Wednesday, January 25, 2017

චිත්‍රානන්දෙන් බත් කෑම

හා, කවුද චිත්‍රානන්ද කඩෙන් බත් කාලා තියෙන්නෙ? සමහරු නම් කාලා ඇති, සමහරු නැතිව ඇති, තවත් සමහරු උපන්තේකට කඩේ නම අහලවත් නැතිව ඇති.

කොහොමින් කොහොම හරි හෝබෝවාට ලඟකදී චිත්‍රානන්දෙ ඩේලි කස්ටමර්ලා දෙන්නෙකුත් එක්ක කෑම කන්න යන්න පොටක් පෑදුණා. උදේ දහය විතර වෙනකම් කාලා නොහිටිය හින්දා, දවල්ටත් එක්කම කටට රහට බත් පොඩ්ඩක් කන්න හෝබෝවා අපායට උනත් යනවා ඕං!

චිත්‍රානන්දෙ තියෙන්නෙ බෝ ගහ හන්දිය හරියෙන් මැනිං මාරකැට්ටුවට ඇතුල් වුණාම වමට හැරිලා පොඩි පොඩි බිත්තර කඩ දිගේ මීටර් සීයක් විතර ඉස්සරහට ඇවිදගෙන යනකොටයි.

මේ කඩේ හුගක්ම ප්‍රසිද්ධ, කොටුවේ මුදලාලිලා සහ නාට්ටාමිලා අතර. ඇත්තම කිව්වොත්, කොටුවෙ ලොකූ ලොකු කෑම කඩ අයිති මුදලාලි මහත්තුරු හෙමීට චිත්‍රානන්දෙට රිංගල තමයි උදේ දවල් වේලට යහමින් බත් කන්නෙ.

හැබෑවටම කිව්වොත් කඩේ දැක්කම නම් එහෙමයි කියලා කන්න හිතෙන්නෙත් නෑ, ඒත් කඩේ වී.අයි.පී කස්ටමර් චාමා කියන විදියට ඔයි අනික් කොයි කඩේකටත් වඩා හොඳ පිරිසිදුවට උයන්නෙ මේ කඩේලු.

මාව සමග කැටුව ගිය චිත්‍රානන්දෙ ඩේලි කස්ටමර්ලා දෙන්නා, චාමා සහ දේවාට එහේ සලකන්නෙ ඉහටත් උඩින්. මේ දෙන්නා හතර රියන් සහ දෙරියන් වගේ. වැඩිය කන්න එහෙමත් බෑ. මේ දෙන්නව දැක්කම මට මතක් වෙන්නෙ අර පිප්පි දිගමේස් කතාවේ බඩගිනිකාර සේලරුවෙක් බර බර ගාලා පතෝල කන්නා වගේ මේස ලෑල්ලක් කාලා දාපු සිද්ධිය.

කොහොමින් කොහොම හරි, දැන් හෝබෝවාත් චාමයි දේවයි එක්ක චිත්‍රානන්දෙට රිංගා ගත්තා කියමුකො, හෝබෝවා දිහා කවුරුත් පිසකට්ටල ජීවියෙක් දිහා බලන්නා වාගේ ඇස් බෝල කරමින් බලනවා.

"මයෙ හිතේ ගොඩාක් කාලෙකට පස්සෙ වෙන්ටැ මේ කඩේට ඉස්තිරී පරාණයක් ගොඩ බැස්සෙ. ආවත් හෙන කෂට සැර ඉස්තිරියාවො තමයි එන්නෙ කොටුවෙ ඉන්න." මේක බලාගෙන ඉන්න දේවා කියනවා.

චිත්‍රානන්දෙ වී.අයි.පී. කස්ටමර් තමයි චාමා. ඒ ටිකටත් මෙයා ආප්ප කොත්තු දාන තැනට එන්ටර් වෙලා, උයන බාස්ට බිත්තර ඔම්ලට් ඕඩර් එකක් දානවා. ඒ අතරේ අපි ෆෑන් එකේ හුලඟ එන හොඳ මේසයක් කාරිය බලලා, කඩේ මුල්ලක තියන ටැප් එකෙන් අත හෝදගෙන හෙමීට වාඩිවෙනවා.

