Wednesday, September 21, 2016

අත්තම්මාගේ රස කතා - චණ්ඩි

එක එක අටමගල් පස්සෙ හිත රෝන්දෙ දුවන්න ගත්තාම කොරන වැඩෙත් හරියට කොරාගන්න බැරි වෙනවානෙ...මේ ටිකේම ලියාගන්න නිදහසක් නෑ හිතට.ඕං දැං හරි.
                                                                                 -මීට හෝබෝ-


අද නිවාඩු දවසකි. නිවාඩු දවසට අත්තම්මා කලින් වැඩ අහවර කර පුටුවකට වෙයි. අත්තම්මාගෙන් කතන්දර ඇසීමට කදිම වෙලාවකි එය.


අපි පොඩි කාලෙ ගංගොඩේ ගෙවල් තිබුණෙ ඈතින් ඈත. හුඟාක්ම ගෙවල් අහ තියෙන්නෙ කැලෑවල්. දවල් කාලෙට වගේ වගක් නැතිව කැලේ ඇවිද්දාට රෑට නම් ඉතින් ඒ දිහාව බලන්නත් බයයි. වතාවක් මං පොඩි කාලෙ හොඳහැටි බයවුණා. එදා වෙනදාටත් වඩා ටිකක් කළුවර දවසක්. අපෙ අම්මා කුසියේ උය උයා හිටියෙ. අල්ලපු වත්තෙ ඈත තියනවා ගෙයක්. අම්මා උයන කල් මං පස්ස දොර පැත්තෙන් ඔය පැත්ත බල බලා මොනාදෝ කරමින් උන්නා. එක පාරටම මං දැක්කා මහ විසාල මිනිහෙක්, පොල් ගෙඩි වගේ අලි ඇස් ගෙඩි දෙකක් තියන, මගේ දිහාවේ බලාගන ඉන්නවා කිසිම හැලහොල්මනක් නැතිව. මං ගිරිය යටින් හූවක් තියාගෙන කුස්සියට පැනලා අමාගෙ ඇඟේ එල්ලුණා.කවුද මිනිහෙක් අපේ ගේ පැත්ත බලාගෙන ඉන්නවා කියලා මං අම්මට කිව්වෙ වෙව්ල වෙව්ල. ඉතින් අපේ අම්මා මාව එක අතකින් අල්ලගෙන, අනිත් අතින් ලිපෙන් ගත්තු ගිනි පෙනෙල්ලකුත් අරගෙන මං අර මිනිහා ඉන්නවාය කියලා කියාපු තැනට වෙනකම්ම ගියා නෙව මාවත් ඇදගෙන.ඒ ගියාට එතන මොකෙක්වත් හිටියෙ නැහැ. හැබැයි එහෙම මාව ඇදගෙන ගිය එකෙන් හිතේ තිවුණ ගැස්සිල්ල නම් අඩුවෙලා ගියා. කොහොමත් ඒ කාලෙ ගං වල හැමදාම රෑට බෙර ගහනවා. තොවිල් නටනවා. ඒවාටත් අපේ හිත ගැස්සිලානෙව තියෙන්නෙ. ගං වල මිනිස්සුන්ගෙ අත් පුරා එක එක නූල් ගැට ගහලා තියනවා. හැම එකාම බෙල්ලෙ මොකාක් හරි තඹ සුරයක් එල්ලාගෙන තමා ඉන්නෙ. 

පොඩි කාලෙ හොල්මන් වලට බය වුණාට ගැටිස්සි කාලෙ නම් මං යකෙකුටවත් බය නෑ...අත්තම්මා පුරාජේරුවට කියයි. ගමේ කොල්ලො එහෙම නිකමටවත් වචනයක් කියන්නෙ නෑ. මං පාරේ යනකොට ඉස්සරහට කොල්ලො රොත්තක් එහෙම ආවොත් උන් උන්ගෙ කෑකෝව එහෙම නවත්තලා පෙරහැරේ වගේ එකා පස්සෙ එකා වැටිලා යනවා මාව පහුවෙනකල්ම පාරේ අනික් පැත්තෙන්. ඉස්සර මට තිවුණා වෙනම නාන්න ලිඳක්. අපේ ඉඩම අක්කර අටක් ඉතර ලොකුයි. වැඩි හරියක් බැද්ද. ඔය අක්කර අටෙන් පහු තිබුණේ වෙල. ඔය වෙලේ තාත්තා ලිඳක් කපා තිබුණා පොඩි. ඒකේ නාන්න දුන්නෙ මට විතරයි. මං යනවා නාන්න තනියම ඔය ලිඳට. ඒ කාලෙ මට තිබුණා ඉතා දිග කොණඩයක්. නාලා අහවර වෙලා මං ගෙදර එන්නෙ තෙත කොණඩෙ අග්ගිස්ස පනිට්ටුවට දාගෙන. වතාවක් මට මගුල් යෝජනාවක් ගෙනාපු නවගමුවෙ දිහා කපුවෙක් කීවාලු අපේ තාත්තාට, අනේ වෙද මහත්තයෝ අපට දුව දෙන්නෙ නැතිනම් කොණ්ඩෙ හරි දෙන්නය කියලා, අත්තම්මා එය සිහි කරන්නේ ආඩම්බරයෙනි.  


