පැන්ඩෙමික ආවේශයෙන් ලියවුණු හෝබෝ ටික්කාගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය "කාල"
කාල කිසිවක් නොකියා තරුණිය පසුපස ගමන් කළේය. මේ කිසි ලෙසකත් චීන-ලන්තෑරුම් වීදිය නොවන වග කාලට විශ්වාසය. කොටින්ම කිවහොත් මේ සීරෝ 100 ප්‍රදේශය ද විය නොහැකිය.
“මං තාරා...” තරුණිය හදිසියේ මතක් වූවා මෙන් කාල වෙත සුරත පෑවාය. “මාව බේරගත්තට ස්තූතියි.”
තමා පෙරළා දිය යුතු පිළිතුර කුමක් දැයි සිතාගත නුහුනු කාල බෙල්ල කසමින් හිස වැනුවේය.
“මං.... මං කාල.”
“මේ එළියට මට කල්පනා වුණේ. ඔයාව කොහේදි හරි දැකලා තියෙනවා වගේ මතකයක් තියෙනවා...” තාරා දෑස් හීන් කරමින් කාල දෙස බැලුවාය.
“මාව....” කාල මිමිණුවේය. සිය මිතුරන් දැන් තමාට හොඳ හැටියට දෙහි කපනවා ඇත. සමහර විට කවුරුන් හෝ තමාව අසමින් මම්මාට දුරකතන ඇමතුමක් දී තිබෙන්න පුළුවන.
“අහ්හ්... බෑන්ඩ් එකක්...ඉන්න බලන්න...අර මොකද්ද....” තරුණිය නිකට කැසුවාය.
“කර්ණ?” කාල කිව්වේ අවිශ්වාසයෙනි. තවමත් ඉතා පොඩියට කරගෙන යන හෙවි-මෙට්ල් සංගීත කණ්ඩායම මෙවැනි තරුණියන් අතර ජනප්‍රිය බව හිතලුවකි.
“අන්න හරි! කර්ණ! එතකොට කර්ණ එකේ කාල ඔයාද? දන්නවද, මගේ ඥාති සහෝදරයෙක් ඒ බෑන්ඩ් එකට වහ වැටිලා හිටියා. මට එයාගෙ පෝස්ටර් එකතුව හැම වෙලාවෙම පෙන්නනවා. ඒකයි මට එහෙනම් ඔයාව....” කෙළවරින් ඉහළට එසැවුණු තරුණියගේ මුව හදිසියේම කඩා වැටුණි. “ඒත්…… ඒත් ඒ පින්තූරවල ඔයා ඔයිට වඩා වැඩිමල් පෙනුමයිනෙ!”
“මං....මං... හිතන්නේ ඔයාට පැටලිලා.” කාල ඉක්මනින් කියා දැමුවේය.
“හ්ම්....” ඔවුන් ගමන් කරමින් තිබූ වීදියේ අත්හැර දමන ලද සුපර් මාර්කට් එකක් තාරාගේ අවධානය කාල වෙතින් ඉවතට ඇද ගැනීමට සමර්ථ විය. “අන්න...අපි යමු බලන්න කන්න දෙයක් තියේවිද කියලා... එහෙම වුණොත් අපට කොහේ හරි ටික දවසක් හැංගිලා ඉන්න පුළුවන්. උන් එළි බහින්නෙත් කෑම හොයාගෙන, අපි එළි බහින්නෙත් කෑම හොයාගෙන.”
කාල නිහඬවම තාරා පසුපස ඇදුණේය. ඇය තමාට වඩා උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ අවබෝධයක් තිබිණි. ඕ සොම්බින්ගේ දුර්වලතා දන්නීය. මෙහි මුල මැද අග ගලපා ගන්නා තෙක් තමා තාරා සමඟ රැඳිය යුතු බව කාල තීරණය කර තිබිණි. එතෙක් කාලයක් මම්මාට නිවසෙහි ආරක්ෂාකාරීව විසිය හැකිය. කාලට හැර ඕ අන් කිසිවකුට නිවෙසේ දොර විවෘත නොකළ අතර, ග්‍රෑන්ඩ් ඉටර්නල්හි සිය වැනි තට්ටුව ආක්‍රමණය කිරීම සොම්බින්ට ද කම්මැලි හිතෙන කටයුත්තක් වනු නිසැකය.
සුපර් මාකට්ටුව අඳුරේ ගිලී ගොස්ය.
තැනින් තැන වූ සූර්යය බල ආලෝක පහන්වල මන්දාලෝකයෙන් එහි වූ බඩු රාක්ක පෙනුණේ හිස් වීථි ලෙසටය. තාරාගේ අළු පැහැති කුණාටු වැනි දෑසත්, නිකටෙහි වූ උපන් ලපයත්, කෙටි අක්බඹරු කෙසුත් ඇගේ අනන්‍යතාව ඔප් නැංවූයේය. ඕ බඳ පටියේ රඳවා තිබූ විදුලි පන්දමක් ද රිවෝල්වරයක් ද පිටතට ඇද ගත්තාය.
