Tuesday, June 26, 2018

පෙනිලෝපි

පමා වී මුණ ගැසුණු රෝමියෝ ඒදන් උයනේ තද කොළ පැහැති පාසි වැවුණු තහනම් ගසට තද කරගෙන සිප ගත්තා පෙනිලෝපිව, ඔව් ඒ ආදරබර, භක්තිමත් ප්‍රියාවිය ඔඩිසියස්ගේ.

 කිසිවකුටත් දුනු දිය ඇදිය නොහී වූ යවන රට ඔඩිසියස්ගේ රණ දුන්න සේ නොනැවුණු පෙනිලෝපිගේ හදවත පමා වී මුණ ගැසුණු රෝමියෝ ලඟ ගැහෙන්නට වූ හඬ මකා දමන්නැයි ඈ කළ ඉල්ලීම නෑසුණා සේ සිටි හේරාට හොරෙන් සුකොමළ ඇෆ්‍රොඩයිටි සිහින් තත්සර විණා සංගීතයෙන් සඟවා තැබුවාට, ඒ වන විටද රෝමියෝ අවසන්ය හඳුනාගෙන ඒ පෞරාණික තහනම් ප්‍රේමයේ ලය ස්වරය.


ගිනි ගෙන දැවෙන දෑසින් ඕ සිය පපුව මත රෝමියෝගේ අත්ල තබා රවා බැලුවා ඔහු දෙස, නුඹට තිබුණෙ ජුලියට් එක්ක මියැදෙන්න, ඈ කිව්වා සිහින් ස්වරයෙන්. නමුත් ඇගේ ස්වරයෙහි වූ වෙවුලුම් ස්වරූපය, ඇස අග දියමන්තිය සේ දෘඩව රැඳි ඒ අකලංක කඳුළු කැටය නොසලා දිගු හුස්මක් ඇදගෙන සඟවා ගත් ඇගේ ශෝභාමත් අකාල ආලය නුරුස්නාවෙන් බලා පෙනිලෝපි වෙත, නුඹට තිබුණේ පොම්පෙයි නගරයට නේන්න, කියා හූල්ලා බලාගත්තා ඈත අළු පාට අහස දෙස.  

ඇගේ දිගු ඇඟිලි, රත් නිය එකින් එක ගෙන සිප ගනිමින්, ඇගේ ගෙල මත වේගයෙන් ස්පන්ධනය වූ නාඩිය මත සිය දබරැඟිල්ලක් තැබූ රෝමියෝ සෙමින් පහත් වී ඇගේ සවනට කීවා, පෙනිලෝපි නුඹ මගේ සුකුමාර ජුලියට් වාගෙමයි.

පමා වී පැමිණි රෝමියෝ සිය දෑතින්ම පෙනිලෝපිගේ සිහින් සෘජු ගෙල අල්වාගෙන තද කරගත්තා තහනම් ගසට, ඇගේ පය නොසෙල්වෙන සේ සර්පයා බැඳ දැමුවේය මහ පොළොවට. ඒදන් උයන නිහඬව බලා සිටියා, වැටුණේ නෑ එක මල් පෙත්තක්වත්, ඒ තරම් නිහඬ බවක, පමා වී පැමිණි රෝමියෝ පෙනිලෝපි අමතා මෙසේ කීවේය, මට නුඹව විඳින්නට දීපන් පෙනිලෝපි, නුඹ මගේ මිය ගිය රුසිරු ජුලියට් වාගෙමයි.

මට තිබුණේ ඇෆ්‍රොඩයිටිට අවමන් නොකරන්න, පමා වී පැමිණි රෝමියෝගේ කාල වර්ණ දෙනෙතට එබීගෙන පෙනිලෝපි සිතුවාය, නෑ මම පෙනිලෝපි, මම නුඹේ ජුලියට් නෙමෙයි. පීතෲ ඝාතනයේ රුහිරෙන් උපන් ඇෆ්‍රොඩයිටි නුඹ, මා බිඳ දැමූ හැටි හරි අපූරුයි , නුඹ චපල ආලයේ දෙවඟන! හෙලනාව මට නොකිව්වා නොවෙයි නුඹ ගැන, පැරීසවන් ලපටි කොළුවෙකු හා පැන යන්න, ට්‍රෝජානු යුද්ධය, මිය ගිය හෙක්තාර සහ මනුල, අහෝ ඇෆ්‍රොඩයිටි නුඹ මේ ආලය තරම්ම නපුරුයි. පමා වී පැමිණි රෝමියෝ සිය ගෙල මත සටහන් ලූ සරාගී චුම්බන විඳිමින් පෙනිලෝපි සිය නෙත් පියා ගත්තාය, ජුලියට් නුඹ මිය ගිය එක ගැන මට සතුටුයි, විදිලියක් සේ ඇගේ සිත මොහොතකට සිතුවා මතකයි. 

උඹේ ඔය දෑත් දමා මා ගෙල වට සිප ගනින් මම නෙත් පියාගෙන මගේ පෙම්බර ජුලියට්ගේ සුවද උණුසුම සොයන්නම්...පෙනිලෝපි නුඹ මගේම ජුලියට්, පමා වී පැමිණි රෝමියෝ ගිලී ඒ අසිරිමත් නිමේෂයේ මිමිණුවා සිහින සැබෑවක අතරමක්ං, ඔහුට ඇහුණේ නැහැ දුර ඈත වීදි කොනේ විසූවියස් ගිනි කන්ද වේදනාවෙන් පුපුරු ගසනු පෙනිලෝපිගේ හදවතට පෙනෙන මානයේ සිට.

පෙනිලෝපි මේ දැන්ම නුඹ පලා ගියහොත් යවන රට තවමත් ඔඩිසියස් ඇත බලාගෙන නුඹ වෙනුවෙන්, පමා වී පැමිණි නුඹේ ඔය රෝමියෝ තවමත් ආදරේ ජුලියට්ට, නුඹ ජුලියට් නොවෙයි, නුඹ අමතක කරන්නට එපා නුඹ පෙනිලෝපි බව. එහෙම කිව්වෙ හීනෙන් ආ ඇතීනා, යුධ උපක්‍රමයට අධිපති දෙවගන. ඔව්, ආදරේ කියන්නෙ යුද්ධයක් තමයි, තමන්ගෙ හදවත තුල කැකෑරෙන බොහෝ දෑ සමග.

ඇස් තුලට ගිලීගෙන ඉන්නකොට පෙනිලෝපි, පමා වී පැමිණි රෝමියෝගේ කඩවසම් මුහුණ විසූවියස් ගිනි කන්දෙන් පිටවූ දුම්‍ රොටු සේ අදුරුව ගොසින් එක් නිමේශයක නිකටින් අල්ලා බිම බලාගෙන සිටි පෙනිලෝපිගේ මුහුණ ඉහලට ඔසවා ඔහු ආවේගයෙන් කිව්වා, නුඹට බැරිද මගේ ජූලියට්ම වෙලා ඉන්න? උඹ පෙනිලෝපිව අමතක කර දමාපන්, ඈට වඩා නුඹට ජුලියට් කියන නම ගැලපෙනවා. එසේ කියා ඔහු පෙනිලෝපිව යළිත් තද කර තහනම් ගසට සිප ගත්තා ඇගේ දෙතොල්, ගෙල සහ කම්මුල්, මිරිකමින් ඇගේ පයෝධර. නුඹේ දෙතන් ජුලියට්ගේ වගේ ලපටි නැහැ, මම ඔබේ පියෝරු වලට කැමතියි පෙනිලෝපි, ඔහු සිය අතෝරක් නැති චුම්බන අතරතුර පෙනිලෝපිගේ කනට රහසින් කෙදිරුවා.

පොම්පෙයි කෑගසමින් දුව ආවා තහනම් උයනේ ගේට්ටුව අබියසට, රාගයෙන් උණුසුම්ව සිටින පෙම්වතුන් වූත් පෙම්වතුන් නොවූත් යුවල දැක කෑ ගැසුවා මහ හඩින්, ඔතැන රති කෙලිය පසෙක තබා දුවාපල්ලා අන්න විසූවියස් ගිනි අරන්! අහස වසා කළු දුම්! මහ පොළොව ගිල දමමින් ඇදෙනවා ලාවා තහනම් උයන දිහාවට. කෑ ගසා හමාර කරන්නත් මත්තෙන් පොම්පෙයි කිදා බැස්සා පොළෝ ගැබට, රත් පැහැ ගිනි ගෙන දැවෙන ලාවා පොම්පෙයි වීදී හරහා තහනම් පෙම්වතුන් සොයා පැමණ ඇත.

ජූලියට්, මගේ ජූලියට්! පමා වී පැමිණි රෝමියෝ උමතුවෙන් වැලපුණා.අනේ ඈ තල ඇට විසුරපු සුවද පාන් ගන්න විසූවියස් කන්ද පාමුල පෝරණුවට ගියා, ඔහු වෙව්ලමින් ඇද වැටුණා පොළොව මත.බඩගාගෙන හේ විසූවියස්  දෙසට පණුවකු සේ ඇදෙන්නට වුණා, නවතනු නොහැකිව ඔහුව උරහිසින් ඇල්ලූ කල පෙනිලෝපි, පලයන් ගෑණියේ කවුද උඹ, ඇහුවා ඔහු ලාවා තට්ටුව මත බඩගාමින්, ඉන්න මගේ ආදර ජූලියට් මම එනවා නුඹ සොයාගෙන.

අහස ගුගුරා වැහැපන් අනෝරා වැස්ස, පමා වී පැමිණි රෝමියෝ ලාවා ගිනි අගුරු මත දැවී හළු වී යන්නට මත්තෙන්, පෙනිලෝපි තහනම් ගසට බර වී යැදුවා මහ දෙවිදු සියුස්. ගලාපන් මහ මුහුද ගොඩ බිමට එට්නාවගේ දැවෙන උමතුව සනහාලමින්, ඕ යැදුවා පසීදන අධිපති මහ සයුරට. තහනම් ගහේ අත්තක වැසූ සුදු පැහැති පෙරෙයියා අත ඔඩිසියස් එවා තිබුණා තුණ්ඩු කෑල්ලක්. පාළු දූපතේ හිටපු කැලිප්සෝ හරි අසරණ කෙල්ල, උඹ වගේ ශක්තිමත් ගෑණියෙක් නෙවෙයි ඈ...ආයෙ තනි වෙන්න බෑලු ඈට ඒ දූපතේ.ඊයේ පටන් ඈ යවන රට අපේ මාලිගාවෙ නුඹේ කාමරේට එහා පැත්තෙ වහලා දාපු කාමරේට එක්කගෙන ආවා මම.මං දන්නවා මුකුත් අහිතක් හිතන්නෙ නැති බව නුඹ.ඉක්මනට ගෙදර එන්න, කුස්සි අම්මා නිවාඩු ගිහින්.උයාපිහා ගන්න කවුරුත් නෑ.ඔයා නැතිව මට හරි පාළුයි. පොම්පෙයි කොහොමත් කසාද බැදපු ගෑනියෙකුට තනියෙන් යන්න හොද තැනක් නෙමෙයි. මීට ඔබේ ආදරණීය ග්ලැඩියේටර් සැමියා, ඔඩිසියස්. 


Sunday, March 4, 2018

ලුණු දෙහි ආලය


ගෙදරක බිත්ති කපරාදු කරලා සුදු පාටට ඔප කළාම ලස්සන වෙනවා වගේ කුස්සියේ කොහේහරි මුල්ලක ලුණුදෙහි බෝතලයක් නැත්නම් තුන් වේලම පාළුයි කියලා හිතෙන තරම් ලුණුදෙහි වලට රස වැටෙන්න පුළුවන්. ඉස්සර නම් අම්මා ලුණුදෙහි හැදුවේ ගෙදර වත්තෙ තිබුණු දෙහි ගස් වලින්.පෑවිල්ල කාලෙට කහ කුරුල්ලො රොත්තක් වහලා නිස්සද්දව ඉන්නවා වාගෙ කහම කහ පාට බෝල බෝල දෙහි ගෙඩි පොරෝගෙන ඉන්න දෙහි ගස් වලින් හොදට පැහුණු දෙහි ගෙඩි තමයි කඩාගෙන එන්නෙ. 

 ඒවා හතරට පලලා පැගිරි සුවදේ බැරුව හූල්ල හූල්ල දෝරෙ යන ඉස්ම ටික වෙනම මඩක්කුවකට එක්කාසු කරලා,හම්බන්තොට ඉදන් දුර ගමනක් ආපු උල් කැට කැට ලුණු මේ දෙහි ගෙඩි මැද්දෙන් තියලා වට්ටියක අඩුක් කරලා පිච්චෙන කට්ට අව්වට තිබ්බම ඒ ගැන තියන වගකීම අපි අමතක කරත්, උදේ ඉදන් හවස් වෙනකම් වහලේ උඩ හරි මිදුලෙ පොඩි බංකුවක් උඩ හරි වේලි වේලි ඉන්න ලුණුදෙහි වට්ටිය පොඩි දරුවෙක් බලාකියාගන්නවා වගේ රකින්නෙ අම්මා.ඒ අම්මලාගෙ හැටි, අපි වගේ නෙමෙයි.එයාලට තමයි වැඩක් එකදිගට කරගෙන යන්න පුළුවන්.

වැස්සට ගෙට ගන්න, හවහට අරන් තියන්න ආයෙ අව්වෙන් තියන්න, මේ සුමේ සතියක් හමාරක් කරන අතරෙ අර මඩක්කුවේ තියන දෙහි ඉස්ම ටිකත් පැත්තකට වෙලා සද්ද නැතිව කැකෑරෙනවා කට්ට අව්වට.ඊට පස්සෙ කහ පාටට බැබලි බැබලි හිටපු දෙහි ගෙඩි ටික ලා දුඹුරු පාටට වේලිලා ලුණුකැටත් එක්ක හාද වුණාට පස්සෙ, ගෙදර පොඩි කාමරේ මුල්ලකට කරලා තිබුණු පරණ හෝර්ලික්ස් බෝතල් වතුරට හේදිලා අව්වට වේලිලා සැදී පැහැදී එන්නෙ මේ ලුණුදෙහි ටික බාර ගන්න.
 සදුදා උදේට බස් එකට මිනිස්සු පටෝනවා වගේ අර විසාල වට්ටියෙම තියෙන ලුණුදෙහි ටික හෝර්ලික්ස් බෝතල් දෙකකට ඔබන කොට ඒ අතර හැදෙන හිදැස් වහන්න අර කැකෑරුණු දෙහි ඉස්ම ටිකත් වත්කරනවා. ඊට පස්සෙ කුස්සියේ කොහේ හෝ කොනක හැංගෙන මේ අපූරු ලුණු දෙහි බෝතල් එලියට එන්නෙ පරණ ලුණුදෙහි බෝතල් පෝලිමක් කාලා බෙදලා ඉවර වුණාට පස්සෙ.ඕන්න මේ පාරත් අම්මා ලුණුදෙහි හැදුවා.ඒ පොළෙන් ගෙනා දෙහි.සුදු පිගානක තියලා.ඒත් රිංගෙව්වෙ නම් පරණ හෝර්ලික්ස් බෝතලේකටම තමයි.

Monday, February 12, 2018

මල් කතා

ග්‍රීක මිත්‍යා කතාන්තර මහා ගොන්නක් අතරේ අද මම කියන්න හදන්නෙ පොඩි මල් කතාවක්. ලෝකෙ තිබෙන ලස්සන මල් බිහිවුණේ කොහොමද කියලා පැරණි ග්‍රීකයින් විවිධ කතාන්තර ගොතා කිව්වා. අද මම ලියන්නෙ ඒ අතරින් එන කතාන්තර කිහිපයක්. ආදරවන්තයින්ගේ දිනයත් ළඟපාත එන නිසා පුංචි මල් කතාවක් කිව්වොත් ගැලපෙනවා කියලා හිතුණා. 

අනෙමොන් (Anemone)


මේ මලේ නම බොහොම ප්‍රසිද්ධ ආල කතාවකට සෘජුවම සම්බන්ධ එකක්. ආලයට අධිපති වූ ඇෆ්‍රොඩයිට් දෙවඟනට සිටි එක් ආලවන්තයෙක් ලෙස සැලකෙන අදෝනිස් හට සිදුවුණු විපත තමයි මේ මලට නම වැටෙන්න හේතුවෙන්නෙ. කාලෙන් කාලෙට වෙනස් වෙන ඇෆ්‍රොඩයිටිගෙ ආලවන්තයින් අතර ලොක්කෙක් තමයි ඒරිස් හෙවත් යුධ දේවතාවා. ඒරිස් එක්ක ඇෆ්‍රොඩයිටි හාද වෙලා ඉන්න කාලෙ ඒරිස් ඇගේ හිටපු පෙම්වතා අදෝනිස් ගැන  ඊර්ෂියාකම් කරනවා.

මෙහෙමයි, කොහොමත් මේ ග්‍රීක කතාන්තර වල අනුවාද කීපයක්ම තිබෙනවා. ඉතින් කතාව අතරමගදී එක් එක අනුවාද වල යම් යම් කරුණු වෙනස් වෙනවා. අදෝනිස් කියන්නෙ ඉතා කඩවසම් දඩයක්කරුවෙක්. ඔහුගේ උපත සිදුවෙලා තිබෙන්නෙ ව්‍යභිචාරයෙන් කියලා තමයි ජනප්‍රවාදයේ පැවත එන්නෙ. මිරා කියන කුමරිය සයිප්‍රසයේ සිනිරස් නම් වන සිය පිය රජු පිළිබඳ කාම සිත් ඇතිව ඔහු හා රාත්‍රී නවයක් නිදිවැදුණාලු. මේ කාම සිතට මුල් වෙලා තිබෙන්නේ ඇෆ්‍රොඩයිටිගේ සාපයක්. තමා නිදිවැද තිබෙන්නේ තමාගේම දියණිය සමග කියා දැනගන්න රජතුමා බොහෝම කේන්තියට පත්වෙලා ඇයව මරාදාන්න සෙව්වාලු. ඇෆ්‍රොඩයිටිගේ ඉල්ලීම මත දෙවිවරු මැදිහත්ව මේ කුමරිය ගසක් බවට පත් කලාලු. ගසක්ව සිටියදී මේ කුමරිය අදෝනිස්ව බිහි කලා කියා තමයි කියන්නෙ. සමහර කතාන්තර වල කියැවෙනවා අදෝනිස් සිය උපත පිළිබඳ ඇෆ්‍රොඩයිටි සමග කේන්තියෙන් සිටිය බව. තවත් කතාන්තර වල නම් ඒ බවක් සඳහන් වෙන්නේ නෑ.

ඒ කොහොම නමුත් අලුත උපන් අදෝනිස් ළදරුවාව ඇෆ්‍රොඩයිටි වේවැල් පෙට්ටියක දාලා මළවුන්ගේලොව රැජිණ වූ පර්සිෆෝනාට භාර දෙනවාලු. අදෝනිස් තරුණයකු වෙන තෙක් හැදී වැඩෙන්නේ ඈ යටතේයි. අදෝනිස් ඉතාම කඩවසම් තරුණයෙකු ලෙස හැදීවැඩුණු පසු ඇෆ්‍රොඩයිටිට මේ තරුණයා පිළිබඳ සිත් ඇතිවේලු. නමුත් බොහෝ කලක් හදාවඩා ගත් නිසා ඔහුව ආපිට ලබා දෙන්න පර්සිෆෝන් කැමති වෙන්නේ නෑ. මේ හබය විසඳීමට අනෙකුත් දෙවිවරු මැදිහත් වෙනවාලු. දිවි වරුන්ගේ මහ දෙවි සියුස් අදෝනිස් හට අණ කරනවා වසරේ තුනෙන් එකක් පර්සිෆෝනා සමගද තවත් තුනෙන් එකක් ඇෆ්‍රොඩයිටිට් සමග ද ඉතිරි තුනෙන් එක තමන් රිසි කෙනෙකුද හා ගත කරන්නට කියා. අදෝනිස් තම රිසි කාලය ඇෆ්‍රොඩයිටි හා ගත කරන්න තෝරාගන්නවාලු.

 මෙන්න මේ තෝරා ගත් කාලය තුල දිනක් අදෝනිස් වනයේ දඩකෙළියේ නිරත වෙලා ඉන්නා විට ඒරිස් දරුණු වල් ඌරෙකුගේ වෙස් ගෙන අදෝනිස්ට පහර දී මරා දරුණු තුවාල කරනවා. සමහර කතාන්තර නම් කියන්නේ, අදෝනිස් ඉතා හොඳ දඩයක්කරුවෙක් නිසා ඒ ගැන ඊර්ශියාවෙන් ආටිමිස් දේවතාවිය වල් ඌරෙකු එව්වා කියායි. ඒ කෙසේ නමුත්, මරණාසන්නව වැටී කෙඳිරිගාමින් සිටි අදෝනිස්ගේ කෙඳිරිල්ල ඇෆ්‍රොඩයිටිට ඇසෙනවා. ඈ ඉක්මනින් එතනට ආවත් ඈ එතකොටත් ප්‍රමාද වැඩී. සිට හිටපු පෙම්වතාගේ නිසල සිරුර සිට දෑතට ගත් ඇෆ්‍රොඩයිටි දෙවියන් පානය කරන අමෘතය ඒ දේහයට ඉස්සාලු. අදෝනිස්ගේ රුධිරයත් සමග එක් වූ අමෘතයෙන් මේ අනෙමොන් කියන මල ඉපැදුණා කියලා තමයි කියැවෙන්නෙ. අදෝනිස්ගේ අකාල මරණයට සමාන කෙටි ජීවිතයක් තමයි මේ මලටත් තියෙන්නෙ. මේ මල පිබිදෙන්නෙ සුළං හමන විටදියි.ඊට පසුව එය ඉක්මනින්ම මිලින වෙලා යනවා. සුළඟේ උදව්වෙන් පිබිදෙන නිසා තමයි මේ මලට ඒ නම ලැබිලා තිබෙනවා කියන්නෙ. 

*අදෝනිස් පිළිබඳ මේ කතන්තරය ගෙන එන්නේ ඔවිඩ් නම් ග්‍රීක කවියෙකුයි. ඒ මෙටමෝපෝසිස් නම් ඔහුගේ කෘතියේ එන විස්තරයක දීය.
 
අයිරිස් මල් (Iris)


අයිරිස් මල් නම් කොට ඇත්තේ ඔලිම්පසයේ මහ දෙවි සියුස් සහ මව් රැජිණ හේරාගේ පණිවුඩ ගෙනයන දේවතාවිය නමින් කියා තමයි ග්‍රීක වැසියන් විශ්වාස කරන්නේ. අයිරිස් දේවතාවිය දේදුන්නට අධිපතිනියයි. අයිරිස් යන වචනයෙහි අරුත දිව්‍ය ලෝකයේ ඇස යන්නයි. 


හිසැන්තියා මල් (Hyacinths)


හිසැන්තියා මල් නම් කෙරෙන්නෙ ඉතාම කඩවසම් ස්ප්‍රාටානු තරුණයෙකුගේ නමින්. ඔහු කෙතරම් සුන්දර තරුණයෙකුද කිව්වොත් ඇපලෝ දේවතාවාත්, බටහිර සුළඟට අදිපති දේවතාවත් යන දෙන්නාම මේ හිසැන්තියස් ගැන පිළිබඳ සිත් ඇති කරගන්නවා. වරක් ඇපලෝ දේවතාවා මේ තරුණයාට කවපෙත්ත විසි කරන ආකාරය කියාදෙමින් ඉන්නකොට, ඒ පිළිබඳ ඊර්ෂියාවට පත්වුණු බටහිර සුළඟ, එම කවපෙත්තෙන්ම හිසැන්තියස් තරුණයාගෙ ගෙල සිඳ දැම්මා කියලා තමයි කියැවෙන්නෙ. මේ සුන්දර තරුණයා අකල් මරනයෙන් පසු හිසැන්තියා නම් මලක් බවට පත්වුණු බවයි මිත්‍යා කතාන්තර වල කියැවෙන්නෙ.  

නාසිසස් (Narcissus)


ග්‍රීක දේශයේ ජීවත් වූ නාසිසස් නම් තරුණයෙකු සිටියා. ඔහු ඉතාම කඩවසම්. තරුණියන් බොහෝ දෙනෙකු නාසිසස් ගැන පිළිබඳ සිත් ඇති කරගෙන දුක් වුනා. මේ තරුණයා තමන්ට තරුණියන් ආකර්ෂණය වීම ගැන උඩඟු සිත් ඇති කරගෙන මේ සියළු තරුණියන්ට ඉතාම කෲර ලෙස හැසිරුණා. කිසිවෙකුට අනුකම්පා කලේ නැහැ. මේ අකරුණාවන්තකම පිළිබඳ උරණ වුණු දෙවිවරු නාසිසස්ට සාප කලා. මෙතෙක් කලක් නාසිසස් තමන්ගෙ රූප ස්වභාවය සියැසින් දැක තිබුනේ නැහැ. ඔහු විල් තෙරක් අසබඩ ඉන්නා වෙලාවක අහම්බෙකින් වගේ තමන්ගේ ඡායාව පිරිසිදු නිල් දිය තුල දකිනවා. ඔහු තමන්ගේම රූප ස්වභාවයට වසඟ වෙනවා. දවස තිස්සේම, දිවා රෑ නැතිව සති ගනන් නාසිසස් විල් තෙරෙන් පෙනෙන තමන්ගෙ රුව දිහා බලාගෙන ඉඳ ඉඳලා වියැකිලා යන්න පටන් ගන්නවා. අවසානයේදී ඔහුව විල වෙත නැඹුරු වුණු මලක් බවට පත් වෙනවා. එදා ඉඳන් ඒ මල් හඳුන්වන්නේ නාසිසස් නමින්. 


මේ කතාවෙ තවත් අනුවාදයක් තිබෙනවා. ඒ නාසිසස් සහ එකෝ නම් වනදෙවඟන්ගේ කතව. එකෝ නම් වනදෙවඟන කතාවටත්, කේලාම් කීමටත්, ඕපාදූප දෙඩවීමටත් බොහොම දක්ෂයිලු. වරක් හේරා දෙවඟන එකෝගේ මේ දෙඩවිල්ල නිසා ඈ සමග කේන්ති ගන්නවාලු. සමහරු නම් කියන්නෙ එකෝ වරක් හේරා දෙවඟනගේ සැමියා වන සියුස් මහදෙවිඳුන් වන දිව්‍යාංගනාවන් පිරිසක් සමග අනඟ රැගුම් පාද්දී, ඒ ක්‍රියාව අතටම අල්ලගන්න උත්සාහ කරපු හේරා දෙවඟනට බාධා කරලා මහ දෙවිඳුත් තමන්ගෙ මිතුරියනුත් බේරා ගත්ත තරහට හේරා එකෝ සමග කේන්ති ගත්තා කියලය්. කොහොම නමුත්, හේරාගේ සාපයට අනුව, එකෝට කතා කරගන්න බැරිව යනවා. ඇයට පුළුවන් අන් කෙනෙක් කියන දෙයක අවසන් වචන කිහිපය ප්‍රතිරාව නංවන්නට පමණයි. දුක සේ වනන්තරයක කාලය ගත කරන එකෝ දෙවඟන නාසිසස් නම් ඉතා කඩවසම් තරුණයා දකිනවා. ඕ ඔහුත් සමග ප්‍රේමයෙන් වෙලුණත්, ඇගේ ආලය ප්‍රකාශ කරන්න ඇයට බැහැ. දිනක් හොර රහසේම එකෝ නාසිසස් පසුපස එනවා. ඇගේ පයට පෑගෙන කෝටුවක් බිඳී යන හඬ අසා නාසිසස් කලබල වෙනවා. "කවුද ඔතන?" ඔහු අහනවා. "ඔතන...ඔතන..." එකෝට කියන්න පුලුවන් එපමණයි. නාසිසස් තරුණයා හරිම උද්දච්චයි. බොහෝ තරුණියන් ඔහුට ආලය කලත් ඔහු ඒ කිසිවෙකුට පෙරළා ආලය කරන්නේ නැහැ. මෙයින් ඉතාම දුකට පත්වන එකෝ සිය හදවතේ වේදනාව නිසාම බොහෝ කෘෂ වී ගිහිල්ලා අවසානයේ ඇයව නොපෙනී ගියාලු. නාසිසස් තරුණයා එකෝගේ හඬ ඇසූ දිනම, වෙහෙසව විල් තෙරකට පැමිණ ඉන් සිය රූපය දුටුවාලු. නාසිසස් කුඩා කළ එක්තරා අනාගත වාක්‍යක කියවිලා තිබෙනවාලු, නාසිසස් බොහෝ කලක් ජීවත් වේවි, ඔහු සිය රුව සියැසින් නොදකින තුරා කියලා. ඉතින් පැහැදිලි විල් දිය ජලයෙන් සිය රූපය දකින් නාසිසස් තමන්ගේම රූපයට ආලය කරන්න පටන්ගන්නවාලු. ඔහු තමන්ගෙ රූපය දෙසම බල බල ඊට් ආලය කරමින් තමන් වෙත එන්න කියලා ඉල්ලා සිටිමින් හඬා වැටෙනවා. හරියට ඔහුගේ ආලය ඉල්ලා හඬා වැටුණු එකෝ වගේ. අවසානයේ දුකට පත් නාසිසස් එකෝ වාගෙම කෘෂ වෙමින් ගොස් නොපෙනී යනවාලු. අවසානයේදී ඔහු එතැනම විල් දියට නැඹුරු වී පිපෙන නාසිසස් මලක් බවට පත් වෙනවාලු. 

