Wednesday, October 25, 2017

මාටිං බබා

*ළමායි, මගෙ අදහසක් තියනවා මාටිං අයියාගෙන් සෙමි ෆික්ෂන් (Semi-Fiction) ළමා කතාවක් ලියන්න. කස්ටියගෙ අදහස් වුවමනයි. 

මේ දිනවල මාටිං අයියා ඉවසීම ප්‍රගුණ කරන්නේය. ළඟකදී කොහෙදෝ සල්පිලකින් ඇරගෙන දුන් ඇතුලේ එළි පත්තු වෙන උල් උල් රබර් බෝලය මාටිං අයියාගේ නොයිවසිල්ලට හේතු වී තිබේ.

උල් උල් රබර් බෝලය ගැන මාටිං අයියාට ඇත්තේ කුකුස මුසු ආශාවකි. එය බ්ම ගැසූ විට අපූරු නිල්, රතු, කොළ පැහැයින් දිලිසෙයි. උල් උල් රබර් බෝලයේ පිට පැත්ත කහ, රතු, කොළ, නිල් ආදී බොහෝ වර්ණයන්ගෙන් යුතුය. මාටිං අයියා බෝලය බිම ගසා සතුටින් ඉපිළෙමින් හිකි හිකි ගා සිනාසෙමින් උඩ පනී. 

සති කිහිපයක් මෙසේ සතුටු වූ මාටිං අයියා ටික දවසක සිට බෝලයට අමුතු බැලුම් හෙලන්නට වෙයි. කොහොමද මේකෙ පාට පාට එළි පත්තු වෙන්නෙ? මේක ඇතුලෙ මොනවා හරි තියනවා...සිය විසිරුණු කුළු කනක් බෝලයට හේත්තු කරමින් මාටිං අයියා කියයි. රබර් බෝලය සොළවා බලයි. දැන් මාටිං අයියා බෝලය බිම ගසා එහි එළි බලමින් සතුටු වෙන්නේ නැත. මාටිං අයියාගේ සහ බෝලයේ සබඳතාව වෙනස් වී ගොසිනි. 
ඔහොම තව සතියක් ගත වෙයි. මාටිං අයියා බෝලයට ඉඟි මරයි. ඒ මේ අතට හරවයි. හෙමීට බෝලයත් ගෙන හාන්සි වී පොතක් කියවමින් සිටි ගවුමක් වෙත යයි. 

"මට රහසක් තියනවා කියන්න." මාටිං අයියා ගවුමට දන්වා සිටී.
"ම්ම්හ්... මොකද්ද." ගවුම අසයි.
"මම මෙච්චර කාලයක් ඉවසගෙන හිටියෙ ඔයා වෙනුවෙන්." මාටිං අයියා කියන්නේ ඉතා තැන්පත්වය.
"ඒ කිව්වෙ?" ගවුමේ අවධානය දිනා ගැනීමට මාටිං අයියා සමත් වී ඇත.
"මම කියන්නෙ මේක ගැන." මාටිං අයියා ගවුමට බෝලය පාමින් කියයි.
"ඉතිං?"
"මම මෙච්චර කාලයක් ඉවසගෙන මේ බෝලෙ කපලා ඇතුලේ තියෙන්නෙ මොකද්ද කියලා බැලුවෙ නැත්තෙ ඔයා නිසා. ඔයාට දුක හිතෙයි කියලා. ඒත් මට තවත් ඉවසගෙන ඉන්න බෑ." මාටිං අයියා, පල්ලියේ ස්වාමිට පාපොච්චාරණය කරනවා සේ කියාගෙන යයි.
"හා එහෙනම්, ඔයා බෝලෙ කපලා බලන්න." ගවුම කියන්නේ සිනාසෙමිනි. 

දැන් ටික දවසක සිට ගෙදර බෝලය පේන්න නැත. 

මාටිං අයියා ගැන ලියන්නට මග හැරුණු කාලය තුල පොඩියට වෙනස්කම් කීපයක් වී ඇත. ඉංගිරීසි පන්තියේ ඉන්න ලස්සන ටීචර්ට්ව දැන් මාටිං අයියා අමතන්නේ "බබා" කියාය. මාටිං අයියා චූටි ටීචර්ට බබා කියා පොතට තරු අරගෙන එන්නේය. පොත ගන්නා විට "තැන්යූ බබා" කියන්නේය. ඒ නිසා මේ දවස් වල ගෙදර ඈයින් පන්තිය පලාතේවත් යන්නේ නැත. හැබැයි කොට්ටේරුවාගේ හොට පැටලෙන්නට කිට්ටුය. මොකද මාටිං අයියාගේ ඊළඟ කල්පනාව ඉස්කෝලේ පන්තියේ ටීචර්ටද "බබා" කියා රවටා ගන්නටය. මාටිං අයියා තවම ඉස්කෝලෙ ටීචර් ගැන දන්නේ නැත. කවුරුත් බලාගෙන ඉන්නේ මාටිං අයියා ඉස්කෝලෙ ටීචර්ට "බබා" කියනකම්ය.

