Sunday, July 31, 2016

මාටිං අයියා සහ ඩිස්කවරි චැනලය

මාටිං අයියා ගෙදර ඉන්නා ඉස්තිරී පාර්ශවය ඒ හැටි මායිම් කරන්නේ නැත. උදේ හිට හවහා වන තුරුත්, හවහා සිට එළි වෙන තුරුත් නිවසේ සිටිනා ඉස්තිරී පාර්ශව සියල්ලම පාහේ, මාටිං අයියාට පංසලේ නායක හාමුදුරුවන්ට වාගේ ඇබිත්තකම්, මෙහෙකම්, උවටැන් කිරීමට පේවී සිටීමත්, නිවසේ මහාධිකරණයෙන් අපරාධ චෝදනා එල්ල වී සිරබත් කෑමට සිදුවන තත්වයන් හීදී අභියාචනාධිකරණ, ඔම්බුඩ්ස්මන් ආදී රාජකාරි කිරීමත් මීට හේතු වීමට ඉඩකඩ බොහෝය. මාටිං අයියා සිතා සිටින්නේ තමා ඉතා වැදගත් පුද්ගලයෙකු නිසා හැමතිස්සේම තමාට මල් වට්ටියක්, පූජා වට්ටියක් ගාණට සලකා තමාගේ සියලූම පක්කලි වැඩ කිරීමට නිවසේ ඉස්තිරී පාර්ශවයන් බැඳී සිටින බවය. නිවෙස් වැසි ඉස්තිරී පාර්ශව සියල්ලන්ටම මාටිං අයියා මගේ දෙයියා, මගේ පණ සහ මගේ රත්තරන් කැටේ වීම නිසාත් හවසට දෙන තේ සහ බිස්කට් දොහොත් මුදුනින් මාටිං අයියා වෙත පිළිගන්නන නිසාත් දොඩම් ඇට එක හමාරක් විතර උස මාටිං අයියා නිවසේ එහේමෙහේ යන්නේ ප්‍රතාපවත් රජෙකු වීදි සංචාරය කරන්නා වාගේ සිංහ සෙය්‍යාවෙන් ය. 

මාටිං අයියා නිවසේ ඉස්තිරී පාර්ශවයෙන් නිකමට හෝ මායිම් කරනවා නම් කරන්නේ අන්නක්කාව ය. මාටිං අයියාට ඕනෑ පදමට කටන්දර කියා දෙන්නේත්, ප්‍රශ්නෝත්තර සෙල්ලම කරන්නේත් අන්නක්කා නිසා, තමාට වඩා යමක් දන්නා කියන එකියක ලෙස මාටිං අයියාගේ ලෝකයේ අන්නක්කාට පොඩි තැනක් ඇත්තේය. අන්නක්කා කොහොමින් හෝ වදෙන් පොරෙන් මාටිං අයියාගේ මොළ ගෙඩියට නිතරම පාහේ අකුරක් දෙකක්, වචනයක් දෙකක් එන්නත් කිරීමට ඉතා ආසා කරන්නීය. මාටිං අයියාගේ හවස් ජාම් හොබියක් පිළිබඳ අන්නක්කාට වැඩි පැහැදීමක් නැත. මාටිං අයියා ඇඳ උඩ හරිබරි ගැසී කට ඇරගෙන ඉංදියාවේ කාඩ්බෝඩ් වීරයින් උළුප්පන කිස්නා බැලීමත්, චණ්ඩී බැලීමත් අන්නක්කාට දිරවන්නේම නැත. ඒ නිසා දවසක් අන්නක්කා මාටිං අයියාට අලුත් හොබියක් සැට් කිරීමට උත්සහා දරයි. මාටිං අයියා සමග ඇඳ උඩ එරමිණියා ගොතා ගන්න අන්නක්කා මාටිං අයියාට හා හා පුරා කියා ඩිස්කවරි නාලිකාව හඳුන්වා දෙන්නේ මේ සියල්ලේම ප්‍රතිඵලයක් ලෙසය. 

ගෙදර ජනෙල් දොරවල්, තිර රෙදි, ඇඳ රෙදි, හාන්සිපුටු  මේ අව් අස්සේ අන්නක්කාට ඔලොක්කුවට වාගේ හිනා වෙන්නට වුවත්, අන්නක්කා ඉන් සැලෙන්නේ නැතිව මාටිං අයියා සමග ඩිස්කවරි බැලීමට සැට් වූවාය. ඒ වෙද්දී ඩිස්කවරි චැනලයේ පෙන්නන්නේ සතුන් ගැන වාර්තා වැඩසටහනකි. 
"අර මුක්කුද?" ටෙලිවිෂන් තිරය දෙස කට ඇරගෙන බලා සිටින මාටිං අයියා, අන්නක්කා වෙත සිය ප්‍රථම ප්‍රශ්නය යොමු කරයි.
"ඒ වවුල්ලු." 
"හරී." මාටිං අයියා කියන්නේ ටෙලි තිරයෙන් ඇස් අහකෙට නොගෙනය.
ටික වේලාවක් යයි.
"ඇයි අර කපුටො අතු වල එල්ලිලා ඉන්නෙ?"
මාටිං අයියාට අනුව ලෝකයේ සිටින සියලුම කුරුල්ලෝ කපුටෝ ය. 
"ඒ ඉන්නෙ කපුටො නෙවෙයි පැටියො, ඒ ඉන්නෙ වවුල්ලු. උන් ඉන්නෙ අතු වල එල්ලිලා."
"ඇයි උන්ට පියාඹන්න බැයිද?"
කාමරයෙන් එළියේ වූ හාන්සිපුටුවක් හැක හැක ගා සිනාසෙන්නට පටන් ගනී.
"නෑ, නෑ උන්ට පියාඹන්න පුළුවන්.උන් නිදාගන්නෙ එල්ලිලා අතුවල, ආං අර වගේ...."
"ඉතින් ඇයි උන් එහෙම එල්ලිලා නිදා ගන්නෙ?"
(පරිසරයම නිහඬ වෙයි.)
.
.
.
(පරිසරය තවමත් නිහඬය.)
"ඉතින් ඇයි උන් එහෙම එල්ලිලා නිදා ගන්නෙ?"
මාටිං අයියා කරුණාකර නැවත ප්‍රශ්නය යොමු කරයි.
"හ්ම්...උන්ගෙ කකුල් හැදිලා තියෙන්නෙ ඒ විදියට. ඒකයි."
"හරී..." මාටිං අයියා ආයේමත් මේ අරුම පුදුම වවුල් සැට් එක දිහා බලාගෙන සිටී. ටික වේලාවකින් මේ වවුල් සැට් එක ගඟකට ඉහලින් පියාසර කරනා ගමන් පහත් වී සිය ශරීර ජලතලයේ ගාවමින් යළිත් අහසට එසවෙති.
අන්නක්කාද මෙවන් ඉලව්වක් දැක්කේ එදාමය.
"මොකද්ද උන් ඒ කරන්නෙ?" මාටිං අයියා වහාම ප්‍රශ්න කරයි.
"උන් මාළු අල්ලනවා."
"වවුල්ලු කන්නෙ මාළු ද?"
ඔරලෝසුව වේගයෙන් ටික් ටික් ගායි. 
"වවුල්ලු මාළු ද කන්නෙ?"
(වේදිකාව තවමත් නිශ්ශබ්දය.)
"අන්නක්කෙ, වවුල්ලු මාළු කනවද?" 
ඇත්තටම වවුල්ලු මාළු කනවද...........?
(පසුදා හවස )
"අන්නක්කෙ, අපි අර ඊයෙ බැලුව එක බලමුද?"
අන්නක්කා ඊයේට වඩා ටිකක් අඩු වේගයකින් ටැලිවිෂන් එක දිහාවට ඇවිදගෙන යයි.
ඒ වෙලාවේත් ඩිස්කවරි චැනලයේ යන්නේ සතුන් පිලිබඳවම වාර්තා වැඩසටහනකි.
කළු පැහැති වතුර නොසෙල්වී ගලයි. රූස්ස ගස් වල හෙවණැල්ල වැටී පලාතම අඳුරුය. ගං දිය අතරින් හෙමීට හිසක් ඉහළට එසැවෙයි. මාටිං අයියා ටිකාක් පස්සට විත් අන්නක්කාගේ කිහිල්ල අස්සට රිංගයි. ඩීංගක් වේලා ජල මතුපිටට ආ හිස දෙස බලා සිටින මාටිං අයියා දල්වුනු ඇස් වලින් යුතුව අන්නක්කා වෙත හැරෙයි.
"අන්නක්කෙ!"
"හ්ම්?"
"අර! අර! දැක්කද?"
"හ්ම්..හ්ම්.."
"කබරයෙක්!"
(වේදිකාව මදකට යළි නිහඬය.)
මාටිං අයියා දන්නා, වතුරේ යන ලොකුම සතා වත්ත පහල කබරයන්ය.වත්ත පහල වෙල අයිනේ ඇලේ පදිංචිව සිටින්නා වූ ද නාන ලිඳට පැන නිදන්නා වූ ද වත්තේ එහේමෙහේ සක්මන් කරන්නා වූ ද මාටින් අයියාගේ හිත ගත් ඉතා යහපත් අසල්වාසීන් වන්නේ එක්තරා කබර පවුලකි. මාටිං අයියාට අනුව මෙම පවුලේ කබර අම්මා ද, කබර තාත්තා ද, කබර පුතෙක් සහ කබර දුවක් ද වෙති. 
"නෑ පැටියො, ඔය කබරයෙක් නෙවෙයි. ඔය කිඹුලෙක්."
"කුඹුලෙක්?"
"ඔව් කිඹුලෙක්."
"ඇයි එයා කබරයෙක් නෙමෙයි ද?"
"නෑ, නෑ එයා කිඹුලෙක්. එයාගෙ පිටේ කටු කටු තියනවා. කබරයගෙ පිටේ කහ පාට තිත් තිත් තියනවා." අන්නක්කා කිඹුලාගේ සහ කබරයාගේ සමවිෂමතා විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරයි. 
ටික වේලාවක් යනකම් මාටිං අයියා නිහඬව කිඹුලා දෙස බලා සිටී. 
"ඇයි ඒ කබරයා ඔහොම ඉන්නෙ හෙළවෙන්නෙ නැතුව? ඌ මැරිලද?"
"පැටියො, ඔය ඉන්නෙ කබරයෙක් නෙමෙයි,කිඹුලෙක්. ඌ ඔය හෙළවෙන්නෙ නැතුව ඉන්නෙ සත්තු අල්ලගෙන කන්න."
මාටිං අයියා හිස වනයි. ටික වේලාවක් හැලහොල්මනක් නැති කිඹුලා දෙස බලා සිටින මාටිං අයියා හදිසියේම යමක් මතක් වූවා සේ අන්නක්කා දෙසට හැරෙයි. 
"අන්නක්කෙ...."
"හ්ම්...."
"අර කපුටො ටික කෝ?"
"මොන කපුටො ටිකද පැටියො?"
"ඇයි අනේ අර ඊයෙ හිටියෙ මේකෙ..."
අන්නක්කාගේ උගුර හිරවේගන යයි.
"ආ...අර ඊයෙ හිටිය වවුල්ලුද?"
"ඔව්, ඔව් උන් තමයි. අර මාළු ඇල්ලුවෙ."
"ආහ්...හුම්ම්ම්...උන්...උන් අද නෑ. ඊයෙනෙ හිටියෙ. අද ඉන්නෙ කිඹුල්ලු."
මාටිං අයියා ඇස් දෙකම කරකවමින් ටිකක් වෙලා කල්පනා කරමින් සිටී.
"අර ඊයෙ හිටපු වලුල්ලු ටික මේ කිබුලා කාලා දාලා ද?"
කුස්සිය අහින් වළං මුට්ටි පෙරළි පෙරළී හිනාවෙන හැටි අන්නක්කාට ඇසෙයි.
"අන්නක්කෙ, ඔය කිඹුලා ඒ වවුල්ලු ටික කාලා දාපු හින්දද අද වවුල්ලු ටික නැත්තෙ?"
(හාත්පස අඳුරු රතු පැහැයකට හැරෙයි.) 
(වේදිකාව නිහඬය.)
"අන්නක්කෙ, කිඹුල්ලු වවුල්ලුන්ව කනව ද?"
(වේදිකාව තවමත් නිහඬය. ටිකෙන් ටික අඳුර වැඩිවී තිරය පහතට පැමිණෙයි.)
ඇත්තටම කිඹුල්ලු වවුල්ලුන්ව කනවද......?

