Showing posts with label sinhalafiction. Show all posts
Showing posts with label sinhalafiction. Show all posts

Sunday, January 7, 2024

හෝබෝ ටික්කාගේ කාරුණික නිවේදනය !

ඉඳහිට බ්ලොග් ලිවීමේ කලාවේ පිකාසිනිය වන හොබෝ ටික්කා හා හා පුරා කියා 2024 වසරට අප්ඩේට් එකක් ලියන්නේ කාලාන්තරාවේ ආගමනය ගැනය. අලුතින් ඉංගිරිස් කවි පොතක් ද ප්‍රකාශනය කර ඇතත් ඒ ගැන වෙනම පෝස්ටුවක් ලියන්නට සිතුවෙමි. පහුගිය පැන්ඩෙමික් සමයේ පටන් එහෙටමෙහෙට වෙමින් ලියූ කාල විද්‍යා ප්‍රබන්ධය කාලාන්තරාව නමින් එළි දකින්නේ අලුත් මුහුණුවරකිනි. කතාන්තරය පිළිබඳව යම් අදහසක් ගැනීමට කතාවේ කොටස් කිහිපයක් මේ බ්ලොග් පිටුවේම එල්ලූ පරිදි එසේම තිබේ. පහළින් ඇත්තේ කොළඹ ජර්නලය සමඟ කාලාන්තරාව පිළිබඳ සිදු කළ සාකච්ඡාවකි.  




ලියන්න හිතුවෙ කෙටි චිත්‍රපටියක්, නමුත් ලිව්වෙ විද්‍යා ප්‍රබන්ධයක්

කාලාන්තරාව ඔබ ලියපු පළවෙනි විද්‍යා ප්‍රබන්ධය. විද්‍යා ප්‍රබන්ධ කියවන්න පාඨකයො උනන්දුයි කියලා ඔබ හිතනවද?

ඔව්, මම හිතනවා වයස් බේදයකින් තොරව විද්‍යා ප්‍රබන්ධ කියවන්න ඉතාම උනන්දු පාඨක පිරිසක් අපට ඉන්නවා කියලා. ඒ වගේම ඉතාම දක්ෂ විද්‍යා ප්‍රබන්ධ ලේඛකයින් පිරිසකුත් බිහිවෙමින් පවතිනවා. අපේ විද්‍යා ප්‍රබන්ධ පාඨකයින්ට තියෙන්නේ නිකම්ම උනන්දුවක් නෙවෙයි, එයාලා එක්තරා විදිහක විශේෂීකරණයකුත් වෙලා තියෙනවා. එයාලා විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය පිළිබඳ හැදෑරීමක් කරන්නත් පෙළඹිලා තියෙනවා. එයාලා ලංකාවේ පළවෙන විද්‍යා ප්‍රබන්ධ ගැන හොයනවා, කතා කරනවා, රසාස්වාදය කරනවා වගේම අනෙක් විද්‍යා ප්‍රබන්ධ ලෝලීන්ව ඒ පොත් ගැන දැනුම්වත් කරනවා. මේක මම හිතනවා ඉතාම ධනාත්මක ප්‍රවණතාවක්. මේ ප්‍රවණතාව නිසා මම හිතනවා අපේ සිංහල සාහිත්‍යට බද්ධව අලුත්, ස්ථාවර ෂානරයක අඩිතාලම වැටෙනවා කියලා.

ඔබ කිව්වා මේ ‘කාලාන්තරාව’ ලිව්වෙ කොරෝනා කාලෙ ගෙදර ඉන්නකොට කියලා. ඒ වගේ දුෂ්කර වගේම පීඩා සහිත කාලෙක ලියන එක ගැන මොකක්ද කියන්න තියෙන්නෙ?

ඇත්තටම කාලාන්තරාව ලියවෙන්නෙ පැන්ඩෙමික ආවේශයකින්. ඒක ලියවෙන්න පටන්ගන්නෙ ලාංකික-දිස්තෝපීය රංගතල පසුබිමක් පාදක කරගන්න කෙටිකතාවක් විදිහට. මේ කතාවට මූලික වස්තු බීජය මගෙ හිතට එන්නෙ පැන්ඩෙමික් කාලයට කලින්, සයිෆයි කෙටි චිත්‍රපටයක් සඳහා. නමුත් පැන්ඩෙමික් සමය මගේ මේ ලිවීමට දරුණු ලෙස බලපෑමක් කරනවා. සරලවම කතාව කණපිට හරවනවා. කතාවේ තානයට, හැඩයට, චරිතවලට වගේ හැම ඉසව්වකටම ඒ බලපෑම එල්ල වෙන්නෙ ඉන්දියාවේ මුම්බායි නගරය ගිලගන්න කළු,දුම් වළාව වගේ. ලොක්ඩවුන් එක නිසා සීමා කෙරුණු සංචරණය, කොරෝනා මරණ සංඛ්‍යා වාර්තාවන්, මානසික පීඩන, නෂ්ටාපේක්ෂාවන් ආදී සියලු ඛේදසහගත අත්දැකීම් කාලාන්තරාවේ ගලායාමට දැඩිව බලපානවා. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි කෙටිකතාවක ඉඳන් සයිෆයි නොවෙලාවක් ප්‍රමාණයට මේ කතාන්තරය ගොඩනැගෙන්නෙ.

