Wednesday, November 2, 2016

වසීලිස්සාගේ ඇටකටු උඩ බාබායිගා නැටීම

ලිපිය ටිකක් දිග නිසා අකුරු පොඩියෙන් තිබ්බා හොඳේ. ලොකු අකුරු වුවමනා ඈයෝ සිටී නම් කියනවා හොඳයි! 
P.S. ඇටොම් අයියාගේ + විචාරක ඉල්ලීම පරිදි අකුරු ලොකු කලෙමි! 

ජනප්‍රිය රුසියානු සුරංගනා කතාවලිය පුරාවටම අපට මුණගැහෙන නම් දෙකක් තමයි වසීලිස්සා සහ බාබායිගා යකින්න කියන්නේ. අපි ගොඩක්ම හඳුනන්නේ ලස්සන වසීලිස්සා (Vasilisa the Beautiful) වුණත් මේ කතා පුවත් අතර නුවණැති වසීලිස්සා (Vasilisa the Wise) කෙනෙකුත් ඉන්නවා. නමුත් නුවණැති වසීලිස්සාගේ කතාව ගොඩක් ප්‍රචලිත ගෙඹි කුමරිය නමින්. කොහොම නමුත් ඉතින් ඇයි මේ දෙන්නෙක්? ලස්සන වසීලිස්සා නුවණැත්තියක් නෙමෙයිද? නුවණැති වසීලිස්සා ලස්සන තරුණියක් නොවේද? මේ දෙදෙනා අතරට මෝල්ගහෙන් කොට කොට වංගෙඩියෙන් පියාඹන බාබායිගා යකින්න පාත්වෙන්නේ කොහොමද? අද පෝස්ටුව මම බොහෝ ආදරය කරන මේ තුන්කට්ටුව ගැන තමයි. 

අපි මුලින්ම බලමු පොඩීයට මේ තුන්දෙනාගේ  චරිත ලක්ෂණ විශ්ලේෂණය කරලා ඉතාම සරලව. ලස්සන වසීලිස්සා ඉතාම සුන්දරයි. ඉතාම ගුණයහපත්. එයාට ඉන්නවා මායාකාර බෝනික්කෙක්. එයා තමයි ලස්සන වසීලිස්සාගේ ගැලවුම්කාරයා. සෑම නපුරකින්ම වසීලිස්සාව ගලවා ගන්නෙ මේ මායාකාර බෝනික්කා තමයි.

සරලවම ගත්තොත් ලස්සන වසීලිස්සාගේ චරිතය පැතලි චරිතයක් (a flat character or a one dimensional character). මේ චරිතය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ damsel in distress කෙනෙක් විදියටයි. ඒ කියන්නේ විපතට පත්, තමන්ව බේරාගන්න Knight in shining armours හෙවත් සන්නාහයෙන් සැරසුණු නයිට්වරයෙක්, එහෙමත් නැතිනම් වීර පුරුෂයෙකු වුවමනා කර තිබෙන තරුණියක්. ලංකාවේ සරලම මල් පොතකත්, ලෝකේම ජනප්‍රිය නිකලස් ස්පාර්ක්ගේ (මල්!) පොතක වුණත්, මුළු රෝමෑන්තික ෂානරයම යටකරගෙන ඉන්නෙ මේ කියන මොඩලය තමයි.
ප්‍රධාන කාන්තා චරිතය ආර්ථික හා මතවාදීමය වශයෙන් නිදහස් වෙන්නේ ඉතාම සුළු කතාන්තර කිහිපයක විතරයි.අපි ගත්තොත් Twilight වගේ සීරිස් එකක්, මේකෙත් එන බෙලාගේ චරිතය මුලින් ඉන්නෙ මේ කියන damsel in distress මොඩලයේ. Hunger Games කතා මාලාවේත් මේ තත්වය යම්තාක් දුරකට තිබෙනවා. නමුත් reversed roles විදියට. කැට්නිස් සාමාන්‍ය තරුණියකගෙන් එහාට ගිය රණශූරිය විදියට තමයි ගොඩනැගෙන්නෙ. එයා තෝරගන්න පීට්, එයාත් එක්ක කුඩා කාලේ ඉඳන් ආදරයෙන් වෙළිලා ඉන්නෙ. කැට්නිස් තෝරගන්නෙ නෑ ගේල්ව. ගේල් රණශූරයෙක්. කැට්නිස් සහ පීට්ට දීලා තියෙන්නේ  male/female reversed roles කියලා මට හිතෙන්නෙ ඒකයි. 

රෝමෑන්තික ෂානරයේ ජනප්‍රියම කාන්තා මොඩලය වෙන්නෙ මෙන්න මේ damsel in distress කියන මොඩලය තමයි. මේ මොඩලය මීට ශතවර්ෂ ගණනාවකට කලින් බිහි වුණු සුරංගනා කතා සහ ජනකතා තුලත් ඒ විදියටම පවතිනවා.  ලස්සන වසීලිස්සා එක පුංචි උදාහරණයක් විතරයි. 

හොඳයි එතකොට නුවණැති වසීලිස්සා? දැන් මෙහෙමයි, එයා බැලූ බැල්මට ඔය පෙර කී මොඩලයට ඇතුල් වෙන්නේත් නැති, නමුත් අන්තිමේදී ඒ මොඩලයට යම්තාක් දුරකට එකඟ වෙන්න සිදුවෙන ටිකක් සංකීර්ණ චරිතයක්. ඒ විතරක් නෙමෙයි, මේ චරිතය ඇතුලේ අපට කියවා ගැනීම් බොහෝමය තිබෙනවා.

දැන් බලමු, නුවණැති වසීලිස්සාව අපට මුලින්ම මුණගැහෙන්නේ ගෙම්ඹියක් විදියට. නිකම් නෙවෙයි, මායාකාර ගෙම්ඹියක්. ඇයි ගෙම්ඹියක්? ගෙම්ඹියක් කිව්වාම අපට මුලින්ම මතක් වෙන විශේෂණ තමයි, කැත, අවලස්සන, අප්‍රසන්න වගේ වචන. ඊළඟට, නුවණැති වසීලිස්සා ගෙම්ඹියක් වෙලා ඉන්නෙ ඇයි? කතාවේ මේක පැහැදිලි කරලා දෙනවා මෙන්න මේ විදියට. කසේයි රාක්ෂයා තමයි මගේ තාත්තා. එයා බොහෝම කේන්තියෙන් ඉන්නෙ මම එයාට වඩා කපටියි නුවණක්කාරයි කියලා. මම කපටි නිසා ඔහු මට අණ කළා අවුරුදු දෙකක් ගෙඹි හමක් පොරවාගෙන ඉන්න කියලා.
 දැන් නුවණැති වසීලිස්සාට දඬුවම් කරලා තිබෙන්නේ එයා එයාගේ තාත්තාට වඩා කපටි, නුවණක්කාර නිසා. මොකද්ද මේ වචනෙ? කපටියි? කපටියි කියන්නේ දක්ෂ කියන වචනයට ආදේශ කරන්න පුළුවන් වචනයක්නේද? (සිංහල පරිවර්තනයේ තමයි මේ 'කපටි' කියන වචනය යෙදිලා තිබෙන්නෙ.නමුත් ඉංග්‍රීසි පරිවර්තනයේ තිබෙන්නේ The wise Vasilissa was born cleverer and wiser than her father, and he was so annoyed that he ordered her to wear a frog skin for three years, කියලා. නිකමට හිතලා බලන්න ඇයි සිංහල පරිවර්තකයා මේ කපටි කියන නෙගටිව් වචනයම යොදාගත්තෙ කියලත්. ඒක ටෙක්නිකල් කාරණාවක්ද, එහෙමත් නැති නම් ඊට එහා unconsciously patriarchal- අවසඟයෙන් පුරුෂවාදී මතයක පිහිටා සිටීම නිසා සිදුවුණු දෙයක්ද කියලා. රුසියානු භාෂාව කියවන්න පුළුවන් කෙනෙක් මේකේ ඔරිජින් එකේ කොහොමද තිබෙන්නේ කියලා පුළුවන්නම් සොයා කියන්න.)

කවුද දැන් මේ දඬුවම පණවන්නෙ? දඬුවම් දෙන්නෙ කසේයි රාක්ෂයා. එක, කසේයි නියෝජනය කරන්නේ පුරුෂ පාර්ශවය. එහෙනම් 'නුවණ ඇති' කාන්තා පාර්ශවයට 'දඬුවම්' දෙන්නෙ මෙන්න මේ පුරුෂ මොඩලය. ඒ විතරක් නෙමෙයි, දෙවනි කාරණය තමයි, මේ වගේ 'මායාකාර', 'කපටි එහෙමත් නැත්නම් නුවණක්කාර' දුවක් බිහිවෙන්නේ කාගෙන්ද? මනුෂ්‍යයෙකුගෙන්ද? නෑ, නෑ ඒ වගේ දුවක් බිහිවෙලා තියෙන්නේ රාක්ෂයෙකුගෙන්. ඒ කියන්නෙ abomination එකකින්. ඒ කියන්නෙ මනුෂ්‍ය නොවන විරූපයකින්.

ඊළඟ කාරණය, නුවණැති වසීලිස්සාට ජීවත් වෙන්න වෙන්න ගෙම්ඹියක් විදියට. ඒ මොකද්ද? ඒක සාපයක්. මේ සාපයට හේතු වුණේ මොකද්ද? එයාගේ නුවණැති බව. සාමාන්‍යයෙන් සාපයකට ලක්වෙන රොමෑන්තික කාන්තා මොඩලය ඒ විදියට සාපයට ලක් වෙන්නෙ එයාගේ රූපසම්පත්තිය නිසා මායාකාරියක්, එහෙම නැති නම් මායාකාර රැජිණක්ගෙන්. මතකනේ...හිම කුමරියව!
දැන් අපි ආපිට මුලට ගිහින් බලමු. නුවණැති වසීලිස්සා ජීවත් වෙන්නෙ ගෙම්බියක් විදියට, ගෙඹි හමක් පොරවාගෙන, එයාගේ මායාකාර බලයක් එක්ක, සාපයකට යටවෙලා. ඒ මදිවාට එයාගේ පියා තමයි නොමැරෙන කසේයි රාක්ෂයා. ඔන්න අපට පේනවා, මේ චරිතය නම් අර කලින් අපිට මුණගැහුණු ලස්සන වසීලිස්සාට වඩා සංකීර්ණ ලක්ෂණ සහිතව බිහිවෙලා තිබෙන වග.  

