Tuesday, January 16, 2024

හදවත් ආමාන




දුම්රිය කියන්නෙ කුඩා කාලයේ පටන්ම මට අධි යථාර්ථවාදී හැඟීම් සමුදායක් ගෙන ආපු විස්මකාරකයක්. ලා කොළ පාට තණ පිට්ටනියක් වසා පැතිරුණ දිලිසෙන සූර්යය පැනල ඇස් නිලංකාර කරද්දි ඒ දිහා ගුවන් යානයේ ඉඳන් බලද්දි මට දැනුණ හැඟීමටත්, නියොන් ලයිට්, උච්චම ශබ්දයෙන් වාදනය වෙන විලාප-ලව් සිංදු, තෙලිඟු ෆිල්ම්වල ඉන්න නළුවො වගේ කඩවසම් රියදුරු තරුණයන් එක්ක පියාඹන බස් රථවල යමින් මම ලබන ආස්වාදයටත්, වෙරි වෙලා එහෙට මෙහෙට පැද්දෙන කැප්ටන් ජැක් ස්පැරෝ ලීලාවෙන් නැවේ ඩෙක් තට්ටුව මත ඇවිදිද්දි දැනුණු හැඟීමටත් වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අධි මායාකාරී හැඟීමක් මට කෝච්චියක ගමනක් යද්දි දැනෙනව්වා. ඔව්, මම දන්නවා නිතර දෙවේලෙ සාරි පොටවල්වලින් රැක් එකේ එල්ලිලා, උල් ස්ත්‍රී පාවහන්වල උදහසට ලක් වෙලා කෝච්චියෙන් වැඩට යන කෙනෙක් නම්, ඔයාට හිතෙයි මේ ගෑනිට පිස්සුඩ කොහේද කියල. ඒත් එහෙම කෙනෙක්ගෙන් වුණත් මම ඇහුවොත් එහෙනම් ඔය කෝච්චි ගමන වෙනුවට බස් එකක යන්න බලන්න කියල, ඒ කොයි කවුරුත් හැකිළෙන්නෙ හැකරැල්ලො වගේ. කෝච්චි ගමන් කියන්නේ හොඳට හෝ නරකට දෙකටම හරි "ආතල්" අත්දැකීමක්. සරලවම කිව්වොත් සෝ ශ්‍රී ලංකන් එක්ස්පීරියන්ස් එකක්.


Book title: සබරගමුව දුම්රිය (The Sabaragamuwa Railway) 

Author : Rasika Wickramanayake 

Available online  https://grantha.lk/


අපේ ගෙවල්වලට කිට්ටුම වේයන්ගොඩ ස්ටේශන් එකට යන්න මට බස් දෙකක කෙටි දුරවල් දෙකක් යන්න ඕනෙ. ඒ කාලෙ ඉස්කෝලේ ශිෂ්‍ය නායක පට්ටම් අරගෙන පිදුරු අදින කාලෙ. ඉතින් අපි පාන්දර පහමාරෙ කෝච්ච්යට දුවන්නෙ ඒක ඉස්කූල් වෑන් එකට කලින් මරදානට ලෑන්ඩ් කරන හින්දා. පාන්දරම ඉස්කෝලෙ ගියා විතරක් නෙමෙයි, ආෆ්ටර් ස්කූල් ඉඳලා මරදානෙන් බැහැලා එතන ඉඳන් ස්ටේශන් එකට අපි දිව්වෙ ඔලිම්පික් දුවන්නැහේ. ඒ දිව්වෙ හයට මහව කෝච්චිය අල්ලගන්න. මහව කෝච්චිය කියන්නෙ වෙනම උප සංස්කෘතියක්ය කියන්න අපි තේරුම් ගත්තෙ ඒ කාලෙමයි. කට්ටියක් ගායනාව, තව කට්ටියක් සූදුව, තවත් කට්ටිය වාද ව්වාද, මුල්ලක දෙකක ප්‍රේම ජවනිකා, පස්චාත්භාග මිරිකීම්, තෙරපීම්, පවුල්කෑම් යනාදී එකීමෙකීනොකී සංසිද්ධීන් සියල්ල එකවර සිදුවෙන ගමනාගමන සංස්කෘතියක්.

අම්මලා ද තාත්තලා ද රජයේ සේවකයන් වීමේ ආනුභාවයෙන් වොරන්ට්ස්වලින් විවිධ වර්ගයේ සුවිසැරි යාමේ කලාව ද කුඩා කාලේ පටන් මට ලැබුණු වරප්‍රසාදයක්. ඒ ගිය ගමන්වලින් සුන්දරම ගමන කොළ පාට, සුදු පාට ගාපු, මෝස්තර තිබුණු නිල් පාට වෙල්වට් කවරවලින් හැඩවුණු කැරකෙන ආසන තිබුණු "හිතාචි කෝච්චියෙන්" ලෝකාන්තයට ගිය  ගමන. අද රැල්ලට ඇල්ල යනවා වගේ ඒ කාලෙ මේ හිතාචි කෝච්චියේ ගමන හරිම ජනප්‍රියයි. මට තාමත් මතකයි ඔන්න පට්ටිපොළ, ඔන්න ඉදල්ගසින්න කියලා අපේ අම්මා මට ගමන් විස්තර කියනවා. ඒ මතකය කොයිතරම්ද කිව්වොත් හිතාචි කෝච්චියෙන් නැගපු බැහැපු හැටි පවා තවම මතකයි. 

ඉතින් මේ සේරම නොස්ටැල්ජික කෝච්චි මතක මාව පෙළන්න ගන්නේ රසිකගේ සබරගමුව දුම්රිය කියන හුරුබුහුටි පොත කියවන අතරේ. කෝච්චියට වෙළඳාමේ එන කඩලකාරයින්, වඩේකාරයින්, සිංදු කියන්න පුළුවන් ගායකයො, සිංදු කියන්න බැරි ගායකයො, තෙල්බේත් විකුණන අය, ලිතයි පොතයි බෝධිපූජා කවි විකුණන අය, පින්තූර සීයයි, ලංකාවෙ සිතියමයි, තුන්සීයට ළමා පොත් පහයි, ලොවෙත් නැති සාමාන්‍ය දැනුම පොතුයි, ඔබ චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන්න පුහුණු කරවන පොත් කඩ්ඩෙන්ම ප්‍රමෝට් කරන මොඩර්නයිස්ඩ් විකුණුම්කරුවොයි ඇවිත් මගීන්ට කරදර කරනවා වගේ, මේ දුම්රිය මතක පොත කියවන පිටුවක් පිටුවක් ගානේ කෑකෝගහමින් මගෙ හිස වටා බමණය වුණා. ඒ දැනුණ හැඟීම ඉස්කෝලෙ කාලෙ ඊයම් කොළෙන් ඔතපු අයිස් චොක්ස් කනකොට දැණුනා වගේ හර්‍රිම තෘප්තකර ආස්වාදයක්. 

යාළුවෙක් නෙමෙයි සක්කරයගෙ පුතා වයිමා පොතක් ලිව්වත්, කික් එකක්, ඒ කියන්නේ ඒ පොතෙන් මාව කුමන හෝ ආකාරයක හැඟුම්-සරතැසක ගිල්වන්නේ නැතිව මට පොතක් පිළිබඳව අදහසක් බෙදාගන්න බැහැ. පොතක අර පිටුවේ ඇති මේ වාක්‍ය සාහිත්‍යයේ හයිපර්-ඩොග්මැටික් ඌනතාංශයේ කෙළවර දක්වා ගෙනගොස් කැටිවැම්පස් ද්‍රෝණියෙන් මූදට ගෙනගියා වගේ විචාර ලියන්න  මට කොහෙත්ම හැකියාවක් නැහැ. ඒ නිසා ඒ පොතෙන් මාව සමස්ත ලෙස කෙතරම් කළඹන්නේ ද, ලිවීමට, ඒ ගැන අදහසක් ප්‍රකාශ කිරීමට පොළඹවන්නේ ද, සරලවම ඒක මොනතරම් මෝහනයකට මාව හසු කරගන්නවා ද කියන එක හරිම වැදගත්. රසිකගේ සබරගමුව දුම් රිය  කියන්නේ ඇකඩෙමික ආරයේ පර්යේෂණාත්මක ලිවීමක් නිසා ඒ වගේ හැඟුම් කැළඹීමක් සිදුවේවිය යන්න අනපේක්ෂිතයක් වුණා. ඒත් පෙරවදනේම ලේඛකයා මෙන්න මෙහෙම කියනවා:

"සබරගමුවේ පුංචි කෝච්චිය මගේ හදවත සොරා ගත්තී, ඈ අප හැර නික්ම ගොස් වසර හතකට පසුව, 1984 වසරේදීය. එවකට මා සය වියැති කොලුවෙකි. මගේ මවගේ මුල් නිවස පිහිටි අයගමට මාවත වැටී තිබුණේ රත්නපුර ලංගම බස් නැවතුම්පළ හරහාය. එකල ලංගම බස් නැවතුම්පළ යනු දුම්රිය අත්හැර ගොස් තිබූ රත්නපුර දුම්රිය පළයි. දුම්රියත්, රේල් පීලිත් හැර අන් සියල්ල එහි විය. ලී වඩිම්බු වහල සහිත දුම්රිය වේදිකාව, වසා දැමූ බඩු ගබඩාව, නඩත්තු මඩුව, දිය කුලුන ආදිය එලෙසින්ම විය. අත්හැර දැමූ ගල් අඟුරු හෝ වෙනත් කළු පැහැති ගල් ගොඩක්ද මගේ මතකයේ ඇත. එම ගොඩනැගිලි එසේම තිබියදී දුම්රිය පමණක් නොමැති වීම මගේ කුඩා සිත සසල කළ සිදුවීමක් විය.