බිත්තර දහයකින් විතර දාපු ඔම්ලට් තොගේ කබල් රතු පාට පොඩි ප්ලාස්ටික් පිඟානක වැඩම කරවන ටිකට, කඩේ බත් බෙදන මල්ලි සං සං ගාලා මේසෙට කෑම අරිනවා.

චාමා කියන විදියට මේ කඩේ උයන හැම  එලෝලුවක්ම වස විසෙන් තොර එව්වා. මේ කඩෙන් කෑම කන්න එළවලු, මාළු මුදලාලිලා එන්න්නෙ මේ හේතුව හන්දාලු. රසායනික භාවිත කරලා වවපු එලෝලුවක රස වෙනසයි, කාබනික පොහොරෙන් හදපු එලෝලුවේ රස වෙනසයි අපේ එලෝලු මුදලාලිලා අගේට දන්නවාලු. අලුත් මාළු පරණ මාලු උයපුවම රස වෙනස මාළු මුදලාලිලා දන්නවාලු. ඉතින් වස විස ඇති එලෝලුවක හරි, පරන මාලුවෙකුගෙ හරි රසයක් ආවොත්, බත් පිඟාන කෙලින් පාරෙ බිමට පත බෑ කරල, මේ මුදලාලිලා යන්නෙ නොසරුප් වදන් බුරමින් කියලා තමයි චාමා කියන්නෙ. ඒ හින්දා මේ කඩේ ලිපේ ඉදෙන්නේ වස විසෙන් තොර, හොඳ අලුත් එලෝලු, මාළු විතරමයි.

"දන්නවද මාකට් එකට දුඹුරු පාට ගම් බිත්තර  එන හැටි?" චාමා හෝබෝවගෙන් අහනවා. දැන් යන්නෙ අතුරු කතාවක්. හෝබෝවටත් ඉතින් කතන්දරයක් නම් ඕනෙ එකක්නෙ.
"සුදු බිත්තර තියනවනෙ....ඒවා අරගෙන අර හෙනා කියලා තියෙන්නෙ ඩයි ජාතියක්. ඔය හෙනා ගාලා තමයි සුදු බිත්තර දුඹුරු බිත්තර වෙලා, රුපියලක් දෙකක් වැඩියෙන් විකුණන්නෙ!" චාමා ඔය කතාව කියලා පින්සලේකින් බිත්තරයක් පාට කරන හැටි රඟපාලත් පෙන්නනවා.

කතාවෙ ඔය හරිය යද්දි හෝබෝවාත් කෙළ හල හලා මේසෙට වඩම්මන බත්, මාළු දිහා බලාගෙන ඉන්නවා. රතු ඉඳිආප්ප, රතු බත්, බැදපු උණු උණු හුරුල්ලො, පරිප්පු, මාළු මිරිස් කරියක්, බීට් රූට් කරියක්, තක්කාලි සම්බෝලයක්, කරවිල මාළුවක්, මාළු බොර හොද්දක් දිලිසි දිලිසි මේසෙ උඩ.

ඔයි අව්වස්සේ බත් ගේන මල්ලි, තඩි මාලු ඔළුවක් විසාල බෙලෙක් පිඟානක් උඩ තියාගෙන ඇවිත් මේසෙට බර කළා. මාළු ජාතියෙ නම හබරළියා. මේ හබරළියා මාළුවා උයාපුවාම කොළ පාට වෙනවා. කිරට උයා තිබුණු මේ මාළු ඔලුවත් කොළ පාටයි. හෝබෝවාට බයත් හිතුණා කාලා බලන්න. ඇයි වදේ කොළ පාට වෙන්නේ කෑම විස වුණාමයි, පිත්තල සුද්ද නොකලාමයි කියලනෙ හෝබෝවගෙ ඔළුවෙ තියෙන්නෙ!

දැන් ඉතින් වෙන මොනා බල බලා ඉන්නද කියලා හෝබෝවත් මේසේ උඩ අඩුක් කරලා තියන බත් මාළු මදි නොකියා දෙසා බාන්ට වුණා. කෑම ටික පංකාදු පහයි. බත් මල්ලි, කඩේට එන කාටත් අතදිගෑරලා විසාල බත් පිඟානක් බෙදලා දෙනවා. රතු බත් පිඟන් තමයි වැඩියෙන් යන්නෙ. මාත් කන්ට කැමති රතු බත්. අපේ ගෙදර පූසත් කන්නෙ වැඩියෙන් රතු බත්! ඌ සුදු බත වැඩිය ගණන් ගන්නෙ නෑ. සෞඛ්‍ය සම්පන්න පූසෙක්!  

