Monday, June 27, 2016

ට්‍රෝජන් යුද්ධය සහ පශ්චාත් යුධ සමය ; නන්දිකඩාල් සිට ලියමි.

ලෝකයේ ප්‍රසිද්ධම යුද්ධ අතරින් ට්‍රෝජන් යුද්ධයට හිමි වන්නේ එක්තරා ආකාරයක මායාවී සහ විභූතිමත් පිළිගැනීමක්. ඔයාලා කවුරුත් අහලා ඇතිනේ ට්‍රෝජන් අස්වයා ගැන. වසර දහයක් පුරාම ග්‍රීකයින් මොන සෙල්ලම් දැම්මත්, ට්‍රෝජන්වරුන්ව මුහුණට මුහුණ සටන් කරලා පරාජය කරන්න බැරිවෙනවා. ඔඩිසියස් කියන සටකපට රණශූරයා කපටි සැලැස්මක් හදලා ගරිල්ලා ක්‍රමයට තමයි අන්තිමට මේ මහා ට්‍රෝජන් යුද්ධය අවසාන කරන්නේ.

එතකොට දැන් මේ ට්‍රෝජන් යුද්ධය ඇත්තටම සිද්ධ වුණු දෙයක් ද? මෙහෙමයි, ලිඛිත සාහිත්‍යට අනුව ට්‍රෝජන් යුද්ධය පටන් ගත්තේ ක්‍රිස්තු පූර්ව 13 වන සියවසේදී විතර. හෙන්‍රිච් ශ්ලීමන් (Heinrich Schliemann 1822-1890) කියන පුරාවිද්‍යාඥයා මේ පුරාවෘත්තමය ට්‍රෝජන් යුද්ධය පිලිබඳ පුරාවිද්‍යාත්මක සාධක සොයා ගැනීමට යත්න දැරූ කෙනෙක්. මේ පර්යේෂණ වල ප්‍රතිඵලයක් වශයෙන්, හෙන්‍රිච් තමන්ගේ පර්යේෂණ කණ්ඩායමත් එක්ක තුර්කියේ උතුරු වෙරළ තීරය (Asia Minor) දිහාවට යනවා. එතැනදී ඔහු සොයා ගන්නවා ට්‍රෝයි කියන පුරාණ මහා බලකොටුවක් හැබෑවටම තිබිලා තියෙනවා කියලා. ට්‍රෝජන් යුද්ධයත් එක්ක බැඳී පවතින වෘතාන්ත, චරිත සහ ස්ථාන පිළිබඳව පුරාවිද්‍යාත්මක සාක්ෂි නැතැත්, එකළ මධ්‍යධරණී මුහුද ආශ්‍රිත වෙළඳ බලය තහවුරු කරගැනීම වැනි හේතූන් මත ට්‍රෝයි බලකොටුවට දරුණු ප්‍රහාර එල්ල වෙන්න ඇතැයි උපකල්පනය කිරීමට හැකියාව තිබෙනවා. මේ මහා ට්‍රෝජන් යුද්ධයට මූලික හේතුව වෙන්නෙ ට්‍රෝයි හි කුමරු පැරිස්, මෙනලස් රජතුමාගේ බිරිය වන සුරූපී හෙලනාව සමග පැනයාම කියලා තමයි පුරාවෘත්තවල සඳහන් වෙන්නෙ. හෙලනාව තමයි මිහිපිට විසූ සුන්දරම මිනිස් කාන්තාව. අර ඉංගිරීසි කියමනක් තියනවා නොවැ සෑම වරදකම පත්ලෙහි මත්පැන් හෝ ඉස්තිරියාවක් ඉන්නවාය කියලා, ඉතින් අන්න ඒ වගේ ට්‍රොජන් යුද්ධෙත් පටන්ගත්තාය කියන්නෙ ඉස්තිරියාවක් හින්දා. මම පෞද්ගලිකව ඉතාම අගය කරන නාට්‍යකරුවෙකු වන ක්‍රිස්ටොපර් මාලෝ (මෙයාගෙන් තමයි අපේ ශේක්ස්පියර් අයිය එයාගෙ නාට්‍ය වලට වස්තු බීජ හරීයට හොරකං කරගත්තාය කියන්නෙ. ඒ කතාව වෙන දවසක ඈ....) එයාගෙ අතිශය ජනප්‍රියම නාට්‍ය වන දොස්තර ෆෝස්ටස් නාට්‍යයෙහි ට්‍රෝයි හි හෙලනාව හඳුන්වන්නේ දහසක් නෞකා දියත් කරවූ ඒ සෝබමාන වතකමල කියලායි. (Was this the face that launch'd a thousand ships, / and burnt the topless towers of Ilium.\ Doctor Faustus, Act V, Scene I.\

නමුත් ඉතින් මේ කතන්දරයේ නිදාන කතාව හොයාගෙන ගියෝතින් ට්‍රෝයිහි පැරිස් කුමාරයා හෙලනාවත් අරගෙන පැනලා ගියේ ඇයි කියලා දැනගන්න අපට පුළුවන්. ඔලිම්පසයේ පැවැත්වූ එක්තරා සාදයකට අසමගියට අධිපති දෙවඟනට හැර අන් සියලුම දෙනාට ආරාධනා කළාලු. මේකෙන් කෝපයට පත් මේ අනාරාධිත දෙවඟන සාදයේ භෝජන මේසය මතට "මෙහි සිටිනා සුන්දරම තැනැත්තියට" යැයි සඳහන් කළ ඇපල් ගෙඩියක් විසි කළාලු. මේ ඇපල් ගෙඩිය තමාට කියලා ඇතීනාත්, ඇෆ්‍රොඩයිටිත්, හේරාත් සිතුවාලු. මේ තුන්දෙනාගේ ගැටුම විසඳන්න තීරණය ලබා දෙන්න සිදුවෙන්නෙ ට්‍රෝයි හි පැරිස්ට. ඇතීනා දෙවඟන ඔහුට ඥාන සම්පත්තියත්, හේරා සැපවත් විවාහ ජීවිතයකුත් ඇෆ්‍රොඩයිටි ඔහුට ලොව සුන්දරම කාන්තාවත් ලබා දෙන්න පොරොන්දු වෙනවා මේ ඇපල් ගෙඩිය තමන් වෙත ලබා දුන්නොත්. පැරිස් කුමාරයා ඇපල් ගෙඩිය දෙන්නෙ ඇෆ්‍රොඩයිටිට.ලෝකයේ සුන්දරම කාන්තාව වෙන්නෙ දැනටමත් මෙනලස් රජුත් එක්ක විවාහ වෙලා ඉන්න හෙලනාව. ඇෆ්‍රොඩයිටිගේ උදව්වෙන් තමයි පැරිස් කුමාරයාට හෙලනාව අරගෙන ට්‍රෝයි නුවරට පැනලා යන්න පුලුවන් වෙන්නෙ. මේ පළිය ගන්න තමයි මෙනල්ස් රජතුමාගේ සහෝදරයා අගමෙම්නොන් ප්‍රමුඛ අකීලීස, ඒජැක්ස සහ ඔඩිසියස් වැනි රණශූරයින්ගෙන් යුතු 100,000 ක ග්‍රීකයන් පිරිසක් ට්‍රෝයි නුවර බලා යාත්‍රා කළා කියන්නෙ. 

