Saturday, May 23, 2020

තරු පහේ වීදි කෑම



පූර්ව-කොරෝනා යුගය විය. ඒ, කඩෙන් කෑම සහ රස්තියාදු ගැසීම ඇති පදම් කළ හැකි වූ කාලයයි. පශ්චාත්-කොරෝනා සමයට හසුව ඔටලොං බස්සෙකු සේ බලාගත්තු අතේ බලාගෙන සිටින අතරේ මීට මාස කිහිපයකට පළමුව ගත් ඡායාරූප කිහිපයක් මතක මස්තකයට නැඟුණෙන් හෝබෝ ටික්කා ඒ ගැන පැරණි රසාංගයක් ලිවීමට තීරණය කළේය.

හෝබෝ ටික්කාගේ "දං පඳුරට ආ රැහැයියා" කෙටිකතා පොත මුද්‍රණය වීම සහ ඊට ප්‍රශස්තම කෙටි කතා සංග්‍රහයට හිමි සම සම්මානය  ලැබීමෙන් පසු එය සමරන්නට යමක් කළ යුතු යැයි මාගේ සුපුරුහු රස්තියාදු මිතුරු පදනම යෝජනා කළ අතර ඒ සඳහා සරිලන ස්ථානයක් සිතීමට හෝබෝ ටික්කා තම හීන ඔලොගුව අවුස්සා බලන්නට තීරණය කර තිබිණි.

අපූරුය! හරියටම මගේ තාලේ සැමරුමකට සුදුසු යෝජනාවක් ඔලොගු මල්ලේ අඩියේ සිට අත් ඔසවාගෙන උඩ පනිමින් කෑ ගසමින් සිටියේය. ඒ අනුව යමින් අපි කවුරුත් මාගේ සතුට සැමරීම සඳහා පිටකොටුවේ අලුත් කඩේ වීදියේ රාත්‍රියට විවෘත වන කුඩා කඩ පෙළෙහි "ස්ට්‍රී ෆූඩ්" සොයා යන්නට තීරණය විය. සුපිරි උසාවිය පසු කර ඒ ආසන්නයේ වූ විශාල ගසට ද අත වනාගෙන අපි පිවිසුණේ මිරානියා ස්ට්‍රීට් වෙතය. එකිනෙකා බදාගෙන ඉන්නා ලෙස ගාල් කර ඇති බයිසිකල් සහ වාහන අස්සේ අපේ වාහනය නතර කරගැනීම ලේසිපහසු කාරණයක් වූයේ නැත. මොකෙක් හෝ විත් සයිඩ් කන්ණාඩි ටික ගලවා ගෙන යාමේ තත්වය වලකා ගනිමින් ආරක්ෂිත තැනක් සොයාගැනීමට විනාඩි විස්සක පමණ සටනක් දිය යුතුය. ලෙහෙසිම සැලසුම වන්නේ, එක්කෝ අඳුනන එකෙකු ඒ හරියේ සිටිය යුතුය, නැතිනම් රෝද තුනේ රථාචාරියකු සමඟ මේ ගමන ආ යුතුය. පාකින් ගැටළුව පිළිවෙලක් කරගෙන මිරානියා වීදියෙන් අපි පිවිසෙන්නේ අබ්දුල් හමීඩ් වීදියටයි.

දැන් කල්පනා කර බලන කල ඒ සියලු වීදි එකම සුරපුරයකි. කාලයත්, දුකත්, දුහුවිලිත්, වේදනාවත් හා පොරබදා කැටයම් වූ තියුණු හකුපාඩා සහිත මිනිසුන් දිගු අත් කරත්ත තල්ලු කරමින් කුඩා වීදි ඔස්සේ වේගයෙන් එහාමෙහා යති. තැනින් තැන ලැග සිටින කාකයන් , ගිජුලිහිණියන් ද පිම්බුණු පසුම්බි මානාගෙන භාවනා කරති. සිංහල වූ ද දෙමළ වූ ද කචපච අස්සේ පල්ලියේ ශබ්ද විකාශන යන්ත්‍ර දිව්‍ය ලෝකයට යන පාර කියමින් බෙරිහන් දෙයි. කුඩා වීදිය ඔස්සේ හමා යන කොළඹ-සුළඟ දෙපස වූ දුම් දමමින් ඉදෙන දැවැන්ත තාච්චි වලින් පැන නඟින අනේක වූ කෑම වර්ග වල සුවඳ ඔසවා ගෙන යයි. ඒ පිරුණු, පොහොසත් සුවඳ අප කාගේත් කාස්පුටු අස්සෙන් රිංගා කුසගින්නට කිති කවයි.

විවිධ වූ රසවත් ආහාර පිරි අබ්දුල් හමීඩ් මාවත මට සිහි කළේ හැන්සල් සහ ග්‍රෙතල් කතාවේ පැණිකැවිලි ගෙදරය. හැන්සල් සහ ග්‍රෙතල් වගේ බඩගිනිකාරයින් වුණු අපිත් මුලින්ම වාඩි වූයේ සැන්විච් කඩයක් ඉදිරිපිටය. කුඩා ප්ලාස්ටික් මේස සහ පුටු වල අප වැනි බඩගිනිකාරයින් හරි හරියට සැන්විච් පෙති ගිල දමමින් සිටියහ. අප ද කෙසේ හෝ හිස්වුණු මේසයක් අල්ලාගැනීමට යුහුසුහුළු වූයේ සැන්විච් පෙති සෑදෙන වේගය දෙස බලාගෙනමය.

නමුත් එතන හිටගෙන හෝ සිට සැන්විච් පෙති කිහිපයක් ගිල දැමීම ඒ හැටි කාරිය ද නොවන්නේය. කොළඹ කිසිදා එතරම් සුවඳට දැනී නැත. තහඩුවක් මත එලා තිබූ පාන් පෙති විස්සක් තිහක් ලාවට මෙන් රෝස් වෙයි. පාන් සුවඳ මත බැදෙන මස් සහ බිත්තර වල වල සුවඳ ගැටෙයි. රත් වෙන තහඩුව පසෙක වූ සැන්විච් කෝකියාගේ වේගවත් අතින් ජෝන් රැම්බෝගේ තියුණු පිහියේ වේගයෙන් ගෝවා කොළ සහ ලා කොළ පැහැති සලාද කොළ කැපෙයි. සෝස් බෝතලය සහ මයොනීස් බෝතලය පාන් පෙති මත රතු තක්කාලි සෝස් සහ සුදු පැහැ උකු ඉරි අඳී. ඉන්පසුව සැන්විච් හැදෙන්නේ මෙගාපොලිස් තට්ටු නිවාස සංකීර්ණ මෙනි.

*මේ සියලු ඡාරූප වල අයිතිය රුක්ෂාන් රණවීර මලයා සතුය. හෝබෝ ටික්කා මෙන් කම්මැලි සහ පෙරේත නොවී උනන්දුවෙන් පින්තූරු ටික ගත්තාට රුක්ෂාන් මලයාට අප කාගේත් ස්තූතිය හිමි විය යුතුය.  






