Saturday, December 17, 2016

මාටිං අයියාගේ ප්‍රථම ප්‍රේමය

කාලෙකින් ලියන්ට බැරිවුණා කියහල්ලකො. ඒ තරමට වැඩ! කාලෙක ඉඳන් ලියන්න හිටපු දෙයක් ඔන්න අද ලියාගන්ට අවස්ථාව ලැබුණා.

මාටිං අයියාගේ රසික රසිකාවියන්ට මතක ඇති නොවැ අර මාටිං අයියාගේ බෑග් එක ගේට්ටුව ලඟට ගෙනහල්ලා දෙන රෝස පාට කෙළි ඇබිත්ත. ඉතින් මේ කෙළි ඇබිත්ත ගැන ලඟකදී ඉඳන් මාටිං අයියාට හිතක් පහළ වෙලා. හැබැයි ඉතින් මේ ගැන කතා කරනවට මාටිං අයියාගේ වැඩි කැමැත්තක් එහෙම නැත.

මාටිං අයියගෙ ගෙදර ඈයින්ටත් ඉතින් ඕන්නැති මළ ඉළව්වක් නෑ වගේ එහෙන් මෙහෙන් වහෙන් ඔරෝ මාටිං අයියාගෙන් මේ ගැන අහලා බලන්නෝය.
"මාටිං අයියෙ, මොට්ටසෝරියේ ඔයාගේ හොඳම යාළුවා කවුද?"
"හුම්...කවීෂ හොරගෙඩියා." මාටිං අයියා හාන්සිපුටුවේ ඇන්දට හේත්තුවක් දාගෙන බැරෑරුම්ව උත්තර දෙයි.
"වෙන යාළුවෝ එහෙම නැද්ද?"
"ඉන්නවා, කිරුනත් ඉන්නවා." මාටිං අයියා උත්තර දෙන්නෙ ටීවී එකේ දේශපාලන සංවාදෙකට ආපු හොර දේශපාළුවෙක් ගාණට.
"තව?"
ඕං එතකොට මාටිං අයියාගේ මූණට අමුතු පහේ මනමාල හිනාවක් පාත් වෙන්නේය. ඇස් දෙකත් පුංචි කරගෙන රහසින් රෝස පාට කෙළි ඇබිත්තගේ නම මුමුණන්නේය.
"වෙන කාටවත් කියන්න එහෙම එපා හොඳද." මාටිං අයියා හාන්සිපුටුවට කොඳුරන්නේය.


එයාගෙ රෝස පාට කෙළි ඇබිත්ත බලන්න මාටිං අයියා මේ දිනවල ඉතාම සතුටෙන් මොට්ටසෝරියට යන්නේය. දවාලට මාටිං අයියාව අරගන්න එන්න යන ගමනට  මාටිං අයියාගේ අක්කා ද පේවීගෙන එන්නීය. ඔහොම ආපු වෙලාවක මාටිං අයියා හෙමීට අක්කාගේ අතකින් අල්ලාගෙන එයාගෙ පන්තිය පැත්තට එක්කාගෙන යයි. 

එහෙම එක්කාගෙන ගියාට පස්සෙ ඕං ජෝඩුවම ආපිට පල්ලම් බහිනවා. මෙච්චර වෙලා අපූරුවට හිටපු මාටිං අයියාගේ අක්කා මූණත් පුම්බාගෙන පාරට එනවා. 
"අක්කෙ, ඔයා දැක්කද මගෙ යාළුවව?" මාටිං අයියා අක්කාගේ පිටිපස්සෙන් ගාටන ගමන් අසයි.
අක්කාගේ මූණ තවමත් පුම්බාගත් ගමන්ය.
"අයියෝ අක්කෙ, එයාට හරි ලැජ්ජයි ඔයා එක්ක කතා කරන්න. ඒකයි ඔයා එක්ක කතා කළේ නැත්තෙ." මාටිං අයියා බල්ලෙක් ගාණ වැටිලා පුම්බාගත් අක්කා පස්සේ තවමත් ගාටයි.
ටික වේලාවක් යනකම් දෙන්නාගේ කතාබහක් නැත.
ටික වේලාවක් යනකම් කට වහගෙන ඉන්නා මාටිං අයියා, ආයේමත් සැරයක් අක්කාට කිට්ටු කරයි.
"අක්කේ, එයා හරීම හොඳයි. හරීම සුදුයි."
අක්කාගේ මුහුණ දැන් පිම්බෙන්නට ඉඩක් නැත. මාටිං අයියා පළමු වරට කෙල්ලන්ගේ සයිලන්ට් ට්‍රීට්මන්ට් එක අත්විඳින්නට වන්නේ එලෙසින්ය. 

රෑට නිදාගන්න ගියාමත් මාටිං අයියාට රෝස පාට කෙළි ඇබිත්ත සිහිවෙන්නේය. මේ දවස් වල මාටිං අයියා මොට්ටසෝරියේ කොන්සර්ට් එකට ලස්සන ලස්සන සින්දු නැටුම් පුරුදු වෙන්නේ කෙළි ඇබිත්තද ලඟපාත ඉන්නවාද බලාය. අහගෙන ඉන්න කෙනෙක් ඇත්නම් වෙලාවකට මාටිං අයියා කෙළි ඇබිත්ත ගැන ඔහේ දොඩවන්නේය.
"එයා තමා මගේ යාළුවා. කෙල්ලෙක් යාළුවා වුණාට කමක් නෑ නේද?" වෙලාවකට මාටිං අයියා අහයි.
ගෙදර කවුරුත් මාටිං අයියාට උත්තර දෙන්න යන්නේ නැත. ඔය ප්‍රශනය මාටිං අයියාට අළුත් වුණාට ශතවර්ෂ ගණනාවක් පරණය. ඒ ගැන පඬිවදන් දෙතුන්සීයක් වුණත් හොයාගන්නට පුළුවන්ය. ඔව්වාට උත්තර දෙනවාට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප් කොණ්ඩය පීරන්නේ නැත්තේ ඇයිදැයි කියා වදවෙන එක වඩා හොඳය. 
ඇඳ මත්තට වී කෙළි ඇබිත්ත ගැන කියවන මාටිං අයියා කොන්සර්ට් එකේ කියාදෙන සිංදුවක් ද තාලයට කියන්නේය. අම්මා මුත්තා කිව්වත් කවියක් සින්දුවක් කියන්නේ නැති එකා කෙළි ඇබිත්ත මතක් වී හෝ පටේට සිංදු කියන්නේය.

මාටිං අයියාගේ ප්‍රථම ප්‍රාථමික ප්‍රේමය ඔය විදියට ගලාගෙන යද්දී එකට කැත කණ කොකෙක් හඬන්නට වී ඇත. ඔය කතාවක් මාටිං අයියා කියන්නේ ගෙදර කවුරුවත් ලඟපාත නැති වෙලාවක් බලා අක්කාට රහසින්ය.
"අද නම් මං ඉවරයි අක්කෙ." මාටින් අයියා කියයි.
"අද මගේ යාළුවා, පන්තියේ අනික් ළමයින් එක්ක කතා කරලා හොඳට යාළුවුණා. මගෙ යාළුවොත් එයත් එක්ක හුඟක් යාළුවුණා."

කොයි තරම් කේන්ති ගත්තද මාටිං අයියාගේ අක්කාගේ හිත ඒ ගමන වෙඬරු පිඩක් වගේ උණු වෙන්නේය.
මාටිං අයියා හිතේ අමාරුවෙන් ඇඳ මෙට්ටය මත, උඩුබෙලි අතට දපා තබා ඇද වැටුණේය.
"වැඩක් නෑ අක්කෙ එයා ඉස්සරහා අද මාව බෙටි වෙලා ගියා." මාටිං අයියා අඳෝනා තියන්නේය.
 
මේ කණ කොකාගේ ඇඬලීමෙන් පස්සේ ටික කාලයක් වෙනකල් මාටිං අයියාගෙන් කෙළි ඇබිත්ත ගැන හාහූවක් නැත.ගෙදර කස්ටිය කෙළි ඇබිත්ත ගැන බැරිවෙලාවත් ඇහුවොත්, මාටිං අයියාට හොඳටෝම තද වෙන්නේය.
"මං එහෙම කෙනෙක් දන්නෙත් නෑ.මගේ එහෙම යාළුවෙක් හිටියෙත් නෑ. මං එහෙම එක්කෙනෙක්ව අඳුලන්නෙත් නෑ." මාටිං අයියා හාන්සි පුටුවට වී හිතේ අමාරුවෙන් කියවන්නේය. 
ඒ වුණාට ඒ කෙළි ඇබිත්ත නිකම් පරණ බිත්තරයක් වාගේ නේදැයි ගෙදර කවුරුන් හෝ අහනකොට මාටිං අයියාට හොඳහැටි කේන්ති යන්නේය. 

ජනවාරියේ මාටිං අයියා එකේ පන්තියට යන්නට සූජානමින් සිටින්නේය.කොන්සර්ට් එකේ කෙළි ඇබිත්තගේ නැටුම් ගැයුම් යනවිට මාටිං අයියා ඉස්සරහම පෝළිම හරියට ගොස් කට ඇරගෙන බලාගෙන සිටියේය. පවුලේ කට්ටියටද පෙන්නුවේය. කෙළි ඇබිත්තගේ අම්මා කොයි වෙලාවක හෝ කොහු මිටක්ද එක්ක ප්‍රාදූර්භූත වන තුරු ගෙදර ඈයින් දුවන්නට ලැහැස්තියෙන් සිටියෝය. කොන්සර්ට් එකට පස්සේ මාටිං අයියාට නිවාඩුය. මිනිහාට දැං කෙළි ඇබිත්ත මතකයට එන්නේ නැති තරම්ය. එකේ පන්තියේදී අලුතෙන් කෙළි ඇබිත්තක් පාත් වෙන තුරු මාටිං අයියාගේ ප්‍රථම ප්‍රේමයට කොමාවක් වැටී තිබෙන්නේය. 

කොයියම් හෝ වේලාවක කෙළි ඇබිත්තකගේ අම්මෙක් තාත්තෙක් රෙදි උස්සාගෙන ගේට්ටුවට තඩි බානා තුරු ගෙදර කවුරුත් මාටිං අයියාත් සමග සතුටින් ජීවත් වෙන්නෝය. රත්තරන් හැඳි වලින් මී පැණි කන්නෝය!

Wednesday, November 2, 2016

වසීලිස්සාගේ ඇටකටු උඩ බාබායිගා නැටීම

ලිපිය ටිකක් දිග නිසා අකුරු පොඩියෙන් තිබ්බා හොඳේ. ලොකු අකුරු වුවමනා ඈයෝ සිටී නම් කියනවා හොඳයි! 
P.S. ඇටොම් අයියාගේ + විචාරක ඉල්ලීම පරිදි අකුරු ලොකු කලෙමි! 

ජනප්‍රිය රුසියානු සුරංගනා කතාවලිය පුරාවටම අපට මුණගැහෙන නම් දෙකක් තමයි වසීලිස්සා සහ බාබායිගා යකින්න කියන්නේ. අපි ගොඩක්ම හඳුනන්නේ ලස්සන වසීලිස්සා (Vasilisa the Beautiful) වුණත් මේ කතා පුවත් අතර නුවණැති වසීලිස්සා (Vasilisa the Wise) කෙනෙකුත් ඉන්නවා. නමුත් නුවණැති වසීලිස්සාගේ කතාව ගොඩක් ප්‍රචලිත ගෙඹි කුමරිය නමින්. කොහොම නමුත් ඉතින් ඇයි මේ දෙන්නෙක්? ලස්සන වසීලිස්සා නුවණැත්තියක් නෙමෙයිද? නුවණැති වසීලිස්සා ලස්සන තරුණියක් නොවේද? මේ දෙදෙනා අතරට මෝල්ගහෙන් කොට කොට වංගෙඩියෙන් පියාඹන බාබායිගා යකින්න පාත්වෙන්නේ කොහොමද? අද පෝස්ටුව මම බොහෝ ආදරය කරන මේ තුන්කට්ටුව ගැන තමයි. 

අපි මුලින්ම බලමු පොඩීයට මේ තුන්දෙනාගේ  චරිත ලක්ෂණ විශ්ලේෂණය කරලා ඉතාම සරලව. ලස්සන වසීලිස්සා ඉතාම සුන්දරයි. ඉතාම ගුණයහපත්. එයාට ඉන්නවා මායාකාර බෝනික්කෙක්. එයා තමයි ලස්සන වසීලිස්සාගේ ගැලවුම්කාරයා. සෑම නපුරකින්ම වසීලිස්සාව ගලවා ගන්නෙ මේ මායාකාර බෝනික්කා තමයි.

සරලවම ගත්තොත් ලස්සන වසීලිස්සාගේ චරිතය පැතලි චරිතයක් (a flat character or a one dimensional character). මේ චරිතය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ damsel in distress කෙනෙක් විදියටයි. ඒ කියන්නේ විපතට පත්, තමන්ව බේරාගන්න Knight in shining armours හෙවත් සන්නාහයෙන් සැරසුණු නයිට්වරයෙක්, එහෙමත් නැතිනම් වීර පුරුෂයෙකු වුවමනා කර තිබෙන තරුණියක්. ලංකාවේ සරලම මල් පොතකත්, ලෝකේම ජනප්‍රිය නිකලස් ස්පාර්ක්ගේ (මල්!) පොතක වුණත්, මුළු රෝමෑන්තික ෂානරයම යටකරගෙන ඉන්නෙ මේ කියන මොඩලය තමයි.
ප්‍රධාන කාන්තා චරිතය ආර්ථික හා මතවාදීමය වශයෙන් නිදහස් වෙන්නේ ඉතාම සුළු කතාන්තර කිහිපයක විතරයි.අපි ගත්තොත් Twilight වගේ සීරිස් එකක්, මේකෙත් එන බෙලාගේ චරිතය මුලින් ඉන්නෙ මේ කියන damsel in distress මොඩලයේ. Hunger Games කතා මාලාවේත් මේ තත්වය යම්තාක් දුරකට තිබෙනවා. නමුත් reversed roles විදියට. කැට්නිස් සාමාන්‍ය තරුණියකගෙන් එහාට ගිය රණශූරිය විදියට තමයි ගොඩනැගෙන්නෙ. එයා තෝරගන්න පීට්, එයාත් එක්ක කුඩා කාලේ ඉඳන් ආදරයෙන් වෙළිලා ඉන්නෙ. කැට්නිස් තෝරගන්නෙ නෑ ගේල්ව. ගේල් රණශූරයෙක්. කැට්නිස් සහ පීට්ට දීලා තියෙන්නේ  male/female reversed roles කියලා මට හිතෙන්නෙ ඒකයි. 

රෝමෑන්තික ෂානරයේ ජනප්‍රියම කාන්තා මොඩලය වෙන්නෙ මෙන්න මේ damsel in distress කියන මොඩලය තමයි. මේ මොඩලය මීට ශතවර්ෂ ගණනාවකට කලින් බිහි වුණු සුරංගනා කතා සහ ජනකතා තුලත් ඒ විදියටම පවතිනවා.  ලස්සන වසීලිස්සා එක පුංචි උදාහරණයක් විතරයි. 

හොඳයි එතකොට නුවණැති වසීලිස්සා? දැන් මෙහෙමයි, එයා බැලූ බැල්මට ඔය පෙර කී මොඩලයට ඇතුල් වෙන්නේත් නැති, නමුත් අන්තිමේදී ඒ මොඩලයට යම්තාක් දුරකට එකඟ වෙන්න සිදුවෙන ටිකක් සංකීර්ණ චරිතයක්. ඒ විතරක් නෙමෙයි, මේ චරිතය ඇතුලේ අපට කියවා ගැනීම් බොහෝමය තිබෙනවා.

දැන් බලමු, නුවණැති වසීලිස්සාව අපට මුලින්ම මුණගැහෙන්නේ ගෙම්ඹියක් විදියට. නිකම් නෙවෙයි, මායාකාර ගෙම්ඹියක්. ඇයි ගෙම්ඹියක්? ගෙම්ඹියක් කිව්වාම අපට මුලින්ම මතක් වෙන විශේෂණ තමයි, කැත, අවලස්සන, අප්‍රසන්න වගේ වචන. ඊළඟට, නුවණැති වසීලිස්සා ගෙම්ඹියක් වෙලා ඉන්නෙ ඇයි? කතාවේ මේක පැහැදිලි කරලා දෙනවා මෙන්න මේ විදියට. කසේයි රාක්ෂයා තමයි මගේ තාත්තා. එයා බොහෝම කේන්තියෙන් ඉන්නෙ මම එයාට වඩා කපටියි නුවණක්කාරයි කියලා. මම කපටි නිසා ඔහු මට අණ කළා අවුරුදු දෙකක් ගෙඹි හමක් පොරවාගෙන ඉන්න කියලා.
 දැන් නුවණැති වසීලිස්සාට දඬුවම් කරලා තිබෙන්නේ එයා එයාගේ තාත්තාට වඩා කපටි, නුවණක්කාර නිසා. මොකද්ද මේ වචනෙ? කපටියි? කපටියි කියන්නේ දක්ෂ කියන වචනයට ආදේශ කරන්න පුළුවන් වචනයක්නේද? (සිංහල පරිවර්තනයේ තමයි මේ 'කපටි' කියන වචනය යෙදිලා තිබෙන්නෙ.නමුත් ඉංග්‍රීසි පරිවර්තනයේ තිබෙන්නේ The wise Vasilissa was born cleverer and wiser than her father, and he was so annoyed that he ordered her to wear a frog skin for three years, කියලා. නිකමට හිතලා බලන්න ඇයි සිංහල පරිවර්තකයා මේ කපටි කියන නෙගටිව් වචනයම යොදාගත්තෙ කියලත්. ඒක ටෙක්නිකල් කාරණාවක්ද, එහෙමත් නැති නම් ඊට එහා unconsciously patriarchal- අවසඟයෙන් පුරුෂවාදී මතයක පිහිටා සිටීම නිසා සිදුවුණු දෙයක්ද කියලා. රුසියානු භාෂාව කියවන්න පුළුවන් කෙනෙක් මේකේ ඔරිජින් එකේ කොහොමද තිබෙන්නේ කියලා පුළුවන්නම් සොයා කියන්න.)

කවුද දැන් මේ දඬුවම පණවන්නෙ? දඬුවම් දෙන්නෙ කසේයි රාක්ෂයා. එක, කසේයි නියෝජනය කරන්නේ පුරුෂ පාර්ශවය. එහෙනම් 'නුවණ ඇති' කාන්තා පාර්ශවයට 'දඬුවම්' දෙන්නෙ මෙන්න මේ පුරුෂ මොඩලය. ඒ විතරක් නෙමෙයි, දෙවනි කාරණය තමයි, මේ වගේ 'මායාකාර', 'කපටි එහෙමත් නැත්නම් නුවණක්කාර' දුවක් බිහිවෙන්නේ කාගෙන්ද? මනුෂ්‍යයෙකුගෙන්ද? නෑ, නෑ ඒ වගේ දුවක් බිහිවෙලා තියෙන්නේ රාක්ෂයෙකුගෙන්. ඒ කියන්නෙ abomination එකකින්. ඒ කියන්නෙ මනුෂ්‍ය නොවන විරූපයකින්.