ඔන්න ඔහොම පටන්ගත්තු ට්‍රෝජන් යුද්ධය පිළිබඳ විස්තර අපට දැනගන්න ලැබෙන ප්‍රධානම මූලාශ්‍රය වන්නේ හෝමර් (ක්‍රි.පූ.750) විසින් ලියන ලද ඉලියඩ් සහ ඔඩිසි යන වීර කාව්‍ය ග්‍රන්ථ දෙකයි. හෝමර් ට්‍රෝජන් යුද්ධය ගැන ලියන්නේ ක්‍රි.පූ. අට වන සියවසේදීයි. ඒ කියන්නේ ට්‍රෝජන් යුද්ධය අවසන් වී වසර පන්සීයකට පසු තමයි මේ යුද්ධය ගැන හෝමර් ලියන්නේ.  එහෙනම් හෝමර් මේ ලියන්නේ ග්‍රීකයින්ට තමන් ට්‍රෝජන් යුද්ධයේදී  සිදු කළ, හැසිරුණු ආකාරය සහ ඔවුන් ඒ පිළිබඳ සිතන දේවලුයි. හෝමර් පශ්චාත් යුධ සමයක සිට ලියන ඉලියඩ් වීර කාව්‍ය ඇරඹෙන්නේ rage (කෝපයෙන් වියරු වැටීම) කියන වචනයෙන්. යුද්ධය විස්තර කිරීමේ ප්‍රධානතම වචනය ලෙස ඔහු යොදාගන්නා rage කියන වචනය මුළු යුද්ධයටම පොදු කාරණයක් වෙනවා.කතාව ආරම්භයේදීම ඔහු  පෙන්වා සිටින්නේ අකීලීස සහ අගමෙම්නොන් අතර ඇතිවන බහින්බස් වීමක් නිසා අකීලීසගේ සිතෙහි ඇති වන ක්‍රෝධය පිළිබඳවයි. අකීලීසගේ මෙම අසාධාරණ කෝපය, යුධ අවසානයේදී ග්‍රීකයන් ට්‍රෝජානුවන් මත පතිත කරන ක්‍රෝධය හා සමාන කරමින් එය ගර්හාවෙන් යුතුව හෝමර් හෙළා දකිනවා. ඒ විතරක් නෙවෙයි, හෝමර්ගේ අදහස නම් මධ්‍යධරණී මුහුදේ සිය බලය තහවුරු කරගැනීමේ අටියෙන් ග්‍රීකයන් හෙලන්ගේ සිදුවීම පිට දමා මේ ආක්‍රමණය කළ බවයි. මෙතැනදී හෝමර් පෙන්වා දෙනවා ඇත්තේ දේශපාලන සහ යුධ බලය සහිත ප්‍රතිරූපයන්ගේ ක්‍රියාකාරකම් නිසා සාමාන්‍ය සිවිල් ජනතාවට විඳීමට සිදුවන ගැහැට. මොකද මහා ජන සංහාරයක් වන මේ යුද්ධයට හේතුව වන්නේ රජ පවුල් දෙකක ගෞරවය පිළිබඳ කාරණාවක්. 

ට්‍රෝජන් අස්වයාගේ මාර්ගයෙන් ට්‍රෝයි නුවරට ඇතුල් වෙන ග්‍රීක හමුදාව නිදා සිටින අසරණ සිවිල් පුරවැසියන් සමූල ඝාතනය කරනවා. මුළු නගරයම ගිනි තබා විනාශ කරනවා. හෝමර් සිය කාව්‍යයෙන් පෙන්වා දෙනවා ග්‍රීකයෙකු ලෙස වුවත් සාධාරණීකරණය කළ නොහැකි ආකාරයට ග්‍රීකයින් ට්‍රෝජන්වරුන්ට හිංසා කළ බව. ඔහු කිසි විටෙකවත් එය යුද්ධයේ සාමාන්‍ය සොභාවයක් යැයි කියමින් ග්‍රීකයින්ව සාධාරණීකරණය කරන්නට යන්නේ නැහැ. ඔහු විස්තර කරනවා ග්‍රීක රණශූරයෙකු වන ඒජැක්ස, කැසෙන්ද්‍රා කුමරිය ඇතීනාගේ දෙවොලේ දී දූෂණය කරන ලද ආකාරය. දූෂණයෙන් පසුව ඇයව අගමෙම්නොන් රජුට යුධ ජයග්‍රහණයේ ත්‍යාගයක් ලෙස ලබා දෙනවා. වීර ට්‍රෝජානුවකු වන හෙක්ටර්ගේ බිරිය නෙප්තොලමියුස් රජුට ලබාදෙනවා. ප්‍රියම් රජුගේ බිරිය ඔඩිසියස් හට ලබා දෙනවා. යුධ අවසානයකදී පෙළපත තරාතිරම නොබලා කාන්තාවන් යුධ ජයග්‍රහණයේ කෙළිබඩු ලෙස අතින් අතට මාරු වීම, ලිංගික අතවරයට සහ දූෂණයට ලක් වීම යන කරුණු හෝමර් සිය වීර කාව්‍ය ඔස්සේ මනාව පිළිබිඹු කරනවා. ඒ විතරක් නොවෙයි, වීර හෙක්ටර් කුමරුගේ පුත්‍ර ඇස්තියානස් නම් බිළිඳාව ට්‍රෝයි බලකොටුවේ පවුරෙන් එපිටට විසි කර මරා දමනවා. හෝමර් මෙය ඉතාමත් පිළිකුලෙන් හෙළා දකිනවා. පොලිසිනා කුමරියව අකීලීසගේ සොහොන මත ඔහු වෙනුවෙන් බිලි දෙනවා. යුද්ධයක දරුණු අවසානය එහි පශ්චාත් සමයක වෙසෙන හෝමර් කවියා විස්තර කරන්නේ මේ ආකාරයට. 

හෝමර් ග්‍රීකයින් කළ මේ සංහාරය පිළිකුලෙන් යුතුව ප්‍රකාශ කරත් දී මට හිතුණේ මේ ලෝකයේ සෑම යුද්ධයකම අවසානය මෙය නොවේද කියලා. ලෝක යුද්ධයේ දීත්, කුරුස යුද්ධයේ දීත්, බ්‍රිතාන්‍යන් අධිරාජ්‍ය පැතිරවීමේ දීත්, සාර් රජ සමයේදීත්,ඇමරිකානු සිවිල් යුද්ධයේදීත්, ඉරාකය ආක්‍රමණයේදීත්, ඇෆ්ගනිස්ථානය ආක්‍රමණයේදීත්, නන්දිකඩාල් කලපුවේදීත් ඇතුලු සියළු යුද්ධයන්හි අවසානය මෙය නොවේද කියලා මම කල්පනා කළා. හෝමර් චරිත වලින් පණ පොවන සෑම හිංසනයක්ම, අතවරයක්ම සහ ඝාතනයක්ම යුද්ධයකට සම්බන්ධ වන සෑම පාර්ශවයක් විසින්ම සිදු කරනවා.මට හෝමර්ගෙන් සහ ඔහු නියෝජනය කරන ග්‍රීකයන්ගෙන් ලබා ගන්න තියන වැදගත්ම ආදර්ශය වෙන්නෙ අප යුද්ධයේදී අයත් වන්නේ කුමන පාර්ශවයට වුවද, යුද්ධයේ දී සිදුවන කිසිවක් අප සාධාරණීකරණය නොකළ යුතු බවයි. ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයෙක් වන්නට පුළුවන්. නමුත් හෝමර් වැනි සාධාරණ ලියන්නෙකු නම්, ඔහු යුද්ධය පිළිබඳ සැබෑ තතු ලියනවා මිස ජයග්‍රාහකයා පිළිබඳ නොලියනු ඇත. උදම් අනනවා වෙනුවට විවේචනයක් කරනු ඇත. නන්දිකඩාල් වලට හෝමර්ලා අවශ්‍ය ය. ඇමරිකාවට හෝමර්ලා අවශ්‍ය ය. මානව සංහතියේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් ලෝකයටම තව බොහෝ හෝමර් ලා අවශ්‍ය ය. 

Friday, June 24, 2016

සන් වූ කොන්ග් අපරදිගට ගිය ගමන (iii)

*ඕං මුලින්ම කිව්වා මේකෙ බරසාර විචාරයක් එහෙම නෑ. රජ වානරයාගේ අපරදිගට ගිය ගමනේ දී සිද්ධ වුණු සිද්ධි ගැන විතරයි ඇතුලත් වෙලා තියෙන්නෙ. කතන්දර කියවන්නන් සඳහා පමණයි!  

