මං වැඩියෙන්ම කැමති කට දැවිල්ලට ලුණු ඇඹුල් සහෝදරකමට ඉන්න රහ කොච්චි
සම්බෝලයක් එක්ක සුදු බත් කන්න. මොන පාන්දර ජාමෙක උනත් ඒ වගේ සම්බෝලයක් බතක්
අඹරනවාය කියන්නෙ ඉතින් අමාරු කාරියක් නෙමෙයි. යහමින් කොච්චි සම්බෝලෙ බතුත්
එක්ක අනාගෙන කනකොට තමයි ඔන්න දත් ටික මැද්දට හිරවෙලා දිවක් තියනවා කියලා
දැනෙන්නෙ.
හැබැයි ඉතින් මගේ කෑම ආසාව එතනින් නතර වුනානම් මොනා
කරන්න බැරිද කිව්වලු. කොහොමද හොඳ පොල් සම්බෝලයක් එක්ක යහපත් කරෝල කෑල්ලක්
තෙල් දාලා හරි නිකාම්ම තෙලේ දාලා බැදලා ගත්තනම් කාරිය? රතට රතේ පිම්බිලා
තියන නයි කොච්චියක් එහෙම නැත්නම් දම් පාට බෝල කොච්චියක් වගේ එහෙම කරෝල තෙල්
දැමිල්ලට එක්කහු කලාට මගේ නම් ඕං කිසීම තරහක් නෑ ඕං කිව්වා. හොඳට බත් ඇට
ටික වෙන්වෙන්ට මුතු ඇට වගේ පොඩි සම්බා හාලකුත් එක්ක තමයි මම නම් ඔහොම කරෝල
බැදුමකුයි සම්බෝලෙයි කන්න කැමතියි.
දැන් මෙහෙමෙයි, ගොඩක් අය කන්න කැමති
උණු උණුවට බත්. ඒත් වැඩේ කියන්නෙ මං එහෙම උණු බත් කන්න කැමතිම නෑ. එතකොට
මාළුපිනි වල රස මට දැනෙන්නෙ නෑ. වෙන එකම දේ, කට පුච්චා ගැනීම සහ කට දැවිල්ල
ඉස්මුරුත්තාවටම ඒමයි.
ඕන් කියනකොට මතක් වුණේ, හොඳ කිරට බීට් අලයක්
උයාලා බත් එක්ක කන්නත් මං හරි මනාපයි.ආයෙ වෙන මුකූත්ම ඕනෙ නෑ. ඒ වගේම තමයි
යහමින් අබ ටිකක් අඹරලා දාලා අම්ම උයන කැකිරි මාළුව. (දැන් ඉතින් අහන්න එපා
හොබෝ ටික්කො උඹ මොනා කන්නද අකමැති කියලා!)හොඳ සැපට හැදුණු පිටි වැඩියෙන්
තියන වට්ටක්ක කෑල්ලක්, ලාවට තිත්ත රහ එන්න කරවිල මාළුවක්, එතකොට තව රසට
ගුණට කන්න අඟුණ කොළ මැල්ලුමක්...
ඔන්න ඕව මතක් කරනකොට මට එක්තරා
නොස්ටැල්ජියාවක් හැදෙනවා. ඉස්සර ගෙදර ලඟ වෙලේ සරුසාරෙට හැදිලා තියෙන
ගිරා පලා කඩාගෙන ඇවිත් කිරි රහට රසට රසේ මැල්ලුමක් හදනවා මට අද වගේ මතකයි.
ඒත් අද එහෙම බෑ. වෙලවල් පුරාම එක එක වල් නාශක. කෘමි නාශක. නිදහසේ පලාකොළයක්
කඩාගෙන කන එකත් ලේසි වැඩක් නෙමෙයි අද කාලෙ.
