හෝබෝවා හැමදාමත් පාරට බහින්නේ තව ටිකකින් මැරෙයි කියලා හිතාගෙනය. තාර පාරේ කතන්දරේ ඒ තරමට භයංකාරය. ටිපර් පදින අයියලා හිතාගෙන ඉන්නේ එයාලා පදින්නේ ත්‍රීවීලර් කියාලාය. කන්ටේනර් අයියලාද එසේමය.එයාලාගේ ඉස්සරහා කෑල්ල පාරේ වමෙන් යනකොට පස්සාපැත්ත යන්නේ දකුණේය. හරවන්නේ කනේ වැලි ගාගෙනය. ට්‍රැපික් වෙලාවට මෙයාලා යන්නේ නැත්තේ පේමන්ට් එකේ විතරය. මෙයාලා පිටිපස්සෙන් සාටමොයිකලයක් වාගේ පැදගෙන යනවා නම් මාසෙකට ලොකු රක්ෂණ වාරිකයක් ගෙව්වාට පාඩු නැත. කන්ටේනර පෙට්ටිය නැතිව ට්‍රේලර් එක විතරක් ඇදගෙන යන අයියලා පස්සේ යනවා නම් පපුව ගෙදර අල්මාරියේ තියා ආවාට කමක් නැත. ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කිරීමට අපූරුය.
ත්‍රීවීල්වල යන අයියලා හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලා එලවන්නේ කන්ටේනර් කියාය. හැප්පුනාම අර පපඩම් බොඩිය තැලෙන්නේ නෑ කියාය. ත්‍රීවීල් එකේ වැඩි හරිය ටයිටේනියම් වලින් හදා තියෙන හන්දා මෙයාලා සමහර වෙලාවට රෝද දෙකෙන්ද යන්නෝය. මෙයාලා මාර වැඩ්ඩෝය. ලොරි ද තඩි ලේලන්ඩ් ද කියා වෙනසක් නැත්තේය. ගෙමක් නැතිව මේවා මැද්දෙන් දාන්නේය. මයිකල් නයිට් දැක්කා නම් කිට්ගේ කනින් අල්ලා අන්න අහම පල කියන්නේය. ලඟදී හික්කඩුවෙන් එද්දී සුද්දෙක් අත දෙකද කකුල් දෙකද බෙල්ලද එලියේ දාගෙන වීල් එකක යන්නේය. තොපිට ඔහොම පන් එකක් ගන්න ලංකාවටම එන්න ඕනෙ බොලව් කියා හෝබෝවාට හිතුනෙන් රට පිළිබඳ අප්‍රමාණ ජාති ආලයක් උපන්නේය. ඉන්දියාවේ සේරෝම වීල් එක වාගේය, කහ පාට වැඩිය. තායිලන්තේ ටුක් ටුක් විසාලය. අපේ එව්වායේ වාගේ රෙකොඩ් බාර් නැත. කොන්ඩේ වවාගෙන පච්ච ගහපු මැක්සා බුවාලා එලවන්නේ නැත. අපේ වීල් මොඩිෆයි කරපුවාම හමර්, ඩිෆෙන්ඩර් වාගේය. හදිසියකට හෝබෝවා යන්නේද වීල් එකේය. පරක්කු වෙච්චි දාට වීල් අයියාව පේන්නේ සුපර් මෑන් වාගේය.
