Thursday, June 16, 2016

අත්තම්මාගේ රස කතා - ඉඩම් ගැනිල්ල

එන පොසොන් පෝයට අත්තම්මාගේ වයස අනූවකි. ඈ උපන්නේ 1926 පොසොන් පෝය දවසක බව ඕ කියයි. ඒ නිසා ඈ උපන්දිනය සමරන්නේ සෑම වසරකම පොසොන් පොහොය දවසටය. පොසොන් පොහොය යෙදෙන්නේ කවදාටද එදාට ඇගේ උපන්දිනය සැමරීමට අපි කවුරුත් පාහේ පුරුදුව සිටිමු. ජර්මනියේ වෙසෙන මාමාට නම් මෙය උභතෝකෝටික ගැටළුවකි.අපේ කැලැන්ඩරයේ පොසොන් පෝය පෙන්වූවාට ජර්මනියේ එසේ නැත. ඒ නිසා පොසොන් මාසයේ මුල සිටම හෙතෙම අත්තම්මාගේ උපන්දිනය සොයයි. අපෙන් අසා පොහොය දිනය දැනගෙන සටහන් කර තබා ගනී.මාමා විවාහ වී සිටින්නේ ග්‍රීක ජාතික කාන්තාවක් සමගය. මාමා කියන දවසට ඈ ද අත්තම්මාට සුබ පතයි. ඇය දන්නා ඇති පොසොන් පෝයක් නැත.ඈ දන්නේ අත්තම්මාගේ උපන්දිනය සෑම වසරකම ජූනි මාසයේ කවදාට හෝ යෙදී තිබෙන බව පමණි. 
අත්තම්මා කතා කීමට රුසියෙකි. ඈ එකම කතාව වුවද දහ දොළොස් වතාවක් කියයි. ඉස්සර අපේ ගමේ හිටියා කර්තේලිස් කියලා අත්තෙක්, ඇය කියයි. එයා මහ කපටියා. සල්ලි බාගෙ තිබුණා යහමින්. ඉතින් මිනිහා ගම් ගානේ ඇවිදින ගමන් හොඳට ඉඩම් තියන මෝඩ ගොයියෙක්ව අල්ලගන්නව. හිතවත් වෙනවා. ගෙදෙට්ට එක්කරගෙන ඇවිත් කන්න දෙනවා. ඒ කාලෙ තිබුණෙ පනං, සිලිං එහෙම. අපේ අක්කගෙ කසාදෙටම වියදම් වුණේ ඒ කාලෙ හැටියට පනං දෙක හමාරයි. ඇය අතුරු කතාවක් කියයි. ඒ කාලෙ හාල් එහෙම හරි ගාණ අඩුයි. හොඳෝම හාලෙ නම 'මල්කෝරා'. සේරු දොළහක විසාල මිටියක් සත හයක් විතර මගෙ හිතේ.අපේ අක්කගෙ මගුලට ගෙනාවෙත් මල්කෝරා. 

ඉතින් දැන් කරතේලිස් අත්තා අර යාළු කරගන්න මෝඩ ගොයිය මෙහෙම කියනවා. ඔහොම හැමදාම මඩේ ලැගගෙන ගොයිතැන් කර කර ඉඳලා හරියනවද. උඹත් මොකක් හරි වියාපාරයක් කොරහන්. ඉතින් මේ කතාව අහගෙන ඉන්න අර ගමයාටත් ඕකට හිත වැටෙනවා නොවැ. මෙහෙම ටික කලක් ගියාම කර්තේලිස් අත්තම රුපියල් පන් හයදාහක් අර ගමයගෙ අතට දෙනවා. මොකක් හරි ව්‍යාපාරයක් කරන්න කියලා. ඉතින් අර ගමයත් රැවටිලා මේ සල්ලි අරගෙන තමං නොදන්න මොකක් හරි ව්යාපාරයක් පටන් ගන්නවා. ඔය අතරේ කර්තේලිස් අත්තා හෙමීට අර ගොයියට කියනවා, මේ උන්නැහෙ දැන් මයෙන් මෙයාකාර සල්ලියක් ගත්තා නොවැ. ඒ නිසා අපි ඒ ගැන කියලා පොඩි ලියවිල්ලකට අස්සන් කරමුය කියලා. අර ගමයා ඉතින් අකුරු දන්න එකක් කියලද. මූත් ගොනා සේ හාය කියනවා. ඉතින් කර්තේලිසා නොතාරිස් කෙනෙක්වත් ලං කොරගෙන අර ගොයියා ණයක් ගත්තාය කියලා අස්සන ගන්නවා විතරක් නෙමෙයි ඒ ණයට පොළියකුත් නියම කොරගන්නවා. 
ඔහොම හොරට හදාගන්න ලියවිල්ලත් තියාගෙන කර්තේලිස් අත්තා ටික දොහක් සද්ද නැතුව ඉන්නවා. එතකොට අර ගත්තු ණයට ලොකු ගාණක පොළියක් හැදිලා. ගොයියාගෙ ව්‍යාපාර කෙරිල්ලත් අහවර වෙලා. ඕන්න එතකොට කර්තේලිස් අත්තා යනවා යකා වැහිලා වගේ, ණය සල්ලියි පොළියයි ඉල්ලාගෙන. එතකොට තමයි ගමයට දෙයියො සිහිවෙන්නෙ. ඇයි නොතාරිස් ගාවත් ලියවිල්ලක් තියවලුනෙ. ඉතින් ඔහොම ටික කාලයක් කර්තේලිස් අත්තා ගමයගෙ ගේ ලඟ සල්ලි ඉල්ලා අඩව් අල්ලනවා. අන්තිමට ඉතින් ගමය තමන්ගෙ ඉඩකඩම් ටික සේරම කර්තේලිස් අත්තට ලියලා දෙනවා ණයයි පොළියයි අහවර කරන්න කියලා. ඕං ඔහොම කුණු කොල්ලෙට තමයි ඒ කාලෙ ගොයිරාළලාගෙන් මුදලාලිලා ඉඩං ගත්තෙ. 