අපේ ඔය අයියා ඉන්නවනෙ. එයා ඉගෙන ගත්තෙ බේසික් විද්‍යාලෙ. හොඳට ඉංග්‍රීසි එහෙම පුළුවන්. මහදෙණිය පැත්තෙ තිබුණා අපේ විසාල කුඹුරක්. කුඹුරු හාන්න මී හරක් ගේන්න වතාවක් ගියා අපේ අයියයි, තාත්තයි. අර ඉඩං හොරට ලියාගන්න කර්නිස් අත්තාගෙන් තමා මී හරක් ඉල්ලගන්න යන්නෙ. ඔහොම ගිහින් එනකොට මේ ගොල්ලො පහුකරගෙන එනවා හෙට්ටි ගෙදර කියලා ගෙයක්. ඔය හෙට්ටි ගෙදර ඉන්නවා ආවිසා කියලා එකෙක්. ඌ නාහෙට අහන්නෙ නැති අලුකුත්තේරුවෙක්. මොකාක් හරි කෝන්තරේකට ඔය ආවිසා අපේ අයියා එක්ක බහින්බස් වෙලා අතක් උස්සන්න හදලා. ඔය පයිංඩේ වෙන පරක්කුවට ආවා අපේ ගෙදරට. ඈතින් පේන ගිනි පන්දම් එළිය දිහා බල බලා මං ගෙදර කැරකි කැරකි උන්නෙ කොටියෙක් වගේ කේන්තියෙන්. ඒ කාලෙ මගේ ලඟ තිබුණා බස්තමක්. මං ගත්තා බස්තම අතට. අම්මා කෑගැහුවා ගෙයින් අඩියක්වත් එළියට එහෙම තියනවා නොවෙයි කියලා. මං කොහෙද එව්වා අහන්නෙ, බස්තමත් අරං මං පැන්නා එළියට. කෙලින්ම ගියේ ආවිසාලගේ ගෙදරට. යනකොට තාමත් අයියයි, තාත්තයි එතන. ආවිසත් ඉන්නව. මං ඇහුවා අයියගෙන් මොකද කියලා. මූ අපට ගහන්න ආවානෙ, අයියා කිව්වා. මං ඉතිං ආයෙ බල බලා උන්නෙ නෑ, මැද්දට පැනලා ගැහුවා ආවිසාගෙ කන හරහා රත් වෙන්න පාරක්. ඊට පස්සෙ ඌට හොඳ හැටියට බැනලා පන්නා ගත්තා. මට ඒකාව කොහොමටත් පෙන්නන්න බැරුවයි හිටියෙ. වතාවක් ඌ රදා කෙල්ලෙක්ව ඇරන් උන්නා. ඊට පස්සෙ චූටි කියලා කෙල්ලක් තියාගෙන ඒකිට ළමයි දෙන්නෙක් දීලා ඒකිව විනාස කළා. ඒ කාලෙත් දැන් වගේම තමයි, මහ වනචර මිනිස්සු උන්නා, උං කරන දේවල් පත්තරේ යන්නෙ නෑ, එච්චරයි වෙනස.  

