Sunday, July 25, 2021

න්‍යෂ්ටික බෝම්බ ඩිටෙක්ටරයට හසුවුණු නිල් තල්මසුන්ගේ ගායනාව

 

තල්මසුන් ගැන කතා කරද්දි මගේ මතක නොස්ටැල්ජියාව එක පිම්මෙම ගිහින් නතර වෙන්නෙ හර්මන් මෙල්විල් විසින් රචනා කරපු, සිරිල් සී පෙරේරා පරිවර්තනය කළ “මෝබිඩික්” කෘතිය අද්දර. ” මට ඉස්මායිල් කියන්න.” කතාව පටන්ගන්නෙ ඒ විදිහට. ඊට පස්සෙ අපි ඉස්මායිල් එක්ක යෝධ තල්මසුන් යාත්‍රා කරන සමුදුරු ඔස්සේ රුවල් නැවක නැඟිලා මෝබිඩික් හෙවත් ධවල තල්මසා සොයන ගමනට එකතුවෙනවා.

“ඈත මුහුදුවල වෙසෙන අද්භූත, අස්වාභාවික, ආශ්චර්යමත් සත්ව වර්ගයක් වන තල්මසුන් ගැනත්,ඔවුන්ගෙන් නැවියන්ට පැමිණෙන උවදුරු ගැනත්, ඇතැම්විට ඔවුන් නැව්වලට පහර දී විනාශ කොට පැන යන සැටි ගැනත් මම නොයෙක් කතාන්තර අසා ඇත්තෙමි. එහෙයින් එම සත්ත්වයින් සියැසින් දැකබලා ගැනීමට මා තුළ ලොකු ආශාවක් ඇත.” ඉස්මායිල් එහෙම කියනකොට නැවක නැඟලා ලෝකෙ වටේ තල්මසුන් බලමින් සවාරි ගසන්නට නොහිතන කෙනෙක් නැති තරම්.

ඒ විතරක් නෙමෙයි, පසුකාලීනව ජාතික රූපවාහිනියේ විකාශනය වුණු “සමුදුරු දැරිය” ඕස්ට්‍රේලියානු විද්‍යා ප්‍රබන්ධ කතාමාලාවේත් තල්මස් ගී ගායනාව පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාඥවරියක්, තල්මසුන් සමඟ පිහිනමින් ඒ ගීත තේරුම් ගන්න පුළුවන් සුරූපී ජලකර පිටසක්වල නෙරී නැමැති තරුණිය ගැන ඔබට මතක ඇති.

 



නිල් තල්මසුන් දඩයමේ යෑම නිධානයක් සොයන්න යන ත්‍රාසජනක ගමනක් කියලා හිතුණට කාලයත් එක්ක තමයි විසිවෙනි ශතවර්ෂයේ සිදු කෙරුණු වාණිජ කරුණු සඳහා තල්මසුන් දඩයම් කිරීම පිළිබඳව හරියටම මට අවබෝධයක් ලැබෙන්නේ. මේ වාණිජ තල්මස් දඩයම මොනතරම් දරුණු වුණා ද කිව්වොත් තල්මස් දඩයම තහනම් කරන විට ලෝකයේ නිල් තල්මසුන් වඳවී යාමේ මුවවිටටම පැමිණ සිටියා.  ඒ කොතරම් ද කිව්වොත් වාණිජ තල්මස් දඩයම නිසා දකුණු අර්ධගෝල සාගර කලාපයේ නිල් තල්මස් ගහණයෙන් 0.15% ක් වත් ඉතුරු වුණේ නැහැ කියලත් මේ කලාපයේ දඩයමට ලක්වුණු නිල් තල්මසුන් ගණන ලක්ෂ තුනකට අධික බව වාර්තාවල සඳහන් වෙනවා. මේ වෙනකොට නිල් තල්මස් ගහණය ක්‍රම ක්‍රමයෙන් සුළු ඉහළ යාමක් පෙන්නුම් කළත් අදටත් සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය විසින් ප්‍රකාශ කරන  වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින සත්වයින්ගේ රතු ලැයිස්තුවට නිල් තල්මසාගේ නම අන්තර්ගත වෙනවා. නිල් තල්මසා දැවැන්ත සත්වයෙක් වුණත් මහා සාගරය තුළ ඔවුන්ව නිරීක්ෂණය කරගැනීමට ඉතාමත් අපහසු සත්ව කොට්ඨාශයක්. ඒ නිසාම ඔවුන්ගේ හැසිරීම, සංචරණය සහ ඔවුන්ගේ ගමන් මාර්ග හඳුනා ගැනීමත් ඉතාම සීමිතයි. විශේෂයෙන්ම උතුරු ඉන්දියානු සාගර කලාපයේ නිල් තල්මස් ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇත්තේ ඉතාම සීමිත දත්ත ප්‍රමාණයක්.

ඉන්දියානු සාගර කලාපයේ නිල් තල්මස් විවිධත්වයක් තිබෙනවා. ඔවුන්ගේ උප කොට්ඨාශ හඳුනාගැනීමට විද්‍යාඥයින් යොදාගන්නේ ඔවුන් නිකුත් කරන නාද රටා අනුවයි. සෑම නිල් තල්මස් විශේෂයකටම ඔවුන්ට ආවේණික ගායනාවක් තිබෙනවා.   පසුගිය ජූනි මාසය ආසන්න කාල සීමාවේ දී බටහිර ඕස්ට්‍රලියානු මුහුදු තීරයේ සිට ශ්‍රි ලංකාවේ උතුරු වෙරළ කලාපය දක්වා වපසරියක හැසිරෙන පිග්මි නිල් තල්මස් විශේෂයක් සොයා ගැනීමට තල්මසුන් විශේෂඥ පිරිසක් සමත් වෙලා තිබෙනවා. මෙලෙස අලුත්ම පිග්මි නිල් තල්මසුන් විශේෂය  හඳුනාගැනීමට උදව් වෙලා තිබෙන්නේ සාගර කලාප තුල සිදුකෙරෙන න්‍යෂ්ටික පිපිරවීම් සම්බන්ධ නිරීක්ෂණය කරන Comprehensive Nuclear-Test-Ban Treaty Organization (CNTBTO) කියන ආයතනයේ දත්ත පරීක්ෂාවට ලක් කරන අවස්ථාවකදී වීම විශේෂ කාරණයක්.

 Read more: https://www.manthrana.com/2021/07/12/new-pigmy-blue-whales-found-in-the-indian-ocean/

 


4 comments:

  1. මා කියැවූ රසවත්ම පරිවර්ථනයක් මෝබි-ඩික්! එහෙත් එම කථාවේ අවසානයට මා කැමති නෑ! ඒ නිසාම මාගේ මෝබිඩික් පොතට මම තවත් පිටුකිහිපයක් එක් කලා අතින් ලියා! කොහොම වෙතත් ඔබේ ලිපිය හරිම අපූරුයි. ඔබට කියන්න මා මුහුදේ කිමිදුනු හැම මොහොතකම තල්මසෙකු මුන ගැසේවි යැයි බලාන හිටියා!

    ReplyDelete
  2. මම මුලින්ම ඉගෙන ගත්තෙ මේකෙන්
    Whale Adventure - Willard Price

    ReplyDelete
  3. ඕෂන් ගර්ල් ගේ පින්තුරේ දැකල ආවේ ෆැන්ටසියක් ලියල ඇති කියල හිතාගෙන...

    ReplyDelete
  4. බොහොම අපූරු ලිපියක්

    ReplyDelete