සැන්විච් පෙති උණුවට ද කර කරව ද හැපෙයි. ඕනෑ තරම් කෑමට ද සිතෙයි. පාර පිරෙන්නට තිබූ බර්ගර් ද, සබ්මැරීන් ද, බාබකිව් ද අනේක වූ තවත් කෑම ද සිහි කරගනිමින් අපි බඩෙන් කාලක් පමණ සැන්විච් පෙති ගිල දමා යලිත් පාරට බැස්සෙමු. ඇස් වහගෙන වුවද කෑමට ඉව අල්ලමින් කඩ සොයාගත හැකි වූ පාරේ පොලිස් නිලධාරීන් ද නැතුවාම නොවේ. පුළුටු කරගත් මුහුණෙන් යුතු කාකි කළිසම් නපුරු වෙස් වළාගෙන විත් පාරේම වාගේ අටවා ඇති බාබකිව් තට්ටුව අසලට වී බාබකිව් හදන කොල්ලාට දොස් තියයි. "කොහෙද ඕයි තමුසෙ මේක අටෝගෙන ඉන්නෙ, තමුසෙ ඉන්නෙ පාරෙනෙ. බලනව මේකෙ දුම, මේ පාරටමයි කෙලින්ම යන්නෙ." බාබකිව් හදන කොල්ලා බෙල්ල හැකිතාක් ඇල කර පොලිස් නිළධාරියාගෙන් සමාව භජනය බලාපොරොත්තුවෙන් සිටී. බබකිව් කරන දිගු, උල් යකඩ කූරු ගිනියම්වී රතු-කහ-තැඹිලි පැහැ ගෙන ඇත. ඒවා ගිනි අඟුරු වලින් නැඟෙන ගින්දර වලින් මිරිකී දැවෙමින් තිබේ. විශාල මස් කැබලි එල්ලාගෙන ගින්න මත සැතපී සිටී. බබකිව් දාන කොලුවා යකඩ කූරු එහාටත් මෙහාටත් පෙරළයි. තඩි පින්සලකින් සෝස් වර්ග මස් කැබලි මත තවරයි. ඔහු කෑම-පින්තාරු කරන තෙක් අපි පාරටම වගේ තිබූ මේසය වටේ වූ කුඩා බංකු වල වාඩි වුණෙමු. එහා පැත්තේ මේසයේ පාසල් නිල ඇඳුම් හැඳගත් කොලුවන් කාණ්ඩයක් විශාල රිදී ප්ලේට් එකක් වටේට වාඩි වී රසවත් කොත්තුවක් ගිල දමති. ඔවුන් සිය ක්‍රිකට් භාණ්ඩ අසුරා ඇති මලු දෙපා මත තබාගෙන වගේ වගක්වත් නැතිව නිදහසේ කති. මේස සහ කුඩා කෑම කඩය අතර වූ ඉඩෙහි ගැබින් බර පූසියෙකි.





 
*All images copyrights @Rukshan Ranaweera 

අප ඇනවුම් කළ බාබකිව් මේසය මතට වඩම්මන්නේ ද විශාල රිදී තැටි දෙකකය. රතුවට පිළිස්සී තිබූ කුකුළු මසේ තනි රැකීමට යහමින් ලූණු ද පිපිඤ්ඤා ද මිරිස් ද දැමූ අපූරු සලාදයක් ද නාන් රොටී ද මස් හොදි ද ලැබෙයි. අමු එලවළු සලාද කෑමට රුසියෙකු වන හෝබෝ ටික්කා සලාද තසිම අත්අඩංගුවට ගන්නට වැඩි වේලාවක් යන්නේ නැත. යෝගට් හෝ මුදවපු කිරි, යාන්තම් ගම්මිරිස් සහ යහමින් දෙහි දමා තිබූ අපූරු සලාදය උණු උණු බාබකිව් කුකුළු මස් සමඟ එකම රස පාරාදීසයකි. බාබකිව් දුම ද, ගිනි රතු පැහැ යකඩ ද පාරේ කෑකෝස්සන් ගැසීම ද රවා බලන පොලීසිය ද සියල්ල ගත් කළ එය දඩබ්බර රස්තියාදු කෑම වේලකි. එය පංකාදු පහය. අත සෝදාගැනීමට කුඩා කරාමයක් ද අත් පිස ගැනීමට කොටුවට කපා ඇති පත්තර කොළ ද ඇත. එය මිටි බංකු සහිත තරු පහේ කෑමකි. 

ඊළඟට ඇත්තේ හෝබෝ ටික්කාගේ කෑම ප්‍රයාණයේ වැදගත්ම අදියරයි. ඒ බිරියානිය. ගෙදර කෙතරම් බිරියානි හැදුව ද, කඩෙන් කෙතරම් බිරියානි කෑව ද මේ බිරියානි ඇත්තටම බිරියානිය. විශ්ව විද්‍යාලයේ යන කාලයේ බම්බලපිටියේ කෑම කඩ පෙළෙන් වරෙක කෑ බිරියානිය ද රසම් ද වටලප්පන් ද රස කෑම ලැයිස්තුවේ ඉහළින්ම මතකයේ රැඳී තිබිණි. ඊට තරග කළ හැකි බිරියානියක් සොයා අපි පාරට බැස්සෙමු. ඔත්තු කිහිපයක් ලැබී තිබුණෙන් අපි කෙලින්ම කෑම පාරේ කප් ගසා හුන් බිරියානි කඩේකට ඇදුනේ, හෝබෝ ටික්කාට දැනුණේ වසර ගණනාවක් තිස්සේ එල් දොරාදෝව සොයා ගිය සැරිසරන්නෙකුට අවසානයේ ඒ රනින් දිලෙන ස්වර්ණ භූමියේ දිස්ණය දකින විට දැනෙන සතුටට දෙවැනි නොවූ ප්‍රහර්ෂයකි. බිරියානි දමා තිබූ විශාල බඳුන් දෙස බලමින් කෙළ ගිලිනවා හැරෙන්නට කුමන බිරියානි වර්ගය තෝරා ගත යුතු දැයි හෝබෝ ටිකාට වගක් තිබ්බේද නැත. හැකි නම් ඔක්කොම කනවා විනා, එකක් හෝ හැර දා පැමිණීමට හෝබෝ ටික්කාට හිත දුන්නේම නැත.

