Tuesday, January 16, 2024

හදවත් ආමාන




දුම්රිය කියන්නෙ කුඩා කාලයේ පටන්ම මට අධි යථාර්ථවාදී හැඟීම් සමුදායක් ගෙන ආපු විස්මකාරකයක්. ලා කොළ පාට තණ පිට්ටනියක් වසා පැතිරුණ දිලිසෙන සූර්යය පැනල ඇස් නිලංකාර කරද්දි ඒ දිහා ගුවන් යානයේ ඉඳන් බලද්දි මට දැනුණ හැඟීමටත්, නියොන් ලයිට්, උච්චම ශබ්දයෙන් වාදනය වෙන විලාප-ලව් සිංදු, තෙලිඟු ෆිල්ම්වල ඉන්න නළුවො වගේ කඩවසම් රියදුරු තරුණයන් එක්ක පියාඹන බස් රථවල යමින් මම ලබන ආස්වාදයටත්, වෙරි වෙලා එහෙට මෙහෙට පැද්දෙන කැප්ටන් ජැක් ස්පැරෝ ලීලාවෙන් නැවේ ඩෙක් තට්ටුව මත ඇවිදිද්දි දැනුණු හැඟීමටත් වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අධි මායාකාරී හැඟීමක් මට කෝච්චියක ගමනක් යද්දි දැනෙනව්වා. ඔව්, මම දන්නවා නිතර දෙවේලෙ සාරි පොටවල්වලින් රැක් එකේ එල්ලිලා, උල් ස්ත්‍රී පාවහන්වල උදහසට ලක් වෙලා කෝච්චියෙන් වැඩට යන කෙනෙක් නම්, ඔයාට හිතෙයි මේ ගෑනිට පිස්සුඩ කොහේද කියල. ඒත් එහෙම කෙනෙක්ගෙන් වුණත් මම ඇහුවොත් එහෙනම් ඔය කෝච්චි ගමන වෙනුවට බස් එකක යන්න බලන්න කියල, ඒ කොයි කවුරුත් හැකිළෙන්නෙ හැකරැල්ලො වගේ. කෝච්චි ගමන් කියන්නේ හොඳට හෝ නරකට දෙකටම හරි "ආතල්" අත්දැකීමක්. සරලවම කිව්වොත් සෝ ශ්‍රී ලංකන් එක්ස්පීරියන්ස් එකක්.


Book title: සබරගමුව දුම්රිය (The Sabaragamuwa Railway) 

Author : Rasika Wickramanayake 

Available online  https://grantha.lk/


අපේ ගෙවල්වලට කිට්ටුම වේයන්ගොඩ ස්ටේශන් එකට යන්න මට බස් දෙකක කෙටි දුරවල් දෙකක් යන්න ඕනෙ. ඒ කාලෙ ඉස්කෝලේ ශිෂ්‍ය නායක පට්ටම් අරගෙන පිදුරු අදින කාලෙ. ඉතින් අපි පාන්දර පහමාරෙ කෝච්ච්යට දුවන්නෙ ඒක ඉස්කූල් වෑන් එකට කලින් මරදානට ලෑන්ඩ් කරන හින්දා. පාන්දරම ඉස්කෝලෙ ගියා විතරක් නෙමෙයි, ආෆ්ටර් ස්කූල් ඉඳලා මරදානෙන් බැහැලා එතන ඉඳන් ස්ටේශන් එකට අපි දිව්වෙ ඔලිම්පික් දුවන්නැහේ. ඒ දිව්වෙ හයට මහව කෝච්චිය අල්ලගන්න. මහව කෝච්චිය කියන්නෙ වෙනම උප සංස්කෘතියක්ය කියන්න අපි තේරුම් ගත්තෙ ඒ කාලෙමයි. කට්ටියක් ගායනාව, තව කට්ටියක් සූදුව, තවත් කට්ටිය වාද ව්වාද, මුල්ලක දෙකක ප්‍රේම ජවනිකා, පස්චාත්භාග මිරිකීම්, තෙරපීම්, පවුල්කෑම් යනාදී එකීමෙකීනොකී සංසිද්ධීන් සියල්ල එකවර සිදුවෙන ගමනාගමන සංස්කෘතියක්.