හෝබෝවා හෙමීට බත් පිඟාන හිස් කොරාගෙන යනකොට ඉස්සරහා කවුන්ටරේ ඉඳලා බත් මල්ලි රුං ගාලා මේසෙට ලං වෙනවා. අපේ පිඟන් ටික දිහා බලන බත් මල්ලි, උණු උණු බත් පීරිසියක් ගෙනහල්ලා හෝබෝවගෙ පිඟනට අතාරිනවා.

"කන්න, කන්න අතගගා ඉන්නැතිව. මෙහෙ තියෙන්නෙ කන්න තමයි ඉතින්." ඔහොම කියාගෙන බත් මල්ලි තව බත් පිඟානක් කොත ගහන්න කවුන්ටරේ පැත්තට කඩිමුඩියේ දුවනවා.

අපරාදෙ කියන්ට බෑ ඉතින්, මේ හෝබෝවා ඉන්නවා නේද, බඩේ ඉන්නෙ විසාල හිඟන්නෙක්. දවසටම ලැබෙන බතත් ඔයි ටික තමා හින්දා හෝබෝවත් කොහොමින් කොහොමහරි යහමින් බඩට බත් අඩුක් කොරගන්නවා. ඔය අතරේ හබරළියා මාළු ඔළුව හෝබෝවගෙ පැත්තට දික් කරාගෙන චාමා 'කාහන්, කාහන්." කියනවා.

ඉතින් නිකා ඉන්ටයැ කියලා හෝබෝවා මාළු ඔළුවේ රස බලනවා. අපරාදෙ කියන්න බෑ, රහ නම්. රස නහර පිනා ගිහින් ඉස්මුරුත්තාවටම එනවා. මාළු ඔළුව ඇතුලේ හැංගිලා තියෙන කොටස් කන හැටිත් මේ අතරේ චාමා හෝබෝවාට කියාදෙනවා.

කාලා කාලා කා ගන්න බැරි වුණාම, හෝබෝවා අමාරුවෙන් බඩ ගාගෙන ගිහින් අත හෝදාගෙන එනවා.

"කෝපි කෝප්පයක් බොමුද?" හෝබෝවාගෙන් මෙහෙම අහන්නෙ දේවා. අපි නම් එපැයි කියයි ඕං!

උණුවට රසට සීනි ගාණට තිබුණු කෝපි කෝප්පෙ තොල ගාන ගමන්, රුපියල් හාරසීයකටත් අඩුවෙන් ආපු බිල එන්නෙ අපට බිත්තර ඔම්ලට් එක ගෙනාපු පිඟානෙමයි.

පිඟාන ගෙනාපු කොලුවට බැන බැන පන්සීයෙ කොළයක් හළන චාමා, සිගරැට් එකකුත් කටේ ගහගෙන හෝබෝවයි දේවයි එක්ක හෙමීට මැනිං මාරකැට්ටුවෙන් එළියට එනවා.

"ආයෙ එන්න බත් කාලා යන්න." චිත්‍රානන්දෙ බත් මල්ලිගෙ ඉල්ලීම ඉක්මනටම ඉෂ්ට කරන්න ඕනේ හිතමින් හෝබෝවත් පිටකොටුවේ කඩ පේළිය අහින් ඔපීසිය පැත්තට පයින්ම පාගනවා, බඩ බහින්න වියායාමෙට කියලා.  

ප.ලි. එකම දුකකට තියෙන්නෙ පිතූරියක් ගන්න අමතක වුණු එක තමයි හනේ....

46 comments:

  1. මරු පෝස්ට් එක. වරද්දන්නේ නැතුව දවසක චිත්‍රානන්දෙන් කන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අඩේ මට මාර්කටිං වලට මුදලාලියාගෙන් ගාණක් ඉල්ලගන්න වෙයි වගේ!

      Delete
  2. අනේ බන් හොබෝ,
    ඔය එක එක වැඩ වලට මාත් කොළඹ රිංගනවා..
    එත් ලොවෙත් කොළඹින් කෑම නම් ගන්නේ නැහැ..
    ඒ එක පාරක් දෙපාරක් කොළඹ කෑම කාල දැනුනු අප්පිරියාව නිසාමයි..
    එත් උඹ ඔය කියන කඩේ ඇත්තටම පිරිසිඳු වට රහට කෑම හදනවා නම් අනිවා ඊළඟ කොළඹ ගිය දවසක මාත් ගොඩවෙනවා ඔය කඩේට...

