*පැන්ඩෙමික ආවේශයෙන් ලියවුණු හෝබෝ ටික්කාගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය "කාල"
තාරා විස්මයෙන් දෙබැම ඉහළට එසැවූවාය. “මට නම් හිතෙන්නෙ මෙච්චර කාලයක් ඔයා ඉඳලා තියෙන්නෙ ශිශිරතාරක නින්දක. මෙයාව දන්නෙ නැද්ද? මෙයා තමයි සුපිරි විද්‍යාඥ බ්‍රයන් කොරෙයා. දශක ගානක් තිස්සේ ඌරන්ගෙන්, වවුලන්ගෙන් බෝවෙන කොරෝනා වයිරස්වලට ස්ථීර ඖෂධයක් හොයා ගත්තු කෙනා.”
“ඉතින්?”
“ඉතින් එයා අන්තිමේදී අපට හෙම්බිරිස්සාවක්වත් හැදෙන එක සම්පූර්ණයෙන්ම නතර වෙන විදිහේ වැක්සීන් එකක් හැදුවා.... එයා බොහොම සංතෝශයෙන් මේ වැක්සීන් එක ලෝකයටම නොමිලේ බෙදා දෙන්නත් කැමැත්ත දුන්නා. වැක්සීන් එකේ අතුරුපල එන්න පටන් ගත්තෙ අවුරුදු අටක් දහයක් ගියාට පස්සෙ...”
“ඒ කියන්නෙ?” කාල හූමිටි අතරින් ඇසුවේය.
“ඒ වැක්සීන් එක නිසා හෙම්බිරිස්සාවක්වත් නොහැදුණු සමහර මිනිස්සු අන්තිමට අමුතු විදිහේ රෝගයකින් මැරෙන්න පටන් ගත්තා. සමහරු කියන විදිහට නම් වැක්සීන් එකට ඒ මිනිස්සුන්ගෙ ශරීර ඇතුළෙන්ම ප්‍රතිරෝධයක් නිර්මාණය වුණාලු. ඒ ප්‍රතිරෝධයෙන් එකපාරම එයාලගෙ පෙණහලු අක්‍රීය වෙලා ගල් ගැහෙනවාලු.”
“ඊට පස්සෙ?” කාල විමසුවේ තාරාගේ හැකුළුණු දෙබැම නොතකා හරිමිනි.
“ඊට පස්සෙ මේ අය සොම්බි වුණාලු. මුලින් මුලින් රටවල් හුඟක් මේ සොම්බි ලෙඩ්ඩු හැංගුවා. ලෝක සෞඛ්‍ය සංවිධානෙන් අපට අනතුරු ඇඟවීම එනකොට අපි ප්‍රමාද වැඩියි... මං දන්නෑ ඇයි මං ඔයාට මේ කතාව කියන්නෙ කියලා.... මෙහේ ඉන්න ඕනෙම පොඩි ළමයෙක් වුණත් ඔය කතාව දන්නවා.”
“ඔහ්... සමහර වෙලාවට මගේ මතකය ටිකක් අවුල් යනවා...” කාල ඉක්මනින්ම බොරුවක් ගෙතුවේය. “ඔයා මේ මනුස්සයා දිහා රවාගෙන බලපු විදිහට මං බය වුණා. මං හිතුවෙ ඔයා අඳුනන කෙනෙක් කියලයි.”
තාරා ඇගේ කුණාටු වැනි අළු පැහැති ඇස්වලින් කාලට එරෙව්වාය. “මම? මං ඒ මිනිහව අඳුනන්නෙ නෑ. මට එයාව අඳුන ගන්න ඇති වුවමනාවකුත් නෑ.”
තාරා එසේ කියාගෙනම මාකට්ටුවේ කෙළවර පිහිටි රාක්ක වෙත සීරුවට ගමන් කළාය.