මායා මුගුරත් හොරාකාගත්තු රජ වානරයා කලින්ටත් වඩා එක එක මගෝඩි නටන්න පටන්ගත්තා. අර අපි පොඩි කාලෙ පන්තියේ දඟ ළමයි ගැන ටීචර්ට පැමිණිලි කරනවා වගේ මේ අමරණීය මැර වානරයා ගැන වටපිටාවේ කට්ටියම දෙව්ලොව විසූ ජේඩ් අධිරාජ්‍යා වෙත පැමිණිලි කරන්න පටන් ගත්තා. ලොං-වැං මුහුදු මකරුන් වඳුරු තඩියා තමන්ට අපහාස කළ බවටත් තමන්ගෙන් හොරා කෑ බවටත් ජේඩ් අධිරාජ්‍යාට පැමිණිලි කිව්වා. ඊලඟට දුක්ගැනවිලි කිව්වෙ යෙං-ලෝ-වැං. එයා තමයි අපායෙ රජ්ජුරුවෝ. අර කාලකන්නි වඳුරා මගේ අපායේ සේරම රාජකාරි අවුල් කරලා, යෙං-ලෝ-වැං මැසිවිලි කිව්වා. අපායේ තියනවාලු එක ලෙජරයක්. මේ ලෙජරයේ අමරණීය නොවන සියලුම දෙනාගේ ආයු කාලය සඳහන් වෙලා තියනවාලු. මේ ලෙජරයට අනුව සන් වූ කොන්ග්ගේ ආයු කාලයත් ඉවර වෙන්න කිට්ටු හන්දා, මල් හා පළතුරු කන්දේ ටිකක් ඇලවෙලා නිදාගෙන හිටපු සන් වූ කොන්ග්ව අපායේ යමපල්ලෝ ගිහිල්ලා අපායට කුදලාගෙන ආවා. අවුරුදු ගණනාවක් දුක් විඳලා විඳලා තාඕ සාස්තරයත් උගෙනගෙන අමරණීය භාවය ලඟා කරගෙන හිටපු රජ වානරයාට, මේ ආකාරයට තමන්ගේ ආත්මය අපායට කුදලාගෙන ඒම පිළිබඳ පුදුමාකාර කේන්තියක් ආවා. තමන්ගේ කනතුරෙහි සඟවාගෙන සිටි මායාකාර මුගුර එළියට අරගත්තා. මෙතෙක් වේලා ඉඳිකටුවක් තරම් කුඩා වෙලා තිබුණු මායාකාර මුගුර මගා දැවැන්ත මුගුරක් බවට පත් වුණා. මේක ටිකක එහාට මෙහාට වනලා, තමන් ඉගෙන ගත්තු සටන් ක්‍රම වලින් කීපයක් පෙන්වපුවාම අනේ අර අසරණ යමපල්ලෝ ටික හොඳටෝම බය වෙලා. යමපල්ලො ටික බය කරගත්තු රජ වානරයා වැරදියට දත්ත එක්කාසු කරලා තියන ලෙජරය වහාම තමන් වෙත ගෙන එන්න කියලා යමපල්ලන්ට අණ කරනවා. ඉතින් අනේ අර බිරන්තට්ටු වෙච්චි යමපල්ලෝ ටික අපායේ ලෙජරට මේ වඳුරු තඩියාට ගෙනැවිත් දෙනවා. බොහොම කේන්තියෙන් ලෙජරය අතට ගත්තු රජ වානරයා වහාම ඉන් තමන්ගේ නම කපා හරිනවා. ඒ විතරක් නම් බැරියැ, මේ ඇට්ටරයා, ලෙජරයේ සටහන් කර තිබුනු මනුතලයේ හිටපු වඳුරු සංහතියේම නම් ටික කපා දානවා! මේ වඳුරු තඩියාගේ වැඩ නිසා දැන් මගේ අපයට එන පිරිසත් හුඟක් අඩුවෙලා ගිහින්,  යෙං-ලෝ-වැං කංකෙඳිරි ගානවා. 
මේ පැමිණිල්ල අහගෙන හිටපු අධිරාජ්‍යයාගේ උපදේශකයා කල්පනා කළා වැඩේ ගොඩින් බේරගත්තොත් තමයි හොඳ කියලා. මොකද සටනක් දීලා මහා විනාසෙකුත් ලැජ්ජාවකුත් කරලා මිසක මේ රජ වානරයාව දෙව්ලොවට කුදලාගෙන එන එක නම් ලේසි වෙන එකක් නැති බව මේ උපදේශකයාට තේරුම් ගිහිනුයි තිබුණේ. ඉතින් මේ රජ වානරයාව උප්පරවැට්ටියෙන් රවටන්න හිතාගෙන උපදශකයා ජේඩ් අධිරාජ්‍යාට උපායක් කියලා දෙනවා. මේ අනුව ජේඩ් අධිරාජ්‍යයා සන් වූ කොන්ග්ට පණිවිඩයක් යවනවා දෙව්ලොව "දිවමය අස්වයින්ගේ මහා භාරකාරයා" බවට ඇති තානාන්තරය භාරගන්න එන්න කියලා. එතකොට මේ දඩබ්බරයා දිහා ඇහැ ගහගෙන ඉන්න පුළුවන්නෙ. 
රජ වානරයත් හරි මාන්නෙ නිසා මේ උප්පරවැට්ටියට එයා අහුවෙනවා. හැබැයි වැඩි කාලෙකට නෙමෙයි, එක දවසයි. රජ වානර බොහොම සන්තෝශෙන් තමනුත් දැන් දෙවියෙක් කියලා හිතාගෙන දෙව්ලොව සවාරියක් ගහනකොට දැනගන්නවා අධිරාජයාගෙ අස්පයින්ගේ මහාභාරකාරයා කිව්වාට, එයා හැබෑවටම නිකම්ම නිකම් අස්පයො බඳින ගොපල්ලෙක් ගාණට තමයි දෙව්ලොව උදවිය තමන්ට සලකන්නෙ කියලා. බොහොම සැරේට කෙන්ති ගන්න රජ වානරයා තමන්ගෙ පට්ටම අතහැරලා ආපිට තමන්ගෙ රාජධානියට යනවා.යනවා විතරක් නෙවෙයි, තමන් "දෙව්ලොව සම මහා මුනිවරයා" කියලා තමාවම නම් කරගන්නවා. මේ අපහාසයට වාඩුව ගන්න හිතාගෙන යක්දෙස්සන් දඩම්කරන්නන් කිහිපදෙනෙකුත්, නෙස්සා නම් දේව දරුවාත් මනු ලොව වෙත යැව්වුත්, මහා බලැති රජ වානරගේ සෙල්ලම් වලට ඒ කවුරුත් යට වෙනවා. ආයෙමත් කපටිකමින් වානරයාව මට්ටු කරන්න හදන රාජ උපදේශකයා, ආයෙමත් අලුත් පට්ටමකුත් දීලා රජ වානර ගෙන්නවා ගත්තා. "අමරණීය පීච් උයනේ මහා භාරකාරයා" තමයි මේ අලුත් පට්ටමේ නම. මේ පට්ටමත් අරගෙන මෙයා ඊළඟට අල්ලන අඩව්ව ඊලඟ පෝස්ටුවෙන් කියවමු. 

Thursday, June 23, 2016

අත්තම්මාගේ රස කතා - කාබෙරියන් දැකීම

පාන්දර හතරේ කණිසමට අවදි වෙන අත්තම්මා මල්ලීට බත් ගෙඩියක් බඳින්නට හොදි මාළු උයයි. මාළු තුනක්වත් බතට නොතිබ්බෝතින් එදාට අත්තම්මාගේ හිතට හොඳ මදිය. අපි පැය ගාණකට උයන ටික ඕ පැය බාගෙකින් පමණ උයා අහවර කරයි. සමහරදාක ඈ උයන්නේ දර ලිපේ ය.අම්මාගේ ගෝරියෙන් බේරෙන්නට බැරිකමට ඈ දැන් වැඩිපුර උයන්නේ ගෑස් ලිපේය. ගෙදර කවුරුකවුරුත් නිදා සිටින අල්ලපනල්ලේ පහළ මඩුවෙන් දර අදින්නට යාම නිසා අම්මා අත්තම්මා සමග ගෝරි අල්ලන්නීය. එදාට ගෙදර ලෝක යුද්ධෙකටත් හපන්ය. 
පාන්දර නිදිමරගාතේ අපි නැගිටගන්නා විට අත්තම්මා උදේට උයා මල්ලීව ද පිටත් කර හමාරය. කුස්සිය අතුගානා ගමන් ඕ අපට තේ හදයි. උදේට කිරි බොන්න හොඳ නෑ අත්තම්මේ'යි කීවද ඇගේ පදමට රහ කහට කිරි කෝප්පයෙන් බේරීම බොරුය. හාන්සි පුටුවට වැටී කබ කඩන ඩිංගට ඕ කිරි කෝප්පය අපේ අතේ තබයි. උඹලා බඩ පිරෙන්න බත් කනටකොට තමා මගේ බඩ පිරෙන්නෙ, අත්තම්මා කියයි. හදිස්සියකටවත් ගෙදර කාටවත් ඩයට් කිරීම උගහටය. අනේ උඹේ කෑම පාලනේ, ගිහින් අන්න කොච්චි එක්ක කරෝල තෙල් දාලා සම්බෝලයක් අඹරලා ඇති බෙදාගෙන කාපන්, ඇය කියයි. කනකම්ම අත්තම්මාගෙන් බේරිල්ලක් නැතිය.  අත්තම්මාගේ රහේ බැරි කරෝල බැදුම එක්ක බත් පිඟන් දෙක තුනක් ඇඹරීම අපට ද මහ කාරියක නොවේය. 

