රුසියානු කතාන්තර
ගොනුවේ එන මාරියා මොරේව්නා චරිතය
හරිම අපූරු, වෙනස් චරිතයක්. කතාව කියවලා නැති අයටත් එක්ක බොහෝම කෙටියෙන්
කතාව කියලා ඉන්නම් මුලින්ම. මොකද අද මගේ කතාව එයා ගැන.
ඔන්න එකෝමත් එක
කාලෙක ඉවාන් කියලා කුමාරයෙක් හිටියා. එයාගේ දෙමාපියන් දෙදෙනා මියගියාට පස්සෙ, එයාගෙ නංගිලා
තුන්දෙනා එක්ක මාළිගාවක ජීවත් වුණා. එයාගෙ නංගිලා තුන්දෙනාවම මායාකාරයින් කසාද
බැඳගත්තාට පස්සෙ, ඉවාන් කුමාරයා ලෝකෙ වටේ ඇවිදින්න යනවා. එහෙම යනකොට යනකොට එයා යුද්ධ
සේනාවක් කඳවුරු ලාගෙන ඉන්නවා දකිනවා. විපරම් කරලා බලනකොට එතන ඉන්නෙ මාර්යා
මොරේව්නා කියන යුධ රැජිණ. ඉවාන් කුමාරයා මාරියා මොරේව්නාට ආලය කරන්න පටන්ගන්නවා. මාර්යා මොරේව්නාත් ඉවාන්
කුමාරයාට ආදරය කරනවා. දෙන්නා විවාහ වෙලා කලක් ගත වෙනවා. මාර්යා මොරේව්නා යුද්ධයක්
සඳහා පිටත්ව යනවා. ඉවාන් කුමාරයාට කියනවා මාලිගයේ ඕනෙම තැනක යන්න යකඩ
දම්වැල් දාපු කාමරයට නම් යන්න එපා කියලා.
ඒත් ඉවාන් කුමාරයා මේ කාමරයට ගිහින් බලනවා.
ඒකෙ ඉන්නෙ නොමැරෙන කසේයි රාක්ෂයා. ඔහු දම්වැල් වලින් බැඳලා. ඔහු ඉවාන්ගෙන්
බැගෑපත්ව ඉල්ලනවා මට වතුර ටිකක් දෙන්න කියලා. ඉවාන් කුමාරයා දුක හිතිලා නොමැරෙන
කසේයි රාක්ෂයාට වතුර දෙනවා. වතුර බාල්දි දොළහක් බීලා කසේයි දම්වැල් කඩාගෙන පැන
යනවා. තමන්ව හිර කරගෙන හිටපු මාරියා මොරේව්නාව අල්ලාගෙන ඈව සිරකර තබනවා. අන්තිමේදී
ඉවාන් කුමාරයා බොහෝම දුෂ්කර ඉලක්ක සපුරලා ආපිට මාරියා මොරේව්නාව බේරාගන්නවා.
කසේයිව විනාශ කරලා දානවා. ආලවට්ටම් නැතිව ගත්තොත් කතාව ඕකයි. ඕකෙ තව හරි අපූරු
සිද්ධි තියෙනවා. නොකියවපු කෙනෙක් නම් කියවලාම බලන්න.
දැන් අපි අපේ කතාවට එමුකො. මාරියා
මොරේව්නා...කවුද මේ?
බොහෝම තැන්
වලදි ඇයව හැඳින්වෙන්නෙ එක්කො යුධ රැජිනක් ලෙස එහෙම නැත්නම් රණකාමී කුමාරිකාවක්
ලෙස. ඒ වගේ චරිතයක් සාමාන්‍ය නිතර අහන්නට දකින්නට ලැබෙන කාන්තා චරිත වලට වඩා
වෙනස්. අනිත් එක මෙයා නිකම්ම නිකම් නමට විතරක් රැජිණකුත් නොවෙයි. එයා තමයි නොමැරෙන
කසේයි රාක්ෂයාව අල්ලාගෙන ඌව හිර කරගෙන ඉන්නෙ. ඒක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. මේ
වෙනස්කමත් එක්ක තමයි මාරියා මොරේව්නා මගේ ප්‍රියතම චරිතයක් වෙන්නෙ මේ රුසියානු
සුරංගනා-ජන කතා ගොන්න අතර.
ස්ත්‍රීවාදී ප්‍රවේශයකින් බැලුවොත්
දේශපාලන ලෝකය තුල ඉන්න බලවත් චරිතයක් විදියට තමයි මාර්යා මොරේව්නාව කියන කාන්තා
චරිතය පිළිඹිඹු කරලා තිබෙන්නෙ. සරලවම කිව්වොත් මාග්‍රට් තැචර්,එළිසබෙත්, වික්ටෝරියා කියන්නෙත් මාරියා
මොරේව්නා කෙනෙක් කියලා හිතන්න පුළුවන්. දැන් ඉතින් මේ වගේ බොහොම ශක්තිමත් චරිතයක්
වෙන මාරියා මොරේව්නාට ඉවාන් කුමාරයාව මුණගැහෙනවානෙ. ඊට පස්සෙ මාරියාට මොකද වෙන්නෙ? ඔන්න ඒක නම්
හොයාබලන්න හරි වටින සිදුවීම් පෙලක්. මේ එක්කම ඉවාන් කුමාරයා ගැනත් යමක් කියන්න
වුවමනයි. එයා කිසිම පැකිලීමකින් තොරව මාරියා රැජිණගේ වල්ලභයා වෙන්න කැමති වෙනවා.
ඇයට බොහෝ සේ ආලය කරනවා.අද වෙනකොට යළි හුස්ම දීමට උත්සාහයක් තිබෙන මාතෘ මූලික සමාජය
තුළ මෙවැනි චරිත ප්‍රශ්ංසාවට ලක් වෙනවා. මොකද පුරුෂ මූලික සමාජයක් තුළ හැම විටම
බලය පුරුෂයාට ආරෝපණය කිරීමක් තමයි සිද්ධ වෙන්නෙ. සුරංන්ගනා කතා තුලත් එහෙමයි. මම
මේ ගැන කලිනුත් කතා කරලා තිබෙනවා මගේ "වසීලිස්සාගේ ඇටකටු උඩ බාබායිගා
නැටීම" ලිපියෙන්.
හරි, දැන් ආයෙමත් කතාවට එමුකො. මේ කතාවේ ඉන්න
ඉවාන් කුමාරයා තමන්ට වඩා දේශපාලන සහ යුධ බලයක් තිබෙන රැජිණකට ආලය කිරීම සහ ඇය සමග
විවාහ වීම,
සාම්ප්‍රදායෙන්
බැහැර වූ විප්ලවීය කාරණයක් ලෙස අපට දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අද වෙනකොට
නම් මේ විදියේ විවාහ දෙස ධනාත්මකව දකින්නත් පොඩි නැඹුරුවක් තිබෙනවා. ඒත් තවමත්
වැඩි පිරිසකගේ ආකල්පය තියෙන්නෙ එක්කෝ සැමියා වැඩට ගිහින් නෝනා ගෙදර ඉන්න ඕනෙ, නැත්නම් නෝනා
කරන්න ඕනෙ සැමියට වඩා අඩු පඩියක් ලැබෙන රැකියාඅවක්, නෝනා සැමියට වඩා උසස් තනතුරක් දරණ එක
පිරිමියගෙ පිරිමිකමට මදි පාඩුවක් වගේ පටු ආකල්ප තමයි. බලය සහ පිරිමිකම එක තරාදියක
දෙකොනේ දාලා මනින්න ගියාම තමයි වැඩිමනක්ම ඔය ගැටළුව නම් එන්නෙ.
ඒ විතරක්ද, මේකෙ තව අපූරු සිදුවීමක් තමයි මාරියා මොරේව්නාගේ සහ
ඉවාන් කුමාරයාගේ මුණගැසීම.
"ඒ රටේ රැජිණ, මාර්යා
මොරේව්නා ඉවාන් කුමාරයාව පිළිගන්න ආවා.
ආයුබෝවන් ඉවාන් කුමාරයා, කොහේද නුඹ
යන්නෙ,
නිදහසේ යනවාද? නිදහස නැති
නිසා යනවාද?
වීර කුමාරයෝ නිදහස් නැති හින්දා රට රටවල
යන්නේ නැහැ,
ඉවාන්
කුමාරයා පිළිතුරු දුන්නා.