    පොස්ටුව මරු...

    ReplyDelete
    Replies
    1. අයියෝ ගණන් ගන්ට එපා අයියා, වැඩිම උනොත් ටයිෆොයිඩ් හැදෙයි!!!

      Delete
  3. අර Grand Oriental එකෙන් ලන්ච් පැකට් එකක් අරගන කාපං බං

    අනික ඔය චාමා සහ දේවා කියන එවුන් දෙන්නා එක්ක නං ඔව්වායේ යන්ඩ එපා ... මටනං හිතෙන්නේ උන් දෙන්නා හරියන උන් දෙන්නෙක් නෙමෙයි ....ඔතනට එන කරෝල වාඩි කාරයෙකුට විකුනන්ඩත් බැරි නැ

    දුඹුරු පාට ගම් බිත්තර කොහෙද බොල රුපියල් දෙකක් වැඩියෙන් ගන්ඩ තියෙන්නේ ...යකෝ ගම්බිත්තරයක් විසිපහක් වෙනවා

    ReplyDelete
    Replies
    1. අටම් අයියත් එක්ක යන්න ඕනි චිත්‍රානන්දෙට බත්පාරක් කාලා එන්න....!

      Delete
    2. හික් හික්, නෑ වදේ රුපියලට දෙකට කිව්වෙ අර නිකම් දුඹුරු බිත්තර. එව්වටත් ඔය සන්තෑසියම තමා. ගම් බිත්තර මිල නම් මං සිරාවට දන්නෙ නෑ, එව්වායේ මදේ කහ පාට වැඩියි හුහුහු!!! හිටහංකො මං කියන්නම් අපේ මනුස්පයට ඌව බොලාට ෂුවර් නෑ කිව්වා කියලා ඇටොම් අයියෙහ්!!!

      Delete
    3. මට නිකමට හිතුනා අටම් අයියා ට වැරදුනා කියලා... මොකෝ මමත් ඔය ඕන දිල්ලියක යන්නේ "එයා" එක්ක , එකයි.
      ඒ උනාට අටම් අයියා ඇත්තටම හොඳ අයියෙක් :)

      Delete
    4. //අටම් අයියත් එක්ක යන්න ඕනි චිත්‍රානන්දෙට බත්පාරක් කාලා එන්න....!//

      මට නං බැ මාතය එක්කං යනවා හොදයි

      Delete
    5. ඒ උනාට අටම් අයියා ඇත්තටම හොඳ අයියෙක්


      උපන්තේකට හොදක් ඇහුවමයි ඔය

      Delete
    6. අටම වරෙන්කො චිත්‍රනන්දෙට යන්න මේ පාර. මේක කියෙව්වම් මැරෙන්න හරි ඔන්නොහෙ යනවා කියල හිතා ගත්ත. කළනයත් එනවනම් හරි.

      Delete
  4. රිංගන්න ඕනම තැනක්.
    ජයවේවා..!!

    ReplyDelete
  5. මම කඩ වලින් කන්න කැමතිම නැහැ, හැබැයි බස් එකක නැගල ඔතනට ගිහින් බත් එකක් ගිලල එන්න ලොකු ආසාවක් ඇති උනා...
    මාළු ඔළු කියන්නේ මගෙත් කැමතිම කෑමක්, ඒ වගේම හබරලි කියන්නෙත් එහෙම්මම තමා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ, මාත් යනකොට හිතුවෙ නෑ ඔයි කඩේ සැට් වෙයි කියලා. ඒත් මං කොහොමත් ඔය ලොකු ලොකු තැන් වලින් කනවට වඩා කැමති සයිවර් කඩේකින් වගේ කන්න.

      Delete
  6. කියපු විදිහට මටත් කන්න ආසාවක් අවා...

    ReplyDelete
    Replies
    1. එළ එළ. කෑම කියන්නෙ ලියන්න හොඳම මාතෘකාවක් කියලා මට හිතෙනවා ඕං!

      Delete
  7. ++++++++++++++++++++++++

    මැලේ වීදියේ ජැෆ්නා කඩෙන් කාල තියනවද?