තරුණිය තමා සමඟ කේන්ති ගත්තේ මන්දැයි කාලට තේරුම් ගැනීමට අපහසු විය. ගැටලුව වූයේ ඒ මොහොත වන විට කාල හට හරියට තේරුම් ගත නොහැකි සිද්ධි ගණනාවක් ඔහු වටා සිදු වෙමින් පැවතීමයි. සඟරාවේ හුන් සුපිරි විද්‍යාඥ බ්‍රයන් කොරෙයා දීප්තිමත් ඥානාන්විත දෑසින් කාල දෙස උපේක්ෂා සහගතව බලා සිටියේය. සියතෙහි වූ සඟරාව බිමට විසි කළ කාල එවැනි සඟරා දුසිම් කිහිපයක්ම පාගාගෙන මාකට්ටුවේ වම් බිත්තියට සවි කර තිබූ හුරුබුහුටි දොර ඉදිරියෙහි සිට ගත්තේය. රතු පැහැය පින්තාරු කළ ඒ හදිසි පිටවුම් දොර ලෝහ සහ දැල්වලින් නිමවී තිබිණි. හාත්පස වූ නිහැඬියාව වේගයෙන් පැතිරෙන ගන්ධයක් සේ අවකාශය යටත් කරගෙන තිබිණි. එහි වූයේ කෘත්‍රිම බවකි. ඉටි කොළයකින් තම මුහුණ ඔතනවා වැනි හැඟීමකින් කාල පෙළෙන්නට වූයේය. හුස්ම හිරවෙන්නට මත්තෙන් ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණීමට ඔහුට වුවමනා විය.
“තාරා.... අපි දැන් මේක ඇතුළේ හිටියා ඇති. අපි යමු.” කාල කීවේය. සිය කටහඬ ශාලාවේ හාත්පස දෝංකාර දෙනු හේ අසා සිටියේය. නමුත් තාරාගෙන් පිළිතුරක් ලැබුණේ නැත.
“තාරා?” එකවරම කාලගේ සකල ඉන්ද්‍රීන්ම ක්ෂණික උත්තේජනයකින් ක්‍රියාත්මක වන්නට ගත්තේය. ඉන් ඔහුගේ හුස්ම ද උගුර ද සිර වී ගෙන ආ සෙයකි. “තාරා! තාරා!” කාල පහත් හඬින් කතා කළේ ඉවෙන් මෙනි. එහෙත් කිසිවෙකුත් ඔහුට පිළිතුරු දුන්නේ නැත. කාල වහා මොබයිලයේ විදුලි ආලෝකය තාරා හුන් දෙසට එල්ල කළේය. අඳුර අතරින් කාලට දකිනට ලැබුණේ තුනී සුදු කඩදාසියක් තරම් සුදුමැලි වී ගිය තාරාගේ මුහුණයි. ඕ හුන් තැනම නොසෙල්වී සිටියාය. ඇගේ දෑස්, ලොඳවලින් පිටතට පනින්න තරම් විශාල වී ගොස්ය. ඈ කිටි කිටි ගා වෙව්ලන හඬෙහි තරංග සිය පිටකොන්ද ඔස්සේ ඉහළ නැඟෙන බවක් කාලට දැනුණි. තාරාගේ සුන්දර අළු පැහැති දෑස් සන්ත්‍රාසයෙන් ඇලළී ගොස්ය.
කාල තාරාගේ උරහිසින් එපිට බැලුවේය. දුසිමක් පමණ සොම්බීන් තාරා පසුපසින් නැඟී සිටියෝය. උන්ගේ ආත්ම රහිත දෑස් තාරා වෙත යොමු වී තිබිණි. උන්ගෙන් පිට වුණු කුණු මස් ගඳ කාලගේ නාසා පුටු අතරින් ගොස් උගුරේ සිර විය. සොම්බින් ගෙන් ඉතා පහත්, කනට ඇසෙන නෑසෙන තරමේ කෙඳරිලි ගෙරවුමක් නැගුණි. එකෙකු හෝ දෙදෙනකු තාරා වෙතින් දෑස් ඉවතට ගෙන කාල දෙස බලන්නට වූහ. කහ සහ කොළ ගැහුණු ඉදිමුණු මුහුණක් සහිත සොම්බියකුත්, මූණෙන් පදාසයක්ම ගැලවී එල්ලෙමින් තිබූ සොම්බියකුත් තාරාගේ ගෙල දෙපසට ඉව අල්ලමින් සිටියහ. උන් හෘදය ස්පන්දනයටත්, රුධිර නාල ඔස්සේ ලේ ගමන් කරනවාටත් සංවේදී බවක් පෙනිණි. තාරාගේ හුස්ම ‘කීස් කීස්’ කියා නිහඬියාව අතරින් නැඟී ආයේය.
‘මේකි අපේ... මේකි අපේ....’ සොම්බි මුහුණුවලින් පිළිබිඹු විය.
“තාරා...” කාල මිමිණුවේය.
“කාල....” තාරා අවසානයේදී කතා කළාය. “ඔයා පොරොන්දු වුණා....”
කාලගේ මුහුණ ඔස්සේ දහදිය මුගුරු කඩා වැටෙන්නට විය. හේ වෙව්ලන සුරතින් කබා සාක්කුවේ බහාලූ රිවෝල්වරය ගත්තේය.
