Friday, September 2, 2016

මාටිං අයියාගේ කෑම වට්ටෝරුව

මාටිං අයියා මේ ලඟකදී සෙල්ලම් අහස්යාත්‍රාවක ඉස්සරහා රෝදය ගිල දැම්මේය. ගෙදර මිනිස්සුන්ගේ වාසනාවකට වාගේ අහස් යාත්‍රා රෝදය කුඩාය, ප්ලාස්ටික්ය. නැත්නං ගෙදර කාටකාටත් ඉන්න වෙන්නේ අහස්යාත්‍රාවක් ගිල්ලා වාගේය. අහස්යාත්‍රා රෝද මාටිං අයියාගේ සාමාන්‍ය ඩයට් එකට අඩංගු නොවුණත් මාටිං අයියාගේ කෑම රුචිය සාමාන්‍යයෙන් ටිකක් වෙනස්ය. මාටිං අයියාට වැඩිය කන්න බැරිය. අපට වඩා ටිකක් කන්නේය. කන ඒවා යන්නේ කොහාටද කියා හොයාගන්නට බැරිය.ඉස්මුරුත්තාවට කෑ දවසට මාටිං අයියාගේ බ්‍රෙස්ට් කටු ටික අමාරුවෙන් ටොම්බා සයිස් වූ බඩ ගෙඩිය බදාගෙන සිටී. රෝදය ගිල දැමූ පසු මාටිං අයියා සහලෝලාම බය වී සිටියාට ගෙදර ඈයින්ට බය පෙන්වන්නේ නැත. ඇඳට වී බයටම පාන්දර එක දෙක වෙනකම් අවදිව සිටිනා මාටිං අයියා ගෙදර ඈයින්ව සනසයි. "අයියෝ බය වෙන්න එපා, දොස්තර මහත්තයා කිව්වානෙ හෙට උදේට රෝදෙ එයි කියලා ටොයිලට් යද්දි...ඒ හින්දා ඔයාලා බය වෙන්න එපා....ඕක පොඩි දෙයක්නෙ..." ගෙදර කවුරුත් මාටිං අයියාගේ පසුදින වැසිකිලි ගමන පිළිබඳ මහත් වූ සිහින දකිමින් නින්දට වැටෙති. 


මාටිං අයියා අහස්යාත්‍රා රෝද වල සිට ඕනෑම දෙයක් කා දැමීමට හපනෙකි. "මේ ගෙදර මිනිස්සු මට කැඳ ටිකක්වත් හදලා දෙන්නෙ නැති හැටි..." වෙලාවකට මාටිං අයියා දෙවොල් තියයි. කොළ කැඳ, ලුණු කැඳ, බත් කැඳ ආදී ඕනෑම කැඳ වර්ගයක් මාටිං අයියා ගිල දමන්නේ පුදුමාකාර සතුටකිනි. "මේ කණුරාකරලා මට හෙටවත් මුං ඇට ටිකක් තම්බලා දෙනවද..." මාටිං අයියා කියන්නේ ආතෙක් වගේය. හොඳ හැටි තැම්බූ මුං ඇට හෝ කව්පි සමග යහමින් මිරිස් එක්කර ගලේ අඹරා පදමට ලුණු ද දෙහි ද දැමූ ලුණුමිරිසක් සමග කෑමට ලැබීම මාටිං අයියා සලකන්නේ දිව්‍ය භෝජනයක් ලැබුණු ගානටය. පුසුඹ ගහන ලුණුමිරිස් තලියක් ද වදෙන් පොරෙන් කාට හෝ කියා ගා ගන්නා පොල් තලයක් ද සමග කව්පි පිඟන් දෙකතුනක් අහවර කිරීම මාටිං අයියාට මහ කජ්ජක් නොවේය. ගෙදර තම්බන කඩල මුට්ටියටද සිදුවන්නේ ඔය සන්තෑසියමය. මුං ඇට කිරිබත් මුට්ටියට ද සිදුවන්නේ ඒ කතන්දරයම ය. බත් පිඟානක් එක්ක යහමින් ඉඟුරු, සුදුළුූණු,ගම්මිරිස්, මිරිස්, තුනපහ සමග රතු කළු වෙන්නට ඉවූ උණු උණු කුකුළු මස් කරිය එක හුස්මට කා දමන මාටිං අයියා කට්ට කරෝල හොද්ද සමග අඟුණ කොළ හෝ කුරිඤ්ඤං කොළ ඇම්බුම ද ගිල දමන්නේ ඒ හා සමාන ගැම්මකින්ය. තිත්තට කරවිල ද, ඇඹුලට අච්චාරු ද, දැවිල්ලට රතු සම්බෝලය ද කන්නට හපන්කම් පාන මාටිං අයියා, බතුයි සුදට පරිප්පුයි තිබුණ ද බෑ නොකියා ඉන් ද බත් පිඟානක් දෙකක් කා දමන්නේය.