ඉතින් නුඹට හදිසිය නැත්නම් මගේ කූඩාරමේ
නැවතිලා විවේක ගනින්.
ඉවාන් කුමාරයා සතුටු වුණා. රෑ දෙකක්ම
කූඩාරමේ ගත කළා. ඉවාන් කුමාරයාට මාරියා මොරේව්නා ගැන හිතක් ඇතිවෙලා එයාව සරන පාවා
ගත්තා.
බලන්න ඒ සංවාදය දිහා. මාර්යා මොරේව්නා
අහනවා ඔබ නිදහසේ යනවාද නිදහස නැති හින්දා යනවාද කියලා. ඒ අහන්නේ ඔබ තනිකඩයෙක් ද ඔබ
විවාහකයෙක්ද කියලා. ඊට පස්සෙ ඈ තමයි ඉවාන් කුමාරයාට ඈ එක්ක රාත්‍රියක් ගත කරන්න
කියලා ඉල්ලා සිටින්නේ. සරලව අද කාලෙ වචනයෙන් කිව්වොත් මේක One Night Stand එකක්. ඒකෙන්
පෙන්නුම් කෙරෙන්නෙ ඒ කාලයේ පවා මේ ලිංගික නිදහස, විවාහයට පෙර ලිංගික ඇසුර ආදී සංකල්ප මේ
සමාජ තුළ තිබුණා කියන එකයි. පසුකාලීනව එන වික්ටෝරියානු මතවාද ලෝකයේ බොහෝ සංස්කෘතීන්
බුල්ඩෝස් කරගෙන තමන්ගෙ පියුරිටන්වාදී අදහස් හිටවන්න කලින්, නිදහස්
සමාජයක් සහ සංස්කෘතියක් තිබුණු බවට මේක සාහිත්‍යමය සාක්ෂියක් ලෙස ගන්නත් පුළුවන්. (මාරියා
රැජිණක් වීමත්,
ඈ සතුව
දේශපාලනික බලයක් තිබීමත් මෙවැනි ආරාධනාවක් කරන්න ඇයට යම් ශක්තියක් වෙන්නත් ඇති.)
දැන් මෙතන අනිත් කාරණාව තමයි, ඉවාන්
කුමාරයා ඇයව විවාහ කරගැනීමට සිතීම. ඒ කියන්නෙ මාරියාගේ ලිංගික ආරාධනාව දෙස හෝ ඇය
දෙස "ඇය වරදකාරී එකියක්" අද කාලේ වචන වලින් කිව්වොත් "ඒකි
බඩුවක්",
"ඒකි
කෑල්ලක්" "ඒකි මේ වගේ තව උන් කීයක් එක්ක වල්කමේ ගියාද දන්නෙ නෑ"
"රූම් යන ගෑණු කසාද බඳින්නෙ නෑ" වගේ හිතිවිල්ලක් ඉවාන් කුමාරයාගේ හිතට
ඇවිලා නෑ. ගැහැණියක් හා පිරිමියෙක් ස්ව කැමැත්තෙන් ලිංගිකව එකතු වීම එක් පාර්ශවයක්
හොඳ වීම සහ අනෙක් පාර්ශවය වල් වීමට බලපාන්නෙ නෑ කියන එක ඉවාන් කුමාරයත් විශ්වාස කළ
බවයි පෙනෙන්නෙ.
දැන් කොහොමින් හරි මාරියා මොරේව්නාගෙත්
ඉවාන් කුමාරයාගෙත් විවාහය සිද්ධ වුණානෙ. ඊට පස්සෙ වුණු දේ ගැන කතාකාරයා හරි
අපූරුවට මෙහෙම කියනවා.
"සුන්දර රැජිණ මාරියා මොරේව්නා ඉවාන්
කුමාරයාත් සමග ඇගේ රටට ගියා.ඔහොම ඉතින් ටික කාලයක් දෙදෙනාම එකට ජීවත් වුණා. මාරියා
මොරේව්නාට හිතුණා යුද්ධ කරන්න ඕනෙ කියලා. යුද්ද හමුදාවත් අරගෙන යුද්ධෙට යන්න
ලෑස්ති වෙලා මාරියා මොරේව්නා ඉවන් කුමාරයාට අණ කළා."