“කාල...ඔයා පොරොන්දු වුණා... ඔයා පොරොන්දු වුණා..” තාරාගේ ස්වරය එන්න එන්නම දුබලය. කාලගේ මනස සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ගොස් තිබිණි. හේ රිවොල්වරය තාරා දෙසට එල්ල කළේය. දෑත් නොසෙල්වී තබා ගන්නට කාල යත්න දැරූවේය.
තමා කෙලෙස මේ තරුණියට වෙඩි තබන්නට දැයි කාල කල්පනා කළේය. “මේක අසාධාරණ ඉල්ලීමක් තාරා.... ඔයා හදන්නෙ මාව මිනීමරුවෙක් කරන්න... මට කවදාවත් මේ මොහොත මගේ ඔළුවෙන් අයින් කරන්න බැරි වේවි...”
“බලාගෙන ඉන්න එපා කාල... ඇස් දෙක පියාගෙන මේක ඉවරයක් කරලා දාන්න. මට මුං වගේ ජීවත් වෙන්න බෑ...ප්ලීස්..” තාරාගේ දෙනෙතින් කඳුළු කඩා වැටෙමින් තිබුණ ද ඇගේ ස්වරය ස්ථීරය.
තාරා ගැස්සුණාය. ඇගේ පළමු සෙලවීමේදීම සොම්බීන් ඈ වෙත කඩා පිනූයේ තාරාගේ විලාපයෙන් ගොඩනැගිල්ල හෙල්ලී ගියේය.
“වෙඩි තියපන් මිනිහෝ!” ඈ විලාප දුන්නාය. තාරාගේ දෙකකුලෙන් අල්ලා ගත් සොම්බීන් ඇයව ගොඩනැගිල්ලේ අඳුර වෙත ඇදගෙන යන දෙස කාල බලා සිටියේය. රිවෝල්වරයේ කොකා ගැස්සීමට කාල හට ආත්ම ශක්තියක් නොවීය. තාරා අතුරුදන් වූ ඉසව්ව පුරුදු පරිදි නිසොල්මන් විය.
“දුවපන්... ඊළඟට උන් එන්නෙ උඹව අල්ලගන්න... දුවපන්...” සිහිනයෙන් මෙන් කාලට ඇසුණේ තමාගේ ඇතුළාන්ත කටහඬ නොව මම්මාගේ කෝප මිශ්‍රිත ස්වරයයි. ගල් ගැසී තිබූ මාංස පේශීන් ද හිඳී ගොස් තිබූ ඇඩ්‍රිනලීන් ද කම්පනය වූ ස්නායු ද වේල්ලක් බිඳ නැගෙන ජල කදම්බයක් සේ ක්‍රියාකාරී වූයේ මම්මාගේ හඬටය. තමා වෙත එන සොම්බීන් දෙසට අසල වූ රාක්කයක් පෙරළූ කාල රතු පැහැ හදිසි පිටවීමේ දොර තුළින් පැන එහි අගුළු ලූවේය. දරාගත නොහැකි කම්පනයෙන් ඇති වූ ක්ලාන්ත බව මඟහැර ගැනීමට කාල මඳක් දොරට හේත්තු වී හති හැලුවේය. ඉහළට දිවෙන පඩිපෙළ, රතු බල්බවල ආලෝකයෙන් දිලිසුණි. කාල වරකට පඩි තුන බැගින් පඩිපෙළ ඔස්සේ ඉහළට නැංගේය. පඩිපෙළ දිවුණේ රිදී පැහැ ආලෝකයක් වැටුණු වීදුරු දොරක් වෙතය. මුහුණේ ද කටේ ද පැටළුණු මකුළු දැලක් කේන්තියෙන් පිස දමූ කාල වීදුරු දොරෙන් ඊළඟ මාලයට පිවිසියේය.
මතු සම්බන්ධයි
අමාලි අනුපමා මල්ලවආරච්චි
+++++++++
ReplyDelete
ReplyDeleteබ්වෑහ්හ්හ්...!
ඔබගේ පෝස්ටුවට අපගේ සින්ඩියේ “කැටපත් පවුර” යටතේ ඉඩක් වෙන් කොට ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු! අපගේ සින්ඩියට ඉහල ප්‍රථිචාරයක් හා ප්‍රචාරයක් ලබා දීමට මැළි නොවන්න!
ReplyDeleteඉතිරි ටික කියවන්නේ කොහොමද?
ReplyDelete