අන්න එතනින්ම මට දැනෙනවා මේක මේ පර්‍රයේෂණාත්මක ලියවිල්ලක් වුණත් මේක ඇත්තටම එක්තරා නවයොවුන්-ප්‍රේමයක් කියලා. ඉතින් මට මතක් වෙනවා ජේම්ස් ජොයිස්ගේ ඇරබි කෙටිකතාවේ කතා නායක වූ සිය යහළුවාගේ අක්කාට ප්‍රේම කළ නව යොවුන් ඉස්කෝල කොලුවාව. ඔව්, මට මතක් වෙනවා යුධ කාස්ටක අව්වේ මලීනාට ප්‍රේම කළ රෙනාටෝ නම් කොලුවාව. සබරගමුව දුම්රිය පිළිබඳව රසිකගේ හිතේ පහළ වුණු නවයොවුන් ප්‍රේමය තමයි මේ දැන් මැදිවියට පැමිණීමෙන් අනතුරුව වඩා විධග්ද ස්වරූපයෙන් පොතක් ලෙස එළිදැකලා තියෙන්නෙ. ඒක හරිම අපූර්වයි. හරිම ආදරණීයයි. මෙතනින්ම තමයි මේ පොත මගේ දුම්රිය මතක කිතිකවන්න ගන්නෙ. ඕනෑම ලිවීමක, ඇකඩෙමික වේවා ෆික්ශන් වේවා, ඒ හැම ලිවීමකම පණ ගැහෙන, මානවීය නිලය (Human Element) තමයි එය රසවත් සහ වැදගත් කරන්නෙ. සබරගමුව දුම්රිය අපේ හදවත් ආමාන තරයේ අල්වා ගන්නේ අපේ නොස්ටැලික අහුමුලු අවුස්සමින්.

රසික මගේ හිතවත් මිත්‍රය, සහසක් අභියෝග මැද සබරගමුව දුම්රිය ලියා ඔබ අපේ ශාස්ත්‍රීය ලිවීමට එකතු කළ මේ වස්තුවට හිත පත්ලෙන්ම ස්තූතිය. 

මේ පින්තූරුව ගත්තේ ඇබිත්තන් යුධ රැජිණට හාහාපුරා කියා කෝච්චි පෙන්වීමට සමඟ-කැටුව ගිය මොහොතේදීය. 

ඉතින් ඔබට ද මට ද තව බොහෝ අයට ද දුම්රිය ප්‍රේමයක්මය!

 


Sunday, January 7, 2024

හෝබෝ ටික්කාගේ කාරුණික නිවේදනය !

ඉඳහිට බ්ලොග් ලිවීමේ කලාවේ පිකාසිනිය වන හොබෝ ටික්කා හා හා පුරා කියා 2024 වසරට අප්ඩේට් එකක් ලියන්නේ කාලාන්තරාවේ ආගමනය ගැනය. අලුතින් ඉංගිරිස් කවි පොතක් ද ප්‍රකාශනය කර ඇතත් ඒ ගැන වෙනම පෝස්ටුවක් ලියන්නට සිතුවෙමි. පහුගිය පැන්ඩෙමික් සමයේ පටන් එහෙටමෙහෙට වෙමින් ලියූ කාල විද්‍යා ප්‍රබන්ධය කාලාන්තරාව නමින් එළි දකින්නේ අලුත් මුහුණුවරකිනි. කතාන්තරය පිළිබඳව යම් අදහසක් ගැනීමට කතාවේ කොටස් කිහිපයක් මේ බ්ලොග් පිටුවේම එල්ලූ පරිදි එසේම තිබේ. පහළින් ඇත්තේ කොළඹ ජර්නලය සමඟ කාලාන්තරාව පිළිබඳ සිදු කළ සාකච්ඡාවකි.  




ලියන්න හිතුවෙ කෙටි චිත්‍රපටියක්, නමුත් ලිව්වෙ විද්‍යා ප්‍රබන්ධයක්

කාලාන්තරාව ඔබ ලියපු පළවෙනි විද්‍යා ප්‍රබන්ධය. විද්‍යා ප්‍රබන්ධ කියවන්න පාඨකයො උනන්දුයි කියලා ඔබ හිතනවද?

ඔව්, මම හිතනවා වයස් බේදයකින් තොරව විද්‍යා ප්‍රබන්ධ කියවන්න ඉතාම උනන්දු පාඨක පිරිසක් අපට ඉන්නවා කියලා. ඒ වගේම ඉතාම දක්ෂ විද්‍යා ප්‍රබන්ධ ලේඛකයින් පිරිසකුත් බිහිවෙමින් පවතිනවා. අපේ විද්‍යා ප්‍රබන්ධ පාඨකයින්ට තියෙන්නේ නිකම්ම උනන්දුවක් නෙවෙයි, එයාලා එක්තරා විදිහක විශේෂීකරණයකුත් වෙලා තියෙනවා. එයාලා විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය පිළිබඳ හැදෑරීමක් කරන්නත් පෙළඹිලා තියෙනවා. එයාලා ලංකාවේ පළවෙන විද්‍යා ප්‍රබන්ධ ගැන හොයනවා, කතා කරනවා, රසාස්වාදය කරනවා වගේම අනෙක් විද්‍යා ප්‍රබන්ධ ලෝලීන්ව ඒ පොත් ගැන දැනුම්වත් කරනවා. මේක මම හිතනවා ඉතාම ධනාත්මක ප්‍රවණතාවක්. මේ ප්‍රවණතාව නිසා මම හිතනවා අපේ සිංහල සාහිත්‍යට බද්ධව අලුත්, ස්ථාවර ෂානරයක අඩිතාලම වැටෙනවා කියලා.

ඔබ කිව්වා මේ ‘කාලාන්තරාව’ ලිව්වෙ කොරෝනා කාලෙ ගෙදර ඉන්නකොට කියලා. ඒ වගේ දුෂ්කර වගේම පීඩා සහිත කාලෙක ලියන එක ගැන මොකක්ද කියන්න තියෙන්නෙ?

ඇත්තටම කාලාන්තරාව ලියවෙන්නෙ පැන්ඩෙමික ආවේශයකින්. ඒක ලියවෙන්න පටන්ගන්නෙ ලාංකික-දිස්තෝපීය රංගතල පසුබිමක් පාදක කරගන්න කෙටිකතාවක් විදිහට. මේ කතාවට මූලික වස්තු බීජය මගෙ හිතට එන්නෙ පැන්ඩෙමික් කාලයට කලින්, සයිෆයි කෙටි චිත්‍රපටයක් සඳහා. නමුත් පැන්ඩෙමික් සමය මගේ මේ ලිවීමට දරුණු ලෙස බලපෑමක් කරනවා. සරලවම කතාව කණපිට හරවනවා. කතාවේ තානයට, හැඩයට, චරිතවලට වගේ හැම ඉසව්වකටම ඒ බලපෑම එල්ල වෙන්නෙ ඉන්දියාවේ මුම්බායි නගරය ගිලගන්න කළු,දුම් වළාව වගේ. ලොක්ඩවුන් එක නිසා සීමා කෙරුණු සංචරණය, කොරෝනා මරණ සංඛ්‍යා වාර්තාවන්, මානසික පීඩන, නෂ්ටාපේක්ෂාවන් ආදී සියලු ඛේදසහගත අත්දැකීම් කාලාන්තරාවේ ගලායාමට දැඩිව බලපානවා. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි කෙටිකතාවක ඉඳන් සයිෆයි නොවෙලාවක් ප්‍රමාණයට මේ කතාන්තරය ගොඩනැගෙන්නෙ.