 *All images copyrights @Rukshan Ranaweera 

අන්දරේගේ කිරි වලට බඩේ ඉඩ කතාවේ මෙන් සැන්විච් සහ බාබකිව් පිරී තිබුණු බඩට බිරියානි බැස්සේ හිරවී, තෙරපී, මිරිකී තිබූ කාමරයට රජතුමා වැඩියා ලෙසිණි. සැබවින්ම බිරියානි රජ කෑමකි. බිරියානි සුවඳ ඇදෙන්නේ නාසා පුටු වලින් ඉහලටය. එය හෙමින් හෙමින් මොළයේ දැවටෙයි. ඉන් මිදෙන්නට බිරියානි කෑ යුතුමය. කෑවාට පසුව ද බිරියානි කෑමට ඇති ආසාව එසේමය. අපේ මේසයට දිලිසෙමින් ආවේ දං බිරියානිය (Dum Biriyani). උදේට හඬලා කෑමොර දී මළම වදයක් වෙන නිසා හෝබෝ ටික්කා කන්නේ කුකුළු මස් පමණි. ඒ නිසා මගේ ළඟට වැඩියේ දිලිසෙන කුකුළු මස් දං බිරියානියකි. සැෆ්‍රෝන් කහ පැහැති දං බිරියානිය රස ගුලාවකි. පුළුන් වැනි බාස්මතී හාලේ ඈතින් කුරුඳු, කරාබුනැටි, එන්සාල් සුවඳක් ද එයි. කුකුළු මසෙහි විවිධ වර්ගයේ කුළුබඩු සහ මසාලා රස වර්ග නිලා කූරක් පත්තු කරන්නාක් මෙන් දැනෙයි. කුකුළු මස මොළොක්ව ද රස පිරී ද අපූරුවට පදම්ව තිබිණි. ඊට අමතරව දෙහි රස ද මුදවපු කිරි රස ද එන්නේ බිරියානිය සමඟ තනියට එවන තසිම් වලිනි. බිරියානිය බතක් හෝ හුදෙක් කෑම වේලක් හෝ නොවන්නේය. බිරියානිය එහෙමපිටින්ම සංකල්පනාවකි, කලාවකි, සංසිද්ධියකි.

බිරියානි කෑමෙන් අනතුරුව වැඩිපුර ටිකක් පාරේ එහාමෙහා ඇවිද අමාරුවෙන් හෝ බඩ ටිකක් බස්සා ගැනීමට කවුරුත් ප්‍රයත්නයක් දැරුවේ ස්ට්‍රීට් ෆූඩ් බකට් ලිස්ට් එකේ යටත් පිරිසෙන් තව එකක් හෝ සම්පූර්ණ කරගැනීමට මාන බලමිනි. ටික වේලාවක් මැජික් ලිප් වලින් ඉදෙන කෑම සුවඳ අස්සේ රස්තියාදු ගැසූ අපි අන්තිම ප්‍රයාණය ලෙස කුඩා පැණිකැවිලි කඩයකට රිංගා ගතිමු. එහි ගුලාබ් ජමුන්, වෛවර්ණ බූන්දි සහ නොයෙක් වර්ගයේ පැණි කැවිලි තිබුණ ද තවදුරටත් අන්දරේගේ කිරි වලට බඩේ ඉඩ තියරිය ආදේශ කිරීමට කාටවත් පුළුවන්කමක් තිබුණේ නැත. ඒ නිසා අපි කෑමෙන් බීමට මාරු වීමට තිරණය කළෙමු. ඒ අනුව අපි එවර රස බැලුවේ කුරුඳු සහ එන්සාල් සුවඳැති කිරි කෝපිය. එය රස බැලිය යුතුම උණු උණු කිරි කෝපි වඩියකි.


ගොම්මන දුරස් වී රෑබෝ වී තිබිණි. අපි අලුත්කඩේ පාරට සමුදී එන විට බඩකට ද හිත ද සම්පූර්ණයෙන්ම පිරී ගොස් තිබිණි. යළි පැමිණ කා දැමිය යුතු බොහෝ රසවත් කෑම එහි විය. "අපි ආයෙ දවසක එමු..." එය කාගේත් සැලසුම විය. එදා ඒ සැලසුම ඉතා සරල එකක් වී නමුත් සැඳෑ ඇඳිරිය සමඟ වැටෙන ඇඳිරි නීතිය කරපින්නාගන අපේ හිත දැන් බොහෝ බරය. සියල්ල යථා තත්වයට පත් වේ යැයි අපි උදක්ම බලාපොරොත්තුවෙන් සිටිමු. නමුත් හැකි සෑම මොහොතකම නිදහසේ, සතුටින් ජීවත් විය යුතු බව කොරෝනා අපට යළි යළිත් සිහි කර දෙයි. අපට හෙට, හෝ අනිද්දා තබා අදවත් නැත. ඇත්තේ මේ මොහොත පමණි.
 

Monday, February 10, 2020

දං පඳුරට ආ රැහැයියා

                                                        Update එකක් පහළින් එල්ලා ඇත.

හොබෝටික්කා ගෙදර ඈයින්ට එහෙම්පිටින්ම හෙන ඩිසපොයින්ට්මන්ට් එකකි. අපේ වර්ගයේ හුඟක් එවුන් මෙන් හොබෝටික්කාට ද මුලින්ම යුධ වදින්නට වුයේ ගෙදර ඈයින් සමඟය. ඒවා සොඳුරු සහ අඳුරු සටන් ය. සමහර අවස්ථාවල ඒ සටන් වලින් දෙපාර්ශවයම දිනයි. නමුත් සමහර විටෙක දෙපාර්ශවයම පරාජය වෙයි. හොබෝටික්කාට කවදාවත් උපාධියක් ගන්නට, ලොකු රස්සාවල් කිරීමට හෝ සල්ලි හම්බ කරන්නට හෝ කාර් එකක් ගන්නට ගෙයක් හදන්නට පවුල් වෙන්නට වගේ සමාජ-අරමුණු සාක්ශාත් කරගැනීමේ අභිලාශ තිබුණේ නැත. ඒවා සමහරක් ඉබේම සිදු වී තිබුණත්, ඒවා නැතැයි කියා හොබෝවාට ගාණකුත් නැත. උදේ හවහා පන්සිල් නොගත්ත ද වැස්සකට හෝ පන්සලකට නොගිය ද හොබෝවා බොහෝ දේ අතහැර හිතේ නිස්කාංසුව සොයන එකෙකි.  හොබෝවා කළේ හැමදාමත් රස්තියාදු ගැසීමය. පත්තර රස්සාවක් හොයාගත්තේ ද රස්තියාදු ගැසීමටය. 

