Wednesday, May 18, 2016

සුරංගනා කතාන්තර සහ ඒවායේ කුප්‍රකට මූණත-1



"එදා ඉඳන් ඒ කුමාරයයි කුමාරියි බොහෝම සතුටින් ජීවත් වුණාලු...." ඇච්චා කාලේ ඉඳන් අද වෙනකම්ම කියවන, බලන හැම කතාවක්ම ඔන්න ඔය විදියට ඉවර වෙනවනම් තමයි මම නම් සතුටු. බොහෝ විට ඔයාලත් එහෙමම වෙන්න ඇති. අපි කවුරුත් දුඛාන්ත වලට වැඩිය සුඛාන්ත වලට ප්‍රියයිනේ.ඔය හැම කතාන්තරයකම වගේ පුංචි ඈයන්ට ඉගෙනගන්න යම් උපදෙසක්, පණිවුඩයක් හරි එහෙමත් නැත්නම් යම් ආප්තයක් සම්ප්‍රේෂණය වන පරිද්දෙන් ගෙතී තියනවා.අපි හුරුවෙලා තියන සරල කතාන්තර රාමුව තමයි ඒ.

 කවුරු කවුරුත් ළමා කාලයේදී රස කර කර කියවපු අහපු මේ සුරංගනා කතාන්තර බොහොමයක් අපේ අතට පත් වෙන්නෙ බොහොම කාලයක් පටන් එක් එක් අය අතින් සංස්කරණයට ලක් වීමෙන් පසුවයි.ග්‍රීම් සොහොයුරන්, පිලිප් පුල්මන් වැනි කතාකරුවන් මෙවැනි ප්‍රසිද්ධ සංස්කාරකවරුන් අතරින් කිහිප දෙනෙක්. මේ සංස්කරණ නොවෙන්නට මේ සුරංගනා කතාන්තර රහ කර කර කියවන එක නම් උගහට! මොකද, සමහර සුරංගනා කතාන්තර වල නිදාන කතා අන්තිම බිහිසුණු සහ  නිරාචාරී වෘතාන්ත. මේ නිදාන කතා කිහිපයක් කියවලා බැලුවම මට හිතුනේ මේ කතා කොයි තරම් 'රියලිටිය' ට ආසන්නද කියලා. වෙලාවකට ඒවා හරියට අර වෑර්ලස් එකේ යන අවාසානාවට ඇත්ත කතාවක්/කනාමැදිරි රාත්‍රිය වගේ කතා නේද කියලා මට හිතුණා. ඒ වගේම එදා කතාකාරයා අද කතාකාරයා තරම් 'සදාචාරය' පිලිබඳව විමසිල්ලක් දක්වලා නැතිද, එහෙමත් නැතිනම් මේවා හුදෙක් 'ප්‍රවෘතියක්' ලෙස කටින් කට ව්‍යාප්ත වෙලා කාලයත් සමග 'කතාන්තර' හෝ 'පුරවෘත' බවට පත් වෙලා ඇති කියලා හිතන්නට පුළුවන්. 

මේ වගේ අසම්ප්‍රදායික නිදාන කතාවක් තිබෙන සුප්‍රසිද්ධ සුරංගනා කතාවක් තමයි 'Sleeping Beauty' හෙවත් 'නිදි කුමරිය' ගේ කතාව. දැන් අපි අහලා තියන විදියට නම් කතාවේ ඉන්න මේ ලස්සන කුමාරිය නූල් කටින ඉද්දක් ඇඟිල්ලේ ඇනිලා සදාකාලික නින්දකට වැටුණාලුණේ. ඊට පස්සෙ කාලයක් ගිහාම කඩවසම් කුමාරයෙක් ඇවිත් මේ කුමරියගේ මුව සිපගත්තාම ආයෙමත් මේ කුමාරියට පණ ආවලු. 

හැබැයි අපි දන්න මේ කතාවේ නිදාන කතාව නම් ඔය කියන තරම් සුන්දර නැහැ. මේ කතාවට අනුව, කුමාරිගෙ නියපොත්ත අස්සට රිදී පාට හණ නූල් කෑල්ලක් ගියාම එයා මැරිලා වැටෙනවා. ඊටපස්සෙ තමන්ගේ දූ කුමාරිය මිය ගියා කියලා පිළිගන්න බැරි වුණු රජතුමා වෙනම මාලිගයක තමන්ගේ දූ කුමරිය සතපවා තියනවා. මේ අතරේ දඩයමේ යන වෙන රජකෙනෙක් තමන්ගේ ගමනක් අතර වාරයේ මේ මියගිය කුමරිය දකිනවා. දැන් මේ කතාකාරයාට අනුව මේ කුමාරිය ඇහැරව ගන්න බැරි වුණු රජතුමා එයාව දූෂණය කලාලු! ඔන්න නිකමට හිතන්නකො ඔය කතාව අපේ මොන්ටිසෝරියේ ටීචර් එහෙම අපට කියලා දුන්නානම් කොහොමට තියේවිද කියලා.ඉතින් කතාව තව ටිකක් ගියාම ඔයිටත් වඩා අභූත වෙනවා. ඉතින් මේ කතාවට අනුව මේ කුමාරියට අර රජතුමාගෙන් ළමයි දෙන්නෙකුත් හම්බුවෙනවලු. එහෙම ළමයි හම්බුවෙලා තියෙන්නෙත් කුමාරිය මැරිලා ඉන්නකොට! ඉතින් ඔහොම ලැබුණ ළමයි දෙන්නාගෙන් කෙනෙක් පණ නැති අම්මාගේ ඇඟිල්ලක් උර උරා ඉන්නකොට අර ඇඟිල්ල අස්සේ හිරවුණු රිදී පාට හණ නූල් කෑල්ල එලියට ආවාලු. එතකොට මිය ගිහින් හිටි කුමාරිට ආයෙමත් පණ ලැබුණාලු.   අර හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට වගේ, අර රජතුමා ඒ වෙද්දිත් විවාහ වෙලාලු ඉඳලා තියෙන්නෙ. ඉතින් පණ ආපු නිදි කුමාරිව විවාහ කරගන්න ඕනෙ වුණු රජතුමා තමන්ගේ පරණ බිරියට ගිනි තියලා මරලා දානවාලු. හැබැයි ඉතින් රජතුමාගෙ පරණ බිරිය රජතුමාට දාව නිදි කුමාරිට උපන් පුංචි ළමයි දෙන්නාව මරලා දාන්න හදපු බව කියලා මේ සිද්ධිය හරි අපූරුවට සාධාරණීකරණය කරලාත් තියනවා!

ඔන්න ඔය කතාවට (සමහරවිට මේ කතාව ඇත්තම කතාවක් වෙන්නත් පුළුවන්!) ලස්සන රෝස පාටක් ගාලා, අයිසින් කරලා, දිලිසෙන වීදුරු කුඩු ඉහලා බොහොම ලස්සන අපූරු සුන්දර ආදරබර කතාවක් විදියට අපට තිළිණ කරලා තියනවා. 

3 comments:

  1. මාත් ග්‍රම්ගේ කතාවක් හෝ දෙකකුයි, හාන්ස්ගේ කතා කිහිපයකුයිත් පරිවර්තනය කලා.. සල්ලි සල්ලි කියල නොබල..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා! මාත් එහෙමම තමයි.

      Delete
  2. මේකනං කියවන්ඩ කම්මැලියි

    ReplyDelete