ලංකාවේ ප්‍රාඩෝ, පැජරෝ, ඩිෆෙන්ඩර්,ඩිස්කවරි එළවගෙන යන බොස්ලා හිතාගෙන ඉන්නේ එයාලා ලයිට් ගහපුවාම අපි එකත්පස්ව අයින් වෙලා එයාලාට යන්ඩ දෙන්ඩ ඕනෑ කියාය. ලඟදී අපේ මාමා එක්ක ගමනක් ගොහින් එද්දී, මනුස්සයා අස්ප වේගෙන් වාහනේ පැද්දේය. හෝස් ගාගෙන ගේ ලඟට විත් වාහනය නැවැත්තූ මාමා ආතබූත කඩාගෙන ගෙට දිව්වේය. මනුස්සයාට දැවැන්ත බරක් ඇති වී ඇත. අස්ප වේගෙන් ඒමට කාරණාව වී ඇත්තේද එයය. මේ සේරෝම වෙන දීහා බලාගෙන හිටි මාමාගේ පොඩි එකා කිව්වේ, අර මහ හයියෙන් ලයිට් ගහගෙන, හෝන් ගහගෙන පාරේ යන මාමලා සියල්ලන්ටම විසාල කක්කා බරක් ඇති බව තේරුණේ දැන් කියාය. මෙව්වා ලිව්වාට කමක් නැත. එව්වායේ යන බොස්ලා අපේ දුප්පත් බ්ලොග් කියවන්නේ නැත. ඒ හින්දා උන් හැමදාම පුරුදු විදීයටම උන්ගේ පැජරෝ එලවනු ඇත. අපි කානු වල බසිනු ඇත. සමහර වාක්‍ය අපි කියා පටන් ගත්තාට මුයන්නෙන් ඉවර වෙන්නේ නැත. ඒ ජීවිතේ හැටිය.
සාටමොයිකල් වල යන මල්ලිලා ගැන පොතක් ලියන්නට ඇහැකිය. ඉස්කූටි එලෝන අක්කලා, නැන්දලා ලඟින් යනවා නම් කල්පනාවෙන් සිටිය යුතුය. එයාලා වමට සිග්නල් දමා දකුණට කැපීමට හරිම දස්සය. ට්‍රේල් බයික් පදින මල්ලිලා වෙට්ටු දාගෙන යන්නේ හැඬල් එක උඩ වාඩි වෙලාය.අත් දෙක තියාගෙන ඉන්නේ කිහිල්ලේ ගෙඩි දමා තිබෙනවා වාගේය. කන පිටිපස්සෙන් ඇවිත් රෝද උස්සන මල්ලිලා ද ඇත. නිදහසේ යන එවුන් ඒවාට බය වී වැටී බෙල්ල කඩා ගන්නකොට, උන්ට හෙනයක්වත් නැත. හෝබෝවා නම් ඒ වාගේ එකෙක් දැක්කාම 'අනේ වැටියන්!' කියා මතුරන්නේය. සාටමොයිකල් මල්ලිලා වැඩි හරියක් යන්නේ පේමන්ට් වලට. ඉඳහිට පාරේ ද යන්නේය. මෙයාලාට ට්‍රැපික් අදාළ නැත්තේය. උදේ කොළඹ වැඩට යනවා නම් හොඳම වාහනේ සාටමොයිකලේය. සිග්සැග්, නැටි,හෙරින්බෝන්, කතිර ආදී ඕනෑම මැස්මක හැඩේට සයිකලේ පදින්නට අවසර ඇත්තේය. උදේට පොලිස් මාමලාද ඉර කැපුවාට මුකුත් කියන්නේ නැතිය. එයාලා හරි හොඳය. දැන් සිරමැදිරි වල සීසීටීවී හයි කර තිබෙන්නේය. සාටමොයිකලෙන් වැටිලා මල්ලී බෙල්ල කඩා ගත්තදාට ගොසිප් සයිට් එකක රේටිං වැඩි කරදිය හැකිය. නොමිලේ හොඳ පොටෝ ෂූට් එකක්ද කරගත හැකිය. ඔය කියනා තරම් දයියා කූර නැත.
පයිවට්, සීටීබී කියා වෙනසක් නැත. ලඟපාත එයින් එකක් යන්නේ නම් වාහනේ පොඩි කඩේක නවතා තේ එකක් කාරිය බීලා ගියාට කමක් නැත. ඉන්දියාවේ ටාටා මහත්තයා මෙහෙ ටාටා බස් එලෝන හැටි දැක්කා නම් පපුවේ අමාරුවක් හැදී එතනම සෙත්තපෝච්චි වෙන්නේය. හැරී පෝටර්ව ලීකි කොල්ඩ්‍රන් එක වෙනකම් අරගෙන ගිය මැජික් බස් එක චිත්තරපටියේ පෙන්නනකොට මට හිනා ගියේය. අපි හැමදාම යන්නේ ඒවාගේ ලේලන්ඩ් බස්වලය. ඒ වුණාට අපිට කලන්තේ හැදෙන්නේ නැත. බය දැනෙන්නේ නැත. අපි හරි මාරය. බස් මාමලා යන්නේම වමින් හන්දා සර්කස් එකේ කවුරුත් මාරක ලිඳේ යන්නේ නැත. අපිට ඔව්වා සිම්පල්ය. බැරිවෙලාවත් කවුරුත් මේවාගේ බස් එකකට හැප්පුණොත්, හැප්පුනු එකාට දෙයියන්ගේම පිහිටය. මළේ නැත්නම්, නිවැරැද්දේම අමු තිත්ත කුනුහරුප නොමිලේ අහගත හැකිය.