ඊළඟ කාරණය, නුවණැති වසීලිස්සාට ජීවත් වෙන්න වෙන්න ගෙම්ඹියක් විදියට. ඒ මොකද්ද? ඒක සාපයක්. මේ සාපයට හේතු වුණේ මොකද්ද? එයාගේ නුවණැති බව. සාමාන්‍යයෙන් සාපයකට ලක්වෙන රොමෑන්තික කාන්තා මොඩලය ඒ විදියට සාපයට ලක් වෙන්නෙ එයාගේ රූපසම්පත්තිය නිසා මායාකාරියක්, එහෙම නැති නම් මායාකාර රැජිණක්ගෙන්. මතකනේ...හිම කුමරියව!
දැන් අපි ආපිට මුලට ගිහින් බලමු. නුවණැති වසීලිස්සා ජීවත් වෙන්නෙ ගෙම්බියක් විදියට, ගෙඹි හමක් පොරවාගෙන, එයාගේ මායාකාර බලයක් එක්ක, සාපයකට යටවෙලා. ඒ මදිවාට එයාගේ පියා තමයි නොමැරෙන කසේයි රාක්ෂයා. ඔන්න අපට පේනවා, මේ චරිතය නම් අර කලින් අපිට මුණගැහුණු ලස්සන වසීලිස්සාට වඩා සංකීර්ණ ලක්ෂණ සහිතව බිහිවෙලා තිබෙන වග.  

ලස්සන වසීලිස්සාවත් නුවණැති වසීලිස්සාවත් අපි සංසන්දනය කරලා බැලුවොත්, නුවණැති වසීලිස්සාට තිබෙනවා මායාකාර බලයක්. එයා මායාකාරියක්. එයාව කරදරේ වැටෙන්නේ එයාගේ මේ නුවණැති බව නිසාමයි. එයාට නුවණ තිබුණේ නැති නම් එයාට කවුරුත් සාප කරන්නේ නෑනේ. එයාගේ තිබෙන මායාකාර බලය නිසා එයා ගොඩක් වෙලාවට එයාගෙ සැමියා, ඉවාන් කුමාරයාව නොයෙක් පරීක්ෂණ වලින් සමත් කරවනවා. එයා දුර්වල, අඬ අඬා ඉන්න තරුණියක් නෙවෙයි. එයාට ආපිට කසේයි රාක්ෂයා ලඟට යන්න වෙන්නෙත් ඉවාන්ගේ මෝඩ වැඩක් හින්දයි.

එතකොට ලස්සන වසීලිස්සා? එයා ඉතාම ලස්සන අහිංසක යුවතියක්. එයාට මායාකාර බලයක් නැහැ. එයා නිතරම විපතකදී අඬා වැලපෙනවා. එයාගේ මායාකාර බෝනික්කා තමයි එයාට 'නුවණ කියාදෙන්නෙ.' ඔය කියන කතන්දරේ බොහෝම සරල ගමේ බාසාවෙන් කිව්වොත් ලස්සන වසීලිස්සා කියන්නේ ගොං බඳින කණුවක්! මේ බව දැනගෙන හිටියා කවුද? එයාගෙ අම්මා. එයාගේ අම්මා තමයි අර මායාකාර බෝනික්කා ලස්සන වසීලිස්සාට දෙන්නෙ. නුවණ කියා දෙන්න අම්මා නැති නිසා ඊට ආදේශකයක් විදියට තමයි මේ මායාකාර බෝනික්කා එන්නෙ. නුවණ කියාදෙන මායාකාර බෝනික්කා නොහිටින්න ලස්සන වසීලිස්සාට ඇත්තටම කිව්වොත් යන එන  මං නෑ කියලා තමයි කියන්න වෙන්නෙ.ඒ විතරක් නෙමෙයි, නුවණ හෙවත් මායාකාර බෝනික්කාගේ ඇති අවශ්‍යතාව මේ කතාවෙන් අපූරුවට පෙන්වලා දෙනවා, කතාවේ අවසාන මොහොත වෙනකම්ම. කතාව අන්තිමේදී කියනවා රාජකීය සම්පත් ලැබුණත් ලස්සන වසීලිස්සා එයාගේ ගවොම් සාක්කුවේ නුවණ හෙවත් මේ මායාකාර බෝනික්කාව තබාගෙන ඉන්නවා කියලා. 

මං කිව්වෙ අර මුලින්ම, අපේ නුවණැති වසීලිස්සාටත් අර පෙර කිව්වා ජනප්‍රිය මොඩලයට යම් හෝ තැනකදී එකඟ වෙන්න වෙනවා කියලා. ඒ තැන තමයි, ඉවන් කුමාරය එයාගේ ගෙඹි හම පුච්චපු වෙලාවේ ලස්සන වසීලිස්සාට ආපිට තමන්ගේ පියා වෙත යාමට සිදුවීම. පියා වෙත ගිය නුවණැති වසීලිස්සා සොයාගෙන රටවල් නමයක් පහුකරගෙන දහ වෙනි රටට ගිහිල්ලා එයාව බේරාගෙන එන්නේ අර වීර නයිට් මොඩලයේ තරුණ ඉවාන් කුමාරයා. ඔන්න ඔය විදියට තමයි නුවණැති වසීලිස්සා මොඩල් කාන්තා චරිතයක් බවට පත්වෙන්නේ. 
මෙන්න මෙතැනදී තමයි අපේ ආදරණීය බාබායිගා යකින්න වංගෙඩියක නැගලා, මෝල්ගහෙන් කොට කොට අපේ පැත්තට එන්නෙ. අපි බලමු බාබායිගා චරිතය දිහා කාන්තාවාදී ප්‍රවේශයකින්. දැන් බාබායිගා කියන්නෙ මායාකාර යකින්නක්. වෙලාවකට එයා මිනී මස් කන යකින්නක්. අනිත් වෙලාවට එයා නුවණ කියාදෙන යකිනි ආච්චි කෙනෙක්. ඔන්න බලන්න, ආයෙමත් අපි ආවා නේද පුරුදු මොඩලයකට. කාන්තාවක් නුවණක්කාරයි නම් එයා එක්කො වයසයි, නැත්නම් විරූපී, නැත්නම් දෙකම, මායාකාරී, යකින්නක් හෝ යක්ෂයෙකුට නෑදෑවෙනවා, එහෙමත් නැත්නම් සාපයකට යටයි. කාන්තාව සහ නුවණ අතර අවකාශය සම්පූර්ණ වෙන්නෙ මේ මොඩලයෙන්. මේ කතාකරන කතන්දරේ ඇත්ත වෙනවා සාලෙම් මායාකාරියන් දඩයමේදී.

Salem Witch Hunt එකේදී මායාකාරිය කියා චෝදනා ලැබූ කාන්තාවන් දහනව දෙනෙක් විතර ඝාතනයට ලක්වෙනවා. මේ විදියට මායාකාරියන් කියලා චෝදනා ලබපු මරණයට පත්වුණු කාන්තාවන් අතර සිටියා, පියුරිටන් වටිනාකම් පිළි නොගන්න කාන්තාවක්, හෙදියක්, දේශීය වෙදකම් කරන්නියක්,වින්නඹුවක්, කළු සමැති රතු ඉන්දියානු කාන්තාවක්, වගේ යම් වෘත්තීයක යෙදුණු, එහෙමත් නැති නම් සමාජයෙන් කොන් කරනු ලැබූ කාන්තාවන් පිරිසක්. සාලෙම් මායාකාරියන් දඩයමෙන්, වැරදිකරුවන් ලෙස තීන්දුව දී මරණයට පත් කළ අයගෙන් 90%කම කාන්තාවන්. ඒ සාතන් හෝ වෙනත් නපුරු බලවේගයන්ට කාන්තාව පහසුවෙන් යටත් කරගත හැකියි කියන මතය දහ හත-දහනවය ශතවර්ශවල ජනප්‍රියව පැවතුණා.සලෙම් මායාකාරියන් දඩයම සෘජුව කාන්තාවන් අරමුණු නොකලත් එකල පැවතුණු පියුරිටන් මතවාද දරුණු ලෙසම කාන්තාව සමාජ සංස්කෘත ආර්ථික වශයෙන් පීඩනයට පත් කරමින් තිබුණු නිසා, අවසානයේදී මේ දඩයමත් අවසන් වුණේ කාන්තාවන් පිරිසක් මරණයට පමුණුවීමෙන් තමයි.

ඉතින් කොහොම හරි, බාබායිගා යකින්න විතරයි වීර පුරුෂයෙකුගේ ගැලවීම අවශ්‍ය නැති බව පෙනෙන එකම චරිතය. ඉතින් මේ වගේ නිවහල් චරිතයක් වෙන්න නම් රාක්කයක් උඩ තියන තරමේ විසාල තොල් සහිත ඉතාම දිග නාසයක් ඇති මිනී ඇටකටු උඩ නටන මායාකාරියක්ම වෙන්න ඕනෙ. නිරන්තරයෙන් මේ බාබායිගා යකින්නගේ චරිතය කතාවේ නපුරු පාර්ශවය ලෙස පෙනුනත්, මේ කතාන්තර තුල ඉන්න එකම ස්වාධීන කාන්තා චරිතය බාබායිගා වෙන්න පුළුවන්. මේ අවාසනාවන්ත මොඩලයෙන් බේරෙන එකම සුන්දර රුසියානු යුවතිය වෙන්නෙ මම දන්න තරමින් නම්, රාජාලි තරුණයාගේ ආදරවන්තිය, මාෂෙන්කා. මාෂෙන්කාගේ චරිතයත් පිළිඹිබු වෙන්නෙ මායාකාරී හැකියාවන් සහිත තරුණියක් විදියට තමයි. ඒත් පුදුමයකට වගේ එයා නම් අවලස්සන නාකිච්චියක් නෙමෙයි! 

Saturday, October 15, 2016

ටයිම් ට්‍රැවලිං

හෝබෝවාට අලුතෙන් අකුරු කොටන රස්සාවක් සැට් වෙලා. ඉතින් හෙනනනන.....වැඩ.  ඉතින් පෝස්ටුව ලේට්.

ඇත්තම කතාව හෝබෝටික්කාට ඔය ටයිම් ට්‍රැවලිං කතන්දර සෙට් වෙන්නෙම නෑ. මොකද, ඔයි කාලා තරණ කතා මග දුරක් යත්දී බලාගෙන ඉන්න එකාට අන්දෝසංසාරයක් නැතුව යනවා. සිය දිවි නසා ගන්න හිතෙනවා. නිකමට හරි කතාව බල බලා ඉද්දි මදුරුවෙක් කාපු තැනක් එහෙම කැසුවොත් කාරිය, ඔලුව උස්සලා බලද්දි මුලු කතාවම උඩුකුරුඤ්ඤං ගහලා, කුස්කුටා වැල් කෑවා වගේ කර්පට් වෙලා බලාගෙන ඉන්ඩ වෙනවා.  හෝබෝටික්කාට නිකනුත් මන්ඤං හින්දා මෙව්වාගේ කතා බැලුවාම සිස්ටම් එකට ට්‍රෝජන් වයිරස් එකක් ගියා වගේ තමයි. ඒත් ඉතින් අපි ලෝකේ මගාරින්න හැදුවොත් යමක් ඒක අපි පස්සෙන්ම එනවා වගේ, මගේ කතන්දර දඩයමේ යන මේ ගමනේදී මුණගැසී කැමති, අකමැති වුණු ටයිම් ට්‍රැවලිං කතා කිහිපයක්ම තිබේ. ලඟදී බලාපු Alice Through the Looking Glass කියන ෆිලුම් එක නිසා පස්සට පස්සට කල් දම දමා තිබුණු මේ ලිපිය ඔහේ ලියලා දානවා කියලා හිතුවා.
Alice Through the Looking Glass කතාව ෆැන්ටසි ලෝකය සහ එහි සිටින මානවතත්වාරෝපිත චරිත වලටත් අමතරව කාල තරණය කියන තේමාව ඉහලින්ම ඉස්මතු වන්නක්. ඇලිස්ගේ විශ්මලන්තය කතාවේත් කාලය කියන තේමාව යම්තාක් දුරකට තිබුණත්, කාල තරණය කියන සංකල්පය ඉස්මතු වෙලා පේන්නේ Alice Through the Looking Glass කතාවෙනුයි. ඇලිස් මුලින්ම තමන්ගේ රියල් ලෝකයේ ඉඳන් (ඒත් අපි කොහොමද දන්නෙ අපි ඉන්නෙ රියල් ලෝකෙ කියලා...මොකද හැටර්ටයි මිස්ටර් රැබිට්ටයි අපි තමයි ෆැන්ටසි ලෝකය වෙන්නෙ!)  හැටර්ගේ ලෝකයට යන්නෙ මුහුණ බලන කණ්නාඩියකින්. 

අපේ හැටර්ට හදිසියේම එයාගේ නැතිවුණු පවුල ගැන ලොකූ නොස්ටැල්ජික් හැඟීමක් ඇති වෙලා, එයාගේ පාටත් නැතිවේගන යන වෙලාවක තමයි ඇලිස් එන්නෙ එයාව බේරගන්න. ඇලිස් යනවා මේ නිසා අතීතයට, අතීතය වෙනස් කරලා අතීතයේදී හැටර්ගේ පවුලට වෙන හානිය නතර කරන්න. එයා කාලය කියන මහත්තයාගේ අතීතයට යන්න පුළුවන් මැෂින් එකක් හොරකම් කරගෙන තමයි කාලය හරහා ගමන් කරන්නෙ. ගමන නම් හරි අපූරුයි. ඒත් ඇලිස්ට අතීතය නම් වෙනස් කරන්න වෙන්නෙ නෑ!

ඔය අයින්ස්ටයින් කියන හාදයා ඉන්නෙ. මිනිහාගේ කල්පනාවට අනුව නම් අතීතයත්, වර්ථමානයත් සහ අනාගතයත් කියන තුනම පිහිටා තිබෙන්නේ එකම මානයක. එයාගෙ Concept of Relativity න්‍යායෙන් එයා කියන්නේ, කාලය හරහා ගමන් ගත හැකි අධිවේගී යානයකින් පුද්ගලයන් දෙන්නෙක් ගමන් කලොත්, එක්කෙනෙක් දින කිහිපයක් හරහා ගමන් කත්දී අනෙකා පැය කිහිපයක් හරහා ගමන් කරාවි කියලයි. කාලය නිරපේක්ෂ දෙයක් නොවෙයි, සාපේක්ෂ දෙයක් කියලා තමයි එයාගේ තර්කය.  
කාල තරණ කතාන්තර බොහෝ දුරට අදාළ වෙන්නෙ නූතන විද්‍යාත්මක රචනා ශෛලියට. කාගෙහරි පිස්සුව රිච්ටර් මාපකේ අගය පහළ මට්ටමක නම් තියෙන, ඔන්න ඔයාට පුළුවන් 'ඩොනී ඩාර්කෝ' වගේ ටයිම් ට්‍රැවලින් ෆිලුමක් බලන්න! ඩොනී ඩාර්කෝ කියන්නෙ නිකම්ම නිකම් ෆිලුමක් නෙමෙයි. දහ දෙනෙක් බැලුවොත් දහ විදියකට හිතන, තියරි සීයක් වුණත් ගේන්න පුළුවන්, තේරුම් මහ ගොඩක් ගේන අපූරු ෆිලුමක්. මායාකාර-යක්ෂ හාවෙක් අනාගතයේ ඉඳන් ඩොනී ඩාර්කෝව මුණගැහෙන්න ඇවිත්, ඩොනීගේ ගේ ඉස්සරහා කිසිම ගුවන් සමාගමකට අයත් නැති,නමුත් ගුවන් යානයකින් කඩාවැටුණු එංජිමක් පාත්වෙලා...ඒ විතරක් නෙමෙයි ලෝක අවසානයත් ලං වෙලා!

ඒත් මේ ටයිම් ට්‍රැවලින් තේමාව අදක ඊයෙක ආපු කතන්දරයක් එහෙම නෙමෙයි. සියවස් ගණනාවකටත් එපිට කාලයක පටන් ටයිම් ට්‍රැවලිං කතාන්තර ජනතාව අතර ජනප්‍රිය වෙලා තිබිලා තියෙනවා. ටයිම් ට්‍රැවලින් ගැන තියන අපූරුම කතාවක් තමයි ජපන් ගැමි ජන කතාවක් වන 'උරෙෂිමා තාරෝ'ගේ කතාව.  
එකෝමත් එක කාලෙක, ජපානයේ මුහුද අද්දර ගමක උරෂිමා තාරෝ කියලා මස් මරන්නෙක් ජීවත් වුණා. මුහුද රළු, මස් මරන්න යන්න බැරි දවසක මේ තරුණයා නිදහසේ වෙරළ දිගේ ඇවිද යමින් සිටියා. මේ අතරතුරේදී ඔහු දැක්කා ළමයින් වගයක් වටවෙලා අසරණ කැස්බෑවෙකුට හිරිහැර කරමින් සිටියා. උරෂිමා තාරෝ මේ කැස්බෑවාව බේරාගෙන නිදහස් කළා. පහුවදා මස්මරන්න ගිය උරෂිමා තාරෝව අර බේරාගත්තු කැස්බෑවා, මුහුදු අධිරාජ්‍ය පෙන්වන්න සාගර පත්ලට එක්කාගෙන යනවා. මුහුද පත්ලේ මහා විශාල මාලිගාවකට උරෂිමා තාරෝව එක්කාගෙන යන කැස්බෑවා, ඉතාම සුන්දර මුහුදු කුමාරිකාවක් බවට පත්වෙනවා. 

තමන්ගේ ජීවිතය බේරා ගත්තු මේ අමුත්තා වෙනුවෙන් මේ මුහුදු කුමාරිකාව ඉතාම උත්කර්ෂවත් සැණකෙලියක් පවත්වනවා. දින තුනක් තිස්සේ උරෙෂිමා තාරෝ මුහුදු පත්ලේ අසිරිය විඳිමින් සිටියත් ඔහුට ආපිට නිවස බලා යන්න හිතෙනවා. ඉතින් උරෂිමා තාරෝ මුහුදු කුමාරිට කියනවා ආපිට දැන් ගෙදර ගියොත් හොඳයි කියලා. බොහොම දුකින් වුණත් මුහුදු කුමාරිය උරෂිමා තාරෝව ආපිට ගෙදර යවන්න කැමති වෙනවා. යන්න කළින් ඇය අභිරහස් මංජුසාවක් (ජපන් භාෂාවෙන් මේකට කියන්නෙ 'තමතෙබකො' කියලා) ඔහුට තෑගි කරනවා. "උරෂිමා තාරෝ, මේ වටිනා මංජුසාව ඔබ ලඟම තබාගන්න.නමුත් කිසිම වෙලාවක මේ මංජුසාව විවෘත කර බලන්න එපා." මුහුදු කුමාරිය කිව්වා.  