ක්‍රොකස්  (Crocus)



ක්‍රොකස් කියන්නේ හර්මීස් දේවතාවාගේ මිතුරෙක්. ඔහු වරක් හර්මීස් දේවතාවා සමග යම් ක්‍රීඩාවක නිරත වෙලා ඉන්නා විට හදිසි අනතුරකින් මිය යනවා. මෙසේ මිය යන ක්‍රොකස්ගේ ශරීරයෙන් ලේ බිඳු තුනක් මහපොළොව මත වැටෙනවාලු. ක්‍රොකස් මල් උපදින්නේ ඒ විදියටයි.

මේ මලේ උප්පත්තිය පිළිබඳ තවත් කතාන්තරයක් තිබෙනවා. ඒකට අනුව ක්‍රොකස් කියන මනුශ්‍ය තරුණයා ස්මිලැක්ස් නම් වනදෙවඟන හා ආලයෙන් වෙලී ඉතාම දුකට පත්වෙනවා. ඒ නිසා දෙවිවරු තීරණය කරනවා ඔහුව කහ ගසක් (Saffron) බවටත් 
ස්මිලැක්ස් වනදෙවඟන ගිරිතිල්ල වර්ගයේ වැලක් බවටත් හරවන්න.

ඩැෆ්නි (ලෝරල්) (Laurel)


ඩැෆ්නි නමින් එක්තරා වන දෙවඟනක් වාසය කළා. ඇය කන්‍යාවක් ලෙස දිවි ගෙවීමට ආටිමිස් දෙවඟනට කැපවී සිටි වන තරුණියක්. ඇගේ පියා ගංගා දේවතාවයි. ඇපලෝ දේවතාවා වරක් කියුපිඩ් (මල්සරා) හට විහිළු කරනවා. ඇපලෝ කියන්නේ දුනුහී වලට අධිපති දේවතාවායි. කියුපිඩ් සතුව තිබෙන්නේ මල් ඇමුණූ හීතල. මේ බව කියලා ඇපලෝ කියුපිඩ්ට විහිළු කරනවා. මින් කෝපයට පත් කියුපිඩ් ඇපලෝගෙන් පළිගන්න තීරණය කරනවා. ඔහු ඇපලෝ දේවතාවාට ඩැෆ්නි ගැන පිළිබඳ හිතක් ඇතිවෙන්න රන් හීසරයක් විදිනවා. ඒ ගමන්ම ඩැෆ්නි දෙවඟනට ඇපලෝ පිළිබඳ ජුගුප්සාවක් ඇතිවෙන්න ඊයම් ඊතලයක් විදිනවා.  ඇපලෝ දේවතාවා ඩැෆ්නිට වහ වැටිලා ඈ පසුපස පැන්නුවත් ඩැෆ්නි ඔහුගෙන් බේරී පලා යනවා. මේ විදියට ඇපලෝ ඩැෆ්නි පස්සෙ ගිහින් ගිහින් අන්තිමට කියුපිඩ්ට දුක හිතෙන නිසා ඩැෆ්නිව අල්ලා ගන්න ඇපලෝට උදව් කරනවා. නමුත් ඇපලෝ දේවතාවා ඩැෆ්නිව අල්ලාගන්න කොටම ඇය තමන්ගේ පියාට/ආර්ටිමිස් දේවතාවියට තමාව බේරගන්න කියලා ඉල්ලීමක් කරන්නවා. ඊට ඇහුම්කන් දීලා ඩැෆ්නි වනදෙවඟනව ලෝරල් ගසක් බවට පත් කරනවා. යළි පියවි සිහියට පැමිණෙන ඇපලෝ දේවතාවා ඩැෆ්නිට ගෞරවය පිණිස ලෝරල් අත්තක් පලඳිනවා. ඒ වගේම ඔහුගේ පූජනීය ගස බවටත් ලෝරල් ගස පත්කරගන්නවා. ඒ වගේම ඔලිම්පික් උළෙලේ ශූරයින්ටත් පලඳවන්නේ ලෝරල් හිස් පලඳනාවකයි.  


රෝස (Rose)


මල් ලොවේ රැජිණ වන රෝස බිහිවෙන්නේ මල් වලට අධිපති දෙවන්නගන වන ෆ්ලෝරා අතින්. වරක් ඇය වනාන්තරයේ ඇවිදින්න යනවිට මියයමින් සිටි වනදෙවඟනක් හමුවෙනවා. ෆ්ලෝරා දේවතාවිය ආලයට අධිපති දෙවඟන ඇෆ්‍රොඩයිටිව සහ වයින් වලට අධිපති ඩයොනිසස් දේවතාවත් මියයමින් හුන් දෙවඟන සිටි තැනට කැඳවා ගන්නවා. මිය ගිය දෙවඟන මලක් බවට පරිවර්තනය වන විට ඇෆ්‍රොඩයිටි දෙවඟන එයට සුන්දරත්වය තෑගි කරනවා. ඩයොනිසස් දේවතාවා එම මලට ඉමිහිරි සුවඳක් ලැබෙන ලෙස අමෘතයෙන් බිඳක් ඉසිනවා. බටහිර සුලඟ අහසේ වළාකුළු මෑත් කොට හිරු දෙවියාට බැබලීමට සලස්වනවා. දීප්තිමත් හිරු එළියේ මේ අපූරු කුසුම පුබුදිනවා. ඒ තමයි මල් ලොව රැජිණ වන රෝස කුසුම.

Wednesday, January 10, 2018

මාටිං අයියා සහ ඩයිනෝසරයා


කාලෙකින් ආයෙත් ආවා මේ පැත්තට. හෝබෝ ටික්කාගේ ජනප්‍රියම නළුවාත් අරගෙන තමයි ලැබුවා වූ අලුත් අවුරුද්ද කාටත් සුබ වේවා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ආවෙ. කොහොමින් කොහොම හරි ආයෙ සති තුනකට සැරයක්වත් පෝස්ටුවක් දාන්න උපරිම උත්සාහ කරන්නම්. කට්ටියගේ බොක් පැත්තෙ නාවට සමා අවසර.

අන්නක්කාට ලැජ්ජවක් ඇත්තේම නැත. එක වාරයක් මාටිං අයියාට ඩිස්කවරි චැනල් එක පෙන්නා අමාරුවේ වැටුණ සිද්ධියේ උණුසුම යන්නටත් පෙර එයා මාටිං අයියාට තවත් රසවත් මාතෘකාවක් ගැන කියාදෙන්නට තීරණය කරයි. ඒ ඩයිනෝසරයන් ගැනය. කනාට කිරේ සුද පෙන්නුවා සේ අන්නක්කාද මාටිං අයියාට ඩයිනෝසරයින් ගැන වගතුග කියන්නට වූයේ ඉර බැහැගෙන යන හවසක අහසට ඇරී තිබූ බාගෙට නිමවූ බිල්ඩිමක් උඩ සිටය. හාන්සිපුටුවක හරිබරි ගැසී සිටි මාටිං අයියාද අහසේ එහෙන් මෙහෙන් බැලුම් හෙලන තරු දිහා බලාගෙනම අන්නක්කාගේ කතන්දරයට ඇහුම්කන් දුන්නේය.
මීට බොහෝම ඉස්සර කාලෙ, ඒ කියන්නෙ අපි ඉපදෙන්නටත් ගොඩාක් කාලෙකට කලින් මේ ලෝකෙ හිටියා ඩයිනෝසරයෝ කියලා සත්තු ජාතියක්.අන්නක්කා කීවාය.  
අපි හිටියෙ නැද්ද කාලෙ???” මාටිං අයියා විස්මය පල කරමින් විමසයි. ඇයි ඒ?”
  එහෙම තමයි. ඒ කාලෙ අපි වගේ අය ඉදලා නෑ.” 
  එතකොට ඩයිනෝසරලා තනියමද හිටියේ?”  
නෑ, නෑ එක එක ජාතියෙ ඩයිනෝසරයො හිටියා. විසාල අය. පොඩි අය. පියාඹන අය. පීනන අය.
  ඩයිනෝසරයන්ට පියාඹන්නත් පුළුවන්ද???” මාටිං අයියා පීරිසි කන් සොලවමින් අසයි. 
  සමහර අයට පුළුවන්.
 ඇයි ඒ?”
  එහෙම තමයි. සමහර අයට විතරයි තටු තිබුණේ.
 ඒ ඇයි?”
  එහෙම තමයි. ඒ හැටි.
  හැටි?”
ඔව් ඔව්. ඉන්නකො දැන් කතාව කියන්න.ඉතින් මේ ඩයිනෝසරයින්ගේ හිටියා මහ විසාල භයානක එකෙක්.
  ඌ කොච්චර ඉතර ලොකුද?”
  ගොඩාක්.
 මෙච්චර විතරද?” මාටිං අයියා සිය අත් දෙක හැකිතාක් දෙපසට විහිදුවා පෙන්වමින් අසයි.

