හයිඩ්‍රිල්ලා වත්ත
හයිඩ්‍රිල්ලා වත්තේ ප්ලේටියා නැන්දා මොන තරම් වේගෙකින් සාරියාගෙ නාහෙ
ඉස්සරහින් පීනගෙන ගියා ද කිව්වොත්, ඔහේ ඈලිමෑලිකමේ ඈනුම් යව යවා හිටපු
සාරියා වල්ගෙ ලෙස්සල ගිහින් පරණ වෙච්චි මාළු කෑම පල්පයක් උඩට තකස් ගාලා
ඇදගෙන වැටුණා.
“යකෝ…. මේ මොන… බ්ලොබ්….බ්ලොබ්….” වැටුණු හදිස්සියට හුස්ම ගන්න අමතක වෙලා සාරියගෙ කරමල් අස්සට වතුර ගියා.
මේ
යෝදි මේ මද්දහන්කරේ දැති මෝරෙක් ආවේස වෙලා වගේ හතිමුණින් දාගෙන කොහෙ පීනනව
ද කියල හිතා ගන්න බැරිවුණු සාරියා අමාරුවෙන් නැගිටගෙන ප්ලේටියා නැන්දා
පස්සෙන් යන්න පටන් ගත්තෙ කුණු මාළු කෑමවලින් ආපු අප්පිරියාවත් පැත්තකට
දාලා.
“ප්ලේටියා නැන්දේ! ප්ලේටියා නැන්දේ!” සාරියා බෙරිහන් දුන්නත්
ප්ලේටියා නැන්දා නෙමේ පැත්තවත් හැරිල බැලුවෙ. එයා හයිඩ්‍රිල්ලා ගාල්
අස්සෙන් විදිලි ආඳෙක් වගේ අතුරුදහන් වුණා. සාරියත් අතෑරියෙ නෑ. ප්ලේටියා
නැන්දා පස්සෙන්ම පන්නගෙන ගියා. කොහොමත් වත්තෙ එකෙක්ට හදිසියක් කරදරයක්
වුණාම කර ඇරලා බෑනෙ.
ඔය අස්සෙ සාරියගෙ බෙරිහන් දීම ඇහිලා හයිඩ්‍රිල්ලා ගාලක් අස්සෙ ඉඳන් එළියට පැන්නෙ කොට වරලෙ මාමා.
“මොකෝ සාරියෝ තෝ මේ ඉර මුදුන් කණිසමේ බෙරිහන් දෙන්න තියාගත්තෙ?” කොට වරලෙ මාමා සාරියා පස්සෙ පන්නන්න ගත්තා.
“මන්දා
කොටෙ මාමෙ, ආං අර ප්ලේටියා නැන්දා ආත්බූත කඩාගෙන සිහිසන් නැතිව පීනනවා. මං
මේ ඒකයි පොඩ්ඩක් බැලුවෙ…” සාරියා කිව්වෙ ගමනෙ වේගෙ ටිකක් බාල කරලා.
“හෑ?
මේ අපෙ ප්ලේටියා නඟා? ඒ මොකොදැ…. යමං යමං බලන්න! පලයං ඉතින් මෙතන දැවටි
දැවටි ඉන්නෙ නැතුව…. මං එංඤ්ඤං පස්සෙං!” කොට වරලෙ මාමා එහෙම කියලා
හයිඩ්‍රිල්ලා ගොල්ල අස්සට ඔලුව දාලා කෑගහන්න පටන් ගත්තා.
“ඒ සිප්පි කට්ටෝ! මෙහෙ වරෝ! බොම්බිලියෝ, ඉක්කන්ට වරෝ!”
කොට
වරලෙ මාමා එන වේගෙකින් එන්නෙ නැතෑ කියලා සාරියා ආයෙමත් ප්ලේටියා නැන්දා
පස්සෙ වැටුණා. කොට වරලෙ මාමා නොන්ඩියට පීනද්දි එයාවත් පහුකරගෙන ආපු සිප්පි
කට්ටයි, බොම්බිලියයි සාරියාට කිට්ටු වුණා.
“මොකද සාරියො වලියක් ද?
කවුද ඩෝ අපේ සාරියා මල්ලිට ගේම ඉල්ලපු එකා. කපනවා පෙත්ත පෙත්ත ඩෝ! මාළු
කපනව වගේ තමයි ඈ!” සිප්පි කට්ටා කොරපොතු අස්සෙ ගහගෙන හිටපු බිලී කොකු
දෙකක් එළියට අරගත්තා.
