ලෝකයේ ප්‍රසිද්ධම යුද්ධ අතරින් ට්‍රෝජන් යුද්ධයට හිමි වන්නේ එක්තරා ආකාරයක මායාවී සහ විභූතිමත් පිළිගැනීමක්. ඔයාලා කවුරුත් අහලා ඇතිනේ ට්‍රෝජන් අස්වයා ගැන. වසර දහයක් පුරාම ග්‍රීකයින් මොන සෙල්ලම් දැම්මත්, ට්‍රෝජන්වරුන්ව මුහුණට මුහුණ සටන් කරලා පරාජය කරන්න බැරිවෙනවා. ඔඩිසියස් කියන සටකපට රණශූරයා කපටි සැලැස්මක් හදලා ගරිල්ලා ක්‍රමයට තමයි අන්තිමට මේ මහා ට්‍රෝජන් යුද්ධය අවසාන කරන්නේ.
එතකොට දැන් මේ ට්‍රෝජන් යුද්ධය ඇත්තටම සිද්ධ වුණු දෙයක් ද? මෙහෙමයි, ලිඛිත සාහිත්‍යට අනුව ට්‍රෝජන් යුද්ධය පටන් ගත්තේ ක්‍රිස්තු පූර්ව 13 වන සියවසේදී විතර. හෙන්‍රිච් ශ්ලීමන් (Heinrich Schliemann 1822-1890) කියන පුරාවිද්‍යාඥයා මේ පුරාවෘත්තමය ට්‍රෝජන් යුද්ධය පිලිබඳ පුරාවිද්‍යාත්මක සාධක සොයා ගැනීමට යත්න දැරූ කෙනෙක්. මේ පර්යේෂණ වල ප්‍රතිඵලයක් වශයෙන්, හෙන්‍රිච් තමන්ගේ පර්යේෂණ කණ්ඩායමත් එක්ක තුර්කියේ උතුරු වෙරළ තීරය (Asia Minor) දිහාවට යනවා. එතැනදී ඔහු සොයා ගන්නවා ට්‍රෝයි කියන පුරාණ මහා බලකොටුවක් හැබෑවටම තිබිලා තියෙනවා කියලා. ට්‍රෝජන් යුද්ධයත් එක්ක බැඳී පවතින වෘතාන්ත, චරිත සහ ස්ථාන පිළිබඳව පුරාවිද්‍යාත්මක සාක්ෂි නැතැත්, එකළ මධ්‍යධරණී මුහුද ආශ්‍රිත වෙළඳ බලය තහවුරු කරගැනීම වැනි හේතූන් මත ට්‍රෝයි බලකොටුවට දරුණු ප්‍රහාර එල්ල වෙන්න ඇතැයි උපකල්පනය කිරීමට හැකියාව තිබෙනවා. මේ මහා ට්‍රෝජන් යුද්ධයට මූලික හේතුව වෙන්නෙ ට්‍රෝයි හි කුමරු පැරිස්, මෙනලස් රජතුමාගේ බිරිය වන සුරූපී හෙලනාව සමග පැනයාම කියලා තමයි පුරාවෘත්තවල සඳහන් වෙන්නෙ. හෙලනාව තමයි මිහිපිට විසූ සුන්දරම මිනිස් කාන්තාව. අර ඉංගිරීසි කියමනක් තියනවා නොවැ සෑම වරදකම පත්ලෙහි මත්පැන් හෝ ඉස්තිරියාවක් ඉන්නවාය කියලා, ඉතින් අන්න ඒ වගේ ට්‍රොජන් යුද්ධෙත් පටන්ගත්තාය කියන්නෙ ඉස්තිරියාවක් හින්දා. මම පෞද්ගලිකව ඉතාම අගය කරන නාට්‍යකරුවෙකු වන ක්‍රිස්ටොපර් මාලෝ (මෙයාගෙන් තමයි අපේ ශේක්ස්පියර් අයිය එයාගෙ නාට්‍ය වලට වස්තු බීජ හරීයට හොරකං කරගත්තාය කියන්නෙ. ඒ කතාව වෙන දවසක ඈ....) එයාගෙ අතිශය ජනප්‍රියම නාට්‍ය වන දොස්තර ෆෝස්ටස් නාට්‍යයෙහි ට්‍රෝයි හි හෙලනාව හඳුන්වන්නේ දහසක් නෞකා දියත් කරවූ ඒ සෝබමාන වතකමල කියලායි. (Was this the face that launch'd a thousand ships, / and burnt the topless towers of Ilium.\ Doctor Faustus, Act V, Scene I.\)