    හබරලියගෙ කටු කොල පාටයි. ඒ ලඟින් කොල ටින්ට් එකක් වගේ පේනවා ඒ ඇරෙන්න මාලු සුදු පාටයි

    ReplyDelete
    Replies
    1. අඩේ නෑනෙ, යන්න ඕනෙ ඒ පැත්තෙත් රිංගලා බලන්න. තව ලොකු ආසාවක් තියනවා අර ඉන්දියන් පැණි රස කෑම තියන තැනකට යන්නත්. ඔව් ඔව් මාළු ඔළුවක්නෙ ආවෙ, ඉතින් ඔළුවෙ වැඩි හරිය කොළ පාටයි. මාළු කොටස් සුදු පාටයි.

      Delete
    2. මැලේ විදියේ අරුණ දිසිය ට යන්න කලින් තියෙන ගෝදන්බා රොටී, එලුම් මස් කරියයි දෙන හෝටලේ කාල තියෙනවයි .

      Delete
  8. ඇත්තමයි මාත් යනවා කොහොම හරි :)

    ReplyDelete
    Replies
    1. අපේ රටේ food exhibition මදි පාඩුව දැන්නෙන් මට විතරද?

      Delete
    2. ඇයි හොබෝ මටත් හොඳටෝම ඔය අඩුව දැනෙන කෙනෙක්. යන එන අතරමග food tasting වලට ගිහින් නාගත් අවස්ථා ද මට නම් එමටය :) :)

      Delete
    3. ////අපේ රටේ food exhibition මදි පාඩුව දැන්නෙන් මට විතරද?///

      ඉස්සර නම් මේවා ෆයිව් ස්ටාර් හෝටල්වල විටින් විට කරා. නමුත් මේවා හෝටල්වලින් එලියට එන්න ඕන කියලා තමයි මම කියන්නේ. මටත් පොඩි කෑම පිස්සුවක් තියෙනවා.

      Delete
    4. අනිවා, කොරියාවෙ, චීනෙ, ජපානෙ වගේ රටවල සාමාන්‍ය සුපර් මාර්කට් වලත් food tasting තියනවෙ. ඒවා නම් නියමයි. ඇයි Wine tasting .හික් හික්. බලා ඉන්න ආසයි!

      Delete
    5. මම ඉන්න පලාතේ බියර් ටේස්ටිං, සයිඩර් ටේසිටිං එහෙම තියෙනවා...මිනිස්සු එනවා...

      Delete
  9. ලියලා තියෙන විදිහ රසයි ඔක්කොටම වඩා! :)

    ReplyDelete
  10. /ඉතින් වස විස ඇති එලෝලුවක හරි, පරන මාලුවෙකුගෙ හරි රසයක් ආවොත්, බත් පිඟාන කෙලින් පාරෙ බිමට පත බෑ කරල, මේ මුදලාලිලා යන්නෙ නොසරුප් වදන් බුරමින් කියලා තමයි චාමා කියන්නෙ../

    යකෝ මේ ආතල් සීන් එක බලන්ට චිත්තරානන්දෙ ඉස්සරහ පාරෙ අනික් පැත්තෙ පේමන්ට් එකේ ඇණ තියාන වරුවක් බලාහිටියත් පාඩුවක් නෑනෙ. දෙයියම්පල්ල

    /මාළු ජාතියෙ නම හබරළියා./

    මම අහල තියෙන්නෙ හබරළා කියල...:)

    කතන්දරේ නං හොබෝවො කිරට උයපු මාලු ඔලුවක් වගෙ රහයි...උඹල කාපු බිත්තර දහයෙ ඔල්මට් එක පල්ල...

    ReplyDelete
    Replies
    1. වැඩි වෙලාවක් ඉන්ට වෙන්නෙ නැති වෙයි. මම හිටි ටිකටත්, වතුර එකක් දුන්නෙ නැද්ද මොකද්ද කියලා මිස්ටර් නාට්ටාමි කෙනෙක් මහ හයියෙන් බැන බැන ගිය!!!

      අනේ මංදා මට කිව්වෙ නම් හබරළියා කියලා. හබරළ කොලේ තමයි එතකල් මං නං දැනගෙන හිටි එක්ක ඔන්න!

      බිත්තර දහය තුන්දෙනාටමනෙ බං, මට තුන හමාරක් ඉතර ලැබුන මයෙ හිතේ. එහෙම වැඩිය කන්නෙ නෑ, අම්මප.

      Delete
    2. හබරළියා කියන්න ඒ ගැහැණු ළමෝ කියන විධිහ රවී. :)

      Delete
  11. කියවද්දි කටට කෙලත් ඉනුවා. මෙච්චර කොළොම්පුරේ කරක්ගහන මම දැකලා නෑනේ ඔය කියන චිත‍්‍රානන්දේ .

    ReplyDelete
    Replies
    1. ගිහින් බලන්න.හොයාගන්න ඒ හැටි අමාරුව නෑ.

      Delete
  12. පෝස්ට් එක හරිම රහයි....

    ReplyDelete
  13. බඩගිනියි

    ReplyDelete
    Replies
    1. හොඳ කොත්තුවක් වගේ තමයි ඉතින් ඔය බඩකින්නට උත්තරේ!

      Delete
  14. කතාව නම් මරු. අවුරුදු දෙහෙකට කලින් ඔතනට ගියා. බයට කෑවේ නැහැ. යාලුවෝ දෙන්න තලු මර මර කන හැටි හූල්ල හුල්ල බලන් ඉඳල තොල ඇලෙන තේකක් බිල ආව. මේ වගක් දන්නවා නම්.
    තව හෝටලයක් තියනවා අර හිල්ටන් එක පැත්තෙන් ඇවිත් ඔරලෝසු කණුව තියන පාරට හැරෙන කොට. ඒකත් "පිරිසිදුයි , හොඳයි " කියල හැමෝම ගිහින් කනවා.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ අනේ,මේ තාම ජීවත් වෙන්නෙ! බඩේ අමාරුවක්වත් හැදුනෙ නෑ! කෑම කියන හම්බුනාම නොකා ඉන්ට එපා,අපරාදෙ!

      Delete
  15. මාත් යන්න ඕන වෙලාවක චිත්රනන්දේට..... හැබයි කන්න පටන් ගන්න කලින් ගල් 200 ක් ගහන්න ඕන. බත් මරන්න පුළුවන්. ඔය වගේ පොත එකක් තියෙනවා නාරාහේන්පිට... අර ලංකා හොස්පිටල් එකත් මෙහා පැත්තේ ෂෙඩ් එකත් අතර ... ඒකට කියන්නේ ලුණු කඩේ කියල ... මට හිතෙන විදියට ඔය නම හැදිලා තියෙන්නේ ඔය ආසන්නේ ඉස්සර ලුණු සංස්ථාවේ ඔෆීස් එකක් ථිබිඅ තියෙනවා.....
    කොහොම උනත් මම ඉස්සර ඔය අසන්නේ ඔෆිස් එකක වැඩ කරන කාලේ දවල්ට පොල්හේන්ගොඩ ඇලෙන් එගොඩ තියෙන වලව්ව පොත එකෙන් ගල් 150 ක් ගහල ලුණු කඩෙන් බද පැලෙන්න කාල එනවා.....

    ReplyDelete
    Replies
    1. https://photos.google.com/photo/AF1QipPsm3gIvGWevwDX4n2-VFDHSaFRnSo8LFdLJ4YT

      Delete
    2. අනිවා.මේ ටිකේම මට හොඳ කෑම චාරිකාවක යන්න බැරිවුණා. හොඳ සයිවර් කඩයක් පැත්තෙ යන්න වුවමනාවකුත් තියනව. ඒත් මේ දවස්වල මගේ කෑම තීම් එක චොකලට් අයිස්ක්‍රීම්. ඒ හින්දා වැඩි අවධානය ඒකට.

      Delete
  16. ඇත්තටම ක⁣ඩ්⁣ෙ මුදලාලි කීයක් ගෙව්ද ේක දැම්හට

    ReplyDelete
    Replies
    1. සත පහක් නෑ බං. අනික් පාර කීයක් හරි ඉල්ලගන්ට ඕනෙ.

      Delete
  17. අහම්බෙන් බ්ලොග් එක කියවන්න ආවේ. ෂහ්!!! මරුනේ කියලා හිතුණා 'චිත්‍රානන්දෙන් බත් කෑම' කියෙව්වම. දැන් ඉතින් ගැලවීමක් නෑ. මුළු බ්ලොග් එකම කියවන්න මම තීරණය කළා.

    ReplyDelete