Tuesday, August 16, 2016

අත්තම්මාගේ රස කතා-ඉස්කෝලේ ගමන

*ටික දොහකින් ලියන්නෙ. බැරි වුණා ලියන්න.කවුරුත් හොඳින් ඉන්නවාය කියලා හිතනවා. :)

අපූරු බෑණෙකු වන අපගේ තාත්තාගේ දවසේ ලොකුම රාජකාරිය උදැහැනැක්කේම අත්තම්මාට කියවීමට මොකක් හෝ දවසේ පත්තරයක් උස්සාගෙන ඒමයි. අත්තම්මාද බෑණා පොඩ්ඩ ගෙන එන පත්තරය කියවන්නේ බොහෝම ඕනෑකමකිනි. රටේතොටේ දවසේ විස්තර ඕ අපට වඩා දනී. පත්තරය ඔඩොක්කුව මතට ගන්නා අත්තම්මා පත්තරයේ බර බලයි. එයි කාලේ සිළුමිණ පත්තරයක් සත පහයි, මට ඒ පත්තරේ උස්සාගන්නවත් බෑ. එයි තරමට බරයි.අත්තම්මා මුල් පිටේ විස්තර බලන ගමන් කියයි. ඔබ්සර්වර් පත්තරේ වේකන්සි පිටු ගොල්ලෙන් අම්මා මල්ලීට යහමින් උදේට බත් බඳින හැටි හෝබෝවා මතක් කරගන්නේ හිනාවක් ද හක්කේ ගසා තලු මරන ගමන්ය. 

පත්තරය පුරා ඇති ගං වතුර විස්තරේ කියවමින් අත්තම්මා හූල්ලයි. ඉස්සර අපටත් හරීයට ගං වතුර, ඇය කියයි. ඒත් ඉතින් කොයි ගං වතුරටත් ඒ කාලේ අපි ඉස්කෝලෙ යනවා. අම්මලා තාත්තලාටත් ගානක් නැහැ. බයකුත් නැහැ. ගං වතුර කාලෙට අපි ඉස්කෝලේ යන්නේ කොල්ලෑවකින්. එයික පදින්නේ කොලුවෙක්. කැලණි ගඟ ගලලා ගංකරේම සප්ත මහා සාගරේ වගෙයි. කොල්ලෑවේ යන්නෙ මායි, මගෙ අයියයි, කොල්ලෑව පදින කොලුවයි ඉතරයි. හිටි ගමන් කොල්ලෑවට ඈතින් කිඹුල්ලු එහෙමත් යනවා. ඒත් අපි බය නෑ. මොකද අපි හිතාගෙන ඉන්නෙ උන් කබරයි කියලා. 

අපි ඉස්කෝලෙ යන්නෙ ගොඩැල්ලෙන් චූටි කැලේට, ඊට පහු ආණ්ඩුවේ කැලෙන් පට්ටියාවත්ත ගමට. ඉන් පස්සෙ කොතලාවල හංදියෙන් කඩුවෙල පැත්තට තමා ඉස්කෝලෙ තිවුණේ. ඒ කාලෙ අපි පොඩි ළමයි. ඉස්කෝලෙ ළමයින්ට තමා කියන්නෙ ඉස්කෝලෙ ගාන්න ගොම ගේන්ට කියලා. පොඩි කෙල්ලො ලව්වා ඉස්කෝලෙ බිම ගොම පිස්සෝනවා. පිරිමි ළමයි උදලු වලින් මැටි දානවා. ලොකු ගුරුන්නාන්සෙයි, පොඩි ගුරුන්නන්සෙයි තමා අපි ගොම ගානෙව්වා පරීක්ෂා කොරන්නෙ. තව හිටියා කවුදෝ අපේ නෑදෑවෙන කෙනෙකුත්. 

අපිට ඉස්කෝලෙ උගැන්නුවේ සිංහල, ගණිතය. ඉස්සරෝම වෙලා ගන්න තිබුණේ ඉස්කූල් වින් එක. ඉස්කූල් වින් එක කියන්නෙ ඉස්කෝලෙන් තියන විබාගෙ. ඊට පස්සෙ අවුරුද්දකින් ප්‍රාරම්භෙ. එයි විබාගෙට එනවා පිටින් ගුරුන්නාන්සෙ කෙනෙක්. අපි එයැයිට කියන්නෙ පාඩම් මහත්තයා කියාලා. එයැයි නමින් ගුණසේකර. පාඩම්ම හත්තයා එනකොට ඉස්කෝලෙ ළමයි සේරෝමලා දෙපැත්තෙ හිටගෙන එයැයිට ආචාර කරන්න ඕනෙ. ඉස්කෝලෙ ගුරුවරු එදාට අයින් වෙලා බලාගෙන ඉන්ට ඕනෙ. ඉන් පස්සෙ පාඩම් මහත්තයා ප්‍රශ්න පත්තර වගයක් දෙනවා. අත්තම්මාගේ මුහුණේ හීනියට හිනාවක් පහල වෙයි. ගුණසේකර පාඩම් මහත්තයා අපේ නෑදෑයෙක් වෙනවා. අපි ඉතින් වැඩ කළත් නොකළත් අපව පාස් කොරෝනවා!