Monday, July 25, 2016

මාටිං අයියා

මාටිං අයියාට ඉස්කෝලේ යන්නට තරම් වයසක් නැත. ඒ නිසා මාටිං අයියා යන්නේ මොට්ටසෝරි ය. මාටිං අයියා මොට්ටසෝරි යන්නේ ඒ තරම් විසාල කැමැත්තකින් නොවේය. උදෙන්ම මොට්ටසෝරි යන්නට අවදිවීමට සිදුවීම පිළිබඳ මාටිං අයියාට වැඩි පැහැදීමක් නම් නැත. වදෙන්පොරෙන් ඇහැරව ගන්නා මාටිං අයියා කිරි වීදුරුව කටේ ගසන තුරු හාන්සි පුටුව උඩ හෙළුකොප්පරයෙන් නිදයි. කිරි වීදුරුවේ අමා රසය දිව වැටිච්ච හැටියේම මාටිං අයියාගේ සියලු ඉන්ද්‍රීයයන් වැඩ කිරීමට පටන් ගනී. කිරි වීදුරුව එක හුස්මට ඇද දමන මාටිං අයියා සිය කාර්යබහුල දිනය අරඹයි. වැසිකිලි පෝච්චියේ සිය කාරිය කරගන්නවාට වඩා මාටිං අයියා වඩා ආසා කරන්නේ වැසිකිලි බිම මත අහස්යාත්තරා සහ කෝච්චි හැඩයේ එව්වා බෑමටය. මේ කාරිය කර සිය පස්සා පැත්ත ද කාට හෝ කියා හෝදා ගන්නා මාටිං අයියා මොට්ටසෝරියට යාමට ලකලැහැස්ති වෙයි. මාටිං අයියාව මොට්ටසෝරිය දක්වා එක්කාගෙන යන්නට හන්දියේ ටුක් ටුක් මාමලා කිහිප දෙනෙකුම පේ වී සිටින්නෝය.

මේ අතරින් මාටිං අයියාට නම තැබූ බකිඩරතා ද සිටින්නේය. බකිඩරතා සමග මොට්ටසෝරියට යන මාටිං අයියා, ඉතාම සුවච කීකරු ශිෂ්‍යයෙක් බවට එක සැණෙකින් පරිවර්තනය වෙයි. ගෙදරදී වැඩක් කී විට නෑහුණු ගානට යන මාටිං අයියා, මොට්ටසෝරියේ ඉන්න ලස්සන සුදු චීටර්ලාට පුටු බිමට බෑමට උදව් කරයි. මොට්ටසෝරියේ චීටර්ලාට මාටිං අයියා තරම් අහිංසකයෙක් නොමැති තරම් ය. සමහර දවස් වලට මාටිං අයියා මොට්ටසෝරියට පා තැබූ වෙලාවේ පටන් ඉවර වෙන තෙක්ම පිස්සුවෙන් වාගේ අකුරු ලියන්නේය. ඔහොම හති මුණින් දාගෙන අකුරු ලියන මාටිං අයියා, හරියටම එකොළහ වන විට සිය ලියනකියන කටයුතු නවතා දමයි. මාටිං අයියා ගෙදර වැඩිහිටියන්ට උපදෙස් දී ඇත්තේ හරියටම එකොළහ වෙන විට තමාව ගෙදර ගෙන යාමට මොට්ටසෝරියේ පන්ති දොරකඩ වගකිව යුත්තෙකු පැමිණ සිටිය යුතු බවය. මොට්ටසෝරියෙන් එක්කාගෙන යාමට හදිසියේවත් ප්‍රමාද වුවහොත් එදාට මාටිං අයියා මොට්ටසෝරියේ ගේට්ටුව හරියේ පුපුර පුපුරා සිටින්නේය. මාටිං අයියා වාහනයට නැගගන්නා තුරු ගේට්ටුව අසලට එයාගේ බෑගය අරගෙන එන්නේ පන්තියේ සිටින රෝසපාට කෙළි ඇබිත්තියකි. මේ රෝස පාට කෙළි ඇබිත්ත ඉතාම ගෞරව සම්ප්‍රයුක්තව මාටිං අයියාගේ බෑගය උස්සාගෙන එයි. මේ විස්තරේ ගෙදර ඈයින්ගේ කන වැකුණු වහාම මාටිං අයියා දින කිහිපයකට රෝස පාට කෙළි ඇබිත්තට නිවාඩු දී තමාම ගේට්ටුව තෙක් බෑගය කර ගහගෙන එයි.  

ගෙදර පැමිණීමෙන් පසු මාටිං අයියා කෙලින්ම යන්නේ සෙල්ලමටය. සෙල්ලම් බඩු ගලවා ප්‍රතිසංස්කරණය කිරීම, අහසේ යා යුතු එව්වා වතුරේ යවා බැලීම ආදී වැදගත් සෙල්ලම් කිරීමට මාටිං අයියා  ප්‍රිය කරයි. බැලුං ඇත්තේ පුම්බා උඩ යැවීමට වුවත් මාටිං අයියාගේ සතුට බැලුං වලට වතුර පුරවා ඒවා වහලයට විසිකිරීමය. ඉන්පසු ඇඟිලි වලින් ඉස්සි ඉස්සී වහලය උඩ වැටී තිබෙන බැලුං දෙස බලමින් ද මාටිං අයියා ඉතා සතුටු වෙයි. මීට අමතරව, හාල් ගෝනියෙන් හාල් ගෙන ඒවා සෝදා බත් උයන්නටත් සියලුම පහේ වර්ග යොදා පරිප්පු ඉවීමටත්, ඉඳිආප්ප වංගෙඩියෙන් ඉඳි ආප්ප මිරිකීමටත් ඉතා ආසා කරයි. ඉඳිආප්ප හදන්නට ඇනූ පිටි ගුලි කර බිත්තියේ ඉහළම කෙලවරට එල්ල කිරීමත් මාටිං අයියාගේ තවත් විනෝදාංශයකි. 

හවස් ජාමෙට අකුරු ලියන්නට සිදුවීම මාටිං අයියාට අනුව මහ පොළොව නූහුලන අපරාධයකි. මොට්ටසෝරියේත් අකුරු ලියා ලියා ගෙදර ඇවිත් ද එව්වා ලියන්නේ මොටෝ දැයි මාටිං අයියාගේ මහා මොළයට තේරුම් යන්නේම නැත. කොටින්ම කිවහොත්, මොට්ටසෝරියේ ගේට්ටුව වෙන තෙක් අලුතෙන් කියාදුන් කවි කිය කියා එන මාටිං අයියා, මොට්ටසෝරියේ ගේට්ටුව පනිනවාත් එක්කම කවි කිවිල්ල නවතයි. කවි කියන්නැයි වැඩිහිටි රසිකයින්ගෙන් එන ඉල්ලීම් වලට මාටිං අයියා නැවෙන්නේම නැත.මොට්ටසෝරියේ එව්වා මොට්ටසෝරියේ තබා පැමිණිය යුතුය, මොට්ටසෝරියේ එව්වා ගෙදර ගෙනියන්න හොඳ නැති බව මාටින් අයියාගේ ඉඳුරා විශ්වාසයයි. 

හවසට නොලියාම බැරි වූ විට අකුරු ලියන මාටිං අයියා, රෑට කටන්දර ඇසීමට ඉතා ආසා කරයි. එකම කටන්දරය සියවතාවක් වුවද අලුතින් අහන්නා වාගේ ඇසීම මාටිං අයියාගේ සිරිතකි. කටන්දර අහනා විට කවුරුන් හෝ බාධා කලහොත් මාටින් අයියාගේ ඉවසීමේ කටුව පුපුරා යයි. ඉතාම වේගයෙන් බාධා කළ තැනැත්තාට අවලාද නගන මාටින් අයියා කියා සිටින්නේ තමාට 'සැනසිල්ලේ කටන්දර අහන්නට' ලැබෙන වෙලාවටත් එක එක්කෙනා ඇවිල්ලා කතා කිරීම හරිම 'කලදලයක්' බවයි. කටන්දරය මුල සිට අගටම නොනිදා අසා සිටින මාටිං අයියා හෙට මොට්ටසෝරියේ නිවාඩුවක් දැමිය යුතු බව කියයි. මොට්ටසෝරියේ චීටර් තමා අකුරු ලියා ඉතා මහන්සි වූ නිසා හෙට දවසේ නිවාඩුවක් දැම්මාට කමක් නැතැයි කියූ බව මාටිං අයියා ගෙදර වැඩිහිටියන්ට බැරෑරුම් මුහුනකින් යුතුව ප්‍රකාශ කර සිටී. ඒ නිසා තමා හෙට දවල් වෙනකම් 'සැපට සැපේ' නිදා ගන්නා බව නිවේදනය කරන මාටින් අයියා,  ලේන් පැටවෙකු සේ නින්දට වැටෙයි. මාටින් අයියා හෙට මොට්ටසෝරි යැවිය යුතු ද නැත්ද කියා ගෙදර වැඩිහිටි කාටත් ඉතිරි වන්නේ උභතෝකෝටික ගැටළුවකි. 