නෑ, නෑ ඔයිට වඩා හුගාක් ලොකුයි.” අන්නක්කා හිස සොලවමින් කියයි. එහෙනම් අච්චර ඉතර?” එහා බිත්තියේ වැටී තිබූ සිය සෙවනැල්ල පෙන්වා දෙමින් මාටිං අයියා යලිත් ප්‍රශ්න කරයි.
නෑ නෑ ඔයිටත් වැඩිය ලොකුයි. මේ බිල්ඩිම විතර ඇති.” 
  මේ බිල්ඩිම විතර?”
  ඔව්.ඔව්.උන් ඇවිදිනකොට පොලොව හෙලවෙනවා.
ඉතිං කෝ උන් දැන් නෑනෙ.
 උන් මැරුණා.
ඒ කොහොමද?”
මෙහෙමයි. එක කාලෙක ආකාසේ ඉදලා මහ විසාල උල්කාපාත වැස්සක් වැස්ස.එව්වා පුපුරලා උන් මැරුණා.
 උල්කාපාත? ඒ මොනාද ඒ?”
ආකාසේ ඉදන් එනවා ලොකූ ගල් කෑලි වගේ එව්වා.
  එව්වා ඩයිනෝසරයින්ට වඩා ලොකුයිද?”  
මොන හත්වලාමක් කරගත්තාදැයි කල්පනා කරමින් අන්නක්කා මාටිං අයියාගේ මේ ලවක් දෙවක් නැති ප්‍රශ්න කිරිල්ලට උත්තර බදී.
ඔව්. එව්වා ඩයිනෝසරයින්ට වඩා ලොකුයි.  
ඒ කියන්නෙ මේ බිල්ඩිමටත් වඩා උල්පාකාතෙ ලොකුයි?” මාටිං අයියා දැන් අහන්නේ හරස් ප්‍රශ්නය.
  ඔව්, ඔව්.  
එතකොට දැන් ඔය උල්පාකාතෙ වැටුනොත් අපි මැරෙනවද?”  
දැන්නම් එකම හත්වලාමකි.
 ඔව්, අපිවත් මැරිලා යාවි.
 හරි, හරි ඔයා ඔය එක එක එව්වා කියන්නෙ නැතිව කතාව කියන්නකො.” මාටිං අයියා කියයි. මැරෙන කතා වලට මාටිං අයියා කැමති නැත. 
අන්නක්කට දැන් කතාව මතක නැත. තනිකරම කුස්කුටාය.
ඔයා ඔය කියන තරම් ඩයිනෝසරයි ලොකුද?” 
  ඔව්,ඔව් මහ විසාලයි.
හරි ශක්තිමත්ද උන්?”
  නැතුව. නැතුව.
එහෙනම් උන් මැරුණෙ?”
  එහෙම තමයි.උල්කාපාත වැටුනනෙ.
ඉතින් අපිට උන්ව පේන්න නෑනෙ?”

ඉන්නකො ෆිල්ම් එකක් තියනවා. අන්නක්කාගේ සූජානම මාටිං අයියාට ජුරාසික් පාක් පෙන්නීමටය.
දෙන්නාම ලැප්පොට් එක ඉස්සරහ එරමිණියා ගොතාගෙන ජුරාසික් පාක් බලන්න පටන් ගනී.
ඕන්න ටික වෙලාවකින් ජුරාසික් උද්‍යානයේ කරක් ගැසූ ටී රෙක්ස් ඩයිනෝසරයෙකු කොහෙදෝ පදුරක සිට කඩා පනී. ඔය ඉන්නෙ! ඔය ඉන්නෙ!  ඩයිනෝසරයො.” මාටිං අයියාට ඩයිනෝසරයින් පෙන්නීමේ සතුටින් ඔද වැඩුනු අන්නක්කා කෑගසයි.  
මාටිං අයියා හොදට ඇස් ඇරගෙන ලැප්ටොප් එකේ තිරයට ලං වී ඩයිනෝසරයා දෙස බලයි. ඒ වුනාට උන් පුංචිනෙ. ඔයා කිව්වෙ උං බිල්ඩිම විතර ලොකුයි කියලා.කෝ නෑනෙ.” මාටිං අයියා සිය පීරිසි ඇස් කරකවමින් කියන්නේය. 
  මාටියාට ජුරාසික් පාක් පෙන්නුවාට වඩා ඩයිනෝසරයෙක් කෑවා නම් හොදයි කියා ඔය වෙලාවට අන්නක්කාට සිතෙයි. ඔය ඉතින් ලැප්පොට් එකේ නෙ. ඇත්තට උන් හෙන ලොකුයි.” ඇය කියයි.  
ඔයා ඇත්තට ඩයිනෝසරයි දැකලා තියනවද?”  
අහ්...
අන්නක්කාගේ නොලැබුණු පිළිතුර ගැන මාටිං අයියාගේ අවධානය අඩුයි. ඔහු කෝපයෙන් වියරුව වාහනයක් හඹාගෙන යන ටී රෙක්ස් දෙස බලා සිටී.
ඔය මහ විසාලයි විසාලයි කිව්වට ඩයිනෝසරයො පොඩියිනෙ.” ලැප්පොට් එකට එබීගෙන සිටි මාටිං අයියා අවසාන තීරණය ගනී.
ඩයිනෝසරයො කියන්නෙ හරි පොඩි සත්තු ජාතියක්නෙ. මේ අන්නක්කගෙ බොරු!

Monday, December 11, 2017

අලි පස්න

*මේ ටිකේ ලියනෝ දිණමින සෙනසුරාදා වයර් සහ අකුරු විශේෂාංග පිටුවට කොලමක්. ඒකෙ නම ඊ-කොලම. මාත් ඉතිම් කෝලමක්නෙ. ඔහෙ ලියාගෙන යනවා. ගිය සතියේ ලියාපු එක බ්ලොග් හොබෝ එකෙත් දාන්න හිතුවා. මේ පේජ් එකේ ලොකු පොරිය ගිය ටිකේ  කොහෙද සවාරියක ගිය ටිකට පේජ් එකේ පොඩි අවුලක් වෙලා, වැරදිලාවත් පත්තරේ බලලා මේ ලියමනට යටින් තියෙන්නෙ වෙන නමක් කියලා රෙදි උස්සාන එහෙම එනෝ නෙවෙයි ඕං.   
මේ ටිකේම ලංකාවේ කුකුළන්, හාල්මැස්සන්, කීරමින්, ගවයින්, ඌරන්, ඉත්තෑවන්, රිලවුන් අපිත් එක්ක ඉන්නේ හෙන ඔරොප්පුවෙන්ය. ඊයේ මාළු ලෑල්ලේ හිටි අමු හාල් මැස්සෙක් "මෙයාලට ඉතිං ලොකු වෙලා තියෙන්නෙ ලොකු ලොකු අලි ඇත්තුනෙ." කියා ගස්සාගෙන අනික් පැත්ත හැරී නිදා ගත්තේය. හැබෑය, අපට අලි ඇත්තු හෙන ලොකුය. අලිඇත්තු මරණ විට අපේ හිත් කකියන්නේය. කඳුළු වැටෙන්නේය. වැඩේ වෙලා තියෙන්නේ අලිඇත්තු ගැන වැඩි අමාරුවක් තියෙන්නේ අපට මිසක උන් රැකබලාගැනීමට ඉහළ පුටු වලට වී ෂේප් එකේ ගේම ගහගෙන ඉන්න ලොකුලොක්කන්ට නොවෙයිය. ලංකාවේ ජනගහනය මිලියන විස්ස පැනලාය. තව  අපූරු දෙසිය ව්සිපහක් විලේ රඟන්නෝය. අපට ඇත්තු ඉන්නේ එකසිය තිහක් විතරය. අලි ඉන්නේ දෙපාර දෙපාර ගණන් කරලාත් හයදාහයි ය. පරිසරවේදීන්නම් කියන්නේ ලංකාවේ ඇත්තේ අලි 2500-3000 අතර ගානක් කියාය. මේ අවුරුද්දේ අග අලි සංගණනයක් කරන කතාවක් කීයා තිබුණේය. අද දෙසැම්බර් නමවැනිදාය. කමක් නෑ ය. තව 2017 ඉවර වෙන්න දවස් විසිදෙකක් තිබෙන්නේය. මේ පාරවත් හරියට අලි ටික ගැන ගන්න පුළුවන් වේවා කියා ඉත සිතින්ම පතන්නේය.

අලිඇත්තු ගැන ලේ කකියවාගෙන පිස්සො වගේ...ඔව් පිස්සො වගේ උන්ව රැක දෙන්න කියා ඉල්ලන පරිසරවේදියෝ අලිඇතුන් සඳහා ට්‍රැකිං සහ මොනිටරිං සිස්ටම් එකක් ඉල්ලුවේ ඊයේ පෙරේදා නොවේය. ඇතෙකුට අලියෙකුට ගිනි බිඳින පාරක් පාරක් ගාණේ මේ ඉල්ලීම කළෝය. උගුර ලේ රහ වෙනකම් කෑගැහුවෝය. දාඩිය මුගුරු වගුරාගෙන, කඳුළු පෙරාගෙන උන් වෙනුවෙන් වෙහෙසුණහ. ඒවා බීරි අලින්ට වුණත් ඇහෙන්නේය. අවාසනවාකට වාගේ වගකීම් කෙසේ වෙතත් නිකම් දරණ ගසාගෙන ලොකු පුටුවල ඉන්නේ බීරි අලිත් නෙමෙයිය. බැරි වෙලාවත් දුක ඇහෙන කවුරු හෝ හිටියොත් පුළුවන් තරම් අංචි ඇද පල නොකියා පලා බෙදන්නේය. අපි අලි ඇත්තු රකින්නේ ඒ වාගේය. ඊට පස්සේ සියඹලන්ගමුවේ ඇතා මැරුණේය. ඊයෙ පෙරේදා ගල්ගමුවේ මහපූට්ටුවා මැරුණේය. ඒ කවුරුත් සොබාවිකව මැරුණා නොවේය. මිනිසා නම් තිරිසනුන් විසින් මරා දමනු ලැබූහ. 

