Showing posts with label sinhala. Show all posts
Showing posts with label sinhala. Show all posts

Sunday, November 7, 2021

විද්‍යා ප්‍රබන්ධ | කාල | 03 කොටස | අමාලි අනුපමා මල්ලවආරච්චි | දිනමිණ ද්වාර

 පැන්ඩෙමික ආවේශයෙන් ලියවුණු හෝබෝ ටික්කාගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය "කාල" 


 

කාල කිසිවක් නොකියා තරුණිය පසුපස ගමන් කළේය. මේ කිසි ලෙසකත් චීන-ලන්තෑරුම් වීදිය නොවන වග කාලට විශ්වාසය. කොටින්ම කිවහොත් මේ සීරෝ 100 ප්‍රදේශය ද විය නොහැකිය.

“මං තාරා...” තරුණිය හදිසියේ මතක් වූවා මෙන් කාල වෙත සුරත පෑවාය. “මාව බේරගත්තට ස්තූතියි.”

තමා පෙරළා දිය යුතු පිළිතුර කුමක් දැයි සිතාගත නුහුනු කාල බෙල්ල කසමින් හිස වැනුවේය.

“මං.... මං කාල.”

“මේ එළියට මට කල්පනා වුණේ. ඔයාව කොහේදි හරි දැකලා තියෙනවා වගේ මතකයක් තියෙනවා...” තාරා දෑස් හීන් කරමින් කාල දෙස බැලුවාය.

“මාව....” කාල මිමිණුවේය. සිය මිතුරන් දැන් තමාට හොඳ හැටියට දෙහි කපනවා ඇත. සමහර විට කවුරුන් හෝ තමාව අසමින් මම්මාට දුරකතන ඇමතුමක් දී තිබෙන්න පුළුවන.

“අහ්හ්... බෑන්ඩ් එකක්...ඉන්න බලන්න...අර මොකද්ද....” තරුණිය නිකට කැසුවාය.

“කර්ණ?” කාල කිව්වේ අවිශ්වාසයෙනි. තවමත් ඉතා පොඩියට කරගෙන යන හෙවි-මෙට්ල් සංගීත කණ්ඩායම මෙවැනි තරුණියන් අතර ජනප්‍රිය බව හිතලුවකි.

“අන්න හරි! කර්ණ! එතකොට කර්ණ එකේ කාල ඔයාද? දන්නවද, මගේ ඥාති සහෝදරයෙක් ඒ බෑන්ඩ් එකට වහ වැටිලා හිටියා. මට එයාගෙ පෝස්ටර් එකතුව හැම වෙලාවෙම පෙන්නනවා. ඒකයි මට එහෙනම් ඔයාව....” කෙළවරින් ඉහළට එසැවුණු තරුණියගේ මුව හදිසියේම කඩා වැටුණි. “ඒත්…… ඒත් ඒ පින්තූරවල ඔයා ඔයිට වඩා වැඩිමල් පෙනුමයිනෙ!”

“මං....මං... හිතන්නේ ඔයාට පැටලිලා.” කාල ඉක්මනින් කියා දැමුවේය.

“හ්ම්....” ඔවුන් ගමන් කරමින් තිබූ වීදියේ අත්හැර දමන ලද සුපර් මාර්කට් එකක් තාරාගේ අවධානය කාල වෙතින් ඉවතට ඇද ගැනීමට සමර්ථ විය. “අන්න...අපි යමු බලන්න කන්න දෙයක් තියේවිද කියලා... එහෙම වුණොත් අපට කොහේ හරි ටික දවසක් හැංගිලා ඉන්න පුළුවන්. උන් එළි බහින්නෙත් කෑම හොයාගෙන, අපි එළි බහින්නෙත් කෑම හොයාගෙන.”

කාල නිහඬවම තාරා පසුපස ඇදුණේය. ඇය තමාට වඩා උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ අවබෝධයක් තිබිණි. ඕ සොම්බින්ගේ දුර්වලතා දන්නීය. මෙහි මුල මැද අග ගලපා ගන්නා තෙක් තමා තාරා සමඟ රැඳිය යුතු බව කාල තීරණය කර තිබිණි. එතෙක් කාලයක් මම්මාට නිවසෙහි ආරක්ෂාකාරීව විසිය හැකිය. කාලට හැර ඕ අන් කිසිවකුට නිවෙසේ දොර විවෘත නොකළ අතර, ග්‍රෑන්ඩ් ඉටර්නල්හි සිය වැනි තට්ටුව ආක්‍රමණය කිරීම සොම්බින්ට ද කම්මැලි හිතෙන කටයුත්තක් වනු නිසැකය.