වතාවක්, මට එතකොට වයස අවුරුදු පහළොවක් දාසයක් විතර ඇති, නාන්න ගිහින් ආපිට ගෙදර ආ පයට මාව සිහි නැති වෙලා වැටුණාලු. අපේ තාත්තා වෙදමහත්තයෙක් වුනාට මොකක්දෝ හිතිලා එයා මාව ඉස්පිරිතාලෙ අරගෙන ගිහින් තියෙනවා. කිසිම සිහියක් නැතිව මම දවස් දාහතරක් ඒ විදියට ඉඳියාලු. දොස්තරලා දන්න තරම් හැම දේම කලත් මට සිහි ආවෙම නෑලු. අන්තිමට දොස්තරා කිව්වාලු තාත්තාට මේ ළමයගෙ ලෙඩක් හොයාගන්න බෑ, සිහි නැති එක තමයි තියෙන්නෙ, ඒ නිසා මෙයාව ගෙදර අරන් යන්න කියලා. තාත්තත් ඉතින් මාව ආපිට ගෙදර ගෙනල්ලා. අපේ අක්කගෙ මනුස්සයාගෙ නම චාර්ලිස්. එයාට උන්නා හිතවත් කට්ටාඬියෙක්. දවසක් කොහේද යන අතරේ චාර්ලිස් අයියාට ඔය කට්ටඬියාව මුණගැහිලා තියෙනවා. මට වෙලා තිඅයන සන්තෑසිය කීවාම, කට්ටාඬියා කිව්වාලු යමු එහෙනම් ඔය කියන ළමයාව බලන්ට කියලා. එහෙම ඇවිල්ලා මාව බලලා වතුර ටිකකට මොනාද මතුරලා ඉස්ස විතරයි, දවස් දාහතරක් සිහි නැතිව වැටිලා උන්නු මම නැගිට්ටාලු. නැගිටලා අර කට්ටාඬියා දිහා බලාලා කිව්වාලු, 'මෙයා ඔය කොච්චර කළත්, මෙයාගෙ හිත හොඳ නෑ' කියලා. ඊට පස්සෙ කට්ටාඬියා මට ලොකු තොවිලයක් කලා. අපේ ගමේ මිනිස්සු විතරක් නෙමෙයි, පිටගම්කාරයොත් ආවා ඒ තොවිලේ බලන්න. ඒ තරම් විසාලෙට කලේ. දැන් ඉතින් ඔය තොවිලේ අස්සෙත් මම එතන හිටපු කට්ටඬියාගෙ දෙවනියගේ බෙල්ලට පැනලා මිරිකගෙන හොඳටෝම ඌට තඩිබෑවලු. ඕං ඊටපස්සෙන් පහු තමයි අර මහ කට්ටඬියා කියලා තියෙන්නෙ, මට ඒ කරලා තිබුණ කොඩිවිනේ කරවා ගත්තෙ එයාගෙන්ය කියලා. මගෙත් එක්ක තරහක් හිතේ තියාගෙන උන්නු අපේ නැන්දා කෙනෙක් තමයිලු මිනිහාගෙන් මේ කොඩිවිනේ කරගෙන තියෙන්නෙ. ඒත් වෙද මහත්තයාගේ කෙනෙක් කියලා දැනගෙන උන්නෙ නෑ, එහෙම දැනගෙන උන්නා නම් කවදාවත් එහෙම කරන්නෙත් නෑ කියලා තමයි කට්ටඬියා නම් කිව්වෙ. අන්තිමට කොහොමහරි ඔය කොඩිවිනේ කලාය කියපු අපේ නැන්දා ඊට ටික කාලෙකට පස්සෙ බස් එකකට පැනලා දිවි නසා ගත්තා, පව්කාර ගෑණියක්...අත්තම්මා මොහොතකට අපවත් අතහැර දුර ඈත අතීතයේ තනිවෙයි. 

ඒ අතරේ හෝබෝවා හෙමීට මගේ හෝබෝ කතා දිහාට ඇදී යයි.ජීවිතයට ද ඔබට ද මට ද ලෝකයට ද කතාවක් ඇත. ඒ සෑම කතාවකට අනන්‍යතාවක් ඇත. හෝබෝවා දඩයමේ යන්නේ ඒ කතාන්තරය සොයාගෙනය. 

22 comments:

  1. මේවා ඇත්ත කතාද බං

    ReplyDelete
    Replies
    1. ටැලිපෝන් නොම්බරේ දෙන්ටද අත්තම්මට කතා කරලම ඔයි පුරස්නෙ අහන්න?

      Delete
  2. මේවා ඇත්ත කතාද බං?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. දෙන්නටම ටැලිපෝන් නොම්බරේ දෙන්ටද අත්තම්මට කතා කරලම ඔයි පුරස්නෙ අහන්න?

