Sunday, March 4, 2018

ලුණු දෙහි ආලය


ගෙදරක බිත්ති කපරාදු කරලා සුදු පාටට ඔප කළාම ලස්සන වෙනවා වගේ කුස්සියේ කොහේහරි මුල්ලක ලුණුදෙහි බෝතලයක් නැත්නම් තුන් වේලම පාළුයි කියලා හිතෙන තරම් ලුණුදෙහි වලට රස වැටෙන්න පුළුවන්. ඉස්සර නම් අම්මා ලුණුදෙහි හැදුවේ ගෙදර වත්තෙ තිබුණු දෙහි ගස් වලින්.පෑවිල්ල කාලෙට කහ කුරුල්ලො රොත්තක් වහලා නිස්සද්දව ඉන්නවා වාගෙ කහම කහ පාට බෝල බෝල දෙහි ගෙඩි පොරෝගෙන ඉන්න දෙහි ගස් වලින් හොදට පැහුණු දෙහි ගෙඩි තමයි කඩාගෙන එන්නෙ. 

 ඒවා හතරට පලලා පැගිරි සුවදේ බැරුව හූල්ල හූල්ල දෝරෙ යන ඉස්ම ටික වෙනම මඩක්කුවකට එක්කාසු කරලා,හම්බන්තොට ඉදන් දුර ගමනක් ආපු උල් කැට කැට ලුණු මේ දෙහි ගෙඩි මැද්දෙන් තියලා වට්ටියක අඩුක් කරලා පිච්චෙන කට්ට අව්වට තිබ්බම ඒ ගැන තියන වගකීම අපි අමතක කරත්, උදේ ඉදන් හවස් වෙනකම් වහලේ උඩ හරි මිදුලෙ පොඩි බංකුවක් උඩ හරි වේලි වේලි ඉන්න ලුණුදෙහි වට්ටිය පොඩි දරුවෙක් බලාකියාගන්නවා වගේ රකින්නෙ අම්මා.ඒ අම්මලාගෙ හැටි, අපි වගේ නෙමෙයි.එයාලට තමයි වැඩක් එකදිගට කරගෙන යන්න පුළුවන්.

වැස්සට ගෙට ගන්න, හවහට අරන් තියන්න ආයෙ අව්වෙන් තියන්න, මේ සුමේ සතියක් හමාරක් කරන අතරෙ අර මඩක්කුවේ තියන දෙහි ඉස්ම ටිකත් පැත්තකට වෙලා සද්ද නැතිව කැකෑරෙනවා කට්ට අව්වට.ඊට පස්සෙ කහ පාටට බැබලි බැබලි හිටපු දෙහි ගෙඩි ටික ලා දුඹුරු පාටට වේලිලා ලුණුකැටත් එක්ක හාද වුණාට පස්සෙ, ගෙදර පොඩි කාමරේ මුල්ලකට කරලා තිබුණු පරණ හෝර්ලික්ස් බෝතල් වතුරට හේදිලා අව්වට වේලිලා සැදී පැහැදී එන්නෙ මේ ලුණුදෙහි ටික බාර ගන්න.
 සදුදා උදේට බස් එකට මිනිස්සු පටෝනවා වගේ අර විසාල වට්ටියෙම තියෙන ලුණුදෙහි ටික හෝර්ලික්ස් බෝතල් දෙකකට ඔබන කොට ඒ අතර හැදෙන හිදැස් වහන්න අර කැකෑරුණු දෙහි ඉස්ම ටිකත් වත්කරනවා. ඊට පස්සෙ කුස්සියේ කොහේ හෝ කොනක හැංගෙන මේ අපූරු ලුණු දෙහි බෝතල් එලියට එන්නෙ පරණ ලුණුදෙහි බෝතල් පෝලිමක් කාලා බෙදලා ඉවර වුණාට පස්සෙ.ඕන්න මේ පාරත් අම්මා ලුණුදෙහි හැදුවා.ඒ පොළෙන් ගෙනා දෙහි.සුදු පිගානක තියලා.ඒත් රිංගෙව්වෙ නම් පරණ හෝර්ලික්ස් බෝතලේකටම තමයි.