For the full article : 

https://colombojournal.lk/%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%99-%e0%b6%9a%e0%b7%99%e0%b6%a7%e0%b7%92-%e0%b6%a0%e0%b7%92%e0%b6%ad%e0%b7%8a/?fbclid=IwAR28KfOWl8a12nTKtWkuYceR9fH4Ds4Zfvc32nC06CX82Sy4cqPd0TdcMIA

Sunday, November 14, 2021

විද්‍යා ප්‍රබන්ධ | කාල | 04 කොටස | අමාලි අනුපමා මල්ලවආරච්චි | දිනමිණ ද්වාර


 


*පැන්ඩෙමික ආවේශයෙන් ලියවුණු හෝබෝ ටික්කාගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය "කාල"

තාරා විස්මයෙන් දෙබැම ඉහළට එසැවූවාය. “මට නම් හිතෙන්නෙ මෙච්චර කාලයක් ඔයා ඉඳලා තියෙන්නෙ ශිශිරතාරක නින්දක. මෙයාව දන්නෙ නැද්ද? මෙයා තමයි සුපිරි විද්‍යාඥ බ්‍රයන් කොරෙයා. දශක ගානක් තිස්සේ ඌරන්ගෙන්, වවුලන්ගෙන් බෝවෙන කොරෝනා වයිරස්වලට ස්ථීර ඖෂධයක් හොයා ගත්තු කෙනා.”

“ඉතින්?”

“ඉතින් එයා අන්තිමේදී අපට හෙම්බිරිස්සාවක්වත් හැදෙන එක සම්පූර්ණයෙන්ම නතර වෙන විදිහේ වැක්සීන් එකක් හැදුවා.... එයා බොහොම සංතෝශයෙන් මේ වැක්සීන් එක ලෝකයටම නොමිලේ බෙදා දෙන්නත් කැමැත්ත දුන්නා. වැක්සීන් එකේ අතුරුපල එන්න පටන් ගත්තෙ අවුරුදු අටක් දහයක් ගියාට පස්සෙ...”

“ඒ කියන්නෙ?” කාල හූමිටි අතරින් ඇසුවේය.

“ඒ වැක්සීන් එක නිසා හෙම්බිරිස්සාවක්වත් නොහැදුණු සමහර මිනිස්සු අන්තිමට අමුතු විදිහේ රෝගයකින් මැරෙන්න පටන් ගත්තා. සමහරු කියන විදිහට නම් වැක්සීන් එකට ඒ මිනිස්සුන්ගෙ ශරීර ඇතුළෙන්ම ප්‍රතිරෝධයක් නිර්මාණය වුණාලු. ඒ ප්‍රතිරෝධයෙන් එකපාරම එයාලගෙ පෙණහලු අක්‍රීය වෙලා ගල් ගැහෙනවාලු.”

“ඊට පස්සෙ?” කාල විමසුවේ තාරාගේ හැකුළුණු දෙබැම නොතකා හරිමිනි.

“ඊට පස්සෙ මේ අය සොම්බි වුණාලු. මුලින් මුලින් රටවල් හුඟක් මේ සොම්බි ලෙඩ්ඩු හැංගුවා. ලෝක සෞඛ්‍ය සංවිධානෙන් අපට අනතුරු ඇඟවීම එනකොට අපි ප්‍රමාද වැඩියි... මං දන්නෑ ඇයි මං ඔයාට මේ කතාව කියන්නෙ කියලා.... මෙහේ ඉන්න ඕනෙම පොඩි ළමයෙක් වුණත් ඔය කතාව දන්නවා.”

“ඔහ්... සමහර වෙලාවට මගේ මතකය ටිකක් අවුල් යනවා...” කාල ඉක්මනින්ම බොරුවක් ගෙතුවේය. “ඔයා මේ මනුස්සයා දිහා රවාගෙන බලපු විදිහට මං බය වුණා. මං හිතුවෙ ඔයා අඳුනන කෙනෙක් කියලයි.”

තාරා ඇගේ කුණාටු වැනි අළු පැහැති ඇස්වලින් කාලට එරෙව්වාය. “මම? මං ඒ මිනිහව අඳුනන්නෙ නෑ. මට එයාව අඳුන ගන්න ඇති වුවමනාවකුත් නෑ.”

තාරා එසේ කියාගෙනම මාකට්ටුවේ කෙළවර පිහිටි රාක්ක වෙත සීරුවට ගමන් කළාය.

තරුණිය තමා සමඟ කේන්ති ගත්තේ මන්දැයි කාලට තේරුම් ගැනීමට අපහසු විය. ගැටලුව වූයේ ඒ මොහොත වන විට කාල හට හරියට තේරුම් ගත නොහැකි සිද්ධි ගණනාවක් ඔහු වටා සිදු වෙමින් පැවතීමයි. සඟරාවේ හුන් සුපිරි විද්‍යාඥ බ්‍රයන් කොරෙයා දීප්තිමත් ඥානාන්විත දෑසින් කාල දෙස උපේක්ෂා සහගතව බලා සිටියේය. සියතෙහි වූ සඟරාව බිමට විසි කළ කාල එවැනි සඟරා දුසිම් කිහිපයක්ම පාගාගෙන මාකට්ටුවේ වම් බිත්තියට සවි කර තිබූ හුරුබුහුටි දොර ඉදිරියෙහි සිට ගත්තේය. රතු පැහැය පින්තාරු කළ ඒ හදිසි පිටවුම් දොර ලෝහ සහ දැල්වලින් නිමවී තිබිණි. හාත්පස වූ නිහැඬියාව වේගයෙන් පැතිරෙන ගන්ධයක් සේ අවකාශය යටත් කරගෙන තිබිණි. එහි වූයේ කෘත්‍රිම බවකි. ඉටි කොළයකින් තම මුහුණ ඔතනවා වැනි හැඟීමකින් කාල පෙළෙන්නට වූයේය. හුස්ම හිරවෙන්නට මත්තෙන් ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණීමට ඔහුට වුවමනා විය.

“තාරා.... අපි දැන් මේක ඇතුළේ හිටියා ඇති. අපි යමු.” කාල කීවේය. සිය කටහඬ ශාලාවේ හාත්පස දෝංකාර දෙනු හේ අසා සිටියේය. නමුත් තාරාගෙන් පිළිතුරක් ලැබුණේ නැත.

“තාරා?” එකවරම කාලගේ සකල ඉන්ද්‍රීන්ම ක්ෂණික උත්තේජනයකින් ක්‍රියාත්මක වන්නට ගත්තේය. ඉන් ඔහුගේ හුස්ම ද උගුර ද සිර වී ගෙන ආ සෙයකි. “තාරා! තාරා!” කාල පහත් හඬින් කතා කළේ ඉවෙන් මෙනි. එහෙත් කිසිවෙකුත් ඔහුට පිළිතුරු දුන්නේ නැත. කාල වහා මොබයිලයේ විදුලි ආලෝකය තාරා හුන් දෙසට එල්ල කළේය. අඳුර අතරින් කාලට දකිනට ලැබුණේ තුනී සුදු කඩදාසියක් තරම් සුදුමැලි වී ගිය තාරාගේ මුහුණයි. ඕ හුන් තැනම නොසෙල්වී සිටියාය. ඇගේ දෑස්, ලොඳවලින් පිටතට පනින්න තරම් විශාල වී ගොස්ය. ඈ කිටි කිටි ගා වෙව්ලන හඬෙහි තරංග සිය පිටකොන්ද ඔස්සේ ඉහළ නැඟෙන බවක් කාලට දැනුණි. තාරාගේ සුන්දර අළු පැහැති දෑස් සන්ත්‍රාසයෙන් ඇලළී ගොස්ය.

කාල තාරාගේ උරහිසින් එපිට බැලුවේය. දුසිමක් පමණ සොම්බීන් තාරා පසුපසින් නැඟී සිටියෝය. උන්ගේ ආත්ම රහිත දෑස් තාරා වෙත යොමු වී තිබිණි. උන්ගෙන් පිට වුණු කුණු මස් ගඳ කාලගේ නාසා පුටු අතරින් ගොස් උගුරේ සිර විය. සොම්බින් ගෙන් ඉතා පහත්, කනට ඇසෙන නෑසෙන තරමේ කෙඳරිලි ගෙරවුමක් නැගුණි. එකෙකු හෝ දෙදෙනකු තාරා වෙතින් දෑස් ඉවතට ගෙන කාල දෙස බලන්නට වූහ. කහ සහ කොළ ගැහුණු ඉදිමුණු මුහුණක් සහිත සොම්බියකුත්, මූණෙන් පදාසයක්ම ගැලවී එල්ලෙමින් තිබූ සොම්බියකුත් තාරාගේ ගෙල දෙපසට ඉව අල්ලමින් සිටියහ. උන් හෘදය ස්පන්දනයටත්, රුධිර නාල ඔස්සේ ලේ ගමන් කරනවාටත් සංවේදී බවක් පෙනිණි. තාරාගේ හුස්ම ‘කීස් කීස්’ කියා නිහඬියාව අතරින් නැඟී ආයේය.

‘මේකි අපේ... මේකි අපේ....’ සොම්බි මුහුණුවලින් පිළිබිඹු විය.

“තාරා...” කාල මිමිණුවේය.