අපට තාක්ෂණය ඕනෙ වෙන්නේ එක එක ගෑණු ළමයින්ගේ මූණු නග්න ශරීර වලට සෙට් කර මන්ද මානසික සංතෝශයක් ලබන්නට නොවේය. එහෙම නැත්නම් ඩ්‍රෝන් යවා පහළ ගෙදර අක්කා නාන හැටි බලන්න නෙවෙයිය. අප තාක්ෂණය භාවිත කළ යුතු වන්නේ මිනිසා විසින් ලෝකය දූෂණය කොට මරා දැමීමේ ක්‍රියා පිළිවෙල වලකා ගන්නටය. පහුගිය දොහේම ලංකාවේ බොහෝ සෝෂල් මීඩියා අලිඇතුන් වෙනුවෙන් හඬ නගන්නට කළ භාවිතය පැසසුම් සහගතය. නෑහුනා වාගේ උන් බොහෝ දෙනෙක්ගේ කං කලාඳුරු කැඩී ඇති සෙයක් පෙනෙන්නට ඇත්තේය. ඒ කොයි කාලයකටදැයි සාධාරණ සැකයක් නැත්නම් මේක ලංකාව නොවිය යුතු වන්නේය. 
පහුගිය සතියේ වනජීවී අමාත්‍යංශය සමග කරන ලද සාකච්ඡා වලදී මෙතෙක් කලක් ටෙන්ඩර් දැම්මාය, මග නැවේ එනවාය, ගෙනල්ලාය කියූ ජී.පී.එස්. ට්‍රැකිං කොලර් වෙනුවට බැලැස්ටික් ශොක්වේව් සෙන්සර් නම් තාක්ෂණය අධ්‍යයනය කොට ගෙන ඒමට පොරොන්දුවක් දී ඇත. එසේම අනාරක්ෂිත වනබිම් වල ගැවසෙන සුවිශේශී සතුන්ටද එම කරපටි පැලඳවීමට පොරොන්දු වී ඇත. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය පිළිබඳ කඩිනමින් කටයුතු කිරීමට ද පොරොන්දු වී ඇත. හොරොව්පතාන අලි රැඳවුම ජීවත් වීමට සිදුසු යහපත් පරිසරයක් කරදෙන බවටද පොරොන්දු වී ඇත. මීට පස්සේවත් ඇත්තු ගැන වග විස්තර වනජීවී ඉහළ බලධාරීන්ට පිටින් ආරංචි නොවේවා කියා ප්‍රාර්ථනා කළ යුතුය. මන්ද ඒක හරි ලැජ්ජා සහගත නිසාය. අපේ බාසාවේ විදියට "වනජීවී එකට" ඉහල තාක්ෂණයත්,ඒ පිළිබඳ දැනුමත් ලබාදිය යුතුය. අලිඇත්තු ඡන්දය නොදෙන බව ඇත්තය. ඒත් අපි මේ හැම නාඩගමක්ම නටන්නේ උන්ට පිං සිද්ධ වෙන්ට බව කවුරුත් මතක තබා ගත යුතුය. ඒ වාගේම පැය විසිහතරේම හරිහමන් පඩිය නැතිව කැලෑ අස්සේ යක්කු ගස් නගින වෙලාවල් වල රිංගමින් මේ අලිඇතුන් වෙනුවෙන් නැහෙන වනජීවියේ ඉන්නා සැබෑ නිලධාරීන්ටත් මල් මිටක් දිය යුතුමය. මල් මාල කරවට නොවැටුණාට එයාලා දිගටම වැඩය. 

අලිඇතුන් වෙනුවෙන් බොහෝ වෙහෙස වී කටයුතු කරන පරිසරවේදී මිත්‍රයෙක් ගල්ගමුවේ දළ පූට්ටුවාගේ නික්ම යාමෙන් අනතුරුව මෙසේ සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණේය. "සියඹලන්ගමුවේ ඇතා. ලොකු පූට්ටුවා, මහකණදරාවේ අන්ධයා දැං එකට වතුරේ බැහැලා අනවතප්ත විල හරියේ හරි ලස්සනට ඇති." එය එසේ කියැවුණේය. අනවතප්ත විලට දැං ඇත්තු හොඳටෝම ඇතිය. මෙහෙ ඉන්නා උන්ටික කාටවත් නොදී කොහේවත් නොයවා අපේ පපුවට සිර කොට තබා ගත යුතුය. 


Wednesday, October 25, 2017

මාටිං බබා

*ළමායි, මගෙ අදහසක් තියනවා මාටිං අයියාගෙන් සෙමි ෆික්ෂන් (Semi-Fiction) ළමා කතාවක් ලියන්න. කස්ටියගෙ අදහස් වුවමනයි. 

මේ දිනවල මාටිං අයියා ඉවසීම ප්‍රගුණ කරන්නේය. ළඟකදී කොහෙදෝ සල්පිලකින් ඇරගෙන දුන් ඇතුලේ එළි පත්තු වෙන උල් උල් රබර් බෝලය මාටිං අයියාගේ නොයිවසිල්ලට හේතු වී තිබේ.

උල් උල් රබර් බෝලය ගැන මාටිං අයියාට ඇත්තේ කුකුස මුසු ආශාවකි. එය බ්ම ගැසූ විට අපූරු නිල්, රතු, කොළ පැහැයින් දිලිසෙයි. උල් උල් රබර් බෝලයේ පිට පැත්ත කහ, රතු, කොළ, නිල් ආදී බොහෝ වර්ණයන්ගෙන් යුතුය. මාටිං අයියා බෝලය බිම ගසා සතුටින් ඉපිළෙමින් හිකි හිකි ගා සිනාසෙමින් උඩ පනී. 

සති කිහිපයක් මෙසේ සතුටු වූ මාටිං අයියා ටික දවසක සිට බෝලයට අමුතු බැලුම් හෙලන්නට වෙයි. කොහොමද මේකෙ පාට පාට එළි පත්තු වෙන්නෙ? මේක ඇතුලෙ මොනවා හරි තියනවා...සිය විසිරුණු කුළු කනක් බෝලයට හේත්තු කරමින් මාටිං අයියා කියයි. රබර් බෝලය සොළවා බලයි. දැන් මාටිං අයියා බෝලය බිම ගසා එහි එළි බලමින් සතුටු වෙන්නේ නැත. මාටිං අයියාගේ සහ බෝලයේ සබඳතාව වෙනස් වී ගොසිනි. 
ඔහොම තව සතියක් ගත වෙයි. මාටිං අයියා බෝලයට ඉඟි මරයි. ඒ මේ අතට හරවයි. හෙමීට බෝලයත් ගෙන හාන්සි වී පොතක් කියවමින් සිටි ගවුමක් වෙත යයි. 

"මට රහසක් තියනවා කියන්න." මාටිං අයියා ගවුමට දන්වා සිටී.
"ම්ම්හ්... මොකද්ද." ගවුම අසයි.
"මම මෙච්චර කාලයක් ඉවසගෙන හිටියෙ ඔයා වෙනුවෙන්." මාටිං අයියා කියන්නේ ඉතා තැන්පත්වය.
"ඒ කිව්වෙ?" ගවුමේ අවධානය දිනා ගැනීමට මාටිං අයියා සමත් වී ඇත.
"මම කියන්නෙ මේක ගැන." මාටිං අයියා ගවුමට බෝලය පාමින් කියයි.
"ඉතිං?"
"මම මෙච්චර කාලයක් ඉවසගෙන මේ බෝලෙ කපලා ඇතුලේ තියෙන්නෙ මොකද්ද කියලා බැලුවෙ නැත්තෙ ඔයා නිසා. ඔයාට දුක හිතෙයි කියලා. ඒත් මට තවත් ඉවසගෙන ඉන්න බෑ." මාටිං අයියා, පල්ලියේ ස්වාමිට පාපොච්චාරණය කරනවා සේ කියාගෙන යයි.
"හා එහෙනම්, ඔයා බෝලෙ කපලා බලන්න." ගවුම කියන්නේ සිනාසෙමිනි. 

දැන් ටික දවසක සිට ගෙදර බෝලය පේන්න නැත. 

මාටිං අයියා ගැන ලියන්නට මග හැරුණු කාලය තුල පොඩියට වෙනස්කම් කීපයක් වී ඇත. ඉංගිරීසි පන්තියේ ඉන්න ලස්සන ටීචර්ට්ව දැන් මාටිං අයියා අමතන්නේ "බබා" කියාය. මාටිං අයියා චූටි ටීචර්ට බබා කියා පොතට තරු අරගෙන එන්නේය. පොත ගන්නා විට "තැන්යූ බබා" කියන්නේය. ඒ නිසා මේ දවස් වල ගෙදර ඈයින් පන්තිය පලාතේවත් යන්නේ නැත. හැබැයි කොට්ටේරුවාගේ හොට පැටලෙන්නට කිට්ටුය. මොකද මාටිං අයියාගේ ඊළඟ කල්පනාව ඉස්කෝලේ පන්තියේ ටීචර්ටද "බබා" කියා රවටා ගන්නටය. මාටිං අයියා තවම ඉස්කෝලෙ ටීචර් ගැන දන්නේ නැත. කවුරුත් බලාගෙන ඉන්නේ මාටිං අයියා ඉස්කෝලෙ ටීචර්ට "බබා" කියනකම්ය.