සුපර් මාකට්ටුව අඳුරේ ගිලී ගොස්ය.

තැනින් තැන වූ සූර්යය බල ආලෝක පහන්වල මන්දාලෝකයෙන් එහි වූ බඩු රාක්ක පෙනුණේ හිස් වීථි ලෙසටය. තාරාගේ අළු පැහැති කුණාටු වැනි දෑසත්, නිකටෙහි වූ උපන් ලපයත්, කෙටි අක්බඹරු කෙසුත් ඇගේ අනන්‍යතාව ඔප් නැංවූයේය. ඕ බඳ පටියේ රඳවා තිබූ විදුලි පන්දමක් ද රිවෝල්වරයක් ද පිටතට ඇද ගත්තාය.

“ආ...මේක ගන්න.” තාරා කීවේ ඇගේ අතෙහි වූ රිවෝල්වරය කාල වෙත විසි කරමිනි.

“ඒත් අර වෙලාවෙ ඇයි ඔයා රිවොල්වර් එක පාවිච්චි නොකළෙ?” කාලට ඇසුණේ ඉබේටමය. ඔහු රයිෆලය අල්ලාගෙන අත්ල මත තබා සමබරතාව පිරික්සා බැලුවේය.

“කී දෙනෙකුට කියලා ඕකෙන් වෙඩි තියන්න ද කාල? මට ඉතිරි වෙලා තියෙන්නෙ බුලට් එකක් විතරයි. මං ඕක තියාගෙන ඉන්නෙ ඒකට නෙමෙයි...” විදුලි පන්දම මාකට්ටුවේ ඈත කෙළවරට එල්ල කල තාරා තවමත් මංකොල්ල කෑමට බඳුන් නොවූ භාණ්ඩ ඇත්දැයි පිරික්සා බැලුවාය.

“එහෙනම්?”

“මාව සොම්බින්ට අහුවුණොත් මං උන්ගෙ එකෙක් වෙන්න කලින් වෙඩි තියාගෙන මැරෙන්න...” තාරා මඳකට දෑස් කාල වෙත රැඳෙව්වාය. ඈ සුන්දරය, තමා ඈ සිප ගත යුතුය, මෙය තමාගේ ඇයගේ පළමු සහ අවසාන සිප ගැනීම වනු ඇත, කාලට සිතුණි. තාරාගේ මුහුණ භයංකාර ලෙස කාලගේ මුහුණට ළංව තිබිණි. නමුත් තාරා නිහඬතාව බින්ඳාය.

“මට ඒක කරන්න බෑ...” ඕ මිමිණුවාය. මන්දාලෝකයේ වුව ද කන් රත් වී මුහුණ රත් පැහැයක් ගනු කාලට දැනුණි. “මං...මං ඔයාට බල කළේ නැහැ....ඒක නිකම්ම...මං හිතන්නේ...” කාල ගොත ගැසුවේය.

“නැහැ! නැහැ!” තාරා හිස මඳක් ඇල කර සිනාසුණාය. “මං කිව්වෙ හාද්ද ගැන නෙමෙයි. මං කිව්වෙ වෙඩි තියා ගන්න එක ගැන...”

කාලට සැනසුම් සුසුමක් හෙළුණේ ඉබේටමය.

“මට බෑ මගේම ඔළුවට වෙඩි තියාගන්න. මං ඒ වගේ බයගුල්ලෙක්. මේ ඔක්කොම දේවල් නොපිට පෙරළෙන්න පටන් ගත්තු දවසේ මම උත්සාහ කළා. ඒත් මට කොකා ඇදගන්න තරම් ආත්ම ශක්තියක් තිබ්බෙ නෑ. මං ඔයාට රිවෝල්වර් එක දුන්නෙ ඒකයි. මට පොරොන්දු වෙන්න...” තාරා කුඩා අත්ල කාල වෙත පෑවේය.

“මං...මං... මොකද්ද පොරොන්දු වෙන්න...” තමා අද දිනයේ වැඩි හරියක් ගොතගසමින් සිටි බව කාල තමාටම කියා ගත්තේය.

“මට පොරොන්දු වෙන්න සොම්බින්ට මාව අහු වුණොත් ඔයා මට වෙඩි තියලා දානවා කියලා... ඔළුවටම.” ඇගේ ස්වරය අයිස් මෙන් හැඟීම් විරහිත වූයේය.

