Sunday, March 4, 2018

ලුණු දෙහි ආලය


ගෙදරක බිත්ති කපරාදු කරලා සුදු පාටට ඔප කළාම ලස්සන වෙනවා වගේ කුස්සියේ කොහේහරි මුල්ලක ලුණුදෙහි බෝතලයක් නැත්නම් තුන් වේලම පාළුයි කියලා හිතෙන තරම් ලුණුදෙහි වලට රස වැටෙන්න පුළුවන්. ඉස්සර නම් අම්මා ලුණුදෙහි හැදුවේ ගෙදර වත්තෙ තිබුණු දෙහි ගස් වලින්.පෑවිල්ල කාලෙට කහ කුරුල්ලො රොත්තක් වහලා නිස්සද්දව ඉන්නවා වාගෙ කහම කහ පාට බෝල බෝල දෙහි ගෙඩි පොරෝගෙන ඉන්න දෙහි ගස් වලින් හොදට පැහුණු දෙහි ගෙඩි තමයි කඩාගෙන එන්නෙ. 

 ඒවා හතරට පලලා පැගිරි සුවදේ බැරුව හූල්ල හූල්ල දෝරෙ යන ඉස්ම ටික වෙනම මඩක්කුවකට එක්කාසු කරලා,හම්බන්තොට ඉදන් දුර ගමනක් ආපු උල් කැට කැට ලුණු මේ දෙහි ගෙඩි මැද්දෙන් තියලා වට්ටියක අඩුක් කරලා පිච්චෙන කට්ට අව්වට තිබ්බම ඒ ගැන තියන වගකීම අපි අමතක කරත්, උදේ ඉදන් හවස් වෙනකම් වහලේ උඩ හරි මිදුලෙ පොඩි බංකුවක් උඩ හරි වේලි වේලි ඉන්න ලුණුදෙහි වට්ටිය පොඩි දරුවෙක් බලාකියාගන්නවා වගේ රකින්නෙ අම්මා.ඒ අම්මලාගෙ හැටි, අපි වගේ නෙමෙයි.එයාලට තමයි වැඩක් එකදිගට කරගෙන යන්න පුළුවන්.

වැස්සට ගෙට ගන්න, හවහට අරන් තියන්න ආයෙ අව්වෙන් තියන්න, මේ සුමේ සතියක් හමාරක් කරන අතරෙ අර මඩක්කුවේ තියන දෙහි ඉස්ම ටිකත් පැත්තකට වෙලා සද්ද නැතිව කැකෑරෙනවා කට්ට අව්වට.ඊට පස්සෙ කහ පාටට බැබලි බැබලි හිටපු දෙහි ගෙඩි ටික ලා දුඹුරු පාටට වේලිලා ලුණුකැටත් එක්ක හාද වුණාට පස්සෙ, ගෙදර පොඩි කාමරේ මුල්ලකට කරලා තිබුණු පරණ හෝර්ලික්ස් බෝතල් වතුරට හේදිලා අව්වට වේලිලා සැදී පැහැදී එන්නෙ මේ ලුණුදෙහි ටික බාර ගන්න.
 සදුදා උදේට බස් එකට මිනිස්සු පටෝනවා වගේ අර විසාල වට්ටියෙම තියෙන ලුණුදෙහි ටික හෝර්ලික්ස් බෝතල් දෙකකට ඔබන කොට ඒ අතර හැදෙන හිදැස් වහන්න අර කැකෑරුණු දෙහි ඉස්ම ටිකත් වත්කරනවා. ඊට පස්සෙ කුස්සියේ කොහේ හෝ කොනක හැංගෙන මේ අපූරු ලුණු දෙහි බෝතල් එලියට එන්නෙ පරණ ලුණුදෙහි බෝතල් පෝලිමක් කාලා බෙදලා ඉවර වුණාට පස්සෙ.ඕන්න මේ පාරත් අම්මා ලුණුදෙහි හැදුවා.ඒ පොළෙන් ගෙනා දෙහි.සුදු පිගානක තියලා.ඒත් රිංගෙව්වෙ නම් පරණ හෝර්ලික්ස් බෝතලේකටම තමයි.

13 comments:

  1. https://www.pinterest.com/pin/212302569904044816/

    බිලිං?

    ReplyDelete
    Replies
    1. එතන තියනවනේ සැහෙන ජාති

      Delete
    2. ඕං ඉතින් කෙල හැලෙන් කෑම ජාති දාල.

      Delete
  2. අපේ ආච්චිත් තාම ඔහොම ලුණුදෙහි හදනවා - රසබර මතක!

    ReplyDelete
    Replies
    1. වැසි දැරිය ලාස්සන නමක්නෙ! මේ පැත්තෙ ආවට ස්තූතියි !

      Delete
  3. අපේ අම්මත් මෙදා ලුණු දෙහි දැම්මා. එත් ඒකට කොච්චි කරලක් දෙකක් වගෙම කෑලි මිරිස් ටිකකුත් එකතුවෙලා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් අපේ අම්ම වාරයක් හැදුවා හීන් කොච්චි දාලා, රහේ බෑ ඕං. කෑලි මිරිස් දාපුවාමත් හොඳයිද? ඒ වගක් දැනන් උන්නෙ නෑනෙ. මේ ලඟදි අහු වුණු සෙසිපියක් තිබේ සෝයා අච්චාරු. හිතනවට වඩා රහක් තියෙනවා.

      Delete
  4. දැන්නම් ඔය අත්තම්මලගෙ පරම්පරාව ඇරුනුකොට ලුණු දෙහි හැදෙන්නෙම නැති තරම්..

    ඒත් දැන් අලුතෙන් හැදෙන කෙල්ලොන්ට ඔය පරණ කෑමජාති හදන්ට ආසාවක් ඇවිල්ලද කොහෙද...හෙහ්..හෙහ්..

    මගෙ යාලුවො දෙතුන් දෙනෙක්ම කිව්ව උංගෙ දුවල (අවුරුදු 15,16 වගෙ ගැටිස්සියො එවුං) ඔය ලුණු දෙහි පැපොල් අච්චාරු එහෙම හදන්ට නැහෙනව කියල...

    ReplyDelete
  5. නාරං වලින් හැදුවත් දෙහි වලින් හැදුවත් ලුණුදෙහි කියලාම බෞතීස්ම වුන ලුණුදෙහි...අනේ මම දන්නෑ හරිම අකමැති කෑමක්..සියඹලා ගුලි එහෙමපිටින් ගිලදැම්මත් ලුණුදෙහි කන්න හිත හදාගන්නම බෑ..

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete