Friday, September 2, 2016

මාටිං අයියාගේ කෑම වට්ටෝරුව

මාටිං අයියා මේ ලඟකදී සෙල්ලම් අහස්යාත්‍රාවක ඉස්සරහා රෝදය ගිල දැම්මේය. ගෙදර මිනිස්සුන්ගේ වාසනාවකට වාගේ අහස් යාත්‍රා රෝදය කුඩාය, ප්ලාස්ටික්ය. නැත්නං ගෙදර කාටකාටත් ඉන්න වෙන්නේ අහස්යාත්‍රාවක් ගිල්ලා වාගේය. අහස්යාත්‍රා රෝද මාටිං අයියාගේ සාමාන්‍ය ඩයට් එකට අඩංගු නොවුණත් මාටිං අයියාගේ කෑම රුචිය සාමාන්‍යයෙන් ටිකක් වෙනස්ය. මාටිං අයියාට වැඩිය කන්න බැරිය. අපට වඩා ටිකක් කන්නේය. කන ඒවා යන්නේ කොහාටද කියා හොයාගන්නට බැරිය.ඉස්මුරුත්තාවට කෑ දවසට මාටිං අයියාගේ බ්‍රෙස්ට් කටු ටික අමාරුවෙන් ටොම්බා සයිස් වූ බඩ ගෙඩිය බදාගෙන සිටී. රෝදය ගිල දැමූ පසු මාටිං අයියා සහලෝලාම බය වී සිටියාට ගෙදර ඈයින්ට බය පෙන්වන්නේ නැත. ඇඳට වී බයටම පාන්දර එක දෙක වෙනකම් අවදිව සිටිනා මාටිං අයියා ගෙදර ඈයින්ව සනසයි. "අයියෝ බය වෙන්න එපා, දොස්තර මහත්තයා කිව්වානෙ හෙට උදේට රෝදෙ එයි කියලා ටොයිලට් යද්දි...ඒ හින්දා ඔයාලා බය වෙන්න එපා....ඕක පොඩි දෙයක්නෙ..." ගෙදර කවුරුත් මාටිං අයියාගේ පසුදින වැසිකිලි ගමන පිළිබඳ මහත් වූ සිහින දකිමින් නින්දට වැටෙති. 


මාටිං අයියා අහස්යාත්‍රා රෝද වල සිට ඕනෑම දෙයක් කා දැමීමට හපනෙකි. "මේ ගෙදර මිනිස්සු මට කැඳ ටිකක්වත් හදලා දෙන්නෙ නැති හැටි..." වෙලාවකට මාටිං අයියා දෙවොල් තියයි. කොළ කැඳ, ලුණු කැඳ, බත් කැඳ ආදී ඕනෑම කැඳ වර්ගයක් මාටිං අයියා ගිල දමන්නේ පුදුමාකාර සතුටකිනි. "මේ කණුරාකරලා මට හෙටවත් මුං ඇට ටිකක් තම්බලා දෙනවද..." මාටිං අයියා කියන්නේ ආතෙක් වගේය. හොඳ හැටි තැම්බූ මුං ඇට හෝ කව්පි සමග යහමින් මිරිස් එක්කර ගලේ අඹරා පදමට ලුණු ද දෙහි ද දැමූ ලුණුමිරිසක් සමග කෑමට ලැබීම මාටිං අයියා සලකන්නේ දිව්‍ය භෝජනයක් ලැබුණු ගානටය. පුසුඹ ගහන ලුණුමිරිස් තලියක් ද වදෙන් පොරෙන් කාට හෝ කියා ගා ගන්නා පොල් තලයක් ද සමග කව්පි පිඟන් දෙකතුනක් අහවර කිරීම මාටිං අයියාට මහ කජ්ජක් නොවේය. ගෙදර තම්බන කඩල මුට්ටියටද සිදුවන්නේ ඔය සන්තෑසියමය. මුං ඇට කිරිබත් මුට්ටියට ද සිදුවන්නේ ඒ කතන්දරයම ය. බත් පිඟානක් එක්ක යහමින් ඉඟුරු, සුදුළුූණු,ගම්මිරිස්, මිරිස්, තුනපහ සමග රතු කළු වෙන්නට ඉවූ උණු උණු කුකුළු මස් කරිය එක හුස්මට කා දමන මාටිං අයියා කට්ට කරෝල හොද්ද සමග අඟුණ කොළ හෝ කුරිඤ්ඤං කොළ ඇම්බුම ද ගිල දමන්නේ ඒ හා සමාන ගැම්මකින්ය. තිත්තට කරවිල ද, ඇඹුලට අච්චාරු ද, දැවිල්ලට රතු සම්බෝලය ද කන්නට හපන්කම් පාන මාටිං අයියා, බතුයි සුදට පරිප්පුයි තිබුණ ද බෑ නොකියා ඉන් ද බත් පිඟානක් දෙකක් කා දමන්නේය.


මාටිං අයියා බිත්තර බුල්සායි කර පාන් එක්ක කන්නට ද ආසාය.ඊට ලූණු ගෙඩියක් කපා පොඩියට ලුණු මිරිසක් ද ඇත්නම් රසේ බැරිය. නිකම් තැම්බූ බිත්තර ගෙඩි දෙක තුනක් දෙනවා නම් කෑම ද මාටිං අයියාට ඒ හැටි කාරියක් නොවේය. අලුත ගෙනා ටෝස්ටරයෙන් පිලිස්සී උඩ පනින පාන් පෙති චරබර ගා නිකම් කන්නටද, ඒවා මත මාජරින් හෝ බටර් තවරා කෑමට ද මාටිං අයියාට ඇත්තේ නොතිත් ආසාවකි. හවහාට චූං පාං අයියා පාරේ පන්නාගෙන යන මාටිං අයියා අඩුගාණේ කිඹුලා බනිසකට හෝ වග කියයි. සීනි බනිස්, මාළු බනිස්, සොසේජ් බනිස්, ඉස්පන්චි ආදී එකී මෙකී ඕනෑ දෙයක් එපා නොකියා කන මාටිං අයියා කන්න මුකුත්ම නැත්නම් අඩුම ගාණේ රෝස් පානක් එක්ක කුකුළු මස් කරියේ හොද්දකටවත් වග කියයි. කුස්සියේ බිම වාඩිගෙන මොකක් හෝ හොද්දක් ඉවූ දැලි වලඳක බත් අනාගෙන කන්නට මාටිං අයියාට ඇත්තේ පුදුමාකාර ආසාවකි. හොද්ද අඩිය මොකක් වුවත් පොල්කටු හැන්ද පුරවා බත් හැඳි දෙකක් වුවත් මහ අමාරුවක් නැතිව ගිලබත් කිරීම මාටිං අයියාට මහ කජ්ජක් නොවේය. දැලි වලඳ වටේ නටමින් ඉහේ පටන් දෙපතුල වෙනකම් දැලි නාගෙන බත් කෑමෙන් මාටිං අයියාගේ ඇස් සතුටින් දිලිසෙන්නේය.   

කොටුවේ පිලාවුස් එකෙන් චීස් කොත්තු ගෙනත් දුන් දා පටන් මාටිං අයියාට පුදුමාකාර කොත්තු පිස්සුවක් ගසා ඇත. මහ රෑ මර නින්දේ හිටි වේලාවක ගෙනා කොත්තුව මාටිං අයියා  ඇහැරවා කවන්නට වූ විට, හීන හතක් දැක්කද කොත්තුවෙන් ටිකක් පිඟානකට බෙදා දෙන ලෙස මාටිං අයියා ගෙදර ඈයින්ට අණ කළේය. නින්දෙන් වැටි වැටී පුටුවේ ඉඳගෙන දෙපාරක්ම චීස් කොත්තු බෙදාගෙන කෑ මාටිං අයියා පහුවදා අලුතින් චීaස් කොත්තු කෑමට සිහින මවයි. නිතරම කොත්තු ගැන මතක් කරයි. චීස් කොත්තු කඩේ ඇරලාද විමසයි. ආයේ චීස් කොත්තුවක් ගේන්නේ කවදාද අසයි. ගෙදර නිකම් ඇවිදින ගමන්, "මං චීස් කොත්තු කන්න පුදුම ආසයි" කියා නිවේදනය කරයි. කඩෙන් කොත්තු කෑමට බලමණ්ඩලයෙන් කචල් නිසා මාටිං අයියාගේ කොත්තු හීනය පිරිමහන්නට ගෙදරදී කොත්තු හදන්නට තීරණය වන්නේ මෙවැනි පසුබිමකදීය. 

කොත්තු හදන ගෝදම්බ රොටී පැකට් එකක් ද, එළවළු ද, කුකුළු මස් ද, චීස් කෑලි කීපයක් ද රැස් කරගෙන ගෙදර කවුරුත් යමරෙට කොත්තු හදන්නට කුස්සියට එක් රොක් වී සිටින අයුරු දකින් මාටිං අයියාට ඉහේ මලක් පිපුණා වාගේය. කැරට් කැපෙන පිහිය දෙසටත්, මස් තැම්බෙන ලිප දෙසටත් පිස්සුවෙන් වාගේ දිව යන මාටිං අයියා, ඔයාලා හැමෝම මට කොත්තුව හදන්න උදව් වෙනවාදැයි අසමින් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් උඩ පනියි. පුටුවක් තබා ඈතින් සිට ලිප තබා ඇති හට්ටියට එබිකම් කරයි. කොත්තුවට දාන්නේ මොනාදැයි විමසයි. කොත්තුව හදන පිළිවෙල අසයි. දැං කමුදැයි අසයි. මේසය උඩට වැඩැම්මවූ ගෙදර හැදූ කොත්තුව බෙදා දෙනකම් මාටිං අයියාට සිහියක් නම් නැත. කොත්තුවේ මුල්ම කට හුස්ම කටක්ද නොගෙන කා දමන මාටිං අයියා, මේ කොත්තුව නම් රහේ බැරි බවත් එය ඉතා මරු බවත් කියයි. අනෙක් අයටද කොත්තුවේ මරුව බලාගැනීමට  කොත්තු බෙදාගෙන කන ලෙසත් කියයි. ඔයින් ටික කාලයකට මාටිං අයියාගේ කොත්තු සිහිනය දින කීපයකට සමනය වෙයි.