යුද්දෙ කාලෙ පුතේ සුද්දො ලංකාවට අරං ආවා කාබෙරි කියලා ජාතියක්, අපි බත් ගිලින අතරේ ඇය කියයි. බුදු අප්පේ උංගේ විසාල. අඩි හතකට වැඩි මිසක් අඩු නෑ මයෙ හිතේ. උංගේ තියෙන්නෙ බරි තොල්. කටවල් කන් ලඟටම දිගයි. උංගෙ තොල් මේං මේ කොස්සෙ මිට විතර ඇති මහතයි. එව්වා උන්ගේ නිකටවල ගෑවෙනවා. ඒ විතරක්යැ, උංගෙ කළු! කළුම කළුයි. මිනිස්සු කියනවා උන්ගෙන් සමහරක් මිනී කනවාය කියලා. 
ඒ කාලෙ මයෙ වයස අවුරුදු දොළහක් විතර වෙන්ට ඇති. මායි අපේ අක්කයි අම්මයි එක්ක මං යනවා ගෙවල් අහ තිවුණ ඇලකට. ඒ කාලේ වතුර හිඟයක් නිසා ඇලේ ලිං වගේ වළවල් හාරලා තිවුණා ගම්මුන්ට නාන්ට. ඉතිං ඕං මාත් රෙදි කෑල්ලකුත් ඇඟේ ඔතාගෙන නානවා. අම්මයි අක්කයිත් නානවා. මට ඉතිං වටපිටාව ගැනත් එහෙමයි කියලා වගක් නෑනේ. මෙන්න බොලේ එක පාරටම අපෙ අක්කයි අම්මයි ඇලෙන් ගොඩට පැනලා පණ යන්ට වගේ දුවන්වා. මට හිතාගන්න බැරිවුණා මොකද වෙන්නෙ කියලා. මේ අම්මණ්ඩිලා දෙන්නාම රෙදිත් උස්සාගෙන දුවලා ගිහිල්ලා ඒ අහල තිවුණ හබරල ගාලක් අස්සට ගාල් වුණා. මොකෝ වෙන්නෙ කියලා හිතා ගන්න බැරිව උන්නු මට ඇල කණ්ඩියට ඉහළින් සර සර සද්දයක් ඇහුණා. බාගෙට නාගෙන පොල් කට්ටක් ද සෙම්බුවක්ද කොහේද අතේ තියාගෙන රෙදි කඩමල්ලක් ඇඳගෙන හිටපු මං හැරිලා බැලුවා මොකද්දෑ මේ සද්දෙ කියල. ඇත්තමයි පුතේ අල කණ්ඩිය දිහා බලපු හැටියෙ මගේ සරුවාංගෙම සීතල වෙලා ගියා. 
කළුම කළු විසාල කාබෙරියෝ තුන් දෙනෙක් ඇල කණ්ඩිය උඩට වෙලා මගේ දිහාව බලාගෙන ඉන්නවා. උංව දැක්ක හැටියේ මට දුවාගන්ටවත් සිහිපතක් තිවුණේ නෑ. කාබෙරියෝ තුන්දෙනාම අඟුරු කළුයි. සද්දන්තයි. ඒ මදිවට මැද හිටිය එකාගේ කටට අලි තඩි ඉබ්බෙක් දාලා. එහෙම කටට ඉබ්බො දාන්නෙ මිනී කන කාබෙරියො කියලා මං අහලා තිබුණා. මාව දාල දුවපු අම්මණ්ඩිලා දෙන්නාත් හබරල ගාලෙ ගුලි ගැහිලා බලාගෙන ඉන්නවා වෙව්ල වෙව්ල. මං හිටියා හිටි පයම හැලහොල්මනක් නැතුව. මට හරි බය හිතුණා උන් මාව අල්ලගනීය කියලා. මං දිහාවෙ බලාගෙනම උං ඇල කන්ඩියෙන් පහළට බැස්සා. එහා පැත්තෙ හිටිය කාබෙරියා මැද හිටිය කටේ ඉබ්බා දාලා තිබුණු කාබෙරියාට මොකද්දෝ කිව්වා. ඊට පස්සෙ උන් තුන්දෙනාම හෙමීට එහා ඇල කණ්ඩියට නැගලා ඇල ඉහළට ඇවිදගෙන ගියා. ඒ කාලෙ ඔය මාලඹේ දිහාවෙ තිබුණලු කාබෙරියෝ ගෙනහල්ලා රඳෝලා තියන කඳවුර වගේ එකක්. එකත් එකටම අර කාබෙරි තුන්දෙනා ඒකෙන් පැනලා යනවා. ඇල ඉහෙන් කාබෙරියො තුන්දෙනා පේන්නෙ නැතුව ගියාටත් පස්සෙ තමයි අර හබරල ගාලේ හැංගිලා හිටි අම්මණ්ඩිලා දෙන්නා එළියට ආවෙ ඔන්න.එදා උන් පැනලා යන ගමන් නොවෙන්ට උන් ඉන්තේරුවෙන්ම මාව කාලා දාලා, අත්තම්මා කියන්නේ සිනාසෙන ගමන්ය.  

ඇතීනාට එරෙහිව ඇතීනා

අතීතය වත්මන් ඇසින් විමසීම විටෙක කාල විරෝධී යැයි කෙනෙකු සිතන්නට පුළුවන. නුමුත් වත්මන ගොඩනැගුනුයේ අතීතය මතින්,අතීතය අතික්‍රමණය කොට, අතීතයෙන් උගෙන හෝ ඊට ප්‍රති විරෝධය පාමිනි. වත්මනෙහි යමක් ගොඩනැගී ඇත්ද එහි පාදම අතීතයෙන් අපට විමසා දැන ගත හැකි වනු ඇත. වත්මන් කාන්තාව සහ ඈ සෙවූ, සොයා යන පුද්ගල නිදහස අතීතයෙහි එය කෙසේ වීද යන්න මත තීරණය වනවා යැයි මා සිතන්නේද මේ හේතුවෙනි. ලොව පුරා වූ ප්‍රවාද, මිත්‍යා සහ වෘතාන්තයන්හි එන කාන්තා චරිත අතුරින් මා ඉතාම සිත් ගත් තැනැත්තී ප්‍රඥා සම්පත්තියට, යුධ උපක්‍රම, ශිල්ප කලාවන්ට,කලා ශිල්පයට, වීරත්වයට, අනුප්‍රාණයට, නීතිය සහ සාධාරණත්වයට අධිපති ඇතීනා ග්‍රීක දෙවඟනයි. ඕ ග්‍රීක මිත්‍යාවන්හී ඇතීනා හෝ පලාස් ඇතීනා යන නමින් විස්තර කෙරෙන අතර ඇයගේ රෝමානු මූර්තිය වන්නේ මිනර්වා නම් රෝමානු දෙවඟනයි.
අතීතයේ සාහිත්‍ය තුල හෝ වේවා ආගම තුල වේවා දේශපාලනය තුල හෝ වේවා ස්වාධීන කාන්තා නියෝජන අතිශය සීමිතය. ඇතීනා දෙවඟන, ස්වාධීන කාන්තාවක නියෝජනය කරන වග කාන්තා නිදහස අගයන්නන්ගේ ආදරයට පත්ව ඇත්තේ මෙවැනි වටපිටාවක් තුලදීය. ඇතීනා දෙවඟන වෙත කුඩා කල සිටම මා ද ඇල්මක් දැක්වූයේ එවන් ස්වායත්ත චරිත ලක්ෂණ ඇයගෙන් විද්‍යමාන වන බැවිනි. නුමුත් කලක පටන් ඇය දෙස ආපිට හැරී බලත්දී මා දකින ඇතීනාව එසේමද, එසේත් නැත්නම් ඇය මා දකින්නට ආශා කරන ස්වරූපයට වඩා වෙනස් ස්වරූපයක් සඟවාගෙන සිටින්නීද යන ගැටළුව මා අභිමුව සෙමින් ගොඩ නැගෙන්නට විය. ඇතීනාට එරෙහිව ඇතීනා ලිපියෙන් මා විමසා බැලීමට යත්න දරනුයේ එම පැනයට පිළිතුරකි. 
කවීන්ටද මූර්ති ශිල්පීන්ට ද කතන්දර කියන්නන්ටද සිත්තරුන්ට ද ඇතීනා අපූරු සංකල්ප රූප මවන්නියක වූවා ය. වචනයෙන් ද මැටියෙන් ද ඇතීනා රූපයට නගන ලද සියල්ලන්ම පාහේ සෘජුව දෙපා වලින් සිටගත්, සන්නාහයෙන් සැරසුණු,  සුරතින් හෙල්ලක් ද වමතින් මෙඩූසාගේ හිස සහිත ඊජස් නම් යුධ මෙවලමක් ද දරාගෙන , ස්වර්ණමය උර තහඩුවකින් සහ ඔලිව් කොල හැඩය ඇති යුධ හිස් ආවරණයකින් ආරක්ෂිතව නැගී සිටින යුධයෙහි ශූරියක සහ ප්‍රඥාවෙහි අග්‍ර වන්නියක ලෙස ආලේඛනය කර ඇත. 

