Friday, September 18, 2020

ශේක්ස්පියර්

ශේක්ස්පියර් තනිකරම මුරණ්ඩු ඩෑල් එකකි. හෙනම ලොකු සීන් එකේ සිටිය ද අහිංසකයින්ට ශේක්ස්පියර්ගෙන් කිසිම කරදරයක් නැත. උඩ කරණම්, බිම කරණම් ඇතුලු සියලු වර්ගයේ ජිම්නාස්ටික් සහ සර්කස් කිරීමට උපන් හපන්කමක් ඇති ශේක්ස්පියර් ඉඳහිට බෙල්ල උලුක්කු වෙන පිමි නොපනින්නේ ද නොවේ. ශේක්ස්පියර් කන්නට ආසාම කඩල ය. නැතිනං ගස්ලබුය. නිස්කලංකයේ සිටින විට කොහේ හෝ මුල්ලකට වී හැලහොල්මනක් නැතිව ඉන්නා ශේක්ස්පියරයා කවුරුන් හෝ අහලින් පහලින් යන විට ඇස් රවුම් කරමින් සීසීටීවී පාරක් දමා ඒ කවුදැයි විමසා බලයි. උදේ හිට කංකුං ද මුකුණුවැන්න ද හිටු කියා ගිල දමයි. අඩි එක හමාරක් තරම් වූ දිගින් ද වියතක් තරම් පළලින් ද යුතු ශේක්ස්පියරයා ලා කහ පැහැයකට හුරු ජයන්ට් ගුරාමියෙකි. අපේ සිංහලෙන් කිව්වොත් "ජෑම් ගුරාමියෙකි."


ශේක්ස්පියරයා දඩබ්බරයෙක් වුව ද හැකි තරම් සමකාමීව ජීවත් වන්නට උත්සාහ කරන්නෙකි. ඉඳහිට ටැංකියේ ඉන්නා අනෙක් මොකෙක් හෝ පොල් කාවයියෙක් මැදිහත් වී ගිල දමන මාළු පැටවුන් වැටෙන්නේ ශේක්ස්පියරයාගේ ගිණුමට ය. තමන්ගේ කෑම පංගුව හොරා කෑමට එන  කාප්ලා එක්ක හැරුණු කොට ශේක්ස්පියර්ට කා එක්ක හෝ ආරෝවක් නැත. කොයිතරම් කේන්ති ගියත් අනෙක් මාළුන්ව නමට පමණක්ම බය කිරීමෙන් සැනසෙන ශේක්ස්පියරයා ඉඳහිට උන්ට නක්කලේ දමයි. හෙන වේගයෙන් පීනා ගොස් කාප් රංචුව මැදට කඩා පනී. උන් සීසී කඩ විසිරී හතිමුනින්දාගෙන පැන යන විට උන්ගේ නගුටු අල්ලා ගැනීමට පස්සෙන් එළවයි. එසේ කෝචෝක් දැමිල්ල එපා වූ විට  කාප් රංචුව පාකින් දමාගෙන සිටීමට ආසාම මුල්ල ආක්‍රමණය කර එය අත්පත් කරගනී. උන්ට පළාතටවත් එන්නට නොදෙයි. තැන් තැන් වල සරණාගතයින් බවට පත් වී සිටින කාප්ලා ශේක්ස්පියර්ට මේ සෙල්ලම එපා වෙනතෙක් ටැංකියේ එහාටත් මෙහාටත් සවගායං වෙයි. කාප් සෙල්ලම එපා වූ පසු ශේක්ස්පියරයා එයාගේ සුපුරුදු වාසස්ථානයට සේන්දු වෙයි. ඒ ටැංකියේ ඇති විශාල වීදුරු ෆිල්ටරය අසලටය. පොඩි කාලේ ඉඳන් වීදුරු ටැංකියක හැදුණු නිසා, සිමෙන්ති ටැංකියේ වුව ද ශේක්ස්පියරයා ඉන්නේ වීදුරුවක් තියෙන ඉසව්වකය. ශේක්ස්පියරයා වෙලාවකට කොතරම් වේගයෙන් පීනනවා ද කියතහොත් බ්‍රේක් ගසා ගැනීමට බැරි වූ විට දඩස් කියා ෆිල්ටරයේ හොම්බ ඇනගෙන චොපර වී සිටී. ටැංකියේ උඩටම වතුර පුරවන එක තරම් ශේක්ස්පියරයාට අන් සතුටක් නැත. ඒ වෙලාවට ටැංකියේ බිත්ති කණ්ඩිය උඩ වාඩි වෙන ඕනෑම කෙනෙකුගේ පස්සා පැති වලට හොම්බෙන් ඇණීමටත්, ඔවුන්ව බය කිරීමටත් ශේක්ස්පියර්ට ඇත්තේ පුදුමාකාර ආසාවකි. ටැංකියට එබෙන මුහුණු වලට ද, එහෙන්මෙහෙන් දාන අතපය වලට ද ශේක්ස්පියරයා කඩා පනින්නේ කොටි හපුවෙකු මෙනි. 
 