කාලට තාරාට පෙරළා පිළිතුරක් දීමට අවැසි වුව ද එයට ඉඩක් නොතබමින් තාරා ඉවත හැරුණාය. ‘සරස්’ කියා නැඟුණු හඬකින් කාල මොහොතකට අප්‍රාණික විය. නමුත් ඒ කිසිවක් තාරාගේ දෙපාවල ගැටෙන හඬකි. පහතට නැඹුරු වූ තාරා ඇගේ පය ගැටුණු සඟරාවක් අහුලා ගත්තාය.

“මේං ඉන්නවා මේ විනාසෙට මුල...” ඈ විදුලි පහනේ ආලෝකය සඟරාවේ මුල් කවරය වෙත එල්ල කරමින් කීවාය.

හැකිළී ගිය තරුණියගේ මුහුණ දෙස බලමින් කාල යළි මැගසීන මුල් කවරයේ හුන් මිනිසා දෙස බැලීය. ඔහුට වූයේ කෙට්ටු සුදුමැලි පෙනුමකි. තරුණියගේ මුහුණෙහි ගැවසෙමින් තිබූ කේන්තිය සුළුපටු බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඇය ඒ දෙස බලා සිටියේ ඇගේ පරම පෞද්ගලික සතුරා දෙස බලා සිටින්නාක් බඳුවය.

“කවුද මේ?”

 

 

මතු සම්බන්ධයි

 

අමාලි අනුපමා මල්ලවආරච්චි

 


 

 

Friday, October 22, 2021

විද්‍යා ප්‍රබන්ධ | කාල | 02 කොටස | අමාලි අනුපමා මල්ලවආරච්චි | දිනමිණ ද්වාර

 


අවසාන පඩි කිහිපය බහින විට හදිසියේම කිසිවක් මුහුණෙහි දැවටුණෙන් කාල දෑස් පියාගෙන මුහුණ පිස දැම්මේය. කැබලි කැබලි මුහුණ පුරා ඇලුණු එය මකුළු දැලකි. නාසය, කන සහ කෙස් අතර ද කබායේ ද පැටලී ඇලුණු මකුළු දැල ඉවත් කරමින්ම කාල බරැති දොර තල්ලු කළේය. කිසිවකු විසින් පාවිච්චි නොකරන හදිසි පිට වීමේ දොරටුව වේදනාත්මක හඬක් නංවමින් විවර වූයේය.

වෙනදාට කුඩා කහ පැහැති කුරුමිණි කුලී රථවලින්, වෙළෙන්දන්ගෙන්, පික්-පොකට්කරුවන්ගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් පිරී ගත් වීදිය සම්පූර්ණයෙන්ම හිස්ව තිබෙනු දැකීමෙන් කාල තිගැස්සුණේය. සති දෙකක් තිස්සේ ඇද හැලුණු වර්ෂාව ද සම්පූර්ණයෙන් නතර වී තිබිණි. තමා සිතුවාට වඩා හාත්පස කළුවර වැටී ඇත. නිවාඩු දිනයක පවා චීන-ලන්තෑරුම් වීදිය හිස් වන්නේ නැත. එතෙක් වේලා කිහිල්ලේ සිර කරගත් කුඩය ඉවත ලූ කාල රෙකෝඩින් ස්ටූඩියෝව වෙත යෑම සඳහා වීදියේ දකුණු කෙළවරින් දිවෙන කෙටි මාර්ගය දෙසට ඇවිද ගියේය. මොබයිලයෙන් ගිගුම් දෙන සංගීතය නතර කර දැමූ කාල තමා ඉදිරිපිට වූ ගොඩනැඟිල්ල සහ ඉන් ගැලවී බිමට එල්ලෙන දැවැන්ත ආලෝක තිරය දෙස සිය දෙබැම හකුළා බැලුවේය. මෙවැනි නමකින් යුත් ක්ලබ් එකක් හෝ මෙවැනි ගොඩනැඟිල්ලක් කාල මින් පෙර එම වීදියේ දැක තිබුණේ නැත. එල්ලෙමින් තිබූ පුවරුවේ වූ නියෝන් එළි නිවි නිවී පත්තු වූයේ මන්දගාමීවය. ඒ මන්ද චලිත කාලට සිහි කළේ මිනී රථයක ගමනයි. අහීමාන නිහැඬියාව කන් තුළ පිරෙන අතරේ කාලට නොදැනීම කෙළ ගිලුණි.