කන්න ඒ හැටි පිරියක් නැති දාට මාටිං අයියාගේ එකම ආසාව හොඳ හැටි ලුණු ඇඹුල් දැමූ සම්බෝලයක් එක්ක සුදු බත් කෑමය. සම්බෝල එක්ක නම් බත් පිඟානක් පිරෙන්නම කා දමන්නට මාටිං අයියා සමත්ය. ඉඳහිට බත් කවන්නට කියන මාටිං අයියා ස්වාධීනව අනාගෙන බත් කෑමට වැඩියෙන් කැමතිය. හාස් හූස් කියමින් සම්බෝලය කන මාටිං අයියා වතුර ඉල්ලමින් ගේ පුරා දුවන්නේ වතුර කරාමයට තවම උස මදි හන්දාය. ඉස්මුරුත්තාවට කට දැවිල්ල වැඩි දවසට පුටුවකට නැගගෙන මේසයට කිට්ටු කරන මාටිං අයියා හකුරක් හෝ සීනි කැට ටිකක් කටේ දමාගෙන හප හපා යයි. පහුවදාට මොට්ටසෝරි ගෙන යන්න කෑම පෙට්ටියට දාන්නේ මොනවාදැයි අසමින් එදා කෑම වට්ටෝරුව නිමා කර මාටිං අයියා නිදා වැටෙයි. 

Thursday, August 18, 2016

දාලිත්සෝවත : ජාදුමානි

මං ජාදුමානි. ඉපදුණේ ඔරිස්සා ප්‍රාන්තෙ. ඉන්දියාවෙ දුප්පත්ම ප්‍රාන්තයක් තමයි ඔරිස්සා කියන්නෙ. මගේ ගම භන්ජාපාලි. ඒක පුංචි ගමක්. මං හීන කුලේ. ගාන්ධි ජී නම් කිව්වෙ අපි හරිජනයො කියලා. හරිජන කියන්නෙ දෙයියොන්ගෙ ළමයි කියන එකයි. මං නං දන්නෙ නෑ අපි මොන දෙයියන්ගෙ ළමයින් ද කියන්න. සමහරවිට ඒ ගාන්ධි ජී ගේ දෙයියො වෙන්ඩ ඇති. මං දන්නෙ නෑ ඒ දෙයියො මොනතරම් සාධාරණයි ද කියන්න. හැබැයි ඒ දෙයියෝ කියනවා අපි අතින් අල්ලන්නවත් තරම් නොවෙන අසික්කිත වර්ගයක් කියලා. කොහොමින් කොහොමහරි අපේම කියලා ඡන්දකොට්ඨාස වලින් අපේ ජාතියෙ මිනිස්සුන්ව බලයට පත් කරනවට (Granting the Communal Award) ගාන්ධි ජී කැමති වුණේ නෑ. මං දන්නෙ නෑ ගාන්ධි ජී මොන තරම් සාධාරණයි ද කියන්න. සමහරවිට මං වැරදියට හිතාගෙනවත්ද දන්නෙ නෑ.අපි දාලිත් මිනිස්සු (Untouchables).අපි ලෝකෙ ගැන මොනවා කියලා දන්නවටද........

මං උපන්නෙ ගාන්ධා කුලේ. හීන කුලේ අයව තව එක එක කුල වලට බෙදිලා තියනවා. හින්දු දෙයියො කියන ප්‍රධාන කුල හතරට අපි අයිති නෑ. අපි පහළ කුලේ (low caste) අය නෙවෙයි. හරියටම කිව්වොත් අපිට කුලයක් නෑ. අපි කුලෙන් පිට මිනිස්සු (out caste). ඔය කියන විදියට අපි බොහෝම නරක උදවිය වෙන්න ඕනෙ. 

මායි මගේ සනුහරේමයි ගැතිකං කරේ හින්දු ඉහල කුලේ අයගේ වැඩකාරයෝ, කම්කරුවෝ විදියට. හීන කුලේ අපට ඉඩං අයිතියක් නෑ. ඉස්සර කාළේ අපේ කුලේ ඈයින් ජීවිතේ සරි කරගත්තෙ බෙර ගහලා, රෙදි වියලා. අපිට ගමේ ජීවත් වෙන්ඩ අයිතියක් නෑ. අපි හිටියේ ගමින් පිට අටවාගත්තු ගුබ්බෑයම් වල. අපි කවුරුත් කළේ ගමේ හින්දු පවුල් වල දාසකම්. අපේ දුප්පත්කම ඉහටත් උඩින්. අපිට මුකුත් වෙළහෙළඳාමක් කරන්න තහංචි. රස්සාවක් කරන තරමට ඉගෙනගන්නත් තහංචි. අපේ පරම්පාරා ගාණක්ම කළ දාසකම්, වැටුණු කඳුලු, හළපු ලේ ගංගානම් ගඟට වඩා බොහොම උසයි.
සාමාන්‍ය මිනිස්සුන්ට හම්බුවෙන කිසිම පොදු පහසුකමක්වත් ලබාගන්න අපට අයිතියක් නැහැ. මං ඉස්කෝලේ යද්දි වාඩි ගන්න ලැබුණේ පන්තියේ මුල්ලක. ඉහළ කුලේ ලමයින්ගෙන් අපිව ඈත් කරලායි තිබුණේ. දවල් කෑම වෙලාවට ඉස්කෝලෙන් කාටත් කෑම දුන්නා. අපිට දුන්නේ වෙනමම වාඩි කරවලා. ඉහල කුලේ ලමයි කෑම කන පළාතටවත් අපි හීන කුලේ ළමයින්ට යන්න දුන්නෙ නෑ. දවල් විවේක වෙලාවට ඉහළ කුළේ ළමයි ක්‍රිකට් ගහනවා. මාත් හරි ආසයි ක්‍රිකට් ගහන්න. ඉස්කෝලෙ වැට මායිමෙන් එහාට වුණත් මට පුළුවන් හයේ පාරවල් ගහන්ඩ. එතකොට හැමෝම මට අත්පුඩි ගහාවි. ඒත් ඉහල කුලේ ලමයි අපිව ක්‍රිකට් ගහන්න ගන්නෙ නෑ. ඉන්දියාව කීපවතාවක්ම ක්‍රිකට් ලෝක කුසලානෙ දිනුවාලු. අපිත් හරි ආසයි ක්‍රිකට් ගහන්න. ඉහල කුලේ අය දිහා කෙලින් බලන්න අපට තහනම්. ඒ නිසා  ඒ කාටවත් අපේ ඇස් වල දුක වේදනාව නොපෙනෙනවා ඇති.

අපේ ගන්ධා මිනිස්සු සේරම පාරවල් හදන තැන් වල, ගෙවල්, ගොඩනැගිලි හදන තැන් වල අතේපයේ වැඩ තමයි කරන්නෙ. මං කාලයක් හින්දු ඉහල කුල ගොවිපොළ වල කුලී වැඩ කළා. කුළී වැඩ කරද්දී අපට එයාලාගෙ ගෙවල් පලාතටවත් එන්න දෙන්නෙ නැහැ. අපට පිපාසාවට වතුර ඩිංගක් ලිඳකින් බොන්ඩ අවසරයක් නැහැ. වැඩ කරලා හොඳටෝම පිපාසා වුණාම එයාලා කවුරු හරි අපේ අත් වලට හරි අපේ භාජනේකට හරි වතුර වක්කරනවා. එහෙම ලැබෙන වතුර ටික තමයි බොන්නෙ. එයාලගේ වතුර භාජන ලඟටවත් යන්න දෙන්නෙ නෑ අපට, එව්වා අපිරිසිදු වෙන්වාලු.  

මගෙ අම්මටත් තාත්තටත් අකුරු සාස්තරේ බැහැ. තාත්තා ගොවිපොලක කුලී වැඩ කළා. එයාට ලැබුණේ රුපියල් තිහයි දවසේ කුලිය. ඒ සොච්චමින් තමයි අපේ මුළු පවුලම නඩත්තු වුණේ. සමහර කාල වලදි ඒ සොච්චමත් ලැබුණේ නැහැ. මට මතකයි මීට අවුරුදු කීපයකට උඩදී ආපු සීත කාලේ මහපොළොවට එක වැහි බිඳක් වැටුනේ නැහැ. වැස්ස හීන වුනාම ගොවිපොළ වල වැඩ නවත්වනවා. වැඩ නැවතුවාම අපට කුලී වැඩ නැහැ. ඒ මුළු අවුරුද්දටම හරියකට වැස්ස නොවැටුණු නිසා සේරම ගොවිපොළවල වැඩ නතර වුණා. ඒ සීත කාලේ අපි දවස් ගණන් නොකා නොබී හිටියා. ඒක බොහෝම අමාරු සීත කාලයක්. 