දවස් තුනකට පස්සෙ ආපිට නිවසට ආපු උරෂිමා තාරෝට දැකගන්න වෙන්නෙ ඇස් අදහා ගත නොහැකි දෙයක්. එයාගේ නිවස තිබුණු තැන නැහැ. වටපිටාවම වෙනස් වෙලා. අඳුනන කිසිම කෙනෙක් පේන්න නැහැ. ලඟපාතින් ගිය කෙනෙකුගෙන් අහලා බැලුවත් ඒ අය කිසිම දෙයක් දන්නේ නැහැ. සියවස් ගණනාවකට කලින් උරෙෂිමා තාරෝ කියලා කෙනෙක් මහ මුහුදේ නැතිවුණා කියලා කතාවක් නම් අහලා තිබෙනවා, වයසක මනුස්සයෙක් කිව්වා. උරෂිමා තාරෝ මුහුදු පත්ල යට ඉන්න දින තුනේදී මහපොළොවේ වසර තුන්සීයක් පහුවෙලා! ඉතාම කනගාටුවට පත් උරෂිමා තාරෝ ගල් ගොඩක් උඩ වාඩි වෙලා මුහුදු කුමාරිය තමන්ගේ අතේ තැබූ මංජුසාව දෙස බැලුවා. සමහර විට මේ මංජුසාව මට උදව්වක් වේවි, උරෂිමා තාරෝ සිතුවා. එයා මොහොතකට මුහුදු කුමාරියට වුණු පොරොන්දුව අමතක කරලා අර අපූරු මංජුසාව විවෘත කරලා බැලුවා.

එක වරම සුදු පාට දුමක් මේ මංජුසාවයෙන් එළියට ආවාලු. එතෙක් වෙලා හොඳින් හිටපු උරෂිමා තාරෝගේ හිස කෙස් සුදු වෙලා, හම රැළි වැටිලා ඉතා මහලු වයසට පත්වුණාලු. රළ බිඳෙන හඬත් එක්ක උරෂිමා තාරෝට ඇසුණාලු මුහුදු කුමාරිකාවගේ මිහිරි හඬ, "අනේ උරෂිමා තාරෝ...මා ඔබට කීවා නේද ඔය මංජුසාව ඇර බලන්නට එපා කියා? ඔය මංජුසාවේ තිබුනේ ඔබේ මහලු විය."

මං කිව්වෙ නැද්ද!!! ඒ කාලෙත් ටයිම් ට්‍රැවලින් කතා ඉවරවෙලා තියෙන්නෙ මහ පිස්සුවකින් තමයි. දැං බලන්න, මේ කතාවෙ උපදේශය; වෙරළෙ කැස්බෑවෙක් එහෙම අසරණ වෙලා හිටියොත් ලොවෙත් ඌට උදව් කරන්ඩ නම් යන්න එපා!! නුඹට කෙළ වෙනවා සත්තයි!

Saturday, September 24, 2016

පාර දිගේ


හෝබෝවා හැමදාමත් පාරට බහින්නේ තව ටිකකින් මැරෙයි කියලා හිතාගෙනය. තාර පාරේ කතන්දරේ ඒ තරමට භයංකාරය. ටිපර් පදින අයියලා හිතාගෙන ඉන්නේ එයාලා පදින්නේ ත්‍රීවීලර් කියාලාය. කන්ටේනර් අයියලාද එසේමය.එයාලාගේ ඉස්සරහා කෑල්ල පාරේ වමෙන් යනකොට පස්සාපැත්ත යන්නේ දකුණේය. හරවන්නේ කනේ වැලි ගාගෙනය. ට්‍රැපික් වෙලාවට මෙයාලා යන්නේ නැත්තේ පේමන්ට් එකේ විතරය. මෙයාලා පිටිපස්සෙන් සාටමොයිකලයක් වාගේ පැදගෙන යනවා නම් මාසෙකට ලොකු රක්ෂණ වාරිකයක් ගෙව්වාට පාඩු නැත. කන්ටේනර පෙට්ටිය නැතිව ට්‍රේලර් එක විතරක් ඇදගෙන යන අයියලා පස්සේ යනවා නම් පපුව ගෙදර අල්මාරියේ තියා ආවාට කමක් නැත. ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කිරීමට අපූරුය. 

ත්‍රීවීල්වල යන අයියලා හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලා එලවන්නේ කන්ටේනර් කියාය. හැප්පුනාම අර පපඩම් බොඩිය තැලෙන්නේ නෑ කියාය. ත්‍රීවීල් එකේ වැඩි හරිය ටයිටේනියම් වලින් හදා තියෙන හන්දා මෙයාලා සමහර වෙලාවට රෝද දෙකෙන්ද යන්නෝය. මෙයාලා මාර වැඩ්ඩෝය. ලොරි ද තඩි ලේලන්ඩ් ද කියා වෙනසක් නැත්තේය. ගෙමක් නැතිව මේවා මැද්දෙන් දාන්නේය. මයිකල් නයිට් දැක්කා නම් කිට්ගේ කනින් අල්ලා අන්න අහම පල කියන්නේය. ලඟදී හික්කඩුවෙන් එද්දී සුද්දෙක් අත දෙකද කකුල් දෙකද බෙල්ලද එලියේ දාගෙන වීල් එකක යන්නේය. තොපිට ඔහොම පන් එකක් ගන්න ලංකාවටම එන්න ඕනෙ බොලව් කියා හෝබෝවාට හිතුනෙන් රට පිළිබඳ අප්‍රමාණ ජාති ආලයක් උපන්නේය. ඉන්දියාවේ සේරෝම වීල් එක වාගේය, කහ පාට වැඩිය. තායිලන්තේ ටුක් ටුක් විසාලය. අපේ එව්වායේ වාගේ රෙකොඩ් බාර් නැත. කොන්ඩේ වවාගෙන පච්ච ගහපු මැක්සා බුවාලා එලවන්නේ නැත. අපේ වීල් මොඩිෆයි කරපුවාම හමර්, ඩිෆෙන්ඩර් වාගේය. හදිසියකට හෝබෝවා යන්නේද වීල් එකේය. පරක්කු වෙච්චි දාට වීල් අයියාව පේන්නේ සුපර් මෑන් වාගේය. 
ලංකාවේ ප්‍රාඩෝ, පැජරෝ, ඩිෆෙන්ඩර්,ඩිස්කවරි එළවගෙන යන බොස්ලා හිතාගෙන ඉන්නේ එයාලා ලයිට් ගහපුවාම අපි එකත්පස්ව අයින් වෙලා එයාලාට යන්ඩ දෙන්ඩ ඕනෑ කියාය. ලඟදී අපේ මාමා එක්ක ගමනක් ගොහින් එද්දී, මනුස්සයා අස්ප වේගෙන් වාහනේ පැද්දේය. හෝස් ගාගෙන ගේ ලඟට විත් වාහනය නැවැත්තූ මාමා ආතබූත කඩාගෙන ගෙට දිව්වේය. මනුස්සයාට දැවැන්ත බරක් ඇති වී ඇත. අස්ප වේගෙන් ඒමට කාරණාව වී ඇත්තේද එයය. මේ සේරෝම වෙන දීහා බලාගෙන හිටි මාමාගේ පොඩි එකා කිව්වේ, අර මහ හයියෙන් ලයිට් ගහගෙන, හෝන් ගහගෙන පාරේ යන මාමලා සියල්ලන්ටම විසාල කක්කා බරක් ඇති බව තේරුණේ දැන් කියාය. මෙව්වා ලිව්වාට කමක් නැත. එව්වායේ යන බොස්ලා අපේ දුප්පත් බ්ලොග් කියවන්නේ නැත. ඒ හින්දා උන් හැමදාම පුරුදු විදීයටම උන්ගේ පැජරෝ එලවනු ඇත. අපි කානු වල බසිනු ඇත. සමහර වාක්‍ය අපි කියා පටන් ගත්තාට මුයන්නෙන් ඉවර වෙන්නේ නැත. ඒ ජීවිතේ හැටිය. 

සාටමොයිකල් වල යන මල්ලිලා ගැන පොතක් ලියන්නට ඇහැකිය. ඉස්කූටි එලෝන අක්කලා, නැන්දලා ලඟින් යනවා නම් කල්පනාවෙන් සිටිය යුතුය. එයාලා වමට සිග්නල් දමා දකුණට කැපීමට හරිම දස්සය. ට්‍රේල් බයික් පදින මල්ලිලා වෙට්ටු දාගෙන යන්නේ හැඬල් එක උඩ වාඩි වෙලාය.අත් දෙක තියාගෙන ඉන්නේ කිහිල්ලේ ගෙඩි දමා තිබෙනවා වාගේය. කන පිටිපස්සෙන් ඇවිත් රෝද උස්සන මල්ලිලා ද ඇත. නිදහසේ යන එවුන් ඒවාට බය වී වැටී බෙල්ල කඩා ගන්නකොට, උන්ට හෙනයක්වත් නැත. හෝබෝවා නම් ඒ වාගේ එකෙක් දැක්කාම 'අනේ වැටියන්!' කියා මතුරන්නේය. සාටමොයිකල් මල්ලිලා වැඩි හරියක් යන්නේ පේමන්ට් වලට. ඉඳහිට පාරේ ද යන්නේය. මෙයාලාට ට්‍රැපික් අදාළ නැත්තේය. උදේ කොළඹ වැඩට යනවා නම් හොඳම වාහනේ සාටමොයිකලේය. සිග්සැග්, නැටි,හෙරින්බෝන්, කතිර ආදී ඕනෑම මැස්මක හැඩේට සයිකලේ පදින්නට අවසර ඇත්තේය. උදේට පොලිස් මාමලාද ඉර කැපුවාට මුකුත් කියන්නේ නැතිය. එයාලා හරි හොඳය. දැන් සිරමැදිරි වල සීසීටීවී හයි කර තිබෙන්නේය. සාටමොයිකලෙන් වැටිලා මල්ලී බෙල්ල කඩා ගත්තදාට ගොසිප් සයිට් එකක රේටිං වැඩි කරදිය හැකිය. නොමිලේ හොඳ පොටෝ ෂූට් එකක්ද කරගත හැකිය. ඔය කියනා තරම් දයියා කූර නැත.

පයිවට්, සීටීබී කියා වෙනසක් නැත. ලඟපාත එයින් එකක් යන්නේ නම් වාහනේ පොඩි කඩේක නවතා තේ එකක් කාරිය බීලා ගියාට කමක් නැත. ඉන්දියාවේ ටාටා මහත්තයා මෙහෙ ටාටා බස් එලෝන හැටි දැක්කා නම් පපුවේ අමාරුවක් හැදී එතනම සෙත්තපෝච්චි වෙන්නේය. හැරී පෝටර්ව ලීකි කොල්ඩ්‍රන් එක වෙනකම් අරගෙන ගිය මැජික් බස් එක චිත්තරපටියේ පෙන්නනකොට මට හිනා ගියේය. අපි හැමදාම යන්නේ ඒවාගේ ලේලන්ඩ් බස්වලය. ඒ වුණාට අපිට කලන්තේ හැදෙන්නේ නැත. බය දැනෙන්නේ නැත. අපි හරි මාරය. බස් මාමලා යන්නේම වමින් හන්දා සර්කස් එකේ කවුරුත් මාරක ලිඳේ යන්නේ නැත. අපිට ඔව්වා සිම්පල්ය. බැරිවෙලාවත් කවුරුත් මේවාගේ බස් එකකට හැප්පුණොත්, හැප්පුනු එකාට දෙයියන්ගේම පිහිටය. මළේ නැත්නම්, නිවැරැද්දේම අමු තිත්ත කුනුහරුප නොමිලේ අහගත හැකිය. 


රටේ ලෝකේ මිනිස්සු රතු ලයිට් එක පත්තු වෙනකොට වාහන නවත්තන්නෝය. කහ ලයිට් එක පත්තු වෙනකොට වාහනේ නවත්තගන්න ලෑස්ති වෙන්නෝය. කොළ ලයිට් එකේදී පරිස්සමට වාහනේ පැදගෙන යන්නෝය. ලංකාවේ රතු ලයිට් එක ටිකක් වෙනස්ය. පොලිසියෙන් හරි කැමරා හරි නැත්නං රතු පත්තු වුණත් ගියාට කමක් නැත. කහ ලයිට් එක පත්තු වෙන පාටක් තියේ නම් ඇක්සිලරේටරේ නප්පියටම පාගා, බැට්මෑන් වාගේ යායුතුය. කොළ පාට ගණන් ගන්නේම නැති තරංය. ඔව්, අපි හරි වෙනස්ය. ට්‍රැපික් ලයිට් වලට නවත්වූ විට පිටිපස්සේ එකා පස්සපැත්තට හෝන් ගහන්නේය. පාර පයින්න කහ ඉරක් ලඟ නතර කලොත් ඒත් පිටිපස්සේ එවුන් හෝන් ගහන්නේය. හැරෙව්වත් හෝන් ගහන්නේය. නිදහසේ පැත්තකට වී එලෝගෙන යනකොටත් හෝන් ගහන්නේය.නිකනුත් හෝන් ගහන්නේය. හෝබෝවා ජපානේ හිටි අවුරුද්දටම වාහනයක් හෝන් ගහනවා ඇහුනේ දෙපාරක් විතරය. ජප්පන් හෙන මෝඩය. 

පයින් යන උන්නාන්සේලාද මීට දෙවනි නැත. පෝන් එකට මූණ ඔබාගෙන කනට හෙඩ්පොන් ගහගෙන මෙයාලා පාරේ ඇවිදගෙන යන්නේ අමරණීය ගෙඩි කාලා වාගේය. ගෙදර ප්‍රශ්න විසඳ විසඳ වාහන එනකල් බලාගෙන ඉඳ එව්වාටම පනින්නෝය. සමහර නංගිලා හිතන්නේ එයාලා පස්ස පද්ද පද්ද බිමට හිනා වෙවී යනකොට අපි වාහන නවත්තාගෙන එයාලාගේ රූප සෞන්දර්ය බල බලා සිටිය යුතු බවය. සමහර ඇන්ටිලා කහ ඉර උඩ ඉඳගෙන බතක් මාළුවක් උයන්නේ නැති ටික විතරය. පාරේ යන මාමලාත්, වාහන වල යන මාමලාත් පාර පුරා බුලත් කෙළ බැරල් ගනන් හලන්න්නෝය. කාරා කෙල ගහන්නේ කාසෙ හැදිලා වාගේය. මෙව්වා කියන්නට ගියොත් හෝබෝවාට පෙෂර් හැදෙන්නේය. ඒ හින්දා අපේ තිබුණු දෙදාස් පන්සීය ගැන හිතාගෙන ආඩම්බරයෙන් හිතට අරන් ඉන්නේය. ගෝල්පේස් එකේ සේනානායක මාමා ගිනි අව්වේය. කාක්බෙටි නාලාය. ඒ අතින් හෝබෝවාට කරදරයක් නැත. හෝබෝවා හෙන වාසනාවන්තය. 

Wednesday, September 21, 2016

අත්තම්මාගේ රස කතා - චණ්ඩි

එක එක අටමගල් පස්සෙ හිත රෝන්දෙ දුවන්න ගත්තාම කොරන වැඩෙත් හරියට කොරාගන්න බැරි වෙනවානෙ...මේ ටිකේම ලියාගන්න නිදහසක් නෑ හිතට.ඕං දැං හරි.
                                                                                 -මීට හෝබෝ-


අද නිවාඩු දවසකි. නිවාඩු දවසට අත්තම්මා කලින් වැඩ අහවර කර පුටුවකට වෙයි. අත්තම්මාගෙන් කතන්දර ඇසීමට කදිම වෙලාවකි එය.


අපි පොඩි කාලෙ ගංගොඩේ ගෙවල් තිබුණෙ ඈතින් ඈත. හුඟාක්ම ගෙවල් අහ තියෙන්නෙ කැලෑවල්. දවල් කාලෙට වගේ වගක් නැතිව කැලේ ඇවිද්දාට රෑට නම් ඉතින් ඒ දිහාව බලන්නත් බයයි. වතාවක් මං පොඩි කාලෙ හොඳහැටි බයවුණා. එදා වෙනදාටත් වඩා ටිකක් කළුවර දවසක්. අපෙ අම්මා කුසියේ උය උයා හිටියෙ. අල්ලපු වත්තෙ ඈත තියනවා ගෙයක්. අම්මා උයන කල් මං පස්ස දොර පැත්තෙන් ඔය පැත්ත බල බලා මොනාදෝ කරමින් උන්නා. එක පාරටම මං දැක්කා මහ විසාල මිනිහෙක්, පොල් ගෙඩි වගේ අලි ඇස් ගෙඩි දෙකක් තියන, මගේ දිහාවේ බලාගන ඉන්නවා කිසිම හැලහොල්මනක් නැතිව. මං ගිරිය යටින් හූවක් තියාගෙන කුස්සියට පැනලා අමාගෙ ඇඟේ එල්ලුණා.කවුද මිනිහෙක් අපේ ගේ පැත්ත බලාගෙන ඉන්නවා කියලා මං අම්මට කිව්වෙ වෙව්ල වෙව්ල. ඉතින් අපේ අම්මා මාව එක අතකින් අල්ලගෙන, අනිත් අතින් ලිපෙන් ගත්තු ගිනි පෙනෙල්ලකුත් අරගෙන මං අර මිනිහා ඉන්නවාය කියලා කියාපු තැනට වෙනකම්ම ගියා නෙව මාවත් ඇදගෙන.ඒ ගියාට එතන මොකෙක්වත් හිටියෙ නැහැ. හැබැයි එහෙම මාව ඇදගෙන ගිය එකෙන් හිතේ තිවුණ ගැස්සිල්ල නම් අඩුවෙලා ගියා. කොහොමත් ඒ කාලෙ ගං වල හැමදාම රෑට බෙර ගහනවා. තොවිල් නටනවා. ඒවාටත් අපේ හිත ගැස්සිලානෙව තියෙන්නෙ. ගං වල මිනිස්සුන්ගෙ අත් පුරා එක එක නූල් ගැට ගහලා තියනවා. හැම එකාම බෙල්ලෙ මොකාක් හරි තඹ සුරයක් එල්ලාගෙන තමා ඉන්නෙ. 

පොඩි කාලෙ හොල්මන් වලට බය වුණාට ගැටිස්සි කාලෙ නම් මං යකෙකුටවත් බය නෑ...අත්තම්මා පුරාජේරුවට කියයි. ගමේ කොල්ලො එහෙම නිකමටවත් වචනයක් කියන්නෙ නෑ. මං පාරේ යනකොට ඉස්සරහට කොල්ලො රොත්තක් එහෙම ආවොත් උන් උන්ගෙ කෑකෝව එහෙම නවත්තලා පෙරහැරේ වගේ එකා පස්සෙ එකා වැටිලා යනවා මාව පහුවෙනකල්ම පාරේ අනික් පැත්තෙන්. ඉස්සර මට තිවුණා වෙනම නාන්න ලිඳක්. අපේ ඉඩම අක්කර අටක් ඉතර ලොකුයි. වැඩි හරියක් බැද්ද. ඔය අක්කර අටෙන් පහු තිබුණේ වෙල. ඔය වෙලේ තාත්තා ලිඳක් කපා තිබුණා පොඩි. ඒකේ නාන්න දුන්නෙ මට විතරයි. මං යනවා නාන්න තනියම ඔය ලිඳට. ඒ කාලෙ මට තිබුණා ඉතා දිග කොණඩයක්. නාලා අහවර වෙලා මං ගෙදර එන්නෙ තෙත කොණඩෙ අග්ගිස්ස පනිට්ටුවට දාගෙන. වතාවක් මට මගුල් යෝජනාවක් ගෙනාපු නවගමුවෙ දිහා කපුවෙක් කීවාලු අපේ තාත්තාට, අනේ වෙද මහත්තයෝ අපට දුව දෙන්නෙ නැතිනම් කොණ්ඩෙ හරි දෙන්නය කියලා, අත්තම්මා එය සිහි කරන්නේ ආඩම්බරයෙනි.  