ඔන්න වැඩේ. මාරියා මොරේව්නා ඉවාන්ට දීලා
තියෙන්නෙ අණක්. ඒක ඉල්ලීමක්වත් කරුණු පහදාදීමක්වත් නෙවෙයි. ඒක අණක්. නිදහස්
කුමාරයෙක්ව සිටි අයෙකුට ඇය දෙන්නෙ අණක්. ඉතින් මේ කුමාරයා ඒ අණ පිළිගන්නවාද? කොහෙත්ම නෑ
සහෝදරවරුනි! ඕං සැමියන්ට අණ දෙන උන්දලා එහෙම ඉන්නවා නම් ඒකත් ඔළුවට දාගන්නවා
හොඳයි! සන්නිවේදනය
සාර්ථක වෙන්න වෙන්න තමයි දෙපාර්ශවයම එකිනෙකාට යහපත් ප්‍රතිචාර දක්වන්නෙ.
අද ට්‍රැක් පයිනවා වැඩී.ගණං නොගෙන ඉස්සරහට
කියවගෙන යමු. දැන් මේ මාරියා මොරේව්නා ඉවාන්ව කසාද බැඳලා ගෙදර ඉන්නකම් කිසි ප්‍රශ්නයක්
නෑ. ඒත් මෙයාට ආයේ යුද්ධ කරන්න හිතිලා ගෙදරින් පිට වුණු ගමන් ප්‍රශ්න එකක් නෙමෙයි, ප්‍රශ්න මහ
ගොඩකට මූණ දෙන්න වෙනවා. ඒ කියන්නෙ, මාරියා මොරේව්නා මාළිගාවට වෙලා හිටිය
නම්...අද කාලෙ හැටියට නම් තියන දෙයක් කාලා, ළමයිබමයි බලාකියාගෙන ගෙදෙට්ට වෙලා හිටිය
නම්...ඔය කිසි ප්‍රශ්නයක් එන්නෙ නෑ කියලා අපට මේක අරුත්ගනවා ගන්න පුළුවන්.
දැන් මාරියා රැජිණ යුද්ධේට ගියාම ඇගේ අණ
කඩ කරලා වහලා තියෙන ගබඩා කාමරේ බලන්න යනවා ඉවාන් කුමාරයා. කාමරේ දොර ඇරලා බලද්දී
කසේයි නම් නොමැරෙන් රාක්ෂයා දම්වැල් දොලහකින් බැඳලා ඉන්නවා. එයාට වතුර බාල්දි
දොළහක් බොන්න දුන්නම,
එයා දම්වැල්
කඩාගෙන නිදහස් වෙලා,
යමින් ගමන
මාරියා රැජිණවත් පැහැරගෙන යනවා. මට හිතුණා මේ වගේ දෙයක්. ඉවාන් කුමාරයාගේ නිදහස්
හිතට එකපාරටම මොකද්දෝ අමුතු ඊර්ෂියාවක්, එහෙමත් නැත්නම් (මේක අලුත් වචනයක් මෑතක
හඳුන්වා දීපූ ) පුරුෂාත්ම හීනනයක් ඇති වෙනවා තමන් ගැන. දම් වැල් දොළහක්, වතුර බාල්දි
දොළහක්...දොළහක් කියන්නෙ මාස දොළහක්...අවුරුද්දක් යනකොට මේ වෙනස ඇතිවෙලා. මාරියාගේ
අණත් නොතකාම වහලා තියෙන පුරුෂෝත්තමවාදී ගබඩා කාමරය ඇරලා බලපුවාම එතන ඉන්නවා
රාක්ෂයෙක්. ඌට විතරයි පුළුවන් මේ ශක්තිමත්, සුන්දර රැජිණව මෙල්ල කරන්න. ඉවාන් කුමාරයා
මේ රාක්ෂයාට තමයි පණ පොවන්නෙ. කසේයි රාක්ෂයා ඉවාන් කුමාරයාගේ හිත ඇතුලේ හැංගුණ
පුරුෂාත්ම හීනනය වෙන්නත් පුළුවන් කියලා යෝජනාවක් ගේන්න කැමතියි මම.
