Wednesday, July 20, 2016

අත්තම්මාගේ රස කතා - පැටිකිරිය

අත්තම්මා එහෙමටයි කියා පන්සල් යන්නේ නැත. සිල් ගන්න යන්නේද නැත. ඒ මොකොදැයි කියා විමසූ විට ඕ අපූරු උත්තරයක් දෙයි. මට බෑ බං ඔය බණ මඩු වල ඉඳගෙන ඔයි එක එක නාකි ගෑණු උන්ගේ ලේලිලාටයි බෑණලාටයි අහලපහළ ගෙවල් වල ඉන්න ගෑණුන්ටයි දිගෑරගෙන දෙස් තියනවා අහන්න. ඔයි ටික අහගන්ට මං පන්සල් යන්ට ඕනෙය... හවසට හැමදාම අත්තම්මා බුදු පහනත්, පත්තිනි මෑණියන්ට සහ වෙනත් බාරහාරයක් වී ඇත්නම් ඊටද පහනක් පත්තු කරයි. ඕ ඉතාම භක්තිවන්ත පත්තිනි මෑණියන් වන්දනා කරන්නියකි. ඉන්  ඇයටත් පවුලේ සාමාජිකයන්ටත් ඉතා යහපතක් කෙරෙන බව ඕ විශ්වාස කරයි. අත්තම්මා ඔය නාකියි නාකියි කියන්නා සියළු ගැහැනුන් ඇයට වඩා දහපහළොස් වසරකින් හෝ විසිතිස් වසරකින් ඇයට වඩා ලාබාලය. වරෙක ආගං පතුරුවන්නට ආ මැදිවියේ ගැහැණුන් දෙදෙනෙකුට ඕ කොස්සෙන් ගහන්ට ගේට්ටුව තෙක් එළෝගෙන ගියාය. ගේට්ටුව අසලට වී ඇය වටපිටාවේ ගෑණුන් දැනුවත් කළේ, නාකි ගෑණු දෙන්නෙකු ආගං පතුරුවන්ට ගමේ ගෙවල් වලට රිංගන බව කියාය. 
හැමදාම උදේට අත්තම්මා දවසේ පත්තර එකක් හෝ දෙකක් කියවයි. අම්මා කණ්නාඩි දාගෙන පත්තරේ කියවන විට අත්තම්මා පත්තරේ කියවන්නේ කණ්නාඩි නැතිවය. අත්තම්මා මැස්මට හරි දස්සය. හීනි ඉඳිකටු මලෙන් මල් මහන නූල පන්නාගෙන ඕ අපූරුවට මල් මහන්නීය. අපි කවුරුත් නිදන්නේ අත්තම්මා මල් හෝ කුරුල්ලන් මසා ඇති කොට්ට උර පැලැන්දූ කොට්ටාවලය. ජර්මනියේ ඩෙස්පිනා නැන්දාටද ඕ නොවරදවා කොට්ටා උර මසා යවන්නීය. 
අත්තම්මා මෙයි තරම් හැඩේට මහන්න ඉගෙනගෙන ඇත්තේ ඇගේ අම්මාගෙන්ය. වයස අවුරුදු දහයේ පටන්ම ඕ මැස්මට ද බීරළු ගෙත්තමට ද පුරුදු වූවාය. අත්තම්මාගේ අම්මා කොට්ටං ඇටේ හැඩැති තැටිං කට්ටෙන් මනමාලියන්ගේ ඇඳුම් වලට රේන්ද මහන්නීය. අපේ අම්මගෙ නම ජොහානා දෙනවක. එයැයිට දෙනවක හාමිනේ කියලා කතා කළේ නැතිනම් හරියට කේන්ති යනවා. එයැයි හෙන නම්බුකාර විදියට තමා උන්නෙ. අපෙ අම්මා අඳින්නෙ දිග සායයි අත් දිග හැට්ටෙයි. එයාට තිබුණා ලාච්චු පහක මැසිමක්.
අපෙ අම්මගෙ තාත්තා (ඔය කියන්නේ අපේ කිත්තා විය යුතුය.) සෑර් කෙනෙක්. එයාගේ නම දාවිත් ගුරුන්නාන්සේ. එයැයි උගන්නන්නෙ පාලි, සංස්කෘත, සිංහල. හෝමාගම තිවුණු ඉස්කෝලෙ තමයි උගන්වලා තියෙන්නෙ. තාම තියනවා ඒ ඉස්කෝලෙ. තරුණ කාලෙ අපෙ අම්මත් උගැන්නුවාලු මාලඹේ ඉස්කෝලෙ. ඒ කාලෙ ගමටම අකුරු දන්නෙ අපෙ අම්මයි තාත්තයි, තාත්තගෙ පවුලේ පිරිමි ඈයිනුයි විතරයි. ඉස්සර ගෑණු උදවියට අකුරු සාස්තරේ ඉගෙනගන්න දෙන්නෙ නෑ නෙව. අපෙ අම්මට අකුරු සාස්තරේ පුළුවං වුණේ අම්මගෙ තාත්තා ගුරුන්නාන්සේ කෙනෙක් හන්දයි.  
ඒ කාලෙත් තිවුණා ඔය රෝයල්, ආනන්ද, නාලන්ද වගේ ඉංග්‍රීසි ඉස්කෝල. මං ඉස්කෝලෙ ගියේ කඩුවෙල කොතලාවල ඉස්කෝලෙට. ගෙදර ඉඳන් හැතැම්ම තුන හතරක්ම පයින් තමයි යන්නෙ. ඒ කාලෙ අපි කොළඹ ගියෙත් පයින්. කොතලාවල ඉස්කෝලෙ පොඩි පොල් අතු ඉස්කෝලයක්. පොඩි ළමයි විතරක් නෙවෙයි, ළමිස්සියොත්, මහ ගෑණුත් ඔක්කොම එක පන්තියෙ ඉඳන් අකුරු ඉගෙනගත්තා. ඒ කාලෙ ගෑණු ටීචර්ලාට කතා කලේ ගුරුන්නාන්සේ කියලා. පිරිමි සෑර්ලාට කතා කළේ ගුරුන්නාන්සේ මහත්තයා