For the full article : 

https://colombojournal.lk/%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%99-%e0%b6%9a%e0%b7%99%e0%b6%a7%e0%b7%92-%e0%b6%a0%e0%b7%92%e0%b6%ad%e0%b7%8a/?fbclid=IwAR28KfOWl8a12nTKtWkuYceR9fH4Ds4Zfvc32nC06CX82Sy4cqPd0TdcMIA

Sunday, November 7, 2021

විද්‍යා ප්‍රබන්ධ | කාල | 03 කොටස | අමාලි අනුපමා මල්ලවආරච්චි | දිනමිණ ද්වාර

 පැන්ඩෙමික ආවේශයෙන් ලියවුණු හෝබෝ ටික්කාගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය "කාල" 


 

කාල කිසිවක් නොකියා තරුණිය පසුපස ගමන් කළේය. මේ කිසි ලෙසකත් චීන-ලන්තෑරුම් වීදිය නොවන වග කාලට විශ්වාසය. කොටින්ම කිවහොත් මේ සීරෝ 100 ප්‍රදේශය ද විය නොහැකිය.

“මං තාරා...” තරුණිය හදිසියේ මතක් වූවා මෙන් කාල වෙත සුරත පෑවාය. “මාව බේරගත්තට ස්තූතියි.”

තමා පෙරළා දිය යුතු පිළිතුර කුමක් දැයි සිතාගත නුහුනු කාල බෙල්ල කසමින් හිස වැනුවේය.

“මං.... මං කාල.”

“මේ එළියට මට කල්පනා වුණේ. ඔයාව කොහේදි හරි දැකලා තියෙනවා වගේ මතකයක් තියෙනවා...” තාරා දෑස් හීන් කරමින් කාල දෙස බැලුවාය.

“මාව....” කාල මිමිණුවේය. සිය මිතුරන් දැන් තමාට හොඳ හැටියට දෙහි කපනවා ඇත. සමහර විට කවුරුන් හෝ තමාව අසමින් මම්මාට දුරකතන ඇමතුමක් දී තිබෙන්න පුළුවන.

“අහ්හ්... බෑන්ඩ් එකක්...ඉන්න බලන්න...අර මොකද්ද....” තරුණිය නිකට කැසුවාය.

“කර්ණ?” කාල කිව්වේ අවිශ්වාසයෙනි. තවමත් ඉතා පොඩියට කරගෙන යන හෙවි-මෙට්ල් සංගීත කණ්ඩායම මෙවැනි තරුණියන් අතර ජනප්‍රිය බව හිතලුවකි.

“අන්න හරි! කර්ණ! එතකොට කර්ණ එකේ කාල ඔයාද? දන්නවද, මගේ ඥාති සහෝදරයෙක් ඒ බෑන්ඩ් එකට වහ වැටිලා හිටියා. මට එයාගෙ පෝස්ටර් එකතුව හැම වෙලාවෙම පෙන්නනවා. ඒකයි මට එහෙනම් ඔයාව....” කෙළවරින් ඉහළට එසැවුණු තරුණියගේ මුව හදිසියේම කඩා වැටුණි. “ඒත්…… ඒත් ඒ පින්තූරවල ඔයා ඔයිට වඩා වැඩිමල් පෙනුමයිනෙ!”

“මං....මං... හිතන්නේ ඔයාට පැටලිලා.” කාල ඉක්මනින් කියා දැමුවේය.

“හ්ම්....” ඔවුන් ගමන් කරමින් තිබූ වීදියේ අත්හැර දමන ලද සුපර් මාර්කට් එකක් තාරාගේ අවධානය කාල වෙතින් ඉවතට ඇද ගැනීමට සමර්ථ විය. “අන්න...අපි යමු බලන්න කන්න දෙයක් තියේවිද කියලා... එහෙම වුණොත් අපට කොහේ හරි ටික දවසක් හැංගිලා ඉන්න පුළුවන්. උන් එළි බහින්නෙත් කෑම හොයාගෙන, අපි එළි බහින්නෙත් කෑම හොයාගෙන.”

කාල නිහඬවම තාරා පසුපස ඇදුණේය. ඇය තමාට වඩා උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ අවබෝධයක් තිබිණි. ඕ සොම්බින්ගේ දුර්වලතා දන්නීය. මෙහි මුල මැද අග ගලපා ගන්නා තෙක් තමා තාරා සමඟ රැඳිය යුතු බව කාල තීරණය කර තිබිණි. එතෙක් කාලයක් මම්මාට නිවසෙහි ආරක්ෂාකාරීව විසිය හැකිය. කාලට හැර ඕ අන් කිසිවකුට නිවෙසේ දොර විවෘත නොකළ අතර, ග්‍රෑන්ඩ් ඉටර්නල්හි සිය වැනි තට්ටුව ආක්‍රමණය කිරීම සොම්බින්ට ද කම්මැලි හිතෙන කටයුත්තක් වනු නිසැකය.