මෙන්න මෙතන ඉඳන් තමයි ආයෙ පරණ පුරුදු
විදියටම ප්‍රධාන පුරුෂ චරිතය පිම්බෙන්න පටන් ගන්නෙ. ඉවාන් කුමාරයා ලෝකෙ වටේම
ගිහින් හරි භයානක ඉලක්ක වලින් ජයගෙන අන්තිමේදී කසේයි රාක්ෂයාවත් මරලා මාරියා
මොරේව්නා රැජිණව බේර ගන්නවා. ඒ ටික අනිත් සුරංගනා කතා වගේමයි. පුරුදු
විදියට ඉවාන් කුමාරයා වීරයෙක් වෙනවා. පුරුදු විදියටම Damsel in Distressව Knight in Shining Armour ඇවිත් බේරගෙන
යනවා. කතාවේ අන්තිම හරිය වෙද්දි පරණ තැටියම වාදනය වුණත්, මාරියා
මොරේව්නා සුන්දර රැජිණගේ චරිතයට මම බොහොම ආසයි.
මාරියා මොරේව්නාගේ කතාව මෙන්න මෙහෙම ඉවර
වෙනවා.
"ඉවාන් කුමාරයයි, මාරියා
මොරේව්නායි බොහොම සැපෙන්,
සතුටින්
ජීවත් වෙනවා. යහපත් වැඩ කරනවා, මී පැණි බොනවා."
ඒ කියන්නෙ මාරියා මොරේව්නා සුන්දර රැජිණ ආයෙමත්
කවදාවත් යුද්ධෙට ගියේ නෑ...!
ප.ලි. මගේ මිත්‍රයෙක් (බ්ලොග් ලෝකයේ හිපියා නමින් පසිඳු) නම් කියන්නෙ කසේයි මාරියාට බොහෝ සේ ආලය කළා කියලයි. ඒත් මොනවා කරන්නද...මාරියා ආලය කළේ
ඉවාන් කුමාරයාටනෙ. සමහරවිට මාරියා ඔය දෙන්නාටම ආලය කලා වෙන්නත් බැරි නෑ!
/"ඉවාන් කුමාරයයි, මාරියා මොරේව්නායි බොහොම සැපෙන්, සතුටින් ජීවත් වෙනවා. යහපත් වැඩ කරනවා, මී පැණි බොනවා."/
ReplyDeleteමොකක්? මී පැණි බොනවා?..අම්මප එහෙමත් තිබ්බද ඔය කතාවෙ? මට මතක නෑනෙ...:)
අයියෝ ඔව් අනේ...කතා කීයක ඔහොම ඉවර වෙනවද. අර දුප්පත් ඉවාන් පෝසත් ඉවාන් එකේ "හත්දෙනාම කැඳ බොන්නෙ රත්තරන් හැඳි වලින්. කැඳ බීලා මී පැණි කනවා." ඒ වගේ හුඟ ඒවගෙ ඔය මී පැණි කතාවෙන් ඉවර වෙනවා!
Deleteසිරාවට... හැම කතාවෙම තියෙනවද මන්ද මි පැණි කෑව කියල.... ඉඳල හිටලා ඔය රජ ගොල්ලෝ වගේ හිතාගෙන මාත් කනවා මී පැණි.
Deleteඔව් අනේ...මේ කතා කියවලා පොඩි කාලෙ මාත් රත්තරන් හැන්දක් කියලා හිතාගෙන පොඩි පිත්තල හැඳි වලින් අයිස්ක්‍රීම් එහෙම කාලා තියෙන සුන්දර ළමා කාලයක් තියෙනවා!!
Deleteඔයාගේ විශ්ලේෂණයට හෙන කැමතියි. මාත් රුසියානු කතා පිස්සෙක් තමයි. පොඩි කාලේ ඉඳන්. අන්තිමට රුසියාවටත් ගියා. ඒ සාහිත්‍ය යට ඇති ආදරය තවම එහෙම්මමයි. අපි හිටි කාලේ ඔය පුරුෂෝත්තම කේස් වැඩිය තිබ්බේ නැහැ. රුසියානු තරුණිය වැඩිය පුරුෂයා මායිම් කළේ නැහැ. මොරෙව්නා වගේ තමයි. හැබැයි යහළු වෙච්ච පිරිමියාට සලකන්නේ බොහොම හොඳට
ReplyDeleteකොමෙන්ට් කළාට ස්තූතියි! රුසියාවෙ මාරියා මොරේව්නාලා බලන්න මාත් යන්නෝනෙ. රුසියානු සුරංගනා කතා කියන්නෙ හැබෑවටම මීට වඩා අධ්‍යයනය කළ යුතු ශානරයක්. මොකද මේවා ගොඩක් ජනකතා මූලාශ්‍ර කරගෙන හැදුණු ඒවානෙ. රුසියානු පෙම්වතියක් හිටි හැඩයි!!!