අපේ ඔය අයියා ඉන්නවනෙ. එයා ඉගෙන ගත්තෙ බේසික් විද්‍යාලෙ. හොඳට ඉංග්‍රීසි එහෙම පුළුවන්. මහදෙණිය පැත්තෙ තිබුණා අපේ විසාල කුඹුරක්. කුඹුරු හාන්න මී හරක් ගේන්න වතාවක් ගියා අපේ අයියයි, තාත්තයි. අර ඉඩං හොරට ලියාගන්න කර්නිස් අත්තාගෙන් තමා මී හරක් ඉල්ලගන්න යන්නෙ. ඔහොම ගිහින් එනකොට මේ ගොල්ලො පහුකරගෙන එනවා හෙට්ටි ගෙදර කියලා ගෙයක්. ඔය හෙට්ටි ගෙදර ඉන්නවා ආවිසා කියලා එකෙක්. ඌ නාහෙට අහන්නෙ නැති අලුකුත්තේරුවෙක්. මොකාක් හරි කෝන්තරේකට ඔය ආවිසා අපේ අයියා එක්ක බහින්බස් වෙලා අතක් උස්සන්න හදලා. ඔය පයිංඩේ වෙන පරක්කුවට ආවා අපේ ගෙදරට. ඈතින් පේන ගිනි පන්දම් එළිය දිහා බල බලා මං ගෙදර කැරකි කැරකි උන්නෙ කොටියෙක් වගේ කේන්තියෙන්. ඒ කාලෙ මගේ ලඟ තිබුණා බස්තමක්. මං ගත්තා බස්තම අතට. අම්මා කෑගැහුවා ගෙයින් අඩියක්වත් එළියට එහෙම තියනවා නොවෙයි කියලා. මං කොහෙද එව්වා අහන්නෙ, බස්තමත් අරං මං පැන්නා එළියට. කෙලින්ම ගියේ ආවිසාලගේ ගෙදරට. යනකොට තාමත් අයියයි, තාත්තයි එතන. ආවිසත් ඉන්නව. මං ඇහුවා අයියගෙන් මොකද කියලා. මූ අපට ගහන්න ආවානෙ, අයියා කිව්වා. මං ඉතිං ආයෙ බල බලා උන්නෙ නෑ, මැද්දට පැනලා ගැහුවා ආවිසාගෙ කන හරහා රත් වෙන්න පාරක්. ඊට පස්සෙ ඌට හොඳ හැටියට බැනලා පන්නා ගත්තා. මට ඒකාව කොහොමටත් පෙන්නන්න බැරුවයි හිටියෙ. වතාවක් ඌ රදා කෙල්ලෙක්ව ඇරන් උන්නා. ඊට පස්සෙ චූටි කියලා කෙල්ලක් තියාගෙන ඒකිට ළමයි දෙන්නෙක් දීලා ඒකිව විනාස කළා. ඒ කාලෙත් දැන් වගේම තමයි, මහ වනචර මිනිස්සු උන්නා, උං කරන දේවල් පත්තරේ යන්නෙ නෑ, එච්චරයි වෙනස.  

වතාවක්, මට එතකොට වයස අවුරුදු පහළොවක් දාසයක් විතර ඇති, නාන්න ගිහින් ආපිට ගෙදර ආ පයට මාව සිහි නැති වෙලා වැටුණාලු. අපේ තාත්තා වෙදමහත්තයෙක් වුනාට මොකක්දෝ හිතිලා එයා මාව ඉස්පිරිතාලෙ අරගෙන ගිහින් තියෙනවා. කිසිම සිහියක් නැතිව මම දවස් දාහතරක් ඒ විදියට ඉඳියාලු. දොස්තරලා දන්න තරම් හැම දේම කලත් මට සිහි ආවෙම නෑලු. අන්තිමට දොස්තරා කිව්වාලු තාත්තාට මේ ළමයගෙ ලෙඩක් හොයාගන්න බෑ, සිහි නැති එක තමයි තියෙන්නෙ, ඒ නිසා මෙයාව ගෙදර අරන් යන්න කියලා. තාත්තත් ඉතින් මාව ආපිට ගෙදර ගෙනල්ලා. අපේ අක්කගෙ මනුස්සයාගෙ නම චාර්ලිස්. එයාට උන්නා හිතවත් කට්ටාඬියෙක්. දවසක් කොහේද යන අතරේ චාර්ලිස් අයියාට ඔය කට්ටඬියාව මුණගැහිලා තියෙනවා. මට වෙලා තිඅයන සන්තෑසිය කීවාම, කට්ටාඬියා කිව්වාලු යමු එහෙනම් ඔය කියන ළමයාව බලන්ට කියලා. එහෙම ඇවිල්ලා මාව බලලා වතුර ටිකකට මොනාද මතුරලා ඉස්ස විතරයි, දවස් දාහතරක් සිහි නැතිව වැටිලා උන්නු මම නැගිට්ටාලු. නැගිටලා අර කට්ටාඬියා දිහා බලාලා කිව්වාලු, 'මෙයා ඔය කොච්චර කළත්, මෙයාගෙ හිත හොඳ නෑ' කියලා. ඊට පස්සෙ කට්ටාඬියා මට ලොකු තොවිලයක් කලා. අපේ ගමේ මිනිස්සු විතරක් නෙමෙයි, පිටගම්කාරයොත් ආවා ඒ තොවිලේ බලන්න. ඒ තරම් විසාලෙට කලේ. දැන් ඉතින් ඔය තොවිලේ අස්සෙත් මම එතන හිටපු කට්ටඬියාගෙ දෙවනියගේ බෙල්ලට පැනලා මිරිකගෙන හොඳටෝම ඌට තඩිබෑවලු. ඕං ඊටපස්සෙන් පහු තමයි අර මහ කට්ටඬියා කියලා තියෙන්නෙ, මට ඒ කරලා තිබුණ කොඩිවිනේ කරවා ගත්තෙ එයාගෙන්ය කියලා. මගෙත් එක්ක තරහක් හිතේ තියාගෙන උන්නු අපේ නැන්දා කෙනෙක් තමයිලු මිනිහාගෙන් මේ කොඩිවිනේ කරගෙන තියෙන්නෙ. ඒත් වෙද මහත්තයාගේ කෙනෙක් කියලා දැනගෙන උන්නෙ නෑ, එහෙම දැනගෙන උන්නා නම් කවදාවත් එහෙම කරන්නෙත් නෑ කියලා තමයි කට්ටඬියා නම් කිව්වෙ. අන්තිමට කොහොමහරි ඔය කොඩිවිනේ කලාය කියපු අපේ නැන්දා ඊට ටික කාලෙකට පස්සෙ බස් එකකට පැනලා දිවි නසා ගත්තා, පව්කාර ගෑණියක්...අත්තම්මා මොහොතකට අපවත් අතහැර දුර ඈත අතීතයේ තනිවෙයි. 

ඒ අතරේ හෝබෝවා හෙමීට මගේ හෝබෝ කතා දිහාට ඇදී යයි.ජීවිතයට ද ඔබට ද මට ද ලෝකයට ද කතාවක් ඇත. ඒ සෑම කතාවකට අනන්‍යතාවක් ඇත. හෝබෝවා දඩයමේ යන්නේ ඒ කතාන්තරය සොයාගෙනය. 

Friday, September 2, 2016

මාටිං අයියාගේ කෑම වට්ටෝරුව

මාටිං අයියා මේ ලඟකදී සෙල්ලම් අහස්යාත්‍රාවක ඉස්සරහා රෝදය ගිල දැම්මේය. ගෙදර මිනිස්සුන්ගේ වාසනාවකට වාගේ අහස් යාත්‍රා රෝදය කුඩාය, ප්ලාස්ටික්ය. නැත්නං ගෙදර කාටකාටත් ඉන්න වෙන්නේ අහස්යාත්‍රාවක් ගිල්ලා වාගේය. අහස්යාත්‍රා රෝද මාටිං අයියාගේ සාමාන්‍ය ඩයට් එකට අඩංගු නොවුණත් මාටිං අයියාගේ කෑම රුචිය සාමාන්‍යයෙන් ටිකක් වෙනස්ය. මාටිං අයියාට වැඩිය කන්න බැරිය. අපට වඩා ටිකක් කන්නේය. කන ඒවා යන්නේ කොහාටද කියා හොයාගන්නට බැරිය.ඉස්මුරුත්තාවට කෑ දවසට මාටිං අයියාගේ බ්‍රෙස්ට් කටු ටික අමාරුවෙන් ටොම්බා සයිස් වූ බඩ ගෙඩිය බදාගෙන සිටී. රෝදය ගිල දැමූ පසු මාටිං අයියා සහලෝලාම බය වී සිටියාට ගෙදර ඈයින්ට බය පෙන්වන්නේ නැත. ඇඳට වී බයටම පාන්දර එක දෙක වෙනකම් අවදිව සිටිනා මාටිං අයියා ගෙදර ඈයින්ව සනසයි. "අයියෝ බය වෙන්න එපා, දොස්තර මහත්තයා කිව්වානෙ හෙට උදේට රෝදෙ එයි කියලා ටොයිලට් යද්දි...ඒ හින්දා ඔයාලා බය වෙන්න එපා....ඕක පොඩි දෙයක්නෙ..." ගෙදර කවුරුත් මාටිං අයියාගේ පසුදින වැසිකිලි ගමන පිළිබඳ මහත් වූ සිහින දකිමින් නින්දට වැටෙති. 


මාටිං අයියා අහස්යාත්‍රා රෝද වල සිට ඕනෑම දෙයක් කා දැමීමට හපනෙකි. "මේ ගෙදර මිනිස්සු මට කැඳ ටිකක්වත් හදලා දෙන්නෙ නැති හැටි..." වෙලාවකට මාටිං අයියා දෙවොල් තියයි. කොළ කැඳ, ලුණු කැඳ, බත් කැඳ ආදී ඕනෑම කැඳ වර්ගයක් මාටිං අයියා ගිල දමන්නේ පුදුමාකාර සතුටකිනි. "මේ කණුරාකරලා මට හෙටවත් මුං ඇට ටිකක් තම්බලා දෙනවද..." මාටිං අයියා කියන්නේ ආතෙක් වගේය. හොඳ හැටි තැම්බූ මුං ඇට හෝ කව්පි සමග යහමින් මිරිස් එක්කර ගලේ අඹරා පදමට ලුණු ද දෙහි ද දැමූ ලුණුමිරිසක් සමග කෑමට ලැබීම මාටිං අයියා සලකන්නේ දිව්‍ය භෝජනයක් ලැබුණු ගානටය. පුසුඹ ගහන ලුණුමිරිස් තලියක් ද වදෙන් පොරෙන් කාට හෝ කියා ගා ගන්නා පොල් තලයක් ද සමග කව්පි පිඟන් දෙකතුනක් අහවර කිරීම මාටිං අයියාට මහ කජ්ජක් නොවේය. ගෙදර තම්බන කඩල මුට්ටියටද සිදුවන්නේ ඔය සන්තෑසියමය. මුං ඇට කිරිබත් මුට්ටියට ද සිදුවන්නේ ඒ කතන්දරයම ය. බත් පිඟානක් එක්ක යහමින් ඉඟුරු, සුදුළුූණු,ගම්මිරිස්, මිරිස්, තුනපහ සමග රතු කළු වෙන්නට ඉවූ උණු උණු කුකුළු මස් කරිය එක හුස්මට කා දමන මාටිං අයියා කට්ට කරෝල හොද්ද සමග අඟුණ කොළ හෝ කුරිඤ්ඤං කොළ ඇම්බුම ද ගිල දමන්නේ ඒ හා සමාන ගැම්මකින්ය. තිත්තට කරවිල ද, ඇඹුලට අච්චාරු ද, දැවිල්ලට රතු සම්බෝලය ද කන්නට හපන්කම් පාන මාටිං අයියා, බතුයි සුදට පරිප්පුයි තිබුණ ද බෑ නොකියා ඉන් ද බත් පිඟානක් දෙකක් කා දමන්නේය.


මාටිං අයියා බිත්තර බුල්සායි කර පාන් එක්ක කන්නට ද ආසාය.ඊට ලූණු ගෙඩියක් කපා පොඩියට ලුණු මිරිසක් ද ඇත්නම් රසේ බැරිය. නිකම් තැම්බූ බිත්තර ගෙඩි දෙක තුනක් දෙනවා නම් කෑම ද මාටිං අයියාට ඒ හැටි කාරියක් නොවේය. අලුත ගෙනා ටෝස්ටරයෙන් පිලිස්සී උඩ පනින පාන් පෙති චරබර ගා නිකම් කන්නටද, ඒවා මත මාජරින් හෝ බටර් තවරා කෑමට ද මාටිං අයියාට ඇත්තේ නොතිත් ආසාවකි. හවහාට චූං පාං අයියා පාරේ පන්නාගෙන යන මාටිං අයියා අඩුගාණේ කිඹුලා බනිසකට හෝ වග කියයි. සීනි බනිස්, මාළු බනිස්, සොසේජ් බනිස්, ඉස්පන්චි ආදී එකී මෙකී ඕනෑ දෙයක් එපා නොකියා කන මාටිං අයියා කන්න මුකුත්ම නැත්නම් අඩුම ගාණේ රෝස් පානක් එක්ක කුකුළු මස් කරියේ හොද්දකටවත් වග කියයි. කුස්සියේ බිම වාඩිගෙන මොකක් හෝ හොද්දක් ඉවූ දැලි වලඳක බත් අනාගෙන කන්නට මාටිං අයියාට ඇත්තේ පුදුමාකාර ආසාවකි. හොද්ද අඩිය මොකක් වුවත් පොල්කටු හැන්ද පුරවා බත් හැඳි දෙකක් වුවත් මහ අමාරුවක් නැතිව ගිලබත් කිරීම මාටිං අයියාට මහ කජ්ජක් නොවේය. දැලි වලඳ වටේ නටමින් ඉහේ පටන් දෙපතුල වෙනකම් දැලි නාගෙන බත් කෑමෙන් මාටිං අයියාගේ ඇස් සතුටින් දිලිසෙන්නේය.   

කොටුවේ පිලාවුස් එකෙන් චීස් කොත්තු ගෙනත් දුන් දා පටන් මාටිං අයියාට පුදුමාකාර කොත්තු පිස්සුවක් ගසා ඇත. මහ රෑ මර නින්දේ හිටි වේලාවක ගෙනා කොත්තුව මාටිං අයියා  ඇහැරවා කවන්නට වූ විට, හීන හතක් දැක්කද කොත්තුවෙන් ටිකක් පිඟානකට බෙදා දෙන ලෙස මාටිං අයියා ගෙදර ඈයින්ට අණ කළේය. නින්දෙන් වැටි වැටී පුටුවේ ඉඳගෙන දෙපාරක්ම චීස් කොත්තු බෙදාගෙන කෑ මාටිං අයියා පහුවදා අලුතින් චීaස් කොත්තු කෑමට සිහින මවයි. නිතරම කොත්තු ගැන මතක් කරයි. චීස් කොත්තු කඩේ ඇරලාද විමසයි. ආයේ චීස් කොත්තුවක් ගේන්නේ කවදාද අසයි. ගෙදර නිකම් ඇවිදින ගමන්, "මං චීස් කොත්තු කන්න පුදුම ආසයි" කියා නිවේදනය කරයි. කඩෙන් කොත්තු කෑමට බලමණ්ඩලයෙන් කචල් නිසා මාටිං අයියාගේ කොත්තු හීනය පිරිමහන්නට ගෙදරදී කොත්තු හදන්නට තීරණය වන්නේ මෙවැනි පසුබිමකදීය. 

කොත්තු හදන ගෝදම්බ රොටී පැකට් එකක් ද, එළවළු ද, කුකුළු මස් ද, චීස් කෑලි කීපයක් ද රැස් කරගෙන ගෙදර කවුරුත් යමරෙට කොත්තු හදන්නට කුස්සියට එක් රොක් වී සිටින අයුරු දකින් මාටිං අයියාට ඉහේ මලක් පිපුණා වාගේය. කැරට් කැපෙන පිහිය දෙසටත්, මස් තැම්බෙන ලිප දෙසටත් පිස්සුවෙන් වාගේ දිව යන මාටිං අයියා, ඔයාලා හැමෝම මට කොත්තුව හදන්න උදව් වෙනවාදැයි අසමින් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් උඩ පනියි. පුටුවක් තබා ඈතින් සිට ලිප තබා ඇති හට්ටියට එබිකම් කරයි. කොත්තුවට දාන්නේ මොනාදැයි විමසයි. කොත්තුව හදන පිළිවෙල අසයි. දැං කමුදැයි අසයි. මේසය උඩට වැඩැම්මවූ ගෙදර හැදූ කොත්තුව බෙදා දෙනකම් මාටිං අයියාට සිහියක් නම් නැත. කොත්තුවේ මුල්ම කට හුස්ම කටක්ද නොගෙන කා දමන මාටිං අයියා, මේ කොත්තුව නම් රහේ බැරි බවත් එය ඉතා මරු බවත් කියයි. අනෙක් අයටද කොත්තුවේ මරුව බලාගැනීමට  කොත්තු බෙදාගෙන කන ලෙසත් කියයි. ඔයින් ටික කාලයකට මාටිං අයියාගේ කොත්තු සිහිනය දින කීපයකට සමනය වෙයි.

කන්න ඒ හැටි පිරියක් නැති දාට මාටිං අයියාගේ එකම ආසාව හොඳ හැටි ලුණු ඇඹුල් දැමූ සම්බෝලයක් එක්ක සුදු බත් කෑමය. සම්බෝල එක්ක නම් බත් පිඟානක් පිරෙන්නම කා දමන්නට මාටිං අයියා සමත්ය. ඉඳහිට බත් කවන්නට කියන මාටිං අයියා ස්වාධීනව අනාගෙන බත් කෑමට වැඩියෙන් කැමතිය. හාස් හූස් කියමින් සම්බෝලය කන මාටිං අයියා වතුර ඉල්ලමින් ගේ පුරා දුවන්නේ වතුර කරාමයට තවම උස මදි හන්දාය. ඉස්මුරුත්තාවට කට දැවිල්ල වැඩි දවසට පුටුවකට නැගගෙන මේසයට කිට්ටු කරන මාටිං අයියා හකුරක් හෝ සීනි කැට ටිකක් කටේ දමාගෙන හප හපා යයි. පහුවදාට මොට්ටසෝරි ගෙන යන්න කෑම පෙට්ටියට දාන්නේ මොනවාදැයි අසමින් එදා කෑම වට්ටෝරුව නිමා කර මාටිං අයියා නිදා වැටෙයි. 

Thursday, August 18, 2016

දාලිත්සෝවත : ජාදුමානි

මං ජාදුමානි. ඉපදුණේ ඔරිස්සා ප්‍රාන්තෙ. ඉන්දියාවෙ දුප්පත්ම ප්‍රාන්තයක් තමයි ඔරිස්සා කියන්නෙ. මගේ ගම භන්ජාපාලි. ඒක පුංචි ගමක්. මං හීන කුලේ. ගාන්ධි ජී නම් කිව්වෙ අපි හරිජනයො කියලා. හරිජන කියන්නෙ දෙයියොන්ගෙ ළමයි කියන එකයි. මං නං දන්නෙ නෑ අපි මොන දෙයියන්ගෙ ළමයින් ද කියන්න. සමහරවිට ඒ ගාන්ධි ජී ගේ දෙයියො වෙන්ඩ ඇති. මං දන්නෙ නෑ ඒ දෙයියො මොනතරම් සාධාරණයි ද කියන්න. හැබැයි ඒ දෙයියෝ කියනවා අපි අතින් අල්ලන්නවත් තරම් නොවෙන අසික්කිත වර්ගයක් කියලා. කොහොමින් කොහොමහරි අපේම කියලා ඡන්දකොට්ඨාස වලින් අපේ ජාතියෙ මිනිස්සුන්ව බලයට පත් කරනවට (Granting the Communal Award) ගාන්ධි ජී කැමති වුණේ නෑ. මං දන්නෙ නෑ ගාන්ධි ජී මොන තරම් සාධාරණයි ද කියන්න. සමහරවිට මං වැරදියට හිතාගෙනවත්ද දන්නෙ නෑ.අපි දාලිත් මිනිස්සු (Untouchables).අපි ලෝකෙ ගැන මොනවා කියලා දන්නවටද........

මං උපන්නෙ ගාන්ධා කුලේ. හීන කුලේ අයව තව එක එක කුල වලට බෙදිලා තියනවා. හින්දු දෙයියො කියන ප්‍රධාන කුල හතරට අපි අයිති නෑ. අපි පහළ කුලේ (low caste) අය නෙවෙයි. හරියටම කිව්වොත් අපිට කුලයක් නෑ. අපි කුලෙන් පිට මිනිස්සු (out caste). ඔය කියන විදියට අපි බොහෝම නරක උදවිය වෙන්න ඕනෙ. 

මායි මගේ සනුහරේමයි ගැතිකං කරේ හින්දු ඉහල කුලේ අයගේ වැඩකාරයෝ, කම්කරුවෝ විදියට. හීන කුලේ අපට ඉඩං අයිතියක් නෑ. ඉස්සර කාළේ අපේ කුලේ ඈයින් ජීවිතේ සරි කරගත්තෙ බෙර ගහලා, රෙදි වියලා. අපිට ගමේ ජීවත් වෙන්ඩ අයිතියක් නෑ. අපි හිටියේ ගමින් පිට අටවාගත්තු ගුබ්බෑයම් වල. අපි කවුරුත් කළේ ගමේ හින්දු පවුල් වල දාසකම්. අපේ දුප්පත්කම ඉහටත් උඩින්. අපිට මුකුත් වෙළහෙළඳාමක් කරන්න තහංචි. රස්සාවක් කරන තරමට ඉගෙනගන්නත් තහංචි. අපේ පරම්පාරා ගාණක්ම කළ දාසකම්, වැටුණු කඳුලු, හළපු ලේ ගංගානම් ගඟට වඩා බොහොම උසයි.
සාමාන්‍ය මිනිස්සුන්ට හම්බුවෙන කිසිම පොදු පහසුකමක්වත් ලබාගන්න අපට අයිතියක් නැහැ. මං ඉස්කෝලේ යද්දි වාඩි ගන්න ලැබුණේ පන්තියේ මුල්ලක. ඉහළ කුලේ ලමයින්ගෙන් අපිව ඈත් කරලායි තිබුණේ. දවල් කෑම වෙලාවට ඉස්කෝලෙන් කාටත් කෑම දුන්නා. අපිට දුන්නේ වෙනමම වාඩි කරවලා. ඉහල කුලේ ලමයි කෑම කන පළාතටවත් අපි හීන කුලේ ළමයින්ට යන්න දුන්නෙ නෑ. දවල් විවේක වෙලාවට ඉහළ කුළේ ළමයි ක්‍රිකට් ගහනවා. මාත් හරි ආසයි ක්‍රිකට් ගහන්න. ඉස්කෝලෙ වැට මායිමෙන් එහාට වුණත් මට පුළුවන් හයේ පාරවල් ගහන්ඩ. එතකොට හැමෝම මට අත්පුඩි ගහාවි. ඒත් ඉහල කුලේ ලමයි අපිව ක්‍රිකට් ගහන්න ගන්නෙ නෑ. ඉන්දියාව කීපවතාවක්ම ක්‍රිකට් ලෝක කුසලානෙ දිනුවාලු. අපිත් හරි ආසයි ක්‍රිකට් ගහන්න. ඉහල කුලේ අය දිහා කෙලින් බලන්න අපට තහනම්. ඒ නිසා  ඒ කාටවත් අපේ ඇස් වල දුක වේදනාව නොපෙනෙනවා ඇති.

අපේ ගන්ධා මිනිස්සු සේරම පාරවල් හදන තැන් වල, ගෙවල්, ගොඩනැගිලි හදන තැන් වල අතේපයේ වැඩ තමයි කරන්නෙ. මං කාලයක් හින්දු ඉහල කුල ගොවිපොළ වල කුලී වැඩ කළා. කුළී වැඩ කරද්දී අපට එයාලාගෙ ගෙවල් පලාතටවත් එන්න දෙන්නෙ නැහැ. අපට පිපාසාවට වතුර ඩිංගක් ලිඳකින් බොන්ඩ අවසරයක් නැහැ. වැඩ කරලා හොඳටෝම පිපාසා වුණාම එයාලා කවුරු හරි අපේ අත් වලට හරි අපේ භාජනේකට හරි වතුර වක්කරනවා. එහෙම ලැබෙන වතුර ටික තමයි බොන්නෙ. එයාලගේ වතුර භාජන ලඟටවත් යන්න දෙන්නෙ නෑ අපට, එව්වා අපිරිසිදු වෙන්වාලු.  

මගෙ අම්මටත් තාත්තටත් අකුරු සාස්තරේ බැහැ. තාත්තා ගොවිපොලක කුලී වැඩ කළා. එයාට ලැබුණේ රුපියල් තිහයි දවසේ කුලිය. ඒ සොච්චමින් තමයි අපේ මුළු පවුලම නඩත්තු වුණේ. සමහර කාල වලදි ඒ සොච්චමත් ලැබුණේ නැහැ. මට මතකයි මීට අවුරුදු කීපයකට උඩදී ආපු සීත කාලේ මහපොළොවට එක වැහි බිඳක් වැටුනේ නැහැ. වැස්ස හීන වුනාම ගොවිපොළ වල වැඩ නවත්වනවා. වැඩ නැවතුවාම අපට කුලී වැඩ නැහැ. ඒ මුළු අවුරුද්දටම හරියකට වැස්ස නොවැටුණු නිසා සේරම ගොවිපොළවල වැඩ නතර වුණා. ඒ සීත කාලේ අපි දවස් ගණන් නොකා නොබී හිටියා. ඒක බොහෝම අමාරු සීත කාලයක්. 

*හෝබෝගේ සටහන: එහෙම අමාරු සීත සමයක් ගෙවාපු ජාදුමානිට දැන් වසන්තය උදා වෙලා. එයා හීන කුල මිනිසුන් වෙනුවෙන් හඬ නගපු ආචාර්ය අම්බෙඩ්කාර් මහත්මයාගේ අඩි පාරේ යන, බෞද්ධ දර්ශනය ප්‍රධාන කොටගත් නාගලෝක කියන බෞද්ධ මධ්‍යස්ථානයත් එක්ක සම්බන්ධ වෙලා, ජවහල්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරමින් ඉන්නවා. තමන් වගේ හීන කුලයේ ඉපදීම නිසා නොයෙක් කරදර කම්කටොළු වලට මුහුණ දෙන දාලිත් ජනතාව වෙනුවෙන් සමාජ සේවා කටයුතු වල නිරත වෙනවා. ජාදුමානි තමන්ගේ කතාව ලෝකයටම කියන්නෙ තවමත් සීත සමයට හසු වෙලා ඉන්න දාලිත්වරුන්ට වසන්තය උදා කරන බලාපොරොත්තුවෙනුයි. මට ජාදුමානිගේ ජීවිතෙන් එක මොහොතක් හමු කරලා දෙන්නෙ ඒ වගේ දාලිත්වරයෙකුව සිට දැන් මහණ දම් පුර භන්තේ සුගත හාමුදුරුවෝ. මට භන්තේ සුගත හාමුදුරුවන්ව මුනගැහෙන්නෙ සාසනේට යන්න කලිනුයි. ඒ කාලේ එයා දීපක්. මට දීපක්ව මුණගැහුණු හැටි තව දවසක කියන්නම්. 

Tuesday, August 16, 2016

අත්තම්මාගේ රස කතා-ඉස්කෝලේ ගමන

*ටික දොහකින් ලියන්නෙ. බැරි වුණා ලියන්න.කවුරුත් හොඳින් ඉන්නවාය කියලා හිතනවා. :)

අපූරු බෑණෙකු වන අපගේ තාත්තාගේ දවසේ ලොකුම රාජකාරිය උදැහැනැක්කේම අත්තම්මාට කියවීමට මොකක් හෝ දවසේ පත්තරයක් උස්සාගෙන ඒමයි. අත්තම්මාද බෑණා පොඩ්ඩ ගෙන එන පත්තරය කියවන්නේ බොහෝම ඕනෑකමකිනි. රටේතොටේ දවසේ විස්තර ඕ අපට වඩා දනී. පත්තරය ඔඩොක්කුව මතට ගන්නා අත්තම්මා පත්තරයේ බර බලයි. එයි කාලේ සිළුමිණ පත්තරයක් සත පහයි, මට ඒ පත්තරේ උස්සාගන්නවත් බෑ. එයි තරමට බරයි.අත්තම්මා මුල් පිටේ විස්තර බලන ගමන් කියයි. ඔබ්සර්වර් පත්තරේ වේකන්සි පිටු ගොල්ලෙන් අම්මා මල්ලීට යහමින් උදේට බත් බඳින හැටි හෝබෝවා මතක් කරගන්නේ හිනාවක් ද හක්කේ ගසා තලු මරන ගමන්ය. 

පත්තරය පුරා ඇති ගං වතුර විස්තරේ කියවමින් අත්තම්මා හූල්ලයි. ඉස්සර අපටත් හරීයට ගං වතුර, ඇය කියයි. ඒත් ඉතින් කොයි ගං වතුරටත් ඒ කාලේ අපි ඉස්කෝලෙ යනවා. අම්මලා තාත්තලාටත් ගානක් නැහැ. බයකුත් නැහැ. ගං වතුර කාලෙට අපි ඉස්කෝලේ යන්නේ කොල්ලෑවකින්. එයික පදින්නේ කොලුවෙක්. කැලණි ගඟ ගලලා ගංකරේම සප්ත මහා සාගරේ වගෙයි. කොල්ලෑවේ යන්නෙ මායි, මගෙ අයියයි, කොල්ලෑව පදින කොලුවයි ඉතරයි. හිටි ගමන් කොල්ලෑවට ඈතින් කිඹුල්ලු එහෙමත් යනවා. ඒත් අපි බය නෑ. මොකද අපි හිතාගෙන ඉන්නෙ උන් කබරයි කියලා. 

අපි ඉස්කෝලෙ යන්නෙ ගොඩැල්ලෙන් චූටි කැලේට, ඊට පහු ආණ්ඩුවේ කැලෙන් පට්ටියාවත්ත ගමට. ඉන් පස්සෙ කොතලාවල හංදියෙන් කඩුවෙල පැත්තට තමා ඉස්කෝලෙ තිවුණේ. ඒ කාලෙ අපි පොඩි ළමයි. ඉස්කෝලෙ ළමයින්ට තමා කියන්නෙ ඉස්කෝලෙ ගාන්න ගොම ගේන්ට කියලා. පොඩි කෙල්ලො ලව්වා ඉස්කෝලෙ බිම ගොම පිස්සෝනවා. පිරිමි ළමයි උදලු වලින් මැටි දානවා. ලොකු ගුරුන්නාන්සෙයි, පොඩි ගුරුන්නන්සෙයි තමා අපි ගොම ගානෙව්වා පරීක්ෂා කොරන්නෙ. තව හිටියා කවුදෝ අපේ නෑදෑවෙන කෙනෙකුත්. 

අපිට ඉස්කෝලෙ උගැන්නුවේ සිංහල, ගණිතය. ඉස්සරෝම වෙලා ගන්න තිබුණේ ඉස්කූල් වින් එක. ඉස්කූල් වින් එක කියන්නෙ ඉස්කෝලෙන් තියන විබාගෙ. ඊට පස්සෙ අවුරුද්දකින් ප්‍රාරම්භෙ. එයි විබාගෙට එනවා පිටින් ගුරුන්නාන්සෙ කෙනෙක්. අපි එයැයිට කියන්නෙ පාඩම් මහත්තයා කියාලා. එයැයි නමින් ගුණසේකර. පාඩම්ම හත්තයා එනකොට ඉස්කෝලෙ ළමයි සේරෝමලා දෙපැත්තෙ හිටගෙන එයැයිට ආචාර කරන්න ඕනෙ. ඉස්කෝලෙ ගුරුවරු එදාට අයින් වෙලා බලාගෙන ඉන්ට ඕනෙ. ඉන් පස්සෙ පාඩම් මහත්තයා ප්‍රශ්න පත්තර වගයක් දෙනවා. අත්තම්මාගේ මුහුණේ හීනියට හිනාවක් පහල වෙයි. ගුණසේකර පාඩම් මහත්තයා අපේ නෑදෑයෙක් වෙනවා. අපි ඉතින් වැඩ කළත් නොකළත් අපව පාස් කොරෝනවා!

අවසාන විභාගෙ ලියන්න වයස් මට්ටමක් නෑ. එයික ලියන්න හොඳට වැඩ කරන්න ඕනෙ. ඉස්කෝලෙන් ඉගෙනෙගෙන අවසානෙ ලියලා පාස් වුනාට පස්සෙ ඒ ඉස්කෝලෙම වැඩ කරන්න පුළුවන්. පාසල් ගුරුන්නාන්සෙකෙනෙකුට පඩිය මාසෙකට රුපියල් දහයයි. ලොකුම ගුරුන්නාන්සෙගෙ පඩිය රුපියල් දහ අටයි. 

Sunday, July 31, 2016

මාටිං අයියා සහ ඩිස්කවරි චැනලය

මාටිං අයියා ගෙදර ඉන්නා ඉස්තිරී පාර්ශවය ඒ හැටි මායිම් කරන්නේ නැත. උදේ හිට හවහා වන තුරුත්, හවහා සිට එළි වෙන තුරුත් නිවසේ සිටිනා ඉස්තිරී පාර්ශව සියල්ලම පාහේ, මාටිං අයියාට පංසලේ නායක හාමුදුරුවන්ට වාගේ ඇබිත්තකම්, මෙහෙකම්, උවටැන් කිරීමට පේවී සිටීමත්, නිවසේ මහාධිකරණයෙන් අපරාධ චෝදනා එල්ල වී සිරබත් කෑමට සිදුවන තත්වයන් හීදී අභියාචනාධිකරණ, ඔම්බුඩ්ස්මන් ආදී රාජකාරි කිරීමත් මීට හේතු වීමට ඉඩකඩ බොහෝය. මාටිං අයියා සිතා සිටින්නේ තමා ඉතා වැදගත් පුද්ගලයෙකු නිසා හැමතිස්සේම තමාට මල් වට්ටියක්, පූජා වට්ටියක් ගාණට සලකා තමාගේ සියලූම පක්කලි වැඩ කිරීමට නිවසේ ඉස්තිරී පාර්ශවයන් බැඳී සිටින බවය. නිවෙස් වැසි ඉස්තිරී පාර්ශව සියල්ලන්ටම මාටිං අයියා මගේ දෙයියා, මගේ පණ සහ මගේ රත්තරන් කැටේ වීම නිසාත් හවසට දෙන තේ සහ බිස්කට් දොහොත් මුදුනින් මාටිං අයියා වෙත පිළිගන්නන නිසාත් දොඩම් ඇට එක හමාරක් විතර උස මාටිං අයියා නිවසේ එහේමෙහේ යන්නේ ප්‍රතාපවත් රජෙකු වීදි සංචාරය කරන්නා වාගේ සිංහ සෙය්‍යාවෙන් ය. 

මාටිං අයියා නිවසේ ඉස්තිරී පාර්ශවයෙන් නිකමට හෝ මායිම් කරනවා නම් කරන්නේ අන්නක්කාව ය. මාටිං අයියාට ඕනෑ පදමට කටන්දර කියා දෙන්නේත්, ප්‍රශ්නෝත්තර සෙල්ලම කරන්නේත් අන්නක්කා නිසා, තමාට වඩා යමක් දන්නා කියන එකියක ලෙස මාටිං අයියාගේ ලෝකයේ අන්නක්කාට පොඩි තැනක් ඇත්තේය. අන්නක්කා කොහොමින් හෝ වදෙන් පොරෙන් මාටිං අයියාගේ මොළ ගෙඩියට නිතරම පාහේ අකුරක් දෙකක්, වචනයක් දෙකක් එන්නත් කිරීමට ඉතා ආසා කරන්නීය. මාටිං අයියාගේ හවස් ජාම් හොබියක් පිළිබඳ අන්නක්කාට වැඩි පැහැදීමක් නැත. මාටිං අයියා ඇඳ උඩ හරිබරි ගැසී කට ඇරගෙන ඉංදියාවේ කාඩ්බෝඩ් වීරයින් උළුප්පන කිස්නා බැලීමත්, චණ්ඩී බැලීමත් අන්නක්කාට දිරවන්නේම නැත. ඒ නිසා දවසක් අන්නක්කා මාටිං අයියාට අලුත් හොබියක් සැට් කිරීමට උත්සහා දරයි. මාටිං අයියා සමග ඇඳ උඩ එරමිණියා ගොතා ගන්න අන්නක්කා මාටිං අයියාට හා හා පුරා කියා ඩිස්කවරි නාලිකාව හඳුන්වා දෙන්නේ මේ සියල්ලේම ප්‍රතිඵලයක් ලෙසය. 

