Tuesday, June 25, 2019

සෙල්ලං ලෙල්ලං

#කාලෙකට පස්සෙ 

වෙලාව පාන්දර හතරයි. අපි වගේ සිරිමත් මගෙ සකි පරපුරෙන් පැවත එන ළමයි ඒ තරම් පාන්දරින් නැගිටිනවද? නෑහ්. එහෙම නැගිටිනවා නම් ඒ නැගිටින්නෙ හන්දියට හරි කමක් නෑ ට්‍රිප් එකක් යනවනම් විතරමයි. ඔන්න ඉතින් සෙනසුරාදා පාන්දරම (ඔව් මිත්‍රවරුණි, සෙනසුරාද!) නැගිටගෙන නිදිමරගාතෙම ගිහින් වාහනේට නැගගත්තෙ අප්‍රතිහත ධෛර්යය කියන්නෙ මේකට වෙන්න ඇති කියලා හිතින් හිතාගෙන. පාන්දරම ඉදන් පාරට වෙලා ඉඳලා, වැස්සට ආයෙම ගෙදර දුවලා ටිකක් වෙලා නිදාගෙන ඉඳලා ආයෙම බැණ බැණ පාරට ආව චූං-මල්-ලී ස්කිනි ටී ශර්ට් එකකුත් ඇඳගෙන අතපය වන වන ඇවිත් වාහනේට නැගගත්තා. මේ හාදයාට තියෙන්නෙ චීන මූණක්. මූණක් විතරක් නෙමෙයි, මේ හාදයාගේ සර්වාංගෙම චීන. ඒ වුණාට ඌ තරම් සිංහල බෞද්ධයෙක් ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ. නියම ශ්‍රී ලාංකිකයෙක් කියන්නෙ මේ අපේ චූං-මල්-ලී වගේ හාදයින්ට තමයි. උදේම වැස්සට තෙමෙන්න වුණු හින්දා කුණු කුණු ගාලා බැන බැන මේ හාදයා වාහනේට නැගගෙන දැන් යනවා. දැන් අපි කොහේද මේ යන්නෙ? තාම කවුරුත් දන්නෙ නෑ නේද? ඒ වුණාට ඔහේ අපිත් එක්ක වාහනේට නැගලා!

අපි මේ පාන්දරම යන්නෙ මීගමුවට. මීගමුවෙ මාලු මාකට් එකට. ඔව් මිත්‍රවරුණි කියන්න සංතෝසයි, අද හොබෝවාගේ කෙටි දුර විනෝද චාරිකාව යෙදී තිබෙන්නේ මීගමුව මාළු මාකට් එකට. දැන් ඔන්න යමක්කමක් දන්න ඈයො කල්පනා කරනව ඇති, මේ වාරකන් කාලෙ අසවල් වෙඩිමකට මාකට් යනවද, මාළු හෙන ගණන් නොවැ කියලා. ඒක ඇත්ත. ඒත් අපි ඒ ගැන දැනගෙන හිටියද? නෑ, මිත්‍රවරුණි අපි ඒ වගක් දැනගෙන හිටියෙ නෑ. කවුරුහරි අපිව ඒ ගැන දැනුවත් කළාද? ඔව්, අපිව ඒ ගැන දැනුවත් කළේ විදුලියා. විදුලියා අපට කලින් දවසෙ රෑ වෙලා කතා කරලා මෙන්න මෙහෙම කිව්වා. "මේ...අද හුළං එහෙම වැඩීලු..." එහෙම කිව්වට අපි විදුලිය කියන දේවල් ගණන් ගන්නවද සහෝදරවරුනි? නෑ, අපි විදුලියා කියන ඒවා ගණන් ගන්නෙ නෑ. මොකද විදුලියට ලෝකෙ පේන්නෙ අපට වඩා ටිකක් පහළින්. 