Wednesday, June 15, 2016

සන් වූ කොන්ග් අපරදිගට ගිය ගමන (i කොටස)

මීට කලින් බ්ලොග් පෝස්ටුවක අපි සන් වූ කොන්ග් කියන්නෙ කවුද, එයා මොන වගේ කෙනෙක්ද කියලා කතා කලානේ. අද මම කියන්න හදන්නේ සන් වූ කොන්ග් කියන චරිතය වටා ගෙතුණු ඒ අපූරු කතාවයි. හැබැයි ඉතින් මේ පුත්තරයාගේ කතාව නම් ටිකක් දිගයි. මොකද මෙයාගෙ කැරැට්ටුව එයිතරම් හොඳ නෑ. මෙයා කලොත් මොකාක් හරි මගෝඩි වැඩක් තමයි කරන්නෙ.ඉතින් ඒ නිසා සන් වූ කොන්ග්ගේ කතාව කොටස් කිහිපයකින් තමයි බ්ලොග් අඩවියේ පළ කරන්න වෙන්නේ.  
කාලයේත් ලෝකයේත් ආරම්භයේ පටන්ම මල් සහ පළතුරු කඳු වැටියේ පිහිටා තිබුණු එක්තරා ගල් කුලක් ශක්තියෙන් පිරී ඉතිරී තිබුණා. දවසක් මේ ගල් කුල ශිලාමය බිත්තරයක් දැමුවා. මේ බිත්තරයෙන් ගල් වඳුරෙකු එළියට ආවා. ඌ ලොව සතර කොනටම වැඳ ආචාර කරලා පොඩි විනෝදයක් ලබා ගන්න මල් සහ පළතුරු කඳු වැටියෙන් පහළට පැන්නා. ආත්මාර්ථයෙනුත්, පුහු මානයෙනුත්, ප්‍රයෝග වලිනුත් අග තැන්පත් මේ ගල් වඳුරා, ඉතාමත් ඉක්මනින් වානරයින්ගේ රජු බවට පත්  වී වසර හාරසියයක්ම මේ වඳුරන්ව පාලනය කළා. නමුත් මේ මහා බලසම්පන්න රජ වානරයාට ලොකු ප්‍රශ්නයක්. කෙතරම් බලසම්පන්න කෙනෙක් වුනත්, එයා මරණයට පත් වෙනවනේ. ඉතින් අපේ රජ වානරත්, තමන්ගේ ආයුෂ ඉක්මනින් අහවර වෙන බව දැනගෙන, මරණයට මූණ දෙන්න වෙන එක ගැන බොහෙම බයෙන් කාලය ගත කළා. 
රජ වානරගේ භීතිකාව ගැන දැන ගත්තු එක් වානර උපදේශකයෙකු, රජ වානරට මෙහෙම යෝජනාවක් ගෙන ආවා. රජතුමනි, ඔබතුමාට මරණයෙන් ගැලවෙන්න නම් කරන්න තියෙන්නේ අමරණීය මහානුභාවසම්පන්න තාඕ සෘෂි සුබෝධි උත්තමයාණන් මුණගැසී අමරණීය බවෙහි රහස් උගෙනීම තමයි, වානර උපදේශකයා කිව්වා. මේ උපදේශය පිළිගත් රජ වානර සුබෝධි සෘෂිවරයා මුණගැහෙන්න පිටත් වුණා. ඒත් හිතූ තරම් ලේසියෙන් රජ වානරට සුබෝධි සෘෂිවරයා හමු වීමට බැරි වුණා. රජ වානරයා පුරා අවුරුදු දහයක් මහ මුහුදේ යාත්‍රා කරලා කරලා අවසානයේදී සෘෂිවරයාව සොයාගෙන ඔහුගේ ගෝලයෙකු බවට පත් වුණා.