ලස්සන වසීලිස්සාවත් නුවණැති වසීලිස්සාවත් අපි සංසන්දනය කරලා බැලුවොත්, නුවණැති වසීලිස්සාට තිබෙනවා මායාකාර බලයක්. එයා මායාකාරියක්. එයාව කරදරේ වැටෙන්නේ එයාගේ මේ නුවණැති බව නිසාමයි. එයාට නුවණ තිබුණේ නැති නම් එයාට කවුරුත් සාප කරන්නේ නෑනේ. එයාගේ තිබෙන මායාකාර බලය නිසා එයා ගොඩක් වෙලාවට එයාගෙ සැමියා, ඉවාන් කුමාරයාව නොයෙක් පරීක්ෂණ වලින් සමත් කරවනවා. එයා දුර්වල, අඬ අඬා ඉන්න තරුණියක් නෙවෙයි. එයාට ආපිට කසේයි රාක්ෂයා ලඟට යන්න වෙන්නෙත් ඉවාන්ගේ මෝඩ වැඩක් හින්දයි.

එතකොට ලස්සන වසීලිස්සා? එයා ඉතාම ලස්සන අහිංසක යුවතියක්. එයාට මායාකාර බලයක් නැහැ. එයා නිතරම විපතකදී අඬා වැලපෙනවා. එයාගේ මායාකාර බෝනික්කා තමයි එයාට 'නුවණ කියාදෙන්නෙ.' ඔය කියන කතන්දරේ බොහෝම සරල ගමේ බාසාවෙන් කිව්වොත් ලස්සන වසීලිස්සා කියන්නේ ගොං බඳින කණුවක්! මේ බව දැනගෙන හිටියා කවුද? එයාගෙ අම්මා. එයාගේ අම්මා තමයි අර මායාකාර බෝනික්කා ලස්සන වසීලිස්සාට දෙන්නෙ. නුවණ කියා දෙන්න අම්මා නැති නිසා ඊට ආදේශකයක් විදියට තමයි මේ මායාකාර බෝනික්කා එන්නෙ. නුවණ කියාදෙන මායාකාර බෝනික්කා නොහිටින්න ලස්සන වසීලිස්සාට ඇත්තටම කිව්වොත් යන එන  මං නෑ කියලා තමයි කියන්න වෙන්නෙ.ඒ විතරක් නෙමෙයි, නුවණ හෙවත් මායාකාර බෝනික්කාගේ ඇති අවශ්‍යතාව මේ කතාවෙන් අපූරුවට පෙන්වලා දෙනවා, කතාවේ අවසාන මොහොත වෙනකම්ම. කතාව අන්තිමේදී කියනවා රාජකීය සම්පත් ලැබුණත් ලස්සන වසීලිස්සා එයාගේ ගවොම් සාක්කුවේ නුවණ හෙවත් මේ මායාකාර බෝනික්කාව තබාගෙන ඉන්නවා කියලා. 

මං කිව්වෙ අර මුලින්ම, අපේ නුවණැති වසීලිස්සාටත් අර පෙර කිව්වා ජනප්‍රිය මොඩලයට යම් හෝ තැනකදී එකඟ වෙන්න වෙනවා කියලා. ඒ තැන තමයි, ඉවන් කුමාරය එයාගේ ගෙඹි හම පුච්චපු වෙලාවේ ලස්සන වසීලිස්සාට ආපිට තමන්ගේ පියා වෙත යාමට සිදුවීම. පියා වෙත ගිය නුවණැති වසීලිස්සා සොයාගෙන රටවල් නමයක් පහුකරගෙන දහ වෙනි රටට ගිහිල්ලා එයාව බේරාගෙන එන්නේ අර වීර නයිට් මොඩලයේ තරුණ ඉවාන් කුමාරයා. ඔන්න ඔය විදියට තමයි නුවණැති වසීලිස්සා මොඩල් කාන්තා චරිතයක් බවට පත්වෙන්නේ. 
මෙන්න මෙතැනදී තමයි අපේ ආදරණීය බාබායිගා යකින්න වංගෙඩියක නැගලා, මෝල්ගහෙන් කොට කොට අපේ පැත්තට එන්නෙ. අපි බලමු බාබායිගා චරිතය දිහා කාන්තාවාදී ප්‍රවේශයකින්. දැන් බාබායිගා කියන්නෙ මායාකාර යකින්නක්. වෙලාවකට එයා මිනී මස් කන යකින්නක්. අනිත් වෙලාවට එයා නුවණ කියාදෙන යකිනි ආච්චි කෙනෙක්. ඔන්න බලන්න, ආයෙමත් අපි ආවා නේද පුරුදු මොඩලයකට. කාන්තාවක් නුවණක්කාරයි නම් එයා එක්කො වයසයි, නැත්නම් විරූපී, නැත්නම් දෙකම, මායාකාරී, යකින්නක් හෝ යක්ෂයෙකුට නෑදෑවෙනවා, එහෙමත් නැත්නම් සාපයකට යටයි. කාන්තාව සහ නුවණ අතර අවකාශය සම්පූර්ණ වෙන්නෙ මේ මොඩලයෙන්. මේ කතාකරන කතන්දරේ ඇත්ත වෙනවා සාලෙම් මායාකාරියන් දඩයමේදී.

Salem Witch Hunt එකේදී මායාකාරිය කියා චෝදනා ලැබූ කාන්තාවන් දහනව දෙනෙක් විතර ඝාතනයට ලක්වෙනවා. මේ විදියට මායාකාරියන් කියලා චෝදනා ලබපු මරණයට පත්වුණු කාන්තාවන් අතර සිටියා, පියුරිටන් වටිනාකම් පිළි නොගන්න කාන්තාවක්, හෙදියක්, දේශීය වෙදකම් කරන්නියක්,වින්නඹුවක්, කළු සමැති රතු ඉන්දියානු කාන්තාවක්, වගේ යම් වෘත්තීයක යෙදුණු, එහෙමත් නැති නම් සමාජයෙන් කොන් කරනු ලැබූ කාන්තාවන් පිරිසක්. සාලෙම් මායාකාරියන් දඩයමෙන්, වැරදිකරුවන් ලෙස තීන්දුව දී මරණයට පත් කළ අයගෙන් 90%කම කාන්තාවන්. ඒ සාතන් හෝ වෙනත් නපුරු බලවේගයන්ට කාන්තාව පහසුවෙන් යටත් කරගත හැකියි කියන මතය දහ හත-දහනවය ශතවර්ශවල ජනප්‍රියව පැවතුණා.සලෙම් මායාකාරියන් දඩයම සෘජුව කාන්තාවන් අරමුණු නොකලත් එකල පැවතුණු පියුරිටන් මතවාද දරුණු ලෙසම කාන්තාව සමාජ සංස්කෘත ආර්ථික වශයෙන් පීඩනයට පත් කරමින් තිබුණු නිසා, අවසානයේදී මේ දඩයමත් අවසන් වුණේ කාන්තාවන් පිරිසක් මරණයට පමුණුවීමෙන් තමයි.

ඉතින් කොහොම හරි, බාබායිගා යකින්න විතරයි වීර පුරුෂයෙකුගේ ගැලවීම අවශ්‍ය නැති බව පෙනෙන එකම චරිතය. ඉතින් මේ වගේ නිවහල් චරිතයක් වෙන්න නම් රාක්කයක් උඩ තියන තරමේ විසාල තොල් සහිත ඉතාම දිග නාසයක් ඇති මිනී ඇටකටු උඩ නටන මායාකාරියක්ම වෙන්න ඕනෙ. නිරන්තරයෙන් මේ බාබායිගා යකින්නගේ චරිතය කතාවේ නපුරු පාර්ශවය ලෙස පෙනුනත්, මේ කතාන්තර තුල ඉන්න එකම ස්වාධීන කාන්තා චරිතය බාබායිගා වෙන්න පුළුවන්. මේ අවාසනාවන්ත මොඩලයෙන් බේරෙන එකම සුන්දර රුසියානු යුවතිය වෙන්නෙ මම දන්න තරමින් නම්, රාජාලි තරුණයාගේ ආදරවන්තිය, මාෂෙන්කා. මාෂෙන්කාගේ චරිතයත් පිළිඹිබු වෙන්නෙ මායාකාරී හැකියාවන් සහිත තරුණියක් විදියට තමයි. ඒත් පුදුමයකට වගේ එයා නම් අවලස්සන නාකිච්චියක් නෙමෙයි! 

Saturday, October 15, 2016

ටයිම් ට්‍රැවලිං

හෝබෝවාට අලුතෙන් අකුරු කොටන රස්සාවක් සැට් වෙලා. ඉතින් හෙනනනන.....වැඩ.  ඉතින් පෝස්ටුව ලේට්.