Deleteඔව් එහෙම අත්දැකීමකුත් තියනවනම් තමයි. :)
Deleteමේ වීඩියෝව බලල තියනවද
https://www.youtube.com/watch?v=p4OyCNctKXg
මම දුලා දෙන්නට පොඩි කාලේ ඩිස්නි කතා කියල දුන්නෙම නැහැ, අන්දරේ ගැන, අපේ තාත්ත ජේම්ස් බොන්ඩ් ජේමිස් බණ්ඩා කරලා මට කිව කතා හෙම ඒ ගොල්ලන්ට කියල දුන්න. දුවලට අන්දරේ සීනි කා හැටි හෙම ටහ්වම මතකයි. හැබැයි ඊට පස්සේ උන් ඩිස්නි කතා බලන්න ගත්ත. පස්සේ කාලෙක පොඩි දූම කිව්වා මේ කතාවල ප්‍රින්ස් නැත්නම් ප්‍රින්සස් කන් ට සවයිව් වෙන්න බැහැ කියල. රුසියානු කතා ඒ පැත්තෙන් වෙනස්.
Deleteරුසියාවේ යන්න. ඉතාම ලස්සන රටක්. කෑම බීමත් මිනිස්සුත් ඒ කතාවල වගේමයි. ඩුවල් ද්න්නයි බිරිඳයි එක්ක ගියා 2016 පෙන්වන්න කියල. කට්ටිය වහ වැටුන රුසියාවට.
ඔය කතාවේ හැර මාර්යා මොරෙව්නා ගැන වෙන කොහෙවත් ලියවිලා තියෙනවද?
ReplyDeleteමෙච්චර කාලෙකට මේ කෝණයෙන් ඔය කතා දිහා බලල තිබුනේ නෑ... දැන් ඒවා කියවද්දිත් ඉතින් එක එක ඒවා හිතෙන්න ගනියි... හෙහ් හෙහ්..
වසිලිස්සා යුනිවර්ස් එකක් හදල මේ කතා ටික ෆිල්ම් වලට ගන්න කාටවත් හිතෙන්නේ නැද්ද දන්නේ නෑ..
ඇත්තටම රුසියානු සුරංගනා කතා වලින් මාවල්, ඩිස්නි වගේ යුනිවර්ස් එකක්ම හදන්න පුළුවන්. පුදුමාකාර අපූරු චරිතනෙ. පොත් සීරීස් එකක් කරලා තියෙනවා Deathless කියලා. ප්‍රධාන චරිතය කසේයි හෙවත් නොමැරෙන රාක්ෂයා. මම කියවලා නෑ, හැබැයි ප්‍රතිචාර නම් හොඳයි බවක් දැක්කා.
Deleteමට නම් මාරියා මොරේව්නාව හමුවෙලා නෑ වෙන තැන් වල. මේ කතාවේ අතීතයක් හාරාවුස්සලා බැලුවොත් මොනව හරි මතු වෙන්නත් බැරි නෑ.
එහෙම තමා, එකේකේවා හිතෙන්ඩ එපායැ. එතකොට තමා රසවින්දනය ඉහළ යන්නෙ!! ;)
මේක කියවන්ඩ ඕනෙ හොයාගෙන. අපූරු අරුත් ගැන්වීමක්. :)
ReplyDeleteලස්සන වසිලිස්සා පොතේ තියෙන්නේ
Deletehttps://russianlife.com/stories/online-archive/ancient-warrior-women/
ReplyDelete"සී සාලා, බාර්ලි වපුරලා, බාර්ලි පැහෙනකං ඉඳලා, කපලා, පාගලා, එව්වයිං බියර් හදලා, බීලා, වෙරි වෙලා, නටලා, නිදාගෙන, නැගිටලා ගියත් ඉවාන් කුමාරයයි මාරියා මොර්ව්නා රැජිණයි අල්ලගන්ඩ පුළුවං..." මගෙ හිතට අල්ලපු හොඳම කෑල්ල ඕක.