ගෙදර ජනෙල් දොරවල්, තිර රෙදි, ඇඳ රෙදි, හාන්සිපුටු  මේ අව් අස්සේ අන්නක්කාට ඔලොක්කුවට වාගේ හිනා වෙන්නට වුවත්, අන්නක්කා ඉන් සැලෙන්නේ නැතිව මාටිං අයියා සමග ඩිස්කවරි බැලීමට සැට් වූවාය. ඒ වෙද්දී ඩිස්කවරි චැනලයේ පෙන්නන්නේ සතුන් ගැන වාර්තා වැඩසටහනකි. 
"අර මුක්කුද?" ටෙලිවිෂන් තිරය දෙස කට ඇරගෙන බලා සිටින මාටිං අයියා, අන්නක්කා වෙත සිය ප්‍රථම ප්‍රශ්නය යොමු කරයි.
"ඒ වවුල්ලු." 
"හරී." මාටිං අයියා කියන්නේ ටෙලි තිරයෙන් ඇස් අහකෙට නොගෙනය.
ටික වේලාවක් යයි.
"ඇයි අර කපුටො අතු වල එල්ලිලා ඉන්නෙ?"
මාටිං අයියාට අනුව ලෝකයේ සිටින සියලුම කුරුල්ලෝ කපුටෝ ය. 
"ඒ ඉන්නෙ කපුටො නෙවෙයි පැටියො, ඒ ඉන්නෙ වවුල්ලු. උන් ඉන්නෙ අතු වල එල්ලිලා."
"ඇයි උන්ට පියාඹන්න බැයිද?"
කාමරයෙන් එළියේ වූ හාන්සිපුටුවක් හැක හැක ගා සිනාසෙන්නට පටන් ගනී.
"නෑ, නෑ උන්ට පියාඹන්න පුළුවන්.උන් නිදාගන්නෙ එල්ලිලා අතුවල, ආං අර වගේ...."
"ඉතින් ඇයි උන් එහෙම එල්ලිලා නිදා ගන්නෙ?"
(පරිසරයම නිහඬ වෙයි.)
.
.
.
(පරිසරය තවමත් නිහඬය.)
"ඉතින් ඇයි උන් එහෙම එල්ලිලා නිදා ගන්නෙ?"
මාටිං අයියා කරුණාකර නැවත ප්‍රශ්නය යොමු කරයි.
"හ්ම්...උන්ගෙ කකුල් හැදිලා තියෙන්නෙ ඒ විදියට. ඒකයි."
"හරී..." මාටිං අයියා ආයේමත් මේ අරුම පුදුම වවුල් සැට් එක දිහා බලාගෙන සිටී. ටික වේලාවකින් මේ වවුල් සැට් එක ගඟකට ඉහලින් පියාසර කරනා ගමන් පහත් වී සිය ශරීර ජලතලයේ ගාවමින් යළිත් අහසට එසවෙති.
අන්නක්කාද මෙවන් ඉලව්වක් දැක්කේ එදාමය.
"මොකද්ද උන් ඒ කරන්නෙ?" මාටිං අයියා වහාම ප්‍රශ්න කරයි.
"උන් මාළු අල්ලනවා."
"වවුල්ලු කන්නෙ මාළු ද?"
ඔරලෝසුව වේගයෙන් ටික් ටික් ගායි. 
"වවුල්ලු මාළු ද කන්නෙ?"
(වේදිකාව තවමත් නිශ්ශබ්දය.)
"අන්නක්කෙ, වවුල්ලු මාළු කනවද?" 
ඇත්තටම වවුල්ලු මාළු කනවද...........?
(පසුදා හවස )
"අන්නක්කෙ, අපි අර ඊයෙ බැලුව එක බලමුද?"
අන්නක්කා ඊයේට වඩා ටිකක් අඩු වේගයකින් ටැලිවිෂන් එක දිහාවට ඇවිදගෙන යයි.
ඒ වෙලාවේත් ඩිස්කවරි චැනලයේ යන්නේ සතුන් පිලිබඳවම වාර්තා වැඩසටහනකි.
කළු පැහැති වතුර නොසෙල්වී ගලයි. රූස්ස ගස් වල හෙවණැල්ල වැටී පලාතම අඳුරුය. ගං දිය අතරින් හෙමීට හිසක් ඉහළට එසැවෙයි. මාටිං අයියා ටිකාක් පස්සට විත් අන්නක්කාගේ කිහිල්ල අස්සට රිංගයි. ඩීංගක් වේලා ජල මතුපිටට ආ හිස දෙස බලා සිටින මාටිං අයියා දල්වුනු ඇස් වලින් යුතුව අන්නක්කා වෙත හැරෙයි.
"අන්නක්කෙ!"
"හ්ම්?"
"අර! අර! දැක්කද?"
"හ්ම්..හ්ම්.."
"කබරයෙක්!"
(වේදිකාව මදකට යළි නිහඬය.)
මාටිං අයියා දන්නා, වතුරේ යන ලොකුම සතා වත්ත පහල කබරයන්ය.වත්ත පහල වෙල අයිනේ ඇලේ පදිංචිව සිටින්නා වූ ද නාන ලිඳට පැන නිදන්නා වූ ද වත්තේ එහේමෙහේ සක්මන් කරන්නා වූ ද මාටින් අයියාගේ හිත ගත් ඉතා යහපත් අසල්වාසීන් වන්නේ එක්තරා කබර පවුලකි. මාටිං අයියාට අනුව මෙම පවුලේ කබර අම්මා ද, කබර තාත්තා ද, කබර පුතෙක් සහ කබර දුවක් ද වෙති. 
"නෑ පැටියො, ඔය කබරයෙක් නෙවෙයි. ඔය කිඹුලෙක්."
"කුඹුලෙක්?"
"ඔව් කිඹුලෙක්."
"ඇයි එයා කබරයෙක් නෙමෙයි ද?"
"නෑ, නෑ එයා කිඹුලෙක්. එයාගෙ පිටේ කටු කටු තියනවා. කබරයගෙ පිටේ කහ පාට තිත් තිත් තියනවා." අන්නක්කා කිඹුලාගේ සහ කබරයාගේ සමවිෂමතා විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරයි. 
ටික වේලාවක් යනකම් මාටිං අයියා නිහඬව කිඹුලා දෙස බලා සිටී. 
"ඇයි ඒ කබරයා ඔහොම ඉන්නෙ හෙළවෙන්නෙ නැතුව? ඌ මැරිලද?"
"පැටියො, ඔය ඉන්නෙ කබරයෙක් නෙමෙයි,කිඹුලෙක්. ඌ ඔය හෙළවෙන්නෙ නැතුව ඉන්නෙ සත්තු අල්ලගෙන කන්න."
මාටිං අයියා හිස වනයි. ටික වේලාවක් හැලහොල්මනක් නැති කිඹුලා දෙස බලා සිටින මාටිං අයියා හදිසියේම යමක් මතක් වූවා සේ අන්නක්කා දෙසට හැරෙයි. 
"අන්නක්කෙ...."
"හ්ම්...."
"අර කපුටො ටික කෝ?"
"මොන කපුටො ටිකද පැටියො?"
"ඇයි අනේ අර ඊයෙ හිටියෙ මේකෙ..."
අන්නක්කාගේ උගුර හිරවේගන යයි.
"ආ...අර ඊයෙ හිටිය වවුල්ලුද?"
"ඔව්, ඔව් උන් තමයි. අර මාළු ඇල්ලුවෙ."
"ආහ්...හුම්ම්ම්...උන්...උන් අද නෑ. ඊයෙනෙ හිටියෙ. අද ඉන්නෙ කිඹුල්ලු."
මාටිං අයියා ඇස් දෙකම කරකවමින් ටිකක් වෙලා කල්පනා කරමින් සිටී.
"අර ඊයෙ හිටපු වලුල්ලු ටික මේ කිබුලා කාලා දාලා ද?"
කුස්සිය අහින් වළං මුට්ටි පෙරළි පෙරළී හිනාවෙන හැටි අන්නක්කාට ඇසෙයි.
"අන්නක්කෙ, ඔය කිඹුලා ඒ වවුල්ලු ටික කාලා දාපු හින්දද අද වවුල්ලු ටික නැත්තෙ?"
(හාත්පස අඳුරු රතු පැහැයකට හැරෙයි.) 
(වේදිකාව නිහඬය.)
"අන්නක්කෙ, කිඹුල්ලු වවුල්ලුන්ව කනව ද?"
(වේදිකාව තවමත් නිහඬය. ටිකෙන් ටික අඳුර වැඩිවී තිරය පහතට පැමිණෙයි.)
ඇත්තටම කිඹුල්ලු වවුල්ලුන්ව කනවද......?

Monday, July 25, 2016

මාටිං අයියා

මාටිං අයියාට ඉස්කෝලේ යන්නට තරම් වයසක් නැත. ඒ නිසා මාටිං අයියා යන්නේ මොට්ටසෝරි ය. මාටිං අයියා මොට්ටසෝරි යන්නේ ඒ තරම් විසාල කැමැත්තකින් නොවේය. උදෙන්ම මොට්ටසෝරි යන්නට අවදිවීමට සිදුවීම පිළිබඳ මාටිං අයියාට වැඩි පැහැදීමක් නම් නැත. වදෙන්පොරෙන් ඇහැරව ගන්නා මාටිං අයියා කිරි වීදුරුව කටේ ගසන තුරු හාන්සි පුටුව උඩ හෙළුකොප්පරයෙන් නිදයි. කිරි වීදුරුවේ අමා රසය දිව වැටිච්ච හැටියේම මාටිං අයියාගේ සියලු ඉන්ද්‍රීයයන් වැඩ කිරීමට පටන් ගනී. කිරි වීදුරුව එක හුස්මට ඇද දමන මාටිං අයියා සිය කාර්යබහුල දිනය අරඹයි. වැසිකිලි පෝච්චියේ සිය කාරිය කරගන්නවාට වඩා මාටිං අයියා වඩා ආසා කරන්නේ වැසිකිලි බිම මත අහස්යාත්තරා සහ කෝච්චි හැඩයේ එව්වා බෑමටය. මේ කාරිය කර සිය පස්සා පැත්ත ද කාට හෝ කියා හෝදා ගන්නා මාටිං අයියා මොට්ටසෝරියට යාමට ලකලැහැස්ති වෙයි. මාටිං අයියාව මොට්ටසෝරිය දක්වා එක්කාගෙන යන්නට හන්දියේ ටුක් ටුක් මාමලා කිහිප දෙනෙකුම පේ වී සිටින්නෝය.

මේ අතරින් මාටිං අයියාට නම තැබූ බකිඩරතා ද සිටින්නේය. බකිඩරතා සමග මොට්ටසෝරියට යන මාටිං අයියා, ඉතාම සුවච කීකරු ශිෂ්‍යයෙක් බවට එක සැණෙකින් පරිවර්තනය වෙයි. ගෙදරදී වැඩක් කී විට නෑහුණු ගානට යන මාටිං අයියා, මොට්ටසෝරියේ ඉන්න ලස්සන සුදු චීටර්ලාට පුටු බිමට බෑමට උදව් කරයි. මොට්ටසෝරියේ චීටර්ලාට මාටිං අයියා තරම් අහිංසකයෙක් නොමැති තරම් ය. සමහර දවස් වලට මාටිං අයියා මොට්ටසෝරියට පා තැබූ වෙලාවේ පටන් ඉවර වෙන තෙක්ම පිස්සුවෙන් වාගේ අකුරු ලියන්නේය. ඔහොම හති මුණින් දාගෙන අකුරු ලියන මාටිං අයියා, හරියටම එකොළහ වන විට සිය ලියනකියන කටයුතු නවතා දමයි. මාටිං අයියා ගෙදර වැඩිහිටියන්ට උපදෙස් දී ඇත්තේ හරියටම එකොළහ වෙන විට තමාව ගෙදර ගෙන යාමට මොට්ටසෝරියේ පන්ති දොරකඩ වගකිව යුත්තෙකු පැමිණ සිටිය යුතු බවය. මොට්ටසෝරියෙන් එක්කාගෙන යාමට හදිසියේවත් ප්‍රමාද වුවහොත් එදාට මාටිං අයියා මොට්ටසෝරියේ ගේට්ටුව හරියේ පුපුර පුපුරා සිටින්නේය. මාටිං අයියා වාහනයට නැගගන්නා තුරු ගේට්ටුව අසලට එයාගේ බෑගය අරගෙන එන්නේ පන්තියේ සිටින රෝසපාට කෙළි ඇබිත්තියකි. මේ රෝස පාට කෙළි ඇබිත්ත ඉතාම ගෞරව සම්ප්‍රයුක්තව මාටිං අයියාගේ බෑගය උස්සාගෙන එයි. මේ විස්තරේ ගෙදර ඈයින්ගේ කන වැකුණු වහාම මාටිං අයියා දින කිහිපයකට රෝස පාට කෙළි ඇබිත්තට නිවාඩු දී තමාම ගේට්ටුව තෙක් බෑගය කර ගහගෙන එයි.  

ගෙදර පැමිණීමෙන් පසු මාටිං අයියා කෙලින්ම යන්නේ සෙල්ලමටය. සෙල්ලම් බඩු ගලවා ප්‍රතිසංස්කරණය කිරීම, අහසේ යා යුතු එව්වා වතුරේ යවා බැලීම ආදී වැදගත් සෙල්ලම් කිරීමට මාටිං අයියා  ප්‍රිය කරයි. බැලුං ඇත්තේ පුම්බා උඩ යැවීමට වුවත් මාටිං අයියාගේ සතුට බැලුං වලට වතුර පුරවා ඒවා වහලයට විසිකිරීමය. ඉන්පසු ඇඟිලි වලින් ඉස්සි ඉස්සී වහලය උඩ වැටී තිබෙන බැලුං දෙස බලමින් ද මාටිං අයියා ඉතා සතුටු වෙයි. මීට අමතරව, හාල් ගෝනියෙන් හාල් ගෙන ඒවා සෝදා බත් උයන්නටත් සියලුම පහේ වර්ග යොදා පරිප්පු ඉවීමටත්, ඉඳිආප්ප වංගෙඩියෙන් ඉඳි ආප්ප මිරිකීමටත් ඉතා ආසා කරයි. ඉඳිආප්ප හදන්නට ඇනූ පිටි ගුලි කර බිත්තියේ ඉහළම කෙලවරට එල්ල කිරීමත් මාටිං අයියාගේ තවත් විනෝදාංශයකි. 

හවස් ජාමෙට අකුරු ලියන්නට සිදුවීම මාටිං අයියාට අනුව මහ පොළොව නූහුලන අපරාධයකි. මොට්ටසෝරියේත් අකුරු ලියා ලියා ගෙදර ඇවිත් ද එව්වා ලියන්නේ මොටෝ දැයි මාටිං අයියාගේ මහා මොළයට තේරුම් යන්නේම නැත. කොටින්ම කිවහොත්, මොට්ටසෝරියේ ගේට්ටුව වෙන තෙක් අලුතෙන් කියාදුන් කවි කිය කියා එන මාටිං අයියා, මොට්ටසෝරියේ ගේට්ටුව පනිනවාත් එක්කම කවි කිවිල්ල නවතයි. කවි කියන්නැයි වැඩිහිටි රසිකයින්ගෙන් එන ඉල්ලීම් වලට මාටිං අයියා නැවෙන්නේම නැත.මොට්ටසෝරියේ එව්වා මොට්ටසෝරියේ තබා පැමිණිය යුතුය, මොට්ටසෝරියේ එව්වා ගෙදර ගෙනියන්න හොඳ නැති බව මාටින් අයියාගේ ඉඳුරා විශ්වාසයයි. 

හවසට නොලියාම බැරි වූ විට අකුරු ලියන මාටිං අයියා, රෑට කටන්දර ඇසීමට ඉතා ආසා කරයි. එකම කටන්දරය සියවතාවක් වුවද අලුතින් අහන්නා වාගේ ඇසීම මාටිං අයියාගේ සිරිතකි. කටන්දර අහනා විට කවුරුන් හෝ බාධා කලහොත් මාටින් අයියාගේ ඉවසීමේ කටුව පුපුරා යයි. ඉතාම වේගයෙන් බාධා කළ තැනැත්තාට අවලාද නගන මාටින් අයියා කියා සිටින්නේ තමාට 'සැනසිල්ලේ කටන්දර අහන්නට' ලැබෙන වෙලාවටත් එක එක්කෙනා ඇවිල්ලා කතා කිරීම හරිම 'කලදලයක්' බවයි. කටන්දරය මුල සිට අගටම නොනිදා අසා සිටින මාටිං අයියා හෙට මොට්ටසෝරියේ නිවාඩුවක් දැමිය යුතු බව කියයි. මොට්ටසෝරියේ චීටර් තමා අකුරු ලියා ඉතා මහන්සි වූ නිසා හෙට දවසේ නිවාඩුවක් දැම්මාට කමක් නැතැයි කියූ බව මාටිං අයියා ගෙදර වැඩිහිටියන්ට බැරෑරුම් මුහුනකින් යුතුව ප්‍රකාශ කර සිටී. ඒ නිසා තමා හෙට දවල් වෙනකම් 'සැපට සැපේ' නිදා ගන්නා බව නිවේදනය කරන මාටින් අයියා,  ලේන් පැටවෙකු සේ නින්දට වැටෙයි. මාටින් අයියා හෙට මොට්ටසෝරි යැවිය යුතු ද නැත්ද කියා ගෙදර වැඩිහිටි කාටත් ඉතිරි වන්නේ උභතෝකෝටික ගැටළුවකි. 