මොට්ටිසෝරි කාලේ මාටිං අයියාට රෝස පාට කෙලි ඇබිත්තක් සිටි බව කාටත් මතක ඇතිය. දැන් මාටිං අයියාට වෙන යහළු කෙළි ඇබිත්තක් සිටී. නමුත් ඒ කෙළි ඇබිත්තට මාටිං අයියාගේ එහෙමට කියා කැමැත්තක් නැත. "හපෝ හරි වදයක් එයා. හැම තිස්සේම කචපච කචපච ගගා කියෝනවා." මාටිං අයියා අලුත් ඇබිති කෙල්ල ගැන අවලාද කියයි. එහෙනම් ඇයි එයා ඔයාගෙ යාළුවා වෙලා ඉන්නෙ? ඔය කවුරුත් අහන අහිංසක ප්‍රශ්නයකි.

ඕං එතකොට මාටිං අයියාගේ මුහුණට ලැජ්ජාව මුසු කපටි හිනාවක් මතු වෙයි. "අපේ පොඩි ළමයින්ගේ ටොයිලට් තියෙන්නෙ ටිකක් දුරින්." එය මාටිං අයියාගේ උත්තරයයි. කවුරුත් මේ උත්තරයට තක්කු බුක්කු වෙන නිසා, මාටිං අයියා තව දුරටත් සිය පිළිතුර පැහැදිලි කරදෙයි. 

"මං තනියම ටොයිලට් තියන පැත්තට යන්න බයයි. මගෙ යාළුවා තමයි මාව එක්කගෙන යන්නෙ. මං චූ දාලා එනකම් එයා දොර මුර කරගෙන ඉන්නවා." මාටිං අයියා ඇඹරෙමින් කියයි. 

මාටිං අයියාගේ කට තිබ්බාට මිනිහා මහා බයගුල්ලෙකි. කාටුන් බල බලා හින්ද වෙලාවකට පුටු පෙරළාගෙන කාමරයට දුව ගොස් කොට්ටයෙන් ඔළුව වසා ගනී. මොකදැයි සොයා බලන විට කාටූනයේ මොකාක් හෝ බය හිතෙන ජවනිකාවක් දිස් වෙයි. මාටිං අයියා පරාණ බයේ දුවා ඇත්තේ ඊට බය වීය. බය හිතෙන ජවනිකාව අවසන් වී ඇත්දැයි තිර ලෙසම දැන ගන්නා මාටිං අයියා කිසිවක් නොවූවා සේ පැමිණ යළි හරිබරි ගැසී කාටූනය නරඹයි. 

අලුත් කෙළි ඇබිත්තගෙන් මාටිං අයියාට තවත් ප්‍රයෝජන තිබෙනා බව ගෙදර ඈයින් දැන ගන්නේ පසුවය. දවසක් දා ඉස්කෝලය ඉවර වුණත් මාටිං අයියා ගේට්ටුව වෙත පැමිණ සිටියේ නැත. වටපිටාව බලත්දී මාටිං අයියා අලුත් කෙළි ඇබිත්ත සමග එළියේ බංකුවක වාඩි වී කොක්සන් දී සිනාසෙමින් මොනවාදෝ ලියයි. ටික වේලාවකින් ලියා ගත් පොත බෑගයට දමාගෙන හෙමීට යන්නම් කියා මාටිං අයියා ගේට්ටුව දෙසට කඩිමුඩියේ දුව එයි. 

"මොකද පරක්කු? මොනවද ලිය ලියා හිටියේ?" ප්‍රශ්නය අසයි. 

"ආහ්....මේ අපේ ළමයි දාඩිය දාගෙන පොරකාගෙන බෝඩ් එකේ දාපු ගෙදර වැඩ ලියාගත්තා. මම නෑනෙ ඒ වගේ මහන්සි වෙන්නෙ. මම අරයගෙන් ගෙදර වැඩ පොත ඉල්ලගෙන අර බංකුවෙන් වාඩි වෙලා හුළං වැදි වැදී  ගෙදර වැඩ ලියා ගත්තා." මාටිං අයියා කියන්නේ වගේ වගක්වත් නැතිවය. 