වියළි උණුසුම් වා තලය විනිවිද යමින් නැඟුණු විලාපයෙන් කාල වෙවුලුවේය. මොළයෙන් දෙපාවලට එවූ සංඥාව හුවමාරුවට පමා වූවා සේ ඔහු මොහොතක් ගල් ගැසුණි. ඊළඟ කෑගැසීමත් සමඟ කාල දුවන්නට වූයේය. ඉදිරියෙන් වමට වූ වීදිය මධ්‍යයේ තරුණියක් බිම වැටී දඟලමින් සිටියාය. පුද්ගලයන් තිදෙනකු විසින් ඇයව දෙකකුලෙන් ඇදගෙන යමින් සිටියේ ඒ අසල වූ විවරයකටය. එය කලකට පෙර දුරකතන රැහැන් ඇදීමට පාවිච්චි කළ උමඟකට දිවුණු පිවිසුමකි.

“ඒයි ඒයි, නවත්තපං!” කාල තරුණිය වෙතට දිවුවේ කෑගසමිනි. තරුණියගේ හිංසකයන් අතුරින් එකකු කාල වෙත හැරුණේය. තමා දුටු දෙයින් කාලගේ පිටකොන්ද හරහා ශීතල ඉරක් ඇඳී ගියේය.

කාල වෙත හැරුණු මිනිසාගේ මුහුණ මිනී ඔළුවක මෙන් සම කටුවලට ඇලී තිබිණි. දෑස්වල ජීවය හැර ගොස්ය. ඇඳුම් ඉරී වැරහැලිව එල්ලුණු අතර, ඔහු පාවහන් කිසිවක් පැලඳ සිටියේ නැත. කාලගේ කෑගැසීමට තරුණිය ඇදගෙන ගිය ඉතිරි දෙදෙනා ද කාල දෙස ඔළු නවමින් බලන්නට වූහ. කහ ගැහුණු සම, කුණු ඕජස්වලින් ගලන්නා වූ ගඳ කාලට දුන්නේ එකම එක අනතුරු හැඟවීමකි.

සොම්බි!

“මේක චිත්‍රපටියක සෙට් එකක්වත් ද....” කාලගේ සිත මොහොතකට කීවත් තරුණියගේ මුහුණෙහි වූ භීතිය දුටු මතින් හේ එම අදහස බැහැර කළේය. කෙතරම් හොඳ නිළියකටවත් මුහුණෙන් එතරම් හැඟීම් ප්‍රකාශ කිරීමට බැරිය. ඈ යටි උගුරෙන් කෙඳිරිගාමින් දැඟලූවාය.

තමා සිටින්නේ නිරායුධව යැයි කාලට සිහි වූයේ මෙතෙක් වේලා නතරව බලා හුන් සොම්බියා වෙව්ලමින් සහ නොන්ඩි ගසමින් තමා වෙත ඇවිද එන්නට පටන් ගත් විටය.

වටපිටාවේ ආධාරකයක් ලෙසට කිසිවක් ඇද්දැයි බැලූ විට රෙදි කැබැල්ලක් ඔතා තිබූ දිගු රිටක් වැනි යමක් බිම වැටී තිබෙණු කාල හට දකිනට ලැබුණි. එකත් එකටම එම ආයුධය අර තරුණියගේ විය යුතුය. කාල සොම්බියාට ඇස ගසාගෙනම දිගු රිට අතට ගත්තේය. කාලගේ නාසා පුඩු අතරට ඉන්ධන ගන්ධයක් රිංගා ගත්තේය.

“මේක අල්ලගන්න...” සොම්බින් සමඟ පොර බදමින් හුන් තරුණිය ලද ඇසිල්ල තුළ කාල වෙත යමක් විසි කළාය. ඈ ශූරය. සොම්බින් තිදෙනකුටවත් ඇය මෙල්ල කිරීම පහසු වූයේ නැත.

“ඉක්මනට!” ඕ කෑගැසුවාය.

කාල අතට ලැබී තිබුණේ ලයිටරයකි. හේ කළ යුතු දෙය පහසුවෙන්ම තේරුම් ගත්තේය. දැල්වුණු පන්දම අතින් ගත් කාල පළමු වැනි සොම්බියා වෙත කඩා පැන්නේය. මොහොතකින් ඌ අළු වී ගිය නිසා අනෙක් සොම්බින් දෙදෙනා ද දවා හළු කිරීමට කාල හට වැඩි මහන්සියක් දැරීමට සිදු වූයේ නැත. ගිනි ඇවුළුණු තැන උන් මටලු මෙන් ගිනි ගෙන දැවී ගියහ.

