Sunday, July 25, 2021

න්‍යෂ්ටික බෝම්බ ඩිටෙක්ටරයට හසුවුණු නිල් තල්මසුන්ගේ ගායනාව

 

තල්මසුන් ගැන කතා කරද්දි මගේ මතක නොස්ටැල්ජියාව එක පිම්මෙම ගිහින් නතර වෙන්නෙ හර්මන් මෙල්විල් විසින් රචනා කරපු, සිරිල් සී පෙරේරා පරිවර්තනය කළ “මෝබිඩික්” කෘතිය අද්දර. ” මට ඉස්මායිල් කියන්න.” කතාව පටන්ගන්නෙ ඒ විදිහට. ඊට පස්සෙ අපි ඉස්මායිල් එක්ක යෝධ තල්මසුන් යාත්‍රා කරන සමුදුරු ඔස්සේ රුවල් නැවක නැඟිලා මෝබිඩික් හෙවත් ධවල තල්මසා සොයන ගමනට එකතුවෙනවා.

“ඈත මුහුදුවල වෙසෙන අද්භූත, අස්වාභාවික, ආශ්චර්යමත් සත්ව වර්ගයක් වන තල්මසුන් ගැනත්,ඔවුන්ගෙන් නැවියන්ට පැමිණෙන උවදුරු ගැනත්, ඇතැම්විට ඔවුන් නැව්වලට පහර දී විනාශ කොට පැන යන සැටි ගැනත් මම නොයෙක් කතාන්තර අසා ඇත්තෙමි. එහෙයින් එම සත්ත්වයින් සියැසින් දැකබලා ගැනීමට මා තුළ ලොකු ආශාවක් ඇත.” ඉස්මායිල් එහෙම කියනකොට නැවක නැඟලා ලෝකෙ වටේ තල්මසුන් බලමින් සවාරි ගසන්නට නොහිතන කෙනෙක් නැති තරම්.

ඒ විතරක් නෙමෙයි, පසුකාලීනව ජාතික රූපවාහිනියේ විකාශනය වුණු “සමුදුරු දැරිය” ඕස්ට්‍රේලියානු විද්‍යා ප්‍රබන්ධ කතාමාලාවේත් තල්මස් ගී ගායනාව පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාඥවරියක්, තල්මසුන් සමඟ පිහිනමින් ඒ ගීත තේරුම් ගන්න පුළුවන් සුරූපී ජලකර පිටසක්වල නෙරී නැමැති තරුණිය ගැන ඔබට මතක ඇති.

 



නිල් තල්මසුන් දඩයමේ යෑම නිධානයක් සොයන්න යන ත්‍රාසජනක ගමනක් කියලා හිතුණට කාලයත් එක්ක තමයි විසිවෙනි ශතවර්ෂයේ සිදු කෙරුණු වාණිජ කරුණු සඳහා තල්මසුන් දඩයම් කිරීම පිළිබඳව හරියටම මට අවබෝධයක් ලැබෙන්නේ. මේ වාණිජ තල්මස් දඩයම මොනතරම් දරුණු වුණා ද කිව්වොත් තල්මස් දඩයම තහනම් කරන විට ලෝකයේ නිල් තල්මසුන් වඳවී යාමේ මුවවිටටම පැමිණ සිටියා.  ඒ කොතරම් ද කිව්වොත් වාණිජ තල්මස් දඩයම නිසා දකුණු අර්ධගෝල සාගර කලාපයේ නිල් තල්මස් ගහණයෙන් 0.15% ක් වත් ඉතුරු වුණේ නැහැ කියලත් මේ කලාපයේ දඩයමට ලක්වුණු නිල් තල්මසුන් ගණන ලක්ෂ තුනකට අධික බව වාර්තාවල සඳහන් වෙනවා. මේ වෙනකොට නිල් තල්මස් ගහණය ක්‍රම ක්‍රමයෙන් සුළු ඉහළ යාමක් පෙන්නුම් කළත් අදටත් සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය විසින් ප්‍රකාශ කරන  වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින සත්වයින්ගේ රතු ලැයිස්තුවට නිල් තල්මසාගේ නම අන්තර්ගත වෙනවා. නිල් තල්මසා දැවැන්ත සත්වයෙක් වුණත් මහා සාගරය තුළ ඔවුන්ව නිරීක්ෂණය කරගැනීමට ඉතාමත් අපහසු සත්ව කොට්ඨාශයක්. ඒ නිසාම ඔවුන්ගේ හැසිරීම, සංචරණය සහ ඔවුන්ගේ ගමන් මාර්ග හඳුනා ගැනීමත් ඉතාම සීමිතයි. විශේෂයෙන්ම උතුරු ඉන්දියානු සාගර කලාපයේ නිල් තල්මස් ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇත්තේ ඉතාම සීමිත දත්ත ප්‍රමාණයක්.

ඉන්දියානු සාගර කලාපයේ නිල් තල්මස් විවිධත්වයක් තිබෙනවා. ඔවුන්ගේ උප කොට්ඨාශ හඳුනාගැනීමට විද්‍යාඥයින් යොදාගන්නේ ඔවුන් නිකුත් කරන නාද රටා අනුවයි. සෑම නිල් තල්මස් විශේෂයකටම ඔවුන්ට ආවේණික ගායනාවක් තිබෙනවා.   පසුගිය ජූනි මාසය ආසන්න කාල සීමාවේ දී බටහිර ඕස්ට්‍රලියානු මුහුදු තීරයේ සිට ශ්‍රි ලංකාවේ උතුරු වෙරළ කලාපය දක්වා වපසරියක හැසිරෙන පිග්මි නිල් තල්මස් විශේෂයක් සොයා ගැනීමට තල්මසුන් විශේෂඥ පිරිසක් සමත් වෙලා තිබෙනවා. මෙලෙස අලුත්ම පිග්මි නිල් තල්මසුන් විශේෂය  හඳුනාගැනීමට උදව් වෙලා තිබෙන්නේ සාගර කලාප තුල සිදුකෙරෙන න්‍යෂ්ටික පිපිරවීම් සම්බන්ධ නිරීක්ෂණය කරන Comprehensive Nuclear-Test-Ban Treaty Organization (CNTBTO) කියන ආයතනයේ දත්ත පරීක්ෂාවට ලක් කරන අවස්ථාවකදී වීම විශේෂ කාරණයක්.