මාටිං අයියාට ඇත්තේ යමර තර්කය. අභූත වේලාවන්ට මාටිං අයියාට බඩකිනි එන්නේය. ඒ වෙලාවට ටික වේලාවක් කුරුකුරු ගාමින් සිට ගවුමක් හෝ චීත්තයක් ලඟට කිට්ටු කර මැසිවිලි කියන්නේය. "ඔයාට මහන්සිද මේ වෙලාවෙ මට කන්න දෙයක් හදලා දෙන්න?" මාටිං අයියා එන්නේ පුල් සංහිදියානු ඇප්‍රෝච් එකකිනි. "ඔයාලා මං හින්දා හරීයට දුක් විඳිනවා නේද?" මාටිං අයියා ඔහොමත් කියයි. 

නමුත් මාටිං අයියාගේ බඩකින්න ඊට එහා අමාරුය. "කමක් නෑ. ඔයාලා ගොඩක් දුක් විඳින්න ඕනෙ. දිගටම, ගොඩාක් දුක් විඳින්න ඕනෙ. දුක් විඳලා විඳලා මැරුණහම, ඔයාලට පුළුවන් දිව්‍ය ලෝකෙ යන්න. ඒ හින්දා මට දැන් කන්න දෙයක් හදලා දෙන්න පුළුවන්ද?" මාටිං අයියා රොම්බ තර්කයක් ඉදිරිපත් කරයි.
දිව්‍ය ලෝකේ යන්නට ඇපකැප වී සිටින අයෙක් මාටිං අයියාගේ කෑම ඕඩරය බාර ගනී. 

මාටිං අයියාට ලඟකදී කොහේද රස්තියාදුවේ යන ගොළුබෙල්ලෙකු සමු වී ඇත. එක්කෝ ගොළුබෙල්ලා මොකාක් හෝ මහා පාප කරුමයක් කර ඇත. එසේත් නැතිනම් ගෙදර ඈයින්ට එවැනි කරුමයක් පඩිසන් දී ඇත. 

මාටිං අයියා ගොළුබෙලල්ලාගේ අලගිය මුල්ගිය තැනේ සිට සකල විධ ඥාති සමූහයා පිළිබඳවම විමසන්ට පටන්ගනී. ගැට පිච්ච ගාල යට සැඟවී සිටින ගොළු බෙල්ලා, මේ මොන නස්පැත්තියක් වූයේ දැයි බිරන්තට්ටු වී හෙළවෙන්නේවත් නැතිව සිටී. මාටිං අයියාට එය මහත් අරුමයකි. මාටිං අයියා සිතන්නේ ගොළුබෙල්ලා මිය ගොස් ඇතැයි කියාය. එහාට මෙහාට පෙරෙළා බැලුවද ගොළුබෙල්ලාගේ ඔළුවත් අං දෙකත් පෙනෙන්නට නැත. මාටිං අයියාට අනුව ගොළුබෙල්ල ගෙදර ගොසිනි. මාටිං අයියාට හමුවෙන අනෙකුත් ගැඩවිලන්, පනුව, ගෙම්බන් යනාදී සත්ව ප්‍රජාවම මාටිං අයියාගේ අන්වීක්ශ දෑසට යටත් වී බොහෝ කාලයක් ගත කරති. නමුත් මාටිං අයියා උන්ව මරා දමන්නේ නැත. මාටිං අයියා මරා දැමීමට කැමති එකම සත්වයා අක්කාගේ ඔළුවෙහි වසන කරුමක්කර උකුණන් පමණි. මන්ද මාටිං අයියාට තඩි බෝ වී ඇත්තේද අක්කාගේ හිසේ සිටින උකුණන් නිසාය. උකුණන්ගේ කෑම මළම වදයකි. ඒ නිසා උකුණන් මරා දැමිය යුතුය. මාටිං අයියාගේ තීරණය එයයි. 

20 comments:

  1. /*ළමායි, මගෙ අදහසක් තියනවා මාටිං අයියාගෙන් සෙමි ෆික්ෂන් (Semi-Fiction) ළමා කතාවක් ලියන්න. කස්ටියගෙ අදහස් වුවමනයි./

    ඉතාමත් කාලෝචිත සහ මනරම් අදහසකි.සම්පූර්ණයෙන්ම එකඟයි...:)

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ඉස්තූතියි! එහෙනම් ඉතින් දැන් අදහස ක්‍රියාත්මක කරන්න වෙන පාටකුයි තිබෙන්නෙ!

      Delete
  2. මරු මරු... අදහසට එකඟයි... ලියමු ලියමු එහෙනම්...

    මාටින් අය්යාගේ සත්තු නිරීක්සණය කිරීම වගේමයි මගෙ පොඩි කාලෙ සත්තු නිරීක්ෂණය කිරීමත්...