ඇතීනා දෙවඟන රූපයෙන් සේම තාන්නමාන්නයෙන්ද ශූර ගැහැණියක වීර දෙවඟනක ලෙස මෙ නයින් අපගේ සිත් වල තැන්පත් වන්නීය. නුමුත් ඇයගේ කතාන්තරය ආරම්භයේ පටන්ම මොකක්දෝ නුහුරක්, අමුත්තක් ,ගැටළුවක් හොඳින් විමසා බලන්නකුගේ ඇසට හසුවනු ඇත. බොහෝමයක් දෙවිවරුන් සහ දේවතාවියන් මවකගේ සහ පියෙකුගේ එකතුවෙන් උත්පත්තිය ලබත්දී, ඇතීනා දෙවඟන උපත ලබන්නේ ඔලිම්පියානු මහා දෙවියා වන සියුස්ගේ හිසෙනි. එක් කතාවක, මෙම උපත ඉබේම හිසින් උත්පත්තිය ලබන බව කියැවෙන අතර, තවත් කතාවක කියැවෙන්නේ මෙතිස් නම් වූ දූරදර්ශීභාවයට අධිපති දෙවඟනට දාව සියුස් මහා දෙවියන්ට වඩා බලසම්පන්න දරුවකු බිහි කරන බවට අනාවැකි පළ කල හෙයින් මහා දෙවියා එම දෙවඟනව ගිලබත් කළ බවත්, එහි අතුරු ප්‍රථිඵලයක් ලෙස සියුස් මහා දෙවියාගේ හිසින් ඇතීනා දෙවඟන වැඩිහිටි ස්වරූපයෙන්ම බිහිවූ බවත් ය.  
එසේ නම් ඥානයට සහ යුධ උපක්‍රමය ඇතුලු බොහෝ ශිල්පයන්ට අධිපති වූ දෙවඟන ඉපදී ඇත්තේ පුරුෂ ශීර්ෂයකිනි. ඕ අස්වාභාවික යැයි කිව හැකි උපතකට හිමිකම් කියන්නේ ඇය වැන්නියක බිහිකිරීමට තරම් සමත් ගැහැණිය නොමැතියැයි කතාකාරයා විශ්වාස කළ හෙයින් ද? එවැන්නියක බිහි කළ හැක්කේ පුරුෂයෙකුට පමණක් ද? එසේ නම් ඇතීනා නම් ධීර, මහබලැති දෙවඟන පුරුෂ නිර්මාණයක් ද? ඕ නිර්වචනය කරනුයේ පුරුෂයින් ද? යන ප්‍රශ්න සමූහය, ඇතීනා දෙවඟනගේ උපත සමග ගොඩනැගේ. ඉතා සරළවම ගත් කළ වත්මන් සමාජයෙහි පවා 'සෙක්ස් ගොඩස්' ලෙස තීව්‍ර කර තිබෙන ආලයට අධිපති දෙවඟන වන ඇෆ්‍රොඩයිටිගේ ප්‍රොෆයිලය වෙනුවට ආදේශනය කිරීමට ඉතිරිව ඇති ආදර්ශමත්-මොඩලය වන ඇතීනාව බිහිවන්නේ පුරුෂ ශීර්ෂයෙනි. මෙම බිහිවීම අතීතයට හා සමානව වත්මනට ද අදාළ නොවේදැයි මට සිතීම අරුමයකැයි නොසිතමි. 
ඇතීනා දෙවඟනගේ උපත පමණක් නොව ඇගේ පැවැත්ම පුරාවටම මෙවැනි වූ ගැටුම්කාරී තත්වයන් බොහොමයක් ඇත. ඉන් එක් ජනප්‍රියම කතාන්තරයක් වන්නේ ඇරහ්නා නම් තරුණියගේ කතාවයි. ඇරහ්නා මැහුම්ගෙතුම් ඇතුලු හස්ත කර්මාන්තයට ඉතා දක්ෂ වූවාය. ඕ හස්ත කර්මාන්තයට අධිපතිනිය වන ඇතීනාටද වඩා තමා දක්ෂ වන බැව් පුරසාරම් දෙඩූ නිසා, උදහසට පත් ඇතීනාව අරහ්නිට තමා සමග තරගයකට එන ලෙස අභියෝග කළාය. එම තරගයේදී ඇතීනා දෙවඟන සිය විභූතිය ප්‍රදර්ශනය කරමින් ඔලිම්පස් කන්දේ වැඩ විසූ දෙවිදේවතාවියන් ගෙත්තම් කරමින් විචිත්‍ර ටැපැස්ට්‍රියක් නිර්මාණය කළ අතර ඇරහ්නා උපහාසාත්මක ලෙස, ඔලිම්පියානු දෙවියන්ගේ අසම්මත ගතිපැවතු, කාන්තාවන්ට සිදු කරන අතවර කිරීම් ගෙත්තමට නගමින් සිය ටැපැස්ට්‍රිය නිර්මාණය කළාය. 
ඇරැහ්නාගේ නිර්මාණයෙහි කිසිදු අඩුලුහුඩුකමක් සොයා ගත නොහී කෝපයට පත් ඇතීනාව, ඇරහ්නාගේ ටැපෑස්ට්‍රිය විනාශ කොට ඇයට අපහාස කළාය. ඉන් වේදනාවට පත් ඇරැහ්නා සිය දිවි නසාගැනීමට ගිය කළ, ඇතීනා දෙවගන විසින් මකුළුවකු බවට පත් කළ බව කියැවේ. ඇරහ්නා තමාගේ උඩඟුබවට දඬුවම් විඳි බව මින් ප්‍රකට කිරීමට යත්න දරා ඇති සේම, අතිශය පුරුෂවාදී කතාකරුවෙකු ලෙස ප්‍රකට ඕවිඩ් විසින් ලේඛනගත කොට ඇති මෙම කතාන්තරයෙන්, කාන්තාවන් ඊර්ෂියාවෙන් භරිත කොටසක් ලෙස උලුප්පා පෙන්වීමට ගෙන ඇති උත්සාහය ද කියවීමට අප අමතක නොකළ යුතුය. මෙහි අප අමතක නොකළ යුත්තක් ඇත.ඇතීනාව ඇරහ්නාගේ ටැපෑස්ට්‍රිය විනාශ කරන ලද්දේ දේශපාලනික බලය යොදාගනිමින් කාන්තාවන් අතවරයට, දූෂනයට ලක් කරමින් අයහපත් කල්ක්‍රියාවෙන් යුතුව කල් ගෙවන දෙවිවරුන් හට සිදුවන අවමානය නිසාවත් ද!මෙහි ගැබ්ව ඇති උපහාසය වනුයේ කාන්තාවන්ගේ ආදර්ශ-මොඩලයක් ලෙස රූපයට නංවන ඇතීනාව අතින්ම ඇරහ්නා වන් සුවිශේෂී කාන්තාවක සාපයට ලක්වීම සහ විවේචකයෙකු ගේ අදහස් ප්‍රකාශනයේ අයිතිය උදුරා ගැනීමත්, කාන්තාවන් හටසිදුවන අසාධාරණය ප්‍රසිද්ධියේ හෙළා දකින්නියක මර්ධනයට ලක්වීමයි. 
