Monday, July 25, 2016

මාටිං අයියා

මාටිං අයියාට ඉස්කෝලේ යන්නට තරම් වයසක් නැත. ඒ නිසා මාටිං අයියා යන්නේ මොට්ටසෝරි ය. මාටිං අයියා මොට්ටසෝරි යන්නේ ඒ තරම් විසාල කැමැත්තකින් නොවේය. උදෙන්ම මොට්ටසෝරි යන්නට අවදිවීමට සිදුවීම පිළිබඳ මාටිං අයියාට වැඩි පැහැදීමක් නම් නැත. වදෙන්පොරෙන් ඇහැරව ගන්නා මාටිං අයියා කිරි වීදුරුව කටේ ගසන තුරු හාන්සි පුටුව උඩ හෙළුකොප්පරයෙන් නිදයි. කිරි වීදුරුවේ අමා රසය දිව වැටිච්ච හැටියේම මාටිං අයියාගේ සියලු ඉන්ද්‍රීයයන් වැඩ කිරීමට පටන් ගනී. කිරි වීදුරුව එක හුස්මට ඇද දමන මාටිං අයියා සිය කාර්යබහුල දිනය අරඹයි. වැසිකිලි පෝච්චියේ සිය කාරිය කරගන්නවාට වඩා මාටිං අයියා වඩා ආසා කරන්නේ වැසිකිලි බිම මත අහස්යාත්තරා සහ කෝච්චි හැඩයේ එව්වා බෑමටය. මේ කාරිය කර සිය පස්සා පැත්ත ද කාට හෝ කියා හෝදා ගන්නා මාටිං අයියා මොට්ටසෝරියට යාමට ලකලැහැස්ති වෙයි. මාටිං අයියාව මොට්ටසෝරිය දක්වා එක්කාගෙන යන්නට හන්දියේ ටුක් ටුක් මාමලා කිහිප දෙනෙකුම පේ වී සිටින්නෝය.

මේ අතරින් මාටිං අයියාට නම තැබූ බකිඩරතා ද සිටින්නේය. බකිඩරතා සමග මොට්ටසෝරියට යන මාටිං අයියා, ඉතාම සුවච කීකරු ශිෂ්‍යයෙක් බවට එක සැණෙකින් පරිවර්තනය වෙයි. ගෙදරදී වැඩක් කී විට නෑහුණු ගානට යන මාටිං අයියා, මොට්ටසෝරියේ ඉන්න ලස්සන සුදු චීටර්ලාට පුටු බිමට බෑමට උදව් කරයි. මොට්ටසෝරියේ චීටර්ලාට මාටිං අයියා තරම් අහිංසකයෙක් නොමැති තරම් ය. සමහර දවස් වලට මාටිං අයියා මොට්ටසෝරියට පා තැබූ වෙලාවේ පටන් ඉවර වෙන තෙක්ම පිස්සුවෙන් වාගේ අකුරු ලියන්නේය. ඔහොම හති මුණින් දාගෙන අකුරු ලියන මාටිං අයියා, හරියටම එකොළහ වන විට සිය ලියනකියන කටයුතු නවතා දමයි. මාටිං අයියා ගෙදර වැඩිහිටියන්ට උපදෙස් දී ඇත්තේ හරියටම එකොළහ වෙන විට තමාව ගෙදර ගෙන යාමට මොට්ටසෝරියේ පන්ති දොරකඩ වගකිව යුත්තෙකු පැමිණ සිටිය යුතු බවය. මොට්ටසෝරියෙන් එක්කාගෙන යාමට හදිසියේවත් ප්‍රමාද වුවහොත් එදාට මාටිං අයියා මොට්ටසෝරියේ ගේට්ටුව හරියේ පුපුර පුපුරා සිටින්නේය. මාටිං අයියා වාහනයට නැගගන්නා තුරු ගේට්ටුව අසලට එයාගේ බෑගය අරගෙන එන්නේ පන්තියේ සිටින රෝසපාට කෙළි ඇබිත්තියකි. මේ රෝස පාට කෙළි ඇබිත්ත ඉතාම ගෞරව සම්ප්‍රයුක්තව මාටිං අයියාගේ බෑගය උස්සාගෙන එයි. මේ විස්තරේ ගෙදර ඈයින්ගේ කන වැකුණු වහාම මාටිං අයියා දින කිහිපයකට රෝස පාට කෙළි ඇබිත්තට නිවාඩු දී තමාම ගේට්ටුව තෙක් බෑගය කර ගහගෙන එයි.  

