Wednesday, July 14, 2021

වසංගතය – එක් නපුරු සුරංඟනා කතාවක්

 

 එකෝමත් එක කාලයක දැවන්ත කඳු වළල්ලක් මැද්දේ අමුතු සුරංඟනා නගරයක් තිබ්බා. ඒ නගරයට කවුරුත් කිව්වේ යකඩ නගරය කියලයි. මේ නගරය වට වෙලා තිබුණේ විශාල, උස් යකඩ පවුරකින්. නගරයට ඇතුල්වෙන්න තිබ්බ හැම දොරටුවක්ම විශාල යකඩ දම්වැල් දාලා වසා තිබුණා. යකඩ කටකලියා විස්සක් ඇඳපු යකඩ අශ්වයින් විසිදෙනෙක් හෝරාවක් පුරා වෙහෙස වෙලා තමයි මේ යකඩ දොරටු ඇරගන්න පුළුවන් වෙන්නේ. 

මේ යකඩ නගරයේ පාලකයා හිටියේ නගර මධ්‍යයේ අහස උසට නැඟිලා තිබුණු යකඩ මාළිගාවේ. මේ ආණ්ඩුකාරයා හරිම නපුරුයි. එයාගෙ හිත හැදිලා තිබුණේ යකඩින් කියලා තමයි හැමෝම කිව්වෙ. යකඩ ආණ්ඩුකාරයා මොන තරම් නපුරු ද කියනවා නම් එයා කිසිම වෙලාවක හිනා වුණේ නැහැ. විහිළුතහළු කළේ නැහැ. සිංදු කියලා නටන්න තියා තාලෙට අත්පුඩියක්වත් ගහන්න යකඩ ආණ්ඩුකාරයා දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා යකඩ ආණ්ඩුකාරයා නිතරම හිටියේ කේන්තියෙන්. වේදනාවෙන්. දුකෙන්. තරහින්. 

ඒ නිසා යකඩ නගරයේ ඉන්න මිනිස්සුන්ට හිනා වෙන්න, විහිළු කරන්න, සිංදු කියන්න, නටන්න විතරක් නෙමෙයි චිත්‍ර අඳින්න, සැණකෙළි පවත්වන්න වගේ සතුටු හිතෙන කිසිම දෙයක් කිරීමටත් යකඩ ආණ්ඩුකාරයා තහනම් කළා.  ඉතින් හැමෝම හිටියේ දුකින්. කේන්තියෙන්. වේදනාවෙන්. තරහින්. කාලයත් එක්ක යකඩ නගරයම ටිකෙන් ටික ටිකෙන් ටික කළුම කළු පාට වෙලා ගියා. හැමතැනම තිබුණේ උහුළ ගන්න බැරි තරම් නිශ්ශබ්දතාවක්. අඳුරු ගැහුණු දුක්බර මූණුවලින් යකඩ නගරයේ මිනිස්සු අවදි වුණා, වැඩ කළා, දෙවියන් වැන්ඳා, නින්දට ගියා. ඔවුන් තමන්ගේ අසල්වැසියන් එක්කවත්, පවුලේ අය එක්කවත් සතුටු සාමීචියේ යෙදෙන්න දැනගෙන හිටියේ නැහැ.  වෙහෙසින් මිරිකුණු යකඩ නගරයේ මිනිස්සු කලින්ම නින්දට ගිය නිසා ඉහළ අහස් නිම්නය ඒකාලෝක කරන පූර්ණ චන්ද්‍රයාවවත්  කිරි සයුරේ ඉවුරු තෙර නටන තරුවත් දැක්කේ නැහැ. 

මෙහෙම කාලයක් ගත වුණා. යකඩ නගරයේ ඈතම කොණේ දුප්පත්  කම්මල්කරුවෙකුගේ බිරිඳට අපූරු දැරිවියක් ඉපදුණා. කුඩා දැරිවියගේ ඇස් පහන් වගේ. මූණ තරුවක් වගේ එළියයි. ඉපදුණු හැටියේම මේ සිඟිත්තිය අම්මාත් තාත්තාත් එක්ක හිනා  වුණා. ඇගේ හිනාව හරිම ලස්සනයි. කම්මුල් දෙකම වාසනාවන්ත විදිහට වළගැහුණා. අම්මාගේත් තාත්තාගේත් හිත්වලට කවදාවත් නොදැනුණු සතුටක් උණුසුමක් දැනුණා. එයාලත් දූ සිඟිත්ත එක්ක හිනා වුණා. ඒත් ගේ ඇතුලේ හිනා වුණාට මේ සතුටු මූණ එළියේදී පෙන්වන්න කම්මල්කාරයාටවත් ඔහුගේ බිරිඳටවත් බැහැ. යකඩ නගරයේ කාගෙ හරි මුහුණක හිනාවක් තිබ්බොත් වහාම ඒ අයව අත් අඩංගුවට ගන්න කියලා නපුරු ආණ්ඩුකාරයා යකඩ සොල්දාදුවන්ට අණ දීලා තිබුණා. ඒ නිසා කම්මල්කාරයාත් ඔහුගේ බිරිඳත් ගෙදරින් පිටට යනකොට මතක ඇතිව මූණ වසාගෙන තමයි යන්නේ. 

කාලයක් ගත වුණා. සිඟිත්තිය සුන්දර දැරියක්ව වැඩුණා. දවසක් අම්මාත් තාත්තාත් කඩපොළට ගිය වෙලාවක ඇය ගමේ අනෙක් කුඩා ළමයින් සමඟ සෙල්ලමට වැටුණා. මීට කලින් කවදාවත් ඇයට සෙල්ලම් කරන්න ලැබිලා නැහැ. ඉතින් ඇයට ගොඩක් සතුටුයි. ඇය ශබ්ද නඟලා සිනාසුණා. මුලින් අනෙක් ළමයින් පුදුම වුණත් පස්සෙ එයාලත් මේ දැරිවිත් එක්ක සිනාසෙමින් සෙල්ලම් කළා. තමන්ගේ ළමයින් සංතෝෂයෙන් කෑ ගසමින් සෙල්ලම් කරන හැටි දැකපු වැඩිහිටියන්ටත් සිනා නොවී ඉන්න බැරිවුණා. ඉතාම ඉක්මනින් සතුටු සිනා රාවයන් නගරය ඔස්සේ පැතිරී යන්න පටන්ගත්තා. දවසක් උදේ පාන්දර අවදි වෙලා යකඩ මාලිගාවේ සඳළුතලයට එන නපුරු ආණ්ඩුකාරයා දකින්නේ යකඩ නගරයේ මිනිසුන් සිනාසෙමින් ගී ගයමින් නටමින් ඉන්නවා. යකඩ නගරයම එකම සැණකෙලියක් වගේ.

 කතාවේ ඉතිරි ටික කියවන්න : https://www.manthrana.com/2021/07/05/epidemic-dark-fairy-tales-sinhala-stories/


 

4 comments: