Thursday, August 18, 2016

දාලිත්සෝවත : ජාදුමානි

මං ජාදුමානි. ඉපදුණේ ඔරිස්සා ප්‍රාන්තෙ. ඉන්දියාවෙ දුප්පත්ම ප්‍රාන්තයක් තමයි ඔරිස්සා කියන්නෙ. මගේ ගම භන්ජාපාලි. ඒක පුංචි ගමක්. මං හීන කුලේ. ගාන්ධි ජී නම් කිව්වෙ අපි හරිජනයො කියලා. හරිජන කියන්නෙ දෙයියොන්ගෙ ළමයි කියන එකයි. මං නං දන්නෙ නෑ අපි මොන දෙයියන්ගෙ ළමයින් ද කියන්න. සමහරවිට ඒ ගාන්ධි ජී ගේ දෙයියො වෙන්ඩ ඇති. මං දන්නෙ නෑ ඒ දෙයියො මොනතරම් සාධාරණයි ද කියන්න. හැබැයි ඒ දෙයියෝ කියනවා අපි අතින් අල්ලන්නවත් තරම් නොවෙන අසික්කිත වර්ගයක් කියලා. කොහොමින් කොහොමහරි අපේම කියලා ඡන්දකොට්ඨාස වලින් අපේ ජාතියෙ මිනිස්සුන්ව බලයට පත් කරනවට (Granting the Communal Award) ගාන්ධි ජී කැමති වුණේ නෑ. මං දන්නෙ නෑ ගාන්ධි ජී මොන තරම් සාධාරණයි ද කියන්න. සමහරවිට මං වැරදියට හිතාගෙනවත්ද දන්නෙ නෑ.අපි දාලිත් මිනිස්සු (Untouchables).අපි ලෝකෙ ගැන මොනවා කියලා දන්නවටද........

මං උපන්නෙ ගාන්ධා කුලේ. හීන කුලේ අයව තව එක එක කුල වලට බෙදිලා තියනවා. හින්දු දෙයියො කියන ප්‍රධාන කුල හතරට අපි අයිති නෑ. අපි පහළ කුලේ (low caste) අය නෙවෙයි. හරියටම කිව්වොත් අපිට කුලයක් නෑ. අපි කුලෙන් පිට මිනිස්සු (out caste). ඔය කියන විදියට අපි බොහෝම නරක උදවිය වෙන්න ඕනෙ. 

මායි මගේ සනුහරේමයි ගැතිකං කරේ හින්දු ඉහල කුලේ අයගේ වැඩකාරයෝ, කම්කරුවෝ විදියට. හීන කුලේ අපට ඉඩං අයිතියක් නෑ. ඉස්සර කාළේ අපේ කුලේ ඈයින් ජීවිතේ සරි කරගත්තෙ බෙර ගහලා, රෙදි වියලා. අපිට ගමේ ජීවත් වෙන්ඩ අයිතියක් නෑ. අපි හිටියේ ගමින් පිට අටවාගත්තු ගුබ්බෑයම් වල. අපි කවුරුත් කළේ ගමේ හින්දු පවුල් වල දාසකම්. අපේ දුප්පත්කම ඉහටත් උඩින්. අපිට මුකුත් වෙළහෙළඳාමක් කරන්න තහංචි. රස්සාවක් කරන තරමට ඉගෙනගන්නත් තහංචි. අපේ පරම්පාරා ගාණක්ම කළ දාසකම්, වැටුණු කඳුලු, හළපු ලේ ගංගානම් ගඟට වඩා බොහොම උසයි.
සාමාන්‍ය මිනිස්සුන්ට හම්බුවෙන කිසිම පොදු පහසුකමක්වත් ලබාගන්න අපට අයිතියක් නැහැ. මං ඉස්කෝලේ යද්දි වාඩි ගන්න ලැබුණේ පන්තියේ මුල්ලක. ඉහළ කුලේ ලමයින්ගෙන් අපිව ඈත් කරලායි තිබුණේ. දවල් කෑම වෙලාවට ඉස්කෝලෙන් කාටත් කෑම දුන්නා. අපිට දුන්නේ වෙනමම වාඩි කරවලා. ඉහල කුලේ ලමයි කෑම කන පළාතටවත් අපි හීන කුලේ ළමයින්ට යන්න දුන්නෙ නෑ. දවල් විවේක වෙලාවට ඉහළ කුළේ ළමයි ක්‍රිකට් ගහනවා. මාත් හරි ආසයි ක්‍රිකට් ගහන්න. ඉස්කෝලෙ වැට මායිමෙන් එහාට වුණත් මට පුළුවන් හයේ පාරවල් ගහන්ඩ. එතකොට හැමෝම මට අත්පුඩි ගහාවි. ඒත් ඉහල කුලේ ලමයි අපිව ක්‍රිකට් ගහන්න ගන්නෙ නෑ. ඉන්දියාව කීපවතාවක්ම ක්‍රිකට් ලෝක කුසලානෙ දිනුවාලු. අපිත් හරි ආසයි ක්‍රිකට් ගහන්න. ඉහල කුලේ අය දිහා කෙලින් බලන්න අපට තහනම්. ඒ නිසා  ඒ කාටවත් අපේ ඇස් වල දුක වේදනාව නොපෙනෙනවා ඇති.

අපේ ගන්ධා මිනිස්සු සේරම පාරවල් හදන තැන් වල, ගෙවල්, ගොඩනැගිලි හදන තැන් වල අතේපයේ වැඩ තමයි කරන්නෙ. මං කාලයක් හින්දු ඉහල කුල ගොවිපොළ වල කුලී වැඩ කළා. කුළී වැඩ කරද්දී අපට එයාලාගෙ ගෙවල් පලාතටවත් එන්න දෙන්නෙ නැහැ. අපට පිපාසාවට වතුර ඩිංගක් ලිඳකින් බොන්ඩ අවසරයක් නැහැ. වැඩ කරලා හොඳටෝම පිපාසා වුණාම එයාලා කවුරු හරි අපේ අත් වලට හරි අපේ භාජනේකට හරි වතුර වක්කරනවා. එහෙම ලැබෙන වතුර ටික තමයි බොන්නෙ. එයාලගේ වතුර භාජන ලඟටවත් යන්න දෙන්නෙ නෑ අපට, එව්වා අපිරිසිදු වෙන්වාලු.  

මගෙ අම්මටත් තාත්තටත් අකුරු සාස්තරේ බැහැ. තාත්තා ගොවිපොලක කුලී වැඩ කළා. එයාට ලැබුණේ රුපියල් තිහයි දවසේ කුලිය. ඒ සොච්චමින් තමයි අපේ මුළු පවුලම නඩත්තු වුණේ. සමහර කාල වලදි ඒ සොච්චමත් ලැබුණේ නැහැ. මට මතකයි මීට අවුරුදු කීපයකට උඩදී ආපු සීත කාලේ මහපොළොවට එක වැහි බිඳක් වැටුනේ නැහැ. වැස්ස හීන වුනාම ගොවිපොළ වල වැඩ නවත්වනවා. වැඩ නැවතුවාම අපට කුලී වැඩ නැහැ. ඒ මුළු අවුරුද්දටම හරියකට වැස්ස නොවැටුණු නිසා සේරම ගොවිපොළවල වැඩ නතර වුණා. ඒ සීත කාලේ අපි දවස් ගණන් නොකා නොබී හිටියා. ඒක බොහෝම අමාරු සීත කාලයක්. 