“කාල....” තාරා අවසානයේදී කතා කළාය. “ඔයා පොරොන්දු වුණා....”

කාලගේ මුහුණ ඔස්සේ දහදිය මුගුරු කඩා වැටෙන්නට විය. හේ වෙව්ලන සුරතින් කබා සාක්කුවේ බහාලූ රිවෝල්වරය ගත්තේය.

“කාල...ඔයා පොරොන්දු වුණා... ඔයා පොරොන්දු වුණා..” තාරාගේ ස්වරය එන්න එන්නම දුබලය. කාලගේ මනස සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ගොස් තිබිණි. හේ රිවොල්වරය තාරා දෙසට එල්ල කළේය. දෑත් නොසෙල්වී තබා ගන්නට කාල යත්න දැරූවේය.

තමා කෙලෙස මේ තරුණියට වෙඩි තබන්නට දැයි කාල කල්පනා කළේය. “මේක අසාධාරණ ඉල්ලීමක් තාරා.... ඔයා හදන්නෙ මාව මිනීමරුවෙක් කරන්න... මට කවදාවත් මේ මොහොත මගේ ඔළුවෙන් අයින් කරන්න බැරි වේවි...”

“බලාගෙන ඉන්න එපා කාල... ඇස් දෙක පියාගෙන මේක ඉවරයක් කරලා දාන්න. මට මුං වගේ ජීවත් වෙන්න බෑ...ප්ලීස්..” තාරාගේ දෙනෙතින් කඳුළු කඩා වැටෙමින් තිබුණ ද ඇගේ ස්වරය ස්ථීරය.

තාරා ගැස්සුණාය. ඇගේ පළමු සෙලවීමේදීම සොම්බීන් ඈ වෙත කඩා පිනූයේ තාරාගේ විලාපයෙන් ගොඩනැගිල්ල හෙල්ලී ගියේය.

“වෙඩි තියපන් මිනිහෝ!” ඈ විලාප දුන්නාය. තාරාගේ දෙකකුලෙන් අල්ලා ගත් සොම්බීන් ඇයව ගොඩනැගිල්ලේ අඳුර වෙත ඇදගෙන යන දෙස කාල බලා සිටියේය. රිවෝල්වරයේ කොකා ගැස්සීමට කාල හට ආත්ම ශක්තියක් නොවීය. තාරා අතුරුදන් වූ ඉසව්ව පුරුදු පරිදි නිසොල්මන් විය.

“දුවපන්... ඊළඟට උන් එන්නෙ උඹව අල්ලගන්න... දුවපන්...” සිහිනයෙන් මෙන් කාලට ඇසුණේ තමාගේ ඇතුළාන්ත කටහඬ නොව මම්මාගේ කෝප මිශ්‍රිත ස්වරයයි. ගල් ගැසී තිබූ මාංස පේශීන් ද හිඳී ගොස් තිබූ ඇඩ්‍රිනලීන් ද කම්පනය වූ ස්නායු ද වේල්ලක් බිඳ නැගෙන ජල කදම්බයක් සේ ක්‍රියාකාරී වූයේ මම්මාගේ හඬටය. තමා වෙත එන සොම්බීන් දෙසට අසල වූ රාක්කයක් පෙරළූ කාල රතු පැහැ හදිසි පිටවීමේ දොර තුළින් පැන එහි අගුළු ලූවේය. දරාගත නොහැකි කම්පනයෙන් ඇති වූ ක්ලාන්ත බව මඟහැර ගැනීමට කාල මඳක් දොරට හේත්තු වී හති හැලුවේය. ඉහළට දිවෙන පඩිපෙළ, රතු බල්බවල ආලෝකයෙන් දිලිසුණි. කාල වරකට පඩි තුන බැගින් පඩිපෙළ ඔස්සේ ඉහළට නැංගේය. පඩිපෙළ දිවුණේ රිදී පැහැ ආලෝකයක් වැටුණු වීදුරු දොරක් වෙතය. මුහුණේ ද කටේ ද පැටළුණු මකුළු දැලක් කේන්තියෙන් පිස දමූ කාල වීදුරු දොරෙන් ඊළඟ මාලයට පිවිසියේය.

 

මතු සම්බන්ධයි

 

අමාලි අනුපමා මල්ලවආරච්චි



Sunday, November 7, 2021

විද්‍යා ප්‍රබන්ධ | කාල | 03 කොටස | අමාලි අනුපමා මල්ලවආරච්චි | දිනමිණ ද්වාර

 පැන්ඩෙමික ආවේශයෙන් ලියවුණු හෝබෝ ටික්කාගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය "කාල" 


 

කාල කිසිවක් නොකියා තරුණිය පසුපස ගමන් කළේය. මේ කිසි ලෙසකත් චීන-ලන්තෑරුම් වීදිය නොවන වග කාලට විශ්වාසය. කොටින්ම කිවහොත් මේ සීරෝ 100 ප්‍රදේශය ද විය නොහැකිය.

“මං තාරා...” තරුණිය හදිසියේ මතක් වූවා මෙන් කාල වෙත සුරත පෑවාය. “මාව බේරගත්තට ස්තූතියි.”

තමා පෙරළා දිය යුතු පිළිතුර කුමක් දැයි සිතාගත නුහුනු කාල බෙල්ල කසමින් හිස වැනුවේය.

“මං.... මං කාල.”

“මේ එළියට මට කල්පනා වුණේ. ඔයාව කොහේදි හරි දැකලා තියෙනවා වගේ මතකයක් තියෙනවා...” තාරා දෑස් හීන් කරමින් කාල දෙස බැලුවාය.

“මාව....” කාල මිමිණුවේය. සිය මිතුරන් දැන් තමාට හොඳ හැටියට දෙහි කපනවා ඇත. සමහර විට කවුරුන් හෝ තමාව අසමින් මම්මාට දුරකතන ඇමතුමක් දී තිබෙන්න පුළුවන.

“අහ්හ්... බෑන්ඩ් එකක්...ඉන්න බලන්න...අර මොකද්ද....” තරුණිය නිකට කැසුවාය.

“කර්ණ?” කාල කිව්වේ අවිශ්වාසයෙනි. තවමත් ඉතා පොඩියට කරගෙන යන හෙවි-මෙට්ල් සංගීත කණ්ඩායම මෙවැනි තරුණියන් අතර ජනප්‍රිය බව හිතලුවකි.

“අන්න හරි! කර්ණ! එතකොට කර්ණ එකේ කාල ඔයාද? දන්නවද, මගේ ඥාති සහෝදරයෙක් ඒ බෑන්ඩ් එකට වහ වැටිලා හිටියා. මට එයාගෙ පෝස්ටර් එකතුව හැම වෙලාවෙම පෙන්නනවා. ඒකයි මට එහෙනම් ඔයාව....” කෙළවරින් ඉහළට එසැවුණු තරුණියගේ මුව හදිසියේම කඩා වැටුණි. “ඒත්…… ඒත් ඒ පින්තූරවල ඔයා ඔයිට වඩා වැඩිමල් පෙනුමයිනෙ!”

“මං....මං... හිතන්නේ ඔයාට පැටලිලා.” කාල ඉක්මනින් කියා දැමුවේය.

“හ්ම්....” ඔවුන් ගමන් කරමින් තිබූ වීදියේ අත්හැර දමන ලද සුපර් මාර්කට් එකක් තාරාගේ අවධානය කාල වෙතින් ඉවතට ඇද ගැනීමට සමර්ථ විය. “අන්න...අපි යමු බලන්න කන්න දෙයක් තියේවිද කියලා... එහෙම වුණොත් අපට කොහේ හරි ටික දවසක් හැංගිලා ඉන්න පුළුවන්. උන් එළි බහින්නෙත් කෑම හොයාගෙන, අපි එළි බහින්නෙත් කෑම හොයාගෙන.”

කාල නිහඬවම තාරා පසුපස ඇදුණේය. ඇය තමාට වඩා උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ අවබෝධයක් තිබිණි. ඕ සොම්බින්ගේ දුර්වලතා දන්නීය. මෙහි මුල මැද අග ගලපා ගන්නා තෙක් තමා තාරා සමඟ රැඳිය යුතු බව කාල තීරණය කර තිබිණි. එතෙක් කාලයක් මම්මාට නිවසෙහි ආරක්ෂාකාරීව විසිය හැකිය. කාලට හැර ඕ අන් කිසිවකුට නිවෙසේ දොර විවෘත නොකළ අතර, ග්‍රෑන්ඩ් ඉටර්නල්හි සිය වැනි තට්ටුව ආක්‍රමණය කිරීම සොම්බින්ට ද කම්මැලි හිතෙන කටයුත්තක් වනු නිසැකය.

සුපර් මාකට්ටුව අඳුරේ ගිලී ගොස්ය.