රූප සුන්දරියක ලෙස ප්‍රසිද්ධ මෙඩූසාටද ඇතීනා දෙවඟනගෙන් අයත් වන්නේ මෙවැනිම ඛේදනීය ඉරණමකි. ඇතීනා හට වඩා තමා රූපයෙන් අගතැන්පත් බවට මෙඩූසා වහසි දෙඩූ බව කතාන්තරයේ කියැවෙයි. නුමුත්, මෙඩූසා ඔය කියා තරම් උඩඟු වූවා නම් ඈ සිය ස්වරූපය සම කර පෙන්විය යුත්තේ ඇතීනා හට නොව, ආලයට සහ සුන්දරත්වයට අධිපති ඇෆ්‍රොඩයිටි හට විය යුතුය. එසේ නම් මෙම චෝදනාව සැබැවින්ම සත්‍යක් ද යන වග අප අසන්නෙකු ලෙස මුලින්ම කල්පනා කළ යුතුය. මෙඩූසා පිළිබඳ කතාවේ එක් අනුවාදයකට (මෙයද ඔවිඩ්ගේ රචනය ඇති සඳහනකි.) අනුව සුන්දර තරුණියක වන මෙඩූසාව වශී කරගත් සමුදුරට අධිපති පොසයිඩන් දේවතාවා ඇතීනාගේ දේවාලයේදී ඇයව දූෂණයට ලක් කළ බවයි. කාන්තාවකට අතවර කිරීම සහ ඊට දේවතාවියකගේ දේවාලයම යොදා ගැනීම මගින් ඇතීනාට අපහාස කරන ලද පොසයිඩන් දේවතාවා සමග සිය ආරවුල බේරාගැනීම පැත්තකින් තබන ඇතීනාව, සිය දේවාලය කෙලෙසීමේ වරදට මෙඩූසාව සර්ප කඳක් සහිත ගොර්ගනයෙක් බවට පත් කරයි. මෙම අරුම තීන්දුව වත්මනෙහි පවා දූෂණයට ලක්වූ කාන්තාවකට එරෙහිව පොදු සමාජය විසින් එල්ල කරනු ලබන "උඹට උඹේ ආරක්ෂාව තහවුරු කර ගන්න තිබුණා නොවේද" යන චෝදනාව, දූෂණයට ලක්වූ තරුණියක නිවසින් පන්නා දැමීම, ඇයව සමාජයේ අපහාසය ලක් වීම සහ අවසානයේදී ඇයව ගණිකාවක් බවට පත් කිරීම ආදී සියලු ඛේදනීය ප්‍රතිචාරයන් මට සිහිගන්වයි. පුරුෂ ශීර්ෂයෙන් බිහි වන ඇතීනා දෙවඟන කාන්තාවකගේ කන්‍යාභාවයට පුරුෂවාදී නිර්වචනයක් (මෙඩූසා කළාක් සේ කාන්තාවක් සිය රූපය උලුප්පමින් ඇයගේ රූප සොභාව අන්‍යන්ගේ අවධානයට යොමු නොකළ යුතුය.එසේ කළහොත් මෙඩූසා සේ දූෂණයට ලක්ව විනාශ වීමට සිදුවනු ඇත හඟවන) මෙහි දී ලබා දී නොතිබේද යන්න විමසිය යුතුමය. මන්ද මෙම තීන්දුව අද කාළේ නංගිලා බස් වල කොටට ඇඳගෙන නොයා යුතුය, ස්කිනි නොඇඳිය යුතුය හා සමාන කතන්දරයක් බව මට හැඟී යන නිසාවෙනි. එසේ නම් මෙඩූසාට මෙම තීන්දුව දෙනු ලබන්නේ ඇතීනාවමද යන්න සිතා බැලීම වටනේය. 
මෙම කතාවෙහිම එන තවත් අනුවාදයක මෙඩූසා සිය කැමැත්තෙන්ම ඇතීනාගේ දෙවොලෙහි දී පොසයිඩන් හා නිදිවදින්නීය. කතාවෙහි ඇති එකම වෙනස මෙඩූසා දූෂණය පත් නොවීම පමණකි. ඇගේ ඉරණම එසේමය. ඇතීනාගේ උදහසට ලක්වනුයේ කාන්තා පාර්ශවය පමණි. පුරුෂ පාර්ශවය බලසම්පන්න දෙවියෙකි.අවසන එයද තවත් එක් කැකිල්ලේ තීන්දුවකි.අද හන්දියේ ටවුමේද මීට වඩා ලොකු වෙනසක් ඇත්තේ නැත. හෝටල් කාමර වලට යන නංගිලා මෙඩූසලාය. පුරුෂ ශීර්ෂයෙන් උපන් ඇතීනා නම් අම්මා පොසයිඩන් පුතාව කහවතුරින් නහවා ගෙට ගන්නීය. මෙය කියවා මා හා එකඟවන්නෙකු වෙතොත් ඔබද මාද ඇරහ්නා සේ මකුළුවන් වී සාපලත් අවකාශයක සිට අකුරු ගොතමින් සිටිමු. 
ඇතීනා දෙවඟන පලාස් ඇතීනා යනුවෙන් හඳුන්වන බව ලිපියේ ඉහතින් සඳහන් කර ඇති බව ඔබට මතක ඇතැයි සිතමි. පලාස් යනු කලෙක ඇතීනාගේ මිතුරියකි. අත්වැරදීමකින් ඇතීනා අතින් පලාස්ව මරණය පත් වන්නේලු! ඉන් ශෝකයට පත් ඇතීනා සිය මිතුරියගේ නම සිය නමට ඉදිරියෙන් භාවිත කිරීමට පුරුදුව සිටි බව කතාකරුවන් කියති. ඇතීනා දෙවඟන වට සිටින අනෙකුත් කාන්තාවන් මෙලෙස මරණයට හෝ ඛේදජනක අවසානයන්ට මුහුණ දීම අතිශයෙන්ම උපහාසාත්මක සිදුවීම් පෙලකි. ඇතීනාවගේ උදහසට ලක් නොවූ කාන්තාවන් කිහිපදෙනෙකු අතුරින් ඔඩිසිගේ බිරිය වන පෙනිලෝප ඉදිරියෙන්ම සිටී. ඇතිනාවගේ ගජ මිතුරියක වූ කරික්ලෝගේ පුත්‍රයා, තමාව නිරුවතින් දැකීමේ වරද හේතුවෙන් අන්ධභාවයට පත් කිරීමට ඇතීනාවට සිදුවෙයි.  
ඇතීනා දෙවඟන කාන්තාවන් ආශ්‍රයට දක්වන්නේ යම් දුර්වලතාවක්ද ඒ හා සමාන දුර්වලතාවක් පුරුෂයින් ඇසුරේදී ද දක්වන හේතු නිසාදෝ ඇයව අවිවාහක ස්ත්‍රියක ලෙස ප්‍රකට කිරීමට කතාකරුවා උත්සුක වී ඇත. මින් හැඟවෙන්නේ පුරුෂ ලක්ෂණ මතින් නිර්මාණය වූ ඇතීනාව බිරිඳකට හෝ මවක නොසුදුසු බවදෝයි මගේ සිතෙහි හොල්මන් කරයි. එපමණකුදු නොව, රෝමානු මිත්‍යා කතාන්තර වලට අනුව වරෙක වල්කන (ඔහුගේ ග්‍රීක මූර්තිය හෙපස්ටස් වේ.) මිනර්වාට පෙම් බැඳ ඇය හා ප්‍රේමාලිංගනයේ යේදීමට උත්සාහ කර ඇතත් ඕ එය ප්‍රතික්ශේප කර ඇත. සුන්දර මෙන්ම දක්ෂ ඇතීනාවට ආලය කරන්නේ විරූපී රූපකායකින් හෙබි වල්කන පමණක් වීම ද පුරුෂ අනන්‍යතාවකින් ගොඩ නැගුණු කාන්තාවකට කෙරෙන අනතුරු හැඟවීමක්දෝ හෝ යි සිතීමට ද අයෙකුට නිදහ ඇතැයි මා සිතමි.  
ඇතීනාව නිරන්තරයෙන් පුරුෂ වීරයින්ට මාර්ගෝපදේෂකයෙකු වූවාය. ඔවුන් හට උපකාර කලාය. ඔවුනට පක්ෂපාතී වූවාය. අයිකිලොස්ගේ ඉයුමනයිඩ් වේදිකා නාට්‍යයෙහි ඕ විවාහය පිලිබඳ හැරුණුකොට අන් සියල්ලේදීම මා මාගේ පියාණන් හා එකඟ වෙමි, පුරුෂයින් හා එකඟ වෙමි'යි කීවාය. පුරුෂ අනන්‍යභාවයක් සහිත කාන්තාවන්ගේ ආදර්ශ-මොඩලය සිය මිතුරියන් අහම්බෙන් මරා දමමින්, සිය තරඟකාරියන්ට සාප කරමින් යන්නියක් බවට හදිසියේම පත් කර ඇත්තේ මෙලෙසය.  
ඇතීනා පුරුෂ නිර්මිත වහල් චරිතයකැයි මා කියන්නේ නැත. ඇය ඇතීනා නම් ස්වාධීන ධීර දෙවඟන වන්නීය. නුමුත් ඇය පුරුෂ ශීර්ෂයකින් උපන්නීය. පුරුෂ ශීර්ෂය ඈ වෙනුවෙන් තීරණ ගන්නේය. ඕ සංකීර්ණය. ඇතීනා ඇතීනාට එරෙහි විය යුතු කාලය එලැඹ ඇත. 