*හෝබෝගේ සටහන: එහෙම අමාරු සීත සමයක් ගෙවාපු ජාදුමානිට දැන් වසන්තය උදා වෙලා. එයා හීන කුල මිනිසුන් වෙනුවෙන් හඬ නගපු ආචාර්ය අම්බෙඩ්කාර් මහත්මයාගේ අඩි පාරේ යන, බෞද්ධ දර්ශනය ප්‍රධාන කොටගත් නාගලෝක කියන බෞද්ධ මධ්‍යස්ථානයත් එක්ක සම්බන්ධ වෙලා, ජවහල්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරමින් ඉන්නවා. තමන් වගේ හීන කුලයේ ඉපදීම නිසා නොයෙක් කරදර කම්කටොළු වලට මුහුණ දෙන දාලිත් ජනතාව වෙනුවෙන් සමාජ සේවා කටයුතු වල නිරත වෙනවා. ජාදුමානි තමන්ගේ කතාව ලෝකයටම කියන්නෙ තවමත් සීත සමයට හසු වෙලා ඉන්න දාලිත්වරුන්ට වසන්තය උදා කරන බලාපොරොත්තුවෙනුයි. මට ජාදුමානිගේ ජීවිතෙන් එක මොහොතක් හමු කරලා දෙන්නෙ ඒ වගේ දාලිත්වරයෙකුව සිට දැන් මහණ දම් පුර භන්තේ සුගත හාමුදුරුවෝ. මට භන්තේ සුගත හාමුදුරුවන්ව මුනගැහෙන්නෙ සාසනේට යන්න කලිනුයි. ඒ කාලේ එයා දීපක්. මට දීපක්ව මුණගැහුණු හැටි තව දවසක කියන්නම්. 

11 comments:

  1. ලංකාවෙත් මේ තරම්ම නැතත් කුල බේධය අදටත් තියෙනවා. පත්තරේ යන මංගල දැන්වීම් බලන්න. කුලෙන් පිට කසාද කෙරෙනවා හරි අඩුයි. බුදු හාමුදුරැවෝ කුල බේධේ ප්‍රත්ක්ෂේප කලාට අපේ රටේ පන්සල්වල කුලෙන් පිට ළමයෙක් මහණ කරනවා හරි අඩුයි. එහෙම මහණ උනත් උපසම්පදාව ලැබෙන්නේ නෑ නේද?.

    ReplyDelete
    Replies
    1. ඔව්, අපේ සාසනේ ඇතුලේ තවමත් කොට චීවරේ අඳින, සෙරෙප්පු ලාන්නෙ නැති තල්පත ඉහලන හාමුදුරුවරු ඉන්නවා. ඒ විදියටනෙ මේ හාමුදුරුවෝ හීන කුලේ කෙනෙකු බව මිනිස්සුන්ට හඟවන්නෙ. මට මතකයි අපි පොඩි කාලෙ අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ, 'අඩු ජාතියේ' කියලා ගමේ ගෑණු හොරෙන් හොරෙන් කතා වෙනවා. ඒ හාමුදුරුවෝ හුඟාක් හොඳ ගොඩක් ඉගෙනගත්තු උන්නාන්සෙකෙනෙක්. කුල බේදය විතරක් නෙමෙයි, අපේ සාසනය ඇතුලේ පුරුෂෝත්තමවාදයත් ජයටම තිබෙනවා. අපේ භික්ෂූණීන්වහන්සේලා කිසියම් බැහැරක් යනවානම් තමන් භාර පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් අවසර ගන්න ඕනෙ. විදේශ ගමනක් යනවා නම් ඊට අවසර ගන්න ඕනෙ. මේ වගේ තව ගොඩක් කෙනෙහිලිකම් තියෙනවා.

      Delete
  2. දුප්පත්ම දුප්පත් අසරණයෙක් නැගිටින්න උත්සාහ කලත් මිනිස්සු වට වෙලා එන්නෙ කුල මල,කන බොන කතන්දර කියාගෙන..
    ජයවේවා..!!

    ReplyDelete
  3. ජාදුමානිට ජයවේවා , ඒගැන මාව දැන්වත් කරපු හොබෝටත් ජයවේවා.
    ස්තුති.

    ReplyDelete
  4. ජාදුමානිට ජයවේවා , ඒගැන මාව දැන්වත් කරපු හොබෝටත් ජයවේවා.
    ස්තුති.

    ReplyDelete
  5. ඔබේ රචනා ශෛලිය විශිෂ්ඨයි...:)

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි රවි! දිගටම හෝබෝගෙ කතා කියවලා කමෙන්ට් කරන්න. දිරි දීම්, හරි වැරදි අඩුපාඩු පෙන්වා දීම් මට ගොඩාක් වටිනවා.

      Delete
  6. වෙනස් ආරක් ලියැවිල්ලක්.......... සින්ඩිගත කරගත්තා........ දිගට ම එන්නම්කෝ............

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කුරුටු!

      Delete