නමුත් ඉතින් මේ කතන්දරයේ නිදාන කතාව හොයාගෙන ගියෝතින් ට්‍රෝයිහි පැරිස් කුමාරයා හෙලනාවත් අරගෙන පැනලා ගියේ ඇයි කියලා දැනගන්න අපට පුළුවන්. ඔලිම්පසයේ පැවැත්වූ එක්තරා සාදයකට අසමගියට අධිපති දෙවඟනට හැර අන් සියලුම දෙනාට ආරාධනා කළාලු. මේකෙන් කෝපයට පත් මේ අනාරාධිත දෙවඟන සාදයේ භෝජන මේසය මතට "මෙහි සිටිනා සුන්දරම තැනැත්තියට" යැයි සඳහන් කළ ඇපල් ගෙඩියක් විසි කළාලු. මේ ඇපල් ගෙඩිය තමාට කියලා ඇතීනාත්, ඇෆ්‍රොඩයිටිත්, හේරාත් සිතුවාලු. මේ තුන්දෙනාගේ ගැටුම විසඳන්න තීරණය ලබා දෙන්න සිදුවෙන්නෙ ට්‍රෝයි හි පැරිස්ට. ඇතීනා දෙවඟන ඔහුට ඥාන සම්පත්තියත්, හේරා සැපවත් විවාහ ජීවිතයකුත් ඇෆ්‍රොඩයිටි ඔහුට ලොව සුන්දරම කාන්තාවත් ලබා දෙන්න පොරොන්දු වෙනවා මේ ඇපල් ගෙඩිය තමන් වෙත ලබා දුන්නොත්. පැරිස් කුමාරයා ඇපල් ගෙඩිය දෙන්නෙ ඇෆ්‍රොඩයිටිට.ලෝකයේ සුන්දරම කාන්තාව වෙන්නෙ දැනටමත් මෙනලස් රජුත් එක්ක විවාහ වෙලා ඉන්න හෙලනාව. ඇෆ්‍රොඩයිටිගේ උදව්වෙන් තමයි පැරිස් කුමාරයාට හෙලනාව අරගෙන ට්‍රෝයි නුවරට පැනලා යන්න පුලුවන් වෙන්නෙ. මේ පළිය ගන්න තමයි මෙනල්ස් රජතුමාගේ සහෝදරයා අගමෙම්නොන් ප්‍රමුඛ අකීලීස, ඒජැක්ස සහ ඔඩිසියස් වැනි රණශූරයින්ගෙන් යුතු 100,000 ක ග්‍රීකයන් පිරිසක් ට්‍රෝයි නුවර බලා යාත්‍රා කළා කියන්නෙ.
ඔන්න ඔහොම පටන්ගත්තු ට්‍රෝජන් යුද්ධය පිළිබඳ විස්තර අපට දැනගන්න ලැබෙන ප්‍රධානම මූලාශ්‍රය වන්නේ හෝමර් (ක්‍රි.පූ.750) විසින් ලියන ලද ඉලියඩ් සහ ඔඩිසි යන වීර කාව්‍ය ග්‍රන්ථ දෙකයි. හෝමර් ට්‍රෝජන් යුද්ධය ගැන ලියන්නේ ක්‍රි.පූ. අට වන සියවසේදීයි. ඒ කියන්නේ ට්‍රෝජන් යුද්ධය අවසන් වී වසර පන්සීයකට පසු තමයි මේ යුද්ධය ගැන හෝමර් ලියන්නේ. එහෙනම් හෝමර් මේ ලියන්නේ ග්‍රීකයින්ට තමන් ට්‍රෝජන් යුද්ධයේදී සිදු කළ, හැසිරුණු ආකාරය සහ ඔවුන් ඒ පිළිබඳ සිතන දේවලුයි. හෝමර් පශ්චාත් යුධ සමයක සිට ලියන ඉලියඩ් වීර කාව්‍ය ඇරඹෙන්නේ rage (කෝපයෙන් වියරු වැටීම) කියන වචනයෙන්. යුද්ධය විස්තර කිරීමේ ප්‍රධානතම වචනය ලෙස ඔහු යොදාගන්නා rage කියන වචනය මුළු යුද්ධයටම පොදු කාරණයක් වෙනවා.කතාව ආරම්භයේදීම ඔහු පෙන්වා සිටින්නේ අකීලීස සහ අගමෙම්නොන් අතර ඇතිවන බහින්බස් වීමක් නිසා අකීලීසගේ සිතෙහි ඇති වන ක්‍රෝධය පිළිබඳවයි. අකීලීසගේ මෙම අසාධාරණ කෝපය, යුධ අවසානයේදී ග්‍රීකයන් ට්‍රෝජානුවන් මත පතිත කරන ක්‍රෝධය හා සමාන කරමින් එය ගර්හාවෙන් යුතුව හෝමර් හෙළා දකිනවා. ඒ විතරක් නෙවෙයි, හෝමර්ගේ අදහස නම් මධ්‍යධරණී මුහුදේ සිය බලය තහවුරු කරගැනීමේ අටියෙන් ග්‍රීකයන් හෙලන්ගේ සිදුවීම පිට දමා මේ ආක්‍රමණය කළ බවයි. මෙතැනදී හෝමර් පෙන්වා දෙනවා ඇත්තේ දේශපාලන සහ යුධ බලය සහිත ප්‍රතිරූපයන්ගේ ක්‍රියාකාරකම් නිසා සාමාන්‍ය සිවිල් ජනතාවට විඳීමට සිදුවන ගැහැට. මොකද මහා ජන සංහාරයක් වන මේ යුද්ධයට හේතුව වන්නේ රජ පවුල් දෙකක ගෞරවය පිළිබඳ කාරණාවක්.