ඇත්තම කතාව හෝබෝටික්කාට ඔය ටයිම් ට්‍රැවලිං කතන්දර සෙට් වෙන්නෙම නෑ. මොකද, ඔයි කාලා තරණ කතා මග දුරක් යත්දී බලාගෙන ඉන්න එකාට අන්දෝසංසාරයක් නැතුව යනවා. සිය දිවි නසා ගන්න හිතෙනවා. නිකමට හරි කතාව බල බලා ඉද්දි මදුරුවෙක් කාපු තැනක් එහෙම කැසුවොත් කාරිය, ඔලුව උස්සලා බලද්දි මුලු කතාවම උඩුකුරුඤ්ඤං ගහලා, කුස්කුටා වැල් කෑවා වගේ කර්පට් වෙලා බලාගෙන ඉන්ඩ වෙනවා.  හෝබෝටික්කාට නිකනුත් මන්ඤං හින්දා මෙව්වාගේ කතා බැලුවාම සිස්ටම් එකට ට්‍රෝජන් වයිරස් එකක් ගියා වගේ තමයි. ඒත් ඉතින් අපි ලෝකේ මගාරින්න හැදුවොත් යමක් ඒක අපි පස්සෙන්ම එනවා වගේ, මගේ කතන්දර දඩයමේ යන මේ ගමනේදී මුණගැසී කැමති, අකමැති වුණු ටයිම් ට්‍රැවලිං කතා කිහිපයක්ම තිබේ. ලඟදී බලාපු Alice Through the Looking Glass කියන ෆිලුම් එක නිසා පස්සට පස්සට කල් දම දමා තිබුණු මේ ලිපිය ඔහේ ලියලා දානවා කියලා හිතුවා.
Alice Through the Looking Glass කතාව ෆැන්ටසි ලෝකය සහ එහි සිටින මානවතත්වාරෝපිත චරිත වලටත් අමතරව කාල තරණය කියන තේමාව ඉහලින්ම ඉස්මතු වන්නක්. ඇලිස්ගේ විශ්මලන්තය කතාවේත් කාලය කියන තේමාව යම්තාක් දුරකට තිබුණත්, කාල තරණය කියන සංකල්පය ඉස්මතු වෙලා පේන්නේ Alice Through the Looking Glass කතාවෙනුයි. ඇලිස් මුලින්ම තමන්ගේ රියල් ලෝකයේ ඉඳන් (ඒත් අපි කොහොමද දන්නෙ අපි ඉන්නෙ රියල් ලෝකෙ කියලා...මොකද හැටර්ටයි මිස්ටර් රැබිට්ටයි අපි තමයි ෆැන්ටසි ලෝකය වෙන්නෙ!)  හැටර්ගේ ලෝකයට යන්නෙ මුහුණ බලන කණ්නාඩියකින්. 

අපේ හැටර්ට හදිසියේම එයාගේ නැතිවුණු පවුල ගැන ලොකූ නොස්ටැල්ජික් හැඟීමක් ඇති වෙලා, එයාගේ පාටත් නැතිවේගන යන වෙලාවක තමයි ඇලිස් එන්නෙ එයාව බේරගන්න. ඇලිස් යනවා මේ නිසා අතීතයට, අතීතය වෙනස් කරලා අතීතයේදී හැටර්ගේ පවුලට වෙන හානිය නතර කරන්න. එයා කාලය කියන මහත්තයාගේ අතීතයට යන්න පුළුවන් මැෂින් එකක් හොරකම් කරගෙන තමයි කාලය හරහා ගමන් කරන්නෙ. ගමන නම් හරි අපූරුයි. ඒත් ඇලිස්ට අතීතය නම් වෙනස් කරන්න වෙන්නෙ නෑ!

ඔය අයින්ස්ටයින් කියන හාදයා ඉන්නෙ. මිනිහාගේ කල්පනාවට අනුව නම් අතීතයත්, වර්ථමානයත් සහ අනාගතයත් කියන තුනම පිහිටා තිබෙන්නේ එකම මානයක. එයාගෙ Concept of Relativity න්‍යායෙන් එයා කියන්නේ, කාලය හරහා ගමන් ගත හැකි අධිවේගී යානයකින් පුද්ගලයන් දෙන්නෙක් ගමන් කලොත්, එක්කෙනෙක් දින කිහිපයක් හරහා ගමන් කත්දී අනෙකා පැය කිහිපයක් හරහා ගමන් කරාවි කියලයි. කාලය නිරපේක්ෂ දෙයක් නොවෙයි, සාපේක්ෂ දෙයක් කියලා තමයි එයාගේ තර්කය.  
කාල තරණ කතාන්තර බොහෝ දුරට අදාළ වෙන්නෙ නූතන විද්‍යාත්මක රචනා ශෛලියට. කාගෙහරි පිස්සුව රිච්ටර් මාපකේ අගය පහළ මට්ටමක නම් තියෙන, ඔන්න ඔයාට පුළුවන් 'ඩොනී ඩාර්කෝ' වගේ ටයිම් ට්‍රැවලින් ෆිලුමක් බලන්න! ඩොනී ඩාර්කෝ කියන්නෙ නිකම්ම නිකම් ෆිලුමක් නෙමෙයි. දහ දෙනෙක් බැලුවොත් දහ විදියකට හිතන, තියරි සීයක් වුණත් ගේන්න පුළුවන්, තේරුම් මහ ගොඩක් ගේන අපූරු ෆිලුමක්. මායාකාර-යක්ෂ හාවෙක් අනාගතයේ ඉඳන් ඩොනී ඩාර්කෝව මුණගැහෙන්න ඇවිත්, ඩොනීගේ ගේ ඉස්සරහා කිසිම ගුවන් සමාගමකට අයත් නැති,නමුත් ගුවන් යානයකින් කඩාවැටුණු එංජිමක් පාත්වෙලා...ඒ විතරක් නෙමෙයි ලෝක අවසානයත් ලං වෙලා!

ඒත් මේ ටයිම් ට්‍රැවලින් තේමාව අදක ඊයෙක ආපු කතන්දරයක් එහෙම නෙමෙයි. සියවස් ගණනාවකටත් එපිට කාලයක පටන් ටයිම් ට්‍රැවලිං කතාන්තර ජනතාව අතර ජනප්‍රිය වෙලා තිබිලා තියෙනවා. ටයිම් ට්‍රැවලින් ගැන තියන අපූරුම කතාවක් තමයි ජපන් ගැමි ජන කතාවක් වන 'උරෙෂිමා තාරෝ'ගේ කතාව.  
එකෝමත් එක කාලෙක, ජපානයේ මුහුද අද්දර ගමක උරෂිමා තාරෝ කියලා මස් මරන්නෙක් ජීවත් වුණා. මුහුද රළු, මස් මරන්න යන්න බැරි දවසක මේ තරුණයා නිදහසේ වෙරළ දිගේ ඇවිද යමින් සිටියා. මේ අතරතුරේදී ඔහු දැක්කා ළමයින් වගයක් වටවෙලා අසරණ කැස්බෑවෙකුට හිරිහැර කරමින් සිටියා. උරෂිමා තාරෝ මේ කැස්බෑවාව බේරාගෙන නිදහස් කළා. පහුවදා මස්මරන්න ගිය උරෂිමා තාරෝව අර බේරාගත්තු කැස්බෑවා, මුහුදු අධිරාජ්‍ය පෙන්වන්න සාගර පත්ලට එක්කාගෙන යනවා. මුහුද පත්ලේ මහා විශාල මාලිගාවකට උරෂිමා තාරෝව එක්කාගෙන යන කැස්බෑවා, ඉතාම සුන්දර මුහුදු කුමාරිකාවක් බවට පත්වෙනවා. 

තමන්ගේ ජීවිතය බේරා ගත්තු මේ අමුත්තා වෙනුවෙන් මේ මුහුදු කුමාරිකාව ඉතාම උත්කර්ෂවත් සැණකෙලියක් පවත්වනවා. දින තුනක් තිස්සේ උරෙෂිමා තාරෝ මුහුදු පත්ලේ අසිරිය විඳිමින් සිටියත් ඔහුට ආපිට නිවස බලා යන්න හිතෙනවා. ඉතින් උරෂිමා තාරෝ මුහුදු කුමාරිට කියනවා ආපිට දැන් ගෙදර ගියොත් හොඳයි කියලා. බොහොම දුකින් වුණත් මුහුදු කුමාරිය උරෂිමා තාරෝව ආපිට ගෙදර යවන්න කැමති වෙනවා. යන්න කළින් ඇය අභිරහස් මංජුසාවක් (ජපන් භාෂාවෙන් මේකට කියන්නෙ 'තමතෙබකො' කියලා) ඔහුට තෑගි කරනවා. "උරෂිමා තාරෝ, මේ වටිනා මංජුසාව ඔබ ලඟම තබාගන්න.නමුත් කිසිම වෙලාවක මේ මංජුසාව විවෘත කර බලන්න එපා." මුහුදු කුමාරිය කිව්වා.  

දවස් තුනකට පස්සෙ ආපිට නිවසට ආපු උරෂිමා තාරෝට දැකගන්න වෙන්නෙ ඇස් අදහා ගත නොහැකි දෙයක්. එයාගේ නිවස තිබුණු තැන නැහැ. වටපිටාවම වෙනස් වෙලා. අඳුනන කිසිම කෙනෙක් පේන්න නැහැ. ලඟපාතින් ගිය කෙනෙකුගෙන් අහලා බැලුවත් ඒ අය කිසිම දෙයක් දන්නේ නැහැ. සියවස් ගණනාවකට කලින් උරෙෂිමා තාරෝ කියලා කෙනෙක් මහ මුහුදේ නැතිවුණා කියලා කතාවක් නම් අහලා තිබෙනවා, වයසක මනුස්සයෙක් කිව්වා. උරෂිමා තාරෝ මුහුදු පත්ල යට ඉන්න දින තුනේදී මහපොළොවේ වසර තුන්සීයක් පහුවෙලා! ඉතාම කනගාටුවට පත් උරෂිමා තාරෝ ගල් ගොඩක් උඩ වාඩි වෙලා මුහුදු කුමාරිය තමන්ගේ අතේ තැබූ මංජුසාව දෙස බැලුවා. සමහර විට මේ මංජුසාව මට උදව්වක් වේවි, උරෂිමා තාරෝ සිතුවා. එයා මොහොතකට මුහුදු කුමාරියට වුණු පොරොන්දුව අමතක කරලා අර අපූරු මංජුසාව විවෘත කරලා බැලුවා.

එක වරම සුදු පාට දුමක් මේ මංජුසාවයෙන් එළියට ආවාලු. එතෙක් වෙලා හොඳින් හිටපු උරෂිමා තාරෝගේ හිස කෙස් සුදු වෙලා, හම රැළි වැටිලා ඉතා මහලු වයසට පත්වුණාලු. රළ බිඳෙන හඬත් එක්ක උරෂිමා තාරෝට ඇසුණාලු මුහුදු කුමාරිකාවගේ මිහිරි හඬ, "අනේ උරෂිමා තාරෝ...මා ඔබට කීවා නේද ඔය මංජුසාව ඇර බලන්නට එපා කියා? ඔය මංජුසාවේ තිබුනේ ඔබේ මහලු විය."

මං කිව්වෙ නැද්ද!!! ඒ කාලෙත් ටයිම් ට්‍රැවලින් කතා ඉවරවෙලා තියෙන්නෙ මහ පිස්සුවකින් තමයි. දැං බලන්න, මේ කතාවෙ උපදේශය; වෙරළෙ කැස්බෑවෙක් එහෙම අසරණ වෙලා හිටියොත් ලොවෙත් ඌට උදව් කරන්ඩ නම් යන්න එපා!! නුඹට කෙළ වෙනවා සත්තයි!