මාටිං අයියා බිත්තර බුල්සායි කර පාන් එක්ක කන්නට ද ආසාය.ඊට ලූණු ගෙඩියක් කපා පොඩියට ලුණු මිරිසක් ද ඇත්නම් රසේ බැරිය. නිකම් තැම්බූ බිත්තර ගෙඩි දෙක තුනක් දෙනවා නම් කෑම ද මාටිං අයියාට ඒ හැටි කාරියක් නොවේය. අලුත ගෙනා ටෝස්ටරයෙන් පිලිස්සී උඩ පනින පාන් පෙති චරබර ගා නිකම් කන්නටද, ඒවා මත මාජරින් හෝ බටර් තවරා කෑමට ද මාටිං අයියාට ඇත්තේ නොතිත් ආසාවකි. හවහාට චූං පාං අයියා පාරේ පන්නාගෙන යන මාටිං අයියා අඩුගාණේ කිඹුලා බනිසකට හෝ වග කියයි. සීනි බනිස්, මාළු බනිස්, සොසේජ් බනිස්, ඉස්පන්චි ආදී එකී මෙකී ඕනෑ දෙයක් එපා නොකියා කන මාටිං අයියා කන්න මුකුත්ම නැත්නම් අඩුම ගාණේ රෝස් පානක් එක්ක කුකුළු මස් කරියේ හොද්දකටවත් වග කියයි. කුස්සියේ බිම වාඩිගෙන මොකක් හෝ හොද්දක් ඉවූ දැලි වලඳක බත් අනාගෙන කන්නට මාටිං අයියාට ඇත්තේ පුදුමාකාර ආසාවකි. හොද්ද අඩිය මොකක් වුවත් පොල්කටු හැන්ද පුරවා බත් හැඳි දෙකක් වුවත් මහ අමාරුවක් නැතිව ගිලබත් කිරීම මාටිං අයියාට මහ කජ්ජක් නොවේය. දැලි වලඳ වටේ නටමින් ඉහේ පටන් දෙපතුල වෙනකම් දැලි නාගෙන බත් කෑමෙන් මාටිං අයියාගේ ඇස් සතුටින් දිලිසෙන්නේය.   