කියලා. මුළු ඉස්කෝලෙටම  උන්නෙ ළමයි තිස් දෙනයි, ගුරුවරු තුන්දෙනයි. ඒ කාලෙ මාව හරියකට ඉස්කෝලෙ යවන්න තාත්තා කැමති වුනේ  නැහැ. එයා තමයි ගමේ වෙද මහත්තයා. තාත්තා එන්නෙ වෙද පරම්පරාවකින්. තාත්තගේ තාත්තත්, බාප්පත් වෙද මහත්තෙලා. අපෙ තාත්තාගෙ අම්මාගෙ තාත්තා (අත්තම්මාගේ මුත්තා විය යුතුය.) වෙද මුහන්දිරන් කෙනෙක්ලු. අපෙ තාත්තාගෙ තාත්තාව වැඩිපුර ඉගෙනගන්ට කියලා සේදවත්තෙ වෙදෙක් ගාවට එව්වාලු. ඒ වෙදාගේ දුව එක්ක හාද වෙලා, කසාද බැඳලා එහෙම බින්න බැස්සාලු. එයින් පස්සෙ නුවර උන්නු සීයාගෙ නෑදෑයොත්, සහෝදරයොත් සේරමලා සෙයිලමට පදිංචියට ආවා කියනවා. 
අපේ තාත්තා මාව වැඩිය ඉස්කෝලේ නොයැවුවාට වෙදකම කියාලා දුන්නා. ඒ කාලෙ ගෑණු ළමයින්ව ඉස්කෝලෙ යවන එක මහ ලැජ්ජාවක්. මට මතකයි ඒ කාලෙ අපේ තාත්තා පරංගි ලෙඩ්ඩු දහ අට දෙනෙක් ගෙදර තියාගෙන බෙහෙත් කොළා. ඒ ලෙඩ්ඩුන්ගේ මුළු ඇඟ පුරාම බෙලිගෙඩි ඉතර ලොකු ගෙඩි දාලා. සනීප කරන්න බෑ. 
ඒ කාලෙ අපි ඇන්දේ සාය හැට්ට. ඔය ඔසරි අඳින පුරුද්ද ආවෙ නුවරින්. ඒ කාලෙ ගෑණු වැඩියෙන් ඇන්දෙ සාය හැට්ට. ඔසරිය අඳිනකොට අපි ඉතාම කොට පොටක් තමා දාන්නෙ. වැඩ කරනකොට ඒ පොට බෙල්ල වටේ ඔතාගන්නවා. තම්බිලායි, චීන්නුයි තමා ගමට රෙදි මිටි බැඳගෙන එව්වා ලී මැහි වල අඩුක් කොරගෙන වෙළඳාමෙ එන්නෙ. අතවැසි කොලුවෝ ඒ මැහි උස්සාගෙන එනකොට මුදලාලි ඒ පස්සෙන් එනවා "රෙදියෝප්...රෙදියෝප්" කියලා කෑගහමින්.ගමට කුළුබඩු ගේන්නෙ ඉන්දියන් දෙමළු. කුළුබඩු වට්ටි පිටින් කරතියාගෙන තමා එන්නෙ. ඔය කවුරුත් අපට බඩු දීලා යන්නෙ බලෙන්ම වාගේ. ඒ වෙලාවෙ සල්ලි ඉල්ලන්නෙ නැහැ. ඊළඟ සුමානෙ ආවම සල්ලි ගන්න බලාගෙන තමයි බඩු දීලා යන්නෙ. 
ඒ කාලෙ අපෙ තාත්තාට අක්කර දහයක් ඉතර තිවුණා. ඒ ඉඩමේ එක එක දිහාට නං හිටං තිබුණා. මුත්තෙට්ටුවත්ත, කනත්ත, මාපොරපෙවත්ත, අමුහේන, පිපිඤ්ඤාකොටුව කියලා මට මතකයි ඒ සමහරක් නම්. අපෙ අම්මයි තාත්තයි ගමේ ගෙන නම්බුකාර ඌස්නෙට තමයි ජීවත් වුණේ. ගෙදර වැඩට ගමේ මිනිස්සු ආවාගියා. අද කාළේ නම් ඉතින් රදවාත් එකයි, හකුරාත් එකයි, පදුවාත් එකයි. ඉගෙනගෙන නං, සල්ලිකාරයි නං උන්ගේ කුල හොයන්නෙ නෑනෙ කවුරුවත්. ඒත් ඒ කාලේ එහෙම නෑ. උන් ගෙදරට එන්නෙ පිළිකන්න පැත්තෙ ඉඳන්. මිටි බංකු දුන්නෙ වාඩි වෙන්න. කෙහෙල් කොලේ තමයි කන්න දුන්නෙ. දණට ඉතරයි අඳින්න දෙන්නෙ. මගුල්තුලාවක් ගන්න, වෙඩි ගහන්න එහෙම තහනම් ගමේ ප්‍රභූන්ගේ අවසරේ නැතුව. එහෙම කලෝතින් එහෙම උන්දෑලට ගහලා පන්නනවා. ගෙදෙට්ට එන මනුස්සයෙකුට මං 'ආ විලියොං මාමෙ' කියලා එහෙම කතා කලොත්, අපෙ අම්මා හරි තාත්තා හරි මට ටොකු ඇනලා කියනවා, 'ඇයි ඒ බොගේ නෑයොද මාමෙ කියන්න, විලියොං කියලා කතා කරපිය' කියලා. මට වඩා විසිඅවුරුද්දක් ඉතර වැඩිමල් අයෙකුට මං කොහොමද නම කියාලා කතා කොරන්නෙ....එව්වා මහ සහගහන වැඩ. ඒ මිනිස්සුත් මිනිස්සු නෙව.එසේ කියූ අත්තම්මා දවල් එළියෙන් ආපිට මල් මැස්මට හිත යොදමින් දිගු සුස්මක් හෙළයි. වදෙන් පොරෙන් හීනි ඉඳිකටු මලට නූලක් දමා අත්තම්මාට ඉඳහිට සහාය වෙන හොබෝවා, ඈ මසන වෛවර්ණ මොනරා දෙස මදකට බලා සිට ආයේමත් ලැප්පොට් එකේ මූණ ඔබාගෙන කතා අමුණන්නට විය. 

