ඕනෙ. දුක් විඳලා විඳලා මැරුණහම, ඔයාලට පුළුවන් දිව්‍ය ලෝකෙ යන්න. ඒ හින්දා මට දැන් කන්න දෙයක් හදලා දෙන්න පුළුවන්ද?" මාටිං අයියා රොම්බ තර්කයක් ඉදිරිපත් කරයි.
දිව්‍ය ලෝකේ යන්නට ඇපකැප වී සිටින අයෙක් මාටිං අයියාගේ කෑම ඕඩරය බාර ගනී. 

මාටිං අයියාට ලඟකදී කොහේද රස්තියාදුවේ යන ගොළුබෙල්ලෙකු සමු වී ඇත. එක්කෝ ගොළුබෙල්ලා මොකාක් හෝ මහා පාප කරුමයක් කර ඇත. එසේත් නැතිනම් ගෙදර ඈයින්ට එවැනි කරුමයක් පඩිසන් දී ඇත. 

මාටිං අයියා ගොළුබෙලල්ලාගේ අලගිය මුල්ගිය තැනේ සිට සකල විධ ඥාති සමූහයා පිළිබඳවම විමසන්ට පටන්ගනී. ගැට පිච්ච ගාල යට සැඟවී සිටින ගොළු බෙල්ලා, මේ මොන නස්පැත්තියක් වූයේ දැයි බිරන්තට්ටු වී හෙළවෙන්නේවත් නැතිව සිටී. මාටිං අයියාට එය මහත් අරුමයකි. මාටිං අයියා සිතන්නේ ගොළුබෙල්ලා මිය ගොස් ඇතැයි කියාය. එහාට මෙහාට පෙරෙළා බැලුවද ගොළුබෙල්ලාගේ ඔළුවත් අං දෙකත් පෙනෙන්නට නැත. මාටිං අයියාට අනුව ගොළුබෙල්ල ගෙදර ගොසිනි. මාටිං අයියාට හමුවෙන අනෙකුත් ගැඩවිලන්, පනුව, ගෙම්බන් යනාදී සත්ව ප්‍රජාවම මාටිං අයියාගේ අන්වීක්ශ දෑසට යටත් වී බොහෝ කාලයක් ගත කරති. නමුත් මාටිං අයියා උන්ව මරා දමන්නේ නැත. මාටිං අයියා මරා දැමීමට කැමති එකම සත්වයා අක්කාගේ ඔළුවෙහි වසන කරුමක්කර උකුණන් පමණි. මන්ද මාටිං අයියාට තඩි බෝ වී ඇත්තේද අක්කාගේ හිසේ සිටින උකුණන් නිසාය. උකුණන්ගේ කෑම මළම වදයකි. ඒ නිසා උකුණන් මරා දැමිය යුතුය. මාටිං අයියාගේ තීරණය එයයි. 

Wednesday, October 11, 2017

එතකොට ඔයා?


මං වැඩියෙන්ම කැමති කට දැවිල්ලට ලුණු ඇඹුල් සහෝදරකමට ඉන්න රහ කොච්චි සම්බෝලයක් එක්ක සුදු බත් කන්න. මොන පාන්දර ජාමෙක උනත් ඒ වගේ සම්බෝලයක් බතක් අඹරනවාය කියන්නෙ ඉතින් අමාරු කාරියක් නෙමෙයි. යහමින් කොච්චි සම්බෝලෙ බතුත් එක්ක අනාගෙන කනකොට තමයි ඔන්න දත් ටික මැද්දට හිරවෙලා දිවක් තියනවා කියලා දැනෙන්නෙ.

හැබැයි ඉතින් මගේ කෑම ආසාව එතනින් නතර වුනානම් මොනා කරන්න බැරිද කිව්වලු. කොහොමද හොඳ පොල් සම්බෝලයක් එක්ක යහපත් කරෝල කෑල්ලක් තෙල් දාලා හරි නිකාම්ම තෙලේ දාලා බැදලා ගත්තනම් කාරිය? රතට රතේ පිම්බිලා තියන නයි කොච්චියක් එහෙම නැත්නම් දම් පාට බෝල කොච්චියක් වගේ එහෙම කරෝල තෙල් දැමිල්ලට එක්කහු කලාට මගේ නම් ඕං කිසීම තරහක් නෑ ඕං කිව්වා. හොඳට බත් ඇට ටික වෙන්වෙන්ට මුතු ඇට වගේ පොඩි සම්බා හාලකුත් එක්ක තමයි මම නම් ඔහොම කරෝල බැදුමකුයි සම්බෝලෙයි කන්න කැමතියි.
 

දැන් මෙහෙමෙයි, ගොඩක් අය කන්න කැමති උණු උණුවට බත්. ඒත් වැඩේ කියන්නෙ මං එහෙම උණු බත් කන්න කැමතිම නෑ. එතකොට මාළුපිනි වල රස මට දැනෙන්නෙ නෑ. වෙන එකම දේ, කට පුච්චා ගැනීම සහ කට දැවිල්ල ඉස්මුරුත්තාවටම ඒමයි. 