කොහොමින් හරි දැන් අපි මීගමුවට කිට්ටු කළා. එළිය වැටීගෙන එනකොට මීගමුව පාලම උඩින් යද්දි නිස්සද්දව ගාල් වෙලා හිටපු නිල් පාට සුදු පාට ටෝලර් බෝට්ටු ටික දැක්කම හොබෝවට මතක් වුණේ අව්වට වැස්සට පිච්චිලා හේදිලා ගිය මායාකාර සර්කස් එකක්. සුදු පාට රෙජිෆෝම් බෝල මහගොඩක් ඒ හැම ට්‍රෝලර් බෝට්ටුවකම තියෙනවා. එතකොට මේවා සෙල්ලම් බඩු කියලමයි හිතෙන්නෙ. ඇත්ත ඒවා කියලා හිතෙන්නෙම නෑ. පෙළට පෙළට එක ගොඩේ නවත්තලා තියෙනකොට මට තව කතන්දරයක් මතක් වුණා. හත් පෙති මල කියවලා තියෙන අයට නම් මතක් වෙයි. අර රෝස පාට ගවුම ඇඳපු ගෑණු ළමයා, වාන්යා වගේ මතක නම නම්,හත්පෙති මලේ පෙත්තක් කඩලා සෙල්ලම් බඩු ඉල්ලලා ප්‍රාර්ථනාවක් කළේ...ආං ඒ වගේ. සෙල්ලම් බඩු පිරිලා ඉතිරිලා පාරවල්, ගෙවල් යට කරගෙන ගිහින් වගේ හැඟීමක් තමයි මට දැනුණෙ. 

යාන්තම් ඉතිරි වෙලා තිබුණු ඉඩක වාහනේ නතර කරගත්තු අපි විසාල කොල පාට බාල්දියකුත් අරගෙන හෙමීට මාකට් එක පැත්තට කිට්ටු කළා. වාරකන් කිව්වට මිනිස්සුන්ගෙ අඩුවක් නම් තිබ්බෙ නෑ. හැබැයි මාළු වල නම් පොඩි අඩුවක් තිබ්බා. හුඟක් කූඩ අඩු ලාබෙට විකුණපු කාබන් නිල් පාට සහ රිදී පාටට දිලිසුණු පියාමැස්සන්ගේ පිරිලා තිබ්බා. මේ පියාමැස්සන්ට පණ ආවොත් උන් ඒ කූඩ වලින් පිම්මක් එළියට පැනලා වැටි වැටී පියාඹගෙන ආපිට මූදට යයි කියලා හිතුණා. එහෙම හිතාගෙන හිතාගෙන ගියොත් මාළු කන අදහස අතහැර දාන්න වෙන හින්දා හොබෝවාගේ හිතන-පීප්පයට පොරොප්පයක් ගහගෙන හෙමීට වටපිට බල බල ඇවිදින්න පටන් ගත්තා. හොබෝවා ගන්න තරම් මාළුවෙක් අඳුරන්නෙ නැති හින්දා, දන්න අයට මාළු අරගන්න ඇරලා හොබෝවා කළේ පිලී ගඳ ගහන මාළු මාකට් එකේ සිරි නරඹන එක. 