 Read more: https://www.manthrana.com/2021/07/12/new-pigmy-blue-whales-found-in-the-indian-ocean/

 


Wednesday, July 14, 2021

වසංගතය – එක් නපුරු සුරංඟනා කතාවක්

 

 එකෝමත් එක කාලයක දැවන්ත කඳු වළල්ලක් මැද්දේ අමුතු සුරංඟනා නගරයක් තිබ්බා. ඒ නගරයට කවුරුත් කිව්වේ යකඩ නගරය කියලයි. මේ නගරය වට වෙලා තිබුණේ විශාල, උස් යකඩ පවුරකින්. නගරයට ඇතුල්වෙන්න තිබ්බ හැම දොරටුවක්ම විශාල යකඩ දම්වැල් දාලා වසා තිබුණා. යකඩ කටකලියා විස්සක් ඇඳපු යකඩ අශ්වයින් විසිදෙනෙක් හෝරාවක් පුරා වෙහෙස වෙලා තමයි මේ යකඩ දොරටු ඇරගන්න පුළුවන් වෙන්නේ. 

මේ යකඩ නගරයේ පාලකයා හිටියේ නගර මධ්‍යයේ අහස උසට නැඟිලා තිබුණු යකඩ මාළිගාවේ. මේ ආණ්ඩුකාරයා හරිම නපුරුයි. එයාගෙ හිත හැදිලා තිබුණේ යකඩින් කියලා තමයි හැමෝම කිව්වෙ. යකඩ ආණ්ඩුකාරයා මොන තරම් නපුරු ද කියනවා නම් එයා කිසිම වෙලාවක හිනා වුණේ නැහැ. විහිළුතහළු කළේ නැහැ. සිංදු කියලා නටන්න තියා තාලෙට අත්පුඩියක්වත් ගහන්න යකඩ ආණ්ඩුකාරයා දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා යකඩ ආණ්ඩුකාරයා නිතරම හිටියේ කේන්තියෙන්. වේදනාවෙන්. දුකෙන්. තරහින්. 

ඒ නිසා යකඩ නගරයේ ඉන්න මිනිස්සුන්ට හිනා වෙන්න, විහිළු කරන්න, සිංදු කියන්න, නටන්න විතරක් නෙමෙයි චිත්‍ර අඳින්න, සැණකෙළි පවත්වන්න වගේ සතුටු හිතෙන කිසිම දෙයක් කිරීමටත් යකඩ ආණ්ඩුකාරයා තහනම් කළා.  ඉතින් හැමෝම හිටියේ දුකින්. කේන්තියෙන්. වේදනාවෙන්. තරහින්. කාලයත් එක්ක යකඩ නගරයම ටිකෙන් ටික ටිකෙන් ටික කළුම කළු පාට වෙලා ගියා. හැමතැනම තිබුණේ උහුළ ගන්න බැරි තරම් නිශ්ශබ්දතාවක්. අඳුරු ගැහුණු දුක්බර මූණුවලින් යකඩ නගරයේ මිනිස්සු අවදි වුණා, වැඩ කළා, දෙවියන් වැන්ඳා, නින්දට ගියා. ඔවුන් තමන්ගේ අසල්වැසියන් එක්කවත්, පවුලේ අය එක්කවත් සතුටු සාමීචියේ යෙදෙන්න දැනගෙන හිටියේ නැහැ.  වෙහෙසින් මිරිකුණු යකඩ නගරයේ මිනිස්සු කලින්ම නින්දට ගිය නිසා ඉහළ අහස් නිම්නය ඒකාලෝක කරන පූර්ණ චන්ද්‍රයාවවත්  කිරි සයුරේ ඉවුරු තෙර නටන තරුවත් දැක්කේ නැහැ. 

මෙහෙම කාලයක් ගත වුණා. යකඩ නගරයේ ඈතම කොණේ දුප්පත්  කම්මල්කරුවෙකුගේ බිරිඳට අපූරු දැරිවියක් ඉපදුණා. කුඩා දැරිවියගේ ඇස් පහන් වගේ. මූණ තරුවක් වගේ එළියයි. ඉපදුණු හැටියේම මේ සිඟිත්තිය අම්මාත් තාත්තාත් එක්ක හිනා  වුණා. ඇගේ හිනාව හරිම ලස්සනයි. කම්මුල් දෙකම වාසනාවන්ත විදිහට වළගැහුණා. අම්මාගේත් තාත්තාගේත් හිත්වලට කවදාවත් නොදැනුණු සතුටක් උණුසුමක් දැනුණා. එයාලත් දූ සිඟිත්ත එක්ක හිනා වුණා. ඒත් ගේ ඇතුලේ හිනා වුණාට මේ සතුටු මූණ එළියේදී පෙන්වන්න කම්මල්කාරයාටවත් ඔහුගේ බිරිඳටවත් බැහැ. යකඩ නගරයේ කාගෙ හරි මුහුණක හිනාවක් තිබ්බොත් වහාම ඒ අයව අත් අඩංගුවට ගන්න කියලා නපුරු ආණ්ඩුකාරයා යකඩ සොල්දාදුවන්ට අණ දීලා තිබුණා. ඒ නිසා කම්මල්කාරයාත් ඔහුගේ බිරිඳත් ගෙදරින් පිටට යනකොට මතක ඇතිව මූණ වසාගෙන තමයි යන්නේ. 