Wednesday, June 22, 2016

මිත්‍යාව අතීත ඇසින්


මිත්‍යා කතාන්තර පිළිබඳ විග්‍රහයේදී සාමාන්‍ය පාඨක සමාජය තුලට සම්ප්‍රේෂණය වී තිබෙන අදහස වනුයේ ඒවා හුදු අසත්‍ය කතාන්තර බවයි. එවිට අපට නැගෙන ඊළඟ ප්‍රශ්නය වන්නේ මිත්‍යා කතාන්තර කී පැරැණ්නන් මේ කතාන්තර සැබැවින්ම විශ්වාස කළාද යන්නයි. මේ ගැටළුව විසඳා ගැනීමට මේ පෝස්ටුවෙන් අපි පැරැණ්නන් මිත්‍යා කතාන්තර පිළිබඳ දැරූ අදහස් සහ ඒවාට කළ විවේචනත් විශ්ලේෂණත් පිලිබඳව ග්‍රීක සහ රෝමානු ඓතිහාසික මූලාශ්‍ර ඇසුරින් ලුහුඬින් සාකච්ඡා කර බලමු.
ග්‍රීක සහ රෝම මිත්‍යා කතාන්තර පිලිබඳ පැරණිම ලිඛිත අදහසක් දක්වන්නේ නම හඳුනා නොගත් විවේචකයෙකි. තමා කියවමින් සිටි මිත්‍යා කතාන්තරයක පිටුවෙහි පිටත තීරයක කුරුටු ගාමින් මේ විවේචකයා මිත්‍යා කතාන්තර වල ඇති සමහ සිදුවීම් පිළිබඳව සිය අප්‍රසාදය පළ කරනවා. ඔහුගේ අදහස වන්නේ ඔලිම්පියානු දෙවිවරුන් ප්‍රසිද්ධියේ ලිංගිකව හැසිරීම වැනි අවස්ථා අශීලාචාර බවත්, සමහර පුද්ගලයන් එවැනි සිද්ධි කතාන්තර වලට ඇතුලත් වීම නොසුදුසු යැයි සිතන බවත් සටහන් කරයි.
ලංකාව තුල මෙන්ම ලෝකයේ ද ලිඛිත, ශ්‍රව්‍ය, දෘශ්‍ය සාහිත්‍ය නිර්මාණ වෙත එල්ල කරන වාරණ පැනවීම් සහ නියාමනයේ උත්සාහයන්හි උත්පත්තිය විශද කරමින් මෙම ග්‍රීක කතාන්තර සංස්කරණයට ලක් විය යුතුයි මතයක් අතීතයේද පැවතිනි. ක්‍රි.පූ.429-337 කාලය තුල ජීවත් වූ සුප්‍රසිද්ධ බටහිර දාර්ශනිකයෙකු වන ප්ලේටෝ ද මෙවැනිම මතයක් දැරූ අයෙකි.ප්ලේටෝ කවියන්ගේ රසිකයෙකු නොවීය. මෙම කතා බොහොමයක් ශ්‍රද්ධාවෙන් තොර අසත්‍ය ඒවා බව ඔහු කියයි. මෙම කතාන්තර අසන්නන්ට ඒවායෙන් ඊටත් වඩා හානි පැමිණවෙයි. මෙම අසම්මත ක්‍රියාවන් දෙවිවරුන් විසින් සිදු කරන ලද්දක් බවත් එමගින් අසන්නන් අසන්නන් තම තමන්ගේ වැරදි සාධාරණීකරණය සිදු කර ගනු ඇති බවත් එය සමාජයෙහි පැවැත්මට හානිදායක බවත් ප්ලේටෝ පෙන්වා දෙයි.නමුත් මුලින් සාකච්ඡා කළ නම නොදන්නා විචාරකයා සහ ප්ලේටෝගේ අදහස් අතර ඇති වෙනස වන්නේ, පලමුවැන්නා සදාචාරාත්මක සහ සදාචාරාත්මක නොවන සිදුවීම් පිළිබඳව පමණක් විවේචනය කරන අතර ප්ලේටෝ ඉන් සමාජයට සහ සංස්කෘතියට සිදුවිය හැකි බලපෑම පිළිබඳව අවධානය දක්වයි. මෙවැනි කතාන්තර වලට සංස්කෘතියක් හැඩගැස්වීමත්, ඊට බලපෑම් කිරීමටත් හැකියාව ඇති බව මින් පිළිඹිබු කරයි. 
මිත්‍යා කතාන්තර පිළිබඳ ඉතා ආකර්ශණීය ලෙස සිය අදහස් ප්‍රකාශ කරන සිනෝෆනීස් (ක්‍රි.පූ.6-ක්‍රි.පූ.5) හට ඇත්තේ මෙවන් අදහසකි. දෙවිවරුන් මිනිසුන් මෙන් මිනිස් ස්වරූපයෙන් ඉපිද, කා බී වස්ත්‍ර වලින් සැරසීගෙන ජීවත් වන බව මිනිසුන් සිතාගෙන සිටිති.ඉතියෝපියානුවන් තම දෙවියන් මුක්කන් නාසා ඇති කාල වර්ණ කොට්ඨාසයක් බව සිතති. ත්‍රේසියානුවන් සිය දෙවිවරුන්ට ලා නිල් පැහැ දෑස් සහ රතු කෙස් ඇති බව විශ්වාස කරති. හරකුන්ට, අශ්වයින්ට හෝ සිංහයන් හට රූප ඇඳීමට හැකියාව තිබිණි නම් උන් උන්ගේ දෙවිවරුන් හරකුන්ගේ, අශ්වයින්ගේ සහ සිංහයන්ගේ පෙනුමින් සිතුවම් කරනු ඇත. සිනෝෆිනීස් මින් පෙන්වා දෙන්නේ මානවයා සිය දෙවියන්ව මානවීකරණය කර ඇති බවයි.  මින් ද නොනවතින සිනෝෆිනීස් පවසන්නේ භෞතික ස්වරූපය පමණක් නොව අප එකිනෙකා තුලින් දක්නා දෑ දෙවියන් තුලින් පිළිඹිබු කරන බවයි. මේ අනුව මිනිසා සිය භෞතික මෙන්ම මානසික ස්වරූපය ද මිත්‍යා කතාන්තර තුලින් පිළිඹිබු කරන බවට මෙම තර්කයෙන් ගොඩනැගෙයි.  ඉදින් අපට පැහැදිලි වනුයේ ප්ලේටෝගේ අදහසට හාත්පසින්ම වෙනස් අදහසක් සිනෝෆිලීස් ඉදිරිපත් කරන බවයි. ප්ලේටෝ යෝජනා කරනුයේ, මිත්‍යා කතාන්තර විසින් සංස්කෘතිය ගොඩ නැගෙන බවත්, ඊට විවිධ බලපෑම් ඇති කිරීමට හැකි බවත්ය. නුමුත් සිනෝෆිලීස් යෝජනා කරනුයේ සංස්කෘතිය විසින් මිත්‍යාව නිර්මාණය කරන බවයි. බොහෝවිට මෙම යෝජනා දෙකෙහිම සත්‍යතා ගැබ්වී ඇතැයි මට සිතෙන අතර  මිත්‍යාවත් මිනිසාත් අතර ඇති මානවීය සහ මායාවී බැඳියාව මා තුල ඊට ඇති ඇල්ම තවද වැඩි කරයි. එසේම අතීත මෙම කතාන්තර ඇති සැටීයෙන් පිළි නොගත් බවත් ඒවාට විවිධ අර්ථකථන දීමටත් යුහුසුහුළු වූ බව පැහැදිලිය. 