ට්‍රෝජන් අස්වයාගේ මාර්ගයෙන් ට්‍රෝයි නුවරට ඇතුල් වෙන ග්‍රීක හමුදාව නිදා සිටින අසරණ සිවිල් පුරවැසියන් සමූල ඝාතනය කරනවා. මුළු නගරයම ගිනි තබා විනාශ කරනවා. හෝමර් සිය කාව්‍යයෙන් පෙන්වා දෙනවා ග්‍රීකයෙකු ලෙස වුවත් සාධාරණීකරණය කළ නොහැකි ආකාරයට ග්‍රීකයින් ට්‍රෝජන්වරුන්ට හිංසා කළ බව. ඔහු කිසි විටෙකවත් එය යුද්ධයේ සාමාන්‍ය සොභාවයක් යැයි කියමින් ග්‍රීකයින්ව සාධාරණීකරණය කරන්නට යන්නේ නැහැ. ඔහු විස්තර කරනවා ග්‍රීක රණශූරයෙකු වන ඒජැක්ස, කැසෙන්ද්‍රා කුමරිය ඇතීනාගේ දෙවොලේ දී දූෂණය කරන ලද ආකාරය. දූෂණයෙන් පසුව ඇයව අගමෙම්නොන් රජුට යුධ ජයග්‍රහණයේ ත්‍යාගයක් ලෙස ලබා දෙනවා. වීර ට්‍රෝජානුවකු වන හෙක්ටර්ගේ බිරිය නෙප්තොලමියුස් රජුට ලබාදෙනවා. ප්‍රියම් රජුගේ බිරිය ඔඩිසියස් හට ලබා දෙනවා. යුධ අවසානයකදී පෙළපත තරාතිරම නොබලා කාන්තාවන් යුධ ජයග්‍රහණයේ කෙළිබඩු ලෙස අතින් අතට මාරු වීම, ලිංගික අතවරයට සහ දූෂණයට ලක් වීම යන කරුණු හෝමර් සිය වීර කාව්‍ය ඔස්සේ මනාව පිළිබිඹු කරනවා. ඒ විතරක් නොවෙයි, වීර හෙක්ටර් කුමරුගේ පුත්‍ර ඇස්තියානස් නම් බිළිඳාව ට්‍රෝයි බලකොටුවේ පවුරෙන් එපිටට විසි කර මරා දමනවා. හෝමර් මෙය ඉතාමත් පිළිකුලෙන් හෙළා දකිනවා. පොලිසිනා කුමරියව අකීලීසගේ සොහොන මත ඔහු වෙනුවෙන් බිලි දෙනවා. යුද්ධයක දරුණු අවසානය එහි පශ්චාත් සමයක වෙසෙන හෝමර් කවියා විස්තර කරන්නේ මේ ආකාරයට.
හෝමර් ග්‍රීකයින් කළ මේ සංහාරය පිළිකුලෙන් යුතුව ප්‍රකාශ කරත් දී මට හිතුණේ මේ ලෝකයේ සෑම යුද්ධයකම අවසානය මෙය නොවේද කියලා. ලෝක යුද්ධයේ දීත්, කුරුස යුද්ධයේ දීත්, බ්‍රිතාන්‍යන් අධිරාජ්‍ය පැතිරවීමේ දීත්, සාර් රජ සමයේදීත්,ඇමරිකානු සිවිල් යුද්ධයේදීත්, ඉරාකය ආක්‍රමණයේදීත්, ඇෆ්ගනිස්ථානය ආක්‍රමණයේදීත්, නන්දිකඩාල් කලපුවේදීත් ඇතුලු සියළු යුද්ධයන්හි අවසානය මෙය නොවේද කියලා මම කල්පනා කළා. හෝමර් චරිත වලින් පණ පොවන සෑම හිංසනයක්ම, අතවරයක්ම සහ ඝාතනයක්ම යුද්ධයකට සම්බන්ධ වන සෑම පාර්ශවයක් විසින්ම සිදු කරනවා.මට හෝමර්ගෙන් සහ ඔහු නියෝජනය කරන ග්‍රීකයන්ගෙන් ලබා ගන්න තියන වැදගත්ම ආදර්ශය වෙන්නෙ අප යුද්ධයේදී අයත් වන්නේ කුමන පාර්ශවයට වුවද, යුද්ධයේ දී සිදුවන කිසිවක් අප සාධාරණීකරණය නොකළ යුතු බවයි. ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයෙක් වන්නට පුළුවන්. නමුත් හෝමර් වැනි සාධාරණ ලියන්නෙකු නම්, ඔහු යුද්ධය පිළිබඳ සැබෑ තතු ලියනවා මිස ජයග්‍රාහකයා පිළිබඳ නොලියනු ඇත. උදම් අනනවා වෙනුවට විවේචනයක් කරනු ඇත. නන්දිකඩාල් වලට හෝමර්ලා අවශ්‍ය ය. ඇමරිකාවට හෝමර්ලා අවශ්‍ය ය. මානව සංහතියේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් ලෝකයටම තව බොහෝ හෝමර් ලා අවශ්‍ය ය.