සුපර් මාකට්ටුව අඳුරේ ගිලී ගොස්ය.

තැනින් තැන වූ සූර්යය බල ආලෝක පහන්වල මන්දාලෝකයෙන් එහි වූ බඩු රාක්ක පෙනුණේ හිස් වීථි ලෙසටය. තාරාගේ අළු පැහැති කුණාටු වැනි දෑසත්, නිකටෙහි වූ උපන් ලපයත්, කෙටි අක්බඹරු කෙසුත් ඇගේ අනන්‍යතාව ඔප් නැංවූයේය. ඕ බඳ පටියේ රඳවා තිබූ විදුලි පන්දමක් ද රිවෝල්වරයක් ද පිටතට ඇද ගත්තාය.

“ආ...මේක ගන්න.” තාරා කීවේ ඇගේ අතෙහි වූ රිවෝල්වරය කාල වෙත විසි කරමිනි.

“ඒත් අර වෙලාවෙ ඇයි ඔයා රිවොල්වර් එක පාවිච්චි නොකළෙ?” කාලට ඇසුණේ ඉබේටමය. ඔහු රයිෆලය අල්ලාගෙන අත්ල මත තබා සමබරතාව පිරික්සා බැලුවේය.

“කී දෙනෙකුට කියලා ඕකෙන් වෙඩි තියන්න ද කාල? මට ඉතිරි වෙලා තියෙන්නෙ බුලට් එකක් විතරයි. මං ඕක තියාගෙන ඉන්නෙ ඒකට නෙමෙයි...” විදුලි පන්දම මාකට්ටුවේ ඈත කෙළවරට එල්ල කල තාරා තවමත් මංකොල්ල කෑමට බඳුන් නොවූ භාණ්ඩ ඇත්දැයි පිරික්සා බැලුවාය.

“එහෙනම්?”

“මාව සොම්බින්ට අහුවුණොත් මං උන්ගෙ එකෙක් වෙන්න කලින් වෙඩි තියාගෙන මැරෙන්න...” තාරා මඳකට දෑස් කාල වෙත රැඳෙව්වාය. ඈ සුන්දරය, තමා ඈ සිප ගත යුතුය, මෙය තමාගේ ඇයගේ පළමු සහ අවසාන සිප ගැනීම වනු ඇත, කාලට සිතුණි. තාරාගේ මුහුණ භයංකාර ලෙස කාලගේ මුහුණට ළංව තිබිණි. නමුත් තාරා නිහඬතාව බින්ඳාය.

“මට ඒක කරන්න බෑ...” ඕ මිමිණුවාය. මන්දාලෝකයේ වුව ද කන් රත් වී මුහුණ රත් පැහැයක් ගනු කාලට දැනුණි. “මං...මං ඔයාට බල කළේ නැහැ....ඒක නිකම්ම...මං හිතන්නේ...” කාල ගොත ගැසුවේය.

“නැහැ! නැහැ!” තාරා හිස මඳක් ඇල කර සිනාසුණාය. “මං කිව්වෙ හාද්ද ගැන නෙමෙයි. මං කිව්වෙ වෙඩි තියා ගන්න එක ගැන...”

කාලට සැනසුම් සුසුමක් හෙළුණේ ඉබේටමය.

“මට බෑ මගේම ඔළුවට වෙඩි තියාගන්න. මං ඒ වගේ බයගුල්ලෙක්. මේ ඔක්කොම දේවල් නොපිට පෙරළෙන්න පටන් ගත්තු දවසේ මම උත්සාහ කළා. ඒත් මට කොකා ඇදගන්න තරම් ආත්ම ශක්තියක් තිබ්බෙ නෑ. මං ඔයාට රිවෝල්වර් එක දුන්නෙ ඒකයි. මට පොරොන්දු වෙන්න...” තාරා කුඩා අත්ල කාල වෙත පෑවේය.

“මං...මං... මොකද්ද පොරොන්දු වෙන්න...” තමා අද දිනයේ වැඩි හරියක් ගොතගසමින් සිටි බව කාල තමාටම කියා ගත්තේය.

“මට පොරොන්දු වෙන්න සොම්බින්ට මාව අහු වුණොත් ඔයා මට වෙඩි තියලා දානවා කියලා... ඔළුවටම.” ඇගේ ස්වරය අයිස් මෙන් හැඟීම් විරහිත වූයේය.

කාලට තාරාට පෙරළා පිළිතුරක් දීමට අවැසි වුව ද එයට ඉඩක් නොතබමින් තාරා ඉවත හැරුණාය. ‘සරස්’ කියා නැඟුණු හඬකින් කාල මොහොතකට අප්‍රාණික විය. නමුත් ඒ කිසිවක් තාරාගේ දෙපාවල ගැටෙන හඬකි. පහතට නැඹුරු වූ තාරා ඇගේ පය ගැටුණු සඟරාවක් අහුලා ගත්තාය.