Saturday, September 24, 2016

පාර දිගේ


හෝබෝවා හැමදාමත් පාරට බහින්නේ තව ටිකකින් මැරෙයි කියලා හිතාගෙනය. තාර පාරේ කතන්දරේ ඒ තරමට භයංකාරය. ටිපර් පදින අයියලා හිතාගෙන ඉන්නේ එයාලා පදින්නේ ත්‍රීවීලර් කියාලාය. කන්ටේනර් අයියලාද එසේමය.එයාලාගේ ඉස්සරහා කෑල්ල පාරේ වමෙන් යනකොට පස්සාපැත්ත යන්නේ දකුණේය. හරවන්නේ කනේ වැලි ගාගෙනය. ට්‍රැපික් වෙලාවට මෙයාලා යන්නේ නැත්තේ පේමන්ට් එකේ විතරය. මෙයාලා පිටිපස්සෙන් සාටමොයිකලයක් වාගේ පැදගෙන යනවා නම් මාසෙකට ලොකු රක්ෂණ වාරිකයක් ගෙව්වාට පාඩු නැත. කන්ටේනර පෙට්ටිය නැතිව ට්‍රේලර් එක විතරක් ඇදගෙන යන අයියලා පස්සේ යනවා නම් පපුව ගෙදර අල්මාරියේ තියා ආවාට කමක් නැත. ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කිරීමට අපූරුය. 

ත්‍රීවීල්වල යන අයියලා හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලා එලවන්නේ කන්ටේනර් කියාය. හැප්පුනාම අර පපඩම් බොඩිය තැලෙන්නේ නෑ කියාය. ත්‍රීවීල් එකේ වැඩි හරිය ටයිටේනියම් වලින් හදා තියෙන හන්දා මෙයාලා සමහර වෙලාවට රෝද දෙකෙන්ද යන්නෝය. මෙයාලා මාර වැඩ්ඩෝය. ලොරි ද තඩි ලේලන්ඩ් ද කියා වෙනසක් නැත්තේය. ගෙමක් නැතිව මේවා මැද්දෙන් දාන්නේය. මයිකල් නයිට් දැක්කා නම් කිට්ගේ කනින් අල්ලා අන්න අහම පල කියන්නේය. ලඟදී හික්කඩුවෙන් එද්දී සුද්දෙක් අත දෙකද කකුල් දෙකද බෙල්ලද එලියේ දාගෙන වීල් එකක යන්නේය. තොපිට ඔහොම පන් එකක් ගන්න ලංකාවටම එන්න ඕනෙ බොලව් කියා හෝබෝවාට හිතුනෙන් රට පිළිබඳ අප්‍රමාණ ජාති ආලයක් උපන්නේය. ඉන්දියාවේ සේරෝම වීල් එක වාගේය, කහ පාට වැඩිය. තායිලන්තේ ටුක් ටුක් විසාලය. අපේ එව්වායේ වාගේ රෙකොඩ් බාර් නැත. කොන්ඩේ වවාගෙන පච්ච ගහපු මැක්සා බුවාලා එලවන්නේ නැත. අපේ වීල් මොඩිෆයි කරපුවාම හමර්, ඩිෆෙන්ඩර් වාගේය. හදිසියකට හෝබෝවා යන්නේද වීල් එකේය. පරක්කු වෙච්චි දාට වීල් අයියාව පේන්නේ සුපර් මෑන් වාගේය. 
ලංකාවේ ප්‍රාඩෝ, පැජරෝ, ඩිෆෙන්ඩර්,ඩිස්කවරි එළවගෙන යන බොස්ලා හිතාගෙන ඉන්නේ එයාලා ලයිට් ගහපුවාම අපි එකත්පස්ව අයින් වෙලා එයාලාට යන්ඩ දෙන්ඩ ඕනෑ කියාය. ලඟදී අපේ මාමා එක්ක ගමනක් ගොහින් එද්දී, මනුස්සයා අස්ප වේගෙන් වාහනේ පැද්දේය. හෝස් ගාගෙන ගේ ලඟට විත් වාහනය නැවැත්තූ මාමා ආතබූත කඩාගෙන ගෙට දිව්වේය. මනුස්සයාට දැවැන්ත බරක් ඇති වී ඇත. අස්ප වේගෙන් ඒමට කාරණාව වී ඇත්තේද එයය. මේ සේරෝම වෙන දීහා බලාගෙන හිටි මාමාගේ පොඩි එකා කිව්වේ, අර මහ හයියෙන් ලයිට් ගහගෙන, හෝන් ගහගෙන පාරේ යන මාමලා සියල්ලන්ටම විසාල කක්කා බරක් ඇති බව තේරුණේ දැන් කියාය. මෙව්වා ලිව්වාට කමක් නැත. එව්වායේ යන බොස්ලා අපේ දුප්පත් බ්ලොග් කියවන්නේ නැත. ඒ හින්දා උන් හැමදාම පුරුදු විදීයටම උන්ගේ පැජරෝ එලවනු ඇත. අපි කානු වල බසිනු ඇත. සමහර වාක්‍ය අපි කියා පටන් ගත්තාට මුයන්නෙන් ඉවර වෙන්නේ නැත. ඒ ජීවිතේ හැටිය. 

සාටමොයිකල් වල යන මල්ලිලා ගැන පොතක් ලියන්නට ඇහැකිය. ඉස්කූටි එලෝන අක්කලා, නැන්දලා ලඟින් යනවා නම් කල්පනාවෙන් සිටිය යුතුය. එයාලා වමට සිග්නල් දමා දකුණට කැපීමට හරිම දස්සය. ට්‍රේල් බයික් පදින මල්ලිලා වෙට්ටු දාගෙන යන්නේ හැඬල් එක උඩ වාඩි වෙලාය.අත් දෙක තියාගෙන ඉන්නේ කිහිල්ලේ ගෙඩි දමා තිබෙනවා වාගේය. කන පිටිපස්සෙන් ඇවිත් රෝද උස්සන මල්ලිලා ද ඇත. නිදහසේ යන එවුන් ඒවාට බය වී වැටී බෙල්ල කඩා ගන්නකොට, උන්ට හෙනයක්වත් නැත. හෝබෝවා නම් ඒ වාගේ එකෙක් දැක්කාම 'අනේ වැටියන්!' කියා මතුරන්නේය. සාටමොයිකල් මල්ලිලා වැඩි හරියක් යන්නේ පේමන්ට් වලට. ඉඳහිට පාරේ ද යන්නේය. මෙයාලාට ට්‍රැපික් අදාළ නැත්තේය. උදේ කොළඹ වැඩට යනවා නම් හොඳම වාහනේ සාටමොයිකලේය. සිග්සැග්, නැටි,හෙරින්බෝන්, කතිර ආදී ඕනෑම මැස්මක හැඩේට සයිකලේ පදින්නට අවසර ඇත්තේය. උදේට පොලිස් මාමලාද ඉර කැපුවාට මුකුත් කියන්නේ නැතිය. එයාලා හරි හොඳය. දැන් සිරමැදිරි වල සීසීටීවී හයි කර තිබෙන්නේය. සාටමොයිකලෙන් වැටිලා මල්ලී බෙල්ල කඩා ගත්තදාට ගොසිප් සයිට් එකක රේටිං වැඩි කරදිය හැකිය. නොමිලේ හොඳ පොටෝ ෂූට් එකක්ද කරගත හැකිය. ඔය කියනා තරම් දයියා කූර නැත.

පයිවට්, සීටීබී කියා වෙනසක් නැත. ලඟපාත එයින් එකක් යන්නේ නම් වාහනේ පොඩි කඩේක නවතා තේ එකක් කාරිය බීලා ගියාට කමක් නැත. ඉන්දියාවේ ටාටා මහත්තයා මෙහෙ ටාටා බස් එලෝන හැටි දැක්කා නම් පපුවේ අමාරුවක් හැදී එතනම සෙත්තපෝච්චි වෙන්නේය. හැරී පෝටර්ව ලීකි කොල්ඩ්‍රන් එක වෙනකම් අරගෙන ගිය මැජික් බස් එක චිත්තරපටියේ පෙන්නනකොට මට හිනා ගියේය. අපි හැමදාම යන්නේ ඒවාගේ ලේලන්ඩ් බස්වලය. ඒ වුණාට අපිට කලන්තේ හැදෙන්නේ නැත. බය දැනෙන්නේ නැත. අපි හරි මාරය. බස් මාමලා යන්නේම වමින් හන්දා සර්කස් එකේ කවුරුත් මාරක ලිඳේ යන්නේ නැත. අපිට ඔව්වා සිම්පල්ය. බැරිවෙලාවත් කවුරුත් මේවාගේ බස් එකකට හැප්පුණොත්, හැප්පුනු එකාට දෙයියන්ගේම පිහිටය. මළේ නැත්නම්, නිවැරැද්දේම අමු තිත්ත කුනුහරුප නොමිලේ අහගත හැකිය. 


රටේ ලෝකේ මිනිස්සු රතු ලයිට් එක පත්තු වෙනකොට වාහන නවත්තන්නෝය. කහ ලයිට් එක පත්තු වෙනකොට වාහනේ නවත්තගන්න ලෑස්ති වෙන්නෝය. කොළ ලයිට් එකේදී පරිස්සමට වාහනේ පැදගෙන යන්නෝය. ලංකාවේ රතු ලයිට් එක ටිකක් වෙනස්ය. පොලිසියෙන් හරි කැමරා හරි නැත්නං රතු පත්තු වුණත් ගියාට කමක් නැත. කහ ලයිට් එක පත්තු වෙන පාටක් තියේ නම් ඇක්සිලරේටරේ නප්පියටම පාගා, බැට්මෑන් වාගේ යායුතුය. කොළ පාට ගණන් ගන්නේම නැති තරංය. ඔව්, අපි හරි වෙනස්ය. ට්‍රැපික් ලයිට් වලට නවත්වූ විට පිටිපස්සේ එකා පස්සපැත්තට හෝන් ගහන්නේය. පාර පයින්න කහ ඉරක් ලඟ නතර කලොත් ඒත් පිටිපස්සේ එවුන් හෝන් ගහන්නේය. හැරෙව්වත් හෝන් ගහන්නේය. නිදහසේ පැත්තකට වී එලෝගෙන යනකොටත් හෝන් ගහන්නේය.නිකනුත් හෝන් ගහන්නේය. හෝබෝවා ජපානේ හිටි අවුරුද්දටම වාහනයක් හෝන් ගහනවා ඇහුනේ දෙපාරක් විතරය. ජප්පන් හෙන මෝඩය. 