*හෝබෝගේ සටහන: එහෙම අමාරු සීත සමයක් ගෙවාපු ජාදුමානිට දැන් වසන්තය උදා වෙලා. එයා හීන කුල මිනිසුන් වෙනුවෙන් හඬ නගපු ආචාර්ය අම්බෙඩ්කාර් මහත්මයාගේ අඩි පාරේ යන, බෞද්ධ දර්ශනය ප්‍රධාන කොටගත් නාගලෝක කියන බෞද්ධ මධ්‍යස්ථානයත් එක්ක සම්බන්ධ වෙලා, ජවහල්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරමින් ඉන්නවා. තමන් වගේ හීන කුලයේ ඉපදීම නිසා නොයෙක් කරදර කම්කටොළු වලට මුහුණ දෙන දාලිත් ජනතාව වෙනුවෙන් සමාජ සේවා කටයුතු වල නිරත වෙනවා. ජාදුමානි තමන්ගේ කතාව ලෝකයටම කියන්නෙ තවමත් සීත සමයට හසු වෙලා ඉන්න දාලිත්වරුන්ට වසන්තය උදා කරන බලාපොරොත්තුවෙනුයි. මට ජාදුමානිගේ ජීවිතෙන් එක මොහොතක් හමු කරලා දෙන්නෙ ඒ වගේ දාලිත්වරයෙකුව සිට දැන් මහණ දම් පුර භන්තේ සුගත හාමුදුරුවෝ. මට භන්තේ සුගත හාමුදුරුවන්ව මුනගැහෙන්නෙ සාසනේට යන්න කලිනුයි. ඒ කාලේ එයා දීපක්. මට දීපක්ව මුණගැහුණු හැටි තව දවසක කියන්නම්. 

Tuesday, August 16, 2016

අත්තම්මාගේ රස කතා-ඉස්කෝලේ ගමන

*ටික දොහකින් ලියන්නෙ. බැරි වුණා ලියන්න.කවුරුත් හොඳින් ඉන්නවාය කියලා හිතනවා. :)

අපූරු බෑණෙකු වන අපගේ තාත්තාගේ දවසේ ලොකුම රාජකාරිය උදැහැනැක්කේම අත්තම්මාට කියවීමට මොකක් හෝ දවසේ පත්තරයක් උස්සාගෙන ඒමයි. අත්තම්මාද බෑණා පොඩ්ඩ ගෙන එන පත්තරය කියවන්නේ බොහෝම ඕනෑකමකිනි. රටේතොටේ දවසේ විස්තර ඕ අපට වඩා දනී. පත්තරය ඔඩොක්කුව මතට ගන්නා අත්තම්මා පත්තරයේ බර බලයි. එයි කාලේ සිළුමිණ පත්තරයක් සත පහයි, මට ඒ පත්තරේ උස්සාගන්නවත් බෑ. එයි තරමට බරයි.අත්තම්මා මුල් පිටේ විස්තර බලන ගමන් කියයි. ඔබ්සර්වර් පත්තරේ වේකන්සි පිටු ගොල්ලෙන් අම්මා මල්ලීට යහමින් උදේට බත් බඳින හැටි හෝබෝවා මතක් කරගන්නේ හිනාවක් ද හක්කේ ගසා තලු මරන ගමන්ය. 

පත්තරය පුරා ඇති ගං වතුර විස්තරේ කියවමින් අත්තම්මා හූල්ලයි. ඉස්සර අපටත් හරීයට ගං වතුර, ඇය කියයි. ඒත් ඉතින් කොයි ගං වතුරටත් ඒ කාලේ අපි ඉස්කෝලෙ යනවා. අම්මලා තාත්තලාටත් ගානක් නැහැ. බයකුත් නැහැ. ගං වතුර කාලෙට අපි ඉස්කෝලේ යන්නේ කොල්ලෑවකින්. එයික පදින්නේ කොලුවෙක්. කැලණි ගඟ ගලලා ගංකරේම සප්ත මහා සාගරේ වගෙයි. කොල්ලෑවේ යන්නෙ මායි, මගෙ අයියයි, කොල්ලෑව පදින කොලුවයි ඉතරයි. හිටි ගමන් කොල්ලෑවට ඈතින් කිඹුල්ලු එහෙමත් යනවා. ඒත් අපි බය නෑ. මොකද අපි හිතාගෙන ඉන්නෙ උන් කබරයි කියලා. 

අපි ඉස්කෝලෙ යන්නෙ ගොඩැල්ලෙන් චූටි කැලේට, ඊට පහු ආණ්ඩුවේ කැලෙන් පට්ටියාවත්ත ගමට. ඉන් පස්සෙ කොතලාවල හංදියෙන් කඩුවෙල පැත්තට තමා ඉස්කෝලෙ තිවුණේ. ඒ කාලෙ අපි පොඩි ළමයි. ඉස්කෝලෙ ළමයින්ට තමා කියන්නෙ ඉස්කෝලෙ ගාන්න ගොම ගේන්ට කියලා. පොඩි කෙල්ලො ලව්වා ඉස්කෝලෙ බිම ගොම පිස්සෝනවා. පිරිමි ළමයි උදලු වලින් මැටි දානවා. ලොකු ගුරුන්නාන්සෙයි, පොඩි ගුරුන්නන්සෙයි තමා අපි ගොම ගානෙව්වා පරීක්ෂා කොරන්නෙ. තව හිටියා කවුදෝ අපේ නෑදෑවෙන කෙනෙකුත්. 

අපිට ඉස්කෝලෙ උගැන්නුවේ සිංහල, ගණිතය. ඉස්සරෝම වෙලා ගන්න තිබුණේ ඉස්කූල් වින් එක. ඉස්කූල් වින් එක කියන්නෙ ඉස්කෝලෙන් තියන විබාගෙ. ඊට පස්සෙ අවුරුද්දකින් ප්‍රාරම්භෙ. එයි විබාගෙට එනවා පිටින් ගුරුන්නාන්සෙ කෙනෙක්. අපි එයැයිට කියන්නෙ පාඩම් මහත්තයා කියාලා. එයැයි නමින් ගුණසේකර. පාඩම්ම හත්තයා එනකොට ඉස්කෝලෙ ළමයි සේරෝමලා දෙපැත්තෙ හිටගෙන එයැයිට ආචාර කරන්න ඕනෙ. ඉස්කෝලෙ ගුරුවරු එදාට අයින් වෙලා බලාගෙන ඉන්ට ඕනෙ. ඉන් පස්සෙ පාඩම් මහත්තයා ප්‍රශ්න පත්තර වගයක් දෙනවා. අත්තම්මාගේ මුහුණේ හීනියට හිනාවක් පහල වෙයි. ගුණසේකර පාඩම් මහත්තයා අපේ නෑදෑයෙක් වෙනවා. අපි ඉතින් වැඩ කළත් නොකළත් අපව පාස් කොරෝනවා!

අවසාන විභාගෙ ලියන්න වයස් මට්ටමක් නෑ. එයික ලියන්න හොඳට වැඩ කරන්න ඕනෙ. ඉස්කෝලෙන් ඉගෙනෙගෙන අවසානෙ ලියලා පාස් වුනාට පස්සෙ ඒ ඉස්කෝලෙම වැඩ කරන්න පුළුවන්. පාසල් ගුරුන්නාන්සෙකෙනෙකුට පඩිය මාසෙකට රුපියල් දහයයි. ලොකුම ගුරුන්නාන්සෙගෙ පඩිය රුපියල් දහ අටයි. 

Sunday, July 31, 2016

මාටිං අයියා සහ ඩිස්කවරි චැනලය

මාටිං අයියා ගෙදර ඉන්නා ඉස්තිරී පාර්ශවය ඒ හැටි මායිම් කරන්නේ නැත. උදේ හිට හවහා වන තුරුත්, හවහා සිට එළි වෙන තුරුත් නිවසේ සිටිනා ඉස්තිරී පාර්ශව සියල්ලම පාහේ, මාටිං අයියාට පංසලේ නායක හාමුදුරුවන්ට වාගේ ඇබිත්තකම්, මෙහෙකම්, උවටැන් කිරීමට පේවී සිටීමත්, නිවසේ මහාධිකරණයෙන් අපරාධ චෝදනා එල්ල වී සිරබත් කෑමට සිදුවන තත්වයන් හීදී අභියාචනාධිකරණ, ඔම්බුඩ්ස්මන් ආදී රාජකාරි කිරීමත් මීට හේතු වීමට ඉඩකඩ බොහෝය. මාටිං අයියා සිතා සිටින්නේ තමා ඉතා වැදගත් පුද්ගලයෙකු නිසා හැමතිස්සේම තමාට මල් වට්ටියක්, පූජා වට්ටියක් ගාණට සලකා තමාගේ සියලූම පක්කලි වැඩ කිරීමට නිවසේ ඉස්තිරී පාර්ශවයන් බැඳී සිටින බවය. නිවෙස් වැසි ඉස්තිරී පාර්ශව සියල්ලන්ටම මාටිං අයියා මගේ දෙයියා, මගේ පණ සහ මගේ රත්තරන් කැටේ වීම නිසාත් හවසට දෙන තේ සහ බිස්කට් දොහොත් මුදුනින් මාටිං අයියා වෙත පිළිගන්නන නිසාත් දොඩම් ඇට එක හමාරක් විතර උස මාටිං අයියා නිවසේ එහේමෙහේ යන්නේ ප්‍රතාපවත් රජෙකු වීදි සංචාරය කරන්නා වාගේ සිංහ සෙය්‍යාවෙන් ය. 