    ReplyDelete
    Replies
    1. මම නම් ඒ කාලෙ කුරුමිණියො කනවා කියලා අපෙ අම්ම කියා තිබේ!

      Delete
  3. නියමයි.. තව ලියන්න.. නිතර ලියන්න.. පොතකුත් ලියන්න!! :)

    ReplyDelete
    Replies
    1. නිතර ලියන්ට වෙලා තමයි නැත්තෙ අනේ. දවසම කොටනවනෙ. ආයෙ වෙලාවක් නෑ ඉතින්!

      Delete
  4. එකඟයි එකඟයි. ලියමු ලියමු කතාව.

    කාලෙකින්නෙ මාටිං අයිය ආවෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් කාලෙකින් තමයි. කියවලා බලලා කමෙන්ට් කරනවාට ගොඩක් ස්තූතියි.

      Delete
  5. Replies
    1. Hey, thank you for the encouragment. Will do my best. Sort of have few ideas looming in my mind.

      Delete
  6. ඔය කියනා ජාතියේ උල් උල් බෝලයක් අපේ පැංචාටත් තිබුණේ ය. 'ඉත්තෑ බෝලේ' නමින් හැඳින්වූ එය එක් ඓතිහාසක දිනයකදී පැංචාගේ ඇසුර අත් හැර දමා මී වාසභවනක් සොයාගෙන සිවිලිම උඩ රාජධානියට පියාසර කළේ ය.

    අපේ පැංචානම් තාම මොන්ටිසෝලි ය. එයැයි එක්කද එහිදී කෙළි පැටික්කියෙක් හාද වී සිටියා ය. ඒ කෙලී ගැන ගෙදර ඇවිදිං කියන්නේ මල් මල් හිනාවක් මූණේ අලවාගෙන ය. නත්තල් උත්සවයක් දා ඒ කෙලි පැටික්කී අපේ පැංචාගේ මූණ බදාගෙන මොනවාදෝ කියනා ෆොටෝවකුත් මොන්ටිසෝලි ෆොටෝ එකතුවේ ඇත. හැබැයි දැං ඒ පැංචි ඒ මොන්ටිසෝලියට එන්නේ නැත. ටික දොහක් යනකල් ඒ පැංචි ගැන වියෝ දුකින් පසු වූ පැංචා දැන් ලොකු පන්තියේ අක්කලා දෙන්නෙක් හා හාද වී සිටින්නේය.

    අපේ වත්තේ ගොළුබෙල්ලන් හකරැල්ලන් තවම වාසනාවන්ත ය. දැනට පැංචාගෙන් ගැහැට විඳින්නේ වත්තේ කොලනි හදාගෙන පදිංචිව සිටිනා කඩියන් ය. පැංචාට කඩි ගුල් පේන්න බැරි ය. විගසින් එය වසා දමා හිකි හිකි ගගා දිව එන්නේ ය. මේ දින වල සීයා එක්ක එක්කාසු වී පැංචා 'කෝච්චි රෙපෙයාරිං' ය.

    'මාටිං අයියා' ගැන ලියවෙන ළමා කතා පොත ඉක්මනටම දකින්න ආසා ය. :)

    ReplyDelete
    Replies
    1. අපි ලියපු දෙයක් කියවන්නෙකුට තමන්ගේම යැයි හැඟෙන එක තමයි මම හිතන්නෙ රචකයෙකුට ඇති වටිනාම දෙය. තවත් මාටිං අයියෙක් රටේ තව කොහේ හරි කොනක ඉන්නවාය කියන සතුටත් දැනෙනවා. දිග කොමෙන්ටුවට බොහොම ස්තූතියි. නිතර මේ ඉසව්වට ඇවිත් යන්න එන්න.

      Delete
  7. ///"ඔයාට මහන්සිද මේ වෙලාවෙ මට කන්න දෙයක් හදලා දෙන්න?" මාටිං අයියා එන්නේ පුල් සංහිදියානු ඇප්‍රෝච් එකකිනි. "ඔයාලා මං හින්දා හරීයට දුක් විඳිනවා නේද?" මාටිං අයියා ඔහොමත් කියයි. ///

    මාටිං අයියා තමයි දවසකටවත් මිනිහා, මාටින් අයියගේ වයස කීයද හැබෑට...

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙන්නම් පෝස්ට් තුනහතරක්ම ලියවුණේ මේ මාටියා ගැන. අපි වයස පහක් හයක් වගේ කියමුකෝ.

      Delete
  8. පොත ලියන්න. අපි ගන්නං. මාටිං අයියට ජයවේවා!!

    ReplyDelete