Wednesday, July 20, 2016

අත්තම්මාගේ රස කතා - පැටිකිරිය

අත්තම්මා එහෙමටයි කියා පන්සල් යන්නේ නැත. සිල් ගන්න යන්නේද නැත. ඒ මොකොදැයි කියා විමසූ විට ඕ අපූරු උත්තරයක් දෙයි. මට බෑ බං ඔය බණ මඩු වල ඉඳගෙන ඔයි එක එක නාකි ගෑණු උන්ගේ ලේලිලාටයි බෑණලාටයි අහලපහළ ගෙවල් වල ඉන්න ගෑණුන්ටයි දිගෑරගෙන දෙස් තියනවා අහන්න. ඔයි ටික අහගන්ට මං පන්සල් යන්ට ඕනෙය... හවසට හැමදාම අත්තම්මා බුදු පහනත්, පත්තිනි මෑණියන්ට සහ වෙනත් බාරහාරයක් වී ඇත්නම් ඊටද පහනක් පත්තු කරයි. ඕ ඉතාම භක්තිවන්ත පත්තිනි මෑණියන් වන්දනා කරන්නියකි. ඉන්  ඇයටත් පවුලේ සාමාජිකයන්ටත් ඉතා යහපතක් කෙරෙන බව ඕ විශ්වාස කරයි. අත්තම්මා ඔය නාකියි නාකියි කියන්නා සියළු ගැහැනුන් ඇයට වඩා දහපහළොස් වසරකින් හෝ විසිතිස් වසරකින් ඇයට වඩා ලාබාලය. වරෙක ආගං පතුරුවන්නට ආ මැදිවියේ ගැහැණුන් දෙදෙනෙකුට ඕ කොස්සෙන් ගහන්ට ගේට්ටුව තෙක් එළෝගෙන ගියාය. ගේට්ටුව අසලට වී ඇය වටපිටාවේ ගෑණුන් දැනුවත් කළේ, නාකි ගෑණු දෙන්නෙකු ආගං පතුරුවන්ට ගමේ ගෙවල් වලට රිංගන බව කියාය. 
හැමදාම උදේට අත්තම්මා දවසේ පත්තර එකක් හෝ දෙකක් කියවයි. අම්මා කණ්නාඩි දාගෙන පත්තරේ කියවන විට අත්තම්මා පත්තරේ කියවන්නේ කණ්නාඩි නැතිවය. අත්තම්මා මැස්මට හරි දස්සය. හීනි ඉඳිකටු මලෙන් මල් මහන නූල පන්නාගෙන ඕ අපූරුවට මල් මහන්නීය. අපි කවුරුත් නිදන්නේ අත්තම්මා මල් හෝ කුරුල්ලන් මසා ඇති කොට්ට උර පැලැන්දූ කොට්ටාවලය. ජර්මනියේ ඩෙස්පිනා නැන්දාටද ඕ නොවරදවා කොට්ටා උර මසා යවන්නීය. 
අත්තම්මා මෙයි තරම් හැඩේට මහන්න ඉගෙනගෙන ඇත්තේ ඇගේ අම්මාගෙන්ය. වයස අවුරුදු දහයේ පටන්ම ඕ මැස්මට ද බීරළු ගෙත්තමට ද පුරුදු වූවාය. අත්තම්මාගේ අම්මා කොට්ටං ඇටේ හැඩැති තැටිං කට්ටෙන් මනමාලියන්ගේ ඇඳුම් වලට රේන්ද මහන්නීය. අපේ අම්මගෙ නම ජොහානා දෙනවක. එයැයිට දෙනවක හාමිනේ කියලා කතා කළේ නැතිනම් හරියට කේන්ති යනවා. එයැයි හෙන නම්බුකාර විදියට තමා උන්නෙ. අපෙ අම්මා අඳින්නෙ දිග සායයි අත් දිග හැට්ටෙයි. එයාට තිබුණා ලාච්චු පහක මැසිමක්.
අපෙ අම්මගෙ තාත්තා (ඔය කියන්නේ අපේ කිත්තා විය යුතුය.) සෑර් කෙනෙක්. එයාගේ නම දාවිත් ගුරුන්නාන්සේ. එයැයි උගන්නන්නෙ පාලි, සංස්කෘත, සිංහල. හෝමාගම තිවුණු ඉස්කෝලෙ තමයි උගන්වලා තියෙන්නෙ. තාම තියනවා ඒ ඉස්කෝලෙ. තරුණ කාලෙ අපෙ අම්මත් උගැන්නුවාලු මාලඹේ ඉස්කෝලෙ. ඒ කාලෙ ගමටම අකුරු දන්නෙ අපෙ අම්මයි තාත්තයි, තාත්තගෙ පවුලේ පිරිමි ඈයිනුයි විතරයි. ඉස්සර ගෑණු උදවියට අකුරු සාස්තරේ ඉගෙනගන්න දෙන්නෙ නෑ නෙව. අපෙ අම්මට අකුරු සාස්තරේ පුළුවං වුණේ අම්මගෙ තාත්තා ගුරුන්නාන්සේ කෙනෙක් හන්දයි.  
ඒ කාලෙත් තිවුණා ඔය රෝයල්, ආනන්ද, නාලන්ද වගේ ඉංග්‍රීසි ඉස්කෝල. මං ඉස්කෝලෙ ගියේ කඩුවෙල කොතලාවල ඉස්කෝලෙට. ගෙදර ඉඳන් හැතැම්ම තුන හතරක්ම පයින් තමයි යන්නෙ. ඒ කාලෙ අපි කොළඹ ගියෙත් පයින්. කොතලාවල ඉස්කෝලෙ පොඩි පොල් අතු ඉස්කෝලයක්. පොඩි ළමයි විතරක් නෙවෙයි, ළමිස්සියොත්, මහ ගෑණුත් ඔක්කොම එක පන්තියෙ ඉඳන් අකුරු ඉගෙනගත්තා. ඒ කාලෙ ගෑණු ටීචර්ලාට කතා කලේ ගුරුන්නාන්සේ කියලා. පිරිමි සෑර්ලාට කතා කළේ ගුරුන්නාන්සේ මහත්තයා කියලා. මුළු ඉස්කෝලෙටම  උන්නෙ ළමයි තිස් දෙනයි, ගුරුවරු තුන්දෙනයි. ඒ කාලෙ මාව හරියකට ඉස්කෝලෙ යවන්න තාත්තා කැමති වුනේ  නැහැ. එයා තමයි ගමේ වෙද මහත්තයා. තාත්තා එන්නෙ වෙද පරම්පරාවකින්. තාත්තගේ තාත්තත්, බාප්පත් වෙද මහත්තෙලා. අපෙ තාත්තාගෙ අම්මාගෙ තාත්තා (අත්තම්මාගේ මුත්තා විය යුතුය.) වෙද මුහන්දිරන් කෙනෙක්ලු. අපෙ තාත්තාගෙ තාත්තාව වැඩිපුර ඉගෙනගන්ට කියලා සේදවත්තෙ වෙදෙක් ගාවට එව්වාලු. ඒ වෙදාගේ දුව එක්ක හාද වෙලා, කසාද බැඳලා එහෙම බින්න බැස්සාලු. එයින් පස්සෙ නුවර උන්නු සීයාගෙ නෑදෑයොත්, සහෝදරයොත් සේරමලා සෙයිලමට පදිංචියට ආවා කියනවා. 
අපේ තාත්තා මාව වැඩිය ඉස්කෝලේ නොයැවුවාට වෙදකම කියාලා දුන්නා. ඒ කාලෙ ගෑණු ළමයින්ව ඉස්කෝලෙ යවන එක මහ ලැජ්ජාවක්. මට මතකයි ඒ කාලෙ අපේ තාත්තා පරංගි ලෙඩ්ඩු දහ අට දෙනෙක් ගෙදර තියාගෙන බෙහෙත් කොළා. ඒ ලෙඩ්ඩුන්ගේ මුළු ඇඟ පුරාම බෙලිගෙඩි ඉතර ලොකු ගෙඩි දාලා. සනීප කරන්න බෑ. 
ඒ කාලෙ අපි ඇන්දේ සාය හැට්ට. ඔය ඔසරි අඳින පුරුද්ද ආවෙ නුවරින්. ඒ කාලෙ ගෑණු වැඩියෙන් ඇන්දෙ සාය හැට්ට. ඔසරිය අඳිනකොට අපි ඉතාම කොට පොටක් තමා දාන්නෙ. වැඩ කරනකොට ඒ පොට බෙල්ල වටේ ඔතාගන්නවා. තම්බිලායි, චීන්නුයි තමා ගමට රෙදි මිටි බැඳගෙන එව්වා ලී මැහි වල අඩුක් කොරගෙන වෙළඳාමෙ එන්නෙ. අතවැසි කොලුවෝ ඒ මැහි උස්සාගෙන එනකොට මුදලාලි ඒ පස්සෙන් එනවා "රෙදියෝප්...රෙදියෝප්" කියලා කෑගහමින්.ගමට කුළුබඩු ගේන්නෙ ඉන්දියන් දෙමළු. කුළුබඩු වට්ටි පිටින් කරතියාගෙන තමා එන්නෙ. ඔය කවුරුත් අපට බඩු දීලා යන්නෙ බලෙන්ම වාගේ. ඒ වෙලාවෙ සල්ලි ඉල්ලන්නෙ නැහැ. ඊළඟ සුමානෙ ආවම සල්ලි ගන්න බලාගෙන තමයි බඩු දීලා යන්නෙ. 
ඒ කාලෙ අපෙ තාත්තාට අක්කර දහයක් ඉතර තිවුණා. ඒ ඉඩමේ එක එක දිහාට නං හිටං තිබුණා. මුත්තෙට්ටුවත්ත, කනත්ත, මාපොරපෙවත්ත, අමුහේන, පිපිඤ්ඤාකොටුව කියලා මට මතකයි ඒ සමහරක් නම්. අපෙ අම්මයි තාත්තයි ගමේ ගෙන නම්බුකාර ඌස්නෙට තමයි ජීවත් වුණේ. ගෙදර වැඩට ගමේ මිනිස්සු ආවාගියා. අද කාළේ නම් ඉතින් රදවාත් එකයි, හකුරාත් එකයි, පදුවාත් එකයි. ඉගෙනගෙන නං, සල්ලිකාරයි නං උන්ගේ කුල හොයන්නෙ නෑනෙ කවුරුවත්. ඒත් ඒ කාලේ එහෙම නෑ. උන් ගෙදරට එන්නෙ පිළිකන්න පැත්තෙ ඉඳන්. මිටි බංකු දුන්නෙ වාඩි වෙන්න. කෙහෙල් කොලේ තමයි කන්න දුන්නෙ. දණට ඉතරයි අඳින්න දෙන්නෙ. මගුල්තුලාවක් ගන්න, වෙඩි ගහන්න එහෙම තහනම් ගමේ ප්‍රභූන්ගේ අවසරේ නැතුව. එහෙම කලෝතින් එහෙම උන්දෑලට ගහලා පන්නනවා. ගෙදෙට්ට එන මනුස්සයෙකුට මං 'ආ විලියොං මාමෙ' කියලා එහෙම කතා කලොත්, අපෙ අම්මා හරි තාත්තා හරි මට ටොකු ඇනලා කියනවා, 'ඇයි ඒ බොගේ නෑයොද මාමෙ කියන්න, විලියොං කියලා කතා කරපිය' කියලා. මට වඩා විසිඅවුරුද්දක් ඉතර වැඩිමල් අයෙකුට මං කොහොමද නම කියාලා කතා කොරන්නෙ....එව්වා මහ සහගහන වැඩ. ඒ මිනිස්සුත් මිනිස්සු නෙව.එසේ කියූ අත්තම්මා දවල් එළියෙන් ආපිට මල් මැස්මට හිත යොදමින් දිගු සුස්මක් හෙළයි. වදෙන් පොරෙන් හීනි ඉඳිකටු මලට නූලක් දමා අත්තම්මාට ඉඳහිට සහාය වෙන හොබෝවා, ඈ මසන වෛවර්ණ මොනරා දෙස මදකට බලා සිට ආයේමත් ලැප්පොට් එකේ මූණ ඔබාගෙන කතා අමුණන්නට විය. 

Friday, July 15, 2016

දිඹුල් කොළ, ආන්ජලෝ සහ පීනස් අමාරුව

කොරන්ට රස්සාවක් නැතුව ගොඩ වෙදකමක් පටන් ගත්තා හෙම නොවෙයි ඕං. අද කතාව ඇස් වලටයි හිත් වලටයි වැලඳුණු පීනස් අමාරුව සුව කොරන දිඹුල් කොල ගැනයි, ආයුබොවං! 
මීට ශතවර්ෂ ගණනාවකට පෙර පටන් මිනිසා චිත්‍ර කලාව සහ මූර්ති කලාව සිය නිර්මාණශීලී චින්තනය පරිවහනය කරන්නාවූ මාධ්‍යයයක් ලෙස භාවිත කරනවා. මානව රූප ප්‍රතිනිර්මාණය මේ කලාවේ විශේෂ තැනක් ගන්නවා. මානව රූප සිතුවම් කිරීමේදී සහ මූර්ති නිර්මාණයේදී මානවයාගේ නිරුවත මූලික කොට ගැනීම සිතුවම් සහ මූර්ති කලාව සංස්කෘතිකමය, ආගමික සහ සදාචාරාත්මක වශයෙන් ඝට්ටනයකට ලක් කිරීමක් ලෙස හඳුනා ගන්න පුළුවන්. මීට වසර දෙදහසකට පමණ පෙර ග්‍රීක සහ රෝම නිර්මාණකරුවන් අතින් නග්න මූර්ති නිර්මානය වීම එක්තරා සංස්කෘතිකමය ප්‍රාතිහාර්යයක්. බොහෝ දෙනෙකු මෙම නග්න ප්‍රතිමා පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදැක්වූවත්, මෙලෙස නග්න දේහ මූර්තියට නැංවීම මානව කලා නිර්මාණකරණයේ විප්ලවයක් විදියට අපට සලකන්නට පුළුවන්.
ක්‍රිස්තු පූර්ව 730 ට ඈත අතීතයේදීත් මෙලෙස මානව නග්න දේහ ප්‍රතිනිර්මාණය කිරීම පැරැන්ණන් විසින් සිදු කර තිබෙනවා. මීට පෝයවල් ගණනාවකට උඩදී ඉස්ලාම් අන්තවාදීන් විසින් අතීත අසිරියාවේ (වත්මන් ඉරාකයේ) තිබුණු එවැනි නග්න කලා කෘති භෞතික වශයෙන් සහ සංස්කෘතික වශයෙන් බුල්ඩෝසර් කර දමනු ලැබුවා.මෙම පෞරාණික අසිරියානු නග්න කලාකෘති සහ සම්භාව්‍ය යුගයේ (500BC to 200AD) නග්න කලා කෘති අතර විශාල වෙනසක් තිබෙනවා. පෙර කී කලා කෘතීන්හි සෑමවිටම පාහේ යුද්ධයේ පරාජිතයන්, පරාජය වී මිය ගියවුන්,ආබාධයන්ට ලක්වූවන්, හිසගසා දමන ලද්දවුන් සහ එලෙස අසරණ අඩියකට පත්වූවන්  ව්‍යංගනය කිරීමට තමයි මෙම නග්නභාවය යොදා ගැනෙන්නේ.ජයග්‍රාහී අසිරියානුවන් සියල්ලෝම මනා වස්ත්‍රයෙන් සැරසී සිටිනවා. නමුත් සම්භාව්‍ය යුගයට එන විට මෙම ව්‍යංගනය එහෙමපිටින්ම කණපිට පෙරැලෙනවා. ග්‍රීක සහ රෝමානු නග්න මූර්තීන්හි ව්‍යංගනය කෙරෙනුයේ රණශූරත්වය,ජයග්‍රහණය,පුරුෂ කාය ශක්තිය,ක්‍රීඩා කෞශල්‍යය, කාන්තා ලාලිත්‍ය, සුනම්‍යභාවය සහ සරාගී ගුණයනුයි. 

සමච්චලයට සහ අවමානයට ලක් වුණු මිනිස් සිරුරෙහි නග්නභාවයට වීරත්වයක්, ජයග්‍රාහීබවක් මුල්ම වරට ආරෝපණය වන්නේ සම්භාව්‍ය යුගයේ කලාකරුවන් අතිනුයි.සාමාන්‍ය ජීවිතයේදී ග්‍රීකයන් නග්නව නොසිටියත් ඔවුන් පෞරාණික ඔලිම්පික් ක්‍රීඩා සඳහා ජවන සහ පිටිය ක්‍රීඩා වල නිරත වන විට ඔලිව් තෙල් මිශ්‍ර දූවිලි විශේෂයක් පමණක් ශරීරයේ ගල්වාගෙන තිබෙනවා. ග්‍රීකයින් මෙලෙස නග්නව ක්‍රීඩා කිරීමට හේතුව නිශ්චිතවම හඳුනාගෙන නැහැ. මේ පිලිබඳ එක් මතයකට අනුව, වරක් ඔලිම්පික් උළෙලකදී මීටර 200 දිවීමේ ඉසව්වේ පලමුවැනි තැන ගත් ක්‍රීඩකයා, දුවන අතරතුරේදී ඔහුගේ ඇඳිවත කඩාවැටුණු බවත්, එය දුටු ඔහුගේ සහචර ක්‍රීඩකයිනුත් සිය ඇඳිවත් උනා දමා තරගයේ නියුතු වුණු බවත් කියැවෙනවා! තවත් ජනප්‍රිය මතයක් වන්නේ, යොවුන් වයසට එලැඹීම නිමිති කොටගෙන, මෙතෙක් කලක් නොමේරූ පිරිමි දරුවන් හැඳි ගවුමක හැඩයෙන් යුතු ඇඳුම් උනා දමා තමා දැන් නිසි වයසට එලැඹ ඇති බව ප්‍රදර්ශනය කිරීම උදෙසා මෙලෙස ඇඳුම් උනා දමමින් ක්‍රීඩාවෙහි නියුතු වෙන්නට ඇති බවයි. ඔලිම්පික් උළෙල එකල ඔලිම්පසයේ විසුවා යැයි විශ්වාස කරන ලද දෙවිවරුන් වෙනුවෙන් පැවැත්වූවක් නිසා, වැඩිවියට පැමිණීම සැමරීම මෙම උත්සවයේ කොටසක් වන්නට ඇතැයි විශ්වාස කරන්නට පුළුවන්. සම්භාව්‍ය යුගයේ නිර්මාණය වූ බොහෝ මූර්ති ක්‍රීඩාවෙහි නිරත වන අයෝමය දේහධාරී නග්න රූප ලෙස ප්‍රතිනිර්මාණය වී තිබෙන්නේ මේ කාරණාව නිසා වෙන්නට ඇති. මෙම නග්න මූර්ති වල සුවිශේෂීත්වය වන්නේ, කිසිම අවස්ථාවක පුරුෂ නග්න දේහයේ පුරුෂ ලිඟුව උදර්ජනය වී ඇති ආකාරයට නිර්මාණය කර නොතිබීමයි. මෙලෙස උදර්ජනය වූ ලිඟුවක් නිර්මාණය නොකෙරුණේ, පොදු ස්ථාන වලදී එසේ හැඟීම් උද්දීපනය කරගැනීම වරදක් සහ ලජ්ජා සහගත එකක් බවට ග්‍රීකයින් විශ්වාස කළ නිසයි. 

