එන පොසොන් පෝයට අත්තම්මාගේ වයස අනූවකි. ඈ උපන්නේ 1926 පොසොන් පෝය දවසක බව ඕ කියයි. ඒ නිසා ඈ උපන්දිනය සමරන්නේ සෑම වසරකම පොසොන් පොහොය දවසටය. පොසොන් පොහොය යෙදෙන්නේ කවදාටද එදාට ඇගේ උපන්දිනය සැමරීමට අපි කවුරුත් පාහේ පුරුදුව සිටිමු. ජර්මනියේ වෙසෙන මාමාට නම් මෙය උභතෝකෝටික ගැටළුවකි.අපේ කැලැන්ඩරයේ පොසොන් පෝය පෙන්වූවාට ජර්මනියේ එසේ නැත. ඒ නිසා පොසොන් මාසයේ මුල සිටම හෙතෙම අත්තම්මාගේ උපන්දිනය සොයයි. අපෙන් අසා පොහොය දිනය දැනගෙන සටහන් කර තබා ගනී.මාමා විවාහ වී සිටින්නේ ග්‍රීක ජාතික කාන්තාවක් සමගය. මාමා කියන දවසට ඈ ද අත්තම්මාට සුබ පතයි. ඇය දන්නා ඇති පොසොන් පෝයක් නැත.ඈ දන්නේ අත්තම්මාගේ උපන්දිනය සෑම වසරකම ජූනි මාසයේ කවදාට හෝ යෙදී තිබෙන බව පමණි.
අත්තම්මා කතා කීමට රුසියෙකි. ඈ එකම කතාව වුවද දහ දොළොස් වතාවක් කියයි. ඉස්සර අපේ ගමේ හිටියා කර්තේලිස් කියලා අත්තෙක්, ඇය කියයි. එයා මහ කපටියා. සල්ලි බාගෙ තිබුණා යහමින්. ඉතින් මිනිහා ගම් ගානේ ඇවිදින ගමන් හොඳට ඉඩම් තියන මෝඩ ගොයියෙක්ව අල්ලගන්නව. හිතවත් වෙනවා. ගෙදෙට්ට එක්කරගෙන ඇවිත් කන්න දෙනවා. ඒ කාලෙ තිබුණෙ පනං, සිලිං එහෙම. අපේ අක්කගෙ කසාදෙටම වියදම් වුණේ ඒ කාලෙ හැටියට පනං දෙක හමාරයි. ඇය අතුරු කතාවක් කියයි. ඒ කාලෙ හාල් එහෙම හරි ගාණ අඩුයි. හොඳෝම හාලෙ නම 'මල්කෝරා'. සේරු දොළහක විසාල මිටියක් සත හයක් විතර මගෙ හිතේ.අපේ අක්කගෙ මගුලට ගෙනාවෙත් මල්කෝරා.
ඉතින් දැන් කරතේලිස් අත්තා අර යාළු කරගන්න මෝඩ ගොයියට මෙහෙම කියනවා. ඔහොම හැමදාම මඩේ ලැගගෙන ගොයිතැන් කර කර ඉඳලා හරියනවද. උඹත් මොකක් හරි වියාපාරයක් කොරහන්. ඉතින් මේ කතාව අහගෙන ඉන්න අර ගමයාටත් ඕකට හිත වැටෙනවා නොවැ. මෙහෙම ටික කලක් ගියාම කර්තේලිස් අත්තම රුපියල් පන් හයදාහක් අර ගමයගෙ අතට දෙනවා. මොකක් හරි ව්‍යාපාරයක් කරන්න කියලා. ඉතින් අර ගමයත් රැවටිලා මේ සල්ලි අරගෙන තමං නොදන්න මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඔය අතරේ කර්තේලිස් අත්තා හෙමීට අර ගොයියට කියනවා, මේ උන්නැහෙ දැන් මයෙන් මෙයාකාර සල්ලියක් ගත්තා නොවැ. ඒ නිසා අපි ඒ ගැන කියලා පොඩි ලියවිල්ලකට අස්සන් කරමුය කියලා. අර ගමයා ඉතින් අකුරු දන්න එකක් කියලද. මූත් ගොනා සේ හාය කියනවා. ඉතින් කර්තේලිසා නොතාරිස් කෙනෙක්වත් ලං කොරගෙන අර ගොයියා ණයක් ගත්තාය කියලා අස්සන ගන්නවා විතරක් නෙමෙයි ඒ ණයට පොළියකුත් නියම කොරගන්නවා.
ඔහොම හොරට හදාගන්න ලියවිල්ලත් තියාගෙන කර්තේලිස් අත්තා ටික දොහක් සද්ද නැතුව ඉන්නවා. එතකොට අර ගත්තු ණයට ලොකු ගාණක පොළියක් හැදිලා. ගොයියාගෙ ව්‍යාපාර කෙරිල්ලත් අහවර වෙලා. ඕන්න එතකොට කර්තේලිස් අත්තා යනවා යකා වැහිලා වගේ, ණය සල්ලියි පොළියයි ඉල්ලාගෙන. එතකොට තමයි ගමයට දෙයියො සිහිවෙන්නෙ. ඇයි නොතාරිස් ගාවත් ලියවිල්ලක් තියවලුනෙ. ඉතින් ඔහොම ටික කාලයක් කර්තේලිස් අත්තා ගමයගෙ ගේ ලඟ සල්ලි ඉල්ලා අඩව් අල්ලනවා. අන්තිමට ඉතින් ගමය තමන්ගෙ ඉඩකඩම් ටික සේරම කර්තේලිස් අත්තට ලියලා දෙනවා ණයයි පොළියයි අහවර කරන්න කියලා. ඕං ඔහොම කුණු කොල්ලෙට තමයි ඒ කාලෙ ගොයිරාළලාගෙන් මුදලාලිලා ඉඩං ගත්තෙ.
මහ සක්කිලි වැඩක්
ReplyDelete