16 comments:

  1. යකෝ සුරංගලැ ආච්චි පරාදයි

    ReplyDelete
    Replies
    1. සුරංගලයි ආච්චි කීවෙ....?

      Delete
    2. සුරංගලගෙ ආච්චි කියන්නෙ මෙන්න මෙයාට


      http://yanhella.blogspot.com/2015/05/travel-with-grandma.html

      Delete
    3. අඩ්ඩඩ්ඩා පැණිකු, තැන්කියූ ඈහ්. අපේ අත්තම්මා එක්ක හැප්පෙන්ට පුළුවං ඉස්තිරියාවක් ඉන්නෝ නේන්නං ඒ ඉසව්වෙ!

      Delete
  2. යකෝ සුරංගලැ ආච්චි පරාදයි

    ReplyDelete
  3. මමත් ගන්නෝ ලැප්පොට් එකක්...අරන් ලියනව වී මෝලේ වීරකෝන් කියන කතා සැට් එක...ඔව් ඇත්තමයි...
    රසයි අද ලියවිල්ල නං...

    ReplyDelete
    Replies
    1. ලියන්ට ලියන්ට...මේ ලෝකෙ හැම ෆික්ෂනල් ස්ටොරියකම හැංගුණු ඇත්ත කතාවක් තියනවා.

      Delete
  4. පොතක් ලියන්න. please.

    ReplyDelete
    Replies
    1. I am not yet matured enough to write a novel. I have a hazy idea on writing one maybe later. මං අතින් කයිට් කරගෙන PERCY JACKSON:LIGHTNING THIEF පොත සිංහලට පරිවර්තනය කරලා නම් තියනවා ඕං 'අසනි සොරදෙටුවා' කියලා . ඔන්නම් කියන්ට, ඩිස්කවුන්ට් එක්ක ලැබෙන්න සලස්වන්නම්!!!!!

      Delete
    2. Have you read Percy J retelling classic Greek tales?
      http://rickriordan.com/book/percy-jacksons-greek-heroes/
      Nice!
      I just borrowed it from library.

      Delete
    3. Your book available in shops?

      Delete
    4. I am a crazy PJ fan!
      Well, it was. But since it was not in big stocks, it would be difficult for you to find it. If you want it, will post a copy for you, with a lavish discount! email me if interested. anumllwrchch1987@gmail.com

      Delete
  5. රසයි අද ලියවිල්ල නං...X 2

    ReplyDelete
  6. හොබෝ ඔබ කථා ෆැක්ටෙරියක්... හරිම සජීවී ඔබේ ලිවිල්ල

    ReplyDelete
    Replies
    1. මේ මුළු ලෝකෙම විසාල inter-textual කතාවක්!

      Delete