බලන බලන අත එක එක හැඩේට, එක එක පාටට මාළු, එක එක ගාණට මාළු. ඉස්සො ගොඩවල්. කකුළුවො ගොඩවල්. මහ අමුතු පෙනුමක් තිබිණු මාළුවෙක් හිටියා, පස්සෙ දැන ගත්තා ඒ ලූලා කියලා. ඒ ලූල්ලු දැක්කම මට මතක් වුණේම අර චීන චිත්‍ර වල ඉන්න දිග රැවුල් ගස් වගේ අඬු එක්ක ඇඳපු  මාළු. "ආහ්! එන්ඩ මහත්තයා, එන්ඩ නෝනාහ්, බලයා බලයා මේ ගාණට දෙන්නෙ නෑ වෙන තැන් වල" කියලා තඩි කළු යෝදයෙක් මහ හයියෙන් බිරුසන් දුන්නා. වැටකොළු මටළු වගේ හදාපු මහ විසාල බොබ්-මාලෙ කොණ්ඩයක් උඩට කරලා බැඳගෙන හිටපු ඒ යෝදයා දිලිසෙන මාළු ගොඩක් මැදට වෙලා හිටගෙන එහාටත් මෙහාටත් එයාගෙ තඩි බඩ හරවමින් මාළු වික්කා. ලඟ හිටපු තව හාදයෙක් යෝදයාට අන්තේවාසික වැඩේ කළා. එයාගෙ බෙල්ල වටේ තිබ්බ ඇටකටු මාල ටිකයි,කනේ තිබුණු ලොකු රිදී කරාබුවයි, මූණ පුරා වැවුණු පොල් කොහු රැවුලයි, අතෙන් පටන් අරන් බෙල්ලෙන් එළියට පැනලා තිබ්බ පච්ච ටිකයි දැක්කම මට දැනුණේ මං අර මූදු මංකොල්ලකාරයො ගොඩ බහින වරායකට ඇවිත් වගේ. එක එක උස් ප්‍රමාණ වල ප්ලස්ටික් බැරල් උඩ ඉඳගෙන මේ මුහුදු මංකොල්ලකාර පෙනුම තිබ්බ තරුණ වෙළෙන්දන් හරි හරියට මාළු වෙළඳම් කළා. ලාවට කහපාට ඉරක් ඇදෙන, රිදී පාට ලොකු කාරල්ලො වගේ මාළු ගොඩවල් බිමින් වැඩි උස් නැති ලී තට්ටු වල ගොඩවල් ගහලා තිබ්බා. ලස්සනට හැඩේට අතුරලා තිබ්බ මාළු ගොඩවල් හුගක් බලයො පැටව් කියලා තමයි කිව්වෙ. විශාල මඩු මාලු වෙනම තට්ටු වල දාලා විකුණනවා. බඩ සුදු දැල්ලො වෙනම. පීරපු කොණ්ඩයක් වගේ ලස්සනට අතුරලා තිබ්බ දැල්ලො දැක්කම මට මතක් වුණේ Pirates of the Caribbean චිත්‍රපටියේ ඩේවි ජෝන්ස්ගේ මූණ. 



"බලයා ගණන් වෙනදට වඩා...මේ දවස් වල මාළු අඩුයි." කවුදෝ කිව්වා. බාල්දි, පෝර බෑග් උස්සගෙන හෙට්ටු කරමින් එහෙමෙහෙ ගිය මිනිස්සු අස්සෙ හොබෝවත් වටපිටාවෙ මාළු ගොඩවල් විපරම් කළා. පාන්දර වැස්සටත් එක්ක ගොහොරුවක් වෙලා තිබුණු මාකට් එකේ කළු පාට මඩ වතුර පාගමින් මිනිස්සු එහේ මෙහේ ගියා. නිල් පාට, කලු පාට, කහ පාට උස බූට් සපත්තු පැලඳෙගෙන හිටපු මාළු විකුනන තරුණයින් ඒ මඩ තලමින් සරොස් බරොස් කියා හඬ නඟමින් වේගයෙන් එහෙමෙහේ ඇවිද්දා. 

පොඩි මාළු විකුණන අහින් හෙමීට අපි ලොකු මාළු විකුණන පැත්තට ඇවිදගෙන ගියා. මූද වගේ දැවැන්ත අඩෙවියක ඉන්න පුළුවන් තරම් මහ විසාල මාළු ලේ වල ලෙස්සිලා වැටිලා හිටියා. දිගු, වක ගැහුණු, මුවාත් මාළු පිහි වලින් දෙකට තුනට කැපුණු ඒ දැවැන්ත මාළු ගෙන දුන්නේ හරිම විස්මකුරු ස්වරූපයක්. අර මැජික් සංදර්ශන වල බෙල්ල අතපය වෙන වෙනම කපලා තියෙන ගෑණු ශරීර වගේ. "එන්ඩ, මහත්තයා, එන්ඩ නෝනාහ්, දෙන්නම් අපි හොඳ මාළු කෑල්ලක්." උද්‍යෝගයෙන් එහාට ගිය පොඩි බලහත්කාරකමකින් වගේ මාළු වෙළෙන්දන් පාරිභෝගිකයින්ව තමන්ට අද්ද ගන්න වලි කෑවා. වක් පිහිය රතු මාළු කුට්ටි මැද්දෙන් ඇදුණේ දොදොල් කපනව වගේ. මාළු කිලෝ ගණනට ගත්තේ නැත්නම් එයාලා මේ විසාල මාළු කපන්න මැලි වෙනවා. "එහෙම කැපුවම අපට පාඩුයිනෙ මහත්තයො." එයාලා කිව්වෙ එහෙම. ලොකු මාලු කුට්ටියක් අරගෙන ටිකක් කංකෙඳිරි ගෑවම, නපුරු මූණක් තියෙන මේ කෑගහන මිනිස්සු, බෑ නොකියා ඒ කුට්ටි පොඩි මාළු කෑලි වලට කපලා දුන්නා. මූදු හුළඟට දුක කාරම් බැඳිලා අව්වට පිච්චුණු ඒ රළු මූණු තරම් ඒ හිත් නපුරු නෑ නේද කියලා හොබෝවට හිතුණා. 