 "ඇයි ඔයාට සාමන්‍ය ළමයෙක් වගේ හිතලා ජීවත් වෙන්න බැරි?" හොබෝවාට මූණදෙන්න වෙන්නේ ඒ වගේ ප්‍රශ්න වලටය. ඒවාට උත්තර දීමට කොනක් හිතාගත නොහැකි නිසා බොහෝ වේලාවට හොබෝවා නිහඬව සිටින්නේය. මං හිතමතා මේ වගේ වුණා නෙමේ කියා කියන්නට සිතුණ ද ආයෙ පස්සේ ඔහේ නිකම් ඉන්නට හොබෝවා සිතයි. හොබෝවාව ඇහෙන්නේ දැනෙන්නේ සහ අවබෝධ කොට ගන්නේ එහෙමත් එකෙක් නිසා හොබෝවාව තේරුම් නොගන්නා සියලු දෙනාටම ඉතසිතින් සමාව දීමට හොබෝවා සූදානම්ය. හැමෝම රස්තියාදුවේ යන්නට අකමැතිය. සමහරුන්ට කම්මැලිය. සමහරු බයය. උන් හොබෝවාව තේරුම් නොගත්තාට උන්ගේ කෝණයන්, මානයන් සහ භීතිකාවන්, ආශාවන් පිළිබඳ යම් ඇතුලාන්තමය අවබෝධයක් ගන්නට හොබෝවාට හැකිය. ඒ හොබෝවා හැකිතාක් අනිත් උන්ගේ ජීවිත සඳහා තීරණ නිකුත් නොකරන බැවිණි. 

හොබෝවාට තිබුණු එකම අරමුණ ලිවීමය. ඒ අරමුනේ එක් ප්‍රයත්නයක් සාර්ථකව ඇත. ඒ නිසා මේ ගුරු දා (13) මහවැලිය අසබඩ හොබෝවගේ පළමු ස්වතන්ත්‍ර නිර්මානය එළිදැකීමට නියමිතය.එය කෙටි කතා එකතුවකි. නමින් "දං පඳුරට ආ රැහැයියා" ය. 2019 ගොඩගේ අත්පිටපත් තරගයේ අවසාන වටයට නිර්දේශිත් වූ මේ කෙටිකතා සංග්‍රහය පිළිබඳ මගේ බ්ලොග් ලියන, කියවන සනුහරයට දැන්වීමට සිතූවෙන් ලිවීමි. ජය!  



Event and Location - 2019 ගොඩගේ අත්පිටපත් තරගයෙන් ජයග්‍රහණය කළ කෘති දොරට වැඩුම සහ ජයග්‍රාහී ලේඛක ලේඛිකාවන්ට සම්මාන සහ ත්‍යාග ප්‍රදානෝත්සවය මහවැලි කේන්ද්‍රයේ දී සවස තුනට
  2020. 02. 13 

UPDATE: 

2019 ගොඩගේ අත්පිටපත් තරගයේ ප්‍රශස්තම කෙටිකතා සංග්‍රහයට හිමි සම සම්මානය "දං පඳුරට ආ රැහැයියා" කෘතියට හිමි විය. 

ඒ සමඟ සම සම්මාන දිනූ අනෙක් කෘතිය Sandini Prarthana Tennakoon ගේ "ගඩ්නේවාලා" කෘතියයි. සඳිනිට සුබ පැතුම්!

Tuesday, June 25, 2019

සෙල්ලං ලෙල්ලං

#කාලෙකට පස්සෙ 

වෙලාව පාන්දර හතරයි. අපි වගේ සිරිමත් මගෙ සකි පරපුරෙන් පැවත එන ළමයි ඒ තරම් පාන්දරින් නැගිටිනවද? නෑහ්. එහෙම නැගිටිනවා නම් ඒ නැගිටින්නෙ හන්දියට හරි කමක් නෑ ට්‍රිප් එකක් යනවනම් විතරමයි. ඔන්න ඉතින් සෙනසුරාදා පාන්දරම (ඔව් මිත්‍රවරුණි, සෙනසුරාද!) නැගිටගෙන නිදිමරගාතෙම ගිහින් වාහනේට නැගගත්තෙ අප්‍රතිහත ධෛර්යය කියන්නෙ මේකට වෙන්න ඇති කියලා හිතින් හිතාගෙන. පාන්දරම ඉදන් පාරට වෙලා ඉඳලා, වැස්සට ආයෙම ගෙදර දුවලා ටිකක් වෙලා නිදාගෙන ඉඳලා ආයෙම බැණ බැණ පාරට ආව චූං-මල්-ලී ස්කිනි ටී ශර්ට් එකකුත් ඇඳගෙන අතපය වන වන ඇවිත් වාහනේට නැගගත්තා. මේ හාදයාට තියෙන්නෙ චීන මූණක්. මූණක් විතරක් නෙමෙයි, මේ හාදයාගේ සර්වාංගෙම චීන. ඒ වුණාට ඌ තරම් සිංහල බෞද්ධයෙක් ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ. නියම ශ්‍රී ලාංකිකයෙක් කියන්නෙ මේ අපේ චූං-මල්-ලී වගේ හාදයින්ට තමයි. උදේම වැස්සට තෙමෙන්න වුණු හින්දා කුණු කුණු ගාලා බැන බැන මේ හාදයා වාහනේට නැගගෙන දැන් යනවා. දැන් අපි කොහේද මේ යන්නෙ? තාම කවුරුත් දන්නෙ නෑ නේද? ඒ වුණාට ඔහේ අපිත් එක්ක වාහනේට නැගලා!

අපි මේ පාන්දරම යන්නෙ මීගමුවට. මීගමුවෙ මාලු මාකට් එකට. ඔව් මිත්‍රවරුණි කියන්න සංතෝසයි, අද හොබෝවාගේ කෙටි දුර විනෝද චාරිකාව යෙදී තිබෙන්නේ මීගමුව මාළු මාකට් එකට. දැන් ඔන්න යමක්කමක් දන්න ඈයො කල්පනා කරනව ඇති, මේ වාරකන් කාලෙ අසවල් වෙඩිමකට මාකට් යනවද, මාළු හෙන ගණන් නොවැ කියලා. ඒක ඇත්ත. ඒත් අපි ඒ ගැන දැනගෙන හිටියද? නෑ, මිත්‍රවරුණි අපි ඒ වගක් දැනගෙන හිටියෙ නෑ. කවුරුහරි අපිව ඒ ගැන දැනුවත් කළාද? ඔව්, අපිව ඒ ගැන දැනුවත් කළේ විදුලියා. විදුලියා අපට කලින් දවසෙ රෑ වෙලා කතා කරලා මෙන්න මෙහෙම කිව්වා. "මේ...අද හුළං එහෙම වැඩීලු..." එහෙම කිව්වට අපි විදුලිය කියන දේවල් ගණන් ගන්නවද සහෝදරවරුනි? නෑ, අපි විදුලියා කියන ඒවා ගණන් ගන්නෙ නෑ. මොකද විදුලියට ලෝකෙ පේන්නෙ අපට වඩා ටිකක් පහළින්. 


