Saturday, May 23, 2020

තරු පහේ වීදි කෑම



පූර්ව-කොරෝනා යුගය විය. ඒ, කඩෙන් කෑම සහ රස්තියාදු ගැසීම ඇති පදම් කළ හැකි වූ කාලයයි. පශ්චාත්-කොරෝනා සමයට හසුව ඔටලොං බස්සෙකු සේ බලාගත්තු අතේ බලාගෙන සිටින අතරේ මීට මාස කිහිපයකට පළමුව ගත් ඡායාරූප කිහිපයක් මතක මස්තකයට නැඟුණෙන් හෝබෝ ටික්කා ඒ ගැන පැරණි රසාංගයක් ලිවීමට තීරණය කළේය.

හෝබෝ ටික්කාගේ "දං පඳුරට ආ රැහැයියා" කෙටිකතා පොත මුද්‍රණය වීම සහ ඊට ප්‍රශස්තම කෙටි කතා සංග්‍රහයට හිමි සම සම්මානය  ලැබීමෙන් පසු එය සමරන්නට යමක් කළ යුතු යැයි මාගේ සුපුරුහු රස්තියාදු මිතුරු පදනම යෝජනා කළ අතර ඒ සඳහා සරිලන ස්ථානයක් සිතීමට හෝබෝ ටික්කා තම හීන ඔලොගුව අවුස්සා බලන්නට තීරණය කර තිබිණි.

අපූරුය! හරියටම මගේ තාලේ සැමරුමකට සුදුසු යෝජනාවක් ඔලොගු මල්ලේ අඩියේ සිට අත් ඔසවාගෙන උඩ පනිමින් කෑ ගසමින් සිටියේය. ඒ අනුව යමින් අපි කවුරුත් මාගේ සතුට සැමරීම සඳහා පිටකොටුවේ අලුත් කඩේ වීදියේ රාත්‍රියට විවෘත වන කුඩා කඩ පෙළෙහි "ස්ට්‍රී ෆූඩ්" සොයා යන්නට තීරණය විය. සුපිරි උසාවිය පසු කර ඒ ආසන්නයේ වූ විශාල ගසට ද අත වනාගෙන අපි පිවිසුණේ මිරානියා ස්ට්‍රීට් වෙතය. එකිනෙකා බදාගෙන ඉන්නා ලෙස ගාල් කර ඇති බයිසිකල් සහ වාහන අස්සේ අපේ වාහනය නතර කරගැනීම ලේසිපහසු කාරණයක් වූයේ නැත. මොකෙක් හෝ විත් සයිඩ් කන්ණාඩි ටික ගලවා ගෙන යාමේ තත්වය වලකා ගනිමින් ආරක්ෂිත තැනක් සොයාගැනීමට විනාඩි විස්සක පමණ සටනක් දිය යුතුය. ලෙහෙසිම සැලසුම වන්නේ, එක්කෝ අඳුනන එකෙකු ඒ හරියේ සිටිය යුතුය, නැතිනම් රෝද තුනේ රථාචාරියකු සමඟ මේ ගමන ආ යුතුය. පාකින් ගැටළුව පිළිවෙලක් කරගෙන මිරානියා වීදියෙන් අපි පිවිසෙන්නේ අබ්දුල් හමීඩ් වීදියටයි.

දැන් කල්පනා කර බලන කල ඒ සියලු වීදි එකම සුරපුරයකි. කාලයත්, දුකත්, දුහුවිලිත්, වේදනාවත් හා පොරබදා කැටයම් වූ තියුණු හකුපාඩා සහිත මිනිසුන් දිගු අත් කරත්ත තල්ලු කරමින් කුඩා වීදි ඔස්සේ වේගයෙන් එහාමෙහා යති. තැනින් තැන ලැග සිටින කාකයන් , ගිජුලිහිණියන් ද පිම්බුණු පසුම්බි මානාගෙන භාවනා කරති. සිංහල වූ ද දෙමළ වූ ද කචපච අස්සේ පල්ලියේ ශබ්ද විකාශන යන්ත්‍ර දිව්‍ය ලෝකයට යන පාර කියමින් බෙරිහන් දෙයි. කුඩා වීදිය ඔස්සේ හමා යන කොළඹ-සුළඟ දෙපස වූ දුම් දමමින් ඉදෙන දැවැන්ත තාච්චි වලින් පැන නඟින අනේක වූ කෑම වර්ග වල සුවඳ ඔසවා ගෙන යයි. ඒ පිරුණු, පොහොසත් සුවඳ අප කාගේත් කාස්පුටු අස්සෙන් රිංගා කුසගින්නට කිති කවයි.

විවිධ වූ රසවත් ආහාර පිරි අබ්දුල් හමීඩ් මාවත මට සිහි කළේ හැන්සල් සහ ග්‍රෙතල් කතාවේ පැණිකැවිලි ගෙදරය. හැන්සල් සහ ග්‍රෙතල් වගේ බඩගිනිකාරයින් වුණු අපිත් මුලින්ම වාඩි වූයේ සැන්විච් කඩයක් ඉදිරිපිටය. කුඩා ප්ලාස්ටික් මේස සහ පුටු වල අප වැනි බඩගිනිකාරයින් හරි හරියට සැන්විච් පෙති ගිල දමමින් සිටියහ. අප ද කෙසේ හෝ හිස්වුණු මේසයක් අල්ලාගැනීමට යුහුසුහුළු වූයේ සැන්විච් පෙති සෑදෙන වේගය දෙස බලාගෙනමය.

නමුත් එතන හිටගෙන හෝ සිට සැන්විච් පෙති කිහිපයක් ගිල දැමීම ඒ හැටි කාරිය ද නොවන්නේය. කොළඹ කිසිදා එතරම් සුවඳට දැනී නැත. තහඩුවක් මත එලා තිබූ පාන් පෙති විස්සක් තිහක් ලාවට මෙන් රෝස් වෙයි. පාන් සුවඳ මත බැදෙන මස් සහ බිත්තර වල වල සුවඳ ගැටෙයි. රත් වෙන තහඩුව පසෙක වූ සැන්විච් කෝකියාගේ වේගවත් අතින් ජෝන් රැම්බෝගේ තියුණු පිහියේ වේගයෙන් ගෝවා කොළ සහ ලා කොළ පැහැති සලාද කොළ කැපෙයි. සෝස් බෝතලය සහ මයොනීස් බෝතලය පාන් පෙති මත රතු තක්කාලි සෝස් සහ සුදු පැහැ උකු ඉරි අඳී. ඉන්පසුව සැන්විච් හැදෙන්නේ මෙගාපොලිස් තට්ටු නිවාස සංකීර්ණ මෙනි.

*මේ සියලු ඡාරූප වල අයිතිය රුක්ෂාන් රණවීර මලයා සතුය. හෝබෝ ටික්කා මෙන් කම්මැලි සහ පෙරේත නොවී උනන්දුවෙන් පින්තූරු ටික ගත්තාට රුක්ෂාන් මලයාට අප කාගේත් ස්තූතිය හිමි විය යුතුය.  






සැන්විච් පෙති උණුවට ද කර කරව ද හැපෙයි. ඕනෑ තරම් කෑමට ද සිතෙයි. පාර පිරෙන්නට තිබූ බර්ගර් ද, සබ්මැරීන් ද, බාබකිව් ද අනේක වූ තවත් කෑම ද සිහි කරගනිමින් අපි බඩෙන් කාලක් පමණ සැන්විච් පෙති ගිල දමා යලිත් පාරට බැස්සෙමු. ඇස් වහගෙන වුවද කෑමට ඉව අල්ලමින් කඩ සොයාගත හැකි වූ පාරේ පොලිස් නිලධාරීන් ද නැතුවාම නොවේ. පුළුටු කරගත් මුහුණෙන් යුතු කාකි කළිසම් නපුරු වෙස් වළාගෙන විත් පාරේම වාගේ අටවා ඇති බාබකිව් තට්ටුව අසලට වී බාබකිව් හදන කොල්ලාට දොස් තියයි. "කොහෙද ඕයි තමුසෙ මේක අටෝගෙන ඉන්නෙ, තමුසෙ ඉන්නෙ පාරෙනෙ. බලනව මේකෙ දුම, මේ පාරටමයි කෙලින්ම යන්නෙ." බාබකිව් හදන කොල්ලා බෙල්ල හැකිතාක් ඇල කර පොලිස් නිළධාරියාගෙන් සමාව භජනය බලාපොරොත්තුවෙන් සිටී. බබකිව් කරන දිගු, උල් යකඩ කූරු ගිනියම්වී රතු-කහ-තැඹිලි පැහැ ගෙන ඇත. ඒවා ගිනි අඟුරු වලින් නැඟෙන ගින්දර වලින් මිරිකී දැවෙමින් තිබේ. විශාල මස් කැබලි එල්ලාගෙන ගින්න මත සැතපී සිටී. බබකිව් දාන කොලුවා යකඩ කූරු එහාටත් මෙහාටත් පෙරළයි. තඩි පින්සලකින් සෝස් වර්ග මස් කැබලි මත තවරයි. ඔහු කෑම-පින්තාරු කරන තෙක් අපි පාරටම වගේ තිබූ මේසය වටේ වූ කුඩා බංකු වල වාඩි වුණෙමු. එහා පැත්තේ මේසයේ පාසල් නිල ඇඳුම් හැඳගත් කොලුවන් කාණ්ඩයක් විශාල රිදී ප්ලේට් එකක් වටේට වාඩි වී රසවත් කොත්තුවක් ගිල දමති. ඔවුන් සිය ක්‍රිකට් භාණ්ඩ අසුරා ඇති මලු දෙපා මත තබාගෙන වගේ වගක්වත් නැතිව නිදහසේ කති. මේස සහ කුඩා කෑම කඩය අතර වූ ඉඩෙහි ගැබින් බර පූසියෙකි.





 
*All images copyrights @Rukshan Ranaweera 

අප ඇනවුම් කළ බාබකිව් මේසය මතට වඩම්මන්නේ ද විශාල රිදී තැටි දෙකකය. රතුවට පිළිස්සී තිබූ කුකුළු මසේ තනි රැකීමට යහමින් ලූණු ද පිපිඤ්ඤා ද මිරිස් ද දැමූ අපූරු සලාදයක් ද නාන් රොටී ද මස් හොදි ද ලැබෙයි. අමු එලවළු සලාද කෑමට රුසියෙකු වන හෝබෝ ටික්කා සලාද තසිම අත්අඩංගුවට ගන්නට වැඩි වේලාවක් යන්නේ නැත. යෝගට් හෝ මුදවපු කිරි, යාන්තම් ගම්මිරිස් සහ යහමින් දෙහි දමා තිබූ අපූරු සලාදය උණු උණු බාබකිව් කුකුළු මස් සමඟ එකම රස පාරාදීසයකි. බාබකිව් දුම ද, ගිනි රතු පැහැ යකඩ ද පාරේ කෑකෝස්සන් ගැසීම ද රවා බලන පොලීසිය ද සියල්ල ගත් කළ එය දඩබ්බර රස්තියාදු කෑම වේලකි. එය පංකාදු පහය. අත සෝදාගැනීමට කුඩා කරාමයක් ද අත් පිස ගැනීමට කොටුවට කපා ඇති පත්තර කොළ ද ඇත. එය මිටි බංකු සහිත තරු පහේ කෑමකි. 