මාටිං අයියා නිවසේ ඉස්තිරී පාර්ශවයෙන් නිකමට හෝ මායිම් කරනවා නම් කරන්නේ අන්නක්කාව ය. මාටිං අයියාට ඕනෑ පදමට කටන්දර කියා දෙන්නේත්, ප්‍රශ්නෝත්තර සෙල්ලම කරන්නේත් අන්නක්කා නිසා, තමාට වඩා යමක් දන්නා කියන එකියක ලෙස මාටිං අයියාගේ ලෝකයේ අන්නක්කාට පොඩි තැනක් ඇත්තේය. අන්නක්කා කොහොමින් හෝ වදෙන් පොරෙන් මාටිං අයියාගේ මොළ ගෙඩියට නිතරම පාහේ අකුරක් දෙකක්, වචනයක් දෙකක් එන්නත් කිරීමට ඉතා ආසා කරන්නීය. මාටිං අයියාගේ හවස් ජාම් හොබියක් පිළිබඳ අන්නක්කාට වැඩි පැහැදීමක් නැත. මාටිං අයියා ඇඳ උඩ හරිබරි ගැසී කට ඇරගෙන ඉංදියාවේ කාඩ්බෝඩ් වීරයින් උළුප්පන කිස්නා බැලීමත්, චණ්ඩී බැලීමත් අන්නක්කාට දිරවන්නේම නැත. ඒ නිසා දවසක් අන්නක්කා මාටිං අයියාට අලුත් හොබියක් සැට් කිරීමට උත්සහා දරයි. මාටිං අයියා සමග ඇඳ උඩ එරමිණියා ගොතා ගන්න අන්නක්කා මාටිං අයියාට හා හා පුරා කියා ඩිස්කවරි නාලිකාව හඳුන්වා දෙන්නේ මේ සියල්ලේම ප්‍රතිඵලයක් ලෙසය. 

ගෙදර ජනෙල් දොරවල්, තිර රෙදි, ඇඳ රෙදි, හාන්සිපුටු  මේ අව් අස්සේ අන්නක්කාට ඔලොක්කුවට වාගේ හිනා වෙන්නට වුවත්, අන්නක්කා ඉන් සැලෙන්නේ නැතිව මාටිං අයියා සමග ඩිස්කවරි බැලීමට සැට් වූවාය. ඒ වෙද්දී ඩිස්කවරි චැනලයේ පෙන්නන්නේ සතුන් ගැන වාර්තා වැඩසටහනකි. 
"අර මුක්කුද?" ටෙලිවිෂන් තිරය දෙස කට ඇරගෙන බලා සිටින මාටිං අයියා, අන්නක්කා වෙත සිය ප්‍රථම ප්‍රශ්නය යොමු කරයි.
"ඒ වවුල්ලු." 
"හරී." මාටිං අයියා කියන්නේ ටෙලි තිරයෙන් ඇස් අහකෙට නොගෙනය.
ටික වේලාවක් යයි.
"ඇයි අර කපුටො අතු වල එල්ලිලා ඉන්නෙ?"
මාටිං අයියාට අනුව ලෝකයේ සිටින සියලුම කුරුල්ලෝ කපුටෝ ය. 
"ඒ ඉන්නෙ කපුටො නෙවෙයි පැටියො, ඒ ඉන්නෙ වවුල්ලු. උන් ඉන්නෙ අතු වල එල්ලිලා."
"ඇයි උන්ට පියාඹන්න බැයිද?"
කාමරයෙන් එළියේ වූ හාන්සිපුටුවක් හැක හැක ගා සිනාසෙන්නට පටන් ගනී.
"නෑ, නෑ උන්ට පියාඹන්න පුළුවන්.උන් නිදාගන්නෙ එල්ලිලා අතුවල, ආං අර වගේ...."
"ඉතින් ඇයි උන් එහෙම එල්ලිලා නිදා ගන්නෙ?"
(පරිසරයම නිහඬ වෙයි.)
.
.
.
(පරිසරය තවමත් නිහඬය.)
"ඉතින් ඇයි උන් එහෙම එල්ලිලා නිදා ගන්නෙ?"
මාටිං අයියා කරුණාකර නැවත ප්‍රශ්නය යොමු කරයි.
"හ්ම්...උන්ගෙ කකුල් හැදිලා තියෙන්නෙ ඒ විදියට. ඒකයි."
"හරී..." මාටිං අයියා ආයේමත් මේ අරුම පුදුම වවුල් සැට් එක දිහා බලාගෙන සිටී. ටික වේලාවකින් මේ වවුල් සැට් එක ගඟකට ඉහලින් පියාසර කරනා ගමන් පහත් වී සිය ශරීර ජලතලයේ ගාවමින් යළිත් අහසට එසවෙති.
අන්නක්කාද මෙවන් ඉලව්වක් දැක්කේ එදාමය.
"මොකද්ද උන් ඒ කරන්නෙ?" මාටිං අයියා වහාම ප්‍රශ්න කරයි.
"උන් මාළු අල්ලනවා."
"වවුල්ලු කන්නෙ මාළු ද?"
ඔරලෝසුව වේගයෙන් ටික් ටික් ගායි. 
"වවුල්ලු මාළු ද කන්නෙ?"
(වේදිකාව තවමත් නිශ්ශබ්දය.)
"අන්නක්කෙ, වවුල්ලු මාළු කනවද?" 
ඇත්තටම වවුල්ලු මාළු කනවද...........?
(පසුදා හවස )
"අන්නක්කෙ, අපි අර ඊයෙ බැලුව එක බලමුද?"
අන්නක්කා ඊයේට වඩා ටිකක් අඩු වේගයකින් ටැලිවිෂන් එක දිහාවට ඇවිදගෙන යයි.
ඒ වෙලාවේත් ඩිස්කවරි චැනලයේ යන්නේ සතුන් පිලිබඳවම වාර්තා වැඩසටහනකි.
කළු පැහැති වතුර නොසෙල්වී ගලයි. රූස්ස ගස් වල හෙවණැල්ල වැටී පලාතම අඳුරුය. ගං දිය අතරින් හෙමීට හිසක් ඉහළට එසැවෙයි. මාටිං අයියා ටිකාක් පස්සට විත් අන්නක්කාගේ කිහිල්ල අස්සට රිංගයි. ඩීංගක් වේලා ජල මතුපිටට ආ හිස දෙස බලා සිටින මාටිං අයියා දල්වුනු ඇස් වලින් යුතුව අන්නක්කා වෙත හැරෙයි.
"අන්නක්කෙ!"
"හ්ම්?"
"අර! අර! දැක්කද?"
"හ්ම්..හ්ම්.."
"කබරයෙක්!"
(වේදිකාව මදකට යළි නිහඬය.)
මාටිං අයියා දන්නා, වතුරේ යන ලොකුම සතා වත්ත පහල කබරයන්ය.වත්ත පහල වෙල අයිනේ ඇලේ පදිංචිව සිටින්නා වූ ද නාන ලිඳට පැන නිදන්නා වූ ද වත්තේ එහේමෙහේ සක්මන් කරන්නා වූ ද මාටින් අයියාගේ හිත ගත් ඉතා යහපත් අසල්වාසීන් වන්නේ එක්තරා කබර පවුලකි. මාටිං අයියාට අනුව මෙම පවුලේ කබර අම්මා ද, කබර තාත්තා ද, කබර පුතෙක් සහ කබර දුවක් ද වෙති. 
"නෑ පැටියො, ඔය කබරයෙක් නෙවෙයි. ඔය කිඹුලෙක්."
"කුඹුලෙක්?"
"ඔව් කිඹුලෙක්."
"ඇයි එයා කබරයෙක් නෙමෙයි ද?"
"නෑ, නෑ එයා කිඹුලෙක්. එයාගෙ පිටේ කටු කටු තියනවා. කබරයගෙ පිටේ කහ පාට තිත් තිත් තියනවා." අන්නක්කා කිඹුලාගේ සහ කබරයාගේ සමවිෂමතා විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරයි. 
ටික වේලාවක් යනකම් මාටිං අයියා නිහඬව කිඹුලා දෙස බලා සිටී. 
"ඇයි ඒ කබරයා ඔහොම ඉන්නෙ හෙළවෙන්නෙ නැතුව? ඌ මැරිලද?"
"පැටියො, ඔය ඉන්නෙ කබරයෙක් නෙමෙයි,කිඹුලෙක්. ඌ ඔය හෙළවෙන්නෙ නැතුව ඉන්නෙ සත්තු අල්ලගෙන කන්න."
මාටිං අයියා හිස වනයි. ටික වේලාවක් හැලහොල්මනක් නැති කිඹුලා දෙස බලා සිටින මාටිං අයියා හදිසියේම යමක් මතක් වූවා සේ අන්නක්කා දෙසට හැරෙයි. 
"අන්නක්කෙ...."
"හ්ම්...."
"අර කපුටො ටික කෝ?"
"මොන කපුටො ටිකද පැටියො?"
"ඇයි අනේ අර ඊයෙ හිටියෙ මේකෙ..."
අන්නක්කාගේ උගුර හිරවේගන යයි.
"ආ...අර ඊයෙ හිටිය වවුල්ලුද?"
"ඔව්, ඔව් උන් තමයි. අර මාළු ඇල්ලුවෙ."
"ආහ්...හුම්ම්ම්...උන්...උන් අද නෑ. ඊයෙනෙ හිටියෙ. අද ඉන්නෙ කිඹුල්ලු."
මාටිං අයියා ඇස් දෙකම කරකවමින් ටිකක් වෙලා කල්පනා කරමින් සිටී.
"අර ඊයෙ හිටපු වලුල්ලු ටික මේ කිබුලා කාලා දාලා ද?"
කුස්සිය අහින් වළං මුට්ටි පෙරළි පෙරළී හිනාවෙන හැටි අන්නක්කාට ඇසෙයි.
"අන්නක්කෙ, ඔය කිඹුලා ඒ වවුල්ලු ටික කාලා දාපු හින්දද අද වවුල්ලු ටික නැත්තෙ?"
(හාත්පස අඳුරු රතු පැහැයකට හැරෙයි.) 
(වේදිකාව නිහඬය.)
"අන්නක්කෙ, කිඹුල්ලු වවුල්ලුන්ව කනව ද?"
(වේදිකාව තවමත් නිහඬය. ටිකෙන් ටික අඳුර වැඩිවී තිරය පහතට පැමිණෙයි.)
ඇත්තටම කිඹුල්ලු වවුල්ලුන්ව කනවද......?