කොහොමින් හරි දැන් අපි මීගමුවට කිට්ටු කළා. එළිය වැටීගෙන එනකොට මීගමුව පාලම උඩින් යද්දි නිස්සද්දව ගාල් වෙලා හිටපු නිල් පාට සුදු පාට ටෝලර් බෝට්ටු ටික දැක්කම හොබෝවට මතක් වුණේ අව්වට වැස්සට පිච්චිලා හේදිලා ගිය මායාකාර සර්කස් එකක්. සුදු පාට රෙජිෆෝම් බෝල මහගොඩක් ඒ හැම ට්‍රෝලර් බෝට්ටුවකම තියෙනවා. එතකොට මේවා සෙල්ලම් බඩු කියලමයි හිතෙන්නෙ. ඇත්ත ඒවා කියලා හිතෙන්නෙම නෑ. පෙළට පෙළට එක ගොඩේ නවත්තලා තියෙනකොට මට තව කතන්දරයක් මතක් වුණා. හත් පෙති මල කියවලා තියෙන අයට නම් මතක් වෙයි. අර රෝස පාට ගවුම ඇඳපු ගෑණු ළමයා, වාන්යා වගේ මතක නම නම්,හත්පෙති මලේ පෙත්තක් කඩලා සෙල්ලම් බඩු ඉල්ලලා ප්‍රාර්ථනාවක් කළේ...ආං ඒ වගේ. සෙල්ලම් බඩු පිරිලා ඉතිරිලා පාරවල්, ගෙවල් යට කරගෙන ගිහින් වගේ හැඟීමක් තමයි මට දැනුණෙ. 

යාන්තම් ඉතිරි වෙලා තිබුණු ඉඩක වාහනේ නතර කරගත්තු අපි විසාල කොල පාට බාල්දියකුත් අරගෙන හෙමීට මාකට් එක පැත්තට කිට්ටු කළා. වාරකන් කිව්වට මිනිස්සුන්ගෙ අඩුවක් නම් තිබ්බෙ නෑ. හැබැයි මාළු වල නම් පොඩි අඩුවක් තිබ්බා. හුඟක් කූඩ අඩු ලාබෙට විකුණපු කාබන් නිල් පාට සහ රිදී පාටට දිලිසුණු පියාමැස්සන්ගේ පිරිලා තිබ්බා. මේ පියාමැස්සන්ට පණ ආවොත් උන් ඒ කූඩ වලින් පිම්මක් එළියට පැනලා වැටි වැටී පියාඹගෙන ආපිට මූදට යයි කියලා හිතුණා. එහෙම හිතාගෙන හිතාගෙන ගියොත් මාළු කන අදහස අතහැර දාන්න වෙන හින්දා හොබෝවාගේ හිතන-පීප්පයට පොරොප්පයක් ගහගෙන හෙමීට වටපිට බල බල ඇවිදින්න පටන් ගත්තා. හොබෝවා ගන්න තරම් මාළුවෙක් අඳුරන්නෙ නැති හින්දා, දන්න අයට මාළු අරගන්න ඇරලා හොබෝවා කළේ පිලී ගඳ ගහන මාළු මාකට් එකේ සිරි නරඹන එක. 

බලන බලන අත එක එක හැඩේට, එක එක පාටට මාළු, එක එක ගාණට මාළු. ඉස්සො ගොඩවල්. කකුළුවො ගොඩවල්. මහ අමුතු පෙනුමක් තිබිණු මාළුවෙක් හිටියා, පස්සෙ දැන ගත්තා ඒ ලූලා කියලා. ඒ ලූල්ලු දැක්කම මට මතක් වුණේම අර චීන චිත්‍ර වල ඉන්න දිග රැවුල් ගස් වගේ අඬු එක්ක ඇඳපු  මාළු. "ආහ්! එන්ඩ මහත්තයා, එන්ඩ නෝනාහ්, බලයා බලයා මේ ගාණට දෙන්නෙ නෑ වෙන තැන් වල" කියලා තඩි කළු යෝදයෙක් මහ හයියෙන් බිරුසන් දුන්නා. වැටකොළු මටළු වගේ හදාපු මහ විසාල බොබ්-මාලෙ කොණ්ඩයක් උඩට කරලා බැඳගෙන හිටපු ඒ යෝදයා දිලිසෙන මාළු ගොඩක් මැදට වෙලා හිටගෙන එහාටත් මෙහාටත් එයාගෙ තඩි බඩ හරවමින් මාළු වික්කා. ලඟ හිටපු තව හාදයෙක් යෝදයාට අන්තේවාසික වැඩේ කළා. එයාගෙ බෙල්ල වටේ තිබ්බ ඇටකටු මාල ටිකයි,කනේ තිබුණු ලොකු රිදී කරාබුවයි, මූණ පුරා වැවුණු පොල් කොහු රැවුලයි, අතෙන් පටන් අරන් බෙල්ලෙන් එළියට පැනලා තිබ්බ පච්ච ටිකයි දැක්කම මට දැනුණේ මං අර මූදු මංකොල්ලකාරයො ගොඩ බහින වරායකට ඇවිත් වගේ. එක එක උස් ප්‍රමාණ වල ප්ලස්ටික් බැරල් උඩ ඉඳගෙන මේ මුහුදු මංකොල්ලකාර පෙනුම තිබ්බ තරුණ වෙළෙන්දන් හරි හරියට මාළු වෙළඳම් කළා. ලාවට කහපාට ඉරක් ඇදෙන, රිදී පාට ලොකු කාරල්ලො වගේ මාළු ගොඩවල් බිමින් වැඩි උස් නැති ලී තට්ටු වල ගොඩවල් ගහලා තිබ්බා. ලස්සනට හැඩේට අතුරලා තිබ්බ මාළු ගොඩවල් හුගක් බලයො පැටව් කියලා තමයි කිව්වෙ. විශාල මඩු මාලු වෙනම තට්ටු වල දාලා විකුණනවා. බඩ සුදු දැල්ලො වෙනම. පීරපු කොණ්ඩයක් වගේ ලස්සනට අතුරලා තිබ්බ දැල්ලො දැක්කම මට මතක් වුණේ Pirates of the Caribbean චිත්‍රපටියේ ඩේවි ජෝන්ස්ගේ මූණ. 



"බලයා ගණන් වෙනදට වඩා...මේ දවස් වල මාළු අඩුයි." කවුදෝ කිව්වා. බාල්දි, පෝර බෑග් උස්සගෙන හෙට්ටු කරමින් එහෙමෙහෙ ගිය මිනිස්සු අස්සෙ හොබෝවත් වටපිටාවෙ මාළු ගොඩවල් විපරම් කළා. පාන්දර වැස්සටත් එක්ක ගොහොරුවක් වෙලා තිබුණු මාකට් එකේ කළු පාට මඩ වතුර පාගමින් මිනිස්සු එහේ මෙහේ ගියා. නිල් පාට, කලු පාට, කහ පාට උස බූට් සපත්තු පැලඳෙගෙන හිටපු මාළු විකුනන තරුණයින් ඒ මඩ තලමින් සරොස් බරොස් කියා හඬ නඟමින් වේගයෙන් එහෙමෙහේ ඇවිද්දා. 