ඊළඟට ඇත්තේ හෝබෝ ටික්කාගේ කෑම ප්‍රයාණයේ වැදගත්ම අදියරයි. ඒ බිරියානිය. ගෙදර කෙතරම් බිරියානි හැදුව ද, කඩෙන් කෙතරම් බිරියානි කෑව ද මේ බිරියානි ඇත්තටම බිරියානිය. විශ්ව විද්‍යාලයේ යන කාලයේ බම්බලපිටියේ කෑම කඩ පෙළෙන් වරෙක කෑ බිරියානිය ද රසම් ද වටලප්පන් ද රස කෑම ලැයිස්තුවේ ඉහළින්ම මතකයේ රැඳී තිබිණි. ඊට තරග කළ හැකි බිරියානියක් සොයා අපි පාරට බැස්සෙමු. ඔත්තු කිහිපයක් ලැබී තිබුණෙන් අපි කෙලින්ම කෑම පාරේ කප් ගසා හුන් බිරියානි කඩේකට ඇදුනේ, හෝබෝ ටික්කාට දැනුණේ වසර ගණනාවක් තිස්සේ එල් දොරාදෝව සොයා ගිය සැරිසරන්නෙකුට අවසානයේ ඒ රනින් දිලෙන ස්වර්ණ භූමියේ දිස්ණය දකින විට දැනෙන සතුටට දෙවැනි නොවූ ප්‍රහර්ෂයකි. බිරියානි දමා තිබූ විශාල බඳුන් දෙස බලමින් කෙළ ගිලිනවා හැරෙන්නට කුමන බිරියානි වර්ගය තෝරා ගත යුතු දැයි හෝබෝ ටිකාට වගක් තිබ්බේද නැත. හැකි නම් ඔක්කොම කනවා විනා, එකක් හෝ හැර දා පැමිණීමට හෝබෝ ටික්කාට හිත දුන්නේම නැත.

 *All images copyrights @Rukshan Ranaweera 

අන්දරේගේ කිරි වලට බඩේ ඉඩ කතාවේ මෙන් සැන්විච් සහ බාබකිව් පිරී තිබුණු බඩට බිරියානි බැස්සේ හිරවී, තෙරපී, මිරිකී තිබූ කාමරයට රජතුමා වැඩියා ලෙසිණි. සැබවින්ම බිරියානි රජ කෑමකි. බිරියානි සුවඳ ඇදෙන්නේ නාසා පුටු වලින් ඉහලටය. එය හෙමින් හෙමින් මොළයේ දැවටෙයි. ඉන් මිදෙන්නට බිරියානි කෑ යුතුමය. කෑවාට පසුව ද බිරියානි කෑමට ඇති ආසාව එසේමය. අපේ මේසයට දිලිසෙමින් ආවේ දං බිරියානිය (Dum Biriyani). උදේට හඬලා කෑමොර දී මළම වදයක් වෙන නිසා හෝබෝ ටික්කා කන්නේ කුකුළු මස් පමණි. ඒ නිසා මගේ ළඟට වැඩියේ දිලිසෙන කුකුළු මස් දං බිරියානියකි. සැෆ්‍රෝන් කහ පැහැති දං බිරියානිය රස ගුලාවකි. පුළුන් වැනි බාස්මතී හාලේ ඈතින් කුරුඳු, කරාබුනැටි, එන්සාල් සුවඳක් ද එයි. කුකුළු මසෙහි විවිධ වර්ගයේ කුළුබඩු සහ මසාලා රස වර්ග නිලා කූරක් පත්තු කරන්නාක් මෙන් දැනෙයි. කුකුළු මස මොළොක්ව ද රස පිරී ද අපූරුවට පදම්ව තිබිණි. ඊට අමතරව දෙහි රස ද මුදවපු කිරි රස ද එන්නේ බිරියානිය සමඟ තනියට එවන තසිම් වලිනි. බිරියානිය බතක් හෝ හුදෙක් කෑම වේලක් හෝ නොවන්නේය. බිරියානිය එහෙමපිටින්ම සංකල්පනාවකි, කලාවකි, සංසිද්ධියකි.

බිරියානි කෑමෙන් අනතුරුව වැඩිපුර ටිකක් පාරේ එහාමෙහා ඇවිද අමාරුවෙන් හෝ බඩ ටිකක් බස්සා ගැනීමට කවුරුත් ප්‍රයත්නයක් දැරුවේ ස්ට්‍රීට් ෆූඩ් බකට් ලිස්ට් එකේ යටත් පිරිසෙන් තව එකක් හෝ සම්පූර්ණ කරගැනීමට මාන බලමිනි. ටික වේලාවක් මැජික් ලිප් වලින් ඉදෙන කෑම සුවඳ අස්සේ රස්තියාදු ගැසූ අපි අන්තිම ප්‍රයාණය ලෙස කුඩා පැණිකැවිලි කඩයකට රිංගා ගතිමු. එහි ගුලාබ් ජමුන්, වෛවර්ණ බූන්දි සහ නොයෙක් වර්ගයේ පැණි කැවිලි තිබුණ ද තවදුරටත් අන්දරේගේ කිරි වලට බඩේ ඉඩ තියරිය ආදේශ කිරීමට කාටවත් පුළුවන්කමක් තිබුණේ නැත. ඒ නිසා අපි කෑමෙන් බීමට මාරු වීමට තිරණය කළෙමු. ඒ අනුව අපි එවර රස බැලුවේ කුරුඳු සහ එන්සාල් සුවඳැති කිරි කෝපිය. එය රස බැලිය යුතුම උණු උණු කිරි කෝපි වඩියකි.