කොටුවේ පිලාවුස් එකෙන් චීස් කොත්තු ගෙනත් දුන් දා පටන් මාටිං අයියාට පුදුමාකාර කොත්තු පිස්සුවක් ගසා ඇත. මහ රෑ මර නින්දේ හිටි වේලාවක ගෙනා කොත්තුව මාටිං අයියා  ඇහැරවා කවන්නට වූ විට, හීන හතක් දැක්කද කොත්තුවෙන් ටිකක් පිඟානකට බෙදා දෙන ලෙස මාටිං අයියා ගෙදර ඈයින්ට අණ කළේය. නින්දෙන් වැටි වැටී පුටුවේ ඉඳගෙන දෙපාරක්ම චීස් කොත්තු බෙදාගෙන කෑ මාටිං අයියා පහුවදා අලුතින් චීaස් කොත්තු කෑමට සිහින මවයි. නිතරම කොත්තු ගැන මතක් කරයි. චීස් කොත්තු කඩේ ඇරලාද විමසයි. ආයේ චීස් කොත්තුවක් ගේන්නේ කවදාද අසයි. ගෙදර නිකම් ඇවිදින ගමන්, "මං චීස් කොත්තු කන්න පුදුම ආසයි" කියා නිවේදනය කරයි. කඩෙන් කොත්තු කෑමට බලමණ්ඩලයෙන් කචල් නිසා මාටිං අයියාගේ කොත්තු හීනය පිරිමහන්නට ගෙදරදී කොත්තු හදන්නට තීරණය වන්නේ මෙවැනි පසුබිමකදීය. 

කොත්තු හදන ගෝදම්බ රොටී පැකට් එකක් ද, එළවළු ද, කුකුළු මස් ද, චීස් කෑලි කීපයක් ද රැස් කරගෙන ගෙදර කවුරුත් යමරෙට කොත්තු හදන්නට කුස්සියට එක් රොක් වී සිටින අයුරු දකින් මාටිං අයියාට ඉහේ මලක් පිපුණා වාගේය. කැරට් කැපෙන පිහිය දෙසටත්, මස් තැම්බෙන ලිප දෙසටත් පිස්සුවෙන් වාගේ දිව යන මාටිං අයියා, ඔයාලා හැමෝම මට කොත්තුව හදන්න උදව් වෙනවාදැයි අසමින් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් උඩ පනියි. පුටුවක් තබා ඈතින් සිට ලිප තබා ඇති හට්ටියට එබිකම් කරයි. කොත්තුවට දාන්නේ මොනාදැයි විමසයි. කොත්තුව හදන පිළිවෙල අසයි. දැං කමුදැයි අසයි. මේසය උඩට වැඩැම්මවූ ගෙදර හැදූ කොත්තුව බෙදා දෙනකම් මාටිං අයියාට සිහියක් නම් නැත. කොත්තුවේ මුල්ම කට හුස්ම කටක්ද නොගෙන කා දමන මාටිං අයියා, මේ කොත්තුව නම් රහේ බැරි බවත් එය ඉතා මරු බවත් කියයි. අනෙක් අයටද කොත්තුවේ මරුව බලාගැනීමට  කොත්තු බෙදාගෙන කන ලෙසත් කියයි. ඔයින් ටික කාලයකට මාටිං අයියාගේ කොත්තු සිහිනය දින කීපයකට සමනය වෙයි.

කන්න ඒ හැටි පිරියක් නැති දාට මාටිං අයියාගේ එකම ආසාව හොඳ හැටි ලුණු ඇඹුල් දැමූ සම්බෝලයක් එක්ක සුදු බත් කෑමය. සම්බෝල එක්ක නම් බත් පිඟානක් පිරෙන්නම කා දමන්නට මාටිං අයියා සමත්ය. ඉඳහිට බත් කවන්නට කියන මාටිං අයියා ස්වාධීනව අනාගෙන බත් කෑමට වැඩියෙන් කැමතිය. හාස් හූස් කියමින් සම්බෝලය කන මාටිං අයියා වතුර ඉල්ලමින් ගේ පුරා දුවන්නේ වතුර කරාමයට තවම උස මදි හන්දාය. ඉස්මුරුත්තාවට කට දැවිල්ල වැඩි දවසට පුටුවකට නැගගෙන මේසයට කිට්ටු කරන මාටිං අයියා හකුරක් හෝ සීනි කැට ටිකක් කටේ දමාගෙන හප හපා යයි. පහුවදාට මොට්ටසෝරි ගෙන යන්න කෑම පෙට්ටියට දාන්නේ මොනවාදැයි අසමින් එදා කෑම වට්ටෝරුව නිමා කර මාටිං අයියා නිදා වැටෙයි. 