පොඩි මාළු විකුණන අහින් හෙමීට අපි ලොකු මාළු විකුණන පැත්තට ඇවිදගෙන ගියා. මූද වගේ දැවැන්ත අඩෙවියක ඉන්න පුළුවන් තරම් මහ විසාල මාළු ලේ වල ලෙස්සිලා වැටිලා හිටියා. දිගු, වක ගැහුණු, මුවාත් මාළු පිහි වලින් දෙකට තුනට කැපුණු ඒ දැවැන්ත මාළු ගෙන දුන්නේ හරිම විස්මකුරු ස්වරූපයක්. අර මැජික් සංදර්ශන වල බෙල්ල අතපය වෙන වෙනම කපලා තියෙන ගෑණු ශරීර වගේ. "එන්ඩ, මහත්තයා, එන්ඩ නෝනාහ්, දෙන්නම් අපි හොඳ මාළු කෑල්ලක්." උද්‍යෝගයෙන් එහාට ගිය පොඩි බලහත්කාරකමකින් වගේ මාළු වෙළෙන්දන් පාරිභෝගිකයින්ව තමන්ට අද්ද ගන්න වලි කෑවා. වක් පිහිය රතු මාළු කුට්ටි මැද්දෙන් ඇදුණේ දොදොල් කපනව වගේ. මාළු කිලෝ ගණනට ගත්තේ නැත්නම් එයාලා මේ විසාල මාළු කපන්න මැලි වෙනවා. "එහෙම කැපුවම අපට පාඩුයිනෙ මහත්තයො." එයාලා කිව්වෙ එහෙම. ලොකු මාලු කුට්ටියක් අරගෙන ටිකක් කංකෙඳිරි ගෑවම, නපුරු මූණක් තියෙන මේ කෑගහන මිනිස්සු, බෑ නොකියා ඒ කුට්ටි පොඩි මාළු කෑලි වලට කපලා දුන්නා. මූදු හුළඟට දුක කාරම් බැඳිලා අව්වට පිච්චුණු ඒ රළු මූණු තරම් ඒ හිත් නපුරු නෑ නේද කියලා හොබෝවට හිතුණා. 

සාධාරණ කෙලවල්ලෙක් අරගෙන, ආපු කාටත් කුට්ටි කර ගනිද්දි චූං-මල්-ලී විදුලියාත් එක්ක වෙන කොහාටදෝ රිංගලා විසාල මල්ලකුත් උස්සගෙන අපි පැත්තට ආවා. "ඉස්සො! ඉස්සො!" චූං-මල්-ලී අපට කිව්වෙ බොහොම සංතෝසෙන්. "මේහ්! පණ තියන එවුණුත් ඉන්නව." 
කට්ටියම දැන් මාළු ගැනිල්ල පැත්තක තියල ඉස්සො ගොඩේ සිරි සිරි ගාලා දඟලන පණ ඇති ඉස්සො නරඹනවා. 
"මට ඕනෙ පණ තියෙන ඉස්සෙක්. ඇති කරන්න..." කාණ්ඩෙ එකෙක් උඩ පැනලා කියනවා. "මටත්! මටත්!" ජීවිතේට පණ පිටින් ඉස්සෙක් ඇති කරන්න හිතපු නැති හාදයො දැන් ඉස්සන්ට පොර කනවා. චූං-මල්-ලී බොහොම ආඩම්බරයෙන් ඉස්සො මල්ලත් උස්සගෙන වාහනේ දිහාවට ඇවිදගෙන යනවා. 
"යකෝ පණ තියන ඉස්සො අරගෙන කොහොමද දැන් උන්ව කෑමට ගන්නෙ." ඒ අස්සෙ ආගමට දහමට ලැදි එකෙක් ප්‍රශ්නයක් යොමු කරනවා. 
"මුන්ව මැරෙනවලු බාං ඉක්මනට..." චූං-මල්-ලී උත්තර දෙන්නෙ ඉස්සො ගැන එයා තරම් වෙන දන්න කෙනෙක් මූදුකරෙම නැති ගාණට. 

"අච්චර ඉස්සො ඉන්නවා, මේකා ගිහින් පණ තියන ඉස්සොම උස්සගෙන ආව හැටි." තව එකෙක් බැණ බැණ යනවා. 

කොහොමින් හරි මාළුයි, ඉස්සොයි පටව ගත්තු අපි, දැක්කම හීං දාඩිය දාන උස වාරකං මූදු රැළි දිහා බල බල  දණිහට විතර වෙනකම් මූදට බැහැලා, වැල්ලෙ බිම පෙරළිලා පීනනවා වගේ නෑවා. මහ විසාල රළ පතරට අපි එහාට මෙහාට විසි වෙද්දි, වෙරළ උඩහින් ගෙදරක ජීවත් වුනු උඩුරැවුලක් තිබ්බ හාදයෙක් ඒප්‍රන් එකක් වගේ කාවාඩමකුත් ඉන වටේ පටලගෙන මූදට බැස්සා. ඊට පස්සෙ අර මහ රළ ගෙඩි අස්සෙ එක කකුලකින් හිටගෙන බිමට නැමිලා ඒ කකුලට පාගගත්තු කකුළුවො අල්ලගෙන අර කාවාඩෙට දාගත්තා. ඒක නියම මූදු-සර්කස් එකක්. ඒ සර්කස් එකෙන් පස්සෙ හෙමීට ගොඩ ආපු අපි, පංකාදුවට පිහලා තිබ්බ කළු පහේ දාපු මස් කරියකුත්, ඇඹුලට ලුණුවට තිබ්බ සම්බෝලෙකුත් එක්ක හින්දපු පරිප්පුවක් එක්ක වෙරෙළටම වෙලා ඉඳන් බත් කෑවා. කෑම ඩිංගිත්තක් අරගෙන ගියේ නැත්නම් ඒක ට්‍රිප් එකක් වෙන්නෙ නෑනෙ. 

ඔය විදිහට මාළු මාකට් එකට යන ගමනත් විනෝද චාරිකාවක් කරගත්තු අපි ආපිට ගෙදර ආව කියමුකො. චූං-මල්-ලීගේ ඉස්සො ටිකට  තාම පණ තියෙනවා. ඕං ඉතින් පපු කැවුත්ත ගිනි ගත්තු චූං-මල්-ලී මූදු වතුර පුරෝලා තිබ්බ පොඩි බාල්දිය ඉස්සො ගොඩට හැලුවා. හළලා ඉස්සො ටික ගෙදර අරගෙන ගියා. මූදු වතුර ටික ඉවර වුණාට පස්සෙ කඩෙන් ලුණු පැකට් ගෙනල්ලා වතුරට දිය කරලා එයා මේ දවස් වල රුපියක් 2500ක ඉස්සො ගෙදර ඇති කරනවා. හිතේ අමාරුවට වගේ ටවුමෙ මාළු ලෑල්ලට ගිහින් මාළු ටිකක් ගෙදර අරගෙන ගිහින් අම්මට දුන්නා කියලා අපට පස්සෙ ආරංචි වුණා. 