Monday, July 25, 2016

මාටිං අයියා

මාටිං අයියාට ඉස්කෝලේ යන්නට තරම් වයසක් නැත. ඒ නිසා මාටිං අයියා යන්නේ මොට්ටසෝරි ය. මාටිං අයියා මොට්ටසෝරි යන්නේ ඒ තරම් විසාල කැමැත්තකින් නොවේය. උදෙන්ම මොට්ටසෝරි යන්නට අවදිවීමට සිදුවීම පිළිබඳ මාටිං අයියාට වැඩි පැහැදීමක් නම් නැත. වදෙන්පොරෙන් ඇහැරව ගන්නා මාටිං අයියා කිරි වීදුරුව කටේ ගසන තුරු හාන්සි පුටුව උඩ හෙළුකොප්පරයෙන් නිදයි. කිරි වීදුරුවේ අමා රසය දිව වැටිච්ච හැටියේම මාටිං අයියාගේ සියලු ඉන්ද්‍රීයයන් වැඩ කිරීමට පටන් ගනී. කිරි වීදුරුව එක හුස්මට ඇද දමන මාටිං අයියා සිය කාර්යබහුල දිනය අරඹයි. වැසිකිලි පෝච්චියේ සිය කාරිය කරගන්නවාට වඩා මාටිං අයියා වඩා ආසා කරන්නේ වැසිකිලි බිම මත අහස්යාත්තරා සහ කෝච්චි හැඩයේ එව්වා බෑමටය. මේ කාරිය කර සිය පස්සා පැත්ත ද කාට හෝ කියා හෝදා ගන්නා මාටිං අයියා මොට්ටසෝරියට යාමට ලකලැහැස්ති වෙයි. මාටිං අයියාව මොට්ටසෝරිය දක්වා එක්කාගෙන යන්නට හන්දියේ ටුක් ටුක් මාමලා කිහිප දෙනෙකුම පේ වී සිටින්නෝය.

මේ අතරින් මාටිං අයියාට නම තැබූ බකිඩරතා ද සිටින්නේය. බකිඩරතා සමග මොට්ටසෝරියට යන මාටිං අයියා, ඉතාම සුවච කීකරු ශිෂ්‍යයෙක් බවට එක සැණෙකින් පරිවර්තනය වෙයි. ගෙදරදී වැඩක් කී විට නෑහුණු ගානට යන මාටිං අයියා, මොට්ටසෝරියේ ඉන්න ලස්සන සුදු චීටර්ලාට පුටු බිමට බෑමට උදව් කරයි. මොට්ටසෝරියේ චීටර්ලාට මාටිං අයියා තරම් අහිංසකයෙක් නොමැති තරම් ය. සමහර දවස් වලට මාටිං අයියා මොට්ටසෝරියට පා තැබූ වෙලාවේ පටන් ඉවර වෙන තෙක්ම පිස්සුවෙන් වාගේ අකුරු ලියන්නේය. ඔහොම හති මුණින් දාගෙන අකුරු ලියන මාටිං අයියා, හරියටම එකොළහ වන විට සිය ලියනකියන කටයුතු නවතා දමයි. මාටිං අයියා ගෙදර වැඩිහිටියන්ට උපදෙස් දී ඇත්තේ හරියටම එකොළහ වෙන විට තමාව ගෙදර ගෙන යාමට මොට්ටසෝරියේ පන්ති දොරකඩ වගකිව යුත්තෙකු පැමිණ සිටිය යුතු බවය. මොට්ටසෝරියෙන් එක්කාගෙන යාමට හදිසියේවත් ප්‍රමාද වුවහොත් එදාට මාටිං අයියා මොට්ටසෝරියේ ගේට්ටුව හරියේ පුපුර පුපුරා සිටින්නේය. මාටිං අයියා වාහනයට නැගගන්නා තුරු ගේට්ටුව අසලට එයාගේ බෑගය අරගෙන එන්නේ පන්තියේ සිටින රෝසපාට කෙළි ඇබිත්තියකි. මේ රෝස පාට කෙළි ඇබිත්ත ඉතාම ගෞරව සම්ප්‍රයුක්තව මාටිං අයියාගේ බෑගය උස්සාගෙන එයි. මේ විස්තරේ ගෙදර ඈයින්ගේ කන වැකුණු වහාම මාටිං අයියා දින කිහිපයකට රෝස පාට කෙළි ඇබිත්තට නිවාඩු දී තමාම ගේට්ටුව තෙක් බෑගය කර ගහගෙන එයි.  

ගෙදර පැමිණීමෙන් පසු මාටිං අයියා කෙලින්ම යන්නේ සෙල්ලමටය. සෙල්ලම් බඩු ගලවා ප්‍රතිසංස්කරණය කිරීම, අහසේ යා යුතු එව්වා වතුරේ යවා බැලීම ආදී වැදගත් සෙල්ලම් කිරීමට මාටිං අයියා  ප්‍රිය කරයි. බැලුං ඇත්තේ පුම්බා උඩ යැවීමට වුවත් මාටිං අයියාගේ සතුට බැලුං වලට වතුර පුරවා ඒවා වහලයට විසිකිරීමය. ඉන්පසු ඇඟිලි වලින් ඉස්සි ඉස්සී වහලය උඩ වැටී තිබෙන බැලුං දෙස බලමින් ද මාටිං අයියා ඉතා සතුටු වෙයි. මීට අමතරව, හාල් ගෝනියෙන් හාල් ගෙන ඒවා සෝදා බත් උයන්නටත් සියලුම පහේ වර්ග යොදා පරිප්පු ඉවීමටත්, ඉඳිආප්ප වංගෙඩියෙන් ඉඳි ආප්ප මිරිකීමටත් ඉතා ආසා කරයි. ඉඳිආප්ප හදන්නට ඇනූ පිටි ගුලි කර බිත්තියේ ඉහළම කෙලවරට එල්ල කිරීමත් මාටිං අයියාගේ තවත් විනෝදාංශයකි. 

හවස් ජාමෙට අකුරු ලියන්නට සිදුවීම මාටිං අයියාට අනුව මහ පොළොව නූහුලන අපරාධයකි. මොට්ටසෝරියේත් අකුරු ලියා ලියා ගෙදර ඇවිත් ද එව්වා ලියන්නේ මොටෝ දැයි මාටිං අයියාගේ මහා මොළයට තේරුම් යන්නේම නැත. කොටින්ම කිවහොත්, මොට්ටසෝරියේ ගේට්ටුව වෙන තෙක් අලුතෙන් කියාදුන් කවි කිය කියා එන මාටිං අයියා, මොට්ටසෝරියේ ගේට්ටුව පනිනවාත් එක්කම කවි කිවිල්ල නවතයි. කවි කියන්නැයි වැඩිහිටි රසිකයින්ගෙන් එන ඉල්ලීම් වලට මාටිං අයියා නැවෙන්නේම නැත.මොට්ටසෝරියේ එව්වා මොට්ටසෝරියේ තබා පැමිණිය යුතුය, මොට්ටසෝරියේ එව්වා ගෙදර ගෙනියන්න හොඳ නැති බව මාටින් අයියාගේ ඉඳුරා විශ්වාසයයි. 

හවසට නොලියාම බැරි වූ විට අකුරු ලියන මාටිං අයියා, රෑට කටන්දර ඇසීමට ඉතා ආසා කරයි. එකම කටන්දරය සියවතාවක් වුවද අලුතින් අහන්නා වාගේ ඇසීම මාටිං අයියාගේ සිරිතකි. කටන්දර අහනා විට කවුරුන් හෝ බාධා කලහොත් මාටින් අයියාගේ ඉවසීමේ කටුව පුපුරා යයි. ඉතාම වේගයෙන් බාධා කළ තැනැත්තාට අවලාද නගන මාටින් අයියා කියා සිටින්නේ තමාට 'සැනසිල්ලේ කටන්දර අහන්නට' ලැබෙන වෙලාවටත් එක එක්කෙනා ඇවිල්ලා කතා කිරීම හරිම 'කලදලයක්' බවයි. කටන්දරය මුල සිට අගටම නොනිදා අසා සිටින මාටිං අයියා හෙට මොට්ටසෝරියේ නිවාඩුවක් දැමිය යුතු බව කියයි. මොට්ටසෝරියේ චීටර් තමා අකුරු ලියා ඉතා මහන්සි වූ නිසා හෙට දවසේ නිවාඩුවක් දැම්මාට කමක් නැතැයි කියූ බව මාටිං අයියා ගෙදර වැඩිහිටියන්ට බැරෑරුම් මුහුනකින් යුතුව ප්‍රකාශ කර සිටී. ඒ නිසා තමා හෙට දවල් වෙනකම් 'සැපට සැපේ' නිදා ගන්නා බව නිවේදනය කරන මාටින් අයියා,  ලේන් පැටවෙකු සේ නින්දට වැටෙයි. මාටින් අයියා හෙට මොට්ටසෝරි යැවිය යුතු ද නැත්ද කියා ගෙදර වැඩිහිටි කාටත් ඉතිරි වන්නේ උභතෝකෝටික ගැටළුවකි. 