“මේං ඉන්නවා මේ විනාසෙට මුල...” ඈ විදුලි පහනේ ආලෝකය සඟරාවේ මුල් කවරය වෙත එල්ල කරමින් කීවාය.

හැකිළී ගිය තරුණියගේ මුහුණ දෙස බලමින් කාල යළි මැගසීන මුල් කවරයේ හුන් මිනිසා දෙස බැලීය. ඔහුට වූයේ කෙට්ටු සුදුමැලි පෙනුමකි. තරුණියගේ මුහුණෙහි ගැවසෙමින් තිබූ කේන්තිය සුළුපටු බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඇය ඒ දෙස බලා සිටියේ ඇගේ පරම පෞද්ගලික සතුරා දෙස බලා සිටින්නාක් බඳුවය.

“කවුද මේ?”

 

 

මතු සම්බන්ධයි

 

අමාලි අනුපමා මල්ලවආරච්චි

 


 

 

Friday, October 22, 2021

විද්‍යා ප්‍රබන්ධ | කාල | 02 කොටස | අමාලි අනුපමා මල්ලවආරච්චි | දිනමිණ ද්වාර

 


අවසාන පඩි කිහිපය බහින විට හදිසියේම කිසිවක් මුහුණෙහි දැවටුණෙන් කාල දෑස් පියාගෙන මුහුණ පිස දැම්මේය. කැබලි කැබලි මුහුණ පුරා ඇලුණු එය මකුළු දැලකි. නාසය, කන සහ කෙස් අතර ද කබායේ ද පැටලී ඇලුණු මකුළු දැල ඉවත් කරමින්ම කාල බරැති දොර තල්ලු කළේය. කිසිවකු විසින් පාවිච්චි නොකරන හදිසි පිට වීමේ දොරටුව වේදනාත්මක හඬක් නංවමින් විවර වූයේය.

වෙනදාට කුඩා කහ පැහැති කුරුමිණි කුලී රථවලින්, වෙළෙන්දන්ගෙන්, පික්-පොකට්කරුවන්ගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් පිරී ගත් වීදිය සම්පූර්ණයෙන්ම හිස්ව තිබෙනු දැකීමෙන් කාල තිගැස්සුණේය. සති දෙකක් තිස්සේ ඇද හැලුණු වර්ෂාව ද සම්පූර්ණයෙන් නතර වී තිබිණි. තමා සිතුවාට වඩා හාත්පස කළුවර වැටී ඇත. නිවාඩු දිනයක පවා චීන-ලන්තෑරුම් වීදිය හිස් වන්නේ නැත. එතෙක් වේලා කිහිල්ලේ සිර කරගත් කුඩය ඉවත ලූ කාල රෙකෝඩින් ස්ටූඩියෝව වෙත යෑම සඳහා වීදියේ දකුණු කෙළවරින් දිවෙන කෙටි මාර්ගය දෙසට ඇවිද ගියේය. මොබයිලයෙන් ගිගුම් දෙන සංගීතය නතර කර දැමූ කාල තමා ඉදිරිපිට වූ ගොඩනැඟිල්ල සහ ඉන් ගැලවී බිමට එල්ලෙන දැවැන්ත ආලෝක තිරය දෙස සිය දෙබැම හකුළා බැලුවේය. මෙවැනි නමකින් යුත් ක්ලබ් එකක් හෝ මෙවැනි ගොඩනැඟිල්ලක් කාල මින් පෙර එම වීදියේ දැක තිබුණේ නැත. එල්ලෙමින් තිබූ පුවරුවේ වූ නියෝන් එළි නිවි නිවී පත්තු වූයේ මන්දගාමීවය. ඒ මන්ද චලිත කාලට සිහි කළේ මිනී රථයක ගමනයි. අහීමාන නිහැඬියාව කන් තුළ පිරෙන අතරේ කාලට නොදැනීම කෙළ ගිලුණි.

වියළි උණුසුම් වා තලය විනිවිද යමින් නැඟුණු විලාපයෙන් කාල වෙවුලුවේය. මොළයෙන් දෙපාවලට එවූ සංඥාව හුවමාරුවට පමා වූවා සේ ඔහු මොහොතක් ගල් ගැසුණි. ඊළඟ කෑගැසීමත් සමඟ කාල දුවන්නට වූයේය. ඉදිරියෙන් වමට වූ වීදිය මධ්‍යයේ තරුණියක් බිම වැටී දඟලමින් සිටියාය. පුද්ගලයන් තිදෙනකු විසින් ඇයව දෙකකුලෙන් ඇදගෙන යමින් සිටියේ ඒ අසල වූ විවරයකටය. එය කලකට පෙර දුරකතන රැහැන් ඇදීමට පාවිච්චි කළ උමඟකට දිවුණු පිවිසුමකි.