“ආ...මේක ගන්න.” තාරා කීවේ ඇගේ අතෙහි වූ රිවෝල්වරය කාල වෙත විසි කරමිනි.
“ඒත් අර වෙලාවෙ ඇයි ඔයා රිවොල්වර් එක පාවිච්චි නොකළෙ?” කාලට ඇසුණේ ඉබේටමය. ඔහු රයිෆලය අල්ලාගෙන අත්ල මත තබා සමබරතාව පිරික්සා බැලුවේය.
“කී දෙනෙකුට කියලා ඕකෙන් වෙඩි තියන්න ද කාල? මට ඉතිරි වෙලා තියෙන්නෙ බුලට් එකක් විතරයි. මං ඕක තියාගෙන ඉන්නෙ ඒකට නෙමෙයි...” විදුලි පන්දම මාකට්ටුවේ ඈත කෙළවරට එල්ල කල තාරා තවමත් මංකොල්ල කෑමට බඳුන් නොවූ භාණ්ඩ ඇත්දැයි පිරික්සා බැලුවාය.
“එහෙනම්?”
“මාව සොම්බින්ට අහුවුණොත් මං උන්ගෙ එකෙක් වෙන්න කලින් වෙඩි තියාගෙන මැරෙන්න...” තාරා මඳකට දෑස් කාල වෙත රැඳෙව්වාය. ඈ සුන්දරය, තමා ඈ සිප ගත යුතුය, මෙය තමාගේ ඇයගේ පළමු සහ අවසාන සිප ගැනීම වනු ඇත, කාලට සිතුණි. තාරාගේ මුහුණ භයංකාර ලෙස කාලගේ මුහුණට ළංව තිබිණි. නමුත් තාරා නිහඬතාව බින්ඳාය.
“මට ඒක කරන්න බෑ...” ඕ මිමිණුවාය. මන්දාලෝකයේ වුව ද කන් රත් වී මුහුණ රත් පැහැයක් ගනු කාලට දැනුණි. “මං...මං ඔයාට බල කළේ නැහැ....ඒක නිකම්ම...මං හිතන්නේ...” කාල ගොත ගැසුවේය.
“නැහැ! නැහැ!” තාරා හිස මඳක් ඇල කර සිනාසුණාය. “මං කිව්වෙ හාද්ද ගැන නෙමෙයි. මං කිව්වෙ වෙඩි තියා ගන්න එක ගැන...”
කාලට සැනසුම් සුසුමක් හෙළුණේ ඉබේටමය.
“මට බෑ මගේම ඔළුවට වෙඩි තියාගන්න. මං ඒ වගේ බයගුල්ලෙක්. මේ ඔක්කොම දේවල් නොපිට පෙරළෙන්න පටන් ගත්තු දවසේ මම උත්සාහ කළා. ඒත් මට කොකා ඇදගන්න තරම් ආත්ම ශක්තියක් තිබ්බෙ නෑ. මං ඔයාට රිවෝල්වර් එක දුන්නෙ ඒකයි. මට පොරොන්දු වෙන්න...” තාරා කුඩා අත්ල කාල වෙත පෑවේය.
“මං...මං... මොකද්ද පොරොන්දු වෙන්න...” තමා අද දිනයේ වැඩි හරියක් ගොතගසමින් සිටි බව කාල තමාටම කියා ගත්තේය.
“මට පොරොන්දු වෙන්න සොම්බින්ට මාව අහු වුණොත් ඔයා මට වෙඩි තියලා දානවා කියලා... ඔළුවටම.” ඇගේ ස්වරය අයිස් මෙන් හැඟීම් විරහිත වූයේය.
කාලට තාරාට පෙරළා පිළිතුරක් දීමට අවැසි වුව ද එයට ඉඩක් නොතබමින් තාරා ඉවත හැරුණාය. ‘සරස්’ කියා නැඟුණු හඬකින් කාල මොහොතකට අප්‍රාණික විය. නමුත් ඒ කිසිවක් තාරාගේ දෙපාවල ගැටෙන හඬකි. පහතට නැඹුරු වූ තාරා ඇගේ පය ගැටුණු සඟරාවක් අහුලා ගත්තාය.
“මේං ඉන්නවා මේ විනාසෙට මුල...” ඈ විදුලි පහනේ ආලෝකය සඟරාවේ මුල් කවරය වෙත එල්ල කරමින් කීවාය.
හැකිළී ගිය තරුණියගේ මුහුණ දෙස බලමින් කාල යළි මැගසීන මුල් කවරයේ හුන් මිනිසා දෙස බැලීය. ඔහුට වූයේ කෙට්ටු සුදුමැලි පෙනුමකි. තරුණියගේ මුහුණෙහි ගැවසෙමින් තිබූ කේන්තිය සුළුපටු බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඇය ඒ දෙස බලා සිටියේ ඇගේ පරම පෞද්ගලික සතුරා දෙස බලා සිටින්නාක් බඳුවය.
“කවුද මේ?”
මතු සම්බන්ධයි
අමාලි අනුපමා මල්ලවආරච්චි