 *ආයෙම ගියාම ෆොටෝ ගන්නම්. අමතක වුණා අරගන්න. ලෙන්ස වලින්ම ලෝකෙ බලන එක මහ කරුමයක් නිසා මේ වගේ තැන් වලට යද්දි ෆෝන් එක අරගෙන යන පුරුද්දක් නෑ හොබෝවට. 

Thursday, November 22, 2018

පුංචි දියකිඳුරිය සහ මහපොළොව දිග්විජය කිරීම



මහ පොළොවෙ පය ගහන්න ඕනෙ නම් හුස්ම ගන්නත් ඇවිදින්නත් අපට පුළුවන් වෙන්න ඕනෙ. ඒ දෙකම බැරිව හිටපු පුංචි දිය කිඳුරිය මුහුදු පතුලෙ ඉන්න නපුරු මුහුදු මන්තරකාරියකගෙන් ඉල්ලා ගත්තු මැජික් පානයකින් තමන්ගේ යටිකය වරල වෙනුවට කකුල් දෙකක් ලබාගෙන එයාගෙ ආලවන්ත කුමාරයාව හොයාගෙන ගිය කතාව බොහෝ දෙනෙක් අහලා ඇති.  



මේ කතාන්තරයේ අනුවාදයන් දෙකක් තිබෙනවා. ඉන් එකක තිබෙන්නෙ ඛේදාන්තයක්, අනෙක් අනුවාදයට නම් සතුටුදායක අවසානයක් තිබෙනවා. දිය කිඳුරිය ගොඩබිමට එද්දි එයාගෙ දෙපා වෙනුවට එයාගෙ මිහිරි කටහඬ කැප කරන්න වෙනවා. එයාගෙ ඒ නැති වෙන කටහඬ කතාවේ හැටියට ගොඩබිමේ වෙසෙන වෙනත් කුමාරිකාවකට ලැබෙනවා. කතාවේ මෙන්න මේ කොටස කියවද්දි මට කල්පනා වුණා, සමහර විට මේ කතාව හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් අතින් ලියැවෙද්දි, එයාට නොදැනීම එයා විශ්වාස කරන සමහර දේවල් මේ කතාවට එකතු වෙන්න ඇති කියලා. සාමාන්‍යෙන් විද්‍යාව විශ්වාස කරන ලෝකයේ තර්කයක් තියෙනවනෙ, මේ විශ්වයේ තිබෙන ධාතු/පදාර්ථ ප්‍රමාණය වෙනස් කරන්න බැහැ කියලා. ඒ කියන්නෙ සරලවම "මැවීම" කියන කාරනාව පසෙකට දාලා තිබෙනවා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නෙ ඔය ඉන්දියාවේ සෘෂිවරු එහෙම "මවනවා" කියලා කියන්නෙ යම් පදාර්ථ සමූහයක් එක් තැනක සිට තවත් තැනකට අදෘශ්‍යමානව පරිවහනය කිරීමේ හැකියාව කියලයි. ඒ විදියට බැලුවොත්, අර මූද යට ඉන්න මන්තරකාරිගේ මැජික් පානය නිසා නැති වෙන දිය කිඳුරියගෙ මිහිරි කටහඬ වචනාර්ථයෙන් ගත්තොත් නැත්තටම නැති වෙලා නැහැ, ඒක වෙන කෙනෙකුට ලැබිලා තිබෙනවා. මේක ටිකක් ඕනෙවට වඩා සහසම්බන්ධයක් දකින්න උත්සහ කිරීමක් වෙන්නත් ඇති. ඒත් ඉතින් හිත රස්තියාදු ගහන සමහර වෙලාවට මේ වගේ අභූත අදහස් ඔළුවට එනවා.


මේ අදහසත් එක්ක ඔය දිගටම හිතාගෙන හිතාගෙන යනකොට මට තවත් අදහසක් හිතට ආවා. ඒක ටිකක් සංකීර්ණ වුණාට හරිම විනෝදජනක අදහසක්. අපි හැමෝම කල්පනා කරනවනෙ මහ පොළොව මත ජීවය බිහි වුණේ කොහොමද කියලා. ඒක පැහැදිලි කරන විද්‍යාඥයෝ යෝජනා කරන්නේ මුහුදේ මුලින් ඇත් වූ ජීවය පසු කලෙක ගොඩබිමට අවතීර්ණ වුණා කියලයි. කොහේ හරි විද්‍යා පාඩමක... නැත්නම් ඉස්සර විදුසර පත්තරේ කියවනකොට මේ විස්තරේ මුලින්ම දැනගත්තු වෙලාවෙ මගෙ හිතේ ඇඳුණේ මාළුවෙක් වෙරළෙන් ගොඩට ඇවිත් කෙලින් හිටගෙන වරල් දෙකකින් ඇවිදගෙන යන රූපයක්!


ඒත් පස්සෙ කාලෙක පොතින්පතින් මේ ගැන වැඩි දුර විස්තර හොයාගෙන මේ උභතෝකෝටික ප්‍රශ්නයෙන් ටිකක් මිදෙන්න මට පුළුවන් වුණා. ඒත් තාමත් අර මාලුවා ඇවිදගෙන යන රූපෙ නම් එහෙමම හිතේ තියනවා!!! මම අහලා තියෙන විදිහට නම් මේ ගැන මුලින්ම කල්පිතයක් ගොඩ නැගෙන්නෙ ග්‍රීන්ලන්තයේ සිදුකරන ලද පර්යේෂණයකදී හම්බවුණු පොසිලයක් මගින්. ඩෙවෝනියානු යුගයට අයත් මේ පොසිලගත වෙලා හිටපු ජලයේ වෙසෙන සත්වයා වසර මිලියන 360 ක් පමණ පැරණි බව විද්‍යාඥයින් හඳුනා ගන්නවා. මේ සත්වයාට තිබෙන්නෙ මාලුවෙකුට එහා ගිය උරග පෙනුමක්. නමුත් මුහුණ මාළුවෙක් ආකාර ගන්නවා, ඒත් මාළුවෙකුගේ හිසට වඩා ශක්තිමත්. මෙම සත්වයා මීටර එකක්, එහෙම නැත්නම් අඩි තුනක් විතර දිගයි කියලා තමයි විශ්වාස කෙරෙන්නෙ.  මේ සත්වයාව සාමාන්‍යයෙන් හඳුන්වෙන්නෙ lobe-finned fish කියලා. වර්තමානයේ ජීවත් වෙන coelacanth  සහ lungfish කියන මාලු විශේශ මේ සත්වයාට නෑකම් කියනවා කියලත් විශ්වාසයක් තිබෙනවා.  මේ සත්වයාගෙ අපූර්වත්වය වුණේ, ඌට අත්,පා පිහිටා තිබීමත් ඇඟිලි පිහිටා තිබායි. ඒ විතරක් නෙවෙයි, මේ සත්වයාට ඇඟිලි අටක් පිහිටලා තිබිලා තියෙනවා. පෙඳපාසි,කොළ ගහන, ඔක්සිජන් අඩු නොගැඹුරු දියෙහි තමයි මේ සත්වයා ජීවත් වෙලා තියෙන්නෙ. මේ නොගැඹුරු දිය තුල/ගොහොරු බිම ඔස්සේ ඇවිද යන්න පහසු වෙන විදිහට තමයි මේ සත්වයාගෙ අත්,පා සහ ඇඟිලි පිහිටලා තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි, නොගැඹුරු දියෙහි අඩු ඔක්සිජන් ප්‍රමාණය ඇති නිසා ජලයෙන් මතු පිටට ඇවිත් හුස්ම ගැනීම සඳහා මේ සත්වයාට පෙනහළු නිර්මාණය වෙලත් තිබෙනවා කියා විශ්වාස කෙරෙනවා. ඒ වගේම මේ සත්වයන්ට පිහිටා තිබුණු අත්,පා,ඇඟිලි නිසා දියෙන් ගොඩට තමන්ව රැගෙන යන්න පුළුවන්කම තිබෙනවා. නිකම් මතක් කරගන්න පුංචි දියකිඳුරි මුහුදු රැලි අතරින් වෙරළ වෙනකම් තමන්ගෙ අත් දෙක පාවිච්චි කරලා යටිකය වරළ කොටස ඇදගෙන ගොඩබිමට සේන්දු වුණ හැටි......