තැනින් තැන වූ සූර්යය බල ආලෝක පහන්වල මන්දාලෝකයෙන් එහි වූ බඩු රාක්ක පෙනුණේ හිස් වීථි ලෙසටය. තාරාගේ අළු පැහැති කුණාටු වැනි දෑසත්, නිකටෙහි වූ උපන් ලපයත්, කෙටි අක්බඹරු කෙසුත් ඇගේ අනන්‍යතාව ඔප් නැංවූයේය. ඕ බඳ පටියේ රඳවා තිබූ විදුලි පන්දමක් ද රිවෝල්වරයක් ද පිටතට ඇද ගත්තාය.

“ආ...මේක ගන්න.” තාරා කීවේ ඇගේ අතෙහි වූ රිවෝල්වරය කාල වෙත විසි කරමිනි.

“ඒත් අර වෙලාවෙ ඇයි ඔයා රිවොල්වර් එක පාවිච්චි නොකළෙ?” කාලට ඇසුණේ ඉබේටමය. ඔහු රයිෆලය අල්ලාගෙන අත්ල මත තබා සමබරතාව පිරික්සා බැලුවේය.

“කී දෙනෙකුට කියලා ඕකෙන් වෙඩි තියන්න ද කාල? මට ඉතිරි වෙලා තියෙන්නෙ බුලට් එකක් විතරයි. මං ඕක තියාගෙන ඉන්නෙ ඒකට නෙමෙයි...” විදුලි පන්දම මාකට්ටුවේ ඈත කෙළවරට එල්ල කල තාරා තවමත් මංකොල්ල කෑමට බඳුන් නොවූ භාණ්ඩ ඇත්දැයි පිරික්සා බැලුවාය.

“එහෙනම්?”

“මාව සොම්බින්ට අහුවුණොත් මං උන්ගෙ එකෙක් වෙන්න කලින් වෙඩි තියාගෙන මැරෙන්න...” තාරා මඳකට දෑස් කාල වෙත රැඳෙව්වාය. ඈ සුන්දරය, තමා ඈ සිප ගත යුතුය, මෙය තමාගේ ඇයගේ පළමු සහ අවසාන සිප ගැනීම වනු ඇත, කාලට සිතුණි. තාරාගේ මුහුණ භයංකාර ලෙස කාලගේ මුහුණට ළංව තිබිණි. නමුත් තාරා නිහඬතාව බින්ඳාය.

“මට ඒක කරන්න බෑ...” ඕ මිමිණුවාය. මන්දාලෝකයේ වුව ද කන් රත් වී මුහුණ රත් පැහැයක් ගනු කාලට දැනුණි. “මං...මං ඔයාට බල කළේ නැහැ....ඒක නිකම්ම...මං හිතන්නේ...” කාල ගොත ගැසුවේය.

“නැහැ! නැහැ!” තාරා හිස මඳක් ඇල කර සිනාසුණාය. “මං කිව්වෙ හාද්ද ගැන නෙමෙයි. මං කිව්වෙ වෙඩි තියා ගන්න එක ගැන...”

කාලට සැනසුම් සුසුමක් හෙළුණේ ඉබේටමය.

“මට බෑ මගේම ඔළුවට වෙඩි තියාගන්න. මං ඒ වගේ බයගුල්ලෙක්. මේ ඔක්කොම දේවල් නොපිට පෙරළෙන්න පටන් ගත්තු දවසේ මම උත්සාහ කළා. ඒත් මට කොකා ඇදගන්න තරම් ආත්ම ශක්තියක් තිබ්බෙ නෑ. මං ඔයාට රිවෝල්වර් එක දුන්නෙ ඒකයි. මට පොරොන්දු වෙන්න...” තාරා කුඩා අත්ල කාල වෙත පෑවේය.

“මං...මං... මොකද්ද පොරොන්දු වෙන්න...” තමා අද දිනයේ වැඩි හරියක් ගොතගසමින් සිටි බව කාල තමාටම කියා ගත්තේය.

“මට පොරොන්දු වෙන්න සොම්බින්ට මාව අහු වුණොත් ඔයා මට වෙඩි තියලා දානවා කියලා... ඔළුවටම.” ඇගේ ස්වරය අයිස් මෙන් හැඟීම් විරහිත වූයේය.

කාලට තාරාට පෙරළා පිළිතුරක් දීමට අවැසි වුව ද එයට ඉඩක් නොතබමින් තාරා ඉවත හැරුණාය. ‘සරස්’ කියා නැඟුණු හඬකින් කාල මොහොතකට අප්‍රාණික විය. නමුත් ඒ කිසිවක් තාරාගේ දෙපාවල ගැටෙන හඬකි. පහතට නැඹුරු වූ තාරා ඇගේ පය ගැටුණු සඟරාවක් අහුලා ගත්තාය.

“මේං ඉන්නවා මේ විනාසෙට මුල...” ඈ විදුලි පහනේ ආලෝකය සඟරාවේ මුල් කවරය වෙත එල්ල කරමින් කීවාය.

හැකිළී ගිය තරුණියගේ මුහුණ දෙස බලමින් කාල යළි මැගසීන මුල් කවරයේ හුන් මිනිසා දෙස බැලීය. ඔහුට වූයේ කෙට්ටු සුදුමැලි පෙනුමකි. තරුණියගේ මුහුණෙහි ගැවසෙමින් තිබූ කේන්තිය සුළුපටු බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඇය ඒ දෙස බලා සිටියේ ඇගේ පරම පෞද්ගලික සතුරා දෙස බලා සිටින්නාක් බඳුවය.

“කවුද මේ?”

 

 

මතු සම්බන්ධයි

 

අමාලි අනුපමා මල්ලවආරච්චි

 


 

 

Friday, October 22, 2021

විද්‍යා ප්‍රබන්ධ | කාල | 02 කොටස | අමාලි අනුපමා මල්ලවආරච්චි | දිනමිණ ද්වාර

 


අවසාන පඩි කිහිපය බහින විට හදිසියේම කිසිවක් මුහුණෙහි දැවටුණෙන් කාල දෑස් පියාගෙන මුහුණ පිස දැම්මේය. කැබලි කැබලි මුහුණ පුරා ඇලුණු එය මකුළු දැලකි. නාසය, කන සහ කෙස් අතර ද කබායේ ද පැටලී ඇලුණු මකුළු දැල ඉවත් කරමින්ම කාල බරැති දොර තල්ලු කළේය. කිසිවකු විසින් පාවිච්චි නොකරන හදිසි පිට වීමේ දොරටුව වේදනාත්මක හඬක් නංවමින් විවර වූයේය.

වෙනදාට කුඩා කහ පැහැති කුරුමිණි කුලී රථවලින්, වෙළෙන්දන්ගෙන්, පික්-පොකට්කරුවන්ගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් පිරී ගත් වීදිය සම්පූර්ණයෙන්ම හිස්ව තිබෙනු දැකීමෙන් කාල තිගැස්සුණේය. සති දෙකක් තිස්සේ ඇද හැලුණු වර්ෂාව ද සම්පූර්ණයෙන් නතර වී තිබිණි. තමා සිතුවාට වඩා හාත්පස කළුවර වැටී ඇත. නිවාඩු දිනයක පවා චීන-ලන්තෑරුම් වීදිය හිස් වන්නේ නැත. එතෙක් වේලා කිහිල්ලේ සිර කරගත් කුඩය ඉවත ලූ කාල රෙකෝඩින් ස්ටූඩියෝව වෙත යෑම සඳහා වීදියේ දකුණු කෙළවරින් දිවෙන කෙටි මාර්ගය දෙසට ඇවිද ගියේය. මොබයිලයෙන් ගිගුම් දෙන සංගීතය නතර කර දැමූ කාල තමා ඉදිරිපිට වූ ගොඩනැඟිල්ල සහ ඉන් ගැලවී බිමට එල්ලෙන දැවැන්ත ආලෝක තිරය දෙස සිය දෙබැම හකුළා බැලුවේය. මෙවැනි නමකින් යුත් ක්ලබ් එකක් හෝ මෙවැනි ගොඩනැඟිල්ලක් කාල මින් පෙර එම වීදියේ දැක තිබුණේ නැත. එල්ලෙමින් තිබූ පුවරුවේ වූ නියෝන් එළි නිවි නිවී පත්තු වූයේ මන්දගාමීවය. ඒ මන්ද චලිත කාලට සිහි කළේ මිනී රථයක ගමනයි. අහීමාන නිහැඬියාව කන් තුළ පිරෙන අතරේ කාලට නොදැනීම කෙළ ගිලුණි.

වියළි උණුසුම් වා තලය විනිවිද යමින් නැඟුණු විලාපයෙන් කාල වෙවුලුවේය. මොළයෙන් දෙපාවලට එවූ සංඥාව හුවමාරුවට පමා වූවා සේ ඔහු මොහොතක් ගල් ගැසුණි. ඊළඟ කෑගැසීමත් සමඟ කාල දුවන්නට වූයේය. ඉදිරියෙන් වමට වූ වීදිය මධ්‍යයේ තරුණියක් බිම වැටී දඟලමින් සිටියාය. පුද්ගලයන් තිදෙනකු විසින් ඇයව දෙකකුලෙන් ඇදගෙන යමින් සිටියේ ඒ අසල වූ විවරයකටය. එය කලකට පෙර දුරකතන රැහැන් ඇදීමට පාවිච්චි කළ උමඟකට දිවුණු පිවිසුමකි.