මොට්ටිසෝරි කාලේ මාටිං අයියාට රෝස පාට කෙලි ඇබිත්තක් සිටි බව කාටත් මතක ඇතිය. දැන් මාටිං අයියාට වෙන යහළු කෙළි ඇබිත්තක් සිටී. නමුත් ඒ කෙළි ඇබිත්තට මාටිං අයියාගේ එහෙමට කියා කැමැත්තක් නැත. "හපෝ හරි වදයක් එයා. හැම තිස්සේම කචපච කචපච ගගා කියෝනවා." මාටිං අයියා අලුත් ඇබිති කෙල්ල ගැන අවලාද කියයි. එහෙනම් ඇයි එයා ඔයාගෙ යාළුවා වෙලා ඉන්නෙ? ඔය කවුරුත් අහන අහිංසක ප්‍රශ්නයකි.

ඕං එතකොට මාටිං අයියාගේ මුහුණට ලැජ්ජාව මුසු කපටි හිනාවක් මතු වෙයි. "අපේ පොඩි ළමයින්ගේ ටොයිලට් තියෙන්නෙ ටිකක් දුරින්." එය මාටිං අයියාගේ උත්තරයයි. කවුරුත් මේ උත්තරයට තක්කු බුක්කු වෙන නිසා, මාටිං අයියා තව දුරටත් සිය පිළිතුර පැහැදිලි කරදෙයි. 

"මං තනියම ටොයිලට් තියන පැත්තට යන්න බයයි. මගෙ යාළුවා තමයි මාව එක්කගෙන යන්නෙ. මං චූ දාලා එනකම් එයා දොර මුර කරගෙන ඉන්නවා." මාටිං අයියා ඇඹරෙමින් කියයි. 

මාටිං අයියාගේ කට තිබ්බාට මිනිහා මහා බයගුල්ලෙකි. කාටුන් බල බලා හින්ද වෙලාවකට පුටු පෙරළාගෙන කාමරයට දුව ගොස් කොට්ටයෙන් ඔළුව වසා ගනී. මොකදැයි සොයා බලන විට කාටූනයේ මොකාක් හෝ බය හිතෙන ජවනිකාවක් දිස් වෙයි. මාටිං අයියා පරාණ බයේ දුවා ඇත්තේ ඊට බය වීය. බය හිතෙන ජවනිකාව අවසන් වී ඇත්දැයි තිර ලෙසම දැන ගන්නා මාටිං අයියා කිසිවක් නොවූවා සේ පැමිණ යළි හරිබරි ගැසී කාටූනය නරඹයි. 

අලුත් කෙළි ඇබිත්තගෙන් මාටිං අයියාට තවත් ප්‍රයෝජන තිබෙනා බව ගෙදර ඈයින් දැන ගන්නේ පසුවය. දවසක් දා ඉස්කෝලය ඉවර වුණත් මාටිං අයියා ගේට්ටුව වෙත පැමිණ සිටියේ නැත. වටපිටාව බලත්දී මාටිං අයියා අලුත් කෙළි ඇබිත්ත සමග එළියේ බංකුවක වාඩි වී කොක්සන් දී සිනාසෙමින් මොනවාදෝ ලියයි. ටික වේලාවකින් ලියා ගත් පොත බෑගයට දමාගෙන හෙමීට යන්නම් කියා මාටිං අයියා ගේට්ටුව දෙසට කඩිමුඩියේ දුව එයි. 

"මොකද පරක්කු? මොනවද ලිය ලියා හිටියේ?" ප්‍රශ්නය අසයි. 

"ආහ්....මේ අපේ ළමයි දාඩිය දාගෙන පොරකාගෙන බෝඩ් එකේ දාපු ගෙදර වැඩ ලියාගත්තා. මම නෑනෙ ඒ වගේ මහන්සි වෙන්නෙ. මම අරයගෙන් ගෙදර වැඩ පොත ඉල්ලගෙන අර බංකුවෙන් වාඩි වෙලා හුළං වැදි වැදී  ගෙදර වැඩ ලියා ගත්තා." මාටිං අයියා කියන්නේ වගේ වගක්වත් නැතිවය. 

මාටිං අයියාට ඇත්තේ යමර තර්කය. අභූත වේලාවන්ට මාටිං අයියාට බඩකිනි එන්නේය. ඒ වෙලාවට ටික වේලාවක් කුරුකුරු ගාමින් සිට ගවුමක් හෝ චීත්තයක් ලඟට කිට්ටු කර මැසිවිලි කියන්නේය. "ඔයාට මහන්සිද මේ වෙලාවෙ මට කන්න දෙයක් හදලා දෙන්න?" මාටිං අයියා එන්නේ පුල් සංහිදියානු ඇප්‍රෝච් එකකිනි. "ඔයාලා මං හින්දා හරීයට දුක් විඳිනවා නේද?" මාටිං අයියා ඔහොමත් කියයි. 

නමුත් මාටිං අයියාගේ බඩකින්න ඊට එහා අමාරුය. "කමක් නෑ. ඔයාලා ගොඩක් දුක් විඳින්න ඕනෙ. දිගටම, ගොඩාක් දුක් විඳින්න ඕනෙ. දුක් විඳලා විඳලා මැරුණහම, ඔයාලට පුළුවන් දිව්‍ය ලෝකෙ යන්න. ඒ හින්දා මට දැන් කන්න දෙයක් හදලා දෙන්න පුළුවන්ද?" මාටිං අයියා රොම්බ තර්කයක් ඉදිරිපත් කරයි.
දිව්‍ය ලෝකේ යන්නට ඇපකැප වී සිටින අයෙක් මාටිං අයියාගේ කෑම ඕඩරය බාර ගනී. 

මාටිං අයියාට ලඟකදී කොහේද රස්තියාදුවේ යන ගොළුබෙල්ලෙකු සමු වී ඇත. එක්කෝ ගොළුබෙල්ලා මොකාක් හෝ මහා පාප කරුමයක් කර ඇත. එසේත් නැතිනම් ගෙදර ඈයින්ට එවැනි කරුමයක් පඩිසන් දී ඇත. 

මාටිං අයියා ගොළුබෙලල්ලාගේ අලගිය මුල්ගිය තැනේ සිට සකල විධ ඥාති සමූහයා පිළිබඳවම විමසන්ට පටන්ගනී. ගැට පිච්ච ගාල යට සැඟවී සිටින ගොළු බෙල්ලා, මේ මොන නස්පැත්තියක් වූයේ දැයි බිරන්තට්ටු වී හෙළවෙන්නේවත් නැතිව සිටී. මාටිං අයියාට එය මහත් අරුමයකි. මාටිං අයියා සිතන්නේ ගොළුබෙල්ලා මිය ගොස් ඇතැයි කියාය. එහාට මෙහාට පෙරෙළා බැලුවද ගොළුබෙල්ලාගේ ඔළුවත් අං දෙකත් පෙනෙන්නට නැත. මාටිං අයියාට අනුව ගොළුබෙල්ල ගෙදර ගොසිනි. මාටිං අයියාට හමුවෙන අනෙකුත් ගැඩවිලන්, පනුව, ගෙම්බන් යනාදී සත්ව ප්‍රජාවම මාටිං අයියාගේ අන්වීක්ශ දෑසට යටත් වී බොහෝ කාලයක් ගත කරති. නමුත් මාටිං අයියා උන්ව මරා දමන්නේ නැත. මාටිං අයියා මරා දැමීමට කැමති එකම සත්වයා අක්කාගේ ඔළුවෙහි වසන කරුමක්කර උකුණන් පමණි. මන්ද මාටිං අයියාට තඩි බෝ වී ඇත්තේද අක්කාගේ හිසේ සිටින උකුණන් නිසාය. උකුණන්ගේ කෑම මළම වදයකි. ඒ නිසා උකුණන් මරා දැමිය යුතුය. මාටිං අයියාගේ තීරණය එයයි. 

Wednesday, October 11, 2017

එතකොට ඔයා?


මං වැඩියෙන්ම කැමති කට දැවිල්ලට ලුණු ඇඹුල් සහෝදරකමට ඉන්න රහ කොච්චි සම්බෝලයක් එක්ක සුදු බත් කන්න. මොන පාන්දර ජාමෙක උනත් ඒ වගේ සම්බෝලයක් බතක් අඹරනවාය කියන්නෙ ඉතින් අමාරු කාරියක් නෙමෙයි. යහමින් කොච්චි සම්බෝලෙ බතුත් එක්ක අනාගෙන කනකොට තමයි ඔන්න දත් ටික මැද්දට හිරවෙලා දිවක් තියනවා කියලා දැනෙන්නෙ.

හැබැයි ඉතින් මගේ කෑම ආසාව එතනින් නතර වුනානම් මොනා කරන්න බැරිද කිව්වලු. කොහොමද හොඳ පොල් සම්බෝලයක් එක්ක යහපත් කරෝල කෑල්ලක් තෙල් දාලා හරි නිකාම්ම තෙලේ දාලා බැදලා ගත්තනම් කාරිය? රතට රතේ පිම්බිලා තියන නයි කොච්චියක් එහෙම නැත්නම් දම් පාට බෝල කොච්චියක් වගේ එහෙම කරෝල තෙල් දැමිල්ලට එක්කහු කලාට මගේ නම් ඕං කිසීම තරහක් නෑ ඕං කිව්වා. හොඳට බත් ඇට ටික වෙන්වෙන්ට මුතු ඇට වගේ පොඩි සම්බා හාලකුත් එක්ක තමයි මම නම් ඔහොම කරෝල බැදුමකුයි සම්බෝලෙයි කන්න කැමතියි.
 

දැන් මෙහෙමෙයි, ගොඩක් අය කන්න කැමති උණු උණුවට බත්. ඒත් වැඩේ කියන්නෙ මං එහෙම උණු බත් කන්න කැමතිම නෑ. එතකොට මාළුපිනි වල රස මට දැනෙන්නෙ නෑ. වෙන එකම දේ, කට පුච්චා ගැනීම සහ කට දැවිල්ල ඉස්මුරුත්තාවටම ඒමයි. 