ඉතින් පසු කලෙක සිව්පාවුන්, උරගයින්, උභයජීවීන්, ක්ශීරපායීන් සහ කුරුල්ලන් බවට පත්වුනේ මේ සත්වයින් කියලා තමයි විශ්වාස කරන්නෙ. අපේ පුංචි දියකිඳුරියට නම් සාගර පත්ලේ ඉඳන් තමන්ගේ රාජධානිය අතහැරලා ගොඩබිමට එන්න හිතුණේ ආදරය නිසානෙ. එතකොට ඇයි මේ නොගැඹුරු දියෙහි ජීවත් වුණු මේ උභයචාරී සත්වයින් ගොඩ බිමට සේන්දු වුනේ? ඇත්තටම හිතලා බැලුවොත් එයාලත් මේ ගොඩබිමට එන්නෙ එක්තරා විදිහක ආදරයක් හින්දා තමයි. හැබැයි ඒ කඩවසම් කුමාරයෙක් හින්දා නෙවෙයි, එයාලට එයාලගෙ ජීවිතේට තියන ආදරය නිසයි! මේ කාලේ සාගරයේ ජීවත් වුණාලු ඉතාම වේගවත් සහ භයානක මාළු විශේෂ. මේ මාළුන්ගේ වේගය වැඩිවෙන්න එක් හේතුවක් වෙලා තියෙන්නෙ උන් සතු අමතර වරල් සංඛ්යාවක්. ඉතින් මේ වේගවත් මාළුවගෙ දඩයමට, මේ නොගැඹුරු දිය පත්ල මත ඉතාම හෙමින් ඇවිදගෙන යන සත්වයින්ව පහසු දඩයමක් වුණාලු. තමන්ගෙ ජීවිතාශාව හින්දම පුළුවන් තරම් නොගැබුරු දියට සහ මඩ ගොහොරු වලට පලා ගිය මේ සත්වයින් අවසානයේදී ගොඩබිම දිග්විජය කළා කියලා තමයි විද්‍යාඥයින් විශ්වාස කරන්නෙ.


මීට වසර මිලියන තුන්සිය හැට හැත්තෑවකට කලින් මහපොළොවට සේන්දුවුණු ජීවීන් ගැන මේ සිද්ධාන්තය ඉදිරිපත් කරන්න මෑත කාලීන් විද්‍යාඥවරියක් තමයි එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජෙනිෆර් ක්ලැක්. නමුත් මේ පොසිල භාවිතයෙන් මිහිමත අතීත ජීවය සොයායාමේ ගවේෂණය සහ ඒ පිළිබඳ නූතන යුරෝපයේ අධ්‍යයනය පටන්ගන්නේ 14 වන ශතවර්ශය තුලදි. නමුත් ඊට බොහෝ කාලයකට, ඒ කියන්නෙ ක්‍රිස්තුපූර්ව 480 වගේ කාලයේ ග්‍රීක දාර්ශනිකයන් වන සිනෝෆිනීස්, හෙරඩෝටස් වගේ අය මුහුදු ජීවී පොසිල ගැන සඳහන් කරලා තිබෙනවා. 14 සිට 17 වන ශතවර්ශ කාලය තුල යුරෝපයේ ඇතිවන පුනරුද සමයේ අධ්‍යයනය ඇරඹෙන මේ මාතෘකාව, ඒ කාලයේ දී කතාබහට ලක් වීම පුදුමයක් නොවේ. මොකද යුරෝපයේ පුනරුදයේ මූලික පදනම වෙන්නෙ ග්‍රීක ශිෂ්ටාචාරය. ඒ නිසා මේවා අතර තියෙන සියුම් සහසම්බන්ධය ඔයාලට පේනවා ඇති.




මේ විදියට ඇරඹුනු පොසිල අධ්‍යනය එහෙමත් නැත්නම් පාෂාණීය ධාතු විද්‍යාවවඩාත් නිවැරදිව ඇරඹෙන්නේ සහ වඩා ජනප්‍රිය වෙන්නෙ 17 සහ 18 වන ශතවර්ශ වලදීයි.   මේ උඩින් දැක්වෙන සිතුවම ඇඳලා තියෙන්නෙ තියෙන්නෙ 1830දි Henry Thomas De la Beche කියන භූ විද්‍යාඥයා. මේ කාලයේදී මේ විෂය ඉතාම ජනප්‍රිය වෙලා තිබෙනවා. මෙන්න මේ කාලයේදි තමයි හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ජීවත් වෙලා තිබෙන්නෙත්. (1805-1875) සමහරවිටඑයාත් මේ විෂය ගැන උනන්දුවක් දක්වන්න ඇති. පුංචි දියකිඳුරිය කතාව ලියද්දි සමහර විට මේ අධ්‍යයනිත කරුනු ගැන රචකයෙක් විදිහටපොතපත ඇසුරු කරන්නෙක් විදිහට යම් දැනුමක් ඇන්ඩර්සන්ට තිබෙන්නත් ඇති. මීට තවත් ටිකක් පසුකාලීනව  සර් ආතර් කොනන් ඩොයිල් (1859-1930) Lost World කෘතිය (1912) කියන පොත ලියද්දීත් මේ පොසිල ආශ්‍රිත අධ්‍යයනය ජනප්‍රිය තලයක තිබුණා.

ඉතින් ආයෙමත් වතාවක් කාට හරි පුංචි දිය කිඳුරිය කියවන්න හිතුණොත්, මීට අවුරුදු මිලියන තුන්සිය ගාණකට කලින් මේ මහපොළොව දිග්විජය කළ අපේ අතීත මුතුන්මිත්තන් ගැනත් ටිකක් මතක් කරගමු!