සටහන : පැන්ඩෙමික ආවේශයෙන් ලියවුණු හෝබෝ ටික්කාගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය "කාල"
කන්නාඩියෙහි වූ සිය පිළිබිඹුව දෙස කාල මොහොතක් නතර වී බැලුවේය. දැනටමත් ඔහු සංගීත කණ්ඩායමේ පුහුණු වාරයට ප්‍රමාදය. තව විනාඩි කිහිපයක් ප්‍රමාද වීමේ ඇති වෙනසක් ඔහුට පෙනුණේ නැත. දීර්ඝ වර්ෂා දින නිසා වාතය දියෙන් තෙතබරි වූ මේස් කකුලක් වැනිය. දැන් සති දෙකක පටන් එක දිගට හැලෙන වර්ෂාව නිසා සංගීත කණ්ඩායමේ පුහුණු වාර දෙකක් අවලංගු කෙරුණි. හකු බැස ගිය සුදුමැලි මුහුණේ වූ ගිලුණු දෑස්, කන්නාඩිය හරහා කාල දෙස ඔලොක්කුවට බලා සිටියේය. කන්වල වූ සර්පිලාකාර ලෝහ කරාබු කාල මිලට ගත්තේ මෑතකදීය. අම්මම්මා කාලගේ ලෝහ කරාබුවලට, ලෝහ උල් සහිත ලෙදර් අත් පලඳනාවට හෝ ගෙල සිරවෙන්න දමා තිබූ කරපටි මාලයට කැමැති වූයේ නැත. ඔහුගේ දිගු සාළු වැනි කළු කබායට, උස් කළු පැහැ බූට් යුගලට, සිලිටි දිගු කොණ්ඩයට හෝ ඔහුගේ හෙවි-මෙට්ල් සංගීතයට ඇය කැමති වූයේ ද නැත. එහෙත් කාලට අම්මම්මා පිළිබඳ තරහක් හෝ කලකිරීමක් නොවිණි. රසායන කම්හලේ පිපුරුමකින් අම්මා ද තාත්තා ද මස් කුණු වී යෑමේ රෝගයකට ගොදුරු වී මිය යෑමෙන් අනතුරුව කාලව හදා වඩා ගත්තේ අම්මම්මාය. එබැවින් හේ නිතරම අම්මම්මාට ස්තූතිවන්ත වූයේය.
සාලය කෙළවරේ ප්ලාස්ටික් බඳුනක ඔබා තිබූ උස් කළු කුඩය අතට ගත් කාල ඇඟිලි තුඩුවලට බර දී සීරුවට දොර වසා නිවෙසින් පිටතට ආවේය. තමා මෙතෙක් වේලා හුස්ම ඉහළට අල්ලාගෙන සිට ඇති බව කාලට සිහි වූයේ දීර්ඝ සුසුමක් ඒ මොහොතෙහි ඔහු වෙතින් ගිලිහුණු බැවිනි. අම්මම්මා අවදි වූයේ නැත. හේ සාර්ථක ලෙස සිය පළමු මෙහෙයුම අවසන් කර තිබිණි.
කාල පටු කොරිඩෝව දිගේ විදුලි සෝපානය වෙත ඇවිද ගියේ නවදාස් නවසිය හැට දෙක, නවදාස් නවසිය හැට එක, නවදාස් නවසිය හැට...ග්‍රෑන්ඩ් ඉටර්නල් තට්ටු නිවාස සංකීර්ණයේ සිය අසල්වැසි නිවාසවල ඉදිරිපස අලවා තිබූ පිත්තල පැහැ අංක සිතින් මුමුණා ගනිමිනි. තැනින් තැන එල්ලා වැටෙන කේබල්, කහ ගැහුණු පැරැණි බිත්ති බදාගෙන පරෙයියන්ගේ වසුරු නාමින් ඔහේ වැනෙයි. සාගර නගරයේ ද කොළඹ මෙට්රොපොලිටනයේ ද සාක් අන්තර් කලාපීය මගී හුවමාරුව වූ කලම්බෝ විශ්වපොලිටන් ගුවන්තොටුපොළ සහ ඊට අයත් සීලෑන් හබ් නම් වූ ආර්ථික කලාපයේ ද පරිපාලන කටයුතු සඳහා සියලු පරෙයියන් සහ කාකයන්ට වෙඩි තැබීමට ගත් තීරණයෙන් අනතුරුව සරණාගත වූ බොහෝ පියාසැරියෝ කොළඹ නගරෝපාන්ත සීරෝ 01, සීරෝ 10 සහ සීරෝ 100 යන ප්‍රදේශවලට පලා විත් මෙවැනි තට්ටු නිවාස සංකීර්ණවල පැලපදියං වූහ.
ග්‍රෑන්ඩ් ඉටර්නල් තට්ටු නිවාස සංකීර්ණයේ දස දහසක් වූ නිවාස මෙන්ම එහි වූ සියලු විදුලි සෝපාන ද එක හා සමානය. ඒවා අබලං ලොරි වැනි දහිර වාට්ටුය. නිරන්තරයෙන්ම විදුලි ආලෝකය අඩු වැඩි වන එම ප්‍රදේශවල සෑම විදුලි සෝපානයක්ම 'ඩක ඩක' හඬ නගමින් මිනිසුන්ව විශාල වේවැල් කූඩවල බහා බිමට බාන දබර වැනිය. ග්‍රෑන්ඩ් ඉටර්නල්හි සෑම නිවාස පනහකටම මෙවැනි ලදරං විදුලි සෝපාන දෙකකි. විදුලි සෝපානය අසලට ළඟා වන විට සම්පූර්ණයෙන්ම පාහේ පැටලී තිබූ හෑන්ඩ්ස් ෆ්‍රී කට්ටලය ලිහා ගැනීමට කාලට හැකි විය. සිය පියාගෙන් තමන් හට උරුම වූ එකම සම්පත වූයේ එයයි. සිය කන් තුළට මයික්‍රෝ ස්පීකර් කට්ටලයක් ඉන්ස්ටෝල් කර ගැනීමට කාල අකැමැතිය. ඒ ඔහු ඩිජිටල් මව්පියන්ට දාව ඉපිද ඇනලොග් අත්තම්මා කෙනකු සමඟ හැදී වැඩුණු නිසා යැයි කාලගේ මිතුරන් ඔහුට සරදම් කළෝය.
කාල මොබයිලයෙන් වේලාව බැලුවේය. දැන් සංගීත කණ්ඩායම පුහුණු වීම් අරඹා තිබිය යුතුය. පහළට ඊතලය සලකුණු කළ බොත්තම කිහිප වරක්ම එබුව ද විදුලි සෝපානය තවමත් තුන් වැනි තට්ටුවේය. ඉතිරි තට්ටු අනූ හත ඒමට මේ බර කරත්තය තව විනාඩි පහළොවක් පමණ ගනු ඇත. කාල නොයිවසිල්ලෙන් සෝපානය ඉදිරිපස එහාටත් මෙහාටත් ඇවිද්දේය. සිය වැනි තට්ටුවේ නිවාසවල කුලිය අඩු වන්නේ එලෙස ප්‍රමාද වන කාලයට හිලව් වශයෙනි.
වර්ෂාවේ නොනවතින චුරු චුරුව කාලගේ ස්නායු සසල කළේය. බුබුළු දමන්න ගෙන තිබූ කේන්තිය අස්සේ කිරි කිරි ගා ඉහළට බඩ ගෑ විදුලි සෝපානය අලස 'ඩිංග්' හඬකින් සිය වැනි තට්ටුවට ළඟා වූයේය. කාල දබරැඟිල්ලෙන් බිත්තියට ටොකු අනිමින් සෝපානයේ දොර විවර වන තෙක් බලා සිටියේය. විවර වූ සෝපානය ඌරු කොටුවක් මෙන් පිරී තිබිණි. ඒ බොහෝ දෙනා සෝපානය පහළට යන වෙලාවක බැස ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නා අය බව කාල දැන හුන්නේය. ඔවුන් එක්කෝ සිය මොබයිලවලට එබී සිටියහ. සමහරුන්ගේ මුහුණු තොප්පි හා කළු කන්නාඩිවලින් වැසී ගොස්ය. අතරින් පතර කිහිප දෙනකු කාල දෙස හැඟීම් විරහිත මුහුණවලින් බලා සිටියහ. ඔවුන් සියලු දෙනා සීරුවෙන් පෙළට කිටි කිටියේ තද වී සිටි අතර, කිසිවෙක් කවරවල බහා එල්ලා තැබූ කෝට්වලින් පිරි තල්ලු කරන රාක්කයක් ද ඒ අස්සෙන් රිංගවාගෙන සිටියෝ. දිගු කළු කවරවලට මුවා වූ එහි අයිතිකාරයාව කාලට පෙනුණේ නැත. කබා සාක්කුවලට දෑත් ඔබාගත් කාල සෙමින් වැසෙන දොර අතරින් කෝට් එල්ලූ රාක්කය දෙස රවා බැලුවේය. යළි සෝපානය පහළට ගොස් එන තෙක් බලා නොසිටීමට කාල තීරණය කර තිබිණි. හේ සෝපානයට පසෙකින් තිබූ පැරැණි බරැති යකඩ දොර තල්ලු කළේය. කුරුලු වසුරුවලින් ගඳ ගැසූ රතු පැහැ අඩ අඳුරක ගිලී හුන් පඩිපෙළ කාල එන තුරු නිසොල්මනේ බලා හුන්නේය.