රජ වානරයාගේ කට්ට වෙට්ට පිත්තල වැඩ ගැන මහා සෘෂි සුබෝධි උත්තමයාට නම් කිසිම පැහැදීමක් තිබුණේ නැහැ. ඒ නිසාමදෝ රජ වානරයාට ටිකක් විසුළු තේරුමකින් යුතු නමක් එතුමා වානරයාට ලබා දී තිබුණා. ඒ නම තමයි සන් වූ කොන්ග්. මේ නමේ තේරුම, 'හිස් බවට උපන් වානරයා' යන්නයි.ඉතින් කාලයාගේ ඇවෑමෙන් සුබෝධි සෘෂිවරයා සන් වූ කොන්ග්ට දිව්‍යමය වෙස්වලා ගැනීම් 72 ආකාරයත්, වළාකුළු මත නැගී ගමන් කිරීමටත්, සියලු දෙවිවරුන් සහ භූතාත්මයන් මට්ටු කල හැකි මන්තරත් කියා දුන්නා. සන් වූ කොන්ග්ට උගැන්වූ වලාකුළු පිනුම් ක්‍රමයෙන්, එක් පිනුමකදී මයිල 108,000ක දුරක් පැනීමට සන් වූ කොන්ග්ට පුළුවන්කම ලැබුණා. මීට අමතරව සෑම වර්ගයකම සටන් කලාවනුත් අමරණීය බව ලඟා කරගත හැකි අභ්‍යන්තර ශ්වසන ක්‍රමවේදයත් සුබෝධි සෘෂිවරයා සන් වූ කොන්ග්ට උගැන්වූවා. කොයි තරම් දේ ඉගෙන ගත්තත් සන් වූ කොන්ග්ගේ අර තිබුණු දඩබ්බරකමේ නම් අඩුවක් වුණේ නැහැ. මෙයා තමන්ට පහළ පන්ති වල හිටපු ගෝලයන්ට තමන්ගේ දස්කම් ගැන පම්පෝරි දොඩවලා ලොක්කෙක් වෙන්න ගිහින් අන්තිමේදී සුබෝධි සෘෂිවරයා අපේ සන් වූ කොන්ග් රජ වානරව තමන්ගේ ආශ්‍රමයෙන් පන්නා ගත්තාලු!

Sunday, June 12, 2016

මිත්‍යාවක් කියන්නෙ ඇත්තක්ද!


"මිත්‍යාවක් කියන්නෙ මොකද්ද?"
"බොරු කතාවක්නේ!"

අපිට දෙන්න පුළුවන් සරලම පිළිතුර තමයි ඒ. ඒත් ඔය කියන තරම් ඒ පිළිතුර සරලව දෙන්න පුළුවන්ද අපට.... මිත්‍යාව, එහෙමත් නැත්නම් myth කියන ඉංග්‍රීසි වචනයේ ඔරිජින් එක "Muthos" (මුතොස්) කියන ග්‍රීක වචනයයි. මේ වචනයට මුලින්ම ලොකු අර්ථයක් ගැබ් වෙලා තිබුණේ නැහැ. ඉන් සරලවම අදහස් කෙරුණේ Speech (කථනය) යන්න පමණයි. නමුත් කලකට පසු Muthos යන්නෙහි අරුත තරමක් පුළුල් වුණා. ඒ අනුව Muthos යන වචනයෙන් වෘතාන්තමය ආඛ්‍යානයක් (a narrative story) යන්න අරුත් ගැන්වුණා. මෙම වෘතාන්තයට ඇරඹුමක්, මැදක්, අවසානයක් තිබිය යුතු වුණා. එහි කතා වස්තුවක් සහ චරිත අඩංගු වුණා. නමුත් මෙම නිර්වචනයත්, සාමාන්‍ය කතාන්තරයක් යන්නෙහි නිර්වචනයත් එක හා සමානයි. යම් කාලයක් ගත වුණාට පස්සෙ muthos යන වචනයෙහි ලක්ෂණාර්ථ යළිත් වෙනස් වුණා. මේ අනුව muthos යනු යම් හෝ අර්ථයක් ගැබ් නොවූ අසත්‍ය කතාවක්. අද වුණත් මිත්‍යාවක් කියා හඳුන්වන ඕනෑම දෙයක් පිළිබඳ අපට ඇතිවන මුල්ම හැඟීම "මේක බොරුවක්නේ" කියන මේ අදහසයි. නමුත් කාලයත් සමග අපට තවත් නිර්වචනයක් ලැබෙනවා. මේ නිර්වචනයට අනුව මිත්‍යාවක් යනු හුදු අසත්‍ය කතාන්තරයක් නොවෙයි, විශ්වීය යථාර්තයක් ගැබ් කොට ගත්තක්. මේ නිර්වචනයත් සමග මිත්‍යාව යන්න මුසාවක්ද  කතාන්තරයක් ස්වරූපයෙන් ඇති විශ්වීය සත්‍යයක් ද යන ප්‍රශ්නය මත දෝලනය වෙමින් පවතින්නක් බවට පත්වෙනවා.