වැරදිලා හෝ තමාට අවධානය නොදී ටැංකියේ සිටින අනෙක් මාළුන් දෙස බලයි නම්, නැත්නම් ෆිල්ටරය සුද්ධ පවිත්‍ර කරයි නම් ශේක්ස්පියර්ගේ පශ්චාත් භාගයේ ලොකු ඉත්තෑවුන් දෙතුන් දෙනෙකු දුවන්නට පටන් ගනී. ඒ වෙලාවට කොහොමින් හෝ එතැනට පිහිනා එන ශේක්පියරයා තමන්ගේ නම් ලකුණු කරවා ගැනීමට උත්සාහ දරමින් කොහොමින් හෝ ඒ වැඩය අල කර දමයි. බිත්තියේ සිට වතුර වෙත ඇදෙන කුඩා අල කොළ වැල් උඩ පැන කා දමයි. කොටින්ම කිව්වොත් කටට අසුවෙන පරිමාණයේ ඕනෙම පැලයක් ඇත්නම් එය එක්කෝ එහාටත් මෙහාටත් ඔලුවෙන් තල්ලු කරගෙන සෙල්ලම් කරයි, නැතහොත් කා දමයි. අමාරුවෙන් හිටවා ගත් රම්පෙ ගහේ ද දැන් කොළ දෙක තුනක් හප කර අවසන් ය. ඒ රම්පා කොළ කන්නේ තැම්බූ කවුපි, කඩල, අර්තාපල්, ගස්ලබු, කොමඩු වැනි යහමින් ගුණ සපිරි කෑම වට්ටෝරුවක් ගිල දැමීමෙන් අනතුරුවය. ඒ තනිකරම අලුකුත්තේරුකමටය. ඉස්සෙක්, අමු හාල්මැස්සෙක්, බිත්තර කෑල්ලක් කටේවත් තියන්නේ නැති උපාසක ශේක්ස්පියරයා රටකජු කන්නට ද ආසාය. හක්කේ ඈතින් පිහිටි ඇඹරුම් දත් දත් වලින් අපූරුවට රට කජු ඇට පොඩි කර කා දමන ශේක්ස්පියරයා පුහ් කියා රටකජු ඇටයේ පොත්ත අපූරුවට බේරා පිටතට දැමීමට ද හපනෙකි.

ටැංකිය පිරිසිදු කරන වෙලාවට අල්ලා බේසමකට දැමූ පසු ශේක්ස්පියරයා ඉන්නේ එහෙමපිටින්ම බලු වෙලාය. වටේට වටේට කැරකෙමින් බකන්නිලාගෙන බඩ උලාගෙන ඉන්නා මේ හාදයා අත්දෙකෙන් උස්සා යළි ටැංකියට දානා තුරු පුදුමාකාර සංයමයක් දක්වයි. ඔළුව අතගානවාට හෙන පෙරේතකමක් දැක්වුව ද අඳුනන්නේ නැති කෙනෙකු හතරමායිමට නම් මේ හාදයා එනවා බොරුය. කන්න දෙන අයගේ අඩි සද්දයත්, කතාවත් හොඳ හැටියට නිච්චියක් ඇති ශේක්ස්පියර් ඒ කවුරුන් හෝ එන විට බල්ලෙක් මෙන් බුරන්නේ නැති ටික විතරය. සීතල, කොළ පාට වටපිටාවේ පිරිසිදු ටැංකියක ජීවත් වෙන ශේක්ස්පියරයා පොඩ්ඩක්වත් කම්මැලි නැති, නෙස්ටමෝල්ට් ඇඩ් එකකට වුණත් ගැනීමට සුදුසුකම් ඇති තරමේ ක්‍රියාශීලී හපුයියෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "ජෑම්" ගුරාමියෙකි. කොතරම් බලා හිටියත් කම්මැලි හිතෙන්නේ නැති අපූරු සජීවී නාට්‍යයකි. 
 
 
                        *Shakespeare, the Giant Gourami

9 comments:

  1. වෙජිටේරියන්ම වුනේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා! පොඩි කාලෙ ඉඳන්ම කාලා නැති නිසා වෙන්න ඇති. ඔය ටැංකියෙ ඉන්නවා ඔස්කලා. උන්ට පොඩි මාලු බිත්තර එහෙම දෙනවා. නමුත් මේ හාදයා ඒවා කටට අරගෙන තූ කියල විසික් කරනවා.

      Delete
    2. Pra,

      අපේ නිදි මල්ලි ගාවත් ජෑම් ගුරාමියෙක් ඉන්නව නේද?

      Delete
  2. Mama nam harima akamathiyi malu tanki wala dala hadana ekata.E unata obe post eka liyala thiyana apooruwa dakkahama "Shakespeare"wa awilla balanna tharamata hithna.E tharam apooyyi!

    ReplyDelete
  3. මාළුවා හැබැයි උගේ නම දැන ගත්ත නම් පැත්තකට වෙලා පොතක් පතක් බලාගෙන ඉඳියි .

    ReplyDelete
  4. ඩොක්ට ඩූලිට්ලල් පොතක තිබුණා එක දූපතක ඉන්න ගෝත්‍රික රජකෙනෙක්... උන්දැගෙ නම දොලොස්වෙනි විලියම් ෂේක්ස්පියර් වගෙයි මට මතක. කැ‌ඩෙන නැව්වලින් හම්බුවෙන පොත් කියවලා උගත් ජාතියක් ඒ දුපතේ හිටියෙ.

    ReplyDelete
  5. මගෙ ඉන්නව රෙඩ් තිලාපියි කාප්ලයි. උං ආසාවටවත් පොකුණෙ උඩට එන්නෑ... යටට වෙලා ඉන්නව කාර් පාක් කරල වගේ.

    ReplyDelete
  6. Give Shakespear my warm regards...

    ReplyDelete