පයින් යන උන්නාන්සේලාද මීට දෙවනි නැත. පෝන් එකට මූණ ඔබාගෙන කනට හෙඩ්පොන් ගහගෙන මෙයාලා පාරේ ඇවිදගෙන යන්නේ අමරණීය ගෙඩි කාලා වාගේය. ගෙදර ප්‍රශ්න විසඳ විසඳ වාහන එනකල් බලාගෙන ඉඳ එව්වාටම පනින්නෝය. සමහර නංගිලා හිතන්නේ එයාලා පස්ස පද්ද පද්ද බිමට හිනා වෙවී යනකොට අපි වාහන නවත්තාගෙන එයාලාගේ රූප සෞන්දර්ය බල බලා සිටිය යුතු බවය. සමහර ඇන්ටිලා කහ ඉර උඩ ඉඳගෙන බතක් මාළුවක් උයන්නේ නැති ටික විතරය. පාරේ යන මාමලාත්, වාහන වල යන මාමලාත් පාර පුරා බුලත් කෙළ බැරල් ගනන් හලන්න්නෝය. කාරා කෙල ගහන්නේ කාසෙ හැදිලා වාගේය. මෙව්වා කියන්නට ගියොත් හෝබෝවාට පෙෂර් හැදෙන්නේය. ඒ හින්දා අපේ තිබුණු දෙදාස් පන්සීය ගැන හිතාගෙන ආඩම්බරයෙන් හිතට අරන් ඉන්නේය. ගෝල්පේස් එකේ සේනානායක මාමා ගිනි අව්වේය. කාක්බෙටි නාලාය. ඒ අතින් හෝබෝවාට කරදරයක් නැත. හෝබෝවා හෙන වාසනාවන්තය. 

Wednesday, September 21, 2016

අත්තම්මාගේ රස කතා - චණ්ඩි

එක එක අටමගල් පස්සෙ හිත රෝන්දෙ දුවන්න ගත්තාම කොරන වැඩෙත් හරියට කොරාගන්න බැරි වෙනවානෙ...මේ ටිකේම ලියාගන්න නිදහසක් නෑ හිතට.ඕං දැං හරි.
                                                                                 -මීට හෝබෝ-


අද නිවාඩු දවසකි. නිවාඩු දවසට අත්තම්මා කලින් වැඩ අහවර කර පුටුවකට වෙයි. අත්තම්මාගෙන් කතන්දර ඇසීමට කදිම වෙලාවකි එය.


අපි පොඩි කාලෙ ගංගොඩේ ගෙවල් තිබුණෙ ඈතින් ඈත. හුඟාක්ම ගෙවල් අහ තියෙන්නෙ කැලෑවල්. දවල් කාලෙට වගේ වගක් නැතිව කැලේ ඇවිද්දාට රෑට නම් ඉතින් ඒ දිහාව බලන්නත් බයයි. වතාවක් මං පොඩි කාලෙ හොඳහැටි බයවුණා. එදා වෙනදාටත් වඩා ටිකක් කළුවර දවසක්. අපෙ අම්මා කුසියේ උය උයා හිටියෙ. අල්ලපු වත්තෙ ඈත තියනවා ගෙයක්. අම්මා උයන කල් මං පස්ස දොර පැත්තෙන් ඔය පැත්ත බල බලා මොනාදෝ කරමින් උන්නා. එක පාරටම මං දැක්කා මහ විසාල මිනිහෙක්, පොල් ගෙඩි වගේ අලි ඇස් ගෙඩි දෙකක් තියන, මගේ දිහාවේ බලාගන ඉන්නවා කිසිම හැලහොල්මනක් නැතිව. මං ගිරිය යටින් හූවක් තියාගෙන කුස්සියට පැනලා අමාගෙ ඇඟේ එල්ලුණා.කවුද මිනිහෙක් අපේ ගේ පැත්ත බලාගෙන ඉන්නවා කියලා මං අම්මට කිව්වෙ වෙව්ල වෙව්ල. ඉතින් අපේ අම්මා මාව එක අතකින් අල්ලගෙන, අනිත් අතින් ලිපෙන් ගත්තු ගිනි පෙනෙල්ලකුත් අරගෙන මං අර මිනිහා ඉන්නවාය කියලා කියාපු තැනට වෙනකම්ම ගියා නෙව මාවත් ඇදගෙන.ඒ ගියාට එතන මොකෙක්වත් හිටියෙ නැහැ. හැබැයි එහෙම මාව ඇදගෙන ගිය එකෙන් හිතේ තිවුණ ගැස්සිල්ල නම් අඩුවෙලා ගියා. කොහොමත් ඒ කාලෙ ගං වල හැමදාම රෑට බෙර ගහනවා. තොවිල් නටනවා. ඒවාටත් අපේ හිත ගැස්සිලානෙව තියෙන්නෙ. ගං වල මිනිස්සුන්ගෙ අත් පුරා එක එක නූල් ගැට ගහලා තියනවා. හැම එකාම බෙල්ලෙ මොකාක් හරි තඹ සුරයක් එල්ලාගෙන තමා ඉන්නෙ. 

පොඩි කාලෙ හොල්මන් වලට බය වුණාට ගැටිස්සි කාලෙ නම් මං යකෙකුටවත් බය නෑ...අත්තම්මා පුරාජේරුවට කියයි. ගමේ කොල්ලො එහෙම නිකමටවත් වචනයක් කියන්නෙ නෑ. මං පාරේ යනකොට ඉස්සරහට කොල්ලො රොත්තක් එහෙම ආවොත් උන් උන්ගෙ කෑකෝව එහෙම නවත්තලා පෙරහැරේ වගේ එකා පස්සෙ එකා වැටිලා යනවා මාව පහුවෙනකල්ම පාරේ අනික් පැත්තෙන්. ඉස්සර මට තිවුණා වෙනම නාන්න ලිඳක්. අපේ ඉඩම අක්කර අටක් ඉතර ලොකුයි. වැඩි හරියක් බැද්ද. ඔය අක්කර අටෙන් පහු තිබුණේ වෙල. ඔය වෙලේ තාත්තා ලිඳක් කපා තිබුණා පොඩි. ඒකේ නාන්න දුන්නෙ මට විතරයි. මං යනවා නාන්න තනියම ඔය ලිඳට. ඒ කාලෙ මට තිබුණා ඉතා දිග කොණඩයක්. නාලා අහවර වෙලා මං ගෙදර එන්නෙ තෙත කොණඩෙ අග්ගිස්ස පනිට්ටුවට දාගෙන. වතාවක් මට මගුල් යෝජනාවක් ගෙනාපු නවගමුවෙ දිහා කපුවෙක් කීවාලු අපේ තාත්තාට, අනේ වෙද මහත්තයෝ අපට දුව දෙන්නෙ නැතිනම් කොණ්ඩෙ හරි දෙන්නය කියලා, අත්තම්මා එය සිහි කරන්නේ ආඩම්බරයෙනි.  


අපේ ඔය අයියා ඉන්නවනෙ. එයා ඉගෙන ගත්තෙ බේසික් විද්‍යාලෙ. හොඳට ඉංග්‍රීසි එහෙම පුළුවන්. මහදෙණිය පැත්තෙ තිබුණා අපේ විසාල කුඹුරක්. කුඹුරු හාන්න මී හරක් ගේන්න වතාවක් ගියා අපේ අයියයි, තාත්තයි. අර ඉඩං හොරට ලියාගන්න කර්නිස් අත්තාගෙන් තමා මී හරක් ඉල්ලගන්න යන්නෙ. ඔහොම ගිහින් එනකොට මේ ගොල්ලො පහුකරගෙන එනවා හෙට්ටි ගෙදර කියලා ගෙයක්. ඔය හෙට්ටි ගෙදර ඉන්නවා ආවිසා කියලා එකෙක්. ඌ නාහෙට අහන්නෙ නැති අලුකුත්තේරුවෙක්. මොකාක් හරි කෝන්තරේකට ඔය ආවිසා අපේ අයියා එක්ක බහින්බස් වෙලා අතක් උස්සන්න හදලා. ඔය පයිංඩේ වෙන පරක්කුවට ආවා අපේ ගෙදරට. ඈතින් පේන ගිනි පන්දම් එළිය දිහා බල බලා මං ගෙදර කැරකි කැරකි උන්නෙ කොටියෙක් වගේ කේන්තියෙන්. ඒ කාලෙ මගේ ලඟ තිබුණා බස්තමක්. මං ගත්තා බස්තම අතට. අම්මා කෑගැහුවා ගෙයින් අඩියක්වත් එළියට එහෙම තියනවා නොවෙයි කියලා. මං කොහෙද එව්වා අහන්නෙ, බස්තමත් අරං මං පැන්නා එළියට. කෙලින්ම ගියේ ආවිසාලගේ ගෙදරට. යනකොට තාමත් අයියයි, තාත්තයි එතන. ආවිසත් ඉන්නව. මං ඇහුවා අයියගෙන් මොකද කියලා. මූ අපට ගහන්න ආවානෙ, අයියා කිව්වා. මං ඉතිං ආයෙ බල බලා උන්නෙ නෑ, මැද්දට පැනලා ගැහුවා ආවිසාගෙ කන හරහා රත් වෙන්න පාරක්. ඊට පස්සෙ ඌට හොඳ හැටියට බැනලා පන්නා ගත්තා. මට ඒකාව කොහොමටත් පෙන්නන්න බැරුවයි හිටියෙ. වතාවක් ඌ රදා කෙල්ලෙක්ව ඇරන් උන්නා. ඊට පස්සෙ චූටි කියලා කෙල්ලක් තියාගෙන ඒකිට ළමයි දෙන්නෙක් දීලා ඒකිව විනාස කළා. ඒ කාලෙත් දැන් වගේම තමයි, මහ වනචර මිනිස්සු උන්නා, උං කරන දේවල් පත්තරේ යන්නෙ නෑ, එච්චරයි වෙනස.  