ඕන් කියනකොට මතක් වුණේ, හොඳ කිරට බීට් අලයක් උයාලා බත් එක්ක කන්නත් මං හරි මනාපයි.ආයෙ වෙන මුකූත්ම ඕනෙ නෑ. ඒ වගේම තමයි යහමින් අබ ටිකක් අඹරලා දාලා අම්ම උයන කැකිරි මාළුව. (දැන් ඉතින් අහන්න එපා හොබෝ ටික්කො උඹ මොනා කන්නද අකමැති කියලා!)හොඳ සැපට හැදුණු පිටි වැඩියෙන් තියන වට්ටක්ක කෑල්ලක්, ලාවට තිත්ත රහ එන්න කරවිල මාළුවක්, එතකොට තව රසට ගුණට කන්න අඟුණ කොළ මැල්ලුමක්... 

ඔන්න ඕව මතක් කරනකොට මට එක්තරා නොස්ටැල්ජියාවක් හැදෙනවා. ඉස්සර ගෙදර ලඟ වෙලේ සරුසාරෙට හැදිලා තියෙන ගිරා පලා කඩාගෙන ඇවිත් කිරි රහට රසට රසේ මැල්ලුමක් හදනවා මට අද වගේ මතකයි. ඒත් අද එහෙම බෑ. වෙලවල් පුරාම එක එක වල් නාශක. කෘමි නාශක. නිදහසේ පලාකොළයක් කඩාගෙන කන එකත් ලේසි වැඩක් නෙමෙයි අද කාලෙ. 

හොඳ පැහුණු දෙල් ගෙඩියක් උයනකොට වත්ත පහළ මැල්ල ගහෙන් මැල්ල කොල ටිකක් කඩාගෙන ඇවිත් බැදගෙන කනකොට මට පොඩි කාලෙ දැනුනෙ මාත් මඩොල් දූවෙ උපාලියි ජින්නයි වගේ කියලා. වත්ත වටේට ඇවිදලා මයියොක්ක දළු, ජපන් බටු කොළ, තෙබු කොළ කඩාගෙන ඇවිල්ල මැල්ලුමක් හදනකොට ඒක හරි විසාල විනෝද සවාරියක් ගියා වගේ තමයි. කොරැල් දූපතේ අතරමන් වෙච්චි ළමයි ටික රහට රහේ කෑම හදාගන්න සීන් එක මතක් කරගෙන තමයි මම මැල්ලුමට කොළ හොයන්නෙ. 

මස්මාංස ගැන නම් මට එහෙමට කියලා ලොකූ පිරියක් නෑ. ඉඳලා හිටලා කුකුළු මස් ඉස්ටුවක්, කුකුළු මස් හොද්දක් කෑවොත් මිසක ඔය කිරි අම්මලගෙ මස්, දන්නෝ දනිති මස් එහෙම මං කාලම නෑ. හැබැයි ඉතින් මාළු කන්න නම් හරි කැමතියි. 

මට මතකයි මං පොඩි කාලෙ තාත්තා එක්ක මාළු ගන්න පාන්දර බස් එකේ මීගමු යනවා. අපි ප්ලාස්ටික් බාල්දියක් එහෙම අරගෙන යන්නෙ. පාන්දරම ලෙල්ලමට ගියාම ඉතින් එක එක ජාතියෙ මාළු. මට මතකයි, මහ විසාල පර්වතයක් වගේ කළු ගෑණු මනුස්පයෙක් දැල් වලින් කොටු කරල පාර්සල් කරපු පණ ඇති කකුළුවෝ විකුණනවා. මං කට ඇරගෙන බලාගෙන හිටියා මතකයි ඒ දිහා. ඉතින්, අලුත් මාළු අරගෙන අපි ගෙනාපු බාල්දියත් පුරෝගෙන තාත්තයි මාය් ගොඩවෙනවා උදේ කෑම කන්න කඩේකට. අපි දෙන්නම ඉඳි ආප්ප කන්න හරි රුසියො. ඉතින් අපි ඉඳි ආපයි කිරි මාළුයි තමයි කන්නෙ. ආයෙ ඉතින් රහ ගැන කියන්න ඕනෙ නෑනෙ. අර සයිවර් කඩ වල තියෙන ටින් බාල්දි වලින් යාරෙට හොදි වක්කරනවා මට තවම මතකයි. හොඳ හැටි බඩකට පුරෝගෙන මාළු බාල්දියත් අරගෙන අපි දෙන්න එළිය වැටෙන්න පටන් ගන්නකොට ආපිට ගෙදරත් ඇවිල්ල අහවරයි. මට මතකයි ඉස්සර අපෙ අම්මා අනුරාධපුරේ ගුරු පුහුණු ඉන්න කාලෙ මායි තාත්තයි කෝච්චියෙ අම්මව බලන්න යනවා. තාත්ත මට මුද්දරස්පලං දාපු බනිස් ආගෙන දෙනවා යනගමන් කකා යන්න කියලා. මාත් ඉතින් බෑ නොකියා කනවා. අපි එදා ඉඳන් ඔය කෑමට බීමට ඇඹරෙන ජාතියක් එහෙම නෙමෙයි ඔන්න. 