Wednesday, July 20, 2016

අත්තම්මාගේ රස කතා - පැටිකිරිය

අත්තම්මා එහෙමටයි කියා පන්සල් යන්නේ නැත. සිල් ගන්න යන්නේද නැත. ඒ මොකොදැයි කියා විමසූ විට ඕ අපූරු උත්තරයක් දෙයි. මට බෑ බං ඔය බණ මඩු වල ඉඳගෙන ඔයි එක එක නාකි ගෑණු උන්ගේ ලේලිලාටයි බෑණලාටයි අහලපහළ ගෙවල් වල ඉන්න ගෑණුන්ටයි දිගෑරගෙන දෙස් තියනවා අහන්න. ඔයි ටික අහගන්ට මං පන්සල් යන්ට ඕනෙය... හවසට හැමදාම අත්තම්මා බුදු පහනත්, පත්තිනි මෑණියන්ට සහ වෙනත් බාරහාරයක් වී ඇත්නම් ඊටද පහනක් පත්තු කරයි. ඕ ඉතාම භක්තිවන්ත පත්තිනි මෑණියන් වන්දනා කරන්නියකි. ඉන්  ඇයටත් පවුලේ සාමාජිකයන්ටත් ඉතා යහපතක් කෙරෙන බව ඕ විශ්වාස කරයි. අත්තම්මා ඔය නාකියි නාකියි කියන්නා සියළු ගැහැනුන් ඇයට වඩා දහපහළොස් වසරකින් හෝ විසිතිස් වසරකින් ඇයට වඩා ලාබාලය. වරෙක ආගං පතුරුවන්නට ආ මැදිවියේ ගැහැණුන් දෙදෙනෙකුට ඕ කොස්සෙන් ගහන්ට ගේට්ටුව තෙක් එළෝගෙන ගියාය. ගේට්ටුව අසලට වී ඇය වටපිටාවේ ගෑණුන් දැනුවත් කළේ, නාකි ගෑණු දෙන්නෙකු ආගං පතුරුවන්ට ගමේ ගෙවල් වලට රිංගන බව කියාය. 
හැමදාම උදේට අත්තම්මා දවසේ පත්තර එකක් හෝ දෙකක් කියවයි. අම්මා කණ්නාඩි දාගෙන පත්තරේ කියවන විට අත්තම්මා පත්තරේ කියවන්නේ කණ්නාඩි නැතිවය. අත්තම්මා මැස්මට හරි දස්සය. හීනි ඉඳිකටු මලෙන් මල් මහන නූල පන්නාගෙන ඕ අපූරුවට මල් මහන්නීය. අපි කවුරුත් නිදන්නේ අත්තම්මා මල් හෝ කුරුල්ලන් මසා ඇති කොට්ට උර පැලැන්දූ කොට්ටාවලය. ජර්මනියේ ඩෙස්පිනා නැන්දාටද ඕ නොවරදවා කොට්ටා උර මසා යවන්නීය. 
අත්තම්මා මෙයි තරම් හැඩේට මහන්න ඉගෙනගෙන ඇත්තේ ඇගේ අම්මාගෙන්ය. වයස අවුරුදු දහයේ පටන්ම ඕ මැස්මට ද බීරළු ගෙත්තමට ද පුරුදු වූවාය. අත්තම්මාගේ අම්මා කොට්ටං ඇටේ හැඩැති තැටිං කට්ටෙන් මනමාලියන්ගේ ඇඳුම් වලට රේන්ද මහන්නීය. අපේ අම්මගෙ නම ජොහානා දෙනවක. එයැයිට දෙනවක හාමිනේ කියලා කතා කළේ නැතිනම් හරියට කේන්ති යනවා. එයැයි හෙන නම්බුකාර විදියට තමා උන්නෙ. අපෙ අම්මා අඳින්නෙ දිග සායයි අත් දිග හැට්ටෙයි. එයාට තිබුණා ලාච්චු පහක මැසිමක්.
අපෙ අම්මගෙ තාත්තා (ඔය කියන්නේ අපේ කිත්තා විය යුතුය.) සෑර් කෙනෙක්. එයාගේ නම දාවිත් ගුරුන්නාන්සේ. එයැයි උගන්නන්නෙ පාලි, සංස්කෘත, සිංහල. හෝමාගම තිවුණු ඉස්කෝලෙ තමයි උගන්වලා තියෙන්නෙ. තාම තියනවා ඒ ඉස්කෝලෙ. තරුණ කාලෙ අපෙ අම්මත් උගැන්නුවාලු මාලඹේ ඉස්කෝලෙ. ඒ කාලෙ ගමටම අකුරු දන්නෙ අපෙ අම්මයි තාත්තයි, තාත්තගෙ පවුලේ පිරිමි ඈයිනුයි විතරයි. ඉස්සර ගෑණු උදවියට අකුරු සාස්තරේ ඉගෙනගන්න දෙන්නෙ නෑ නෙව. අපෙ අම්මට අකුරු සාස්තරේ පුළුවං වුණේ අම්මගෙ තාත්තා ගුරුන්නාන්සේ කෙනෙක් හන්දයි.  
ඒ කාලෙත් තිවුණා ඔය රෝයල්, ආනන්ද, නාලන්ද වගේ ඉංග්‍රීසි ඉස්කෝල. මං ඉස්කෝලෙ ගියේ කඩුවෙල කොතලාවල ඉස්කෝලෙට. ගෙදර ඉඳන් හැතැම්ම තුන හතරක්ම පයින් තමයි යන්නෙ. ඒ කාලෙ අපි කොළඹ ගියෙත් පයින්. කොතලාවල ඉස්කෝලෙ පොඩි පොල් අතු ඉස්කෝලයක්. පොඩි ළමයි විතරක් නෙවෙයි, ළමිස්සියොත්, මහ ගෑණුත් ඔක්කොම එක පන්තියෙ ඉඳන් අකුරු ඉගෙනගත්තා. ඒ කාලෙ ගෑණු ටීචර්ලාට කතා කලේ ගුරුන්නාන්සේ කියලා. පිරිමි සෑර්ලාට කතා කළේ ගුරුන්නාන්සේ මහත්තයා කියලා. මුළු ඉස්කෝලෙටම  උන්නෙ ළමයි තිස් දෙනයි, ගුරුවරු තුන්දෙනයි. ඒ කාලෙ මාව හරියකට ඉස්කෝලෙ යවන්න තාත්තා කැමති වුනේ  නැහැ. එයා තමයි ගමේ වෙද මහත්තයා. තාත්තා එන්නෙ වෙද පරම්පරාවකින්. තාත්තගේ තාත්තත්, බාප්පත් වෙද මහත්තෙලා. අපෙ තාත්තාගෙ අම්මාගෙ තාත්තා (අත්තම්මාගේ මුත්තා විය යුතුය.) වෙද මුහන්දිරන් කෙනෙක්ලු. අපෙ තාත්තාගෙ තාත්තාව වැඩිපුර ඉගෙනගන්ට කියලා සේදවත්තෙ වෙදෙක් ගාවට එව්වාලු. ඒ වෙදාගේ දුව එක්ක හාද වෙලා, කසාද බැඳලා එහෙම බින්න බැස්සාලු. එයින් පස්සෙ නුවර උන්නු සීයාගෙ නෑදෑයොත්, සහෝදරයොත් සේරමලා සෙයිලමට පදිංචියට ආවා කියනවා. 
අපේ තාත්තා මාව වැඩිය ඉස්කෝලේ නොයැවුවාට වෙදකම කියාලා දුන්නා. ඒ කාලෙ ගෑණු ළමයින්ව ඉස්කෝලෙ යවන එක මහ ලැජ්ජාවක්. මට මතකයි ඒ කාලෙ අපේ තාත්තා පරංගි ලෙඩ්ඩු දහ අට දෙනෙක් ගෙදර තියාගෙන බෙහෙත් කොළා. ඒ ලෙඩ්ඩුන්ගේ මුළු ඇඟ පුරාම බෙලිගෙඩි ඉතර ලොකු ගෙඩි දාලා. සනීප කරන්න බෑ. 
ඒ කාලෙ අපි ඇන්දේ සාය හැට්ට. ඔය ඔසරි අඳින පුරුද්ද ආවෙ නුවරින්. ඒ කාලෙ ගෑණු වැඩියෙන් ඇන්දෙ සාය හැට්ට. ඔසරිය අඳිනකොට අපි ඉතාම කොට පොටක් තමා දාන්නෙ. වැඩ කරනකොට ඒ පොට බෙල්ල වටේ ඔතාගන්නවා. තම්බිලායි, චීන්නුයි තමා ගමට රෙදි මිටි බැඳගෙන එව්වා ලී මැහි වල අඩුක් කොරගෙන වෙළඳාමෙ එන්නෙ. අතවැසි කොලුවෝ ඒ මැහි උස්සාගෙන එනකොට මුදලාලි ඒ පස්සෙන් එනවා "රෙදියෝප්...රෙදියෝප්" කියලා කෑගහමින්.ගමට කුළුබඩු ගේන්නෙ ඉන්දියන් දෙමළු. කුළුබඩු වට්ටි පිටින් කරතියාගෙන තමා එන්නෙ. ඔය කවුරුත් අපට බඩු දීලා යන්නෙ බලෙන්ම වාගේ. ඒ වෙලාවෙ සල්ලි ඉල්ලන්නෙ නැහැ. ඊළඟ සුමානෙ ආවම සල්ලි ගන්න බලාගෙන තමයි බඩු දීලා යන්නෙ. 
ඒ කාලෙ අපෙ තාත්තාට අක්කර දහයක් ඉතර තිවුණා. ඒ ඉඩමේ එක එක දිහාට නං හිටං තිබුණා. මුත්තෙට්ටුවත්ත, කනත්ත, මාපොරපෙවත්ත, අමුහේන, පිපිඤ්ඤාකොටුව කියලා මට මතකයි ඒ සමහරක් නම්. අපෙ අම්මයි තාත්තයි ගමේ ගෙන නම්බුකාර ඌස්නෙට තමයි ජීවත් වුණේ. ගෙදර වැඩට ගමේ මිනිස්සු ආවාගියා. අද කාළේ නම් ඉතින් රදවාත් එකයි, හකුරාත් එකයි, පදුවාත් එකයි. ඉගෙනගෙන නං, සල්ලිකාරයි නං උන්ගේ කුල හොයන්නෙ නෑනෙ කවුරුවත්. ඒත් ඒ කාලේ එහෙම නෑ. උන් ගෙදරට එන්නෙ පිළිකන්න පැත්තෙ ඉඳන්. මිටි බංකු දුන්නෙ වාඩි වෙන්න. කෙහෙල් කොලේ තමයි කන්න දුන්නෙ. දණට ඉතරයි අඳින්න දෙන්නෙ. මගුල්තුලාවක් ගන්න, වෙඩි ගහන්න එහෙම තහනම් ගමේ ප්‍රභූන්ගේ අවසරේ නැතුව. එහෙම කලෝතින් එහෙම උන්දෑලට ගහලා පන්නනවා. ගෙදෙට්ට එන මනුස්සයෙකුට මං 'ආ විලියොං මාමෙ' කියලා එහෙම කතා කලොත්, අපෙ අම්මා හරි තාත්තා හරි මට ටොකු ඇනලා කියනවා, 'ඇයි ඒ බොගේ නෑයොද මාමෙ කියන්න, විලියොං කියලා කතා කරපිය' කියලා. මට වඩා විසිඅවුරුද්දක් ඉතර වැඩිමල් අයෙකුට මං කොහොමද නම කියාලා කතා කොරන්නෙ....එව්වා මහ සහගහන වැඩ. ඒ මිනිස්සුත් මිනිස්සු නෙව.එසේ කියූ අත්තම්මා දවල් එළියෙන් ආපිට මල් මැස්මට හිත යොදමින් දිගු සුස්මක් හෙළයි. වදෙන් පොරෙන් හීනි ඉඳිකටු මලට නූලක් දමා අත්තම්මාට ඉඳහිට සහාය වෙන හොබෝවා, ඈ මසන වෛවර්ණ මොනරා දෙස මදකට බලා සිට ආයේමත් ලැප්පොට් එකේ මූණ ඔබාගෙන කතා අමුණන්නට විය. 