වතාවක්, මට එතකොට වයස අවුරුදු පහළොවක් දාසයක් විතර ඇති, නාන්න ගිහින් ආපිට ගෙදර ආ පයට මාව සිහි නැති වෙලා වැටුණාලු. අපේ තාත්තා වෙදමහත්තයෙක් වුනාට මොකක්දෝ හිතිලා එයා මාව ඉස්පිරිතාලෙ අරගෙන ගිහින් තියෙනවා. කිසිම සිහියක් නැතිව මම දවස් දාහතරක් ඒ විදියට ඉඳියාලු. දොස්තරලා දන්න තරම් හැම දේම කලත් මට සිහි ආවෙම නෑලු. අන්තිමට දොස්තරා කිව්වාලු තාත්තාට මේ ළමයගෙ ලෙඩක් හොයාගන්න බෑ, සිහි නැති එක තමයි තියෙන්නෙ, ඒ නිසා මෙයාව ගෙදර අරන් යන්න කියලා. තාත්තත් ඉතින් මාව ආපිට ගෙදර ගෙනල්ලා. අපේ අක්කගෙ මනුස්සයාගෙ නම චාර්ලිස්. එයාට උන්නා හිතවත් කට්ටාඬියෙක්. දවසක් කොහේද යන අතරේ චාර්ලිස් අයියාට ඔය කට්ටඬියාව මුණගැහිලා තියෙනවා. මට වෙලා තිඅයන සන්තෑසිය කීවාම, කට්ටාඬියා කිව්වාලු යමු එහෙනම් ඔය කියන ළමයාව බලන්ට කියලා. එහෙම ඇවිල්ලා මාව බලලා වතුර ටිකකට මොනාද මතුරලා ඉස්ස විතරයි, දවස් දාහතරක් සිහි නැතිව වැටිලා උන්නු මම නැගිට්ටාලු. නැගිටලා අර කට්ටාඬියා දිහා බලාලා කිව්වාලු, 'මෙයා ඔය කොච්චර කළත්, මෙයාගෙ හිත හොඳ නෑ' කියලා. ඊට පස්සෙ කට්ටාඬියා මට ලොකු තොවිලයක් කලා. අපේ ගමේ මිනිස්සු විතරක් නෙමෙයි, පිටගම්කාරයොත් ආවා ඒ තොවිලේ බලන්න. ඒ තරම් විසාලෙට කලේ. දැන් ඉතින් ඔය තොවිලේ අස්සෙත් මම එතන හිටපු කට්ටඬියාගෙ දෙවනියගේ බෙල්ලට පැනලා මිරිකගෙන හොඳටෝම ඌට තඩිබෑවලු. ඕං ඊටපස්සෙන් පහු තමයි අර මහ කට්ටඬියා කියලා තියෙන්නෙ, මට ඒ කරලා තිබුණ කොඩිවිනේ කරවා ගත්තෙ එයාගෙන්ය කියලා. මගෙත් එක්ක තරහක් හිතේ තියාගෙන උන්නු අපේ නැන්දා කෙනෙක් තමයිලු මිනිහාගෙන් මේ කොඩිවිනේ කරගෙන තියෙන්නෙ. ඒත් වෙද මහත්තයාගේ කෙනෙක් කියලා දැනගෙන උන්නෙ නෑ, එහෙම දැනගෙන උන්නා නම් කවදාවත් එහෙම කරන්නෙත් නෑ කියලා තමයි කට්ටඬියා නම් කිව්වෙ. අන්තිමට කොහොමහරි ඔය කොඩිවිනේ කලාය කියපු අපේ නැන්දා ඊට ටික කාලෙකට පස්සෙ බස් එකකට පැනලා දිවි නසා ගත්තා, පව්කාර ගෑණියක්...අත්තම්මා මොහොතකට අපවත් අතහැර දුර ඈත අතීතයේ තනිවෙයි. 

ඒ අතරේ හෝබෝවා හෙමීට මගේ හෝබෝ කතා දිහාට ඇදී යයි.ජීවිතයට ද ඔබට ද මට ද ලෝකයට ද කතාවක් ඇත. ඒ සෑම කතාවකට අනන්‍යතාවක් ඇත. හෝබෝවා දඩයමේ යන්නේ ඒ කතාන්තරය සොයාගෙනය. 

Friday, September 2, 2016

මාටිං අයියාගේ කෑම වට්ටෝරුව

මාටිං අයියා මේ ලඟකදී සෙල්ලම් අහස්යාත්‍රාවක ඉස්සරහා රෝදය ගිල දැම්මේය. ගෙදර මිනිස්සුන්ගේ වාසනාවකට වාගේ අහස් යාත්‍රා රෝදය කුඩාය, ප්ලාස්ටික්ය. නැත්නං ගෙදර කාටකාටත් ඉන්න වෙන්නේ අහස්යාත්‍රාවක් ගිල්ලා වාගේය. අහස්යාත්‍රා රෝද මාටිං අයියාගේ සාමාන්‍ය ඩයට් එකට අඩංගු නොවුණත් මාටිං අයියාගේ කෑම රුචිය සාමාන්‍යයෙන් ටිකක් වෙනස්ය. මාටිං අයියාට වැඩිය කන්න බැරිය. අපට වඩා ටිකක් කන්නේය. කන ඒවා යන්නේ කොහාටද කියා හොයාගන්නට බැරිය.ඉස්මුරුත්තාවට කෑ දවසට මාටිං අයියාගේ බ්‍රෙස්ට් කටු ටික අමාරුවෙන් ටොම්බා සයිස් වූ බඩ ගෙඩිය බදාගෙන සිටී. රෝදය ගිල දැමූ පසු මාටිං අයියා සහලෝලාම බය වී සිටියාට ගෙදර ඈයින්ට බය පෙන්වන්නේ නැත. ඇඳට වී බයටම පාන්දර එක දෙක වෙනකම් අවදිව සිටිනා මාටිං අයියා ගෙදර ඈයින්ව සනසයි. "අයියෝ බය වෙන්න එපා, දොස්තර මහත්තයා කිව්වානෙ හෙට උදේට රෝදෙ එයි කියලා ටොයිලට් යද්දි...ඒ හින්දා ඔයාලා බය වෙන්න එපා....ඕක පොඩි දෙයක්නෙ..." ගෙදර කවුරුත් මාටිං අයියාගේ පසුදින වැසිකිලි ගමන පිළිබඳ මහත් වූ සිහින දකිමින් නින්දට වැටෙති. 


මාටිං අයියා අහස්යාත්‍රා රෝද වල සිට ඕනෑම දෙයක් කා දැමීමට හපනෙකි. "මේ ගෙදර මිනිස්සු මට කැඳ ටිකක්වත් හදලා දෙන්නෙ නැති හැටි..." වෙලාවකට මාටිං අයියා දෙවොල් තියයි. කොළ කැඳ, ලුණු කැඳ, බත් කැඳ ආදී ඕනෑම කැඳ වර්ගයක් මාටිං අයියා ගිල දමන්නේ පුදුමාකාර සතුටකිනි. "මේ කණුරාකරලා මට හෙටවත් මුං ඇට ටිකක් තම්බලා දෙනවද..." මාටිං අයියා කියන්නේ ආතෙක් වගේය. හොඳ හැටි තැම්බූ මුං ඇට හෝ කව්පි සමග යහමින් මිරිස් එක්කර ගලේ අඹරා පදමට ලුණු ද දෙහි ද දැමූ ලුණුමිරිසක් සමග කෑමට ලැබීම මාටිං අයියා සලකන්නේ දිව්‍ය භෝජනයක් ලැබුණු ගානටය. පුසුඹ ගහන ලුණුමිරිස් තලියක් ද වදෙන් පොරෙන් කාට හෝ කියා ගා ගන්නා පොල් තලයක් ද සමග කව්පි පිඟන් දෙකතුනක් අහවර කිරීම මාටිං අයියාට මහ කජ්ජක් නොවේය. ගෙදර තම්බන කඩල මුට්ටියටද සිදුවන්නේ ඔය සන්තෑසියමය. මුං ඇට කිරිබත් මුට්ටියට ද සිදුවන්නේ ඒ කතන්දරයම ය. බත් පිඟානක් එක්ක යහමින් ඉඟුරු, සුදුළුූණු,ගම්මිරිස්, මිරිස්, තුනපහ සමග රතු කළු වෙන්නට ඉවූ උණු උණු කුකුළු මස් කරිය එක හුස්මට කා දමන මාටිං අයියා කට්ට කරෝල හොද්ද සමග අඟුණ කොළ හෝ කුරිඤ්ඤං කොළ ඇම්බුම ද ගිල දමන්නේ ඒ හා සමාන ගැම්මකින්ය. තිත්තට කරවිල ද, ඇඹුලට අච්චාරු ද, දැවිල්ලට රතු සම්බෝලය ද කන්නට හපන්කම් පාන මාටිං අයියා, බතුයි සුදට පරිප්පුයි තිබුණ ද බෑ නොකියා ඉන් ද බත් පිඟානක් දෙකක් කා දමන්නේය.


