Sunday, June 6, 2021

සම්බෝලයාගේ කොරෝනා දිනපොත


 


අද 

කුරුමානං අප්පුහාමිලාගේ දොන් ඉඟුරු පාට සම්බෝලයා වන මාගේ ජීවිතය මේ කොරෝනාව නිසා එහෙම් පිටින්ම බකල් වී ඇත්තේය. ලොකුම වදය වන්නේ ගෙදර ඈයින් වැඩට යන්නේ නැතිව ගේ අස්සට වී උඩ බලාගෙන සිටීමය. උදේ හතහමාරෙන් පස්සේ මගේම වෙන සැපට සැප සෝපාව ගෙදර දෝණියැන්දා බද්දට අරගෙනය. දවසම ඒ යෝදි මගේ සෝපාවේ දපා වැටී ස්මාට් ෆෝන් එක දිහා කට බලියාගෙන ඉන්නවා හැරෙන්නට වෙන කිසිම වැඩක් කරන්නේ නැත. පැත්තට මූණ හරව හරවා පොටෝ ගන්නා අතර වෙලාවකට මට ද පුදමාකාර වදයක් දෙමින් මගේ ද පොටෝ ගන්නවාය. මගේ පොටෝ ඔය සෝශල් මීඩියාවල තැන තැන එල්ලනවාට මම කොහෙත්ම කැමති නැති වුණත් ඤාව්ලන්තයේ බුද්ධිමය දේපොළ අයිතිය බල්ලාට ගොස් ඇති බව කියන්නේ ඉස්සරහ ගෙදර කළු කෝට්කාරයාය. කළුකෝට්කාරයාගේ ගෙදර ඉන්නේ බව්-බව් ටොමියාය. බව්-බව් ටොමියා නම් කියන්නේ ඌට කොහෙත්ම ඔය කියන වර්ගයේ දේපොළක් නැති බවය. තමා කොහෙත්ම බොරු කියන්නේ නැති බවත් ඒ වෙන නරක බල්ලෙකු විය යුතු බවත් බව්-බව් ටොමියා කීවේය. 

අද 

දිගටම පරිප්පුයි බතුයි කාලා ඇති වෙලාය. එක්කෝ මීයන්, හූනන් සහ කැරපොත්තන් නිරෝධායනය සඳහා කන්දකාඩු ගෙනගොස් තිබි‍ය යුතුය. අද එකෙක්වත් පේන්නවත් හිටියේ නැත. දෝණියැන්දාගේ ලැප්පොට් එකෙන් දෙමලිච්චෙකු රවටා ගන්නා ආකාරය ගැන බලාගන්නට පුළුවන් විය. හෙට එය අත්හදා බැලිය යුතුය.  හවස හොඳටම හෙන ගහ ගහ වැස්සේය. චූං-පාන් අයියාගේ ජෙට්ටෙක අල්ලා ගන්නට බැරි වීම නිසා අද උණු ජෑම් බනිස් කොටහ ද ලැබුණේ නැත.

අද  

නිදි බව පෙන්නා ලේනුන් රවටා ගැනීමට ඇති එකම හාන්සි පුටුවේ ඇලවී සිටින්නේ ගෙදර මනුස්සයාය. දවසේ වැඩි හරිය ගෙදර බලාධිකාරී මව්යානාවගේ උදහසට ලක්වෙන ගෙදර මනුස්පයා ගැන මට දුකය. වෙනදාට සිංහයෙක් මෙන් ටයිපටයි සූට්බූට් සැන්පවුඩර් දමාගෙන සිංහයෙක් මෙන් වැඩට යන ගෙදර මනුස්පයා මේ දවස් ටිකේම උදේට උදේට නැගිට පොල් ගාන්නටත්, උදුළු ගාන්නටත්, කුණු පුච්චන්නටත්, ලයිට් බල්බ් අලුත් කරන්නටත්, පරණ බෝතල් ගෝනිමළුවලට අඩුක් කරන්නටත්, වහළය සුද්ද කරන්නටත්, කුස්සියේ ඉඳුල් වතුර යන බටේ සුද්ද කරන්නටත් පටන් ගැනීම නිසා මට ඇත්තටම මේ කොරෝනා වසංගතය පිළිබඳ ඇති භීතිකාව හොඳටෝම වැඩි වී ඇත.  ලේනෙක් අල්ලාගැනීමට අලුත් ක්‍රමයක් සොයාගත යුතුය. ගෙදර මනුස්පයා ඉන්නේ මට වඩා අසරණ අඩියකය. 


Read more at : 

https://www.manthrana.com/2021/06/02/dairy-book/



#කොරෝනාවෛරසය  #කොරෝනාවෛරසයගැන #පූසාගැනවිස්තර
#catdiary

9 comments:

  1. Thank you PJ. I am so glad to be back also. I will update the blog more consistently from now on. Much Love.

    ReplyDelete
  2. මේක හැමෝටම බලපානව එක එක විදිහට

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඩ්‍රැකීලාට බලපාන්නෙ කොහොමද? ගමන් සීමා හින්දා හරියට මනුස්පයෙක් පාරතොටේ නැති වුණාම රුධිර සප්ලයිවලට එහෙමත් පොඩි අවුල් සහගත තත්ත්වයන් ඇවිත් ඇති නේද?

      Delete
  3. අර ශේක්ස්පියර් මාළුවා දිහා බලලවත් හිත හදා ගන්න කියල සම්බෝලයාට කියන්න!

    ReplyDelete
    Replies
    1. ඒ අස්සෙ හොම්බ දාන්න යන්නෑ, ශේක්ස්පියරයා නාහෙ කඩාගෙන කාවි කියල බයේ.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete