Sunday, June 13, 2021

ළැම පෙන්වා ළය සඟවන ළඳුන්





 
ශ්‍රී ලංකාව තුළ ගණිකා ව්‍යාපාරය නීතිගත කළ යුතු ද නැද්ද කියන එක ලොකු සමාජ කතාබහකට සහ විවාදයකට තුඩු දෙන කාරණාවක්. නීත්‍යානුකූල නොවුනත් ලංකාවේ ගණිකා ව්‍යාපාරය සිදු කෙරෙන බව කවුරුත් දන්නවා.  දැනට ලංකාවේ ගණිකාවන් කොපමණ ප්‍රමාණයක් ඉන්නවද කියලා හරියටම කියන්න ඒ පිළිබඳ කිසිම විදිහක නිවැරදි සංගණනයක් සිද්ධ වෙලා නැහැ. එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ 2014 වසරේ වාර්තාව අනුව ශ්‍රී ලංකාව තුළ ගණිකාවන් 35,000-47,000 අතර ප්‍රමාණයක් සිටිනවා. නමුත් 2010 වසරේ සිදු කරන ලද විවිධ අධ්‍යයනයන්ට අනුව ඒ කාලය වෙන විටත් ගණිකාවන් 40,000 අධික ප්‍රමාණයක් ලංකාවේ ඉඳලා තියෙනවා. ඒඩ්ස් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ වැඩසටහනට විසින් 2010 වසරේ සිද්ධ කරන ලද සිතියම්ගත කිරීමකට අනුව කොළඹ ආශ්‍රිතව ගණිකාවන් 8,332කුත් යාපනය ආශ්‍රිතව ගණිකාවන් 7000 පමණත් සිටිනවා.  නීත්‍යානුකූල නොවෙන ආකාරයට ගණිකා ව්‍යාපාර පවත්වාගෙන යාම නිසා විවිධ ලිංගාශ්‍රිත රෝග බෝවීමේ සිට ගණිකාවන් ආර්ථිකමය සහ කායිකමය හිංසාවන්ට ලක්වීමේ ප්‍රවණතාව දෙගුණයකින් වැඩි වෙන බව තමයි ගණිකා ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුල  නීතිගත   කළ යුතුය කියන ස්ථාවරයේ ඉන්න සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ.  



ශ්‍රී ලංකාවේ තත්ත්වය එහෙම වෙද්දි, ගණිකා ව්‍යාපාරය සහ විශේෂයෙන්ම ගණිකා ව්‍යාපාරය ඉලක්ක කරගත් සංචාරක ව්‍යාපාරයක් තිබෙන රටවල් බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. මේ අතරින් ගැම්බියාව, කැරිබියන් දූපත්, තායිලන්තය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, පිලිපීනය සහ කැම්බෝඩියාව ඉදිරියෙන් ඉන්නා රටවල් කිහිපයක්. ලෝකයේ මුස්ලිම් සම්භවයක් තිබෙන රටවලින් දකුණු ආසියාතික රටක් වන  බංගලාදේශය ගණිකා ව්‍යාපාරය නීතිගත කර තිබෙන රටක්.   බංගලාදේශයේ ගණිකා වෘත්තිය නීත්‍යානුකූලයි. නමුත් ඔවුන්ගේ ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ සූදුව සහ ගණිකා ව්‍යාපාරය පිටුදකිනා බවයි. ලෝකයේ තිබෙන විශාලම ගණිකා මඩමක් කියලා ගණන්  ගැනෙන දව්ලට්දියා කියන ගම්මානය පිහිටලා තිබෙන්නේත්   බංගලාදේශයේ රාජ්බාරී කියන දිස්ත්‍රික්කයේයි. මේ ගම්මානයේ දිනකට ගණිකාවන් 1600ක් පමණ දිවා රාත්‍රී කාලයේ සේවය කරනවා. ඔවුන්ගේ දෛනික පාරිභෝගික සංඛ්‍යාව දළ වශයෙන් 3500-4500 ක් පමණ වෙනවා. මෙම ගම්මානයේ සිටිනා සමහර ගණිකාවන් එහි සිටි ගණිකාවන්ගේම දරුවන්.  බංගලාදේශයේ ගණිකාවක් ලෙස ලියාපදිංචි විය හැකි අවම වයස අවුරුදු 18ක් වුවත් වයස අවුරුදු 16 සහ 14 වයසේ පසුවන දැරියනුත් විවිධ ජාවාරම්කරුවන් විසින් පැහැරගෙන විත් සේවයට යොදවන බව වාර්තා වෙනවා. දව්ලට්දියා ගම්මානයේ සිටින ගණිකාවන්ගෙන් බහුතර පිරිසක්  නීත්‍යානුකූල වයසට වඩා අඩු බව එම ප්‍රදේශවල සේවයේ නිරත වන සමාජ ක්‍රියාකාරීන් පවසනවා. මේ දව්ලට්දියා ගම්මානය අයිති බංගලාදේශයේ ඉතාමත් පොහොසත් පවුලකට බවත් එම පවුලට මේ ගම්මානය බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ පටන් අයිතිව තිබුණු එකක්  බවත්   සඳහන් වෙනවා. බංගලාදේශයේ ගණිකාවක් වීමට නම් අදාළ ප්‍රාදේශීය පොලිස් ස්ථානයෙන් ඒ සඳහා අදාළ පෝරම පුරවා, තමා වයස 18ට වැඩි බවත්, ස්ව කැමත්තෙන් මෙම වෘත්තීයට එළැඹෙන බවත් සහතික කොට, ලියාපදිංචි ගාස්තු ගෙවිය යුතුයි. බාලවයස්කාර දැරියන් ලිංගික මෙහෙකාර සේවයේ යොදවන අය පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දී වයස වැඩියෙන් පෙන්වා අදාළ ලියාපදිංචිය ලබා ගන්නවා.

READ me MORE with Manthrana : 

https://www.manthrana.com/2021/05/26/prostitution-in-sri-lanka/

4 comments:

  1. https://prostitution.procon.org/top-10-pro-con-arguments/

    ReplyDelete
  2. බංග්ලාදේශ කතාව දන සිටියේ නැහැ. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ආටිකල් එක කියවල කමෙන්ට් එකක් දාන්න වෙලාව ගත්තට බොහොම ස්තූතියි!

      Delete