නමුත් කාලයාගේ ඇවෑමෙන් මෙම නග්න කලා නිර්මාණයන්ට පීනස් අමාරුවක් වැලඳෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට, අද වෙද්දී වතිකානු කෞතුකාගාරයේ ඇති සෑම පෞරාණික නග්න කලා නිර්මාණයකම පුරුෂ ලිඟුවක්ම හැලී වෙන්වීගොස් හෝ දිඹුල් කොලයකින් වසා තිබෙනවා. ඉතින් ශත වර්ෂ ගණනාවකට පස්සේ මේ නග්න නිර්මානයන්ට වැලඳුණු දරුණු පීනස් අමාරුව මොකද්ද? මේ පීනස් අමාරුව මුලින්ම ඇතිවන්නේ හතරවන පාවුලු පාප්වහන්සේත් සමගයි. මේ පාප්තුමාගේ පාලන සමය වර්ෂ 1555 සිට 1559 දක්වායි. යාන්තමට වගේ ඇති වුණු මේ පීනස් අමාරුව Pope Innocent X කියන පාප්තුමාගෙ (1644-1655) කාලෙදි තව ටිකක් වැඩි වෙනවා. මේ ලෙඩේට පිළියමක් වශයෙන් පිළිතුරක් සොයාගෙන යනකොට තමයි Innocent X පාප්වහන්සේට දිඹුල් කොළ හම්බුවෙන්නෙ. ඉතින් එයා තීරණය කරනවා මේ පීනස් අමාරුවට දිඹුල් කොළ ඉතා හොඳ බෙහෙතක් බව. ඒ අනුව එහේ මෙහේ පීනස් එළියේ දමාගෙන සිටිනා ග්‍රීක සහෝදරවරුන්ගේ පීනසය උඩින් දිඹුල් කොලයක් අලවන්ට මේ අහිංසක පාප්වහන්සේ තීරණය කරනවා. 1758-1769 කාලයේදී සිටි Clement XII පාප්වහන්සේ මහා පරිමාණයෙන් දිඹුල් කොළ නිෂ්පාදනය කර සෑම නග්න මූර්තියකටම පාහේ වැලඳිලා තිබුණු මේ පීනස් අමාරුව සනීප කරන්න විශාල ප්‍රයත්නයක් දරනවා. මේ පීනස් භීතිකාව අන්තිම දරුණු තත්වයට ලඟා වෙන්නේ Pius IX පාප්වහන්සේගේ කාලයේදීයි. මේ පාප්වහන්සේට දැඩි පීනස් භීතිකාවක් තිබුණා. ඒ නිසා උන්වහන්සේ අණ කලා මෙතෙක් පිළියම් නොකළ සියළු පීනස් වහාම කඩා විනාශ කර දමන ලෙස. ඔන්න ඔය අණෙහි ප්‍රතිඵලයක් විදියට ඉතාමත්ම වටිනා Apollo Belvedere වැනි විශිෂ්ට ප්‍රතිමාවන්ට සිය ලිංගය අහිමි වෙනවා. 
මෙන්න මේ වගේ දරුණු පීනස් භීතිකාවක් තිබුණු කාලයේදී තමයි මයිකල් ආන්ජලෝ නම් අග්‍රගණ්‍ය චිත්‍ර සහ මූර්ති ශිල්පියා සිය කලා දිවියේ පරිණත අවධිය ගත කරන්නේ. ඉතින් මේ කාලයේදී ආන්ජලෝට ආරාධනාවක් ලැබෙනවා වතිකානුවේ සිස්ටයින් දෙව්මැදුරේ The Last Judgment යන තේමාවෙන් බිතුසිතුවමක් නිර්මාණය කරන්නට. එකල වතිකානුවේ අවසන් තීන්දුව සිතුවමට නැගීමේදී එහි ඇතුලත් වන පුද්ගලයින් සිය තානාන්තරයට ගැලපෙන පරිදි වස්ත්‍ර වලින් යුතුව නිර්මාණය කර තිබුණා. නුමුත්, ආන්ජලෝ මෙම බිතුසිතුවමේදී මහා පෙරැළියක් කිරීමට තීරණය කළා. ඔහු මෙම බිතුසිතුවමට හාරසියයක් වූ නිරුවත් පිරිසක් කිසිදු තානාන්තරයකින් තොරව බලා සිටිනු නිරූපනය කළා. නිරුවත් පවුකාරයින් දකුණු පසින් පහළට යන අයුරිනුත්, නිරුවත් ආශිර්වාද ලද්දෝ වම් පසින් ඉහළට යන අයුරුත් ඔහු චිත්‍රයට නැගුවා. 
ආන්ජලෝගේ මේ කෙරුවාව වතිකානුවේ හිටි පීනස් අමාරුකාරයින්ට නම් ඇල්ලුවේ නැහැ. ලොකු පීනස් අමාරුකාරයෙක් වුණු Biagio da Cesena මේ චිත්‍රකාරයාගේ කෙරුවාවට එහෙමපිටින්ම විරුද්ධ වුණා. දෙව්මැදුරක් වැනි ඉතා ගෞරවනීය තැනෙක ලැජ්ජාවක් නැතිව තමන්ගේ හෙළුව ප්‍රදර්ශනය කරමින් ඉන්නා නූල්පොටක් නැති ශරීර සිතුවම්කොට තැබීම ඉතාම නින්දා සහගත යැයි Cesena කියා සිටියා. මේ වගේ චිත්‍ර හොඳ තැබෑරුම් වලටයි, පොදු නාන ස්ථාන වලට විතරයි කියලා තමයි Cesenaගේ අදහස වුණේ.  ආන්ජලෝ කියන්නෙත් නිකම්ම නිකං චිත්‍රකාරයෙක් නෙවෙයිනේ. ඉතිං Cesenaගේ මේ පීනස් අමාරුව දෙපිටින් යන්න දහංගලේ වැඩක් දෙන්න එයා තීරණය කළා. ග්‍රීක දේව වන්දනාවට අනුව, මරණයෙන් පසු සෑම මනුෂ්‍යයෙක්ම අවසාන තීන්දුවට මුහුණ දිය යුතුයි. මේ තීන්දුව දෙන්නෙ මිනොස්, ආකස් සහ රදමන්තුස් කියන තිදෙනෙකුගෙන් යුතු විනිශ්චය මඩුල්ලක්. ආන්ජලෝ මිනොස්ගේ මුහුණ අපේ පීනස් අමාරුකාරයාගේ මුහුණ විදිහටම සිතුවම් කළා! ඒ විතරක් නෙවෙයි,නිරුවත් Cesenaගේ ඔළුවට බූරු කන්දෙකක් ද මතක ඇතිව ඇඳලා දාපු ආන්ජලෝ Cesenaගේ හෙළුව වසාගෙන සර්පයෙකු වෙලී සිටින අන්දමත්, ඒ සර්පයා Cesenaගේ ලිඟුව කා දමනවාත් සිතුවම් කළා! Cesena මේ පිළිබඳ III වන පාවුලු පාප්වහන්සේට පැමිණිලි කලත්, මාගේ තීන්දු තීරණ දිව්‍ය ලෝකයට කැප වූවත් අපායට කැප නැති බව කියමින් උන්වහන්සේ මේ පීනස් අමාරුකාරයාව මගහැරියාලු. 

1564 දී ආන්ජලෝ මියගිය පසු, පල්ලියේ මැදිහත්වීමෙන් මෙම බිතුසිතුවමෙහි වූ නග්න ශරීර වල ලිංගේන්ද්‍රියන් මත දිඹුල් කොළ සිතුවම් කරමින් නොපෙනෙන ලෙස සකස් කෙරෙව්වාලු. මේ විදියට දිඹුල් කොළ ඇඳපු Daniele da Volterra නම් චිත්‍ර ශිල්පියාට "the breeches maker" (හෙළුව/කටී ප්‍රදේශය වසන්නා) කියලා නමකුත් පටබැඳුණාලු. 1980 සිට 1994 දක්වා වතිකානු දෙව්මැදුරේ සිදුකරන ලද පුනස්ථාපන කටයුතු වලින් පස්සෙ පීනස් අමාරුකාරයින් විසින් මේ සිතුවමෙහි ස්ථානගත කරන ලද දිඹුල් කොළ වලින් අඩක් පමණ ඉවත් කරගන්නට පුළුවන් වුණාලු. 

Thursday, June 30, 2016

චීන නරි

ලබු කිරිබත් කාපු නරි හාමිගේ පටන් ගමරාළගේ දෝණියැන්දාව සහේට ගන්න ආපු නරි නයිදෙත්, මිදි කඩාගන්න බැරිවුණු  ඊසොප්ගේ නරිහාමි ගැනත්, ඒ විතරක්ය, සුවාදීන රූපවාහිනියේ ගියපු සුදු පුංචා පප්ට් ශෝ එකේ හිටපු 'එක පොතකට බුක් නම් පොත් දෙකට දෙබුක්' කියපු නරිහාමි ගැනත්  හැමෝටම මතක ඇතිනේ. ඔය සේරෝමලා අපට ලංකාවේ පාරතොටේ මුණුගැහෙන නරි නෙව. ඉතින් මීට වඩා ටිකක් වෙනස් නරි ටිකක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නෙ. මෙයාලා නිකම්ම නිකම් නරි නෙමෙයි, චීන නරි.
චීන ජනකතාවේ ජනප්‍රියම චරිතයක් තමයි නරියා කියන්නේ. චීනයේ මේ නරි ආභාෂය අතීතයේදිම ජපානයටත් කොරියාවටත් ලැබිලා තියනවා. ඒ නිසා මේ රටවල තුනේම ජනශ්‍රැතිකරණය වුණු නරි පෝලිමක් ඉන්නවා. මෙයැයිලාට නරි නරි කිව්වාට ඇත්තටම ගත්තොත් නම් මෙයැයිලා බවලත් නරිච්චියෝ. ඕං ඉතින් මෙච්චරෝ වෙලා කම්මැලිකමේ පෝස්ටුව කියෝ කියෝ හිටි සමහර කස්ටිය අලුතින් ලැබුණාවූ ඊස්ට්‍රජන් ඩෝස් එකෙන් කුල්මත් වෙලා ඉතිරි හෑල්ලත් කියෝලා දාන්ට හිත හදා ගන්න බව පේනවා මට මගේ ලැප්පොට් අඳුනෙන්. බලාන ගියාම ඒකෙත් වරදක් නෑ, මොකොදැ මෙයැයිලා හරි අපූරු චීන නරිච්චියෝ ටිකක් තමයි. 
චීන ජනශ්‍රැතියට අනුව නරියාට ඉතා දීර්ඝ ආයු කාලයක් හෙවත් hu-li එකක් තිබුණා.  නරියාගේ ආයු කාලය වසර 800-1000 පමණ දිගු වන බවත්, සමහරක් වෙලාවට අමරණීයත්වය වුවත් උදා කරගන්න ඌට පුළුවන්කම තිබෙනවා කියලා චීන ජනතාව විශ්වාස කළා. ඒ වගේම යින් සහ යැන් වලින් ජීවයේ ස්ත්‍රී පාර්ශවය ලෙස සැලකෙන යින් කොටස නරියා තුල වැඩියෙන් පවතින බවත් ඔවුන් විශ්වාස කළා. මේ නිසා නරි සඳහා විවිධ පන්සල් සහ වෙනත් සිද්ධස්ථාන පවා ඔවුන් විසින් ඉදිකෙරුණා. නරියාගේ තිබුණු නිශාචර ගතිගුණ සලකා බලා පැරණි චීන ජනයා විශ්වාස කලා යින් කොටසින් පිරි නරින්ට රාත්‍රී කාලයේදී සිය වෙස් මාරු කරගෙන සුන්දර කාන්තාවන් බවට පත් වෙන්න හැකියාවක් තිබෙන බව.ඒ වගේම නරින්ගේ ශරීරයේ ඇති යින් නම් ස්ත්‍රී කොටස යැන් කොටස සහ සමබර කරගැනීමේ අවශ්‍යතාව, එසේත් නැතහොත් පිරිමි ඇසුරක අවශ්‍යතාව සපුරා ගැනීමටත් කාන්තාවන් බවට පත්වන නරින්ට අවශ්‍ය වූ බව විශ්වාස කෙරෙනවා.  මේ පිරිමි ඇසුර සාමාන්‍යයෙන් දෙවිදියක් වුණා. එකක් තමයි මෙම නරියන් කාන්තාවන්ගේ වෙස් ගෙන, පුරුෂයින් සමග නිදිවැදීම. අනෙක් ආකාරය නම් පරපෝෂිත ක්‍රමයක්. පැරණි චීන ගැමියන් විශ්වාස කලා මෙලෙස ගැහැණු වෙස් ගෙන පැමිණෙන නරියන් පිරිමින්ගේ හදවත් හෝ අක්මාව ආහාරයට ගන්නා බව. 
නරි සහ නරි ආත්ම පිළිබඳ ප්‍රසිද්ධ චීන කතා එකතුකරන්නෙක් තමයි පූ-සොංග්-ලින් (1640-1715) කියන පැරණි චීන උගතෙක්. මෙයා උගතා වුණාට හෙන බේබද්දාලු. හොඳ රාජ්‍ය නිලධාරියෙක් වෙන්න හැකියාව සහ දක්ෂකම තිබුණත් මෙයාගෙ මේ බේබදු ජීවිතේ නිසා ඒ අදහස අතරමග අතෑර දාන්න පූ-සොංග්-ලින්ට සිද්ධ වුණාලු. මෙයා කොහේ හරි තැබෑරුමකට හේත්තු වෙලා බොනපාට් වැඩේ කරන ගමන් එක එක මිනිස්සුන්ගෙන් නරි පිළිබඳ කතාන්තර අසමින්, ඒවා සටහන් කරගනිමින් කාලය ගතකළාලු.
චීනයේ එන පැරණිම නරි මිත්‍යා කතාවක් තමයි හොන්ග්-යු කියන්නෙ. නරියන් පිළිබඳ පැරණිම මිත්‍යා කතන්දර වලට ආවේණික රාමුවක් තිබෙනවා. භෝ විට සිදු වෙන්නේ ගැහැණු වෙස් ගත් නරියා පිරිමියෙකුගේ ජිං සොරකම් කර ගැනීම. නරියා සොරකමේ යෙදෙන මේ ජිං යන්නට පිරිමියාගේ ශුක්‍රාණුත් ඔහුගේ ජීව ශක්තියත් යන දෙකම අයත් වෙනවා. රාත්‍රී කාලයේදී පිරිමියා සමග නිදි වදින ගැහැණු වෙස් ගත් නරියා, පිරිමියාව කිහිපවරක්ම සුරතාන්තයට පමුණුවා හිමිදිරිය වන්නට මත්තෙන් පැන යනවාලු. බොහෝවිට එසේ පැන යන විට සිය සැබෑ ස්වරූපයත් පෙනීමට සලස්වනවා කියලාත් මිනිසුන් විශ්වාස කරනවා. එක්තරා ආකාරයකට මෙය One Night Stand එකක්. 
හොන්ග්-යු කතාවේ නම් මේ සාම්ප්‍රදායික ක්‍රමය ටිකක් වෙනස් වෙනවා. මේ කතාවෙහි එන නරියා අන් චරිත වගේ එක රැයකින් පැනලා යන්නේ නැහැ. මේ ගැහැණු වෙස් ගත් නරියා එම පිරිමියා වෙත සෑම රාත්‍රියකම පැමිණෙනවා. මෙම මිනිස් තරුණයාගේ පියා මේ නරි ආගමනයට විරුද්ධ වුණාම, තරුණියකගේ වෙශයෙන් ආ නරියාම මේ තරුණයාට විවාහ කරගැනීමට තරුණියක් ද සොයා දෙනවා.  කාලයක් ගතවුණාම මේ තරුණයාට නපුර ලඟා වෙනවා. ගමේ ඉන්න බලපුළුවංකාර පෝසතෙක් මේ තරුණයාගේ බිරියව පැහැරගෙන යනවා. තමන්ව දූෂණය වනවාට වඩා මිය යාම හොඳයි කියා සිතන තරුණ බිරිය, සියදිවි නසා ගන්නවා. පැහැරගැනීම සිදුකරනා බලපුළුවංකාරයාගේ හදිසි මරණයට තරුණයාව සැක කෙරෙන අතර ඔහුගේ බිලිඳු පුතාව පැමිණිලි පාර්ශවයේ පිරිස විසින් කන්දකින් පහළට විසි කරදැමෙනවා. මේ අවාසනාවන්ත තත්වයේදී තරුණයාගේ පිහිටට එන්නේ අර තරුණියකගේ වෙස් ගත් සිවලායි. කන්දෙන් පහලට විසි කල දරුවාව බේරාගන්නා සිවලා තරුණයාට පිහිට වෙනවා. කතාව අවසානයේදී සිවලාව නිරූපනය කෙරෙන්නේ පරපෝෂිතයෙකු ලෙස නෙවෙයි, ගැලවුම්කාරයෙකු ලෙසටයි. නරියාගේ චරිත නිරූපණය විවිධ ආකාරයෙන් මේ චීන ජනකතාවලදී නිරූපණය වෙනවා. විටෙක පරපෝෂිතයෙකු ලෙසටත්, විටෙක ගැලවුම්කාරයෙකු ලෙසටත්, ගණිකාවක් ලෙසටත්, අහිංසක තරුණියක,ලිංගික අප්‍රාණිකත්වයෙන් පෙලෙන පුරුෂයෙකුගේ බිරිඳ,මාමණ්ඩියගෙන් සහ නැන්දණියගෙන් අතවරයට ලක්වන ලේලියක ලෙසටත් නරියාගේ වෙස් මාරුව නිරූපනය කෙරෙනවා.  
පෝස්ටුවේ මුලින්ම කිව්වනේ චීනයේ මේ නරි ආභාෂය ජපානයටත් කොරියාවටත් ලැබුණා කියලා. ජපානයේ මෙලෙස වෙස් මාරු කරන නරියන් හඳුන්වන්නේ කිට්සුනේ කියලයි. කොරියාවේ මොවුන්ව ගුමිඕ කියලා හඳුන්වනවා. ගුමිඕ කියන්නේ වල්ගා නවයක් සහිත නරියෙකුටයි. මේ වල්ගා නවයේ ජීවිත නවයක බලය තිබෙනවා කියලා ඔවුන් විශ්වාස කරනවා. මේ ගුමිඕ නම් කොයි වෙලාවෙත් පුරුෂයෙකුගේ හදවත කාලා තමන්ගේ යින් වුවමනාව සපුරාගන්න ආසාවෙන් ඉන්න පරපෝෂිතයෙකු ලෙස තමයි නිරූපනය වෙන්නෙ. ජපානයේ කිට්සුනේ ලෙස හඳුන්වන මේ නරි-මිනිස් වෙස් මාරු කතාන්තර වල, ලිංගික සන්තර්පණය පමණක් නෙමෙයි, අඹුසැමි ප්‍රේමය, තමන් සතු කර ගත නොහැකි ප්‍රේමය වැනි මාතෘකා පිලිබඳවත් කතා කෙරෙනවා. කිට්සුනේ යන්නෙහි තේරුම එන්න, ඇවිත් මා සමග නිදිවදින්න කියන සරල තේරුමයි. 
වරක් එක් මනුශ්‍යයෙක් යහපත් බිරියක් සොයාගෙන අස්පයා පිට ගමනක් ගියාලු. අතරමගදී ඔහුට ඉතා සුන්දර තරුණියක මුනගැසුණාලු. ඔබ කොයිබක යනවාද කියා මිනිසා තරුණියගෙන් ඇසූ කල මා යහපත් ස්වාමිපුරුෂයෙකු සොයා යමි කියා ඕ පිළිතුරු දුන්නාලු. දෙදෙනාම එකිනෙකාට කැමති නිසා මිනිසා මේ තරුණියව නිවසට ගෙන ගොස් සිය බිරිඳ කර ගත්තාලු. ඉක්මනින්ම මේ තරුණිය ගැබ්බර වුණාලු. ඒ එක්කම වාගේ නිවසේ සිටිය බැල්ලද ගැබ්බර වූවාලු. මේ බැල්ල නිතරම මේ තරුණියට බුරනවා. මොකද බැල්ලට දැනෙනවා සිවලාගේ ඉව. මේ බැල්ල මරා දාන්න කියලා කීවත් සැමියා ඊට කැමති වන්නේ නැහැ. ඉතින් මාස කිහිපයකට පසු අලුත් සහලෙන් රජතුමාට වෙන් කරන සහල් පංගුව ගෙන යාමට සූදානමින් ඒවා සකසමින් හිටපු සේවකයින් වෙත මේ සිවල් බිරිය රසකැවිලි ගෙනයනවා. අසල හිටපු අර බැල්ල එක වරම මේ බිරිය දෙසට කඩා පැන ඇයව සපා කන්න හදනවා. බියට පත් වූ තරුණිය එක වරම සිවල් ස්වරූපයට හැරී වැටට උඩින් පැන යනවා. 
සිය බිරියගේ මේ වෙස් මාරුව දකින සැමියා දුකට පත්වෙනවා. මට නුඹගෙන් දරුවකු ඉන්නවා. ඒ නිසා මට නුඹව අමතක කරන්න බැහැ. ඒ නිසා සෑම රැයකම ඇවිත් මා සමග සයන් ගත වෙන්න, සැමියා කියනවා. තමන්ගේ සැබෑ ස්වරූපය හෙළිදරව් වූ පසු සිවලා ආපිට මිනිස් ඇසුරට එන්නේ නැති බව තමයි විශ්වාසය.සැමියාගේ ඉල්ලීම නිසා සිවල් බිරිය සැමදාම රාත්‍රියට සිය සැමියාගේ සයනයට එනවා. එන්න ඇවිත් නිදිවදින්න හෙවත් කිට්සුනේ කියලා මේ සිවල් බිරියට නම් තැබෙනවා. සෑම උදෑසනකම, රක්ත වර්ණ ඇඳුමකින් හැඩවුණු සිය බිරිය සෑම උදෑසනකම තමාගෙන් වෙන් වී යන සොවින් සැමියා මෙලෙස සිය බිරියට දුක් ගීයක් ගායනා කරන්නේලු. 

ප්‍රේමය මගේ 
පිරිපුන් වූ සැපත
මොහොතක එක් වීමකින් පසු
අහෝ!

යන්නට යන්නීය.