අම්මලා ද තාත්තලා ද රජයේ සේවකයන් වීමේ ආනුභාවයෙන් වොරන්ට්ස්වලින් විවිධ වර්ගයේ සුවිසැරි යාමේ කලාව ද කුඩා කාලේ පටන් මට ලැබුණු වරප්‍රසාදයක්. ඒ ගිය ගමන්වලින් සුන්දරම ගමන කොළ පාට, සුදු පාට ගාපු, මෝස්තර තිබුණු නිල් පාට වෙල්වට් කවරවලින් හැඩවුණු කැරකෙන ආසන තිබුණු "හිතාචි කෝච්චියෙන්" ලෝකාන්තයට ගිය  ගමන. අද රැල්ලට ඇල්ල යනවා වගේ ඒ කාලෙ මේ හිතාචි කෝච්චියේ ගමන හරිම ජනප්‍රියයි. මට තාමත් මතකයි ඔන්න පට්ටිපොළ, ඔන්න ඉදල්ගසින්න කියලා අපේ අම්මා මට ගමන් විස්තර කියනවා. ඒ මතකය කොයිතරම්ද කිව්වොත් හිතාචි කෝච්චියෙන් නැගපු බැහැපු හැටි පවා තවම මතකයි. 

ඉතින් මේ සේරම නොස්ටැල්ජික කෝච්චි මතක මාව පෙළන්න ගන්නේ රසිකගේ සබරගමුව දුම්රිය කියන හුරුබුහුටි පොත කියවන අතරේ. කෝච්චියට වෙළඳාමේ එන කඩලකාරයින්, වඩේකාරයින්, සිංදු කියන්න පුළුවන් ගායකයො, සිංදු කියන්න බැරි ගායකයො, තෙල්බේත් විකුණන අය, ලිතයි පොතයි බෝධිපූජා කවි විකුණන අය, පින්තූර සීයයි, ලංකාවෙ සිතියමයි, තුන්සීයට ළමා පොත් පහයි, ලොවෙත් නැති සාමාන්‍ය දැනුම පොතුයි, ඔබ චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන්න පුහුණු කරවන පොත් කඩ්ඩෙන්ම ප්‍රමෝට් කරන මොඩර්නයිස්ඩ් විකුණුම්කරුවොයි ඇවිත් මගීන්ට කරදර කරනවා වගේ, මේ දුම්රිය මතක පොත කියවන පිටුවක් පිටුවක් ගානේ කෑකෝගහමින් මගෙ හිස වටා බමණය වුණා. ඒ දැනුණ හැඟීම ඉස්කෝලෙ කාලෙ ඊයම් කොළෙන් ඔතපු අයිස් චොක්ස් කනකොට දැණුනා වගේ හර්‍රිම තෘප්තකර ආස්වාදයක්. 

යාළුවෙක් නෙමෙයි සක්කරයගෙ පුතා වයිමා පොතක් ලිව්වත්, කික් එකක්, ඒ කියන්නේ ඒ පොතෙන් මාව කුමන හෝ ආකාරයක හැඟුම්-සරතැසක ගිල්වන්නේ නැතිව මට පොතක් පිළිබඳව අදහසක් බෙදාගන්න බැහැ. පොතක අර පිටුවේ ඇති මේ වාක්‍ය සාහිත්‍යයේ හයිපර්-ඩොග්මැටික් ඌනතාංශයේ කෙළවර දක්වා ගෙනගොස් කැටිවැම්පස් ද්‍රෝණියෙන් මූදට ගෙනගියා වගේ විචාර ලියන්න  මට කොහෙත්ම හැකියාවක් නැහැ. ඒ නිසා ඒ පොතෙන් මාව සමස්ත ලෙස කෙතරම් කළඹන්නේ ද, ලිවීමට, ඒ ගැන අදහසක් ප්‍රකාශ කිරීමට පොළඹවන්නේ ද, සරලවම ඒක මොනතරම් මෝහනයකට මාව හසු කරගන්නවා ද කියන එක හරිම වැදගත්. රසිකගේ සබරගමුව දුම් රිය  කියන්නේ ඇකඩෙමික ආරයේ පර්යේෂණාත්මක ලිවීමක් නිසා ඒ වගේ හැඟුම් කැළඹීමක් සිදුවේවිය යන්න අනපේක්ෂිතයක් වුණා. ඒත් පෙරවදනේම ලේඛකයා මෙන්න මෙහෙම කියනවා:

"සබරගමුවේ පුංචි කෝච්චිය මගේ හදවත සොරා ගත්තී, ඈ අප හැර නික්ම ගොස් වසර හතකට පසුව, 1984 වසරේදීය. එවකට මා සය වියැති කොලුවෙකි. මගේ මවගේ මුල් නිවස පිහිටි අයගමට මාවත වැටී තිබුණේ රත්නපුර ලංගම බස් නැවතුම්පළ හරහාය. එකල ලංගම බස් නැවතුම්පළ යනු දුම්රිය අත්හැර ගොස් තිබූ රත්නපුර දුම්රිය පළයි. දුම්රියත්, රේල් පීලිත් හැර අන් සියල්ල එහි විය. ලී වඩිම්බු වහල සහිත දුම්රිය වේදිකාව, වසා දැමූ බඩු ගබඩාව, නඩත්තු මඩුව, දිය කුලුන ආදිය එලෙසින්ම විය. අත්හැර දැමූ ගල් අඟුරු හෝ වෙනත් කළු පැහැති ගල් ගොඩක්ද මගේ මතකයේ ඇත. එම ගොඩනැගිලි එසේම තිබියදී දුම්රිය පමණක් නොමැති වීම මගේ කුඩා සිත සසල කළ සිදුවීමක් විය.

අන්න එතනින්ම මට දැනෙනවා මේක මේ පර්‍රයේෂණාත්මක ලියවිල්ලක් වුණත් මේක ඇත්තටම එක්තරා නවයොවුන්-ප්‍රේමයක් කියලා. ඉතින් මට මතක් වෙනවා ජේම්ස් ජොයිස්ගේ ඇරබි කෙටිකතාවේ කතා නායක වූ සිය යහළුවාගේ අක්කාට ප්‍රේම කළ නව යොවුන් ඉස්කෝල කොලුවාව. ඔව්, මට මතක් වෙනවා යුධ කාස්ටක අව්වේ මලීනාට ප්‍රේම කළ රෙනාටෝ නම් කොලුවාව. සබරගමුව දුම්රිය පිළිබඳව රසිකගේ හිතේ පහළ වුණු නවයොවුන් ප්‍රේමය තමයි මේ දැන් මැදිවියට පැමිණීමෙන් අනතුරුව වඩා විධග්ද ස්වරූපයෙන් පොතක් ලෙස එළිදැකලා තියෙන්නෙ. ඒක හරිම අපූර්වයි. හරිම ආදරණීයයි. මෙතනින්ම තමයි මේ පොත මගේ දුම්රිය මතක කිතිකවන්න ගන්නෙ. ඕනෑම ලිවීමක, ඇකඩෙමික වේවා ෆික්ශන් වේවා, ඒ හැම ලිවීමකම පණ ගැහෙන, මානවීය නිලය (Human Element) තමයි එය රසවත් සහ වැදගත් කරන්නෙ. සබරගමුව දුම්රිය අපේ හදවත් ආමාන තරයේ අල්වා ගන්නේ අපේ නොස්ටැලික අහුමුලු අවුස්සමින්.

රසික මගේ හිතවත් මිත්‍රය, සහසක් අභියෝග මැද සබරගමුව දුම්රිය ලියා ඔබ අපේ ශාස්ත්‍රීය ලිවීමට එකතු කළ මේ වස්තුවට හිත පත්ලෙන්ම ස්තූතිය. 

මේ පින්තූරුව ගත්තේ ඇබිත්තන් යුධ රැජිණට හාහාපුරා කියා කෝච්චි පෙන්වීමට සමඟ-කැටුව ගිය මොහොතේදීය. 

ඉතින් ඔබට ද මට ද තව බොහෝ අයට ද දුම්රිය ප්‍රේමයක්මය!

 


7 comments:

  1. පොත ගැන ලියලා තියෙන විස්තරය හරිම ලස්සනයි...ගොඩක් ලස්සනට ලියලා තියෙනවා...

    මේ පොත කියවන්න ආසා හිතුනා..ග්‍රන්ථ වෙබ් සයිට් එකෙන් මේක පීඩීඑෆ් විදිහට මිලදී ගෙන කියවන්න පුලුවන්ද? නැතිනම් මුද්‍රිත කොපියක් ද ඔවුන් ලබා දෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මුද්‍රිත පොතක් පමණයි නිකුත් වන්නේ. ස්තූතියි!

      Delete
  2. අයගම ගැනත් ලියන්න

    ReplyDelete
  3. ලංකාවේ කොච්චි ගමන් ඇත්තටම ලස්සනයි . මායි දුවයි මේ සැරේ යාපනේ ගිහින් ආවා. ඉස්සර වගේ හදිසියේ මග නතර වෙනවා අඩුයි

    ReplyDelete
  4. දුම්රිය ගමන් ‍ව‍ෙනම මිහිරක් ‍මවන යමක්!

    ReplyDelete