කාලයක් ගත වුණා. සිඟිත්තිය සුන්දර දැරියක්ව වැඩුණා. දවසක් අම්මාත් තාත්තාත් කඩපොළට ගිය වෙලාවක ඇය ගමේ අනෙක් කුඩා ළමයින් සමඟ සෙල්ලමට වැටුණා. මීට කලින් කවදාවත් ඇයට සෙල්ලම් කරන්න ලැබිලා නැහැ. ඉතින් ඇයට ගොඩක් සතුටුයි. ඇය ශබ්ද නඟලා සිනාසුණා. මුලින් අනෙක් ළමයින් පුදුම වුණත් පස්සෙ එයාලත් මේ දැරිවිත් එක්ක සිනාසෙමින් සෙල්ලම් කළා. තමන්ගේ ළමයින් සංතෝෂයෙන් කෑ ගසමින් සෙල්ලම් කරන හැටි දැකපු වැඩිහිටියන්ටත් සිනා නොවී ඉන්න බැරිවුණා. ඉතාම ඉක්මනින් සතුටු සිනා රාවයන් නගරය ඔස්සේ පැතිරී යන්න පටන්ගත්තා. දවසක් උදේ පාන්දර අවදි වෙලා යකඩ මාලිගාවේ සඳළුතලයට එන නපුරු ආණ්ඩුකාරයා දකින්නේ යකඩ නගරයේ මිනිසුන් සිනාසෙමින් ගී ගයමින් නටමින් ඉන්නවා. යකඩ නගරයම එකම සැණකෙලියක් වගේ.

 කතාවේ ඉතිරි ටික කියවන්න : https://www.manthrana.com/2021/07/05/epidemic-dark-fairy-tales-sinhala-stories/


 

Saturday, July 3, 2021

හයිඩ්‍රිල්ලා වත්ත

 

 

හයිඩ්‍රිල්ලා වත්තේ ප්ලේටියා නැන්දා මොන තරම් වේගෙකින් සාරියාගෙ නාහෙ ඉස්සරහින් පීනගෙන ගියා ද කිව්වොත්, ඔහේ ඈලිමෑලිකමේ ඈනුම් යව යවා හිටපු සාරියා වල්ගෙ ලෙස්සල ගිහින් පරණ වෙච්චි මාළු කෑම පල්පයක් උඩට තකස් ගාලා ඇදගෙන වැටුණා.

“යකෝ…. මේ මොන… බ්ලොබ්….බ්ලොබ්….” වැටුණු හදිස්සියට හුස්ම ගන්න අමතක වෙලා සාරියගෙ කරමල් අස්සට වතුර ගියා. 

මේ යෝදි මේ මද්දහන්කරේ දැති මෝරෙක් ආවේස වෙලා වගේ හතිමුණින් දාගෙන කොහෙ පීනනව ද කියල හිතා ගන්න බැරිවුණු සාරියා අමාරුවෙන් නැගිටගෙන ප්ලේටියා නැන්දා පස්සෙන් යන්න පටන් ගත්තෙ කුණු මාළු කෑමවලින් ආපු අප්පිරියාවත් පැත්තකට දාලා. 

“ප්ලේටියා නැන්දේ! ප්ලේටියා නැන්දේ!” සාරියා බෙරිහන් දුන්නත් ප්ලේටියා නැන්දා නෙමේ පැත්තවත් හැරිල බැලුවෙ. එයා හයිඩ්‍රිල්ලා ගාල් අස්සෙන් විදිලි ආඳෙක් වගේ  අතුරුදහන් වුණා. සාරියත් අතෑරියෙ නෑ. ප්ලේටියා නැන්දා පස්සෙන්ම පන්නගෙන ගියා. කොහොමත් වත්තෙ එකෙක්ට හදිසියක් කරදරයක් වුණාම කර ඇරලා බෑනෙ. 

ඔය අස්සෙ සාරියගෙ බෙරිහන් දීම ඇහිලා හයිඩ්‍රිල්ලා ගාලක් අස්සෙ ඉඳන් එළියට පැන්නෙ කොට වරලෙ මාමා.  

“මොකෝ සාරියෝ තෝ මේ ඉර මුදුන් කණිසමේ බෙරිහන් දෙන්න තියාගත්තෙ?” කොට වරලෙ මාමා සාරියා පස්සෙ පන්නන්න ගත්තා. 

“මන්දා කොටෙ මාමෙ, ආං අර ප්ලේටියා නැන්දා ආත්බූත කඩාගෙන සිහිසන් නැතිව පීනනවා. මං මේ ඒකයි පොඩ්ඩක් බැලුවෙ…” සාරියා කිව්වෙ ගමනෙ වේගෙ ටිකක් බාල කරලා.

“හෑ? මේ අපෙ ප්ලේටියා නඟා? ඒ මොකොදැ…. යමං යමං බලන්න! පලයං ඉතින් මෙතන දැවටි දැවටි ඉන්නෙ නැතුව…. මං එංඤ්ඤං පස්සෙං!” කොට වරලෙ මාමා එහෙම කියලා හයිඩ්‍රිල්ලා ගොල්ල අස්සට ඔලුව දාලා කෑගහන්න පටන් ගත්තා. 

“ඒ සිප්පි කට්ටෝ! මෙහෙ වරෝ! බොම්බිලියෝ, ඉක්කන්ට වරෝ!” 

කොට වරලෙ මාමා එන වේගෙකින් එන්නෙ නැතෑ කියලා සාරියා ආයෙමත් ප්ලේටියා නැන්දා පස්සෙ වැටුණා. කොට වරලෙ මාමා නොන්ඩියට පීනද්දි එයාවත් පහුකරගෙන ආපු සිප්පි කට්ටයි, බොම්බිලියයි සාරියාට කිට්ටු වුණා. 

“මොකද සාරියො වලියක් ද? කවුද ඩෝ අපේ සාරියා මල්ලිට ගේම ඉල්ලපු එකා. කපනවා පෙත්ත පෙත්ත ඩෝ! මාළු කපනව වගේ තමයි ඈ!” සිප්පි කට්ටා කොරපොතු අස්සෙ  ගහගෙන හිටපු බිලී කොකු දෙකක් එළියට අරගත්තා. 