ඕන් කියනකොට මතක් වුණේ, හොඳ කිරට බීට් අලයක් උයාලා බත් එක්ක කන්නත් මං හරි මනාපයි.ආයෙ වෙන මුකූත්ම ඕනෙ නෑ. ඒ වගේම තමයි යහමින් අබ ටිකක් අඹරලා දාලා අම්ම උයන කැකිරි මාළුව. (දැන් ඉතින් අහන්න එපා හොබෝ ටික්කො උඹ මොනා කන්නද අකමැති කියලා!)හොඳ සැපට හැදුණු පිටි වැඩියෙන් තියන වට්ටක්ක කෑල්ලක්, ලාවට තිත්ත රහ එන්න කරවිල මාළුවක්, එතකොට තව රසට ගුණට කන්න අඟුණ කොළ මැල්ලුමක්... 

ඔන්න ඕව මතක් කරනකොට මට එක්තරා නොස්ටැල්ජියාවක් හැදෙනවා. ඉස්සර ගෙදර ලඟ වෙලේ සරුසාරෙට හැදිලා තියෙන ගිරා පලා කඩාගෙන ඇවිත් කිරි රහට රසට රසේ මැල්ලුමක් හදනවා මට අද වගේ මතකයි. ඒත් අද එහෙම බෑ. වෙලවල් පුරාම එක එක වල් නාශක. කෘමි නාශක. නිදහසේ පලාකොළයක් කඩාගෙන කන එකත් ලේසි වැඩක් නෙමෙයි අද කාලෙ. 

හොඳ පැහුණු දෙල් ගෙඩියක් උයනකොට වත්ත පහළ මැල්ල ගහෙන් මැල්ල කොල ටිකක් කඩාගෙන ඇවිත් බැදගෙන කනකොට මට පොඩි කාලෙ දැනුනෙ මාත් මඩොල් දූවෙ උපාලියි ජින්නයි වගේ කියලා. වත්ත වටේට ඇවිදලා මයියොක්ක දළු, ජපන් බටු කොළ, තෙබු කොළ කඩාගෙන ඇවිල්ල මැල්ලුමක් හදනකොට ඒක හරි විසාල විනෝද සවාරියක් ගියා වගේ තමයි. කොරැල් දූපතේ අතරමන් වෙච්චි ළමයි ටික රහට රහේ කෑම හදාගන්න සීන් එක මතක් කරගෙන තමයි මම මැල්ලුමට කොළ හොයන්නෙ. 

මස්මාංස ගැන නම් මට එහෙමට කියලා ලොකූ පිරියක් නෑ. ඉඳලා හිටලා කුකුළු මස් ඉස්ටුවක්, කුකුළු මස් හොද්දක් කෑවොත් මිසක ඔය කිරි අම්මලගෙ මස්, දන්නෝ දනිති මස් එහෙම මං කාලම නෑ. හැබැයි ඉතින් මාළු කන්න නම් හරි කැමතියි. 

මට මතකයි මං පොඩි කාලෙ තාත්තා එක්ක මාළු ගන්න පාන්දර බස් එකේ මීගමු යනවා. අපි ප්ලාස්ටික් බාල්දියක් එහෙම අරගෙන යන්නෙ. පාන්දරම ලෙල්ලමට ගියාම ඉතින් එක එක ජාතියෙ මාළු. මට මතකයි, මහ විසාල පර්වතයක් වගේ කළු ගෑණු මනුස්පයෙක් දැල් වලින් කොටු කරල පාර්සල් කරපු පණ ඇති කකුළුවෝ විකුණනවා. මං කට ඇරගෙන බලාගෙන හිටියා මතකයි ඒ දිහා. ඉතින්, අලුත් මාළු අරගෙන අපි ගෙනාපු බාල්දියත් පුරෝගෙන තාත්තයි මාය් ගොඩවෙනවා උදේ කෑම කන්න කඩේකට. අපි දෙන්නම ඉඳි ආප්ප කන්න හරි රුසියො. ඉතින් අපි ඉඳි ආපයි කිරි මාළුයි තමයි කන්නෙ. ආයෙ ඉතින් රහ ගැන කියන්න ඕනෙ නෑනෙ. අර සයිවර් කඩ වල තියෙන ටින් බාල්දි වලින් යාරෙට හොදි වක්කරනවා මට තවම මතකයි. හොඳ හැටි බඩකට පුරෝගෙන මාළු බාල්දියත් අරගෙන අපි දෙන්න එළිය වැටෙන්න පටන් ගන්නකොට ආපිට ගෙදරත් ඇවිල්ල අහවරයි. මට මතකයි ඉස්සර අපෙ අම්මා අනුරාධපුරේ ගුරු පුහුණු ඉන්න කාලෙ මායි තාත්තයි කෝච්චියෙ අම්මව බලන්න යනවා. තාත්ත මට මුද්දරස්පලං දාපු බනිස් ආගෙන දෙනවා යනගමන් කකා යන්න කියලා. මාත් ඉතින් බෑ නොකියා කනවා. අපි එදා ඉඳන් ඔය කෑමට බීමට ඇඹරෙන ජාතියක් එහෙම නෙමෙයි ඔන්න. 

 මං බත් කන ගමන් රතු ළුුණු, අමු තක්කාලි, අමු මාළු මිරිස් කන්න හරි ආසයි. මං පොඩි කාලෙ මට තක්කාලි ඇලජික්. ගෑවුණත් පළු දාලා කසලා සෙම ඇවිස්සෙනවා. ඒ කාලෙ තමයි මට තක්කාලි කන්න පෙරේතකමක් ආවෙ. පස්සෙ පස්සෙ තක්කලි ඇලජික් එක නැතිව ගියා. ඒ නිසා ඉතින් දැන් නම් මොන තක්කාලියක්වත් මගේ ඇහෙන් බේරිලා එළවළු බක්කියෙ හැංගිලා ඉන්නවා බොරු. වතාවක් මම ඔය රටපිට ගිය වෙලාවක ගොවිපොළකට යන්න වාසනාව ලැබුණා. කෑමකට ඇරයුමකුත් ලැබිලඉ තිබුණේ. ගොවිපොළේ අලුත් එළවළු පලතුරු සහ මල් වලින් පිරුණු පාට පාට ලෝකයක් මේසෙ උඩ තිබුණා මතකයි. හප්පේ, "ගාඩන් සලාදෙ" තිබුණු ලා දළු සහ සුදු පාට, දම් පාට සළාද කොළයි ඇබිත්තං බෝල තක්කාලි වලයි රහ!
කාලා ඌෂ්ණ බිබිලි දාලා කස කසා ඉන්න වුණත් කමක් නැත් දෙයක් තමයි අච්චාරු කියන්නෙ. කොළපොතකින් කට වහපු මැටි මුට්ටියක විනාකිරි සහ අබ සුවඳ ගොජ ගොජ ගාන සිංහල අච්චාරුවක රහ අපට කියල දෙන්න එපා මහත්තයෝ, කියලා තමයි කියන්න වෙන්නෙ ඉතින්, හා නැද්ද? ඔය සිංහල අච්චාරුවට කැරට් දාන එක තරම් කේන්තියන එකක මට තවත් නෑ. අමු පැපොලක රහ වගේද හා?

හැබැයි ඉතින් අම්මා සූප විස්කම් දාලා හදන මැලේ අච්චාරුවෙ නම් කැරට් නැත්නම් මහ පාළුවක්. මිරිස් කුඩුයි සීනීයි වතුරයි පදමට ලිපේ තියලා ඉදවනකොට එන්නෙ හරිම වෙරිකාර මත්වෙන සුවඳක්. ඒකට බොම්බයි ළුුණු ලොකුවට කපලා, මාළු මිරිස් එක්ක චර බර ගාලා හපන්න කැරට් කෑලි දාපුවම තමයි අපූරු අච්චාරුව! එපා එපා, ඔය අන්නාසි අරවා මෙව්වා ඔන්නම් චට්නි හදාගෙන කන්න, මේ මැලේ අච්චාරුවට දාන්නෙ නැතිව.  

ලුණුදෙහි ගැන අපි වෙන්මම දවසක කතා කරමු!

 ඔය සේරමත් හරි කිරිහොද්දත් හරි. උළු හාල් ඇට නටන ලස්සන කහ පාටට ඉතිරෙන්න නොදී හැඳිගාලා පරිස්සම් කරගත්තු, රම්පෙ කරපිංචා වලින් සාර වෙච්චි කිරිහොද්දක් එක්ක මොනවද කන්න බැරි. සුද්දගෙ තිරුවානා ගල් හිටන් මේ කිරිහොද්දට දියවෙනවා නොවෙද හා? දන්න කියන ඉඳිආප්පයක් එක්ක මුහු වෙලා ඉන්නකොට බලන්ට එපායැ කිරිහොද්දෙ ආඩම්බර! එයිත් එක්ක යන්න හොඳ මාළු ඇඹුල් තියලක් එහෙමත් නැත්නම් හීනි කූනිස්සො එක්කසු කරපු තිබ්බොටු මැල්ලුමක්...රුහුණුකරේ කරක්ගහල එත්දි ගෙනාපු ජාඩි ටිකක් තිබේ නම් ඉතින්...මේවනෙ හීන කියන්නෙ බ්‍රෝ!

මේකයි, කෑම ගැන කියන්න ගියොත් බඩකිනි වෙනකම් මාගලක් දිගට කියන්න දේවල් තියෙනවා. ඒ නිසා මම මෙහෙම කියන්නම්කො. "මම නම් කන්න කැමති මේවා. එතකොට ඔයා?"