සාධාරණ කෙලවල්ලෙක් අරගෙන, ආපු කාටත් කුට්ටි කර ගනිද්දි චූං-මල්-ලී විදුලියාත් එක්ක වෙන කොහාටදෝ රිංගලා විසාල මල්ලකුත් උස්සගෙන අපි පැත්තට ආවා. "ඉස්සො! ඉස්සො!" චූං-මල්-ලී අපට කිව්වෙ බොහොම සංතෝසෙන්. "මේහ්! පණ තියන එවුණුත් ඉන්නව." 
කට්ටියම දැන් මාළු ගැනිල්ල පැත්තක තියල ඉස්සො ගොඩේ සිරි සිරි ගාලා දඟලන පණ ඇති ඉස්සො නරඹනවා. 
"මට ඕනෙ පණ තියෙන ඉස්සෙක්. ඇති කරන්න..." කාණ්ඩෙ එකෙක් උඩ පැනලා කියනවා. "මටත්! මටත්!" ජීවිතේට පණ පිටින් ඉස්සෙක් ඇති කරන්න හිතපු නැති හාදයො දැන් ඉස්සන්ට පොර කනවා. චූං-මල්-ලී බොහොම ආඩම්බරයෙන් ඉස්සො මල්ලත් උස්සගෙන වාහනේ දිහාවට ඇවිදගෙන යනවා. 
"යකෝ පණ තියන ඉස්සො අරගෙන කොහොමද දැන් උන්ව කෑමට ගන්නෙ." ඒ අස්සෙ ආගමට දහමට ලැදි එකෙක් ප්‍රශ්නයක් යොමු කරනවා. 
"මුන්ව මැරෙනවලු බාං ඉක්මනට..." චූං-මල්-ලී උත්තර දෙන්නෙ ඉස්සො ගැන එයා තරම් වෙන දන්න කෙනෙක් මූදුකරෙම නැති ගාණට. 

"අච්චර ඉස්සො ඉන්නවා, මේකා ගිහින් පණ තියන ඉස්සොම උස්සගෙන ආව හැටි." තව එකෙක් බැණ බැණ යනවා. 

කොහොමින් හරි මාළුයි, ඉස්සොයි පටව ගත්තු අපි, දැක්කම හීං දාඩිය දාන උස වාරකං මූදු රැළි දිහා බල බල  දණිහට විතර වෙනකම් මූදට බැහැලා, වැල්ලෙ බිම පෙරළිලා පීනනවා වගේ නෑවා. මහ විසාල රළ පතරට අපි එහාට මෙහාට විසි වෙද්දි, වෙරළ උඩහින් ගෙදරක ජීවත් වුනු උඩුරැවුලක් තිබ්බ හාදයෙක් ඒප්‍රන් එකක් වගේ කාවාඩමකුත් ඉන වටේ පටලගෙන මූදට බැස්සා. ඊට පස්සෙ අර මහ රළ ගෙඩි අස්සෙ එක කකුලකින් හිටගෙන බිමට නැමිලා ඒ කකුලට පාගගත්තු කකුළුවො අල්ලගෙන අර කාවාඩෙට දාගත්තා. ඒක නියම මූදු-සර්කස් එකක්. ඒ සර්කස් එකෙන් පස්සෙ හෙමීට ගොඩ ආපු අපි, පංකාදුවට පිහලා තිබ්බ කළු පහේ දාපු මස් කරියකුත්, ඇඹුලට ලුණුවට තිබ්බ සම්බෝලෙකුත් එක්ක හින්දපු පරිප්පුවක් එක්ක වෙරෙළටම වෙලා ඉඳන් බත් කෑවා. කෑම ඩිංගිත්තක් අරගෙන ගියේ නැත්නම් ඒක ට්‍රිප් එකක් වෙන්නෙ නෑනෙ. 