 

“නෑ! නෑ! සිප්පි අයියෙ. අර බලහන්කො අර! ප්ලේටියා නැන්දාට මොකක් හරි හදිස්සියක්. මං මේ දුවන්නෙ මොකද බලන්න.” සාරියා කියන්නෙ කතාවටවත් ගමන නතර නොකර. මොකද එන්න එන්නම පීනිල්ල අසීරු වෙනවා. මේ ඉසව්වට වැඩිය කවුරුත් එන්නෙ නෑ. ටැංකියේ බටහිර කෙළවරටම දැන් කිට්ටු වෙලා වෙන්න ඕනෙ. ඒ තරම් ඕසෙට හයිඩ්‍රිල්ලා වැවිලා. වලිගෙ හිරවුණොත් ආයෙම ගැලවිලා යනවා බොරු. 

“ඒ අර බලහංකො ඒ අස්සෙ අන්න ටෙට්‍රා මහත්තයායි ටැංකි සුද්දයි කොට වරළෙ මාමා පස්සෙ වැටිලා!” බොම්බිලියා ගොළුබෙලි කට්ටකින් හදලා තිබ්බා හීනි දිග කඩුවකින් හයිඩ්‍රිල්ලා ගාල කපලා පාර හදාගන්න ගමන් ඔත්තු බැලුවා. 

“අනේ…. මගෙ පුතේ! ආයියියියෝ මාගේ පුතේ!” ප්ලේටියා නැන්දගෙ විලාපෙට හයිඩ්‍රිල්ලාවත්තම දෙදරලා ගියා. 

“ප්ලේටියා නැන්දේ! මොකද මොකද මේ?” ප්ලේටියා නැන්දා විලාප දෙන්නෙ මොකටද කියල සාරියට හිතාගන්න බෑ. 

“අනේ අර බලාපං පුතේ! අර අපේ පොඩි එකා!” ප්ලේටියා නැන්දා හයිඩ්‍රිල්ලා ගාලෙ ඉහළම කෙළවර පෙන්නුවාම තමයි සාරියාව උඩ විසික් වුණේ. 

“යකෝ රතු පැටියා නේද! ඒ පොඩි එකෝ! බැහැපිය බිමට පරයා!” සාරියාට උන්හිටි තැන් අමතක වුණා. රතු පැටියා ප්ලේටියා නැන්දගෙ බාලම කොලුවා. ඌ නාහෙට අහන්නැති නසරානියෙක්. වත්තෙ එවුන් නම් කියන්නෙ ඌ ප්ලේටියා මාමාගෙ එකෙක් නෙමේ කියලා. ඒක නම් ඇත්තටම වෙන්න පුළුවන්. ප්ලේටියා මාමා හරිම ඈලිමෑලියි. වතාවක් හයිඩ්‍රිල්ලාවත්ත සුද්ද කරන වතාවක ඔය ප්ලේටියා නැන්දාව කොහේද බේසමකට දාලා තිබ්බලු ටික දවසකට. ආපිට හයිඩ්‍රිල්ලා වත්තට එද්දි ප්ලේටියා නැන්දා බඩින්ලු කියලා සාරියගෙ ලොකු අම්මා, සාරියාච්චි එක්ක මොන මොනවද කියනව සාරියට ඇහිලා තියෙනවා. හඩ්‍රිල්ලා ගාලෙ ඉහළටම පීනලා හිටපු රතු පැටියා වීදුරු ටැංකියේ කෙළවර උඩ පනිමින් හිටියා. 

“ආනේ මයෙ පුතේ! බැහැපං කොලුවෝ මං කියන දේ අහලා… උඹ හොඳ එකානේ….” ප්ලේටියා නැන්දා ඒ අස්සෙ දිගටම විලාප දෙනවා. 

“රතු පැටියා කොලුවෝ! මේ අම්මා කියන එක අහලා ඔතනින් බැහැපං මයෙ පුතේ!” කොට වරළෙ මාමා පිංසෙණ්ඩු වුණා. මොන! රතු පැටියා නෙමෙයි හැරිලාවත් බැලුවේ. ඇට්ටරයා හති දම දම දිගටම උඩ පැන්නා. වීදුරු ගැට්ටෙ වැදිලා දෙපාරක් ඇදගෙන වැටුණා. ඒ හැපුණු පාරට සීරුමක් කැපුමක් නැතිවෙන්න විදිහක් නෑ. 

“ඈ බං ප්ලේටියා හාමිනේ, මොකද මේ රතු පැටියා ටැංකිය කෙළවරට වෙලා උඩ පනින්නෙ? ඌ දන්නෙ නැද්ද එහාපැත්තෙ ටැංකියෙ ඉන්නෙ අර මාළු ගිලින වසවර්ති ඇලිගේටරයා කියලා?”එහෙම ඇහුවෙ ගරු කටයුතු ටෙට්‍රා මහත්තයා. එයා තමයි හයිඩ්‍රිල්ලා වත්තෙ මුලාදෑනියා. 

“අනේ ටෙට්‍රා මහත්තයෝ මේ අපේ අවලං ලොකු එකී අපේ පොඩි එකාට ඊයෙ රෑ කතන්දරයක් කියලා. මූ මේ ඒකෙ ඇත්ත නැත්ත බලන්න තමා හොරෙන් ගෙදරින් පැනලා මේ අස්සෙ රිංගල තියෙන්නෙ…” ප්ලේටියා නැන්දා ඉකි ගහනවා.  

“කතන්දරයක් කිව්වාය කිව්වෙ?”

“අනේ මහත්තයෝ අපේ එකී මේ මොකද්ද මාළු පැටව් රංචුවක් මකර දොරටුවෙන් පැන යනවා කියල කතන්දරයක් කියලා දීලා. රතු පැටියා අහලා මකර දොරටුව කොහේද තියෙන්නෙ කියලා….”

“ඉතින්…ඉතින්..” ටෙට්‍රා මහත්මයා හූමිටි තිබ්බේ රතු පැටියා දිහා ඇහැ ගහගෙනමයි. 