Friday, July 15, 2016

දිඹුල් කොළ, ආන්ජලෝ සහ පීනස් අමාරුව

කොරන්ට රස්සාවක් නැතුව ගොඩ වෙදකමක් පටන් ගත්තා හෙම නොවෙයි ඕං. අද කතාව ඇස් වලටයි හිත් වලටයි වැලඳුණු පීනස් අමාරුව සුව කොරන දිඹුල් කොල ගැනයි, ආයුබොවං! 
මීට ශතවර්ෂ ගණනාවකට පෙර පටන් මිනිසා චිත්‍ර කලාව සහ මූර්ති කලාව සිය නිර්මාණශීලී චින්තනය පරිවහනය කරන්නාවූ මාධ්‍යයයක් ලෙස භාවිත කරනවා. මානව රූප ප්‍රතිනිර්මාණය මේ කලාවේ විශේෂ තැනක් ගන්නවා. මානව රූප සිතුවම් කිරීමේදී සහ මූර්ති නිර්මාණයේදී මානවයාගේ නිරුවත මූලික කොට ගැනීම සිතුවම් සහ මූර්ති කලාව සංස්කෘතිකමය, ආගමික සහ සදාචාරාත්මක වශයෙන් ඝට්ටනයකට ලක් කිරීමක් ලෙස හඳුනා ගන්න පුළුවන්. මීට වසර දෙදහසකට පමණ පෙර ග්‍රීක සහ රෝම නිර්මාණකරුවන් අතින් නග්න මූර්ති නිර්මානය වීම එක්තරා සංස්කෘතිකමය ප්‍රාතිහාර්යයක්. බොහෝ දෙනෙකු මෙම නග්න ප්‍රතිමා පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදැක්වූවත්, මෙලෙස නග්න දේහ මූර්තියට නැංවීම මානව කලා නිර්මාණකරණයේ විප්ලවයක් විදියට අපට සලකන්නට පුළුවන්.
ක්‍රිස්තු පූර්ව 730 ට ඈත අතීතයේදීත් මෙලෙස මානව නග්න දේහ ප්‍රතිනිර්මාණය කිරීම පැරැන්ණන් විසින් සිදු කර තිබෙනවා. මීට පෝයවල් ගණනාවකට උඩදී ඉස්ලාම් අන්තවාදීන් විසින් අතීත අසිරියාවේ (වත්මන් ඉරාකයේ) තිබුණු එවැනි නග්න කලා කෘති භෞතික වශයෙන් සහ සංස්කෘතික වශයෙන් බුල්ඩෝසර් කර දමනු ලැබුවා.මෙම පෞරාණික අසිරියානු නග්න කලාකෘති සහ සම්භාව්‍ය යුගයේ (500BC to 200AD) නග්න කලා කෘති අතර විශාල වෙනසක් තිබෙනවා. පෙර කී කලා කෘතීන්හි සෑමවිටම පාහේ යුද්ධයේ පරාජිතයන්, පරාජය වී මිය ගියවුන්,ආබාධයන්ට ලක්වූවන්, හිසගසා දමන ලද්දවුන් සහ එලෙස අසරණ අඩියකට පත්වූවන්  ව්‍යංගනය කිරීමට තමයි මෙම නග්නභාවය යොදා ගැනෙන්නේ.ජයග්‍රාහී අසිරියානුවන් සියල්ලෝම මනා වස්ත්‍රයෙන් සැරසී සිටිනවා. නමුත් සම්භාව්‍ය යුගයට එන විට මෙම ව්‍යංගනය එහෙමපිටින්ම කණපිට පෙරැලෙනවා. ග්‍රීක සහ රෝමානු නග්න මූර්තීන්හි ව්‍යංගනය කෙරෙනුයේ රණශූරත්වය,ජයග්‍රහණය,පුරුෂ කාය ශක්තිය,ක්‍රීඩා කෞශල්‍යය, කාන්තා ලාලිත්‍ය, සුනම්‍යභාවය සහ සරාගී ගුණයනුයි. 

සමච්චලයට සහ අවමානයට ලක් වුණු මිනිස් සිරුරෙහි නග්නභාවයට වීරත්වයක්, ජයග්‍රාහීබවක් මුල්ම වරට ආරෝපණය වන්නේ සම්භාව්‍ය යුගයේ කලාකරුවන් අතිනුයි.සාමාන්‍ය ජීවිතයේදී ග්‍රීකයන් නග්නව නොසිටියත් ඔවුන් පෞරාණික ඔලිම්පික් ක්‍රීඩා සඳහා ජවන සහ පිටිය ක්‍රීඩා වල නිරත වන විට ඔලිව් තෙල් මිශ්‍ර දූවිලි විශේෂයක් පමණක් ශරීරයේ ගල්වාගෙන තිබෙනවා. ග්‍රීකයින් මෙලෙස නග්නව ක්‍රීඩා කිරීමට හේතුව නිශ්චිතවම හඳුනාගෙන නැහැ. මේ පිලිබඳ එක් මතයකට අනුව, වරක් ඔලිම්පික් උළෙලකදී මීටර 200 දිවීමේ ඉසව්වේ පලමුවැනි තැන ගත් ක්‍රීඩකයා, දුවන අතරතුරේදී ඔහුගේ ඇඳිවත කඩාවැටුණු බවත්, එය දුටු ඔහුගේ සහචර ක්‍රීඩකයිනුත් සිය ඇඳිවත් උනා දමා තරගයේ නියුතු වුණු බවත් කියැවෙනවා! තවත් ජනප්‍රිය මතයක් වන්නේ, යොවුන් වයසට එලැඹීම නිමිති කොටගෙන, මෙතෙක් කලක් නොමේරූ පිරිමි දරුවන් හැඳි ගවුමක හැඩයෙන් යුතු ඇඳුම් උනා දමා තමා දැන් නිසි වයසට එලැඹ ඇති බව ප්‍රදර්ශනය කිරීම උදෙසා මෙලෙස ඇඳුම් උනා දමමින් ක්‍රීඩාවෙහි නියුතු වෙන්නට ඇති බවයි. ඔලිම්පික් උළෙල එකල ඔලිම්පසයේ විසුවා යැයි විශ්වාස කරන ලද දෙවිවරුන් වෙනුවෙන් පැවැත්වූවක් නිසා, වැඩිවියට පැමිණීම සැමරීම මෙම උත්සවයේ කොටසක් වන්නට ඇතැයි විශ්වාස කරන්නට පුළුවන්. සම්භාව්‍ය යුගයේ නිර්මාණය වූ බොහෝ මූර්ති ක්‍රීඩාවෙහි නිරත වන අයෝමය දේහධාරී නග්න රූප ලෙස ප්‍රතිනිර්මාණය වී තිබෙන්නේ මේ කාරණාව නිසා වෙන්නට ඇති. මෙම නග්න මූර්ති වල සුවිශේෂීත්වය වන්නේ, කිසිම අවස්ථාවක පුරුෂ නග්න දේහයේ පුරුෂ ලිඟුව උදර්ජනය වී ඇති ආකාරයට නිර්මාණය කර නොතිබීමයි. මෙලෙස උදර්ජනය වූ ලිඟුවක් නිර්මාණය නොකෙරුණේ, පොදු ස්ථාන වලදී එසේ හැඟීම් උද්දීපනය කරගැනීම වරදක් සහ ලජ්ජා සහගත එකක් බවට ග්‍රීකයින් විශ්වාස කළ නිසයි. 