මිත්‍යාවක් කියන්නෙ විශ්වීය යථාර්තයක් ගැබ්කොට ගත් කතාන්තරයක් කියලා කියනකොට මේ විශ්වීය යථාර්තය කියන්නෙ ඇත්තටම මොකද්ද කියලා අපට ගැටළුවක් ඇතිවෙනවානෙ. මින් බොහෝ විට අදහස් වන්නේ යථා (මිනිස් හෝ මිනිස් නොවන) සොබාවය යන්නයි. ඒ කියන්නේ මේ හැම මිත්‍යාවකම තියෙන්නෙ අඩු හෝ වැඩි වශයෙන් ඔබ ගැන, මා ගැන, අප ගැන. එසේම මිත්‍යාව එය හට ගත් සංස්කෘතියෙහි පිළිඹිබුවක් ලෙසද දක්වන්න පුළුවන්. එසේම මිත්‍යාව විසින්, එය හට ගත් සංස්කෘතියේ සාමාජිකයෙකු වීමේ ඇති වැදගත්කම ද ඉස්මතු කරයි. මිත්‍යාව මේ ආකාරයෙන් ධනාත්මකව නිර්වචනය කළ හැකි එකක් වනවා සේම එය ආදිවාසීන්ගේ මනස්ගාත ලෙස හැඳින්වීම නම් සෘණාත්මකයි කියලා මතයක් තිබෙනවා. මොකද අපි මිත්‍යාවන් මුසාවක් ලෙස හඳුන්වන්නෙ විද්‍යාවට සාපේක්ෂව සලකා බලලයි. විද්‍යාවේදී සියල්ල පරීක්ෂණයට ලක් කර නිගමනයකට එලැඹීමේ ක්‍රියාවලිය මිත්‍යාවක් යන්න නිර්වචනයේදී යොදා ගැනීමට නොහැකි වීම මත පමණක්ම ඒවා හුදු මුසාවාද ලෙස හැඳින්වීම නොගැලපෙන බවයි මින් අදහස් කෙරෙන්නේ. ඒ වගේම අපට අමතක කරන්න බැහැ විද්‍යාවත් මිත්‍යාවත් යන දෙකම අප ජීවත් වන මේ විශ්වය යන පොදු මාතෘකාව නිර්වචනය කිරීමට උත්සාහ දරන කණ්ඩායම් දෙකක් බව. එතකොට සෑම විටම මේ දෙපාර්ශවය අතර ගැටුම් ඇතිවෙන්න පුලුවන්. ඉතින් මිත්‍යාව බොහෝ දුරට මිත්‍යාවක් වෙන්නෙ ඊට යම් විද්‍යාත්මයක පදනමක් නැති නම් පමණයි. විද්‍යාවට යම් පැහැදිලි කර දීමක් කිරීමට අපහසු බව් නිසාම මිත්‍යාව යන්න සංස්කෘති අධ්‍යයනයේදී පවා වැදගත් නොවන දේ ලෙස ලේබල් කිරීම එතරම් ප්‍රඥාගෝචර නැති බව නම් අනිවාර්යයෙන්ම කිව යුතුයි.

Thursday, June 9, 2016

සෙන් කතා ii


මෙයිජි යුගයේ (1868-1912) සිටි නන්-ඉන් නම් එක්තරා විශිෂ්ට සෙන් ගුරුවරයෙකු මුණගැසීමට වරක් සුදු ජාතික මහාචාර්යවරයෙක් පැමිණියේය. සෙන් බුදුදහම පිළිබඳ ප්‍රශ්න කරමින් වාදයකට එලැඹීම මහාචාර්යවරයාගේ අරමුණ විය.

කිසිත් නොදොඩා මහාචාර්යවරයාව පිළිගත් සෙන් ගුරුවරයා ඔහු වෙනුවෙන් තේ පිලියෙල කලේය. මහාචාර්යවරයා ඉදිරිපිට තැබූ බඳුන පිරෙන තෙක් තේ වත් කළ සෙන් ගුරුවරයා, බඳුන පිරුණු පසුවද දිගටම ඊට තේ වත් කළේය. මෙය තවදුරටත් බලා ඉවසාගත නොහී "ඔය බඳුනේ තවත් ඉඩ නැත. තවත් තේ වත් කිරීමෙන් පළක් වේද?" යැයි මහාචාර්යවරයා විමසීය. 

"මේ තේ බඳුන සේම," සෙන් ගුරුවරයා පිළිතුරු දුන්නේය. "ඔබද ඔබේ මතවාද සහ විශ්ලේෂණ වලින් පිරී සිටී. ඔබ ඔබේ ඒ පිරුණු බඳුන හිස් කරගන්නා තුරු මා කෙසේ ඔබට සෙන් දහම පිළිබඳ උගන්වමිද?"

Wednesday, June 8, 2016

සන් වූ කොන්ග් හෙවත් රජ වානර


පුංචි සන්දියේ මට ලැබුණු ලස්සන වර්ණ පිරුණු ඇබිත්තං අකුරු තිබුණු සිංහලයට පරිවර්තිත අමාඵලය කියන චීන කාටුන් පොතෙන් තමයි මට මුල්වරට සන් වූ කොන්ග්ව මුණගැහෙන්නේ. පොතේ එයාගේ නම සිංහලයට පෙරළලා තිබුණේ වානර වික්‍රම කියලයි. ඉතින් එදා වගේම අදටත් හැමදාටමත් සන් වූ කොන්ග් මට වානර වික්‍රමම තමයි. 
ඔයා කැමතිම සුපිරි වීරයා කවුද කියලා කෙනෙක් මගෙන් අහන හැම වාරයකදීම මගේ හිතට එන්නෙ සුපර් මෑන්,බැට් මෑන් නෙමෙයි,සන් වූ කොන්ග්. බැට්මෑන්ට,සුපර්මෑන්ට නැති අපූරු චරිත ලක්ෂණ කිහිපයක් සන් වූ කොන්ග් සතුව තිබෙනවා.නමුත් ඒ එකක්වත් සාමාන්‍යයෙන් අපි සුපිරි වීරයෙකුගෙන් බලාපොරොත්තු වෙන චරිත ලක්ෂණ එහෙම නම් නෙමෙයි. 
සන් වූ කොන්ග් අන්තිම දඩබ්බරයි. හිතුවක්කාරයි. මාන්නක්කාරයි. එක එක කූට උපක්‍රම, හොර මගඩි, බරක්පතලක් නැති විප්‍රකාර, ගිනි විජ්ජුම්බර සේරම අඩුවක්පාඩුවක් නැතිව සන් වූ කොන්ග් ලඟ තිබුණා. සරලවම අද කාලෙට ගැලපෙන නිර්වචනයක් දුන්නොත් මෙයා ෆුල් ඇටෙන්ෂන් සීකිං (තමා වෙත අවධනය යොමු කරවා ගැනීමට රිසි )සෙල්ෆ් සෙන්ටර්ඩ් (ආත්මාර්ථකාමී) පකිං ඕසම් බුවෙක්. සන් වූ කොන්ග් කොතෙනද එතන එකම ගාලගෝට්ටියයි. අනික නිකම් නෙමෙයි, මෙයා ගිහින් පැටලෙන්නෙම ලොකු ලොකු කට්ටිය එක්ක. ඉතින් මේ දඩබ්බර රාජකීය වානරයා තමයි මගේ ප්‍රියතම සුපිරි වීරයා වුණේ. අර හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ වගේ, ආපස්සට හැරිලා කල්පනා කරලා බලත්දී ඒ කාලෙත් මේ ටැපලිච්චි සිස්ටම් එක පිළිබඳ තිබුණු මගේ මද අවබෝධාත්මක විරෝධය, මුලු සිස්ටම් එකටම එලව එලව පහර දීපු සන් වූ කොන්ග් කියන විකට මූණක් ඇති චීන වඳුරු තඩියෙකුට වුණත් කමක් නෑ කියලා කැමති වුණු එකෙන්ම පේනවා කියලයි මට නම් හිතෙන්නෙ. 
සන් වූ කොන්ග් කියන මේ අපූරු චරිතය බිහි වෙන්නේ දහසය වන සියවසේදී වූ ෂෙං විසින් ලියන ලද Journey to the West (Xiyou Ji) නම් පොතින්. මේ පොත චීනයේ බිහි වුණු විශිෂ්ටතම නව කතා හතරින් එකක් ලෙසයි සැලකෙන්නේ. පරිච්ඡේද 81 වන මේ පොතේ පළමුවන පරිච්ඡේද හතම වෙන් වෙන්නේ සන් වූ කොන්ග් කියන රජ වානර කතා නායකයාටයි. අමරණීයත්වය ලඟා කරගත් මේ රජ වානරයා සියවස් ගණනාවක් පටන් අද දක්වා අපූරු ආරක වීරයෙක්ව සිටිනවා.ඔහු අධිකාරීත්වය ප්‍රශ්න කරනවා. විරෝධය පළ කරනවා. කැරලි ගහනවා. සන් වූ කොන්ග් මට මොහොතකට ලුසිෆර්ව සිහි ගන්වනවා. කැරලිකරුවන් ලෙස ගතහොත් ඔවුන් දෙදෙනාව එක වගේ කියා මට හිතෙනවා.  පවත්නා සමාජ රාමුවට, සමාජය වසා පවතින ධූරාවලියට විරුද්ධව අවි අතට ගත් රජ වානර අපේ මනසේ ඉඩ්ව නියෝජනය කරනවා කියාත් අපට හිතන්නට පුළුවන්. (සිග්මන් ෆ්‍රොයිඩ් මිනිස් මනස ඉඩ්,ඊගෝ සහ සුපර් ඊගෝ නම් ආකාර තුනකින් සමන්විත බවත්, තමන්ට රිසි සියල්ල සැබැවින්ම ඉටුකර ගැනීමට යත්න දරන්නේ ඉඩ් බව කියයි.) අප සෑම කෙනෙකුගේම මනසේ ඇති විප්ලවකාරී අදහස් සමුදාය පුද්ගලායනය කළ විට චීන හෝ වේවා, ආසියාතික වේවා, ඇමරිකානු වේවා ඕනෑම සහ සෑම වර්ගයකම සන් වූ කොන්ග් කෙනෙකු බිහි වෙනවා නොඅනුමානයි. 

Sunday, June 5, 2016

සුරංගනා කතාන්තර සහ ඒවායේ කුප්‍රකට මුහුණත- 3


ලස්සන කිරි සුදු පාට වෙන්න කලින් අළුපාට අවලස්සන තාරා පැටියෙක් වෙලා හිටපු හංසයෙක්ගේ කතාව ඔයාලා අහලා ඇතිනෙ. අපේ මේ අවලස්සන තාරා පැටියා වගේ මුලින් ආසා නොහිතෙන, දුක හිතෙන, ඛේදාන්තයක් වෙලා තිබුණු සුරංගනා කතාවක් තමයි Little Mermaid හෙවත් පුංචි දිය කිඳුරියගේ කතාව. අපි අතරේ ජනප්‍රිය කතාවට අනුව නම් තමන් මහ මුහුදේදී දකින කඩවසම් කුමාරයෙක් එක්ක ආදරයෙන් වෙලෙන දිය කිඳුරියක්, මායාකාරියකගේ උදව්වෙන් මිනිස් දුවක් බවට පත්වෙලා අර කුමාරයාව හොයාගෙන යනවා. ඒත් නපුරු මායා බලෙන් ඇයට ඇගේ කටහඬ අහිමි වෙනවා. වෙනත් කෙනෙකු එක්ක කුමාරයා විවාහ වෙන්න සිටියත් කතාව අන්තිමේදී අර කුමාරයා මිනිස් බවට පත් වුණු කිඳුරියට ආදරේ වෙලා එයාව විවාහ කරගෙන සතුටින් ජීවත් වෙනවා. මේක තමයි අපි කවුරුත් ආදරය කරන පුංචි දිය කිඳුරියගේ ඩිස්නිමය අවසානය. 

ඒත් කතාව මුලින්ම නිර්මාණය කරපු හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් නම් අපේ දිය කිඳුරියට වැඩි අනුකම්පාවක් දක්වලා නැහැ. පහළොස් වසක් සමරන එක් සුන්දර රාජකීය දිය කිඳුරියක් ඔවුන්ගේ සම්ප්‍රදායට අනුව මුල්ම වතාවට මිනිස් ලෝකය දැක බලාගන්න මුහුද මතුපිටට එනවා. ගිලාබත් වුණු නැවක් දකින මේ කිඳුරියත් ඇගේ සොහොයුරියනුත් එය නැරඹීමට යනවා. එහිදී අනිත් කිඳුරිය නැවෙහි තිබුණු නොයෙක් අරුමෝසම් දෙයට ආසා කළත් කිඳුරු කුමාරිය ආසා කරන්නේ ඈ හොයාගන්න කුමාරයෙකුගේ කිරිගරුඬ පිළිමයකට සහ රතු මල්පොකුරකටයි. වෙනත් දවසක කුණාටුවකදී අනතුරට ලක්වෙන නැවක හිටපු කඩවසම් කුමාරයෙකුව බේර ගන්න දිය කිඳුරිය ඒ කුමාරයා එක්ක ආලයෙන් වෙලුනත් ඔහුව බේර ගත්තේ දිය කිඳුරියක් බව වත් ඇය ඔහුට ආලය කරන බව වත් කුමාරය දැනගෙන හිටියේ නැහැ.
මේ කතාවේදී තමන් ආලය කරන කුමාරයාව සොයා යාමට දිය කිඳුරිය තමන්ගේ මීන ශරීරය වෙනුවට පා යුගලක් ලබා ගන්න තමන්ගේ කටහඬ කැප කරනවා විතරක් නෙමෙයි,තබන හැම පියවරකදීම දරුණු වේදනාවකට  මුහුණ දීමට ඇය කැමැත්ත දෙනවා. කුමාරයා නර්තනාංග වලට ආසා කරන නිසා ඇය දරුණු වේදනාවක් විඳිමින් ඔහු වෙනුවෙන් නැටුමෙහි යෙදුනත්, අන්තිමේදී කුමාරයා වෙන කුමරියක සමග විවාහ වීමට තීරණය කරනවා. 

තමන්ගේ සහෝදරිය මේ දරුණු ඉරණමෙන් බේරගන්න බලාපොරොත්තුවෙන් දිය කිඳුරියගේ අක්කලා දෙදෙනා ඔවුන්ගේ  ලස්සන කෙස්කලඹ මායාකාර කිනිස්සක් වෙනුවෙන් විකුණනවා. ඒ කිනිස්සෙන් ඇනලා කිඳුරිය කුමාරයාව මරා දාලා ඔහුගේ සිරුරෙන් ගලන ලේ තමන්ගේ දෙපා මතට වැටෙන්නට සැලැස්සුවහොත්, කිඳුරියට ආයෙමත් සිය මීන ශරීරය ලැබෙනවා. අක්කලාගේ කීම අහලා කුමාරයාව මරා දමන්න ගියත් තමන් ආදරය කරන කුමාරයාව මරා දාන්න කිඳුරියට බැරි වෙනවා. ඒ නිසා කිඳුරිය මිය ගිහින් මහ මුහුදේ පෙණ පිඬක් බවට පත් වෙනවා. පස්සෙ කාලෙක ඇන්ඩර්සන් මේ කතාවෙ අවසානය වෙනස් කරනවා. ඒකට අනුව කිඳුරිය මිය ගියාම ඇය සුලඟේ දියණියක් බවට පත්වෙනවා. අවුරුදු තුන්සීය යහපත් කල්ක්‍රියාවෙන් ඇය ජීවත් වුණෝතින් ඇගේ ආත්මයට දිව්‍යලෝකයට යන්න පුළුවන් වෙනවාලු.  
ඩිස්නි අවසානයේත් හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ කතා අවසානයේත් ඇති වෙනස සුළුවෙන් තකන්න බැහැ කියලයි මට හිතෙන්නෙ.එක් පැතිකඩකින් බලද්දී ඇන්ඩර්සන්ගේ කතා අවසානයෙන් අපට පෙන්වලා දෙනවා අපි යමෙක් කෙරෙහි ආලයෙන් බැඳුණත්, කෙතරම් කැප කිරීම් කලත් ඔහු හෝ ඇය ඔබට පෙරළා ආලය නොකරනු ඇති, ඔබේ කැප කිරීම හඳුනා නොගන්නවා ඇති බව. එහි ප්‍රතිඵලයක් ලෙස අප නපුරට ඉඩ දී දුෂ්ට නොවිය යුතු බවත් කිඳුරිය කුමරාව මර නොදමන්නට තීරණය කිරීමෙන් කියාපානවා. වත්මන් සමාජයෙන් කෙතරම් දුරට මේ සහකම්පන හැඟීම දුරස් වෙලාද කියලා දිනෙන් දින ඉහළ යන අපරාධ, මිනීමැරුම්,දූෂණ සහ අපචාර වලින් අපට මතක් කරලා දෙනවා. 

මේ කතාවේ ප්‍රධාන චරිතය වන දිය කිඳුරිය සංකේතාත්මක අර්ථයෙන් ගත්තොත් ඒ ඔබ හරි මම හරි වෙන්න පුළුවන්. කිඳුරිය තමන්ගේ පැවැත්මට පිටුපා යෑම, අප අප වෙනුවෙන් මේ පවත්නා සමාජ රාමුවට පිටුපා යාමක් ලෙස අර්ථ දක්වන්න පුළුවන්කම තිබෙනවා. එතකොට ඇන්ඩර්සන්ගේ කතාවෙන්, සමාජ සම්ප්‍රදායට ප්‍රතිරෝධයක් එල්ල කරන සියල්ලන්ට දිය කිඳුරියට අත් වුණා වගේ අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ දෙන්නට වෙන බවට අනතුරු ඇඟවීමක් කරනවා නේද කියලත් මට හිතෙනවා. ඩිස්නිමය අවසානයෙන් ස්වාධීන තීරණ ගැනීමට බිය නැති, ජීවිතය තමන් හට ලබා දෙන සියල්ල එලෙසමැයි පිළිනොගන්නා, අවධානමක් දැරීමට ආත්ම ශක්තියක් ඇති විප්ලවකාරී කිඳුරියට ජයග්‍රාහී අවසානයක් දීම සතුටට කාරණාවක්. මෙම අවසානය එක්තරා ආකාරයක ගතහොත් pluralistic සමාජ සම්ප්‍රදාය බිඳගෙන individualistic approach එහෙම නැත්නම් පුද්ගලයාට සහ පුද්ගලයාගේ නිදහසට අවස්ථාවක් දෙන්නක් ලෙස අපට අරුත් නංවා ගන්නට පුළුවන්. 


Wednesday, June 1, 2016

සුරංගනා කතාන්තර සහ ඒවායේ කුප්‍රකට මුහුණත-2


එකෝමත් එක කාලෙක ජීවත් වුණු හැමෝම බොහෝම සතුටින් අන්තිමේදි ජිවත් වුණා කියලා අපි අහලා තිබුණට ඒ කාලෙ හිටපු හැමෝගෙම ඉරණම ඔය කියන තරම් සුන්දර වෙලා තිබුණෙ නෑ. ග්‍රීම් සහෝදරයින්ගේ මැදිහත් වීමෙන් තමන්ගෙ අවාසනාවන්ත ඉරණම සතුටුදායක අවසානයක් ලෙස වෙනස් කරගත් කෙනෙක් තමයි Little Red Riding Hood හෙවත් පුංචි රතු හැට්ටකාරි.


පුංචි රතු හැට්ටකාරිගේ අතීත අනුවාදයේ එයාවවත් එයාගෙ අත්තම්මාවත් බේරගන්න දර කපන්නෙක් එන්නෙ නෑ. රතු හැට්ටකාරිගෙ ඉරණම මරණය තමයි. රතු හැට්ටකාරි කා දැමුවාට පස්සෙ විශාල නපුරු වෘකයා දිගු නින්දකට වැටෙනව.ප්‍රකාශනයට පත් මුල්ම අනුවාදයේ කතාව අවසන් වෙන්නෙ එහෙමයි.මේ කතාව ප්‍රකාශනයට පත් කරන්නෙ චාල්ස් පෙරුල්ට් කියලා කෙනෙක්. ඒ විතරක්ද, තවත් අනුවාදයකට අනුව නපුරු විශාල වෘකයා, අත්තම්මාගේ මස් උයලා ඇගේ ලේ වයින් වීදුරුවකට දමා තියනවා මේසයක් උඩ. අත්තම්මාව බලන්න ආපු රතු හැට්ටකාරී, ඒවා කෑමට ගන්නවා. ඊට පස්සෙ තමයි වෘකයා ඇයව කාලා දාන්නේ.

පුංචි රතුහැට්ටකාරි කතාවේ නිධාන කතාව හොයාගෙන ලෝකෙ පුරාම ගිය එන්ගලන්තයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ ජෙයිමි ටෙර්හානි කියන මානව විද්‍යාඥයා අපූරු සොයාගැනීම් කිහිපයක් කරලා තියනවා. එයාට අනුව විවිධ අනුවාද වලින් මේ කතාන්තරය ලෝකයේ රටවල් සහ සංස්කෘති කිහිපයකම ජනප්‍රියව තිබෙනවා. අග්නිදිග ආසියාවේ මේ කතාවේ වෘකයා වෙනුවට විශාල කලෑ පූසෙකු ආදේශ වී තිබෙනවාලු. එතකොට ඉරානය ආශ්‍රිතව තිබෙන කතාන්තරයේ පුංචි ගැහැණු ළමයෙක් වෙනුවට ඉන්නෙ පුංචි පිරිමි ළමයෙක්. මොකද ඒ සංස්කෘතියට අනුව පුංචි ගැහැණු ළමයිට එහෙමෙහෙ ඇවිදින්න අයිතියක් නැහැ! මේ මානව විද්‍යාඥයා පවසන අන්දමට චාර්ල්ස් පෙර්ලුට් 17 වන සියවසේදී පුංචි රතුහැට්ටකාරි ප්‍රකාශනයට පත් කරන්න කලින් 11 වන සියවසේදී, පූජකයෙකු විසින් සටහන් කොට තබන ලද බෙල්ගියානු කවියක පුංචි රතුහැට්ටකාරිට සමාන කතාවක් අන්තර්ගතව ඇති බවයි. මීට අමතරව "වෘකයා සහ ළමයි" කියන ජන කතාවත් මෙවැනිම තේමාවක් සහිතයි. මේ කතාවේ, එළු ආයම්මා කෙනෙක් තමන්ට බලාගන්න බාරවෙලා ඉන්න එළු පැටවුන්ව මොහොතකට ගෙදර දමලා එළියට යනවාලු. එයා එනකම් වෙන කිසිම කෙනෙකුට දොර අරින්න එපා කියලා තමයි එයා යන්නෙ. මේ කතාව හොරෙන් අහගෙන හිටපු වෘකයෙක් එළු ආයම්මා වගේ රඟපාලා පුංචි එළු පැටවු ටික රවටලා උන්ව ගිල දමනවාලු. ඊටපස්සෙ අර එළු ආයම්මා මේ වෘකයාව ලුහුබැඳලා ඌව මරලා, බඩ පලලා පැටවු ටික එලියට ගන්නවාලු. මේ කියන කතාවේත් පුංචි රතු හැට්ටකාරිගේ කතාවේ අනුවාද චීනයේත් තිබෙනවාලු. නමුත් ජෙයිමි ටෙර්හානිට අනුව රතු හැට්ටකාරි කතාවේ දැනට සොයාගෙන තිබෙන පරණම සටහන පෙර කී බෙල්ජියානු කවියයි