“ඉතින් අපේ පරට්ටී කියල මකර දොරටුව තියෙන්නෙ ටැංකියෙ කෙළවරේය කියලා…. ඒ මදිවට මකර දොරටුවෙන් එහා පැත්තෙ ඉන්නෙ භයංකාර මකරෙක් කියලත් මේකි කියලානෙ මහත්තයෝ…… අනේ….. අයියෝ!!! කවුරුත් නැද්දෝ….. මගෙ පැටියෝ…. බැහැපං පුතේ….” ප්ලේටියා නැන්දා ආයෙම විලාපෙ පටන් ගත්තාම ටෙට්‍රා මහත්මයා පස්සට විසික් වුණා. 

“එතකොට දැන් මූ මේ මකර දොරටුවෙන් පනිනව කියල හිතාගෙන ද අර ඇල්ගේටරයාගෙ ටැංකියට පනින්න හදන්නෙ?”  බොම්බිලියා නිකට අතේ ඔබා ගත්තා. 

“ආනේ…ඕව්ව්ව්ව් පූතේ….” ප්ලේටියා නැන්දා ඉකි ගහ ගහ මොර දෙනවා. “මං කොච්චර කිව්වත් එහා පැත්තෙ ඔන්නෙ සම්බෝලයා පූසාගෙ හොම්බ කාපු ඇලිගේටරයා කියලා මූ විශ්වාසෙට ගන්නෙම නෑනෙ පුතේ…. ඉන්නෙ මකරෙක්මලු! මකරව බලන්න ඕනෙමලු! අනේ මගෙ පුතාව බේරලා දීපන් පුතේ…..” 


READ MORE : 

https://www.manthrana.com/2021/06/24/hydrilla-garden/


 

 


Saturday, June 19, 2021

ලිලිත්ගේ අභිනිෂ්ක්‍රමණය සහ ස්ත්‍රිය යක්ෂාරෝපිත කිරීම – ලිපිය I

 

ඕ හරිත වර්ණ දිලිසුම් ඇස් ඇත්තීය. ස්වර්ණ වර්ණ මුහුලැත්තීය. ඕ මුල්ම ගැහැනිය ය.  ආදම්ගේ මුල් බිරිඳ ය. ඕ නිදහස සොයා ඒදන් උයන අතැර අඳුර වැළඳගත්තීය. සහස්වස් ගෙවමින් එකලාව මිහිමත සරන්නීය.

ලිලිත් කියන්නෙ කවුද කියල අන්තර්ජාලයෙන් සොයා බැලුවොත් ඕනෙම කෙනෙක්ට පහසුවෙන්ම එළඹෙන්න පුළුවන් නිගමනය තමයි ලිලිත් කියන්නෙ යක්ෂණියක් කියන එක. ඇය පිරිමින් මුලා කරන්නියක්, පොළඹවා ගන්නියක්, මන්තරකාරියක්, එසේත් නැතිනම් කුඩා දරුවන් කා දමන්නියක් කියාත් ඒ හඳුන්වා දීමට ඇතුලත් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ලිලිත් යක්ෂණියක් ද?  මානව ශිෂ්ටාචාරයේ වසර හාරදහසකටත් එපිට පුරාවෘත පෙත්මග දිගේ විසි එකවෙනි ශතවර්ෂය තෙක්ම ලිලිත් එන්නෙ ඉතාම දීර්ඝ සහ වෙහෙසකාරී ගමනක්. ඒ ගමන්මඟ පුරාවටම ඇයට එරෙහි වන්නන්, කෙනෙහිලිකම් කරන්නන් සහ ඇයව ඔවුන්ගේ මිනුම්දඬුවලින් අවබෝධ කරගන්නන් අපමණයි.

නමුත් ලිලිත් හා ආලයෙන් වෙළෙන කතාකරුවන්, ලියන්නන් සහ සිත්තරුන් ආදී සෞන්දර්යවාදීන් කාලාන්තරයක් තිස්සේ ඈ කියවාගැනීමට උත්සාහ දරනවා. පසුකාලීනව පුනරුද අවධියේත් කාන්තා විමුක්ති අරගලයේ දෙවැනි රැල්ල කාල සීමාවේදීත් ලිලිත් ප්‍රතිකියවාගැනීම්  කිහිපයක්ම සිද්ධ වෙනවා. සාරම්භයේ යක්ෂණියක් ලෙස උපත ලබන ලිලිත් අද වන විට නිදහස් ස්ත්‍රී නිරූපණයේ සලකුණක්, එතනිනුත් ඉදිරියට ගොඩනැගී පොදුවේ රාමුගත චින්තනයන්ට එදිරිව පෙළගැසෙන ස්ත්‍රී හා පුරුෂ නිදහස් අරගලකරුවන්ගේ අනුප්‍රාණයකුත් බවට පත්වන්නේ ඒ විදිහටයි.


 

Read me more at Manthrana :

https://www.manthrana.com/2021/06/11/lilith/

 

Sunday, June 13, 2021

ළැම පෙන්වා ළය සඟවන ළඳුන්





 
ශ්‍රී ලංකාව තුළ ගණිකා ව්‍යාපාරය නීතිගත කළ යුතු ද නැද්ද කියන එක ලොකු සමාජ කතාබහකට සහ විවාදයකට තුඩු දෙන කාරණාවක්. නීත්‍යානුකූල නොවුනත් ලංකාවේ ගණිකා ව්‍යාපාරය සිදු කෙරෙන බව කවුරුත් දන්නවා.  දැනට ලංකාවේ ගණිකාවන් කොපමණ ප්‍රමාණයක් ඉන්නවද කියලා හරියටම කියන්න ඒ පිළිබඳ කිසිම විදිහක නිවැරදි සංගණනයක් සිද්ධ වෙලා නැහැ. එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ 2014 වසරේ වාර්තාව අනුව ශ්‍රී ලංකාව තුළ ගණිකාවන් 35,000-47,000 අතර ප්‍රමාණයක් සිටිනවා. නමුත් 2010 වසරේ සිදු කරන ලද විවිධ අධ්‍යයනයන්ට අනුව ඒ කාලය වෙන විටත් ගණිකාවන් 40,000 අධික ප්‍රමාණයක් ලංකාවේ ඉඳලා තියෙනවා. ඒඩ්ස් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ වැඩසටහනට විසින් 2010 වසරේ සිද්ධ කරන ලද සිතියම්ගත කිරීමකට අනුව කොළඹ ආශ්‍රිතව ගණිකාවන් 8,332කුත් යාපනය ආශ්‍රිතව ගණිකාවන් 7000 පමණත් සිටිනවා.  නීත්‍යානුකූල නොවෙන ආකාරයට ගණිකා ව්‍යාපාර පවත්වාගෙන යාම නිසා විවිධ ලිංගාශ්‍රිත රෝග බෝවීමේ සිට ගණිකාවන් ආර්ථිකමය සහ කායිකමය හිංසාවන්ට ලක්වීමේ ප්‍රවණතාව දෙගුණයකින් වැඩි වෙන බව තමයි ගණිකා ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුල  නීතිගත   කළ යුතුය කියන ස්ථාවරයේ ඉන්න සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ.  



ශ්‍රී ලංකාවේ තත්ත්වය එහෙම වෙද්දි, ගණිකා ව්‍යාපාරය සහ විශේෂයෙන්ම ගණිකා ව්‍යාපාරය ඉලක්ක කරගත් සංචාරක ව්‍යාපාරයක් තිබෙන රටවල් බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. මේ අතරින් ගැම්බියාව, කැරිබියන් දූපත්, තායිලන්තය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, පිලිපීනය සහ කැම්බෝඩියාව ඉදිරියෙන් ඉන්නා රටවල් කිහිපයක්. ලෝකයේ මුස්ලිම් සම්භවයක් තිබෙන රටවලින් දකුණු ආසියාතික රටක් වන  බංගලාදේශය ගණිකා ව්‍යාපාරය නීතිගත කර තිබෙන රටක්.   බංගලාදේශයේ ගණිකා වෘත්තිය නීත්‍යානුකූලයි. නමුත් ඔවුන්ගේ ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ සූදුව සහ ගණිකා ව්‍යාපාරය පිටුදකිනා බවයි. ලෝකයේ තිබෙන විශාලම ගණිකා මඩමක් කියලා ගණන්  ගැනෙන දව්ලට්දියා කියන ගම්මානය පිහිටලා තිබෙන්නේත්   බංගලාදේශයේ රාජ්බාරී කියන දිස්ත්‍රික්කයේයි. මේ ගම්මානයේ දිනකට ගණිකාවන් 1600ක් පමණ දිවා රාත්‍රී කාලයේ සේවය කරනවා. ඔවුන්ගේ දෛනික පාරිභෝගික සංඛ්‍යාව දළ වශයෙන් 3500-4500 ක් පමණ වෙනවා. මෙම ගම්මානයේ සිටිනා සමහර ගණිකාවන් එහි සිටි ගණිකාවන්ගේම දරුවන්.  බංගලාදේශයේ ගණිකාවක් ලෙස ලියාපදිංචි විය හැකි අවම වයස අවුරුදු 18ක් වුවත් වයස අවුරුදු 16 සහ 14 වයසේ පසුවන දැරියනුත් විවිධ ජාවාරම්කරුවන් විසින් පැහැරගෙන විත් සේවයට යොදවන බව වාර්තා වෙනවා. දව්ලට්දියා ගම්මානයේ සිටින ගණිකාවන්ගෙන් බහුතර පිරිසක්  නීත්‍යානුකූල වයසට වඩා අඩු බව එම ප්‍රදේශවල සේවයේ නිරත වන සමාජ ක්‍රියාකාරීන් පවසනවා. මේ දව්ලට්දියා ගම්මානය අයිති බංගලාදේශයේ ඉතාමත් පොහොසත් පවුලකට බවත් එම පවුලට මේ ගම්මානය බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ පටන් අයිතිව තිබුණු එකක්  බවත්   සඳහන් වෙනවා. බංගලාදේශයේ ගණිකාවක් වීමට නම් අදාළ ප්‍රාදේශීය පොලිස් ස්ථානයෙන් ඒ සඳහා අදාළ පෝරම පුරවා, තමා වයස 18ට වැඩි බවත්, ස්ව කැමත්තෙන් මෙම වෘත්තීයට එළැඹෙන බවත් සහතික කොට, ලියාපදිංචි ගාස්තු ගෙවිය යුතුයි. බාලවයස්කාර දැරියන් ලිංගික මෙහෙකාර සේවයේ යොදවන අය පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දී වයස වැඩියෙන් පෙන්වා අදාළ ලියාපදිංචිය ලබා ගන්නවා.

READ me MORE with Manthrana : 

https://www.manthrana.com/2021/05/26/prostitution-in-sri-lanka/

Sunday, June 6, 2021

සම්බෝලයාගේ කොරෝනා දිනපොත


 


අද 

කුරුමානං අප්පුහාමිලාගේ දොන් ඉඟුරු පාට සම්බෝලයා වන මාගේ ජීවිතය මේ කොරෝනාව නිසා එහෙම් පිටින්ම බකල් වී ඇත්තේය. ලොකුම වදය වන්නේ ගෙදර ඈයින් වැඩට යන්නේ නැතිව ගේ අස්සට වී උඩ බලාගෙන සිටීමය. උදේ හතහමාරෙන් පස්සේ මගේම වෙන සැපට සැප සෝපාව ගෙදර දෝණියැන්දා බද්දට අරගෙනය. දවසම ඒ යෝදි මගේ සෝපාවේ දපා වැටී ස්මාට් ෆෝන් එක දිහා කට බලියාගෙන ඉන්නවා හැරෙන්නට වෙන කිසිම වැඩක් කරන්නේ නැත. පැත්තට මූණ හරව හරවා පොටෝ ගන්නා අතර වෙලාවකට මට ද පුදමාකාර වදයක් දෙමින් මගේ ද පොටෝ ගන්නවාය. මගේ පොටෝ ඔය සෝශල් මීඩියාවල තැන තැන එල්ලනවාට මම කොහෙත්ම කැමති නැති වුණත් ඤාව්ලන්තයේ බුද්ධිමය දේපොළ අයිතිය බල්ලාට ගොස් ඇති බව කියන්නේ ඉස්සරහ ගෙදර කළු කෝට්කාරයාය. කළුකෝට්කාරයාගේ ගෙදර ඉන්නේ බව්-බව් ටොමියාය. බව්-බව් ටොමියා නම් කියන්නේ ඌට කොහෙත්ම ඔය කියන වර්ගයේ දේපොළක් නැති බවය. තමා කොහෙත්ම බොරු කියන්නේ නැති බවත් ඒ වෙන නරක බල්ලෙකු විය යුතු බවත් බව්-බව් ටොමියා කීවේය. 

අද 

දිගටම පරිප්පුයි බතුයි කාලා ඇති වෙලාය. එක්කෝ මීයන්, හූනන් සහ කැරපොත්තන් නිරෝධායනය සඳහා කන්දකාඩු ගෙනගොස් තිබි‍ය යුතුය. අද එකෙක්වත් පේන්නවත් හිටියේ නැත. දෝණියැන්දාගේ ලැප්පොට් එකෙන් දෙමලිච්චෙකු රවටා ගන්නා ආකාරය ගැන බලාගන්නට පුළුවන් විය. හෙට එය අත්හදා බැලිය යුතුය.  හවස හොඳටම හෙන ගහ ගහ වැස්සේය. චූං-පාන් අයියාගේ ජෙට්ටෙක අල්ලා ගන්නට බැරි වීම නිසා අද උණු ජෑම් බනිස් කොටහ ද ලැබුණේ නැත.

අද  

නිදි බව පෙන්නා ලේනුන් රවටා ගැනීමට ඇති එකම හාන්සි පුටුවේ ඇලවී සිටින්නේ ගෙදර මනුස්සයාය. දවසේ වැඩි හරිය ගෙදර බලාධිකාරී මව්යානාවගේ උදහසට ලක්වෙන ගෙදර මනුස්පයා ගැන මට දුකය. වෙනදාට සිංහයෙක් මෙන් ටයිපටයි සූට්බූට් සැන්පවුඩර් දමාගෙන සිංහයෙක් මෙන් වැඩට යන ගෙදර මනුස්පයා මේ දවස් ටිකේම උදේට උදේට නැගිට පොල් ගාන්නටත්, උදුළු ගාන්නටත්, කුණු පුච්චන්නටත්, ලයිට් බල්බ් අලුත් කරන්නටත්, පරණ බෝතල් ගෝනිමළුවලට අඩුක් කරන්නටත්, වහළය සුද්ද කරන්නටත්, කුස්සියේ ඉඳුල් වතුර යන බටේ සුද්ද කරන්නටත් පටන් ගැනීම නිසා මට ඇත්තටම මේ කොරෝනා වසංගතය පිළිබඳ ඇති භීතිකාව හොඳටෝම වැඩි වී ඇත.  ලේනෙක් අල්ලාගැනීමට අලුත් ක්‍රමයක් සොයාගත යුතුය. ගෙදර මනුස්පයා ඉන්නේ මට වඩා අසරණ අඩියකය. 


Read more at : 

https://www.manthrana.com/2021/06/02/dairy-book/



#කොරෝනාවෛරසය  #කොරෝනාවෛරසයගැන #පූසාගැනවිස්තර
#catdiary

Friday, September 18, 2020

ශේක්ස්පියර්

ශේක්ස්පියර් තනිකරම මුරණ්ඩු ඩෑල් එකකි. හෙනම ලොකු සීන් එකේ සිටිය ද අහිංසකයින්ට ශේක්ස්පියර්ගෙන් කිසිම කරදරයක් නැත. උඩ කරණම්, බිම කරණම් ඇතුලු සියලු වර්ගයේ ජිම්නාස්ටික් සහ සර්කස් කිරීමට උපන් හපන්කමක් ඇති ශේක්ස්පියර් ඉඳහිට බෙල්ල උලුක්කු වෙන පිමි නොපනින්නේ ද නොවේ. ශේක්ස්පියර් කන්නට ආසාම කඩල ය. නැතිනං ගස්ලබුය. නිස්කලංකයේ සිටින විට කොහේ හෝ මුල්ලකට වී හැලහොල්මනක් නැතිව ඉන්නා ශේක්ස්පියරයා කවුරුන් හෝ අහලින් පහලින් යන විට ඇස් රවුම් කරමින් සීසීටීවී පාරක් දමා ඒ කවුදැයි විමසා බලයි. උදේ හිට කංකුං ද මුකුණුවැන්න ද හිටු කියා ගිල දමයි. අඩි එක හමාරක් තරම් වූ දිගින් ද වියතක් තරම් පළලින් ද යුතු ශේක්ස්පියරයා ලා කහ පැහැයකට හුරු ජයන්ට් ගුරාමියෙකි. අපේ සිංහලෙන් කිව්වොත් "ජෑම් ගුරාමියෙකි."