සොම්බි ග්‍රහණයෙන් මිදී හුන් දැරිය බිම දණ ගහගෙන හති හැලුවාය. “මං හිතුවා මං ඉවරයි කියලා...” ඕ වේගවත් හුස්ම අතුරින් කීවාය. ඈ තමාට වඩා වසර දහයකින් පමණ බාල එකියක විය යුතු යැයි පන්දම් එළියෙන් කාල තීරණය කළේය.

වෙව්ලමින් දණ ඇන තබා ගත් තරුණිය මහත් වෙහෙසක් දරමින් ඉවතට විසි වී තිබූ ලෝහ ලෝහ පියන විවර මුව වෙත තල්ලු කරමින් එය වසා දමන්නට උත්සාහ කළාය. සියත වූ ගිනි පන්දම තරුණිය අතට දුන් කාල වැර යොදා බරැති ලෝහ පියනෙන් විවරය වසා දැම්මේය.

“උන් එනවා.” තරුණිය කීවේ අපේක්ෂාභංග ස්වරයකිනි.

“කී දෙනෙක් ද?” තමාට අසන්නට බොහෝ ප්‍රශ්න වුව ද ඒ මොහොතේ වැදගත් වූයේ මෙවැනි මළ මිනී මේ නගරය පුරා තව කොපමණ සැරිසරන්නේ ද යන්න වග කාල දැනගෙන සිටියේය. “දහස් ගණනින්...” තරුණිය කියන්නේ නළල අත්ලෙහි රඳවමිනි. “වතුර තියනව ද? මං දවස් දෙකක් තිස්සේ උන් මඟ අරිමින් දුවනවා. අන්තිමට කෑවෙ කොයි වෙලාවේදිද කියන්න මට මතක නෑ...”

කාල වහ වහා කබා සාක්කු ඇවිස්සුවේය. ජලය වෙනුවට ශක්තිජනක පානයක් ද, ප්‍රෝටීන් බාර් එකක් ද පිටතට ඇදගත් හේ වහා එය දැරිය වෙත පෑවේය.

“දවස් දෙකක්?” ඔහු අසන්නේ දැරියට ශක්තිජනක පානයෙන් උගුරු කිහිපයක් බොන්න ඉඩ දීමෙන් අනතුරුවය.

“ඔව්, ඇයි ඔයා දන්නෙ නැද්ද? අන්තිමට වැටුණේ කලම්බො මෙට්‍රොපොලිටන් මිලිටරි ටවර් එක.”

කාලට තරුණිය කියන දේ පැහැදිලි නැත. ඊයේ ද පෙරේදා ද අම්මම්මා මහ හඬින් ප්‍රවෘත්ති ඇසූ බව කාලට හොඳටම විශ්වාසය. ඇයට සොම්බි ආක්‍රමණයක් තබා අලුතින් සොයා ගන්නා ලද කුරුමිණි විශේෂයක් හෝ මඟ හැරෙන්නේ නැත. “අපි යන්න ඕනෑ...” තරුණිය නැගිට ගත්තේ මහත් වෑයමකිනි. “මට ඕනෙ නම් දවසම මෙහෙම ඉඳගෙන ඉන්න පුළුවන්... ඒත් අපි යන්න ඕනෙ.”

“අපි?”

“ඇයි, ඔයා එක්ක තවත් කට්ටිය ඉන්නවද?”

“කට්ටිය?”

“ඔව්, බේරුණු අය. ඔයත් හරියට සොම්බියෙක් වගෙනෙ. මං කියන දේ ඔයාගෙ මොළේට යන්නෙ නැතිවා වගෙයි මට නං පේන්නෙ.”

“අහ්...ඔව්... මං කිව්වෙ මේ... දැන්...ඔයා කියන්නෙ කලම්බො මෙට්‍රොපොලිටන් ඉඳන් ඔක්කොම නගර සොම්බිලා යටත් කරගෙන කියලද?”

තරුණිය බැරෑරුම් ලෙස හිස වැනුවාය. “මට තේරෙනවා, ඒක පිළිගන්න අමාරුයි කියලා. ඒත් ඒක එහෙම වුණා. අපි වගේ කෙනෙක් දෙන්නෙක් ඇරුණු කොට දැන් මෙහෙ ඉන්නෙ හැමෝම මේ කාලකන්නි ඇවිදින මළකුණු විතරයි.... මං හිතන්නෙ අපි ගියොත් හොඳයි.”

 

මතු සම්බන්ධයි

 

අමාලි අනුපමා මල්ලවආරච්චි