රටේ ලෝකේ මිනිස්සු රතු ලයිට් එක පත්තු වෙනකොට වාහන නවත්තන්නෝය. කහ ලයිට් එක පත්තු වෙනකොට වාහනේ නවත්තගන්න ලෑස්ති වෙන්නෝය. කොළ ලයිට් එකේදී පරිස්සමට වාහනේ පැදගෙන යන්නෝය. ලංකාවේ රතු ලයිට් එක ටිකක් වෙනස්ය. පොලිසියෙන් හරි කැමරා හරි නැත්නං රතු පත්තු වුණත් ගියාට කමක් නැත. කහ ලයිට් එක පත්තු වෙන පාටක් තියේ නම් ඇක්සිලරේටරේ නප්පියටම පාගා, බැට්මෑන් වාගේ යායුතුය. කොළ පාට ගණන් ගන්නේම නැති තරංය. ඔව්, අපි හරි වෙනස්ය. ට්‍රැපික් ලයිට් වලට නවත්වූ විට පිටිපස්සේ එකා පස්සපැත්තට හෝන් ගහන්නේය. පාර පයින්න කහ ඉරක් ලඟ නතර කලොත් ඒත් පිටිපස්සේ එවුන් හෝන් ගහන්නේය. හැරෙව්වත් හෝන් ගහන්නේය. නිදහසේ පැත්තකට වී එලෝගෙන යනකොටත් හෝන් ගහන්නේය.නිකනුත් හෝන් ගහන්නේය. හෝබෝවා ජපානේ හිටි අවුරුද්දටම වාහනයක් හෝන් ගහනවා ඇහුනේ දෙපාරක් විතරය. ජප්පන් හෙන මෝඩය.
පයින් යන උන්නාන්සේලාද මීට දෙවනි නැත. පෝන් එකට මූණ ඔබාගෙන කනට හෙඩ්පොන් ගහගෙන මෙයාලා පාරේ ඇවිදගෙන යන්නේ අමරණීය ගෙඩි කාලා වාගේය. ගෙදර ප්‍රශ්න විසඳ විසඳ වාහන එනකල් බලාගෙන ඉඳ එව්වාටම පනින්නෝය. සමහර නංගිලා හිතන්නේ එයාලා පස්ස පද්ද පද්ද බිමට හිනා වෙවී යනකොට අපි වාහන නවත්තාගෙන එයාලාගේ රූප සෞන්දර්ය බල බලා සිටිය යුතු බවය. සමහර ඇන්ටිලා කහ ඉර උඩ ඉඳගෙන බතක් මාළුවක් උයන්නේ නැති ටික විතරය. පාරේ යන මාමලාත්, වාහන වල යන මාමලාත් පාර පුරා බුලත් කෙළ බැරල් ගනන් හලන්න්නෝය. කාරා කෙල ගහන්නේ කාසෙ හැදිලා වාගේය. මෙව්වා කියන්නට ගියොත් හෝබෝවාට පෙෂර් හැදෙන්නේය. ඒ හින්දා අපේ තිබුණු දෙදාස් පන්සීය ගැන හිතාගෙන ආඩම්බරයෙන් හිතට අරන් ඉන්නේය. ගෝල්පේස් එකේ සේනානායක මාමා ගිනි අව්වේය. කාක්බෙටි නාලාය. ඒ අතින් හෝබෝවාට කරදරයක් නැත. හෝබෝවා හෙන වාසනාවන්තය.