Sunday, June 19, 2016

අත්තම්මාගේ රස කතා - ජපන්නු බෝම්බ දමති ii

හනේ දෙයියනේ එහෙම කාලයක්...... මඳ සිනාවකින් මුව සරසාගෙන අත්තම්මා කුස්සියේ එහෙට මෙහෙට යමින් හොද්දට අඩුමකුඩුම එක් කරයි. ඇගේ ඉවිල්ල එකම රහකි. අපි ඒ රහ හොද්දකින් අරගනු බොරුවකි.  
ලෝක යුද්දෙ කාලෙ, කෑම හිඟයක් ආවා. අපේ ගෙදර තිබුණා හාල් මිටියකුයි, මුං ඇට මිටියකුයි, කව්පි මිටියකුයි. අපේ තාත්තා හැම එකෙන්ම හුණ්ඩුව ගානේ සේරෝම ගමේ මිනිස්සුන්ට බෙදා දුන්නා. ඉතින් අපට කෑම නැතිවුණා. මන් හුඟ පාරක් කන්ඩ නැතිව කලන්තෙ දාල වැටිලා තියනවා. අපේ තාත්තා කුරුම්බා ලොඳයි, කුරුම්බා වතුරයි හාමු කරලා අපට කවනවා. ඒ කාලෙ තිබුණා 'තුන් අවුරුදු' කියලා කොස් ජාතියක්. ඒ කොස් ගස් පීදෙන්නෙ අවුරුදු තුනකින්. අපි ඒ කොස් කනවා. තව ආවා බජිරි කියලා ජාතියකුයි කොම්බු කියලා එහෙකුයි. ඒ සේරම ආවෙ හාල් වෙනුවට කන්ඩ. ඒත් කොච්චර කෙටුවත් ඒවායේ පොත්ත යන්නෙ නෑ.
                                                (Photo credit: http://lankapura.com/)
කෑම හිඟයක් විතරක් නෙවෙයි, ඒ කාලෙ රෙදි හිඟේකුත් ආවා. තම්බි මුදලාලිලා තමයි රෙදි ගේන්නෙ. ඒ කාලේ හොඳෝම රෙදි 'චන්දරප්පට සරොං', 'චන්දරප්පට කම්බා' එහෙම තමයි. මගුල් ගෙවල් වලට යද්දි සල්ලිබාගෙ තියන අය එව්වා තමයි අඳින්නෙ. කම්බා කෑලි කියලා සත හයට විකුණුවා දියට අඳින්න ගන්න රෙදි. කාට වුණත් පුතේ ඒ කාලෙ ඇඳුං කෑලි දෙක තුනකට වඩා තිබුණේ නැහැ. සල්ලි බාගෙ තිබුණ අයත්, නැති අයත් ගමනකට අඳින්න ඇඳුමකුයි ගෙදරට අඳින්න ඇඳුමක්කුයි තියා ගත්තා මිසක මේ අද කාලෙ වගේ මහ ගොඩක් ඇඳුම් ගොඩ ගහගත්තෙ නෑ.  

අත්තම්මාගේ රස කතා - ජපන්නු බෝම්බ දමති i

අත්තම්මාගේ පැරණි මතකයන් මිල කළ නොහැකිය. ඒ කාලෙ පුතේ හැතැම්ම හයටම බස් එකේ ගන්නෙ සත හයයි. ඈ අතීත සිදුවීම් සිහි කරන්නේ කුස්සියේ පොල් මිරිකන ගමන්ය. ඒ කාලෙ ආණ්ඩුවේ බස් තිබුණේ නෑ. කොම්පැනි බස් තමයි තිබුණේ. එක කොම්පැනි බස් ජාතියක් තිවුණා 'පුෂ්ප උයන් බස්' කියලා. තව එකක් තිවුණා 'මව්ලානා බස්' කියලා. ඉස්කෝලෙ යන ළමයි බස් එක එනකම් බලාගෙන ඉන්නවා. ඒත් හුඟක් අය බස් වල යන්න ඉන්නෙ නෑ. මොකද මිනිස්සු රැවුල් බාලා මූණු හෝදගෙන එනකම් බස් නවත්තගෙන බලාගෙන ඉන්නවා. වෙළඳාම් කරන ගැණු  බස් එක එනකම් නොඉඳ, වට්ටි ඔළුවෙ තියාන අඹතලේ ඉඳන් තොට ළඟට හැතැප්ම පහක් පයින් යනවා.
මට මතකයි ඒ කාලෙ අපේ ගෙදර වටේට උන්නු ගෑණු මිනිස්සුන්ගේ නම්. ඇලිස්, ඇල්පේනිස්, ලොවිච්චි නෝනා.... තව මේරි කියලා රදා කෙල්ලෙකුත් උන්නා. ඉස්සර අපේ වත්තෙ පොල් කඩන්න එන්නෙ ලුයිස් කියලා හාදයෙක්. ලුයිස් පොල් කඩනවට අමතරව වොලන්ටියර් එකෙත් හිටියා. නිවාඩු මාස තුනට ඇවිත් තමයි පොල් කඩන්නෙ. ඉස්සර අපේ රටට හරිහමන් හමුදාවක් තිවුණේ නෑ. වොලන්ටියර් එක තමා තිබුණේ. ඒකට බඳෝ ගත්තු ඈයන් හුඟ දෙනෙකුට අකුරු සාස්තරේ බෑ. ලෝක යුද්දෙ (ඈ කියන්නේ දෙවන ලෝක යුද්ධය ගැනය.) කාලෙ වොලන්ටියර් එකේ අය තමා අපේ හමුදාව. ලුයිසා ඉස්සර වොලන්ටියර් එකෙන් දෙන බර සපත්තුත් දාගෙන නිවාඩුවට ගමට එනවා. උපන්තේකට දාලා නැති සපත්තුත් දාගෙන ඌ එන්නෙ දණිඉහෙන් නැමිලා බකල් ගහ ගහ. 
                           (https://en.wikipedia.org/wiki/Ceylon_in_World_War_II)
ලෝක යුද්ධෙ කාලෙ මයෙ වයස දහතුනක් හෝ දහහතරක් වගේ. ඒ කාලෙ වතු වල බිං ගෙවල් හාරනවා, යුද්ධෙ හන්දා. මට මතකයි අපේ වත්තෙත් බිං ගෙයක් හාරලා තිබුණා. අපේ ගෙවල් අහ තිවුණු මහ වෙලට ජපන්නු බෝම්බ දැම්මා. අපි ළමයි රොත්තම දුවනවා මහ වෙල දිහාවට ජපන්නු බෝම්බ දානවා බලන්නයි උන්ගේ අහස්යාත්තරා බලන්නයි. උන් යන්නෙ බොහොම පහතින්. මට මතකයි අහස්යාත්තරා පහේ පෝලිම් ගානේ අපි ගණන් කළා යාත්තරා විසිපහක්. බෝම්බ දාපුවාම මහ දවාලත් මහ රෑ වගේ කළුවර වෙනවා. පළාතම දුම් වලින් වැහෙනවා. ගිනි බෝල වීසි වෙනවා. අපි පොලොවෙ පස් කාගෙන වැටිලා ඉන්නවා. අපේ සිංහල වොලන්ටියර් එකෙ අය අපි මහ වෙල දිහාවට එනකොට අතින් කියනවා ආපහු යන්ඩ කියලා, ඒත් අපි එයැයිලට ආපහු අතවනනවා. අපි හිතන්නෙ එයැයිලා අපට අත වනනවා කියලා.  ජපන්නු IDH එකටයි, කොළඹටයි, පිස්සන් කොටුවටයි බෝම්බ දානවා. පස්සෙ එයාල පිස්සන් කොටුවට බෝම්බ දාපු එකට සමාව ඉල්ලනවා, වැරදීමකින් නොදැන බෝම්බ දැම්මාය කියලා. පිස්සන් කොටුවට බෝම්බ දැම්මට පස්සෙ ඒකෙන් පිස්සො හුඟ මළා. බේරිලා පැනලා ගියපු පිස්සෝ අහල ගම් හැමතැනෝම. අපේ පැත්තටත් ආවා. උන් ඇඳගෙන හිටියේ කොළ අතු. බෝම්බ දැමිල්ල ගැන ඒ කාලෙ කවි කොලත් ගැහුව. මට මතකයි එක කවියක තිවුණා ඔය පිස්සන් කොටුව එහෙම "මහ ගින්නෙන් දැවුණා ලූ" කියලා.