හෑන්ඩ්ස්ෆ්‍රී එක ඔස්සේ මොබයිලයෙන් පැන ආ මෙට්ල් සංගීතය ඉහළටම වැඩි කරගත් කාල, හුස්ම අල්ලාගෙන වේගයෙන් පඩිපෙළ ඔස්සේ හැල්මේ දිව්වේය. ටික වෙලාවක් යද්දී කාලගේ දෑස් අඳුරටත්, නාසය කුරුලු බෙටි ගඳටත් හුරු විය. හති ඇරීම සඳහා නතර වන සෑම මොහොතකදීම කළු ගැසුණු බිත්ති අතරින් විවිධ රූපී ගැෆිටි කාල දෙස කුතූහලයෙන් බලා සිටියේය. කාල සිය වේගය ක්‍රමානුකූලව පවත්වාගෙන වේගයෙන් පහළට බැස්සේය. අවසානයේදී ඔහුට පඩිපෙළ කෙළවර වූ පැරැණි දැවැන්ත දොර පෙනෙන්නට විය. පිටතින් කාල එම දොරටුව අනේක වාරයක් දැක තිබුණ ද ඇතුළතින් එය දකින්නේ මුල්ම වරටය. එම දොරටුව කෙළින්ම විවෘත වූයේ චීන-ලන්තෑරුම් වීදියටය. චයිනා-බකට් යනුවෙන් ප්‍රසිද්ධ එම අඩවියෙහි චීන අවන්හල්වල පටන් චීන මල් වෙඩි දක්වා සියල්ල විකිණීමට තිබිණි. මකර නැටුම් කාලයට සියල්ලෝම කිසිදු භේදයකින් තොරව චීන-ලන්තෑරුම් වීදියේ මහා සැණකෙළියට සහභාගී වූහ.
මතු සම්බන්ධයි
අමාලි අනුපමා මල්ලවආරච්චි
Link : https://t.co/nyqquRI5pb
දෙයියනේ ඔයාද ඒ අමාලි අනුපමා? කියන්න එපාය කළින්! ජයවේවා! දිගටම කොටස් ටික මේකේ දාන්න හොඳේ.
ReplyDeleteඔහොම නමින්ම අහනකොට නම් පෙර වැරැද්දක්ද කියල බයත් හිතෙනවා! හිහී! කතාව දිගටම දානවා. යාළුවොත් එක්ක කතාව බෙදාහදාගන්න.
Deleteනියමයි. අර පැතුම්ගෙ "කාළ යක්ෂ" කතාව , අපිව අනාත කලා. මේක දිගටම ලියන්න, අපි එන්නම් කියවන්න.🙏👌😊
ReplyDeleteදිණමිණ ඊ වර්ෂන් එක බලහං. අලුත්තෙක ඇති 😃😃
Deleteඉස්තූතීයී ටොමියෝ! කතාව අප්ඩේට් කරන්නම්.
Deleteමේක බ්ලොගේ දම්මන්න බලපු ගණං යකූ 😃😃😃
ReplyDeleteගණන් නෙවේ ඒකට කියන්නෙ අමු කම්මැලිකම කියල! ඔන්න දැම්ම. දැන් ඉතිම් මේක වයිරල් කොරල දෙන්ටෝනෙ.
Deleteඔව්. මේක මරු කතාවක් වේවි කියලා පේනවා. මං පත්තරෙන් කියවන්නෑ. බ්ලොග් එකේ දිගටම දැම්මොත් දිගටම කියවනවා.
ReplyDeleteකතාව දාන්නම්. දිගටම කියවන්න. ප්‍රින්ට් කළොත් පොත නොගෙන ඉන්නෙපා! හික්ස්!
Deleteචීන ලන්තෑරුම් වීදිය යි, වරාය නගරයයි ගැන කියවද්දි, දිණමිනේ මේක පළ කරපු එක ගැනත් පුදුමයි.
ReplyDeleteඔහොම කියන්න එපා. ඉස්සරහට තියෙන ඒවා මතක් වෙලා මටත් බය හිතෙනවා!
Deletegemmac tamai pj!
ReplyDeletePra Jayගෙන් ලැබුණෙ ලින්කුව මෙහි එන්ට
ReplyDeleteආවා, කියෙව්වා 'කාල'ගෙ තතු හොඳට
කැමතියි කතාවට විද්‍යා පසුබිමට
එන්නං අනිත් කොටසුත් කියවාගන්ට
ඔත්තුවට ආවාට කමෙන්ටුවක් දැම්මාට බොහෝ තුති! දිගටම කතාව කියවන්න එන්න කියල බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා.
Delete