අවසාන විභාගෙ ලියන්න වයස් මට්ටමක් නෑ. එයික ලියන්න හොඳට වැඩ කරන්න ඕනෙ. ඉස්කෝලෙන් ඉගෙනෙගෙන අවසානෙ ලියලා පාස් වුනාට පස්සෙ ඒ ඉස්කෝලෙම වැඩ කරන්න පුළුවන්. පාසල් ගුරුන්නාන්සෙකෙනෙකුට පඩිය මාසෙකට රුපියල් දහයයි. ලොකුම ගුරුන්නාන්සෙගෙ පඩිය රුපියල් දහ අටයි. 

11 comments:

  1. \\ගුණසේකර පාඩම් මහත්තයා අපේ නෑදෑයෙක් වෙනවා. අපි ඉතින් වැඩ කළත් නොකළත් අපව පාස් කොරෝනවා!\\
    ----------ඕක නම් සිරිලංකාවට ආවේනික දෙයක් . කොහේ බැලුවත් ඥාති සංග්‍රහේ.

    ඔය එනවැයි කියන පාඩම් මහත්තයා නේද ඒ කාලේ ළමයින්ගෙන් "වැඩියෙන්ම බර යකඩ රාත්තල ද පුළුන් රාත්තලද ?" කියලා අහනවයි කියන්නේ.
    අපේ තාත්තා තමයි ඔය කතාව කියන්නේ..

    ---------
    පොස්ට් එක නම් සුපිරි.

    ReplyDelete
  2. ඔය කියන්නේ කොයි අවුරුද්ද‍ෙ වාගෙද

    ReplyDelete
  3. පාඩම් මහත්තයා කියන්නේ ස්කූල් ඉන්ස්පැක්ටර් මහත්තයාට වෙන්න ඇති

    ReplyDelete
  4. http://sithgathsahithyakalakruthi.blogspot.com/2016/08/blog-post.html

    ලැනරෝල් ගේ "පියසිරිගේ පාසල් සමය"කියවල තියනවද?

    ReplyDelete
  5. / ගං වතුර කාලෙට අපි ඉස්කෝලේ යන්නේ කොල්ලෑවකින්. /

    කොල්ලෑව කියන්නෙ ඔරුව සමබරව පවත්වා ගන්ට පැත්තකින් දිග ලීදඬු දෙකකට අමුණලා බඳින ලී කොටයනෙ. කොල්ලෑවක ගමන් කරන්න කොහොමද කියලයි මම මේ කල්පනා කරන්නෙ...

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ කොල්ලෑ ඔරුව කියන එක වෙන්න ඕනේ හොබෝ අදහස් කලේ රවී...එය අනිත් ඔරු වලට වඩා කුඩා ඔරුවක් නේද? දැන් ටිකකට කලින් එහෙම දෙයක් හැලපේ තුමාගේ සාහිත්‍ය කෘති බ්ලොග් එකේ තිබිල කියෙව්වා...

      Delete
    2. ඔව් තමා, ආච්චි අම්මා තමයි ඔහොමම කීවේ, මටත් ගාණක් ගියේ නැහැ. එයා කියන ඒවා පුලුවන් තරම් නොවෙනස්ව තමා ලියන්න උත්සහ කරන්නෙ. කෙහෙල් කොට පෙරලලා හදාගන්න එකක් නෙ. මටත් හරියට නිච්චියක් නෑ, අහලා බලන්න ඕනෙ. අනික ඔය බොහෝම ඈත මතක, පුංචි කාලෙ මතක වල කුඩා දේවල් වුණත් හරී ලොකුයිනෙ.

      Delete
    3. කෙහෙල් කොට වලින් හදාගත්තනම් බොලේ ඒක කොල්ලෑවක් නෙවෙයි, පහුරක්....:)

      Delete
    4. ඔව් ඒකනෙ....ඔය කතාව අහගෙන ලියාගන්නකොට මං ඔහොමනෙ නෝට් එක දාගෙන තියෙන්නෙ!සමහර විට මට වචනෙ වැරදෙන්න ඇති... අහලම බලන්න වෙනවා, මගෙ හිතේ නම් මැවුණේ පවුරක් තමා...ඒත් ටක්කෙටම කියන්න බෑනෙ.සමහර විටෙක ඔය කියන්නෙ පොඩි ඔරුවකට වෙන්නත් පුළුවන්. අඩේ මේක අලි ප්‍රස්නයක්නෙ! අත්තම්මාව කොන්සල්ට් කරන්න වෙනවා!!!!

      Delete
  6. රසවත් සටහනක් හොබෝ...

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි පොකුරු!

      Delete