නමුත් කාලයාගේ ඇවෑමෙන් මෙම නග්න කලා නිර්මාණයන්ට පීනස් අමාරුවක් වැලඳෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට, අද වෙද්දී වතිකානු කෞතුකාගාරයේ ඇති සෑම පෞරාණික නග්න කලා නිර්මාණයකම පුරුෂ ලිඟුවක්ම හැලී වෙන්වීගොස් හෝ දිඹුල් කොලයකින් වසා තිබෙනවා. ඉතින් ශත වර්ෂ ගණනාවකට පස්සේ මේ නග්න නිර්මානයන්ට වැලඳුණු දරුණු පීනස් අමාරුව මොකද්ද? මේ පීනස් අමාරුව මුලින්ම ඇතිවන්නේ හතරවන පාවුලු පාප්වහන්සේත් සමගයි. මේ පාප්තුමාගේ පාලන සමය වර්ෂ 1555 සිට 1559 දක්වායි. යාන්තමට වගේ ඇති වුණු මේ පීනස් අමාරුව Pope Innocent X කියන පාප්තුමාගෙ (1644-1655) කාලෙදි තව ටිකක් වැඩි වෙනවා. මේ ලෙඩේට පිළියමක් වශයෙන් පිළිතුරක් සොයාගෙන යනකොට තමයි Innocent X පාප්වහන්සේට දිඹුල් කොළ හම්බුවෙන්නෙ. ඉතින් එයා තීරණය කරනවා මේ පීනස් අමාරුවට දිඹුල් කොළ ඉතා හොඳ බෙහෙතක් බව. ඒ අනුව එහේ මෙහේ පීනස් එළියේ දමාගෙන සිටිනා ග්‍රීක සහෝදරවරුන්ගේ පීනසය උඩින් දිඹුල් කොලයක් අලවන්ට මේ අහිංසක පාප්වහන්සේ තීරණය කරනවා. 1758-1769 කාලයේදී සිටි Clement XII පාප්වහන්සේ මහා පරිමාණයෙන් දිඹුල් කොළ නිෂ්පාදනය කර සෑම නග්න මූර්තියකටම පාහේ වැලඳිලා තිබුණු මේ පීනස් අමාරුව සනීප කරන්න විශාල ප්‍රයත්නයක් දරනවා. මේ පීනස් භීතිකාව අන්තිම දරුණු තත්වයට ලඟා වෙන්නේ Pius IX පාප්වහන්සේගේ කාලයේදීයි. මේ පාප්වහන්සේට දැඩි පීනස් භීතිකාවක් තිබුණා. ඒ නිසා උන්වහන්සේ අණ කලා මෙතෙක් පිළියම් නොකළ සියළු පීනස් වහාම කඩා විනාශ කර දමන ලෙස. ඔන්න ඔය අණෙහි ප්‍රතිඵලයක් විදියට ඉතාමත්ම වටිනා Apollo Belvedere වැනි විශිෂ්ට ප්‍රතිමාවන්ට සිය ලිංගය අහිමි වෙනවා. 
මෙන්න මේ වගේ දරුණු පීනස් භීතිකාවක් තිබුණු කාලයේදී තමයි මයිකල් ආන්ජලෝ නම් අග්‍රගණ්‍ය චිත්‍ර සහ මූර්ති ශිල්පියා සිය කලා දිවියේ පරිණත අවධිය ගත කරන්නේ. ඉතින් මේ කාලයේදී ආන්ජලෝට ආරාධනාවක් ලැබෙනවා වතිකානුවේ සිස්ටයින් දෙව්මැදුරේ The Last Judgment යන තේමාවෙන් බිතුසිතුවමක් නිර්මාණය කරන්නට. එකල වතිකානුවේ අවසන් තීන්දුව සිතුවමට නැගීමේදී එහි ඇතුලත් වන පුද්ගලයින් සිය තානාන්තරයට ගැලපෙන පරිදි වස්ත්‍ර වලින් යුතුව නිර්මාණය කර තිබුණා. නුමුත්, ආන්ජලෝ මෙම බිතුසිතුවමේදී මහා පෙරැළියක් කිරීමට තීරණය කළා. ඔහු මෙම බිතුසිතුවමට හාරසියයක් වූ නිරුවත් පිරිසක් කිසිදු තානාන්තරයකින් තොරව බලා සිටිනු නිරූපනය කළා. නිරුවත් පවුකාරයින් දකුණු පසින් පහළට යන අයුරිනුත්, නිරුවත් ආශිර්වාද ලද්දෝ වම් පසින් ඉහළට යන අයුරුත් ඔහු චිත්‍රයට නැගුවා. 
ආන්ජලෝගේ මේ කෙරුවාව වතිකානුවේ හිටි පීනස් අමාරුකාරයින්ට නම් ඇල්ලුවේ නැහැ. ලොකු පීනස් අමාරුකාරයෙක් වුණු Biagio da Cesena මේ චිත්‍රකාරයාගේ කෙරුවාවට එහෙමපිටින්ම විරුද්ධ වුණා. දෙව්මැදුරක් වැනි ඉතා ගෞරවනීය තැනෙක ලැජ්ජාවක් නැතිව තමන්ගේ හෙළුව ප්‍රදර්ශනය කරමින් ඉන්නා නූල්පොටක් නැති ශරීර සිතුවම්කොට තැබීම ඉතාම නින්දා සහගත යැයි Cesena කියා සිටියා. මේ වගේ චිත්‍ර හොඳ තැබෑරුම් වලටයි, පොදු නාන ස්ථාන වලට විතරයි කියලා තමයි Cesenaගේ අදහස වුණේ.  ආන්ජලෝ කියන්නෙත් නිකම්ම නිකං චිත්‍රකාරයෙක් නෙවෙයිනේ. ඉතිං Cesenaගේ මේ පීනස් අමාරුව දෙපිටින් යන්න දහංගලේ වැඩක් දෙන්න එයා තීරණය කළා. ග්‍රීක දේව වන්දනාවට අනුව, මරණයෙන් පසු සෑම මනුෂ්‍යයෙක්ම අවසාන තීන්දුවට මුහුණ දිය යුතුයි. මේ තීන්දුව දෙන්නෙ මිනොස්, ආකස් සහ රදමන්තුස් කියන තිදෙනෙකුගෙන් යුතු විනිශ්චය මඩුල්ලක්. ආන්ජලෝ මිනොස්ගේ මුහුණ අපේ පීනස් අමාරුකාරයාගේ මුහුණ විදිහටම සිතුවම් කළා! ඒ විතරක් නෙවෙයි,නිරුවත් Cesenaගේ ඔළුවට බූරු කන්දෙකක් ද මතක ඇතිව ඇඳලා දාපු ආන්ජලෝ Cesenaගේ හෙළුව වසාගෙන සර්පයෙකු වෙලී සිටින අන්දමත්, ඒ සර්පයා Cesenaගේ ලිඟුව කා දමනවාත් සිතුවම් කළා! Cesena මේ පිළිබඳ III වන පාවුලු පාප්වහන්සේට පැමිණිලි කලත්, මාගේ තීන්දු තීරණ දිව්‍ය ලෝකයට කැප වූවත් අපායට කැප නැති බව කියමින් උන්වහන්සේ මේ පීනස් අමාරුකාරයාව මගහැරියාලු. 

1564 දී ආන්ජලෝ මියගිය පසු, පල්ලියේ මැදිහත්වීමෙන් මෙම බිතුසිතුවමෙහි වූ නග්න ශරීර වල ලිංගේන්ද්‍රියන් මත දිඹුල් කොළ සිතුවම් කරමින් නොපෙනෙන ලෙස සකස් කෙරෙව්වාලු. මේ විදියට දිඹුල් කොළ ඇඳපු Daniele da Volterra නම් චිත්‍ර ශිල්පියාට "the breeches maker" (හෙළුව/කටී ප්‍රදේශය වසන්නා) කියලා නමකුත් පටබැඳුණාලු. 1980 සිට 1994 දක්වා වතිකානු දෙව්මැදුරේ සිදුකරන ලද පුනස්ථාපන කටයුතු වලින් පස්සෙ පීනස් අමාරුකාරයින් විසින් මේ සිතුවමෙහි ස්ථානගත කරන ලද දිඹුල් කොළ වලින් අඩක් පමණ ඉවත් කරගන්නට පුළුවන් වුණාලු. 