හොඳ පැහුණු දෙල් ගෙඩියක්
උයනකොට වත්ත පහළ මැල්ල ගහෙන් මැල්ල කොල ටිකක් කඩාගෙන ඇවිත් බැදගෙන කනකොට මට
පොඩි කාලෙ දැනුනෙ මාත් මඩොල් දූවෙ උපාලියි ජින්නයි වගේ කියලා. වත්ත වටේට
ඇවිදලා මයියොක්ක දළු, ජපන් බටු කොළ, තෙබු කොළ කඩාගෙන ඇවිල්ල මැල්ලුමක්
හදනකොට ඒක හරි විසාල විනෝද සවාරියක් ගියා වගේ තමයි. කොරැල් දූපතේ අතරමන් වෙච්චි ළමයි ටික රහට රහේ කෑම හදාගන්න සීන් එක මතක් කරගෙන තමයි මම මැල්ලුමට කොළ හොයන්නෙ.
මස්මාංස ගැන නම් මට
එහෙමට කියලා ලොකූ පිරියක් නෑ. ඉඳලා හිටලා කුකුළු මස් ඉස්ටුවක්, කුකුළු මස්
හොද්දක් කෑවොත් මිසක ඔය කිරි අම්මලගෙ මස්, දන්නෝ දනිති මස් එහෙම මං කාලම
නෑ. හැබැයි ඉතින් මාළු කන්න නම් හරි කැමතියි.

මට මතකයි මං පොඩි කාලෙ
තාත්තා එක්ක මාළු ගන්න පාන්දර බස් එකේ මීගමු යනවා. අපි ප්ලාස්ටික්
බාල්දියක් එහෙම අරගෙන යන්නෙ. පාන්දරම ලෙල්ලමට ගියාම ඉතින් එක එක ජාතියෙ
මාළු. මට මතකයි, මහ විසාල පර්වතයක් වගේ කළු ගෑණු මනුස්පයෙක් දැල් වලින්
කොටු කරල පාර්සල් කරපු පණ ඇති කකුළුවෝ විකුණනවා. මං කට ඇරගෙන බලාගෙන හිටියා
මතකයි ඒ දිහා. ඉතින්, අලුත් මාළු අරගෙන අපි ගෙනාපු බාල්දියත් පුරෝගෙන
තාත්තයි මාය් ගොඩවෙනවා උදේ කෑම කන්න කඩේකට. අපි දෙන්නම ඉඳි ආප්ප කන්න හරි
රුසියො. ඉතින් අපි ඉඳි ආපයි කිරි මාළුයි තමයි කන්නෙ. ආයෙ ඉතින් රහ ගැන
කියන්න ඕනෙ නෑනෙ. අර සයිවර් කඩ වල තියෙන ටින් බාල්දි වලින් යාරෙට හොදි
වක්කරනවා මට තවම මතකයි. හොඳ හැටි බඩකට පුරෝගෙන මාළු බාල්දියත් අරගෙන අපි
දෙන්න එළිය වැටෙන්න පටන් ගන්නකොට ආපිට ගෙදරත් ඇවිල්ල අහවරයි. මට මතකයි
ඉස්සර අපෙ අම්මා අනුරාධපුරේ ගුරු පුහුණු ඉන්න කාලෙ මායි තාත්තයි කෝච්චියෙ
අම්මව බලන්න යනවා. තාත්ත මට මුද්දරස්පලං දාපු බනිස් ආගෙන දෙනවා යනගමන් කකා
යන්න කියලා. මාත් ඉතින් බෑ නොකියා කනවා. අපි එදා ඉඳන් ඔය කෑමට බීමට ඇඹරෙන
ජාතියක් එහෙම නෙමෙයි ඔන්න.
මං බත් කන ගමන් රතු ළුුණු, අමු තක්කාලි, අමු මාළු මිරිස් කන්න හරි ආසයි. මං
පොඩි කාලෙ මට තක්කාලි ඇලජික්. ගෑවුණත් පළු දාලා කසලා සෙම ඇවිස්සෙනවා. ඒ
කාලෙ තමයි මට තක්කාලි කන්න පෙරේතකමක් ආවෙ. පස්සෙ පස්සෙ තක්කලි ඇලජික් එක
නැතිව ගියා. ඒ නිසා ඉතින් දැන් නම් මොන තක්කාලියක්වත් මගේ ඇහෙන් බේරිලා
එළවළු බක්කියෙ හැංගිලා ඉන්නවා බොරු. වතාවක් මම ඔය රටපිට ගිය වෙලාවක
ගොවිපොළකට යන්න වාසනාව ලැබුණා. කෑමකට ඇරයුමකුත් ලැබිලඉ තිබුණේ. ගොවිපොළේ
අලුත් එළවළු පලතුරු සහ මල් වලින් පිරුණු පාට පාට ලෝකයක් මේසෙ උඩ තිබුණා
මතකයි. හප්පේ, "ගාඩන් සලාදෙ" තිබුණු ලා දළු සහ සුදු පාට, දම් පාට සළාද
කොළයි ඇබිත්තං බෝල තක්කාලි වලයි රහ!
කාලා ඌෂ්ණ බිබිලි දාලා කස කසා ඉන්න වුණත් කමක් නැත් දෙයක් තමයි අච්චාරු
කියන්නෙ. කොළපොතකින් කට වහපු මැටි මුට්ටියක විනාකිරි සහ අබ සුවඳ ගොජ ගොජ
ගාන සිංහල අච්චාරුවක රහ අපට කියල දෙන්න එපා මහත්තයෝ, කියලා තමයි කියන්න
වෙන්නෙ ඉතින්, හා නැද්ද? ඔය සිංහල අච්චාරුවට කැරට් දාන එක තරම් කේන්තියන
එකක මට තවත් නෑ. අමු පැපොලක රහ වගේද හා?
හැබැයි ඉතින් අම්මා සූප විස්කම්
දාලා හදන මැලේ අච්චාරුවෙ නම් කැරට් නැත්නම් මහ පාළුවක්. මිරිස් කුඩුයි
සීනීයි වතුරයි පදමට ලිපේ තියලා ඉදවනකොට එන්නෙ හරිම වෙරිකාර මත්වෙන සුවඳක්.
ඒකට බොම්බයි ළුුණු ලොකුවට කපලා, මාළු මිරිස් එක්ක චර බර ගාලා හපන්න කැරට්
කෑලි දාපුවම තමයි අපූරු අච්චාරුව! එපා එපා, ඔය අන්නාසි අරවා මෙව්වා ඔන්නම්
චට්නි හදාගෙන කන්න, මේ මැලේ අච්චාරුවට දාන්නෙ නැතිව.
ලුණුදෙහි ගැන අපි වෙන්මම දවසක කතා කරමු!
ඔය සේරමත් හරි කිරිහොද්දත් හරි. උළු හාල් ඇට නටන ලස්සන කහ පාටට ඉතිරෙන්න නොදී හැඳිගාලා පරිස්සම් කරගත්තු, රම්පෙ කරපිංචා වලින් සාර වෙච්චි කිරිහොද්දක් එක්ක මොනවද කන්න බැරි. සුද්දගෙ තිරුවානා ගල් හිටන් මේ කිරිහොද්දට දියවෙනවා නොවෙද හා? දන්න කියන ඉඳිආප්පයක් එක්ක මුහු වෙලා ඉන්නකොට බලන්ට එපායැ කිරිහොද්දෙ ආඩම්බර! එයිත් එක්ක යන්න හොඳ මාළු ඇඹුල් තියලක් එහෙමත් නැත්නම් හීනි කූනිස්සො එක්කසු කරපු තිබ්බොටු මැල්ලුමක්...රුහුණුකරේ කරක්ගහල එත්දි ගෙනාපු ජාඩි ටිකක් තිබේ නම් ඉතින්...මේවනෙ හීන කියන්නෙ බ්රෝ!
මේකයි, කෑම ගැන කියන්න ගියොත් බඩකිනි වෙනකම් මාගලක් දිගට කියන්න දේවල් තියෙනවා. ඒ නිසා මම මෙහෙම කියන්නම්කො. "මම නම් කන්න කැමති මේවා. එතකොට ඔයා?"