මාටිං අයියා බිත්තර බුල්සායි කර පාන් එක්ක කන්නට ද ආසාය.ඊට ලූණු ගෙඩියක් කපා පොඩියට ලුණු මිරිසක් ද ඇත්නම් රසේ බැරිය. නිකම් තැම්බූ බිත්තර ගෙඩි දෙක තුනක් දෙනවා නම් කෑම ද මාටිං අයියාට ඒ හැටි කාරියක් නොවේය. අලුත ගෙනා ටෝස්ටරයෙන් පිලිස්සී උඩ පනින පාන් පෙති චරබර ගා නිකම් කන්නටද, ඒවා මත මාජරින් හෝ බටර් තවරා කෑමට ද මාටිං අයියාට ඇත්තේ නොතිත් ආසාවකි. හවහාට චූං පාං අයියා පාරේ පන්නාගෙන යන මාටිං අයියා අඩුගාණේ කිඹුලා බනිසකට හෝ වග කියයි. සීනි බනිස්, මාළු බනිස්, සොසේජ් බනිස්, ඉස්පන්චි ආදී එකී මෙකී ඕනෑ දෙයක් එපා නොකියා කන මාටිං අයියා කන්න මුකුත්ම නැත්නම් අඩුම ගාණේ රෝස් පානක් එක්ක කුකුළු මස් කරියේ හොද්දකටවත් වග කියයි. කුස්සියේ බිම වාඩිගෙන මොකක් හෝ හොද්දක් ඉවූ දැලි වලඳක බත් අනාගෙන කන්නට මාටිං අයියාට ඇත්තේ පුදුමාකාර ආසාවකි. හොද්ද අඩිය මොකක් වුවත් පොල්කටු හැන්ද පුරවා බත් හැඳි දෙකක් වුවත් මහ අමාරුවක් නැතිව ගිලබත් කිරීම මාටිං අයියාට මහ කජ්ජක් නොවේය. දැලි වලඳ වටේ නටමින් ඉහේ පටන් දෙපතුල වෙනකම් දැලි නාගෙන බත් කෑමෙන් මාටිං අයියාගේ ඇස් සතුටින් දිලිසෙන්නේය.   

කොටුවේ පිලාවුස් එකෙන් චීස් කොත්තු ගෙනත් දුන් දා පටන් මාටිං අයියාට පුදුමාකාර කොත්තු පිස්සුවක් ගසා ඇත. මහ රෑ මර නින්දේ හිටි වේලාවක ගෙනා කොත්තුව මාටිං අයියා  ඇහැරවා කවන්නට වූ විට, හීන හතක් දැක්කද කොත්තුවෙන් ටිකක් පිඟානකට බෙදා දෙන ලෙස මාටිං අයියා ගෙදර ඈයින්ට අණ කළේය. නින්දෙන් වැටි වැටී පුටුවේ ඉඳගෙන දෙපාරක්ම චීස් කොත්තු බෙදාගෙන කෑ මාටිං අයියා පහුවදා අලුතින් චීaස් කොත්තු කෑමට සිහින මවයි. නිතරම කොත්තු ගැන මතක් කරයි. චීස් කොත්තු කඩේ ඇරලාද විමසයි. ආයේ චීස් කොත්තුවක් ගේන්නේ කවදාද අසයි. ගෙදර නිකම් ඇවිදින ගමන්, "මං චීස් කොත්තු කන්න පුදුම ආසයි" කියා නිවේදනය කරයි. කඩෙන් කොත්තු කෑමට බලමණ්ඩලයෙන් කචල් නිසා මාටිං අයියාගේ කොත්තු හීනය පිරිමහන්නට ගෙදරදී කොත්තු හදන්නට තීරණය වන්නේ මෙවැනි පසුබිමකදීය. 

කොත්තු හදන ගෝදම්බ රොටී පැකට් එකක් ද, එළවළු ද, කුකුළු මස් ද, චීස් කෑලි කීපයක් ද රැස් කරගෙන ගෙදර කවුරුත් යමරෙට කොත්තු හදන්නට කුස්සියට එක් රොක් වී සිටින අයුරු දකින් මාටිං අයියාට ඉහේ මලක් පිපුණා වාගේය. කැරට් කැපෙන පිහිය දෙසටත්, මස් තැම්බෙන ලිප දෙසටත් පිස්සුවෙන් වාගේ දිව යන මාටිං අයියා, ඔයාලා හැමෝම මට කොත්තුව හදන්න උදව් වෙනවාදැයි අසමින් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් උඩ පනියි. පුටුවක් තබා ඈතින් සිට ලිප තබා ඇති හට්ටියට එබිකම් කරයි. කොත්තුවට දාන්නේ මොනාදැයි විමසයි. කොත්තුව හදන පිළිවෙල අසයි. දැං කමුදැයි අසයි. මේසය උඩට වැඩැම්මවූ ගෙදර හැදූ කොත්තුව බෙදා දෙනකම් මාටිං අයියාට සිහියක් නම් නැත. කොත්තුවේ මුල්ම කට හුස්ම කටක්ද නොගෙන කා දමන මාටිං අයියා, මේ කොත්තුව නම් රහේ බැරි බවත් එය ඉතා මරු බවත් කියයි. අනෙක් අයටද කොත්තුවේ මරුව බලාගැනීමට  කොත්තු බෙදාගෙන කන ලෙසත් කියයි. ඔයින් ටික කාලයකට මාටිං අයියාගේ කොත්තු සිහිනය දින කීපයකට සමනය වෙයි.

කන්න ඒ හැටි පිරියක් නැති දාට මාටිං අයියාගේ එකම ආසාව හොඳ හැටි ලුණු ඇඹුල් දැමූ සම්බෝලයක් එක්ක සුදු බත් කෑමය. සම්බෝල එක්ක නම් බත් පිඟානක් පිරෙන්නම කා දමන්නට මාටිං අයියා සමත්ය. ඉඳහිට බත් කවන්නට කියන මාටිං අයියා ස්වාධීනව අනාගෙන බත් කෑමට වැඩියෙන් කැමතිය. හාස් හූස් කියමින් සම්බෝලය කන මාටිං අයියා වතුර ඉල්ලමින් ගේ පුරා දුවන්නේ වතුර කරාමයට තවම උස මදි හන්දාය. ඉස්මුරුත්තාවට කට දැවිල්ල වැඩි දවසට පුටුවකට නැගගෙන මේසයට කිට්ටු කරන මාටිං අයියා හකුරක් හෝ සීනි කැට ටිකක් කටේ දමාගෙන හප හපා යයි. පහුවදාට මොට්ටසෝරි ගෙන යන්න කෑම පෙට්ටියට දාන්නේ මොනවාදැයි අසමින් එදා කෑම වට්ටෝරුව නිමා කර මාටිං අයියා නිදා වැටෙයි. 

Thursday, August 18, 2016

දාලිත්සෝවත : ජාදුමානි

මං ජාදුමානි. ඉපදුණේ ඔරිස්සා ප්‍රාන්තෙ. ඉන්දියාවෙ දුප්පත්ම ප්‍රාන්තයක් තමයි ඔරිස්සා කියන්නෙ. මගේ ගම භන්ජාපාලි. ඒක පුංචි ගමක්. මං හීන කුලේ. ගාන්ධි ජී නම් කිව්වෙ අපි හරිජනයො කියලා. හරිජන කියන්නෙ දෙයියොන්ගෙ ළමයි කියන එකයි. මං නං දන්නෙ නෑ අපි මොන දෙයියන්ගෙ ළමයින් ද කියන්න. සමහරවිට ඒ ගාන්ධි ජී ගේ දෙයියො වෙන්ඩ ඇති. මං දන්නෙ නෑ ඒ දෙයියො මොනතරම් සාධාරණයි ද කියන්න. හැබැයි ඒ දෙයියෝ කියනවා අපි අතින් අල්ලන්නවත් තරම් නොවෙන අසික්කිත වර්ගයක් කියලා. කොහොමින් කොහොමහරි අපේම කියලා ඡන්දකොට්ඨාස වලින් අපේ ජාතියෙ මිනිස්සුන්ව බලයට පත් කරනවට (Granting the Communal Award) ගාන්ධි ජී කැමති වුණේ නෑ. මං දන්නෙ නෑ ගාන්ධි ජී මොන තරම් සාධාරණයි ද කියන්න. සමහරවිට මං වැරදියට හිතාගෙනවත්ද දන්නෙ නෑ.අපි දාලිත් මිනිස්සු (Untouchables).අපි ලෝකෙ ගැන මොනවා කියලා දන්නවටද........

මං උපන්නෙ ගාන්ධා කුලේ. හීන කුලේ අයව තව එක එක කුල වලට බෙදිලා තියනවා. හින්දු දෙයියො කියන ප්‍රධාන කුල හතරට අපි අයිති නෑ. අපි පහළ කුලේ (low caste) අය නෙවෙයි. හරියටම කිව්වොත් අපිට කුලයක් නෑ. අපි කුලෙන් පිට මිනිස්සු (out caste). ඔය කියන විදියට අපි බොහෝම නරක උදවිය වෙන්න ඕනෙ. 

මායි මගේ සනුහරේමයි ගැතිකං කරේ හින්දු ඉහල කුලේ අයගේ වැඩකාරයෝ, කම්කරුවෝ විදියට. හීන කුලේ අපට ඉඩං අයිතියක් නෑ. ඉස්සර කාළේ අපේ කුලේ ඈයින් ජීවිතේ සරි කරගත්තෙ බෙර ගහලා, රෙදි වියලා. අපිට ගමේ ජීවත් වෙන්ඩ අයිතියක් නෑ. අපි හිටියේ ගමින් පිට අටවාගත්තු ගුබ්බෑයම් වල. අපි කවුරුත් කළේ ගමේ හින්දු පවුල් වල දාසකම්. අපේ දුප්පත්කම ඉහටත් උඩින්. අපිට මුකුත් වෙළහෙළඳාමක් කරන්න තහංචි. රස්සාවක් කරන තරමට ඉගෙනගන්නත් තහංචි. අපේ පරම්පාරා ගාණක්ම කළ දාසකම්, වැටුණු කඳුලු, හළපු ලේ ගංගානම් ගඟට වඩා බොහොම උසයි.
සාමාන්‍ය මිනිස්සුන්ට හම්බුවෙන කිසිම පොදු පහසුකමක්වත් ලබාගන්න අපට අයිතියක් නැහැ. මං ඉස්කෝලේ යද්දි වාඩි ගන්න ලැබුණේ පන්තියේ මුල්ලක. ඉහළ කුලේ ලමයින්ගෙන් අපිව ඈත් කරලායි තිබුණේ. දවල් කෑම වෙලාවට ඉස්කෝලෙන් කාටත් කෑම දුන්නා. අපිට දුන්නේ වෙනමම වාඩි කරවලා. ඉහල කුලේ ලමයි කෑම කන පළාතටවත් අපි හීන කුලේ ළමයින්ට යන්න දුන්නෙ නෑ. දවල් විවේක වෙලාවට ඉහළ කුළේ ළමයි ක්‍රිකට් ගහනවා. මාත් හරි ආසයි ක්‍රිකට් ගහන්න. ඉස්කෝලෙ වැට මායිමෙන් එහාට වුණත් මට පුළුවන් හයේ පාරවල් ගහන්ඩ. එතකොට හැමෝම මට අත්පුඩි ගහාවි. ඒත් ඉහල කුලේ ලමයි අපිව ක්‍රිකට් ගහන්න ගන්නෙ නෑ. ඉන්දියාව කීපවතාවක්ම ක්‍රිකට් ලෝක කුසලානෙ දිනුවාලු. අපිත් හරි ආසයි ක්‍රිකට් ගහන්න. ඉහල කුලේ අය දිහා කෙලින් බලන්න අපට තහනම්. ඒ නිසා  ඒ කාටවත් අපේ ඇස් වල දුක වේදනාව නොපෙනෙනවා ඇති.