Thursday, June 30, 2016

චීන නරි

ලබු කිරිබත් කාපු නරි හාමිගේ පටන් ගමරාළගේ දෝණියැන්දාව සහේට ගන්න ආපු නරි නයිදෙත්, මිදි කඩාගන්න බැරිවුණු  ඊසොප්ගේ නරිහාමි ගැනත්, ඒ විතරක්ය, සුවාදීන රූපවාහිනියේ ගියපු සුදු පුංචා පප්ට් ශෝ එකේ හිටපු 'එක පොතකට බුක් නම් පොත් දෙකට දෙබුක්' කියපු නරිහාමි ගැනත්  හැමෝටම මතක ඇතිනේ. ඔය සේරෝමලා අපට ලංකාවේ පාරතොටේ මුණුගැහෙන නරි නෙව. ඉතින් මීට වඩා ටිකක් වෙනස් නරි ටිකක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නෙ. මෙයාලා නිකම්ම නිකම් නරි නෙමෙයි, චීන නරි.
චීන ජනකතාවේ ජනප්‍රියම චරිතයක් තමයි නරියා කියන්නේ. චීනයේ මේ නරි ආභාෂය අතීතයේදිම ජපානයටත් කොරියාවටත් ලැබිලා තියනවා. ඒ නිසා මේ රටවල තුනේම ජනශ්‍රැතිකරණය වුණු නරි පෝලිමක් ඉන්නවා. මෙයැයිලාට නරි නරි කිව්වාට ඇත්තටම ගත්තොත් නම් මෙයැයිලා බවලත් නරිච්චියෝ. ඕං ඉතින් මෙච්චරෝ වෙලා කම්මැලිකමේ පෝස්ටුව කියෝ කියෝ හිටි සමහර කස්ටිය අලුතින් ලැබුණාවූ ඊස්ට්‍රජන් ඩෝස් එකෙන් කුල්මත් වෙලා ඉතිරි හෑල්ලත් කියෝලා දාන්ට හිත හදා ගන්න බව පේනවා මට මගේ ලැප්පොට් අඳුනෙන්. බලාන ගියාම ඒකෙත් වරදක් නෑ, මොකොදැ මෙයැයිලා හරි අපූරු චීන නරිච්චියෝ ටිකක් තමයි. 
චීන ජනශ්‍රැතියට අනුව නරියාට ඉතා දීර්ඝ ආයු කාලයක් හෙවත් hu-li එකක් තිබුණා.  නරියාගේ ආයු කාලය වසර 800-1000 පමණ දිගු වන බවත්, සමහරක් වෙලාවට අමරණීයත්වය වුවත් උදා කරගන්න ඌට පුළුවන්කම තිබෙනවා කියලා චීන ජනතාව විශ්වාස කළා. ඒ වගේම යින් සහ යැන් වලින් ජීවයේ ස්ත්‍රී පාර්ශවය ලෙස සැලකෙන යින් කොටස නරියා තුල වැඩියෙන් පවතින බවත් ඔවුන් විශ්වාස කළා. මේ නිසා නරි සඳහා විවිධ පන්සල් සහ වෙනත් සිද්ධස්ථාන පවා ඔවුන් විසින් ඉදිකෙරුණා. නරියාගේ තිබුණු නිශාචර ගතිගුණ සලකා බලා පැරණි චීන ජනයා විශ්වාස කලා යින් කොටසින් පිරි නරින්ට රාත්‍රී කාලයේදී සිය වෙස් මාරු කරගෙන සුන්දර කාන්තාවන් බවට පත් වෙන්න හැකියාවක් තිබෙන බව.ඒ වගේම නරින්ගේ ශරීරයේ ඇති යින් නම් ස්ත්‍රී කොටස යැන් කොටස සහ සමබර කරගැනීමේ අවශ්‍යතාව, එසේත් නැතහොත් පිරිමි ඇසුරක අවශ්‍යතාව සපුරා ගැනීමටත් කාන්තාවන් බවට පත්වන නරින්ට අවශ්‍ය වූ බව විශ්වාස කෙරෙනවා.  මේ පිරිමි ඇසුර සාමාන්‍යයෙන් දෙවිදියක් වුණා. එකක් තමයි මෙම නරියන් කාන්තාවන්ගේ වෙස් ගෙන, පුරුෂයින් සමග නිදිවැදීම. අනෙක් ආකාරය නම් පරපෝෂිත ක්‍රමයක්. පැරණි චීන ගැමියන් විශ්වාස කලා මෙලෙස ගැහැණු වෙස් ගෙන පැමිණෙන නරියන් පිරිමින්ගේ හදවත් හෝ අක්මාව ආහාරයට ගන්නා බව. 
නරි සහ නරි ආත්ම පිළිබඳ ප්‍රසිද්ධ චීන කතා එකතුකරන්නෙක් තමයි පූ-සොංග්-ලින් (1640-1715) කියන පැරණි චීන උගතෙක්. මෙයා උගතා වුණාට හෙන බේබද්දාලු. හොඳ රාජ්‍ය නිලධාරියෙක් වෙන්න හැකියාව සහ දක්ෂකම තිබුණත් මෙයාගෙ මේ බේබදු ජීවිතේ නිසා ඒ අදහස අතරමග අතෑර දාන්න පූ-සොංග්-ලින්ට සිද්ධ වුණාලු. මෙයා කොහේ හරි තැබෑරුමකට හේත්තු වෙලා බොනපාට් වැඩේ කරන ගමන් එක එක මිනිස්සුන්ගෙන් නරි පිළිබඳ කතාන්තර අසමින්, ඒවා සටහන් කරගනිමින් කාලය ගතකළාලු.
චීනයේ එන පැරණිම නරි මිත්‍යා කතාවක් තමයි හොන්ග්-යු කියන්නෙ. නරියන් පිළිබඳ පැරණිම මිත්‍යා කතන්දර වලට ආවේණික රාමුවක් තිබෙනවා. භෝ විට සිදු වෙන්නේ ගැහැණු වෙස් ගත් නරියා පිරිමියෙකුගේ ජිං සොරකම් කර ගැනීම. නරියා සොරකමේ යෙදෙන මේ ජිං යන්නට පිරිමියාගේ ශුක්‍රාණුත් ඔහුගේ ජීව ශක්තියත් යන දෙකම අයත් වෙනවා. රාත්‍රී කාලයේදී පිරිමියා සමග නිදි වදින ගැහැණු වෙස් ගත් නරියා, පිරිමියාව කිහිපවරක්ම සුරතාන්තයට පමුණුවා හිමිදිරිය වන්නට මත්තෙන් පැන යනවාලු. බොහෝවිට එසේ පැන යන විට සිය සැබෑ ස්වරූපයත් පෙනීමට සලස්වනවා කියලාත් මිනිසුන් විශ්වාස කරනවා. එක්තරා ආකාරයකට මෙය One Night Stand එකක්. 
හොන්ග්-යු කතාවේ නම් මේ සාම්ප්‍රදායික ක්‍රමය ටිකක් වෙනස් වෙනවා. මේ කතාවෙහි එන නරියා අන් චරිත වගේ එක රැයකින් පැනලා යන්නේ නැහැ. මේ ගැහැණු වෙස් ගත් නරියා එම පිරිමියා වෙත සෑම රාත්‍රියකම පැමිණෙනවා. මෙම මිනිස් තරුණයාගේ පියා මේ නරි ආගමනයට විරුද්ධ වුණාම, තරුණියකගේ වෙශයෙන් ආ නරියාම මේ තරුණයාට විවාහ කරගැනීමට තරුණියක් ද සොයා දෙනවා.  කාලයක් ගතවුණාම මේ තරුණයාට නපුර ලඟා වෙනවා. ගමේ ඉන්න බලපුළුවංකාර පෝසතෙක් මේ තරුණයාගේ බිරියව පැහැරගෙන යනවා. තමන්ව දූෂණය වනවාට වඩා මිය යාම හොඳයි කියා සිතන තරුණ බිරිය, සියදිවි නසා ගන්නවා. පැහැරගැනීම සිදුකරනා බලපුළුවංකාරයාගේ හදිසි මරණයට තරුණයාව සැක කෙරෙන අතර ඔහුගේ බිලිඳු පුතාව පැමිණිලි පාර්ශවයේ පිරිස විසින් කන්දකින් පහළට විසි කරදැමෙනවා. මේ අවාසනාවන්ත තත්වයේදී තරුණයාගේ පිහිටට එන්නේ අර තරුණියකගේ වෙස් ගත් සිවලායි. කන්දෙන් පහලට විසි කල දරුවාව බේරාගන්නා සිවලා තරුණයාට පිහිට වෙනවා. කතාව අවසානයේදී සිවලාව නිරූපනය කෙරෙන්නේ පරපෝෂිතයෙකු ලෙස නෙවෙයි, ගැලවුම්කාරයෙකු ලෙසටයි. නරියාගේ චරිත නිරූපණය විවිධ ආකාරයෙන් මේ චීන ජනකතාවලදී නිරූපණය වෙනවා. විටෙක පරපෝෂිතයෙකු ලෙසටත්, විටෙක ගැලවුම්කාරයෙකු ලෙසටත්, ගණිකාවක් ලෙසටත්, අහිංසක තරුණියක,ලිංගික අප්‍රාණිකත්වයෙන් පෙලෙන පුරුෂයෙකුගේ බිරිඳ,මාමණ්ඩියගෙන් සහ නැන්දණියගෙන් අතවරයට ලක්වන ලේලියක ලෙසටත් නරියාගේ වෙස් මාරුව නිරූපනය කෙරෙනවා.  
පෝස්ටුවේ මුලින්ම කිව්වනේ චීනයේ මේ නරි ආභාෂය ජපානයටත් කොරියාවටත් ලැබුණා කියලා. ජපානයේ මෙලෙස වෙස් මාරු කරන නරියන් හඳුන්වන්නේ කිට්සුනේ කියලයි. කොරියාවේ මොවුන්ව ගුමිඕ කියලා හඳුන්වනවා. ගුමිඕ කියන්නේ වල්ගා නවයක් සහිත නරියෙකුටයි. මේ වල්ගා නවයේ ජීවිත නවයක බලය තිබෙනවා කියලා ඔවුන් විශ්වාස කරනවා. මේ ගුමිඕ නම් කොයි වෙලාවෙත් පුරුෂයෙකුගේ හදවත කාලා තමන්ගේ යින් වුවමනාව සපුරාගන්න ආසාවෙන් ඉන්න පරපෝෂිතයෙකු ලෙස තමයි නිරූපනය වෙන්නෙ. ජපානයේ කිට්සුනේ ලෙස හඳුන්වන මේ නරි-මිනිස් වෙස් මාරු කතාන්තර වල, ලිංගික සන්තර්පණය පමණක් නෙමෙයි, අඹුසැමි ප්‍රේමය, තමන් සතු කර ගත නොහැකි ප්‍රේමය වැනි මාතෘකා පිලිබඳවත් කතා කෙරෙනවා. කිට්සුනේ යන්නෙහි තේරුම එන්න, ඇවිත් මා සමග නිදිවදින්න කියන සරල තේරුමයි. 
වරක් එක් මනුශ්‍යයෙක් යහපත් බිරියක් සොයාගෙන අස්පයා පිට ගමනක් ගියාලු. අතරමගදී ඔහුට ඉතා සුන්දර තරුණියක මුනගැසුණාලු. ඔබ කොයිබක යනවාද කියා මිනිසා තරුණියගෙන් ඇසූ කල මා යහපත් ස්වාමිපුරුෂයෙකු සොයා යමි කියා ඕ පිළිතුරු දුන්නාලු. දෙදෙනාම එකිනෙකාට කැමති නිසා මිනිසා මේ තරුණියව නිවසට ගෙන ගොස් සිය බිරිඳ කර ගත්තාලු. ඉක්මනින්ම මේ තරුණිය ගැබ්බර වුණාලු. ඒ එක්කම වාගේ නිවසේ සිටිය බැල්ලද ගැබ්බර වූවාලු. මේ බැල්ල නිතරම මේ තරුණියට බුරනවා. මොකද බැල්ලට දැනෙනවා සිවලාගේ ඉව. මේ බැල්ල මරා දාන්න කියලා කීවත් සැමියා ඊට කැමති වන්නේ නැහැ. ඉතින් මාස කිහිපයකට පසු අලුත් සහලෙන් රජතුමාට වෙන් කරන සහල් පංගුව ගෙන යාමට සූදානමින් ඒවා සකසමින් හිටපු සේවකයින් වෙත මේ සිවල් බිරිය රසකැවිලි ගෙනයනවා. අසල හිටපු අර බැල්ල එක වරම මේ බිරිය දෙසට කඩා පැන ඇයව සපා කන්න හදනවා. බියට පත් වූ තරුණිය එක වරම සිවල් ස්වරූපයට හැරී වැටට උඩින් පැන යනවා. 
සිය බිරියගේ මේ වෙස් මාරුව දකින සැමියා දුකට පත්වෙනවා. මට නුඹගෙන් දරුවකු ඉන්නවා. ඒ නිසා මට නුඹව අමතක කරන්න බැහැ. ඒ නිසා සෑම රැයකම ඇවිත් මා සමග සයන් ගත වෙන්න, සැමියා කියනවා. තමන්ගේ සැබෑ ස්වරූපය හෙළිදරව් වූ පසු සිවලා ආපිට මිනිස් ඇසුරට එන්නේ නැති බව තමයි විශ්වාසය.සැමියාගේ ඉල්ලීම නිසා සිවල් බිරිය සැමදාම රාත්‍රියට සිය සැමියාගේ සයනයට එනවා. එන්න ඇවිත් නිදිවදින්න හෙවත් කිට්සුනේ කියලා මේ සිවල් බිරියට නම් තැබෙනවා. සෑම උදෑසනකම, රක්ත වර්ණ ඇඳුමකින් හැඩවුණු සිය බිරිය සෑම උදෑසනකම තමාගෙන් වෙන් වී යන සොවින් සැමියා මෙලෙස සිය බිරියට දුක් ගීයක් ගායනා කරන්නේලු. 

ප්‍රේමය මගේ 
පිරිපුන් වූ සැපත
මොහොතක එක් වීමකින් පසු
අහෝ!

යන්නට යන්නීය.

Monday, June 27, 2016

ට්‍රෝජන් යුද්ධය සහ පශ්චාත් යුධ සමය ; නන්දිකඩාල් සිට ලියමි.

ලෝකයේ ප්‍රසිද්ධම යුද්ධ අතරින් ට්‍රෝජන් යුද්ධයට හිමි වන්නේ එක්තරා ආකාරයක මායාවී සහ විභූතිමත් පිළිගැනීමක්. ඔයාලා කවුරුත් අහලා ඇතිනේ ට්‍රෝජන් අස්වයා ගැන. වසර දහයක් පුරාම ග්‍රීකයින් මොන සෙල්ලම් දැම්මත්, ට්‍රෝජන්වරුන්ව මුහුණට මුහුණ සටන් කරලා පරාජය කරන්න බැරිවෙනවා. ඔඩිසියස් කියන සටකපට රණශූරයා කපටි සැලැස්මක් හදලා ගරිල්ලා ක්‍රමයට තමයි අන්තිමට මේ මහා ට්‍රෝජන් යුද්ධය අවසාන කරන්නේ.