      Delete
    3. ඔන්න ඉතිං වැරදි කොන අල්ල ගත්තා

      Delete
    4. ඔන්න ඉතිං වැරදි කොන අල්ල ගත්තා

      Delete
  3. හීන් බබා සීයා කියන ඒවාට වඩා හෝබෝගේ ආත්තම්මා කියන ඒවා තාත්විකයි වගේ ලොකු හාමුදුරුවනේ කියල ලිව්වොත් කමක් නෑද...ඈ..?

    ReplyDelete
    Replies
    1. මට නම් පස්නයක් නැතෝ!

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. හැමදාම කියවනවා. දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. එල එල බොහොම ඉස්තූතියි!

      Delete
  6. //අන්තිමට කොහොමහරි ඔය කොඩිවිනේ කලාය කියපු අපේ නැන්දා ඊට ටික කාලෙකට පස්සෙ බස් එකකට පැනලා දිවි නසා ගත්තා, පව්කාර ගෑණියක්...//

    පව්කාර ඩ්‍රයිවර් කෙනෙක් මේ කාලෙනම්.
    මොකා මොකක් නිසා වාහනේ ඉස්සරහට පැන්නත් ඩ්‍රයිවර් රිමාන්ඩ් කරනවනෙ ඉස්සෙල්ලම

    ReplyDelete
    Replies
    1. ඒ ගෑණි මිනිස්සුන්ට එක එක අංචි ඇදලා අන්තිමට මොකද්දෝ හිත් අමනාපෙකටලු ඔහොම කරගත්තෙ, උන්දැගේ කොලුවා පාරේ අනික් පැත්තෙ ඉන්නැද්දි. අත්තම්මා නම් කියන්නෙ ඒ කාලේ, ඒ කියන්නෙ මීට අවුරුදු හැත්තෑපහකට විතර උඩදී, බස් යන්නෙ කොට කොටා හෙමින් හෙමින්ලු, එයි තරම් කොටන බස් එකකට කොහොම පැනලා හැප්පුනාද කියලා උන්දැටම ෂුවර් නෑලු!

      Delete
  7. //කපුවෙක් කීවාලු අපේ තාත්තාට, අනේ වෙද මහත්තයෝ අපට දුව දෙන්නෙ නැතිනම් කොණ්ඩෙ හරි දෙන්නය කියලා,//
    //දැන් ඉතින් ඔය තොවිලේ අස්සෙත් මම එතන හිටපු කට්ටඬියාගෙ දෙවනියගේ බෙල්ලට පැනලා මිරිකගෙන හොඳටෝම ඌට තඩිබෑවලු.//

    අත්තම්මගෙ හස්බන්ඩ් ගැනත් කතා ඇති නේද?

    එයා කිව්වෙ නැද්ද කොණ්ඩෙ විතරක් ගත්තනම් හොඳයි කියල දැන් හිතෙනවයි කියල

    ReplyDelete
    Replies
    1. හික් හික්, තිබේ තිබේ. වෙලාවක දාන්නම්කො. අදටත් තැඹිලි ගහේ නගින්න හදන ගෑණි නෙව 90+ වෙලත්. මේ ලඟදිත් ගමේ ගෙදරකට හොරු පැනලා, මෙයා රෑට දඩි මන්න පිහියක් ලඟ තියාගෙන ඉන්න ලෑස්තිය හොරුන්ට කොටන්ඩ!!!! රෑට මුත්තරා කරන්න යන්නත් බයයි අපිට කොටයි කියලා!!!!

      Delete
  8. ඒ කාලේ අත්තම්මලා ඔහොම තමයි. කථාව ලස්සනයි. දිගටම ලියන්න.

    ReplyDelete
  9. ඒ බං දකුනේ අය නේද මේ.. අනවින කොඩිවිණ නං උංම තමා

    ReplyDelete
  10. එල එල.. ඔය ආච්චි අත්දෙකෙන් අල්ලලා බල්ලෙකුගෙ කට ඉරල එහෙම නැද්ද හැබෑට?
    ජයවේවා..!!

    ReplyDelete
  11. Harima Rasavath... Lucky you.. I miss my grand ma..😫

    All the Best.. !!

    ReplyDelete
  12. Harima Rasavath... Lucky you.. I miss my grand ma..😫

    All the Best.. !!

    ReplyDelete