“ඒයි ඒයි, නවත්තපං!” කාල තරුණිය වෙතට දිවුවේ කෑගසමිනි. තරුණියගේ හිංසකයන් අතුරින් එකකු කාල වෙත හැරුණේය. තමා දුටු දෙයින් කාලගේ පිටකොන්ද හරහා ශීතල ඉරක් ඇඳී ගියේය.

කාල වෙත හැරුණු මිනිසාගේ මුහුණ මිනී ඔළුවක මෙන් සම කටුවලට ඇලී තිබිණි. දෑස්වල ජීවය හැර ගොස්ය. ඇඳුම් ඉරී වැරහැලිව එල්ලුණු අතර, ඔහු පාවහන් කිසිවක් පැලඳ සිටියේ නැත. කාලගේ කෑගැසීමට තරුණිය ඇදගෙන ගිය ඉතිරි දෙදෙනා ද කාල දෙස ඔළු නවමින් බලන්නට වූහ. කහ ගැහුණු සම, කුණු ඕජස්වලින් ගලන්නා වූ ගඳ කාලට දුන්නේ එකම එක අනතුරු හැඟවීමකි.

සොම්බි!

“මේක චිත්‍රපටියක සෙට් එකක්වත් ද....” කාලගේ සිත මොහොතකට කීවත් තරුණියගේ මුහුණෙහි වූ භීතිය දුටු මතින් හේ එම අදහස බැහැර කළේය. කෙතරම් හොඳ නිළියකටවත් මුහුණෙන් එතරම් හැඟීම් ප්‍රකාශ කිරීමට බැරිය. ඈ යටි උගුරෙන් කෙඳිරිගාමින් දැඟලූවාය.

තමා සිටින්නේ නිරායුධව යැයි කාලට සිහි වූයේ මෙතෙක් වේලා නතරව බලා හුන් සොම්බියා වෙව්ලමින් සහ නොන්ඩි ගසමින් තමා වෙත ඇවිද එන්නට පටන් ගත් විටය.

වටපිටාවේ ආධාරකයක් ලෙසට කිසිවක් ඇද්දැයි බැලූ විට රෙදි කැබැල්ලක් ඔතා තිබූ දිගු රිටක් වැනි යමක් බිම වැටී තිබෙණු කාල හට දකිනට ලැබුණි. එකත් එකටම එම ආයුධය අර තරුණියගේ විය යුතුය. කාල සොම්බියාට ඇස ගසාගෙනම දිගු රිට අතට ගත්තේය. කාලගේ නාසා පුඩු අතරට ඉන්ධන ගන්ධයක් රිංගා ගත්තේය.

“මේක අල්ලගන්න...” සොම්බින් සමඟ පොර බදමින් හුන් තරුණිය ලද ඇසිල්ල තුළ කාල වෙත යමක් විසි කළාය. ඈ ශූරය. සොම්බින් තිදෙනකුටවත් ඇය මෙල්ල කිරීම පහසු වූයේ නැත.

“ඉක්මනට!” ඕ කෑගැසුවාය.

කාල අතට ලැබී තිබුණේ ලයිටරයකි. හේ කළ යුතු දෙය පහසුවෙන්ම තේරුම් ගත්තේය. දැල්වුණු පන්දම අතින් ගත් කාල පළමු වැනි සොම්බියා වෙත කඩා පැන්නේය. මොහොතකින් ඌ අළු වී ගිය නිසා අනෙක් සොම්බින් දෙදෙනා ද දවා හළු කිරීමට කාල හට වැඩි මහන්සියක් දැරීමට සිදු වූයේ නැත. ගිනි ඇවුළුණු තැන උන් මටලු මෙන් ගිනි ගෙන දැවී ගියහ.

සොම්බි ග්‍රහණයෙන් මිදී හුන් දැරිය බිම දණ ගහගෙන හති හැලුවාය. “මං හිතුවා මං ඉවරයි කියලා...” ඕ වේගවත් හුස්ම අතුරින් කීවාය. ඈ තමාට වඩා වසර දහයකින් පමණ බාල එකියක විය යුතු යැයි පන්දම් එළියෙන් කාල තීරණය කළේය.

වෙව්ලමින් දණ ඇන තබා ගත් තරුණිය මහත් වෙහෙසක් දරමින් ඉවතට විසි වී තිබූ ලෝහ ලෝහ පියන විවර මුව වෙත තල්ලු කරමින් එය වසා දමන්නට උත්සාහ කළාය. සියත වූ ගිනි පන්දම තරුණිය අතට දුන් කාල වැර යොදා බරැති ලෝහ පියනෙන් විවරය වසා දැම්මේය.

“උන් එනවා.” තරුණිය කීවේ අපේක්ෂාභංග ස්වරයකිනි.

“කී දෙනෙක් ද?” තමාට අසන්නට බොහෝ ප්‍රශ්න වුව ද ඒ මොහොතේ වැදගත් වූයේ මෙවැනි මළ මිනී මේ නගරය පුරා තව කොපමණ සැරිසරන්නේ ද යන්න වග කාල දැනගෙන සිටියේය. “දහස් ගණනින්...” තරුණිය කියන්නේ නළල අත්ලෙහි රඳවමිනි. “වතුර තියනව ද? මං දවස් දෙකක් තිස්සේ උන් මඟ අරිමින් දුවනවා. අන්තිමට කෑවෙ කොයි වෙලාවේදිද කියන්න මට මතක නෑ...”

කාල වහ වහා කබා සාක්කු ඇවිස්සුවේය. ජලය වෙනුවට ශක්තිජනක පානයක් ද, ප්‍රෝටීන් බාර් එකක් ද පිටතට ඇදගත් හේ වහා එය දැරිය වෙත පෑවේය.

“දවස් දෙකක්?” ඔහු අසන්නේ දැරියට ශක්තිජනක පානයෙන් උගුරු කිහිපයක් බොන්න ඉඩ දීමෙන් අනතුරුවය.

“ඔව්, ඇයි ඔයා දන්නෙ නැද්ද? අන්තිමට වැටුණේ කලම්බො මෙට්‍රොපොලිටන් මිලිටරි ටවර් එක.”

කාලට තරුණිය කියන දේ පැහැදිලි නැත. ඊයේ ද පෙරේදා ද අම්මම්මා මහ හඬින් ප්‍රවෘත්ති ඇසූ බව කාලට හොඳටම විශ්වාසය. ඇයට සොම්බි ආක්‍රමණයක් තබා අලුතින් සොයා ගන්නා ලද කුරුමිණි විශේෂයක් හෝ මඟ හැරෙන්නේ නැත. “අපි යන්න ඕනෑ...” තරුණිය නැගිට ගත්තේ මහත් වෑයමකිනි. “මට ඕනෙ නම් දවසම මෙහෙම ඉඳගෙන ඉන්න පුළුවන්... ඒත් අපි යන්න ඕනෙ.”

“අපි?”

“ඇයි, ඔයා එක්ක තවත් කට්ටිය ඉන්නවද?”

“කට්ටිය?”

“ඔව්, බේරුණු අය. ඔයත් හරියට සොම්බියෙක් වගෙනෙ. මං කියන දේ ඔයාගෙ මොළේට යන්නෙ නැතිවා වගෙයි මට නං පේන්නෙ.”

“අහ්...ඔව්... මං කිව්වෙ මේ... දැන්...ඔයා කියන්නෙ කලම්බො මෙට්‍රොපොලිටන් ඉඳන් ඔක්කොම නගර සොම්බිලා යටත් කරගෙන කියලද?”

තරුණිය බැරෑරුම් ලෙස හිස වැනුවාය. “මට තේරෙනවා, ඒක පිළිගන්න අමාරුයි කියලා. ඒත් ඒක එහෙම වුණා. අපි වගේ කෙනෙක් දෙන්නෙක් ඇරුණු කොට දැන් මෙහෙ ඉන්නෙ හැමෝම මේ කාලකන්නි ඇවිදින මළකුණු විතරයි.... මං හිතන්නෙ අපි ගියොත් හොඳයි.”