“නෑ! නෑ! සිප්පි අයියෙ. අර බලහන්කො අර!
ප්ලේටියා නැන්දාට මොකක් හරි හදිස්සියක්. මං මේ දුවන්නෙ මොකද බලන්න.” සාරියා
කියන්නෙ කතාවටවත් ගමන නතර නොකර. මොකද එන්න එන්නම පීනිල්ල අසීරු වෙනවා. මේ
ඉසව්වට වැඩිය කවුරුත් එන්නෙ නෑ. ටැංකියේ බටහිර කෙළවරටම දැන් කිට්ටු වෙලා
වෙන්න ඕනෙ. ඒ තරම් ඕසෙට හයිඩ්‍රිල්ලා වැවිලා. වලිගෙ හිරවුණොත් ආයෙම ගැලවිලා
යනවා බොරු.
“ඒ අර බලහංකො ඒ අස්සෙ අන්න ටෙට්‍රා මහත්තයායි ටැංකි
සුද්දයි කොට වරළෙ මාමා පස්සෙ වැටිලා!” බොම්බිලියා ගොළුබෙලි කට්ටකින් හදලා
තිබ්බා හීනි දිග කඩුවකින් හයිඩ්‍රිල්ලා ගාල කපලා පාර හදාගන්න ගමන් ඔත්තු
බැලුවා.
“අනේ…. මගෙ පුතේ! ආයියියියෝ මාගේ පුතේ!” ප්ලේටියා නැන්දගෙ විලාපෙට හයිඩ්‍රිල්ලාවත්තම දෙදරලා ගියා.
“ප්ලේටියා නැන්දේ! මොකද මොකද මේ?” ප්ලේටියා නැන්දා විලාප දෙන්නෙ මොකටද කියල සාරියට හිතාගන්න බෑ.
“අනේ අර බලාපං පුතේ! අර අපේ පොඩි එකා!” ප්ලේටියා නැන්දා හයිඩ්‍රිල්ලා ගාලෙ ඉහළම කෙළවර පෙන්නුවාම තමයි සාරියාව උඩ විසික් වුණේ.
“යකෝ
රතු පැටියා නේද! ඒ පොඩි එකෝ! බැහැපිය බිමට පරයා!” සාරියාට උන්හිටි තැන්
අමතක වුණා. රතු පැටියා ප්ලේටියා නැන්දගෙ බාලම කොලුවා. ඌ නාහෙට අහන්නැති
නසරානියෙක්. වත්තෙ එවුන් නම් කියන්නෙ ඌ ප්ලේටියා මාමාගෙ එකෙක් නෙමේ කියලා.
ඒක නම් ඇත්තටම වෙන්න පුළුවන්. ප්ලේටියා මාමා හරිම ඈලිමෑලියි. වතාවක්
හයිඩ්‍රිල්ලාවත්ත සුද්ද කරන වතාවක ඔය ප්ලේටියා නැන්දාව කොහේද බේසමකට දාලා
තිබ්බලු ටික දවසකට. ආපිට හයිඩ්‍රිල්ලා වත්තට එද්දි ප්ලේටියා නැන්දා බඩින්ලු
කියලා සාරියගෙ ලොකු අම්මා, සාරියාච්චි එක්ක මොන මොනවද කියනව සාරියට ඇහිලා
තියෙනවා. හඩ්‍රිල්ලා ගාලෙ ඉහළටම පීනලා හිටපු රතු පැටියා වීදුරු ටැංකියේ
කෙළවර උඩ පනිමින් හිටියා.
“ආනේ මයෙ පුතේ! බැහැපං කොලුවෝ මං කියන දේ අහලා… උඹ හොඳ එකානේ….” ප්ලේටියා නැන්දා ඒ අස්සෙ දිගටම විලාප දෙනවා.
“රතු
පැටියා කොලුවෝ! මේ අම්මා කියන එක අහලා ඔතනින් බැහැපං මයෙ පුතේ!” කොට වරළෙ
මාමා පිංසෙණ්ඩු වුණා. මොන! රතු පැටියා නෙමෙයි හැරිලාවත් බැලුවේ. ඇට්ටරයා
හති දම දම දිගටම උඩ පැන්නා. වීදුරු ගැට්ටෙ වැදිලා දෙපාරක් ඇදගෙන වැටුණා. ඒ
හැපුණු පාරට සීරුමක් කැපුමක් නැතිවෙන්න විදිහක් නෑ.
“ඈ බං ප්ලේටියා
හාමිනේ, මොකද මේ රතු පැටියා ටැංකිය කෙළවරට වෙලා උඩ පනින්නෙ? ඌ දන්නෙ නැද්ද
එහාපැත්තෙ ටැංකියෙ ඉන්නෙ අර මාළු ගිලින වසවර්ති ඇලිගේටරයා කියලා?”එහෙම
ඇහුවෙ ගරු කටයුතු ටෙට්‍රා මහත්තයා. එයා තමයි හයිඩ්‍රිල්ලා වත්තෙ
මුලාදෑනියා.
“අනේ ටෙට්‍රා මහත්තයෝ මේ අපේ අවලං ලොකු එකී අපේ පොඩි
එකාට ඊයෙ රෑ කතන්දරයක් කියලා. මූ මේ ඒකෙ ඇත්ත නැත්ත බලන්න තමා හොරෙන්
ගෙදරින් පැනලා මේ අස්සෙ රිංගල තියෙන්නෙ…” ප්ලේටියා නැන්දා ඉකි ගහනවා.
“කතන්දරයක් කිව්වාය කිව්වෙ?”
“අනේ
මහත්තයෝ අපේ එකී මේ මොකද්ද මාළු පැටව් රංචුවක් මකර දොරටුවෙන් පැන යනවා
කියල කතන්දරයක් කියලා දීලා. රතු පැටියා අහලා මකර දොරටුව කොහේද තියෙන්නෙ
කියලා….”
“ඉතින්…ඉතින්..” ටෙට්‍රා මහත්මයා හූමිටි තිබ්බේ රතු පැටියා දිහා ඇහැ ගහගෙනමයි.
“ඉතින්
අපේ පරට්ටී කියල මකර දොරටුව තියෙන්නෙ ටැංකියෙ කෙළවරේය කියලා…. ඒ මදිවට මකර
දොරටුවෙන් එහා පැත්තෙ ඉන්නෙ භයංකාර මකරෙක් කියලත් මේකි කියලානෙ මහත්තයෝ……
අනේ….. අයියෝ!!! කවුරුත් නැද්දෝ….. මගෙ පැටියෝ…. බැහැපං පුතේ….” ප්ලේටියා
නැන්දා ආයෙම විලාපෙ පටන් ගත්තාම ටෙට්‍රා මහත්මයා පස්සට විසික් වුණා.
“එතකොට දැන් මූ මේ මකර දොරටුවෙන් පනිනව කියල හිතාගෙන ද අර ඇල්ගේටරයාගෙ ටැංකියට පනින්න හදන්නෙ?” බොම්බිලියා නිකට අතේ ඔබා ගත්තා.
“ආනේ…ඕව්ව්ව්ව්
පූතේ….” ප්ලේටියා නැන්දා ඉකි ගහ ගහ මොර දෙනවා. “මං කොච්චර කිව්වත් එහා
පැත්තෙ ඔන්නෙ සම්බෝලයා පූසාගෙ හොම්බ කාපු ඇලිගේටරයා කියලා මූ විශ්වාසෙට
ගන්නෙම නෑනෙ පුතේ…. ඉන්නෙ මකරෙක්මලු! මකරව බලන්න ඕනෙමලු! අනේ මගෙ පුතාව
බේරලා දීපන් පුතේ…..”
READ MORE :
අනේ මේක මරේ මරුනේ!! ඉතින් ඉතින්
ReplyDeleteකතාවෙ ඔක්කොම ලින්ක් එකේ තියේ ලිඛීයෝ
Deleteදෙයියනේ මේවා කියෙව්වාම ගෙදර ෆ්‍රිජ් එකේ තියේන සාලයො දෙසිය පණහත් කුඹ්Uර ලඟ ඇලට දාන්න හිතුනා!
ReplyDeleteශුවර් එකටම සාලයෝ ටික ෆ්‍රිජ් එක ඇතුලෙ ඉඳන් බැන බැන ඇති සීත කබායක්වත් දුන්නෙ නෑ කියලා.
Deleteමගුලයි අන්තිම ටික බලන්න මේ ලින්කුවෙනුත් යන්න උනානේ!
ReplyDeleteඔව්, ඔව්, පහුගිය ටිකේම බ්ලොග් එක ලියන එක අතෑරිලා හිටියෙ. Mඅන්ත්‍රණ එකේ ලියන්න ගත්තම තමා ආයෙම මේකාත් කතා ටික එල්ලගන්න හැකි වුණේ.
DeleteSo, Shakespeare had a red Platy snack?
ReplyDeleteNo, no Shakespeare does not attack small fish. He has his standards!
Delete:>
ReplyDelete