ඔය විදිහට මාළු මාකට් එකට යන ගමනත් විනෝද චාරිකාවක් කරගත්තු අපි ආපිට ගෙදර ආව කියමුකො. චූං-මල්-ලීගේ ඉස්සො ටිකට  තාම පණ තියෙනවා. ඕං ඉතින් පපු කැවුත්ත ගිනි ගත්තු චූං-මල්-ලී මූදු වතුර පුරෝලා තිබ්බ පොඩි බාල්දිය ඉස්සො ගොඩට හැලුවා. හළලා ඉස්සො ටික ගෙදර අරගෙන ගියා. මූදු වතුර ටික ඉවර වුණාට පස්සෙ කඩෙන් ලුණු පැකට් ගෙනල්ලා වතුරට දිය කරලා එයා මේ දවස් වල රුපියක් 2500ක ඉස්සො ගෙදර ඇති කරනවා. හිතේ අමාරුවට වගේ ටවුමෙ මාළු ලෑල්ලට ගිහින් මාළු ටිකක් ගෙදර අරගෙන ගිහින් අම්මට දුන්නා කියලා අපට පස්සෙ ආරංචි වුණා. 

 *ආයෙම ගියාම ෆොටෝ ගන්නම්. අමතක වුණා අරගන්න. ලෙන්ස වලින්ම ලෝකෙ බලන එක මහ කරුමයක් නිසා මේ වගේ තැන් වලට යද්දි ෆෝන් එක අරගෙන යන පුරුද්දක් නෑ හොබෝවට. 

24 comments:

  1. Replies
    1. ඔව් ලිඛී, සෑහෙන කාලෙකට පස්සෙ. ලිව්වෙම නෑ. ගිය මාස හය හතේම පොඩි පොතක් ලියමින් හිටියෙ. ඒ නිසා වැඩ රාජකාරිත් එක්ක බ්ලොග් ලිවිල්ල අතපසු වුණා.

      Delete
    2. ඔච්ච්ච්ර නැටුමක් නටලා ගෙදර එනකල් ඉස්සන්ට පන තිබ්බද? උන් අදහන්න වටිනවනේ.. නෑ මම කිව්වේ අර කියාපු මල්ලි!

      මාළු මාකට් ගිහින් මාළු ගන්න ගියාට ඔබතුමි නම් සෙල්ලම් බඩු ගන්න ගිහින් වගේ. මටත් තේරිලා තියෙනවා තඩි බඩවල් එක්ක, තඩි මන්න තියාගෙන , අපි රැවුල් එක්ක ඔරොගෙන හිටියට මාලි කෑලි කපාගන්න අඩපු ගමන් පොඩ්ඩක් හිත උණු වෙනවා තමයි.

      අර ඉස්සෝ හුරතලේට හදන ළමයා මතක් කලාය කියන්ට.. අපිට බැරියෑ ඉතින් එකක් දාගෙන යන්ට!!

      Delete
    3. ඔව්නෙ, මේ යෝදය අරගෙන තියෙන්නෙ අර තොගේට එකපාර විකුණන ඉස්සො ගොඩක්. උන්ට යාන්තම් වතුර තිබ්බම ඉන්න පුළුවන්. සමහර එවුන් නම් ඉක්මනට මැරිලා තිබ්බා. ඒත් සමහරවුන් හිටියා. මං කියන්නම්කො මතක් කළා කියලා.

      හිහී, මං දන්න මාළු ගැනිල්ල. මං සල්ලි දීලා ගන්න දන්නෙ පොත් විතරයි.

      Delete
  2. Replies
    1. Didn't see any Habaraliyaaz only Loolaaz! How have you been Pra J? Long time no see.

      Delete
    2. How to see when you don't write, eh?

      Delete
    3. I will write for sure. You have my email, yes? I was working on a manuscript, so it consumed most of my free time.

      Delete
  3. Would like to mention that few more (2) characters missing in here. The sexy pants modeler and the croods guy.

    ReplyDelete
    Replies
    1. Hahaha! You don't want me trying to describe Mr. sexy pants, now would ya? Too graphic!

      Delete
  4. ඉස්සෝ ඇති කරනවා කියල ඇහුවම යි (ෆාම් නෙමේ )

    ReplyDelete
  5. ඔව් ඉතින් කොච්චර කාලයක් ඕක කරගන්න පුළුවන් වෙයිද දන්නෑ. මැරෙනකම් ඇති කරයි!