ReplyDeleteමාත් පොඩිකාලෙ කොන්දේසි විරහිතව මාර්යා මොරේව්නා ට ආදරේ කළා. තාමත් ඒක වෙනස් වෙලා නෑ. ඒ චරිතය හරියට, පොඩි එකෙක් බලාගන්න ආදරණීය අම්මෙක් වගේ...
[ඒ චරිතය හරියට, පොඩි එකෙක් බලාගන්න ආදරණීය අම්මෙක් වගේ] මෙන්න මේ වගේ හැඟීමක් තමා මටත් තිබ්බේ, කුමාරි ටයිප් එකෙන් එහාට ගිය, ඇන්ටි ගතියක්...මේ හොබෝ ගේ අදහස් හින්ද අහිංසක අපේ හිත් නරක් වෙනවා.. හෙහ් හෙහ්
Deleteහික් හික් හික්! මෙන්න වැඩේ පැතුම්.කුමාරි ගතියක් නම් නෑ තමයි, මොකද ඒයා රැජිණක්නෙ. ඩ්‍රැකී, ඒක හරියට හරි. මේ කතන්දර අස්සෙ ඒ වගේ හරි ලස්සන වචන, කියුම් තියෙනවා. මම හිතන්නෙ ඉහළ පරිවර්තනයක වටිනාකම ඒක. අද කාළෙ තියෙන්නෙ හරි ලාබ සහ බාල පරිවර්තන. ඒ වගේ මම කැමතිම වචනයක් තමයි "අස්ස මාල්ලා"
Deleteහොබෝවෝ, මං හිතන්නේ ලංකාවේ ජනකතා වගේම ආසාවෙන් මම රුසියානු කතාත් කියෙව්වා පොඩි කාලේ. ඒත් මේ ලිවිල්ලට ආයෙත් කියවන්න ඕනේ කියලා හිතුනා .
ReplyDeleteඅන්න හොඳ වැඩේ...මම නම් හිතට කාන්සිය ආවම තවමත් කියවන්නෙ ලස්සන වසීලිස්සා පොත!
Deleteමාරියා මොරෙව්නාගේ කතන්දරේ මගේත් ප්‍රියතම කතාවක්! ඔයාගේ මේ කියවීම අපුරුයි!
ReplyDeleteඔය මුකුත් කරන්නැති damsel in distress ලා ඉන්නේ සුරංගනා කතා වල විතරක් නෙමේ නේ... ගොඩක් චිත්‍රපට, නවකතා එහෙම නේද...Bechdel test ගැන අහල ඇති සමහර විට.
Deathless ගැන ඔත්තුවට ස්තුතියි ගොඩක්! ඔර්ඩර් කරා :)
කලාව ඇතුලෙ විතරක් නොවෙයි සමාජ සංස්ථාව තුල හැමතැනම ඔය තියරිය වැඩ කරනවා. කාන්තාව දුර්වල සහ සහය අවශ්‍ය චරිතයක් ලෙස හුවා දැක්වීම ඉතාම ඈත ඉතිහාසයේ ඉඳන් එන ඉගැන්වීමක්. අනිත් අතට කලාව කියන එක සමාජ-දේශපාලන-ආගමික අදහස් පැතිරවීම සඳහා යොදාගන්න ප්‍රොපගැන්ඩා ටූල් එකක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.
Deleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDeleteපිළිතුරක් එවන්න ප්‍රමාද වුණාට සමාවෙන්න. මේ ටිකේම අධික වැඩ සහිතයි. අනිවාර්යයෙන් අහස් ගව්ව දිහාවට ඇවිත් යන්න එන්නම්. මමත් බ්ලොග් රචනයට අලුත්. මොනව හරි ඔත්තුවක් ඕනෙ නම් දැනඉගෙනගන්න ඕනෙ නම් සුදුසුම කෙනා ඔය ඉහළින් ඉන්න අටම්පහුරෙ අයිය. මං නම් ඉතිම් ආදලේට කියන්නෙ ඇටොම් අයිය කියල. මම අහස්ගව්ව දිහාට ඇවිල්ලා කියවල අදහස් කියන්නම්.
Delete