“ඒයි ඒයි, නවත්තපං!” කාල තරුණිය වෙතට දිවුවේ කෑගසමිනි. තරුණියගේ හිංසකයන් අතුරින් එකකු කාල වෙත හැරුණේය. තමා දුටු දෙයින් කාලගේ පිටකොන්ද හරහා ශීතල ඉරක් ඇඳී ගියේය.

කාල වෙත හැරුණු මිනිසාගේ මුහුණ මිනී ඔළුවක මෙන් සම කටුවලට ඇලී තිබිණි. දෑස්වල ජීවය හැර ගොස්ය. ඇඳුම් ඉරී වැරහැලිව එල්ලුණු අතර, ඔහු පාවහන් කිසිවක් පැලඳ සිටියේ නැත. කාලගේ කෑගැසීමට තරුණිය ඇදගෙන ගිය ඉතිරි දෙදෙනා ද කාල දෙස ඔළු නවමින් බලන්නට වූහ. කහ ගැහුණු සම, කුණු ඕජස්වලින් ගලන්නා වූ ගඳ කාලට දුන්නේ එකම එක අනතුරු හැඟවීමකි.

සොම්බි!

“මේක චිත්‍රපටියක සෙට් එකක්වත් ද....” කාලගේ සිත මොහොතකට කීවත් තරුණියගේ මුහුණෙහි වූ භීතිය දුටු මතින් හේ එම අදහස බැහැර කළේය. කෙතරම් හොඳ නිළියකටවත් මුහුණෙන් එතරම් හැඟීම් ප්‍රකාශ කිරීමට බැරිය. ඈ යටි උගුරෙන් කෙඳිරිගාමින් දැඟලූවාය.

තමා සිටින්නේ නිරායුධව යැයි කාලට සිහි වූයේ මෙතෙක් වේලා නතරව බලා හුන් සොම්බියා වෙව්ලමින් සහ නොන්ඩි ගසමින් තමා වෙත ඇවිද එන්නට පටන් ගත් විටය.

වටපිටාවේ ආධාරකයක් ලෙසට කිසිවක් ඇද්දැයි බැලූ විට රෙදි කැබැල්ලක් ඔතා තිබූ දිගු රිටක් වැනි යමක් බිම වැටී තිබෙණු කාල හට දකිනට ලැබුණි. එකත් එකටම එම ආයුධය අර තරුණියගේ විය යුතුය. කාල සොම්බියාට ඇස ගසාගෙනම දිගු රිට අතට ගත්තේය. කාලගේ නාසා පුඩු අතරට ඉන්ධන ගන්ධයක් රිංගා ගත්තේය.

“මේක අල්ලගන්න...” සොම්බින් සමඟ පොර බදමින් හුන් තරුණිය ලද ඇසිල්ල තුළ කාල වෙත යමක් විසි කළාය. ඈ ශූරය. සොම්බින් තිදෙනකුටවත් ඇය මෙල්ල කිරීම පහසු වූයේ නැත.

“ඉක්මනට!” ඕ කෑගැසුවාය.

කාල අතට ලැබී තිබුණේ ලයිටරයකි. හේ කළ යුතු දෙය පහසුවෙන්ම තේරුම් ගත්තේය. දැල්වුණු පන්දම අතින් ගත් කාල පළමු වැනි සොම්බියා වෙත කඩා පැන්නේය. මොහොතකින් ඌ අළු වී ගිය නිසා අනෙක් සොම්බින් දෙදෙනා ද දවා හළු කිරීමට කාල හට වැඩි මහන්සියක් දැරීමට සිදු වූයේ නැත. ගිනි ඇවුළුණු තැන උන් මටලු මෙන් ගිනි ගෙන දැවී ගියහ.

සොම්බි ග්‍රහණයෙන් මිදී හුන් දැරිය බිම දණ ගහගෙන හති හැලුවාය. “මං හිතුවා මං ඉවරයි කියලා...” ඕ වේගවත් හුස්ම අතුරින් කීවාය. ඈ තමාට වඩා වසර දහයකින් පමණ බාල එකියක විය යුතු යැයි පන්දම් එළියෙන් කාල තීරණය කළේය.

වෙව්ලමින් දණ ඇන තබා ගත් තරුණිය මහත් වෙහෙසක් දරමින් ඉවතට විසි වී තිබූ ලෝහ ලෝහ පියන විවර මුව වෙත තල්ලු කරමින් එය වසා දමන්නට උත්සාහ කළාය. සියත වූ ගිනි පන්දම තරුණිය අතට දුන් කාල වැර යොදා බරැති ලෝහ පියනෙන් විවරය වසා දැම්මේය.

“උන් එනවා.” තරුණිය කීවේ අපේක්ෂාභංග ස්වරයකිනි.