එතකොට දැන් මේ ට්‍රෝජන් යුද්ධය ඇත්තටම සිද්ධ වුණු දෙයක් ද? මෙහෙමයි, ලිඛිත සාහිත්‍යට අනුව ට්‍රෝජන් යුද්ධය පටන් ගත්තේ ක්‍රිස්තු පූර්ව 13 වන සියවසේදී විතර. හෙන්‍රිච් ශ්ලීමන් (Heinrich Schliemann 1822-1890) කියන පුරාවිද්‍යාඥයා මේ පුරාවෘත්තමය ට්‍රෝජන් යුද්ධය පිලිබඳ පුරාවිද්‍යාත්මක සාධක සොයා ගැනීමට යත්න දැරූ කෙනෙක්. මේ පර්යේෂණ වල ප්‍රතිඵලයක් වශයෙන්, හෙන්‍රිච් තමන්ගේ පර්යේෂණ කණ්ඩායමත් එක්ක තුර්කියේ උතුරු වෙරළ තීරය (Asia Minor) දිහාවට යනවා. එතැනදී ඔහු සොයා ගන්නවා ට්‍රෝයි කියන පුරාණ මහා බලකොටුවක් හැබෑවටම තිබිලා තියෙනවා කියලා. ට්‍රෝජන් යුද්ධයත් එක්ක බැඳී පවතින වෘතාන්ත, චරිත සහ ස්ථාන පිළිබඳව පුරාවිද්‍යාත්මක සාක්ෂි නැතැත්, එකළ මධ්‍යධරණී මුහුද ආශ්‍රිත වෙළඳ බලය තහවුරු කරගැනීම වැනි හේතූන් මත ට්‍රෝයි බලකොටුවට දරුණු ප්‍රහාර එල්ල වෙන්න ඇතැයි උපකල්පනය කිරීමට හැකියාව තිබෙනවා. මේ මහා ට්‍රෝජන් යුද්ධයට මූලික හේතුව වෙන්නෙ ට්‍රෝයි හි කුමරු පැරිස්, මෙනලස් රජතුමාගේ බිරිය වන සුරූපී හෙලනාව සමග පැනයාම කියලා තමයි පුරාවෘත්තවල සඳහන් වෙන්නෙ. හෙලනාව තමයි මිහිපිට විසූ සුන්දරම මිනිස් කාන්තාව. අර ඉංගිරීසි කියමනක් තියනවා නොවැ සෑම වරදකම පත්ලෙහි මත්පැන් හෝ ඉස්තිරියාවක් ඉන්නවාය කියලා, ඉතින් අන්න ඒ වගේ ට්‍රොජන් යුද්ධෙත් පටන්ගත්තාය කියන්නෙ ඉස්තිරියාවක් හින්දා. මම පෞද්ගලිකව ඉතාම අගය කරන නාට්‍යකරුවෙකු වන ක්‍රිස්ටොපර් මාලෝ (මෙයාගෙන් තමයි අපේ ශේක්ස්පියර් අයිය එයාගෙ නාට්‍ය වලට වස්තු බීජ හරීයට හොරකං කරගත්තාය කියන්නෙ. ඒ කතාව වෙන දවසක ඈ....) එයාගෙ අතිශය ජනප්‍රියම නාට්‍ය වන දොස්තර ෆෝස්ටස් නාට්‍යයෙහි ට්‍රෝයි හි හෙලනාව හඳුන්වන්නේ දහසක් නෞකා දියත් කරවූ ඒ සෝබමාන වතකමල කියලායි. (Was this the face that launch'd a thousand ships, / and burnt the topless towers of Ilium.\ Doctor Faustus, Act V, Scene I.\

නමුත් ඉතින් මේ කතන්දරයේ නිදාන කතාව හොයාගෙන ගියෝතින් ට්‍රෝයිහි පැරිස් කුමාරයා හෙලනාවත් අරගෙන පැනලා ගියේ ඇයි කියලා දැනගන්න අපට පුළුවන්. ඔලිම්පසයේ පැවැත්වූ එක්තරා සාදයකට අසමගියට අධිපති දෙවඟනට හැර අන් සියලුම දෙනාට ආරාධනා කළාලු. මේකෙන් කෝපයට පත් මේ අනාරාධිත දෙවඟන සාදයේ භෝජන මේසය මතට "මෙහි සිටිනා සුන්දරම තැනැත්තියට" යැයි සඳහන් කළ ඇපල් ගෙඩියක් විසි කළාලු. මේ ඇපල් ගෙඩිය තමාට කියලා ඇතීනාත්, ඇෆ්‍රොඩයිටිත්, හේරාත් සිතුවාලු. මේ තුන්දෙනාගේ ගැටුම විසඳන්න තීරණය ලබා දෙන්න සිදුවෙන්නෙ ට්‍රෝයි හි පැරිස්ට. ඇතීනා දෙවඟන ඔහුට ඥාන සම්පත්තියත්, හේරා සැපවත් විවාහ ජීවිතයකුත් ඇෆ්‍රොඩයිටි ඔහුට ලොව සුන්දරම කාන්තාවත් ලබා දෙන්න පොරොන්දු වෙනවා මේ ඇපල් ගෙඩිය තමන් වෙත ලබා දුන්නොත්. පැරිස් කුමාරයා ඇපල් ගෙඩිය දෙන්නෙ ඇෆ්‍රොඩයිටිට.ලෝකයේ සුන්දරම කාන්තාව වෙන්නෙ දැනටමත් මෙනලස් රජුත් එක්ක විවාහ වෙලා ඉන්න හෙලනාව. ඇෆ්‍රොඩයිටිගේ උදව්වෙන් තමයි පැරිස් කුමාරයාට හෙලනාව අරගෙන ට්‍රෝයි නුවරට පැනලා යන්න පුලුවන් වෙන්නෙ. මේ පළිය ගන්න තමයි මෙනල්ස් රජතුමාගේ සහෝදරයා අගමෙම්නොන් ප්‍රමුඛ අකීලීස, ඒජැක්ස සහ ඔඩිසියස් වැනි රණශූරයින්ගෙන් යුතු 100,000 ක ග්‍රීකයන් පිරිසක් ට්‍රෝයි නුවර බලා යාත්‍රා කළා කියන්නෙ. 

ඔන්න ඔහොම පටන්ගත්තු ට්‍රෝජන් යුද්ධය පිළිබඳ විස්තර අපට දැනගන්න ලැබෙන ප්‍රධානම මූලාශ්‍රය වන්නේ හෝමර් (ක්‍රි.පූ.750) විසින් ලියන ලද ඉලියඩ් සහ ඔඩිසි යන වීර කාව්‍ය ග්‍රන්ථ දෙකයි. හෝමර් ට්‍රෝජන් යුද්ධය ගැන ලියන්නේ ක්‍රි.පූ. අට වන සියවසේදීයි. ඒ කියන්නේ ට්‍රෝජන් යුද්ධය අවසන් වී වසර පන්සීයකට පසු තමයි මේ යුද්ධය ගැන හෝමර් ලියන්නේ.  එහෙනම් හෝමර් මේ ලියන්නේ ග්‍රීකයින්ට තමන් ට්‍රෝජන් යුද්ධයේදී  සිදු කළ, හැසිරුණු ආකාරය සහ ඔවුන් ඒ පිළිබඳ සිතන දේවලුයි. හෝමර් පශ්චාත් යුධ සමයක සිට ලියන ඉලියඩ් වීර කාව්‍ය ඇරඹෙන්නේ rage (කෝපයෙන් වියරු වැටීම) කියන වචනයෙන්. යුද්ධය විස්තර කිරීමේ ප්‍රධානතම වචනය ලෙස ඔහු යොදාගන්නා rage කියන වචනය මුළු යුද්ධයටම පොදු කාරණයක් වෙනවා.කතාව ආරම්භයේදීම ඔහු  පෙන්වා සිටින්නේ අකීලීස සහ අගමෙම්නොන් අතර ඇතිවන බහින්බස් වීමක් නිසා අකීලීසගේ සිතෙහි ඇති වන ක්‍රෝධය පිළිබඳවයි. අකීලීසගේ මෙම අසාධාරණ කෝපය, යුධ අවසානයේදී ග්‍රීකයන් ට්‍රෝජානුවන් මත පතිත කරන ක්‍රෝධය හා සමාන කරමින් එය ගර්හාවෙන් යුතුව හෝමර් හෙළා දකිනවා. ඒ විතරක් නෙවෙයි, හෝමර්ගේ අදහස නම් මධ්‍යධරණී මුහුදේ සිය බලය තහවුරු කරගැනීමේ අටියෙන් ග්‍රීකයන් හෙලන්ගේ සිදුවීම පිට දමා මේ ආක්‍රමණය කළ බවයි. මෙතැනදී හෝමර් පෙන්වා දෙනවා ඇත්තේ දේශපාලන සහ යුධ බලය සහිත ප්‍රතිරූපයන්ගේ ක්‍රියාකාරකම් නිසා සාමාන්‍ය සිවිල් ජනතාවට විඳීමට සිදුවන ගැහැට. මොකද මහා ජන සංහාරයක් වන මේ යුද්ධයට හේතුව වන්නේ රජ පවුල් දෙකක ගෞරවය පිළිබඳ කාරණාවක්. 

ට්‍රෝජන් අස්වයාගේ මාර්ගයෙන් ට්‍රෝයි නුවරට ඇතුල් වෙන ග්‍රීක හමුදාව නිදා සිටින අසරණ සිවිල් පුරවැසියන් සමූල ඝාතනය කරනවා. මුළු නගරයම ගිනි තබා විනාශ කරනවා. හෝමර් සිය කාව්‍යයෙන් පෙන්වා දෙනවා ග්‍රීකයෙකු ලෙස වුවත් සාධාරණීකරණය කළ නොහැකි ආකාරයට ග්‍රීකයින් ට්‍රෝජන්වරුන්ට හිංසා කළ බව. ඔහු කිසි විටෙකවත් එය යුද්ධයේ සාමාන්‍ය සොභාවයක් යැයි කියමින් ග්‍රීකයින්ව සාධාරණීකරණය කරන්නට යන්නේ නැහැ. ඔහු විස්තර කරනවා ග්‍රීක රණශූරයෙකු වන ඒජැක්ස, කැසෙන්ද්‍රා කුමරිය ඇතීනාගේ දෙවොලේ දී දූෂණය කරන ලද ආකාරය. දූෂණයෙන් පසුව ඇයව අගමෙම්නොන් රජුට යුධ ජයග්‍රහණයේ ත්‍යාගයක් ලෙස ලබා දෙනවා. වීර ට්‍රෝජානුවකු වන හෙක්ටර්ගේ බිරිය නෙප්තොලමියුස් රජුට ලබාදෙනවා. ප්‍රියම් රජුගේ බිරිය ඔඩිසියස් හට ලබා දෙනවා. යුධ අවසානයකදී පෙළපත තරාතිරම නොබලා කාන්තාවන් යුධ ජයග්‍රහණයේ කෙළිබඩු ලෙස අතින් අතට මාරු වීම, ලිංගික අතවරයට සහ දූෂණයට ලක් වීම යන කරුණු හෝමර් සිය වීර කාව්‍ය ඔස්සේ මනාව පිළිබිඹු කරනවා. ඒ විතරක් නොවෙයි, වීර හෙක්ටර් කුමරුගේ පුත්‍ර ඇස්තියානස් නම් බිළිඳාව ට්‍රෝයි බලකොටුවේ පවුරෙන් එපිටට විසි කර මරා දමනවා. හෝමර් මෙය ඉතාමත් පිළිකුලෙන් හෙළා දකිනවා. පොලිසිනා කුමරියව අකීලීසගේ සොහොන මත ඔහු වෙනුවෙන් බිලි දෙනවා. යුද්ධයක දරුණු අවසානය එහි පශ්චාත් සමයක වෙසෙන හෝමර් කවියා විස්තර කරන්නේ මේ ආකාරයට. 