ශේක්ස්පියරයා දඩබ්බරයෙක් වුව ද හැකි තරම් සමකාමීව ජීවත් වන්නට උත්සාහ කරන්නෙකි. ඉඳහිට ටැංකියේ ඉන්නා අනෙක් මොකෙක් හෝ පොල් කාවයියෙක් මැදිහත් වී ගිල දමන මාළු පැටවුන් වැටෙන්නේ ශේක්ස්පියරයාගේ ගිණුමට ය. තමන්ගේ කෑම පංගුව හොරා කෑමට එන  කාප්ලා එක්ක හැරුණු කොට ශේක්ස්පියර්ට කා එක්ක හෝ ආරෝවක් නැත. කොයිතරම් කේන්ති ගියත් අනෙක් මාළුන්ව නමට පමණක්ම බය කිරීමෙන් සැනසෙන ශේක්ස්පියරයා ඉඳහිට උන්ට නක්කලේ දමයි. හෙන වේගයෙන් පීනා ගොස් කාප් රංචුව මැදට කඩා පනී. උන් සීසී කඩ විසිරී හතිමුනින්දාගෙන පැන යන විට උන්ගේ නගුටු අල්ලා ගැනීමට පස්සෙන් එළවයි. එසේ කෝචෝක් දැමිල්ල එපා වූ විට  කාප් රංචුව පාකින් දමාගෙන සිටීමට ආසාම මුල්ල ආක්‍රමණය කර එය අත්පත් කරගනී. උන්ට පළාතටවත් එන්නට නොදෙයි. තැන් තැන් වල සරණාගතයින් බවට පත් වී සිටින කාප්ලා ශේක්ස්පියර්ට මේ සෙල්ලම එපා වෙනතෙක් ටැංකියේ එහාටත් මෙහාටත් සවගායං වෙයි. කාප් සෙල්ලම එපා වූ පසු ශේක්ස්පියරයා එයාගේ සුපුරුදු වාසස්ථානයට සේන්දු වෙයි. ඒ ටැංකියේ ඇති විශාල වීදුරු ෆිල්ටරය අසලටය. පොඩි කාලේ ඉඳන් වීදුරු ටැංකියක හැදුණු නිසා, සිමෙන්ති ටැංකියේ වුව ද ශේක්ස්පියරයා ඉන්නේ වීදුරුවක් තියෙන ඉසව්වකය. ශේක්ස්පියරයා වෙලාවකට කොතරම් වේගයෙන් පීනනවා ද කියතහොත් බ්‍රේක් ගසා ගැනීමට බැරි වූ විට දඩස් කියා ෆිල්ටරයේ හොම්බ ඇනගෙන චොපර වී සිටී. ටැංකියේ උඩටම වතුර පුරවන එක තරම් ශේක්ස්පියරයාට අන් සතුටක් නැත. ඒ වෙලාවට ටැංකියේ බිත්ති කණ්ඩිය උඩ වාඩි වෙන ඕනෑම කෙනෙකුගේ පස්සා පැති වලට හොම්බෙන් ඇණීමටත්, ඔවුන්ව බය කිරීමටත් ශේක්ස්පියර්ට ඇත්තේ පුදුමාකාර ආසාවකි. ටැංකියට එබෙන මුහුණු වලට ද, එහෙන්මෙහෙන් දාන අතපය වලට ද ශේක්ස්පියරයා කඩා පනින්නේ කොටි හපුවෙකු මෙනි. 
 
වැරදිලා හෝ තමාට අවධානය නොදී ටැංකියේ සිටින අනෙක් මාළුන් දෙස බලයි නම්, නැත්නම් ෆිල්ටරය සුද්ධ පවිත්‍ර කරයි නම් ශේක්ස්පියර්ගේ පශ්චාත් භාගයේ ලොකු ඉත්තෑවුන් දෙතුන් දෙනෙකු දුවන්නට පටන් ගනී. ඒ වෙලාවට කොහොමින් හෝ එතැනට පිහිනා එන ශේක්පියරයා තමන්ගේ නම් ලකුණු කරවා ගැනීමට උත්සාහ දරමින් කොහොමින් හෝ ඒ වැඩය අල කර දමයි. බිත්තියේ සිට වතුර වෙත ඇදෙන කුඩා අල කොළ වැල් උඩ පැන කා දමයි. කොටින්ම කිව්වොත් කටට අසුවෙන පරිමාණයේ ඕනෙම පැලයක් ඇත්නම් එය එක්කෝ එහාටත් මෙහාටත් ඔලුවෙන් තල්ලු කරගෙන සෙල්ලම් කරයි, නැතහොත් කා දමයි. අමාරුවෙන් හිටවා ගත් රම්පෙ ගහේ ද දැන් කොළ දෙක තුනක් හප කර අවසන් ය. ඒ රම්පා කොළ කන්නේ තැම්බූ කවුපි, කඩල, අර්තාපල්, ගස්ලබු, කොමඩු වැනි යහමින් ගුණ සපිරි කෑම වට්ටෝරුවක් ගිල දැමීමෙන් අනතුරුවය. ඒ තනිකරම අලුකුත්තේරුකමටය. ඉස්සෙක්, අමු හාල්මැස්සෙක්, බිත්තර කෑල්ලක් කටේවත් තියන්නේ නැති උපාසක ශේක්ස්පියරයා රටකජු කන්නට ද ආසාය. හක්කේ ඈතින් පිහිටි ඇඹරුම් දත් දත් වලින් අපූරුවට රට කජු ඇට පොඩි කර කා දමන ශේක්ස්පියරයා පුහ් කියා රටකජු ඇටයේ පොත්ත අපූරුවට බේරා පිටතට දැමීමට ද හපනෙකි.

ටැංකිය පිරිසිදු කරන වෙලාවට අල්ලා බේසමකට දැමූ පසු ශේක්ස්පියරයා ඉන්නේ එහෙමපිටින්ම බලු වෙලාය. වටේට වටේට කැරකෙමින් බකන්නිලාගෙන බඩ උලාගෙන ඉන්නා මේ හාදයා අත්දෙකෙන් උස්සා යළි ටැංකියට දානා තුරු පුදුමාකාර සංයමයක් දක්වයි. ඔළුව අතගානවාට හෙන පෙරේතකමක් දැක්වුව ද අඳුනන්නේ නැති කෙනෙකු හතරමායිමට නම් මේ හාදයා එනවා බොරුය. කන්න දෙන අයගේ අඩි සද්දයත්, කතාවත් හොඳ හැටියට නිච්චියක් ඇති ශේක්ස්පියර් ඒ කවුරුන් හෝ එන විට බල්ලෙක් මෙන් බුරන්නේ නැති ටික විතරය. සීතල, කොළ පාට වටපිටාවේ පිරිසිදු ටැංකියක ජීවත් වෙන ශේක්ස්පියරයා පොඩ්ඩක්වත් කම්මැලි නැති, නෙස්ටමෝල්ට් ඇඩ් එකකට වුණත් ගැනීමට සුදුසුකම් ඇති තරමේ ක්‍රියාශීලී හපුයියෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "ජෑම්" ගුරාමියෙකි. කොතරම් බලා හිටියත් කම්මැලි හිතෙන්නේ නැති අපූරු සජීවී නාට්‍යයකි. 
 
 
                        *Shakespeare, the Giant Gourami