අපේ ගන්ධා මිනිස්සු සේරම පාරවල් හදන තැන් වල, ගෙවල්, ගොඩනැගිලි හදන තැන් වල අතේපයේ වැඩ තමයි කරන්නෙ. මං කාලයක් හින්දු ඉහල කුල ගොවිපොළ වල කුලී වැඩ කළා. කුළී වැඩ කරද්දී අපට එයාලාගෙ ගෙවල් පලාතටවත් එන්න දෙන්නෙ නැහැ. අපට පිපාසාවට වතුර ඩිංගක් ලිඳකින් බොන්ඩ අවසරයක් නැහැ. වැඩ කරලා හොඳටෝම පිපාසා වුණාම එයාලා කවුරු හරි අපේ අත් වලට හරි අපේ භාජනේකට හරි වතුර වක්කරනවා. එහෙම ලැබෙන වතුර ටික තමයි බොන්නෙ. එයාලගේ වතුර භාජන ලඟටවත් යන්න දෙන්නෙ නෑ අපට, එව්වා අපිරිසිදු වෙන්වාලු.  

මගෙ අම්මටත් තාත්තටත් අකුරු සාස්තරේ බැහැ. තාත්තා ගොවිපොලක කුලී වැඩ කළා. එයාට ලැබුණේ රුපියල් තිහයි දවසේ කුලිය. ඒ සොච්චමින් තමයි අපේ මුළු පවුලම නඩත්තු වුණේ. සමහර කාල වලදි ඒ සොච්චමත් ලැබුණේ නැහැ. මට මතකයි මීට අවුරුදු කීපයකට උඩදී ආපු සීත කාලේ මහපොළොවට එක වැහි බිඳක් වැටුනේ නැහැ. වැස්ස හීන වුනාම ගොවිපොළ වල වැඩ නවත්වනවා. වැඩ නැවතුවාම අපට කුලී වැඩ නැහැ. ඒ මුළු අවුරුද්දටම හරියකට වැස්ස නොවැටුණු නිසා සේරම ගොවිපොළවල වැඩ නතර වුණා. ඒ සීත කාලේ අපි දවස් ගණන් නොකා නොබී හිටියා. ඒක බොහෝම අමාරු සීත කාලයක්. 

*හෝබෝගේ සටහන: එහෙම අමාරු සීත සමයක් ගෙවාපු ජාදුමානිට දැන් වසන්තය උදා වෙලා. එයා හීන කුල මිනිසුන් වෙනුවෙන් හඬ නගපු ආචාර්ය අම්බෙඩ්කාර් මහත්මයාගේ අඩි පාරේ යන, බෞද්ධ දර්ශනය ප්‍රධාන කොටගත් නාගලෝක කියන බෞද්ධ මධ්‍යස්ථානයත් එක්ක සම්බන්ධ වෙලා, ජවහල්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරමින් ඉන්නවා. තමන් වගේ හීන කුලයේ ඉපදීම නිසා නොයෙක් කරදර කම්කටොළු වලට මුහුණ දෙන දාලිත් ජනතාව වෙනුවෙන් සමාජ සේවා කටයුතු වල නිරත වෙනවා. ජාදුමානි තමන්ගේ කතාව ලෝකයටම කියන්නෙ තවමත් සීත සමයට හසු වෙලා ඉන්න දාලිත්වරුන්ට වසන්තය උදා කරන බලාපොරොත්තුවෙනුයි. මට ජාදුමානිගේ ජීවිතෙන් එක මොහොතක් හමු කරලා දෙන්නෙ ඒ වගේ දාලිත්වරයෙකුව සිට දැන් මහණ දම් පුර භන්තේ සුගත හාමුදුරුවෝ. මට භන්තේ සුගත හාමුදුරුවන්ව මුනගැහෙන්නෙ සාසනේට යන්න කලිනුයි. ඒ කාලේ එයා දීපක්. මට දීපක්ව මුණගැහුණු හැටි තව දවසක කියන්නම්. 

Tuesday, August 16, 2016

අත්තම්මාගේ රස කතා-ඉස්කෝලේ ගමන

*ටික දොහකින් ලියන්නෙ. බැරි වුණා ලියන්න.කවුරුත් හොඳින් ඉන්නවාය කියලා හිතනවා. :)

අපූරු බෑණෙකු වන අපගේ තාත්තාගේ දවසේ ලොකුම රාජකාරිය උදැහැනැක්කේම අත්තම්මාට කියවීමට මොකක් හෝ දවසේ පත්තරයක් උස්සාගෙන ඒමයි. අත්තම්මාද බෑණා පොඩ්ඩ ගෙන එන පත්තරය කියවන්නේ බොහෝම ඕනෑකමකිනි. රටේතොටේ දවසේ විස්තර ඕ අපට වඩා දනී. පත්තරය ඔඩොක්කුව මතට ගන්නා අත්තම්මා පත්තරයේ බර බලයි. එයි කාලේ සිළුමිණ පත්තරයක් සත පහයි, මට ඒ පත්තරේ උස්සාගන්නවත් බෑ. එයි තරමට බරයි.අත්තම්මා මුල් පිටේ විස්තර බලන ගමන් කියයි. ඔබ්සර්වර් පත්තරේ වේකන්සි පිටු ගොල්ලෙන් අම්මා මල්ලීට යහමින් උදේට බත් බඳින හැටි හෝබෝවා මතක් කරගන්නේ හිනාවක් ද හක්කේ ගසා තලු මරන ගමන්ය. 

පත්තරය පුරා ඇති ගං වතුර විස්තරේ කියවමින් අත්තම්මා හූල්ලයි. ඉස්සර අපටත් හරීයට ගං වතුර, ඇය කියයි. ඒත් ඉතින් කොයි ගං වතුරටත් ඒ කාලේ අපි ඉස්කෝලෙ යනවා. අම්මලා තාත්තලාටත් ගානක් නැහැ. බයකුත් නැහැ. ගං වතුර කාලෙට අපි ඉස්කෝලේ යන්නේ කොල්ලෑවකින්. එයික පදින්නේ කොලුවෙක්. කැලණි ගඟ ගලලා ගංකරේම සප්ත මහා සාගරේ වගෙයි. කොල්ලෑවේ යන්නෙ මායි, මගෙ අයියයි, කොල්ලෑව පදින කොලුවයි ඉතරයි. හිටි ගමන් කොල්ලෑවට ඈතින් කිඹුල්ලු එහෙමත් යනවා. ඒත් අපි බය නෑ. මොකද අපි හිතාගෙන ඉන්නෙ උන් කබරයි කියලා. 

අපි ඉස්කෝලෙ යන්නෙ ගොඩැල්ලෙන් චූටි කැලේට, ඊට පහු ආණ්ඩුවේ කැලෙන් පට්ටියාවත්ත ගමට. ඉන් පස්සෙ කොතලාවල හංදියෙන් කඩුවෙල පැත්තට තමා ඉස්කෝලෙ තිවුණේ. ඒ කාලෙ අපි පොඩි ළමයි. ඉස්කෝලෙ ළමයින්ට තමා කියන්නෙ ඉස්කෝලෙ ගාන්න ගොම ගේන්ට කියලා. පොඩි කෙල්ලො ලව්වා ඉස්කෝලෙ බිම ගොම පිස්සෝනවා. පිරිමි ළමයි උදලු වලින් මැටි දානවා. ලොකු ගුරුන්නාන්සෙයි, පොඩි ගුරුන්නන්සෙයි තමා අපි ගොම ගානෙව්වා පරීක්ෂා කොරන්නෙ. තව හිටියා කවුදෝ අපේ නෑදෑවෙන කෙනෙකුත්. 

අපිට ඉස්කෝලෙ උගැන්නුවේ සිංහල, ගණිතය. ඉස්සරෝම වෙලා ගන්න තිබුණේ ඉස්කූල් වින් එක. ඉස්කූල් වින් එක කියන්නෙ ඉස්කෝලෙන් තියන විබාගෙ. ඊට පස්සෙ අවුරුද්දකින් ප්‍රාරම්භෙ. එයි විබාගෙට එනවා පිටින් ගුරුන්නාන්සෙ කෙනෙක්. අපි එයැයිට කියන්නෙ පාඩම් මහත්තයා කියාලා. එයැයි නමින් ගුණසේකර. පාඩම්ම හත්තයා එනකොට ඉස්කෝලෙ ළමයි සේරෝමලා දෙපැත්තෙ හිටගෙන එයැයිට ආචාර කරන්න ඕනෙ. ඉස්කෝලෙ ගුරුවරු එදාට අයින් වෙලා බලාගෙන ඉන්ට ඕනෙ. ඉන් පස්සෙ පාඩම් මහත්තයා ප්‍රශ්න පත්තර වගයක් දෙනවා. අත්තම්මාගේ මුහුණේ හීනියට හිනාවක් පහල වෙයි. ගුණසේකර පාඩම් මහත්තයා අපේ නෑදෑයෙක් වෙනවා. අපි ඉතින් වැඩ කළත් නොකළත් අපව පාස් කොරෝනවා!

අවසාන විභාගෙ ලියන්න වයස් මට්ටමක් නෑ. එයික ලියන්න හොඳට වැඩ කරන්න ඕනෙ. ඉස්කෝලෙන් ඉගෙනෙගෙන අවසානෙ ලියලා පාස් වුනාට පස්සෙ ඒ ඉස්කෝලෙම වැඩ කරන්න පුළුවන්. පාසල් ගුරුන්නාන්සෙකෙනෙකුට පඩිය මාසෙකට රුපියල් දහයයි. ලොකුම ගුරුන්නාන්සෙගෙ පඩිය රුපියල් දහ අටයි.