    ReplyDelete
  6. මම දවසක් ඒ දවස් වල කොටුවේ තිබ්බ මාළු කඩේට ගියාම අඳුරන අයියා කෙනෙක් ඇවිල්ල කතා කලානේ අහවලාගේ අහවලාගේ නම් කියාගෙන... හෙහ් හෙහ් ... වෙලාවට අපේ බාප්පා ඇවිල්ල මට කතා කරගෙන එක්කන් ගියා ... මම උඩ බිම බල බල කල්පනා කර කර හිටියේ කවුද මේ හිතවතා කියල...

    කෝඩුකාරයෝ ගියාම එහෙම අලුත් යාලුවෝ නෑයෝ මාළු කඩවල් වලදී හම්බවෙනවා කියල පස්සේ බාප්පා මට කියල දුන්න .. හෙහ් හෙහ්

    ඉස්සෝ ටික ඇති කරන්න මහන්සි නොවී එහෙමම මුහුදට දාල ආවනම් ඉස්සටත් ලේසියි.. ඒ මල්ලිටත් ලේසියි නේ ..

    ReplyDelete
    Replies
    1. එහෙම කොහොමද පැතුම්...
      කවුරුහරි ගෙදරට විශේෂ අමුත්තෙක් එහෙම එන දවසට... කොහොමද මේ විදියට කිය කියා බත් ඩිංගක් එහෙම කවන්න තිබ්බනම්..

      "කන්න අනේ කන්න... තව ටිකක් බෙදාගෙන කන්න මේ ඉස්සෝ දේවල් එක මේ දන්න ඉස්සෝ වගයක්... ගෙදරම තමයි හැදුනේ... කන්න අනේ..."

      Delete
    2. දීපු සල්ලි වලට හිත හදාගෙන ආපිට ඉස්සො මූදට දැම්ම නම් තාම වෙරළ ගාව පපුව අල්ලගෙන!

      Delete
  7. අනේ හොබෝවා ඔයාගෙ කතාව කියවලා මගෙ ඉල ඇටත් ඇදුනා කියන්නකෝ. හත්පෙති මල ගැන කියලා ඔයා මාව අමුතුම ලෝකයකට තල්ලු කලා වගේ. ඒත් අන්තිමට ඉස්සෝ ගැන කියලා ආපහු හිනාගස්ස්ලා පියවි ලෝකයටත් ගෙනාවා හරි අපූරුවට. තව රසකතා කියවන්න අපි ඉන්නවෝ.

    ReplyDelete
    Replies
    1. ඔන්න හත්පෙතිමල කියවලා තියෙන දරුවෙක්! කොමෙන්ටුවට බොහොම ස්තූතියි. දිගටම බ්ලොග් එක කියවන්න. ෆලෝ කළාටත් ස්තූතියි.

      Delete
    2. මේ අපිත් කියෝලා තියෙනවා ඈ...!
      කොටින්ම වදමල් පාට කරලා පෙති කඩලා දාලා "මල් පෙත්තේ..." සින්දුව කියලාත් තියෙනවා ඔන්න.

      අර ළමයාගේ නම ශේන්යා!

      Delete
    3. ආං හරි, මට නම අමතක වෙලා හිටියෙ. පොත බලන්න බැරි වුණා.අම්බෝ ඔව් ඔව් මේ පොත කියවලා ඇති. එක අත්තේ කුරුල්ලොනෙ අපි!

      Delete
  8. හොබො කාලෙකට පස්සෙ උනත් ලියපු එකක් කියවන්න ලැබුණ එකට සතුටුයි .. ඔය අත්දැකීම් අපිල බොහොම කලාතුරකින් ලැබෙන්නෙ මොරටුව ලෙල්ලමට ගිය දාට.

    ReplyDelete
  9. ලෙල්ලමට ගිය කතාවක් මෙච්චර ලස්සනට කියවන්න ඉතිං හොබෝවා හින්දම පුළුවන් උනා 😁

    ReplyDelete
  10. මීගමුව ලෙල්ලම කියන්නෙ ඔය මාකට් එකට නේද? මම ගිහින් තියෙනවා ආදි කාලෙ.

    ReplyDelete