18 comments:

  1. මාටින් අයියව දෙතුන්සැරයක් මතක් උනා.

    ReplyDelete
    Replies
    1. කොච්චර එකක්ද! මාටිං අයියා මේ කමෙන්ට් දැක්ක නම් උඩින් යයි පපුව පුම්බගෙන!

      Delete
  2. හෙහ් හෙහ්. මාටිං අයිය පට්ට ඩෑල් එකක්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මෙච්චර ලියවෙන්නෙ මාටිං අයිය ගැන. දිගටම බ්ලොග් එක පැත්තෙ එන්න.

      Delete
  3. මේ කෑම වට්ටෝරුව කියවලා මට උස්මුරුස්තාව වගේ...

    ReplyDelete
    Replies
    1. ඔය වට්ටෝරුව ගිලලා ජිම් එකේ පැය ගාණක් අර දුවන යන්තරේ උඩ බඩගාන්න තමා වෙන්නෙ!

      Delete
  4. Replies
    1. එහෙනම් ලියතහැකි පොතක් උනත් කෑම ගැන, නේද!

      Delete
  5. මාටිය ඇවිල්ල අමුතුම බුවෙක්නෙ. වෙන එවුංට බත් කටක් කවාගන්ට අම්මල අප්පලට දහ අට පාලිය නටන්ට වෙනව. ඒ අතිං මූ රත්තරං...:)

    ReplyDelete
    Replies
    1. ගෙදර ඈයෝ මේ දවස්වල කල්පනා කරනවා කියන්නෙ මාටිං අයියය්ගෙ බඩේ පෙරේතයෙක් කුම්බාණ්ඩයෙක් එහෙම ලැගලා ඉන්නවාද කියලාලු!

      Delete
  6. මාටිං අයියා????? a dog ?

    ReplyDelete
    Replies
    1. No, I don't think so. But, the post reminded me of my dog too !

      Delete
    2. අපේ ගෙදර මාටිං වගේ කෙනෙක් ඉන්නවා. හැබැයි කකුල් හතරෙ. ඕනෑම බේකරි ප්‍රොඩක්ට් එකක් දැක්ක විගස කෙල බේරෙයි.නිකම් "සිට්" කරගන්න පිට තදකරන්න ඕනෙ ෆුල් ස්ට්‍රෙන්ග්ත් එකෙන්. බේකරි කෑමක් දැක්කොත් "සිට්" වෙනවා නොකියාම!
      පොඩි කාලේ වූල් බෑන්ඩ් ගිල්ලා. ගිය සුමානෙ අඟල් 8ක විතර බැන්ඩේජ් එකක් ගිල්ලා. පැය විස්සකින් විතර කටින්ම ආපසු දානවා

      Delete
    3. බල්ලො මොට්ටසූරි යනවැයි?:D

      Delete
    4. @Pra Jay Hoppy Crap, days should be very exiting with a dog like that!!!!!
      @Rasika කියන්ඩ බෑ බං! අපි පයින් බඩගානකොට ප්‍රාඩෝ වල බල්ලො හුලං වැදි වැදි යන එකේ කියන්න බෑනෙ ඕ..ටාර් වගේ එක්කො ඕන්නෑ!!!!

      Delete
  7. අපේ එකත් දැන් මොට්ටසූරී යනවා, හැබැයි කෑම ජාති අරහං...
    බත් කවන්න එයාට සැර කරන ගහන ඒවා බලන් ඉන්න බැරි කමට ගෙදර උන්දැට කෑ ගැහුවම එතනත් කචල්...
    මාටිං ලොක්කට වයස කීයද...

    ReplyDelete
  8. ස්වාධීනව අනාගෙන බත් කන මාටිං අයියා මරු ඩයල් එකක් විය යුතුය.

    ReplyDelete