 මං බත් කන ගමන් රතු ළුුණු, අමු තක්කාලි, අමු මාළු මිරිස් කන්න හරි ආසයි. මං පොඩි කාලෙ මට තක්කාලි ඇලජික්. ගෑවුණත් පළු දාලා කසලා සෙම ඇවිස්සෙනවා. ඒ කාලෙ තමයි මට තක්කාලි කන්න පෙරේතකමක් ආවෙ. පස්සෙ පස්සෙ තක්කලි ඇලජික් එක නැතිව ගියා. ඒ නිසා ඉතින් දැන් නම් මොන තක්කාලියක්වත් මගේ ඇහෙන් බේරිලා එළවළු බක්කියෙ හැංගිලා ඉන්නවා බොරු. වතාවක් මම ඔය රටපිට ගිය වෙලාවක ගොවිපොළකට යන්න වාසනාව ලැබුණා. කෑමකට ඇරයුමකුත් ලැබිලඉ තිබුණේ. ගොවිපොළේ අලුත් එළවළු පලතුරු සහ මල් වලින් පිරුණු පාට පාට ලෝකයක් මේසෙ උඩ තිබුණා මතකයි. හප්පේ, "ගාඩන් සලාදෙ" තිබුණු ලා දළු සහ සුදු පාට, දම් පාට සළාද කොළයි ඇබිත්තං බෝල තක්කාලි වලයි රහ!
කාලා ඌෂ්ණ බිබිලි දාලා කස කසා ඉන්න වුණත් කමක් නැත් දෙයක් තමයි අච්චාරු කියන්නෙ. කොළපොතකින් කට වහපු මැටි මුට්ටියක විනාකිරි සහ අබ සුවඳ ගොජ ගොජ ගාන සිංහල අච්චාරුවක රහ අපට කියල දෙන්න එපා මහත්තයෝ, කියලා තමයි කියන්න වෙන්නෙ ඉතින්, හා නැද්ද? ඔය සිංහල අච්චාරුවට කැරට් දාන එක තරම් කේන්තියන එකක මට තවත් නෑ. අමු පැපොලක රහ වගේද හා?

හැබැයි ඉතින් අම්මා සූප විස්කම් දාලා හදන මැලේ අච්චාරුවෙ නම් කැරට් නැත්නම් මහ පාළුවක්. මිරිස් කුඩුයි සීනීයි වතුරයි පදමට ලිපේ තියලා ඉදවනකොට එන්නෙ හරිම වෙරිකාර මත්වෙන සුවඳක්. ඒකට බොම්බයි ළුුණු ලොකුවට කපලා, මාළු මිරිස් එක්ක චර බර ගාලා හපන්න කැරට් කෑලි දාපුවම තමයි අපූරු අච්චාරුව! එපා එපා, ඔය අන්නාසි අරවා මෙව්වා ඔන්නම් චට්නි හදාගෙන කන්න, මේ මැලේ අච්චාරුවට දාන්නෙ නැතිව.  

ලුණුදෙහි ගැන අපි වෙන්මම දවසක කතා කරමු!

 ඔය සේරමත් හරි කිරිහොද්දත් හරි. උළු හාල් ඇට නටන ලස්සන කහ පාටට ඉතිරෙන්න නොදී හැඳිගාලා පරිස්සම් කරගත්තු, රම්පෙ කරපිංචා වලින් සාර වෙච්චි කිරිහොද්දක් එක්ක මොනවද කන්න බැරි. සුද්දගෙ තිරුවානා ගල් හිටන් මේ කිරිහොද්දට දියවෙනවා නොවෙද හා? දන්න කියන ඉඳිආප්පයක් එක්ක මුහු වෙලා ඉන්නකොට බලන්ට එපායැ කිරිහොද්දෙ ආඩම්බර! එයිත් එක්ක යන්න හොඳ මාළු ඇඹුල් තියලක් එහෙමත් නැත්නම් හීනි කූනිස්සො එක්කසු කරපු තිබ්බොටු මැල්ලුමක්...රුහුණුකරේ කරක්ගහල එත්දි ගෙනාපු ජාඩි ටිකක් තිබේ නම් ඉතින්...මේවනෙ හීන කියන්නෙ බ්‍රෝ!

මේකයි, කෑම ගැන කියන්න ගියොත් බඩකිනි වෙනකම් මාගලක් දිගට කියන්න දේවල් තියෙනවා. ඒ නිසා මම මෙහෙම කියන්නම්කො. "මම නම් කන්න කැමති මේවා. එතකොට ඔයා?"