හෝමර් ග්‍රීකයින් කළ මේ සංහාරය පිළිකුලෙන් යුතුව ප්‍රකාශ කරත් දී මට හිතුණේ මේ ලෝකයේ සෑම යුද්ධයකම අවසානය මෙය නොවේද කියලා. ලෝක යුද්ධයේ දීත්, කුරුස යුද්ධයේ දීත්, බ්‍රිතාන්‍යන් අධිරාජ්‍ය පැතිරවීමේ දීත්, සාර් රජ සමයේදීත්,ඇමරිකානු සිවිල් යුද්ධයේදීත්, ඉරාකය ආක්‍රමණයේදීත්, ඇෆ්ගනිස්ථානය ආක්‍රමණයේදීත්, නන්දිකඩාල් කලපුවේදීත් ඇතුලු සියළු යුද්ධයන්හි අවසානය මෙය නොවේද කියලා මම කල්පනා කළා. හෝමර් චරිත වලින් පණ පොවන සෑම හිංසනයක්ම, අතවරයක්ම සහ ඝාතනයක්ම යුද්ධයකට සම්බන්ධ වන සෑම පාර්ශවයක් විසින්ම සිදු කරනවා.මට හෝමර්ගෙන් සහ ඔහු නියෝජනය කරන ග්‍රීකයන්ගෙන් ලබා ගන්න තියන වැදගත්ම ආදර්ශය වෙන්නෙ අප යුද්ධයේදී අයත් වන්නේ කුමන පාර්ශවයට වුවද, යුද්ධයේ දී සිදුවන කිසිවක් අප සාධාරණීකරණය නොකළ යුතු බවයි. ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයෙක් වන්නට පුළුවන්. නමුත් හෝමර් වැනි සාධාරණ ලියන්නෙකු නම්, ඔහු යුද්ධය පිළිබඳ සැබෑ තතු ලියනවා මිස ජයග්‍රාහකයා පිළිබඳ නොලියනු ඇත. උදම් අනනවා වෙනුවට විවේචනයක් කරනු ඇත. නන්දිකඩාල් වලට හෝමර්ලා අවශ්‍ය ය. ඇමරිකාවට හෝමර්ලා අවශ්‍ය ය. මානව සංහතියේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් ලෝකයටම තව බොහෝ හෝමර් ලා අවශ්‍ය ය. 

Friday, June 24, 2016

සන් වූ කොන්ග් අපරදිගට ගිය ගමන (iii)

*ඕං මුලින්ම කිව්වා මේකෙ බරසාර විචාරයක් එහෙම නෑ. රජ වානරයාගේ අපරදිගට ගිය ගමනේ දී සිද්ධ වුණු සිද්ධි ගැන විතරයි ඇතුලත් වෙලා තියෙන්නෙ. කතන්දර කියවන්නන් සඳහා පමණයි!  

මායා මුගුරත් හොරාකාගත්තු රජ වානරයා කලින්ටත් වඩා එක එක මගෝඩි නටන්න පටන්ගත්තා. අර අපි පොඩි කාලෙ පන්තියේ දඟ ළමයි ගැන ටීචර්ට පැමිණිලි කරනවා වගේ මේ අමරණීය මැර වානරයා ගැන වටපිටාවේ කට්ටියම දෙව්ලොව විසූ ජේඩ් අධිරාජ්‍යා වෙත පැමිණිලි කරන්න පටන් ගත්තා. ලොං-වැං මුහුදු මකරුන් වඳුරු තඩියා තමන්ට අපහාස කළ බවටත් තමන්ගෙන් හොරා කෑ බවටත් ජේඩ් අධිරාජ්‍යාට පැමිණිලි කිව්වා. ඊලඟට දුක්ගැනවිලි කිව්වෙ යෙං-ලෝ-වැං. එයා තමයි අපායෙ රජ්ජුරුවෝ. අර කාලකන්නි වඳුරා මගේ අපායේ සේරම රාජකාරි අවුල් කරලා, යෙං-ලෝ-වැං මැසිවිලි කිව්වා. අපායේ තියනවාලු එක ලෙජරයක්. මේ ලෙජරයේ අමරණීය නොවන සියලුම දෙනාගේ ආයු කාලය සඳහන් වෙලා තියනවාලු. මේ ලෙජරයට අනුව සන් වූ කොන්ග්ගේ ආයු කාලයත් ඉවර වෙන්න කිට්ටු හන්දා, මල් හා පළතුරු කන්දේ ටිකක් ඇලවෙලා නිදාගෙන හිටපු සන් වූ කොන්ග්ව අපායේ යමපල්ලෝ ගිහිල්ලා අපායට කුදලාගෙන ආවා. අවුරුදු ගණනාවක් දුක් විඳලා විඳලා තාඕ සාස්තරයත් උගෙනගෙන අමරණීය භාවය ලඟා කරගෙන හිටපු රජ වානරයාට, මේ ආකාරයට තමන්ගේ ආත්මය අපායට කුදලාගෙන ඒම පිළිබඳ පුදුමාකාර කේන්තියක් ආවා. තමන්ගේ කනතුරෙහි සඟවාගෙන සිටි මායාකාර මුගුර එළියට අරගත්තා. මෙතෙක් වේලා ඉඳිකටුවක් තරම් කුඩා වෙලා තිබුණු මායාකාර මුගුර මගා දැවැන්ත මුගුරක් බවට පත් වුණා. මේක ටිකක එහාට මෙහාට වනලා, තමන් ඉගෙන ගත්තු සටන් ක්‍රම වලින් කීපයක් පෙන්වපුවාම අනේ අර අසරණ යමපල්ලෝ ටික හොඳටෝම බය වෙලා. යමපල්ලො ටික බය කරගත්තු රජ වානරයා වැරදියට දත්ත එක්කාසු කරලා තියන ලෙජරය වහාම තමන් වෙත ගෙන එන්න කියලා යමපල්ලන්ට අණ කරනවා. ඉතින් අනේ අර බිරන්තට්ටු වෙච්චි යමපල්ලෝ ටික අපායේ ලෙජරට මේ වඳුරු තඩියාට ගෙනැවිත් දෙනවා. බොහොම කේන්තියෙන් ලෙජරය අතට ගත්තු රජ වානරයා වහාම ඉන් තමන්ගේ නම කපා හරිනවා. ඒ විතරක් නම් බැරියැ, මේ ඇට්ටරයා, ලෙජරයේ සටහන් කර තිබුනු මනුතලයේ හිටපු වඳුරු සංහතියේම නම් ටික කපා දානවා! මේ වඳුරු තඩියාගේ වැඩ නිසා දැන් මගේ අපයට එන පිරිසත් හුඟක් අඩුවෙලා ගිහින්,  යෙං-ලෝ-වැං කංකෙඳිරි ගානවා. 
මේ පැමිණිල්ල අහගෙන හිටපු අධිරාජ්‍යයාගේ උපදේශකයා කල්පනා කළා වැඩේ ගොඩින් බේරගත්තොත් තමයි හොඳ කියලා. මොකද සටනක් දීලා මහා විනාසෙකුත් ලැජ්ජාවකුත් කරලා මිසක මේ රජ වානරයාව දෙව්ලොවට කුදලාගෙන එන එක නම් ලේසි වෙන එකක් නැති බව මේ උපදේශකයාට තේරුම් ගිහිනුයි තිබුණේ. ඉතින් මේ රජ වානරයාව උප්පරවැට්ටියෙන් රවටන්න හිතාගෙන උපදශකයා ජේඩ් අධිරාජ්‍යාට උපායක් කියලා දෙනවා. මේ අනුව ජේඩ් අධිරාජ්‍යයා සන් වූ කොන්ග්ට පණිවිඩයක් යවනවා දෙව්ලොව "දිවමය අස්වයින්ගේ මහා භාරකාරයා" බවට ඇති තානාන්තරය භාරගන්න එන්න කියලා. එතකොට මේ දඩබ්බරයා දිහා ඇහැ ගහගෙන ඉන්න පුළුවන්නෙ. 
රජ වානරයත් හරි මාන්නෙ නිසා මේ උප්පරවැට්ටියට එයා අහුවෙනවා. හැබැයි වැඩි කාලෙකට නෙමෙයි, එක දවසයි. රජ වානර බොහොම සන්තෝශෙන් තමනුත් දැන් දෙවියෙක් කියලා හිතාගෙන දෙව්ලොව සවාරියක් ගහනකොට දැනගන්නවා අධිරාජයාගෙ අස්පයින්ගේ මහාභාරකාරයා කිව්වාට, එයා හැබෑවටම නිකම්ම නිකම් අස්පයො බඳින ගොපල්ලෙක් ගාණට තමයි දෙව්ලොව උදවිය තමන්ට සලකන්නෙ කියලා. බොහොම සැරේට කෙන්ති ගන්න රජ වානරයා තමන්ගෙ පට්ටම අතහැරලා ආපිට තමන්ගෙ රාජධානියට යනවා.යනවා විතරක් නෙවෙයි, තමන් "දෙව්ලොව සම මහා මුනිවරයා" කියලා තමාවම නම් කරගන්නවා. මේ අපහාසයට වාඩුව ගන්න හිතාගෙන යක්දෙස්සන් දඩම්කරන්නන් කිහිපදෙනෙකුත්, නෙස්සා නම් දේව දරුවාත් මනු ලොව වෙත යැව්වුත්, මහා බලැති රජ වානරගේ සෙල්ලම් වලට ඒ කවුරුත් යට වෙනවා. ආයෙමත් කපටිකමින් වානරයාව මට්ටු කරන්න හදන රාජ උපදේශකයා, ආයෙමත් අලුත් පට්ටමකුත් දීලා රජ වානර ගෙන්නවා ගත්තා. "අමරණීය පීච් උයනේ මහා භාරකාරයා" තමයි මේ අලුත් පට්ටමේ නම. මේ පට්ටමත් අරගෙන මෙයා ඊළඟට අල්ලන අඩව්ව ඊලඟ පෝස්ටුවෙන් කියවමු.