“කී දෙනෙක් ද?” තමාට අසන්නට බොහෝ ප්‍රශ්න වුව ද ඒ මොහොතේ වැදගත් වූයේ මෙවැනි මළ මිනී මේ නගරය පුරා තව කොපමණ සැරිසරන්නේ ද යන්න වග කාල දැනගෙන සිටියේය. “දහස් ගණනින්...” තරුණිය කියන්නේ නළල අත්ලෙහි රඳවමිනි. “වතුර තියනව ද? මං දවස් දෙකක් තිස්සේ උන් මඟ අරිමින් දුවනවා. අන්තිමට කෑවෙ කොයි වෙලාවේදිද කියන්න මට මතක නෑ...”

කාල වහ වහා කබා සාක්කු ඇවිස්සුවේය. ජලය වෙනුවට ශක්තිජනක පානයක් ද, ප්‍රෝටීන් බාර් එකක් ද පිටතට ඇදගත් හේ වහා එය දැරිය වෙත පෑවේය.

“දවස් දෙකක්?” ඔහු අසන්නේ දැරියට ශක්තිජනක පානයෙන් උගුරු කිහිපයක් බොන්න ඉඩ දීමෙන් අනතුරුවය.

“ඔව්, ඇයි ඔයා දන්නෙ නැද්ද? අන්තිමට වැටුණේ කලම්බො මෙට්‍රොපොලිටන් මිලිටරි ටවර් එක.”

කාලට තරුණිය කියන දේ පැහැදිලි නැත. ඊයේ ද පෙරේදා ද අම්මම්මා මහ හඬින් ප්‍රවෘත්ති ඇසූ බව කාලට හොඳටම විශ්වාසය. ඇයට සොම්බි ආක්‍රමණයක් තබා අලුතින් සොයා ගන්නා ලද කුරුමිණි විශේෂයක් හෝ මඟ හැරෙන්නේ නැත. “අපි යන්න ඕනෑ...” තරුණිය නැගිට ගත්තේ මහත් වෑයමකිනි. “මට ඕනෙ නම් දවසම මෙහෙම ඉඳගෙන ඉන්න පුළුවන්... ඒත් අපි යන්න ඕනෙ.”

“අපි?”

“ඇයි, ඔයා එක්ක තවත් කට්ටිය ඉන්නවද?”

“කට්ටිය?”

“ඔව්, බේරුණු අය. ඔයත් හරියට සොම්බියෙක් වගෙනෙ. මං කියන දේ ඔයාගෙ මොළේට යන්නෙ නැතිවා වගෙයි මට නං පේන්නෙ.”

“අහ්...ඔව්... මං කිව්වෙ මේ... දැන්...ඔයා කියන්නෙ කලම්බො මෙට්‍රොපොලිටන් ඉඳන් ඔක්කොම නගර සොම්බිලා යටත් කරගෙන කියලද?”

තරුණිය බැරෑරුම් ලෙස හිස වැනුවාය. “මට තේරෙනවා, ඒක පිළිගන්න අමාරුයි කියලා. ඒත් ඒක එහෙම වුණා. අපි වගේ කෙනෙක් දෙන්නෙක් ඇරුණු කොට දැන් මෙහෙ ඉන්නෙ හැමෝම මේ කාලකන්නි ඇවිදින මළකුණු විතරයි.... මං හිතන්නෙ අපි ගියොත් හොඳයි.”

 

මතු සම්බන්ධයි

 

අමාලි අනුපමා මල්ලවආරච්චි

 


 

Tuesday, October 19, 2021

විද්‍යා ප්‍රබන්ධ | කාල | 01 කොටස | අමාලි අනුපමා මල්ලවආරච්චි | දිනමිණ ද්වාර

සටහන : පැන්ඩෙමික ආවේශයෙන් ලියවුණු හෝබෝ ටික්කාගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය "කාල"

කන්නාඩියෙහි වූ සිය පිළිබිඹුව දෙස කාල මොහොතක් නතර වී බැලුවේය. දැනටමත් ඔහු සංගීත කණ්ඩායමේ පුහුණු වාරයට ප්‍රමාදය. තව විනාඩි කිහිපයක් ප්‍රමාද වීමේ ඇති වෙනසක් ඔහුට පෙනුණේ නැත. දීර්ඝ වර්ෂා දින නිසා වාතය දියෙන් තෙතබරි වූ මේස් කකුලක් වැනිය. දැන් සති දෙකක පටන් එක දිගට හැලෙන වර්ෂාව නිසා සංගීත කණ්ඩායමේ පුහුණු වාර දෙකක් අවලංගු කෙරුණි. හකු බැස ගිය සුදුමැලි මුහුණේ වූ ගිලුණු දෑස්, කන්නාඩිය හරහා කාල දෙස ඔලොක්කුවට බලා සිටියේය. කන්වල වූ සර්පිලාකාර ලෝහ කරාබු කාල මිලට ගත්තේ මෑතකදීය. අම්මම්මා කාලගේ ලෝහ කරාබුවලට, ලෝහ උල් සහිත ලෙදර් අත් පලඳනාවට හෝ ගෙල සිරවෙන්න දමා තිබූ කරපටි මාලයට කැමැති වූයේ නැත. ඔහුගේ දිගු සාළු වැනි කළු කබායට, උස් කළු පැහැ බූට් යුගලට, සිලිටි දිගු කොණ්ඩයට හෝ ඔහුගේ හෙවි-මෙට්ල් සංගීතයට ඇය කැමති වූයේ ද නැත. එහෙත් කාලට අම්මම්මා පිළිබඳ තරහක් හෝ කලකිරීමක් නොවිණි. රසායන කම්හලේ පිපුරුමකින් අම්මා ද තාත්තා ද මස් කුණු වී යෑමේ රෝගයකට ගොදුරු වී මිය යෑමෙන් අනතුරුව කාලව හදා වඩා ගත්තේ අම්මම්මාය. එබැවින් හේ නිතරම අම්මම්මාට ස්තූතිවන්ත වූයේය.

 සාලය කෙළවරේ ප්ලාස්ටික් බඳුනක ඔබා තිබූ උස් කළු කුඩය අතට ගත් කාල ඇඟිලි තුඩුවලට බර දී සීරුවට දොර වසා නිවෙසින් පිටතට ආවේය. තමා මෙතෙක් වේලා හුස්ම ඉහළට අල්ලාගෙන සිට ඇති බව කාලට සිහි වූයේ දීර්ඝ සුසුමක් ඒ මොහොතෙහි ඔහු වෙතින් ගිලිහුණු බැවිනි. අම්මම්මා අවදි වූයේ නැත. හේ සාර්ථක ලෙස සිය පළමු මෙහෙයුම අවසන් කර තිබිණි.

කාල පටු කොරිඩෝව දිගේ විදුලි සෝපානය වෙත ඇවිද ගියේ නවදාස් නවසිය හැට දෙක, නවදාස් නවසිය හැට එක, නවදාස් නවසිය හැට...ග්‍රෑන්ඩ් ඉටර්නල් තට්ටු නිවාස සංකීර්ණයේ සිය අසල්වැසි නිවාසවල ඉදිරිපස අලවා තිබූ පිත්තල පැහැ අංක සිතින් මුමුණා ගනිමිනි. තැනින් තැන එල්ලා වැටෙන කේබල්, කහ ගැහුණු පැ‍රැණි බිත්ති බදාගෙන පරෙයියන්ගේ වසුරු නාමින් ඔහේ වැනෙයි. සාගර නගරයේ ද කොළඹ මෙට්‍රොපොලිටනයේ ද සාක් අන්තර් කලාපීය මගී හුවමාරුව වූ කලම්බෝ විශ්වපොලිටන් ගුවන්තොටුපොළ සහ ඊට අයත් සීලෑන් හබ් නම් වූ ආර්ථික කලාපයේ ද පරිපාලන කටයුතු සඳහා සියලු පරෙයියන් සහ කාකයන්ට වෙඩි තැබීමට ගත් තීරණයෙන් අනතුරුව සරණාගත වූ බොහෝ පියාසැරියෝ කොළඹ නගරෝපාන්ත සීරෝ 01, සීරෝ 10 සහ සීරෝ 100 යන ප්‍රදේශවලට පලා විත් මෙවැනි තට්ටු නිවාස සංකීර්ණවල පැලපදියං වූහ.

ග්‍රෑන්ඩ් ඉටර්නල් තට්ටු නිවාස සංකීර්ණයේ දස දහසක් වූ නිවාස මෙන්ම එහි වූ සියලු විදුලි සෝපාන ද එක හා සමානය. ඒවා අබලං ලොරි වැනි දහිර වාට්ටුය. නිරන්තරයෙන්ම විදුලි ආලෝකය අඩු වැඩි වන එම ප්‍රදේශවල සෑම විදුලි සෝපානයක්ම 'ඩක ඩක' හඬ නගමින් මිනිසුන්ව විශාල වේවැල් කූඩවල බහා බිමට බාන දබර වැනිය. ග්‍රෑන්ඩ් ඉටර්නල්හි සෑම නිවාස පනහකටම මෙවැනි ලදරං විදුලි සෝපාන දෙකකි. විදුලි සෝපානය අසලට ළඟා වන විට සම්පූර්ණයෙන්ම පාහේ පැටලී තිබූ හෑන්ඩ්ස් ෆ්‍රී කට්ටලය ලිහා ගැනීමට කාලට හැකි විය. සිය පියාගෙන් තමන් හට උරුම වූ එකම සම්පත වූයේ එයයි. සිය කන් තුළට මයික්‍රෝ ස්පීකර් කට්ටලයක් ඉන්ස්ටෝල් කර ගැනීමට කාල අකැමැතිය. ඒ ඔහු ඩිජිටල් මව්පියන්ට දාව ඉපිද ඇනලොග් අත්තම්මා කෙනකු සමඟ හැදී වැඩුණු නිසා යැයි කාලගේ මිතුරන් ඔහුට සරදම් කළෝය.

කාල මොබයිලයෙන් වේලාව බැලුවේය. දැන් සංගීත කණ්ඩායම පුහුණු වීම් අරඹා තිබි‍ය යුතුය. පහළට ඊතලය සලකුණු කළ බොත්තම කිහිප වරක්ම එබුව ද විදුලි සෝපානය තවමත් තුන් වැනි තට්ටුවේය. ඉතිරි තට්ටු අනූ හත ඒමට මේ බර කරත්තය තව විනාඩි පහළොවක් පමණ ගනු ඇත. කාල නොයිවසිල්ලෙන් සෝපානය ඉදිරිපස එහාටත් මෙහාටත් ඇවිද්දේය. සිය වැනි තට්ටුවේ නිවාසවල කුලිය අඩු වන්නේ එලෙස ප්‍රමාද වන කාලයට හිලව් වශයෙනි.

වර්ෂාවේ නොනවතින චුරු චුරුව කාලගේ ස්නායු සසල කළේය. බුබුළු දමන්න ගෙන තිබූ කේන්තිය අස්සේ කිරි කිරි ගා ඉහළට බඩ ගෑ විදුලි සෝපානය අලස 'ඩිංග්' හඬකින් සිය වැනි තට්ටුවට ළඟා වූයේය. කාල දබරැඟිල්ලෙන් බිත්තියට ටොකු අනිමින් සෝපානයේ දොර විවර වන තෙක් බලා සිටියේය. විවර වූ සෝපානය ඌරු කොටුවක් මෙන් පිරී තිබිණි. ඒ බොහෝ දෙනා සෝපානය පහළට යන වෙලාවක බැස ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නා අය බව කාල දැන හුන්නේය. ඔවුන් එක්කෝ සිය මොබයිලවලට එබී සිටියහ. සමහරුන්ගේ මුහුණු තොප්පි හා කළු කන්නාඩිවලින් වැසී ගොස්ය. අතරින් පතර කිහිප දෙනකු කාල දෙස හැඟීම් විරහිත මුහුණවලින් බලා සිටියහ. ඔවුන් සියලු දෙනා සීරුවෙන් පෙළට කිටි කිටියේ තද වී සිටි අතර, කිසිවෙක් කවරවල බහා එල්ලා තැබූ කෝට්වලින් පිරි තල්ලු කරන රාක්කයක් ද ඒ අස්සෙන් රිංගවාගෙන සිටියෝ. දිගු කළු කවරවලට මුවා වූ එහි අයිතිකාරයාව කාලට පෙනුණේ නැත. කබා සාක්කුවලට දෑත් ඔබාගත් කාල සෙමින් වැසෙන දොර අතරින් කෝට් එල්ලූ රාක්කය දෙස රවා බැලුවේය. යළි සෝපානය පහළට ගොස් එන තෙක් බලා නොසිටීමට කාල තීරණය කර තිබිණි. හේ සෝපානයට පසෙකින් තිබූ පැ‍රැණි බරැති යකඩ දොර තල්ලු කළේය. කුරුලු වසුරුවලින් ගඳ ගැසූ රතු පැහැ අඩ අඳුරක ගිලී හුන් පඩිපෙළ කාල එන තුරු නිසොල්මනේ බලා හුන්නේය.

හෑන්ඩ්ස්ෆ්‍රී එක ඔස්සේ මොබයිලයෙන් පැන ආ මෙට්ල් සංගීතය ඉහළටම වැඩි කරගත් කාල, හුස්ම අල්ලාගෙන වේගයෙන් පඩිපෙළ ඔස්සේ හැල්මේ දිව්වේය. ටික වෙලාවක් යද්දී කාලගේ දෑස් අඳුරටත්, නාසය කුරුලු බෙටි ගඳටත් හුරු විය. හති ඇරීම සඳහා නතර වන සෑම මොහොතකදීම කළු ගැසුණු බිත්ති අතරින් විවිධ රූපී ගැෆිටි කාල දෙස කුතූහලයෙන් බලා සිටියේය. කාල සිය වේගය ක්‍රමානුකූලව පවත්වාගෙන වේගයෙන් පහළට බැස්සේය. අවසානයේදී ඔහුට පඩිපෙළ කෙළවර වූ පැ‍රැණි දැවැන්ත දොර පෙනෙන්නට විය. පිටතින් කාල එම දොරටුව අනේක වාරයක් දැක තිබුණ ද ඇතුළතින් එය දකින්නේ මුල්ම වරටය. එම දොරටුව කෙළින්ම විවෘත වූයේ චීන-ලන්තෑරුම් වීදියටය. චයිනා-බකට් යනුවෙන් ප්‍රසිද්ධ එම අඩවියෙහි චීන අවන්හල්වල පටන් චීන මල් වෙඩි දක්වා සියල්ල විකිණීමට තිබිණි. මකර නැටුම් කාලයට සියල්ලෝම කිසිදු භේදයකින් තොරව චීන-ලන්තෑරුම් වීදියේ මහා සැණකෙළියට සහභාගී වූහ.

 

මතු සම්බන්ධයි

 

අමාලි අනුපමා මල්ලවආරච්චි

 Link : https://t.co/nyqquRI5pb