ගෙදර පැමිණීමෙන් පසු මාටිං අයියා කෙලින්ම යන්නේ සෙල්ලමටය. සෙල්ලම් බඩු ගලවා ප්‍රතිසංස්කරණය කිරීම, අහසේ යා යුතු එව්වා වතුරේ යවා බැලීම ආදී වැදගත් සෙල්ලම් කිරීමට මාටිං අයියා  ප්‍රිය කරයි. බැලුං ඇත්තේ පුම්බා උඩ යැවීමට වුවත් මාටිං අයියාගේ සතුට බැලුං වලට වතුර පුරවා ඒවා වහලයට විසිකිරීමය. ඉන්පසු ඇඟිලි වලින් ඉස්සි ඉස්සී වහලය උඩ වැටී තිබෙන බැලුං දෙස බලමින් ද මාටිං අයියා ඉතා සතුටු වෙයි. මීට අමතරව, හාල් ගෝනියෙන් හාල් ගෙන ඒවා සෝදා බත් උයන්නටත් සියලුම පහේ වර්ග යොදා පරිප්පු ඉවීමටත්, ඉඳිආප්ප වංගෙඩියෙන් ඉඳි ආප්ප මිරිකීමටත් ඉතා ආසා කරයි. ඉඳිආප්ප හදන්නට ඇනූ පිටි ගුලි කර බිත්තියේ ඉහළම කෙලවරට එල්ල කිරීමත් මාටිං අයියාගේ තවත් විනෝදාංශයකි. 

හවස් ජාමෙට අකුරු ලියන්නට සිදුවීම මාටිං අයියාට අනුව මහ පොළොව නූහුලන අපරාධයකි. මොට්ටසෝරියේත් අකුරු ලියා ලියා ගෙදර ඇවිත් ද එව්වා ලියන්නේ මොටෝ දැයි මාටිං අයියාගේ මහා මොළයට තේරුම් යන්නේම නැත. කොටින්ම කිවහොත්, මොට්ටසෝරියේ ගේට්ටුව වෙන තෙක් අලුතෙන් කියාදුන් කවි කිය කියා එන මාටිං අයියා, මොට්ටසෝරියේ ගේට්ටුව පනිනවාත් එක්කම කවි කිවිල්ල නවතයි. කවි කියන්නැයි වැඩිහිටි රසිකයින්ගෙන් එන ඉල්ලීම් වලට මාටිං අයියා නැවෙන්නේම නැත.මොට්ටසෝරියේ එව්වා මොට්ටසෝරියේ තබා පැමිණිය යුතුය, මොට්ටසෝරියේ එව්වා ගෙදර ගෙනියන්න හොඳ නැති බව මාටින් අයියාගේ ඉඳුරා විශ්වාසයයි. 

හවසට නොලියාම බැරි වූ විට අකුරු ලියන මාටිං අයියා, රෑට කටන්දර ඇසීමට ඉතා ආසා කරයි. එකම කටන්දරය සියවතාවක් වුවද අලුතින් අහන්නා වාගේ ඇසීම මාටිං අයියාගේ සිරිතකි. කටන්දර අහනා විට කවුරුන් හෝ බාධා කලහොත් මාටින් අයියාගේ ඉවසීමේ කටුව පුපුරා යයි. ඉතාම වේගයෙන් බාධා කළ තැනැත්තාට අවලාද නගන මාටින් අයියා කියා සිටින්නේ තමාට 'සැනසිල්ලේ කටන්දර අහන්නට' ලැබෙන වෙලාවටත් එක එක්කෙනා ඇවිල්ලා කතා කිරීම හරිම 'කලදලයක්' බවයි. කටන්දරය මුල සිට අගටම නොනිදා අසා සිටින මාටිං අයියා හෙට මොට්ටසෝරියේ නිවාඩුවක් දැමිය යුතු බව කියයි. මොට්ටසෝරියේ චීටර් තමා අකුරු ලියා ඉතා මහන්සි වූ නිසා හෙට දවසේ නිවාඩුවක් දැම්මාට කමක් නැතැයි කියූ බව මාටිං අයියා ගෙදර වැඩිහිටියන්ට බැරෑරුම් මුහුනකින් යුතුව ප්‍රකාශ කර සිටී. ඒ නිසා තමා හෙට දවල් වෙනකම් 'සැපට සැපේ' නිදා ගන්නා බව නිවේදනය කරන මාටින් අයියා,  ලේන් පැටවෙකු සේ නින්දට වැටෙයි. මාටින් අයියා හෙට මොට්ටසෝරි යැවිය යුතු ද නැත්ද කියා ගෙදර වැඩිහිටි කාටත් ඉතිරි වන්නේ උභතෝකෝටික ගැටළුවකි. 

21 comments:

  1. එහෙම නැතුව කොහොමෙයි? මාටිං අයිය හරි.

    ReplyDelete
  2. මාටින් අයියගේ කතානම් පොතක් හරි කියවන්න මම ලෑස්තියි හොබෝ :)

    ReplyDelete
    Replies
    1. තව කතා වඩි කීපයක් ලියතැහැකි. ඒ පැත්තෙ එන්නත් බැරි වුණා. එන්නම්කො බලාලා යන්ට.

      Delete
  3. හරිම මාටියෙක්නෙ

    ReplyDelete
  4. රෙෂ්පට් කොල්ලෙක් .. !!

    මරු..

    ReplyDelete
  5. එක ගොඩේ නොලියා වෙන් කරල ලියහංකෝ බං , දෙබස් වගේ ඒවා වෙනමම එලියට අරං

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙත් ඔයි කතාව කිව්වා මට ඉස්කෝලෙ රචනා ලියනකොට. හා මං ලියන්නම්කො ඇටොම් අයියා ඔයි කියන විදියට.

      Delete
  6. වැඩිහිටි පරපුර කෙසේ හිතුවත් කීවත්, ලේන් පැටියෙකු සේ නිදාගන්නා මාටිං අයියා උදෙන්ම නැගිටින්නේ රෝස පාට කෙළිඇබිත්ත හිතේ තියාගෙන කිරි වීදුරුව හොය හොයා නිසා ආයෙත් කතාවේ මුලට යන්න සිද්ධවෙනවා
    බකිඩරතාට...!

    ReplyDelete
  7. පොඩි දරුවෙකුගේ සියලුම ක්‍රියාකාරකම් බොහොම යසට ලියල තියනවා...අටම් මල්ලි කිව්වා වගේ වෙන් කරලා ලිව්වා නම් තවත් අගෙයි...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා පොකුරු..මට නං හිතුනේ මේ ලියලා තියෙන විදිය හොඳයි කියලා..මේක දෙබස් දාලා වෙන්කලා නං පොඩි එකාගේ ගතිය යාවීනේ...ආයෙත් අනේ මන්දා..!

      Delete
    2. මට හිතුනේ එක දිගට ලියන එක ගැන චෙෆාකි. චේද ටිකක් වෙන් කළා නම් හොඳයි කියල. දෙබස් නොලිව්වා කියල නම් රසයේ අඩුවක් නෑ. ඒ එයා ලියන රටාවනේ.

      Delete
    3. ඡේද වෙන් කරලා ලියන්නම්කො ඕං එඩිට් පාරකුත් දැම්මා. දෙබස් ලියන්න නම් ටිකක් ලියන ආර වෙනසක් කරන්න වෙනවා. දෙබසක් යන සිද්ධියක් ලියන්න මගෙ ඔළුවෙ තිබුණා. තවම ඒක හිතේ මුල්ලක ඩිවෙලොප් වෙන අවධියේ තියෙන්නෙ. එව්වාගෙ එකකුත් ලියන්නම්කො. කට්ටියගෙම අදහස් උපදෙස් වලට ඉස්තූතියි! ජය!

      Delete
  8. හෙළුකොප්පරයෙන් //// ha ha ha

    ReplyDelete
  9. You should translate "Just William" books.

    ReplyDelete
    Replies
    1. I think somebody has already done it. William books are great. but I LOVE ලොන්නෙබැරියෙ එමිල් and පිප්පි දිගමේස් more. They are just super fantastic. And of course Dennis!!!!

      Delete
  10. Replies
    1. මාතලන් අයියටත් ඇච්චා කාලෙ මතක් වෙන්ට ඇති මයෙ හිතේ!

      Delete
  11. මාටිං ටිං ටිං .....

    ReplyDelete