Wednesday, July 20, 2016

අත්තම්මාගේ රස කතා - පැටිකිරිය

අත්තම්මා එහෙමටයි කියා පන්සල් යන්නේ නැත. සිල් ගන්න යන්නේද නැත. ඒ මොකොදැයි කියා විමසූ විට ඕ අපූරු උත්තරයක් දෙයි. මට බෑ බං ඔය බණ මඩු වල ඉඳගෙන ඔයි එක එක නාකි ගෑණු උන්ගේ ලේලිලාටයි බෑණලාටයි අහලපහළ ගෙවල් වල ඉන්න ගෑණුන්ටයි දිගෑරගෙන දෙස් තියනවා අහන්න. ඔයි ටික අහගන්ට මං පන්සල් යන්ට ඕනෙය... හවසට හැමදාම අත්තම්මා බුදු පහනත්, පත්තිනි මෑණියන්ට සහ වෙනත් බාරහාරයක් වී ඇත්නම් ඊටද පහනක් පත්තු කරයි. ඕ ඉතාම භක්තිවන්ත පත්තිනි මෑණියන් වන්දනා කරන්නියකි. ඉන්  ඇයටත් පවුලේ සාමාජිකයන්ටත් ඉතා යහපතක් කෙරෙන බව ඕ විශ්වාස කරයි. අත්තම්මා ඔය නාකියි නාකියි කියන්නා සියළු ගැහැනුන් ඇයට වඩා දහපහළොස් වසරකින් හෝ විසිතිස් වසරකින් ඇයට වඩා ලාබාලය. වරෙක ආගං පතුරුවන්නට ආ මැදිවියේ ගැහැණුන් දෙදෙනෙකුට ඕ කොස්සෙන් ගහන්ට ගේට්ටුව තෙක් එළෝගෙන ගියාය. ගේට්ටුව අසලට වී ඇය වටපිටාවේ ගෑණුන් දැනුවත් කළේ, නාකි ගෑණු දෙන්නෙකු ආගං පතුරුවන්ට ගමේ ගෙවල් වලට රිංගන බව කියාය. 
හැමදාම උදේට අත්තම්මා දවසේ පත්තර එකක් හෝ දෙකක් කියවයි. අම්මා කණ්නාඩි දාගෙන පත්තරේ කියවන විට අත්තම්මා පත්තරේ කියවන්නේ කණ්නාඩි නැතිවය. අත්තම්මා මැස්මට හරි දස්සය. හීනි ඉඳිකටු මලෙන් මල් මහන නූල පන්නාගෙන ඕ අපූරුවට මල් මහන්නීය. අපි කවුරුත් නිදන්නේ අත්තම්මා මල් හෝ කුරුල්ලන් මසා ඇති කොට්ට උර පැලැන්දූ කොට්ටාවලය. ජර්මනියේ ඩෙස්පිනා නැන්දාටද ඕ නොවරදවා කොට්ටා උර මසා යවන්නීය. 
අත්තම්මා මෙයි තරම් හැඩේට මහන්න ඉගෙනගෙන ඇත්තේ ඇගේ අම්මාගෙන්ය. වයස අවුරුදු දහයේ පටන්ම ඕ මැස්මට ද බීරළු ගෙත්තමට ද පුරුදු වූවාය. අත්තම්මාගේ අම්මා කොට්ටං ඇටේ හැඩැති තැටිං කට්ටෙන් මනමාලියන්ගේ ඇඳුම් වලට රේන්ද මහන්නීය. අපේ අම්මගෙ නම ජොහානා දෙනවක. එයැයිට දෙනවක හාමිනේ කියලා කතා කළේ නැතිනම් හරියට කේන්ති යනවා. එයැයි හෙන නම්බුකාර විදියට තමා උන්නෙ. අපෙ අම්මා අඳින්නෙ දිග සායයි අත් දිග හැට්ටෙයි. එයාට තිබුණා ලාච්චු පහක මැසිමක්.
අපෙ අම්මගෙ තාත්තා (ඔය කියන්නේ අපේ කිත්තා විය යුතුය.) සෑර් කෙනෙක්. එයාගේ නම දාවිත් ගුරුන්නාන්සේ. එයැයි උගන්නන්නෙ පාලි, සංස්කෘත, සිංහල. හෝමාගම තිවුණු ඉස්කෝලෙ තමයි උගන්වලා තියෙන්නෙ. තාම තියනවා ඒ ඉස්කෝලෙ. තරුණ කාලෙ අපෙ අම්මත් උගැන්නුවාලු මාලඹේ ඉස්කෝලෙ. ඒ කාලෙ ගමටම අකුරු දන්නෙ අපෙ අම්මයි තාත්තයි, තාත්තගෙ පවුලේ පිරිමි ඈයිනුයි විතරයි. ඉස්සර ගෑණු උදවියට අකුරු සාස්තරේ ඉගෙනගන්න දෙන්නෙ නෑ නෙව. අපෙ අම්මට අකුරු සාස්තරේ පුළුවං වුණේ අම්මගෙ තාත්තා ගුරුන්නාන්සේ කෙනෙක් හන්දයි.  
ඒ කාලෙත් තිවුණා ඔය රෝයල්, ආනන්ද, නාලන්ද වගේ ඉංග්‍රීසි ඉස්කෝල. මං ඉස්කෝලෙ ගියේ කඩුවෙල කොතලාවල ඉස්කෝලෙට. ගෙදර ඉඳන් හැතැම්ම තුන හතරක්ම පයින් තමයි යන්නෙ. ඒ කාලෙ අපි කොළඹ ගියෙත් පයින්. කොතලාවල ඉස්කෝලෙ පොඩි පොල් අතු ඉස්කෝලයක්. පොඩි ළමයි විතරක් නෙවෙයි, ළමිස්සියොත්, මහ ගෑණුත් ඔක්කොම එක පන්තියෙ ඉඳන් අකුරු ඉගෙනගත්තා. ඒ කාලෙ ගෑණු ටීචර්ලාට කතා කලේ ගුරුන්නාන්සේ කියලා. පිරිමි සෑර්ලාට කතා කළේ ගුරුන්නාන්සේ මහත්තයා කියලා. මුළු ඉස්කෝලෙටම  උන්නෙ ළමයි තිස් දෙනයි, ගුරුවරු තුන්දෙනයි. ඒ කාලෙ මාව හරියකට ඉස්කෝලෙ යවන්න තාත්තා කැමති වුනේ  නැහැ. එයා තමයි ගමේ වෙද මහත්තයා. තාත්තා එන්නෙ වෙද පරම්පරාවකින්. තාත්තගේ තාත්තත්, බාප්පත් වෙද මහත්තෙලා. අපෙ තාත්තාගෙ අම්මාගෙ තාත්තා (අත්තම්මාගේ මුත්තා විය යුතුය.) වෙද මුහන්දිරන් කෙනෙක්ලු. අපෙ තාත්තාගෙ තාත්තාව වැඩිපුර ඉගෙනගන්ට කියලා සේදවත්තෙ වෙදෙක් ගාවට එව්වාලු. ඒ වෙදාගේ දුව එක්ක හාද වෙලා, කසාද බැඳලා එහෙම බින්න බැස්සාලු. එයින් පස්සෙ නුවර උන්නු සීයාගෙ නෑදෑයොත්, සහෝදරයොත් සේරමලා සෙයිලමට පදිංචියට ආවා කියනවා. 
අපේ තාත්තා මාව වැඩිය ඉස්කෝලේ නොයැවුවාට වෙදකම කියාලා දුන්නා. ඒ කාලෙ ගෑණු ළමයින්ව ඉස්කෝලෙ යවන එක මහ ලැජ්ජාවක්. මට මතකයි ඒ කාලෙ අපේ තාත්තා පරංගි ලෙඩ්ඩු දහ අට දෙනෙක් ගෙදර තියාගෙන බෙහෙත් කොළා. ඒ ලෙඩ්ඩුන්ගේ මුළු ඇඟ පුරාම බෙලිගෙඩි ඉතර ලොකු ගෙඩි දාලා. සනීප කරන්න බෑ. 
ඒ කාලෙ අපි ඇන්දේ සාය හැට්ට. ඔය ඔසරි අඳින පුරුද්ද ආවෙ නුවරින්. ඒ කාලෙ ගෑණු වැඩියෙන් ඇන්දෙ සාය හැට්ට. ඔසරිය අඳිනකොට අපි ඉතාම කොට පොටක් තමා දාන්නෙ. වැඩ කරනකොට ඒ පොට බෙල්ල වටේ ඔතාගන්නවා. තම්බිලායි, චීන්නුයි තමා ගමට රෙදි මිටි බැඳගෙන එව්වා ලී මැහි වල අඩුක් කොරගෙන වෙළඳාමෙ එන්නෙ. අතවැසි කොලුවෝ ඒ මැහි උස්සාගෙන එනකොට මුදලාලි ඒ පස්සෙන් එනවා "රෙදියෝප්...රෙදියෝප්" කියලා කෑගහමින්.ගමට කුළුබඩු ගේන්නෙ ඉන්දියන් දෙමළු. කුළුබඩු වට්ටි පිටින් කරතියාගෙන තමා එන්නෙ. ඔය කවුරුත් අපට බඩු දීලා යන්නෙ බලෙන්ම වාගේ. ඒ වෙලාවෙ සල්ලි ඉල්ලන්නෙ නැහැ. ඊළඟ සුමානෙ ආවම සල්ලි ගන්න බලාගෙන තමයි බඩු දීලා යන්නෙ. 
ඒ කාලෙ අපෙ තාත්තාට අක්කර දහයක් ඉතර තිවුණා. ඒ ඉඩමේ එක එක දිහාට නං හිටං තිබුණා. මුත්තෙට්ටුවත්ත, කනත්ත, මාපොරපෙවත්ත, අමුහේන, පිපිඤ්ඤාකොටුව කියලා මට මතකයි ඒ සමහරක් නම්. අපෙ අම්මයි තාත්තයි ගමේ ගෙන නම්බුකාර ඌස්නෙට තමයි ජීවත් වුණේ. ගෙදර වැඩට ගමේ මිනිස්සු ආවාගියා. අද කාළේ නම් ඉතින් රදවාත් එකයි, හකුරාත් එකයි, පදුවාත් එකයි. ඉගෙනගෙන නං, සල්ලිකාරයි නං උන්ගේ කුල හොයන්නෙ නෑනෙ කවුරුවත්. ඒත් ඒ කාලේ එහෙම නෑ. උන් ගෙදරට එන්නෙ පිළිකන්න පැත්තෙ ඉඳන්. මිටි බංකු දුන්නෙ වාඩි වෙන්න. කෙහෙල් කොලේ තමයි කන්න දුන්නෙ. දණට ඉතරයි අඳින්න දෙන්නෙ. මගුල්තුලාවක් ගන්න, වෙඩි ගහන්න එහෙම තහනම් ගමේ ප්‍රභූන්ගේ අවසරේ නැතුව. එහෙම කලෝතින් එහෙම උන්දෑලට ගහලා පන්නනවා. ගෙදෙට්ට එන මනුස්සයෙකුට මං 'ආ විලියොං මාමෙ' කියලා එහෙම කතා කලොත්, අපෙ අම්මා හරි තාත්තා හරි මට ටොකු ඇනලා කියනවා, 'ඇයි ඒ බොගේ නෑයොද මාමෙ කියන්න, විලියොං කියලා කතා කරපිය' කියලා. මට වඩා විසිඅවුරුද්දක් ඉතර වැඩිමල් අයෙකුට මං කොහොමද නම කියාලා කතා කොරන්නෙ....එව්වා මහ සහගහන වැඩ. ඒ මිනිස්සුත් මිනිස්සු නෙව.එසේ කියූ අත්තම්මා දවල් එළියෙන් ආපිට මල් මැස්මට හිත යොදමින් දිගු සුස්මක් හෙළයි. වදෙන් පොරෙන් හීනි ඉඳිකටු මලට නූලක් දමා අත්තම්මාට ඉඳහිට සහාය වෙන හොබෝවා, ඈ මසන වෛවර්ණ මොනරා දෙස මදකට බලා සිට ආයේමත් ලැප්පොට් එකේ මූණ ඔබාගෙන කතා අමුණන්නට විය. 

Friday, July 15, 2016

දිඹුල් කොළ, ආන්ජලෝ සහ පීනස් අමාරුව

කොරන්ට රස්සාවක් නැතුව ගොඩ වෙදකමක් පටන් ගත්තා හෙම නොවෙයි ඕං. අද කතාව ඇස් වලටයි හිත් වලටයි වැලඳුණු පීනස් අමාරුව සුව කොරන දිඹුල් කොල ගැනයි, ආයුබොවං! 
මීට ශතවර්ෂ ගණනාවකට පෙර පටන් මිනිසා චිත්‍ර කලාව සහ මූර්ති කලාව සිය නිර්මාණශීලී චින්තනය පරිවහනය කරන්නාවූ මාධ්‍යයයක් ලෙස භාවිත කරනවා. මානව රූප ප්‍රතිනිර්මාණය මේ කලාවේ විශේෂ තැනක් ගන්නවා. මානව රූප සිතුවම් කිරීමේදී සහ මූර්ති නිර්මාණයේදී මානවයාගේ නිරුවත මූලික කොට ගැනීම සිතුවම් සහ මූර්ති කලාව සංස්කෘතිකමය, ආගමික සහ සදාචාරාත්මක වශයෙන් ඝට්ටනයකට ලක් කිරීමක් ලෙස හඳුනා ගන්න පුළුවන්. මීට වසර දෙදහසකට පමණ පෙර ග්‍රීක සහ රෝම නිර්මාණකරුවන් අතින් නග්න මූර්ති නිර්මානය වීම එක්තරා සංස්කෘතිකමය ප්‍රාතිහාර්යයක්. බොහෝ දෙනෙකු මෙම නග්න ප්‍රතිමා පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදැක්වූවත්, මෙලෙස නග්න දේහ මූර්තියට නැංවීම මානව කලා නිර්මාණකරණයේ විප්ලවයක් විදියට අපට සලකන්නට පුළුවන්.
ක්‍රිස්තු පූර්ව 730 ට ඈත අතීතයේදීත් මෙලෙස මානව නග්න දේහ ප්‍රතිනිර්මාණය කිරීම පැරැන්ණන් විසින් සිදු කර තිබෙනවා. මීට පෝයවල් ගණනාවකට උඩදී ඉස්ලාම් අන්තවාදීන් විසින් අතීත අසිරියාවේ (වත්මන් ඉරාකයේ) තිබුණු එවැනි නග්න කලා කෘති භෞතික වශයෙන් සහ සංස්කෘතික වශයෙන් බුල්ඩෝසර් කර දමනු ලැබුවා.මෙම පෞරාණික අසිරියානු නග්න කලාකෘති සහ සම්භාව්‍ය යුගයේ (500BC to 200AD) නග්න කලා කෘති අතර විශාල වෙනසක් තිබෙනවා. පෙර කී කලා කෘතීන්හි සෑමවිටම පාහේ යුද්ධයේ පරාජිතයන්, පරාජය වී මිය ගියවුන්,ආබාධයන්ට ලක්වූවන්, හිසගසා දමන ලද්දවුන් සහ එලෙස අසරණ අඩියකට පත්වූවන්  ව්‍යංගනය කිරීමට තමයි මෙම නග්නභාවය යොදා ගැනෙන්නේ.ජයග්‍රාහී අසිරියානුවන් සියල්ලෝම මනා වස්ත්‍රයෙන් සැරසී සිටිනවා. නමුත් සම්භාව්‍ය යුගයට එන විට මෙම ව්‍යංගනය එහෙමපිටින්ම කණපිට පෙරැලෙනවා. ග්‍රීක සහ රෝමානු නග්න මූර්තීන්හි ව්‍යංගනය කෙරෙනුයේ රණශූරත්වය,ජයග්‍රහණය,පුරුෂ කාය ශක්තිය,ක්‍රීඩා කෞශල්‍යය, කාන්තා ලාලිත්‍ය, සුනම්‍යභාවය සහ සරාගී ගුණයනුයි. 

සමච්චලයට සහ අවමානයට ලක් වුණු මිනිස් සිරුරෙහි නග්නභාවයට වීරත්වයක්, ජයග්‍රාහීබවක් මුල්ම වරට ආරෝපණය වන්නේ සම්භාව්‍ය යුගයේ කලාකරුවන් අතිනුයි.සාමාන්‍ය ජීවිතයේදී ග්‍රීකයන් නග්නව නොසිටියත් ඔවුන් පෞරාණික ඔලිම්පික් ක්‍රීඩා සඳහා ජවන සහ පිටිය ක්‍රීඩා වල නිරත වන විට ඔලිව් තෙල් මිශ්‍ර දූවිලි විශේෂයක් පමණක් ශරීරයේ ගල්වාගෙන තිබෙනවා. ග්‍රීකයින් මෙලෙස නග්නව ක්‍රීඩා කිරීමට හේතුව නිශ්චිතවම හඳුනාගෙන නැහැ. මේ පිලිබඳ එක් මතයකට අනුව, වරක් ඔලිම්පික් උළෙලකදී මීටර 200 දිවීමේ ඉසව්වේ පලමුවැනි තැන ගත් ක්‍රීඩකයා, දුවන අතරතුරේදී ඔහුගේ ඇඳිවත කඩාවැටුණු බවත්, එය දුටු ඔහුගේ සහචර ක්‍රීඩකයිනුත් සිය ඇඳිවත් උනා දමා තරගයේ නියුතු වුණු බවත් කියැවෙනවා! තවත් ජනප්‍රිය මතයක් වන්නේ, යොවුන් වයසට එලැඹීම නිමිති කොටගෙන, මෙතෙක් කලක් නොමේරූ පිරිමි දරුවන් හැඳි ගවුමක හැඩයෙන් යුතු ඇඳුම් උනා දමා තමා දැන් නිසි වයසට එලැඹ ඇති බව ප්‍රදර්ශනය කිරීම උදෙසා මෙලෙස ඇඳුම් උනා දමමින් ක්‍රීඩාවෙහි නියුතු වෙන්නට ඇති බවයි. ඔලිම්පික් උළෙල එකල ඔලිම්පසයේ විසුවා යැයි විශ්වාස කරන ලද දෙවිවරුන් වෙනුවෙන් පැවැත්වූවක් නිසා, වැඩිවියට පැමිණීම සැමරීම මෙම උත්සවයේ කොටසක් වන්නට ඇතැයි විශ්වාස කරන්නට පුළුවන්. සම්භාව්‍ය යුගයේ නිර්මාණය වූ බොහෝ මූර්ති ක්‍රීඩාවෙහි නිරත වන අයෝමය දේහධාරී නග්න රූප ලෙස ප්‍රතිනිර්මාණය වී තිබෙන්නේ මේ කාරණාව නිසා වෙන්නට ඇති. මෙම නග්න මූර්ති වල සුවිශේෂීත්වය වන්නේ, කිසිම අවස්ථාවක පුරුෂ නග්න දේහයේ පුරුෂ ලිඟුව උදර්ජනය වී ඇති ආකාරයට නිර්මාණය කර නොතිබීමයි. මෙලෙස උදර්ජනය වූ ලිඟුවක් නිර්මාණය නොකෙරුණේ, පොදු ස්ථාන වලදී එසේ හැඟීම් උද්දීපනය කරගැනීම වරදක් සහ ලජ්ජා සහගත එකක් බවට ග්‍රීකයින් විශ්වාස කළ නිසයි. 

නමුත් කාලයාගේ ඇවෑමෙන් මෙම නග්න කලා නිර්මාණයන්ට පීනස් අමාරුවක් වැලඳෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට, අද වෙද්දී වතිකානු කෞතුකාගාරයේ ඇති සෑම පෞරාණික නග්න කලා නිර්මාණයකම පුරුෂ ලිඟුවක්ම හැලී වෙන්වීගොස් හෝ දිඹුල් කොලයකින් වසා තිබෙනවා. ඉතින් ශත වර්ෂ ගණනාවකට පස්සේ මේ නග්න නිර්මානයන්ට වැලඳුණු දරුණු පීනස් අමාරුව මොකද්ද? මේ පීනස් අමාරුව මුලින්ම ඇතිවන්නේ හතරවන පාවුලු පාප්වහන්සේත් සමගයි. මේ පාප්තුමාගේ පාලන සමය වර්ෂ 1555 සිට 1559 දක්වායි. යාන්තමට වගේ ඇති වුණු මේ පීනස් අමාරුව Pope Innocent X කියන පාප්තුමාගෙ (1644-1655) කාලෙදි තව ටිකක් වැඩි වෙනවා. මේ ලෙඩේට පිළියමක් වශයෙන් පිළිතුරක් සොයාගෙන යනකොට තමයි Innocent X පාප්වහන්සේට දිඹුල් කොළ හම්බුවෙන්නෙ. ඉතින් එයා තීරණය කරනවා මේ පීනස් අමාරුවට දිඹුල් කොළ ඉතා හොඳ බෙහෙතක් බව. ඒ අනුව එහේ මෙහේ පීනස් එළියේ දමාගෙන සිටිනා ග්‍රීක සහෝදරවරුන්ගේ පීනසය උඩින් දිඹුල් කොලයක් අලවන්ට මේ අහිංසක පාප්වහන්සේ තීරණය කරනවා. 1758-1769 කාලයේදී සිටි Clement XII පාප්වහන්සේ මහා පරිමාණයෙන් දිඹුල් කොළ නිෂ්පාදනය කර සෑම නග්න මූර්තියකටම පාහේ වැලඳිලා තිබුණු මේ පීනස් අමාරුව සනීප කරන්න විශාල ප්‍රයත්නයක් දරනවා. මේ පීනස් භීතිකාව අන්තිම දරුණු තත්වයට ලඟා වෙන්නේ Pius IX පාප්වහන්සේගේ කාලයේදීයි. මේ පාප්වහන්සේට දැඩි පීනස් භීතිකාවක් තිබුණා. ඒ නිසා උන්වහන්සේ අණ කලා මෙතෙක් පිළියම් නොකළ සියළු පීනස් වහාම කඩා විනාශ කර දමන ලෙස. ඔන්න ඔය අණෙහි ප්‍රතිඵලයක් විදියට ඉතාමත්ම වටිනා Apollo Belvedere වැනි විශිෂ්ට ප්‍රතිමාවන්ට සිය ලිංගය අහිමි වෙනවා. 
මෙන්න මේ වගේ දරුණු පීනස් භීතිකාවක් තිබුණු කාලයේදී තමයි මයිකල් ආන්ජලෝ නම් අග්‍රගණ්‍ය චිත්‍ර සහ මූර්ති ශිල්පියා සිය කලා දිවියේ පරිණත අවධිය ගත කරන්නේ. ඉතින් මේ කාලයේදී ආන්ජලෝට ආරාධනාවක් ලැබෙනවා වතිකානුවේ සිස්ටයින් දෙව්මැදුරේ The Last Judgment යන තේමාවෙන් බිතුසිතුවමක් නිර්මාණය කරන්නට. එකල වතිකානුවේ අවසන් තීන්දුව සිතුවමට නැගීමේදී එහි ඇතුලත් වන පුද්ගලයින් සිය තානාන්තරයට ගැලපෙන පරිදි වස්ත්‍ර වලින් යුතුව නිර්මාණය කර තිබුණා. නුමුත්, ආන්ජලෝ මෙම බිතුසිතුවමේදී මහා පෙරැළියක් කිරීමට තීරණය කළා. ඔහු මෙම බිතුසිතුවමට හාරසියයක් වූ නිරුවත් පිරිසක් කිසිදු තානාන්තරයකින් තොරව බලා සිටිනු නිරූපනය කළා. නිරුවත් පවුකාරයින් දකුණු පසින් පහළට යන අයුරිනුත්, නිරුවත් ආශිර්වාද ලද්දෝ වම් පසින් ඉහළට යන අයුරුත් ඔහු චිත්‍රයට නැගුවා. 
ආන්ජලෝගේ මේ කෙරුවාව වතිකානුවේ හිටි පීනස් අමාරුකාරයින්ට නම් ඇල්ලුවේ නැහැ. ලොකු පීනස් අමාරුකාරයෙක් වුණු Biagio da Cesena මේ චිත්‍රකාරයාගේ කෙරුවාවට එහෙමපිටින්ම විරුද්ධ වුණා. දෙව්මැදුරක් වැනි ඉතා ගෞරවනීය තැනෙක ලැජ්ජාවක් නැතිව තමන්ගේ හෙළුව ප්‍රදර්ශනය කරමින් ඉන්නා නූල්පොටක් නැති ශරීර සිතුවම්කොට තැබීම ඉතාම නින්දා සහගත යැයි Cesena කියා සිටියා. මේ වගේ චිත්‍ර හොඳ තැබෑරුම් වලටයි, පොදු නාන ස්ථාන වලට විතරයි කියලා තමයි Cesenaගේ අදහස වුණේ.  ආන්ජලෝ කියන්නෙත් නිකම්ම නිකං චිත්‍රකාරයෙක් නෙවෙයිනේ. ඉතිං Cesenaගේ මේ පීනස් අමාරුව දෙපිටින් යන්න දහංගලේ වැඩක් දෙන්න එයා තීරණය කළා. ග්‍රීක දේව වන්දනාවට අනුව, මරණයෙන් පසු සෑම මනුෂ්‍යයෙක්ම අවසාන තීන්දුවට මුහුණ දිය යුතුයි. මේ තීන්දුව දෙන්නෙ මිනොස්, ආකස් සහ රදමන්තුස් කියන තිදෙනෙකුගෙන් යුතු විනිශ්චය මඩුල්ලක්. ආන්ජලෝ මිනොස්ගේ මුහුණ අපේ පීනස් අමාරුකාරයාගේ මුහුණ විදිහටම සිතුවම් කළා! ඒ විතරක් නෙවෙයි,නිරුවත් Cesenaගේ ඔළුවට බූරු කන්දෙකක් ද මතක ඇතිව ඇඳලා දාපු ආන්ජලෝ Cesenaගේ හෙළුව වසාගෙන සර්පයෙකු වෙලී සිටින අන්දමත්, ඒ සර්පයා Cesenaගේ ලිඟුව කා දමනවාත් සිතුවම් කළා! Cesena මේ පිළිබඳ III වන පාවුලු පාප්වහන්සේට පැමිණිලි කලත්, මාගේ තීන්දු තීරණ දිව්‍ය ලෝකයට කැප වූවත් අපායට කැප නැති බව කියමින් උන්වහන්සේ මේ පීනස් අමාරුකාරයාව මගහැරියාලු. 

1564 දී ආන්ජලෝ මියගිය පසු, පල්ලියේ මැදිහත්වීමෙන් මෙම බිතුසිතුවමෙහි වූ නග්න ශරීර වල ලිංගේන්ද්‍රියන් මත දිඹුල් කොළ සිතුවම් කරමින් නොපෙනෙන ලෙස සකස් කෙරෙව්වාලු. මේ විදියට දිඹුල් කොළ ඇඳපු Daniele da Volterra නම් චිත්‍ර ශිල්පියාට "the breeches maker" (හෙළුව/කටී ප්‍රදේශය වසන්නා) කියලා නමකුත් පටබැඳුණාලු. 1980 සිට 1994 දක්වා වතිකානු දෙව්මැදුරේ සිදුකරන ලද පුනස්ථාපන කටයුතු වලින් පස්සෙ පීනස් අමාරුකාරයින් විසින් මේ සිතුවමෙහි ස්ථානගත කරන ලද දිඹුල් කොළ වලින් අඩක් පමණ ඉවත් කරගන්නට පුළුවන් වුණාලු.