ගොම්මන දුරස් වී රෑබෝ වී තිබිණි. අපි අලුත්කඩේ පාරට සමුදී එන විට බඩකට ද හිත ද සම්පූර්ණයෙන්ම පිරී ගොස් තිබිණි. යළි පැමිණ කා දැමිය යුතු බොහෝ රසවත් කෑම එහි විය. "අපි ආයෙ දවසක එමු..." එය කාගේත් සැලසුම විය. එදා ඒ සැලසුම ඉතා සරල එකක් වී නමුත් සැඳෑ ඇඳිරිය සමඟ වැටෙන ඇඳිරි නීතිය කරපින්නාගන අපේ හිත දැන් බොහෝ බරය. සියල්ල යථා තත්වයට පත් වේ යැයි අපි උදක්ම බලාපොරොත්තුවෙන් සිටිමු. නමුත් හැකි සෑම මොහොතකම නිදහසේ, සතුටින් ජීවත් විය යුතු බව කොරෝනා අපට යළි යළිත් සිහි කර දෙයි. අපට හෙට, හෝ අනිද්දා තබා අදවත් නැත. ඇත්තේ මේ මොහොත පමණි.
 

13 comments:

  1. කවදා ආයෙත් විඳින්නද ඒ සැප....😌

    ReplyDelete
    Replies
    1. අපි ඉවසීමෙන් බලා ඉමු කොරෝනා ඈත් වෙනකම්

      Delete
  2. "Peyak sathutin Inna rasawath keeemaweelak kanna.dina deka thunak sathutin inna wivaha wenna. Semada sathutin inna gewathtee wedakaranna."chiiina pirulak mathak una.rasata liyala thiyenooo.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කියවලා කමෙන්ටුවක් දැම්මට. මං හිතන්නෙ පැයේ ද දිනේ ද හැමදාටම ද අපේ සතුට රැඳිලා තියෙන්නෙ අපේ සුන්දර මතක එක්ක කියල.

      Delete
  3. Biriyanith weedi kamath gana pana upaddawala liyala thiyana apooruwa kochcharada kiyanawa nam 'Dam Pandure Rahayiyo' potha hoyagena kiyawanna hithuna.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කමෙන්ටුවට. පොත ගන්න කැමැත්තක් තිබේ නම් ගොඩගේ පොත් හලෙන්, සරසවියෙන් ගන්න පුළුවන්. මේ ප්‍රකාශන ආයතන දෙකෙන්ම ඔන්ලයින් ගෙන්වා ගන්න පහසුකම් තියෙනවා. ඊට අමතරව kbooks.lk එකෙනුත් ගෙන්වාගන්න පුළුවන්.
      https://www.kbooks.lk/Dan-Pandurata-A-Rahaiya-Amali-Anupama-Mallawaarachchi?fbclid=IwAR05_e6IbSpiGS9XXWxSNyA-1KfkA9Jc7nKmcArSiexKFh4EUqCtzIJHVt4

      Delete
  4. යකූ.. සැන්ඩ්විච්+ බාබකිව් චිකන්+ බිරියානි+ කිරිකොපි.. :))) මට කියවලා උස්මුරුත්තාව වගේ.. ඒ උනාට කොරෝන ඉවර වෙච්චි ගමන් ඒ පැත්තේ රවුමක් යන්න හිතා ගත්තා.. <3

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මිත්‍රයා!

      Delete
  5. දැන් බඩගිනියි

    ReplyDelete
    Replies
    1. හික් හික් හොඳ වැඩේ!

      Delete