 

මතු සම්බන්ධයි

 

අමාලි අනුපමා මල්ලවආරච්චි

 


 

Tuesday, October 19, 2021

විද්‍යා ප්‍රබන්ධ | කාල | 01 කොටස | අමාලි අනුපමා මල්ලවආරච්චි | දිනමිණ ද්වාර

සටහන : පැන්ඩෙමික ආවේශයෙන් ලියවුණු හෝබෝ ටික්කාගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය "කාල"

කන්නාඩියෙහි වූ සිය පිළිබිඹුව දෙස කාල මොහොතක් නතර වී බැලුවේය. දැනටමත් ඔහු සංගීත කණ්ඩායමේ පුහුණු වාරයට ප්‍රමාදය. තව විනාඩි කිහිපයක් ප්‍රමාද වීමේ ඇති වෙනසක් ඔහුට පෙනුණේ නැත. දීර්ඝ වර්ෂා දින නිසා වාතය දියෙන් තෙතබරි වූ මේස් කකුලක් වැනිය. දැන් සති දෙකක පටන් එක දිගට හැලෙන වර්ෂාව නිසා සංගීත කණ්ඩායමේ පුහුණු වාර දෙකක් අවලංගු කෙරුණි. හකු බැස ගිය සුදුමැලි මුහුණේ වූ ගිලුණු දෑස්, කන්නාඩිය හරහා කාල දෙස ඔලොක්කුවට බලා සිටියේය. කන්වල වූ සර්පිලාකාර ලෝහ කරාබු කාල මිලට ගත්තේ මෑතකදීය. අම්මම්මා කාලගේ ලෝහ කරාබුවලට, ලෝහ උල් සහිත ලෙදර් අත් පලඳනාවට හෝ ගෙල සිරවෙන්න දමා තිබූ කරපටි මාලයට කැමැති වූයේ නැත. ඔහුගේ දිගු සාළු වැනි කළු කබායට, උස් කළු පැහැ බූට් යුගලට, සිලිටි දිගු කොණ්ඩයට හෝ ඔහුගේ හෙවි-මෙට්ල් සංගීතයට ඇය කැමති වූයේ ද නැත. එහෙත් කාලට අම්මම්මා පිළිබඳ තරහක් හෝ කලකිරීමක් නොවිණි. රසායන කම්හලේ පිපුරුමකින් අම්මා ද තාත්තා ද මස් කුණු වී යෑමේ රෝගයකට ගොදුරු වී මිය යෑමෙන් අනතුරුව කාලව හදා වඩා ගත්තේ අම්මම්මාය. එබැවින් හේ නිතරම අම්මම්මාට ස්තූතිවන්ත වූයේය.

 සාලය කෙළවරේ ප්ලාස්ටික් බඳුනක ඔබා තිබූ උස් කළු කුඩය අතට ගත් කාල ඇඟිලි තුඩුවලට බර දී සීරුවට දොර වසා නිවෙසින් පිටතට ආවේය. තමා මෙතෙක් වේලා හුස්ම ඉහළට අල්ලාගෙන සිට ඇති බව කාලට සිහි වූයේ දීර්ඝ සුසුමක් ඒ මොහොතෙහි ඔහු වෙතින් ගිලිහුණු බැවිනි. අම්මම්මා අවදි වූයේ නැත. හේ සාර්ථක ලෙස සිය පළමු මෙහෙයුම අවසන් කර තිබිණි.

කාල පටු කොරිඩෝව දිගේ විදුලි සෝපානය වෙත ඇවිද ගියේ නවදාස් නවසිය හැට දෙක, නවදාස් නවසිය හැට එක, නවදාස් නවසිය හැට...ග්‍රෑන්ඩ් ඉටර්නල් තට්ටු නිවාස සංකීර්ණයේ සිය අසල්වැසි නිවාසවල ඉදිරිපස අලවා තිබූ පිත්තල පැහැ අංක සිතින් මුමුණා ගනිමිනි. තැනින් තැන එල්ලා වැටෙන කේබල්, කහ ගැහුණු පැ‍රැණි බිත්ති බදාගෙන පරෙයියන්ගේ වසුරු නාමින් ඔහේ වැනෙයි. සාගර නගරයේ ද කොළඹ මෙට්‍රොපොලිටනයේ ද සාක් අන්තර් කලාපීය මගී හුවමාරුව වූ කලම්බෝ විශ්වපොලිටන් ගුවන්තොටුපොළ සහ ඊට අයත් සීලෑන් හබ් නම් වූ ආර්ථික කලාපයේ ද පරිපාලන කටයුතු සඳහා සියලු පරෙයියන් සහ කාකයන්ට වෙඩි තැබීමට ගත් තීරණයෙන් අනතුරුව සරණාගත වූ බොහෝ පියාසැරියෝ කොළඹ නගරෝපාන්ත සීරෝ 01, සීරෝ 10 සහ සීරෝ 100 යන ප්‍රදේශවලට පලා විත් මෙවැනි තට්ටු නිවාස සංකීර්ණවල පැලපදියං වූහ.

ග්‍රෑන්ඩ් ඉටර්නල් තට්ටු නිවාස සංකීර්ණයේ දස දහසක් වූ නිවාස මෙන්ම එහි වූ සියලු විදුලි සෝපාන ද එක හා සමානය. ඒවා අබලං ලොරි වැනි දහිර වාට්ටුය. නිරන්තරයෙන්ම විදුලි ආලෝකය අඩු වැඩි වන එම ප්‍රදේශවල සෑම විදුලි සෝපානයක්ම 'ඩක ඩක' හඬ නගමින් මිනිසුන්ව විශාල වේවැල් කූඩවල බහා බිමට බාන දබර වැනිය. ග්‍රෑන්ඩ් ඉටර්නල්හි සෑම නිවාස පනහකටම මෙවැනි ලදරං විදුලි සෝපාන දෙකකි. විදුලි සෝපානය අසලට ළඟා වන විට සම්පූර්ණයෙන්ම පාහේ පැටලී තිබූ හෑන්ඩ්ස් ෆ්‍රී කට්ටලය ලිහා ගැනීමට කාලට හැකි විය. සිය පියාගෙන් තමන් හට උරුම වූ එකම සම්පත වූයේ එයයි. සිය කන් තුළට මයික්‍රෝ ස්පීකර් කට්ටලයක් ඉන්ස්ටෝල් කර ගැනීමට කාල අකැමැතිය. ඒ ඔහු ඩිජිටල් මව්පියන්ට දාව ඉපිද ඇනලොග් අත්තම්මා කෙනකු සමඟ හැදී වැඩුණු නිසා යැයි කාලගේ මිතුරන් ඔහුට සරදම් කළෝය.

කාල මොබයිලයෙන් වේලාව බැලුවේය. දැන් සංගීත කණ්ඩායම පුහුණු වීම් අරඹා තිබි‍ය යුතුය. පහළට ඊතලය සලකුණු කළ බොත්තම කිහිප වරක්ම එබුව ද විදුලි සෝපානය තවමත් තුන් වැනි තට්ටුවේය. ඉතිරි තට්ටු අනූ හත ඒමට මේ බර කරත්තය තව විනාඩි පහළොවක් පමණ ගනු ඇත. කාල නොයිවසිල්ලෙන් සෝපානය ඉදිරිපස එහාටත් මෙහාටත් ඇවිද්දේය. සිය වැනි තට්ටුවේ නිවාසවල කුලිය අඩු වන්නේ එලෙස ප්‍රමාද වන කාලයට හිලව් වශයෙනි.

වර්ෂාවේ නොනවතින චුරු චුරුව කාලගේ ස්නායු සසල කළේය. බුබුළු දමන්න ගෙන තිබූ කේන්තිය අස්සේ කිරි කිරි ගා ඉහළට බඩ ගෑ විදුලි සෝපානය අලස 'ඩිංග්' හඬකින් සිය වැනි තට්ටුවට ළඟා වූයේය. කාල දබරැඟිල්ලෙන් බිත්තියට ටොකු අනිමින් සෝපානයේ දොර විවර වන තෙක් බලා සිටියේය. විවර වූ සෝපානය ඌරු කොටුවක් මෙන් පිරී තිබිණි. ඒ බොහෝ දෙනා සෝපානය පහළට යන වෙලාවක බැස ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නා අය බව කාල දැන හුන්නේය. ඔවුන් එක්කෝ සිය මොබයිලවලට එබී සිටියහ. සමහරුන්ගේ මුහුණු තොප්පි හා කළු කන්නාඩිවලින් වැසී ගොස්ය. අතරින් පතර කිහිප දෙනකු කාල දෙස හැඟීම් විරහිත මුහුණවලින් බලා සිටියහ. ඔවුන් සියලු දෙනා සීරුවෙන් පෙළට කිටි කිටියේ තද වී සිටි අතර, කිසිවෙක් කවරවල බහා එල්ලා තැබූ කෝට්වලින් පිරි තල්ලු කරන රාක්කයක් ද ඒ අස්සෙන් රිංගවාගෙන සිටියෝ. දිගු කළු කවරවලට මුවා වූ එහි අයිතිකාරයාව කාලට පෙනුණේ නැත. කබා සාක්කුවලට දෑත් ඔබාගත් කාල සෙමින් වැසෙන දොර අතරින් කෝට් එල්ලූ රාක්කය දෙස රවා බැලුවේය. යළි සෝපානය පහළට ගොස් එන තෙක් බලා නොසිටීමට කාල තීරණය කර තිබිණි. හේ සෝපානයට පසෙකින් තිබූ පැ‍රැණි බරැති යකඩ දොර තල්ලු කළේය. කුරුලු වසුරුවලින් ගඳ ගැසූ රතු පැහැ අඩ අඳුරක ගිලී හුන් පඩිපෙළ කාල එන තුරු නිසොල්මනේ බලා හුන්නේය.

හෑන්ඩ්ස්ෆ්‍රී එක ඔස්සේ මොබයිලයෙන් පැන ආ මෙට්ල් සංගීතය ඉහළටම වැඩි කරගත් කාල, හුස්ම අල්ලාගෙන වේගයෙන් පඩිපෙළ ඔස්සේ හැල්මේ දිව්වේය. ටික වෙලාවක් යද්දී කාලගේ දෑස් අඳුරටත්, නාසය කුරුලු බෙටි ගඳටත් හුරු විය. හති ඇරීම සඳහා නතර වන සෑම මොහොතකදීම කළු ගැසුණු බිත්ති අතරින් විවිධ රූපී ගැෆිටි කාල දෙස කුතූහලයෙන් බලා සිටියේය. කාල සිය වේගය ක්‍රමානුකූලව පවත්වාගෙන වේගයෙන් පහළට බැස්සේය. අවසානයේදී ඔහුට පඩිපෙළ කෙළවර වූ පැ‍රැණි දැවැන්ත දොර පෙනෙන්නට විය. පිටතින් කාල එම දොරටුව අනේක වාරයක් දැක තිබුණ ද ඇතුළතින් එය දකින්නේ මුල්ම වරටය. එම දොරටුව කෙළින්ම විවෘත වූයේ චීන-ලන්තෑරුම් වීදියටය. චයිනා-බකට් යනුවෙන් ප්‍රසිද්ධ එම අඩවියෙහි චීන අවන්හල්වල පටන් චීන මල් වෙඩි දක්වා සියල්ල විකිණීමට තිබිණි. මකර නැටුම් කාලයට සියල්ලෝම කිසිදු භේදයකින් තොරව චීන-ලන්තෑරුම් වීදියේ මහා සැණකෙළියට සහභාගී වූහ.

 

මතු සම්බන්ධයි

 

අමාලි අනුපමා මල්ලවආරච්චි

 Link : https://t.co/nyqquRI5pb

 


Sunday, July 25, 2021

න්‍යෂ්ටික බෝම්බ ඩිටෙක්ටරයට හසුවුණු නිල් තල්මසුන්ගේ ගායනාව

 

තල්මසුන් ගැන කතා කරද්දි මගේ මතක නොස්ටැල්ජියාව එක පිම්මෙම ගිහින් නතර වෙන්නෙ හර්මන් මෙල්විල් විසින් රචනා කරපු, සිරිල් සී පෙරේරා පරිවර්තනය කළ “මෝබිඩික්” කෘතිය අද්දර. ” මට ඉස්මායිල් කියන්න.” කතාව පටන්ගන්නෙ ඒ විදිහට. ඊට පස්සෙ අපි ඉස්මායිල් එක්ක යෝධ තල්මසුන් යාත්‍රා කරන සමුදුරු ඔස්සේ රුවල් නැවක නැඟිලා මෝබිඩික් හෙවත් ධවල තල්මසා සොයන ගමනට එකතුවෙනවා.

“ඈත මුහුදුවල වෙසෙන අද්භූත, අස්වාභාවික, ආශ්චර්යමත් සත්ව වර්ගයක් වන තල්මසුන් ගැනත්,ඔවුන්ගෙන් නැවියන්ට පැමිණෙන උවදුරු ගැනත්, ඇතැම්විට ඔවුන් නැව්වලට පහර දී විනාශ කොට පැන යන සැටි ගැනත් මම නොයෙක් කතාන්තර අසා ඇත්තෙමි. එහෙයින් එම සත්ත්වයින් සියැසින් දැකබලා ගැනීමට මා තුළ ලොකු ආශාවක් ඇත.” ඉස්මායිල් එහෙම කියනකොට නැවක නැඟලා ලෝකෙ වටේ තල්මසුන් බලමින් සවාරි ගසන්නට නොහිතන කෙනෙක් නැති තරම්.

ඒ විතරක් නෙමෙයි, පසුකාලීනව ජාතික රූපවාහිනියේ විකාශනය වුණු “සමුදුරු දැරිය” ඕස්ට්‍රේලියානු විද්‍යා ප්‍රබන්ධ කතාමාලාවේත් තල්මස් ගී ගායනාව පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාඥවරියක්, තල්මසුන් සමඟ පිහිනමින් ඒ ගීත තේරුම් ගන්න පුළුවන් සුරූපී ජලකර පිටසක්වල නෙරී නැමැති තරුණිය ගැන ඔබට මතක ඇති.

 



නිල් තල්මසුන් දඩයමේ යෑම නිධානයක් සොයන්න යන ත්‍රාසජනක ගමනක් කියලා හිතුණට කාලයත් එක්ක තමයි විසිවෙනි ශතවර්ෂයේ සිදු කෙරුණු වාණිජ කරුණු සඳහා තල්මසුන් දඩයම් කිරීම පිළිබඳව හරියටම මට අවබෝධයක් ලැබෙන්නේ. මේ වාණිජ තල්මස් දඩයම මොනතරම් දරුණු වුණා ද කිව්වොත් තල්මස් දඩයම තහනම් කරන විට ලෝකයේ නිල් තල්මසුන් වඳවී යාමේ මුවවිටටම පැමිණ සිටියා.  ඒ කොතරම් ද කිව්වොත් වාණිජ තල්මස් දඩයම නිසා දකුණු අර්ධගෝල සාගර කලාපයේ නිල් තල්මස් ගහණයෙන් 0.15% ක් වත් ඉතුරු වුණේ නැහැ කියලත් මේ කලාපයේ දඩයමට ලක්වුණු නිල් තල්මසුන් ගණන ලක්ෂ තුනකට අධික බව වාර්තාවල සඳහන් වෙනවා. මේ වෙනකොට නිල් තල්මස් ගහණය ක්‍රම ක්‍රමයෙන් සුළු ඉහළ යාමක් පෙන්නුම් කළත් අදටත් සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය විසින් ප්‍රකාශ කරන  වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින සත්වයින්ගේ රතු ලැයිස්තුවට නිල් තල්මසාගේ නම අන්තර්ගත වෙනවා. නිල් තල්මසා දැවැන්ත සත්වයෙක් වුණත් මහා සාගරය තුළ ඔවුන්ව නිරීක්ෂණය කරගැනීමට ඉතාමත් අපහසු සත්ව කොට්ඨාශයක්. ඒ නිසාම ඔවුන්ගේ හැසිරීම, සංචරණය සහ ඔවුන්ගේ ගමන් මාර්ග හඳුනා ගැනීමත් ඉතාම සීමිතයි. විශේෂයෙන්ම උතුරු ඉන්දියානු සාගර කලාපයේ නිල් තල්මස් ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇත්තේ ඉතාම සීමිත දත්ත ප්‍රමාණයක්.

ඉන්දියානු සාගර කලාපයේ නිල් තල්මස් විවිධත්වයක් තිබෙනවා. ඔවුන්ගේ උප කොට්ඨාශ හඳුනාගැනීමට විද්‍යාඥයින් යොදාගන්නේ ඔවුන් නිකුත් කරන නාද රටා අනුවයි. සෑම නිල් තල්මස් විශේෂයකටම ඔවුන්ට ආවේණික ගායනාවක් තිබෙනවා.   පසුගිය ජූනි මාසය ආසන්න කාල සීමාවේ දී බටහිර ඕස්ට්‍රලියානු මුහුදු තීරයේ සිට ශ්‍රි ලංකාවේ උතුරු වෙරළ කලාපය දක්වා වපසරියක හැසිරෙන පිග්මි නිල් තල්මස් විශේෂයක් සොයා ගැනීමට තල්මසුන් විශේෂඥ පිරිසක් සමත් වෙලා තිබෙනවා. මෙලෙස අලුත්ම පිග්මි නිල් තල්මසුන් විශේෂය  හඳුනාගැනීමට උදව් වෙලා තිබෙන්නේ සාගර කලාප තුල සිදුකෙරෙන න්‍යෂ්ටික පිපිරවීම් සම්බන්ධ නිරීක්ෂණය කරන Comprehensive Nuclear-Test-Ban Treaty Organization (CNTBTO) කියන ආයතනයේ දත්ත පරීක්ෂාවට ලක් කරන අවස්ථාවකදී වීම විශේෂ කාරණයක්.

 Read more: https://www.manthrana.com/2021/07/12/new-pigmy-blue-whales-found-in-the-indian-ocean/