Wednesday, January 11, 2017

ජපන් හොල්මන්

ජපානය කියන්නේ හොල්මන් වලට ඉතාම ප්‍රසිද්ධ රටක්. එයාලා කොයිතරම් හොල්මන් වලට බයයිද කිව්වොත්, අපේ අයියලා එහෙ බර ගණන් වලට අපේ සිංහල වෙස් මූණු විකුණනවා ඒවායින් පෙරේතයෝ, භූතයෝ බය කරනවා කියලා. 

අත්දැකීමෙන් කියන්නෙ, කවුරු හරි කෙනෙක් මිය ගිය අපාතො එකක් අනික් ඒවාට වඩා ඉතාම අඩු මිලකට විදේශිකයින්ට විකුණන්න ජපානයේ බුදෝසංලා පුරුදු වෙලා ඉන්නවා. සමහරු නම් කපටිකමට කියන්නෙත් නෑ මේ කාමර වල මනුස්සයෙක් මිය ගියා කියලා. මටත් වාරයක් බුදෝසං කෙනෙක් මනුස්සයෙක් එල්ලිලා මැරුණු කාමරයක් දෙන්න හැදුවා කියහල්ලකො!!!

ඒ විතරක් නෙවෙයි, Ring, The Grudge, One Missed Call වගේ ලෝකප්‍රසිද්ධ ජපන් හොල්මන් චිත්‍රපට විශාල ප්‍රමාණයක් තිබෙනවා. The Grudge චිත්‍රපටිය තරම් බය හිතෙන චිත්‍රපටියක් මම නම් ලොවෙත් බලලා නෑ ඕං! සමහර විට කට්ටිය කියවලාත් ඇති, 'ජපන් රස කතා' කියලා හොල්මන් කතාන්තර පොතක්. පරිවර්තක කවුරුන්ද කියන්න නම් මට මතකයක් නැහැ. ඒකේ තිබුණේ කෙටි කතා. එකක ඉන්නවා හොල්මන් සමුරායි කෙනෙක්, හරාකිරි ක්‍රමයට සියදිවිනසා ගත්තු. තව ඉන්නවා තරුණ වයසේ මිය ගිය තරුණ බිරියක්, සිය සැමියාගේ දෙවන බිරියව මරන්න එන! ඔය පොත අද කියෙව්වත් මට නම් තාම බයයි ඕං!

ජපානයේ ජන කතා කලාවේ හොල්මන් කතා වලින් අඩුවක් නැහැ. ජපානයේ පැරැණ්නන්ගේ විශ්වාසය වුණේ තමන්ගේ දූපත අත්භූත බලයන්ගෙන් පිරි භූමියක් කියලායි. ඒ විතරක් නෙවෙයි, එයාලාගේ විශ්වාසය හැටියට, සෑම මනුශ්‍ය ශරීරයකම 'රෙයිකි' නම් අභූත බලයක් තිබෙනවා. මේ බලය මරණයේදී ශරීරයෙන් මුදා හැරෙන බවයි ජපනුන්ගේ විශ්වාසය. 

1603-1868 කියන්නේ ජපානයේ හොල්මන් කතාවල ස්වර්ණමය යුගය කියලා හැඳින්වුවහොත් ඒකේ වරදක් නැහැ. මේ කාලය හඳුන්වන්නේ එදෝ යුගය ලෙසයි. මේ කාලේ ජපන්නු අතර අපූරු තරගයක් පැවැත්වුණා. ඒකෙ නම හියැකුමොනොගතරි කයිදන්කයි(Hyakumonogathari Kaidankai). මේ තරගයේදී සිද්ධ වුණේ, හොල්මන් කතාකරුවන් වළල්ලක් විදියට ඉඳගෙන ඉටිපහන් සියයක් නිවී යනතෙක් අභූත කතාන්තර කීම. 

මේ කතන්දර කිවිල්ලට ජපනුන් කොයිතරම් තරගකාරී වුණාද කිව්වොත්, ඉතාම අතීතයේ අඳුරට සැඟවී ගිය අභූත, හොල්මන් කතා බොහෝමයක් මේ තරගය නිසා පුනරාවතරණය කරනවා. 

දැන් මෙහෙමයි, කයිදන්කයි කියන්නේ නිකම්ම හොල්මන් කතා/Ghost Stories නෙමෙයි. මේ කතා බොහොමයක් ලේ සීතල වෙන කතාත් නෙමෙයි. කයිදන්කයි කියන වචනයේ තිබෙන කන්ජි වලින් කියැවෙන්නේ අපූරු, අත්භූත කතාන්තර කියන එකට ආසන්න තේරුමක්. 

මේ අභූත ජපන් කතා වල තිබෙන මූලිකම කතාවක් තමයි ඔයුකිගේ අවතාරය. 

ඉතින් කවුද මේ ඔයුකිගේ අවතාරය කියන්නේ? ඔයුකිගේ අවතාරය තමයි ජපානයේ ප්‍රසිද්ධම හොල්මන් චිත්‍රය. මේ චිත්‍රය පාදක කරගෙන තමයි ජපන්නු 'හොල්මන් මෙන්න මේ වගේය' කියලා තහවුරු කරලා කියන්නේ. මේ චිත්‍රය අඳින්නේ මුරයාමා ඕක්යෝ කියලා තරුණ චිත්‍ර ශිල්පියෙක්.

ජපන්නු විශ්වාස කරන සාම්ප්‍රදායික හොල්මන, ඉතාම සුදුමැලි මුහුණක් තිබෙන,හීන් කළු ඇස් ඇති, කඩා වැටෙන කළු කෙස් ඇති, සුදු කිමෝනෝවකින් සැරසුණු, දෙපා රහිත කාන්තාවක්. මේ විශ්වාසය ගොඩනැගෙන්නේ මුරයාමා ඕක්යෝගේ ඔයුකිගේ අවතාරය කියන චිත්‍රය මතිනුයි. 


මේ චිත්‍රයේ ජපන් නම, යූරෙයිසු: ඔයුකි නො මබොරොෂි. මේ නමේ ඉංග්‍රීසි අරුත ඔයුකිගේ හොල්මන/Ghost of Oyuki  වුණත්, එතනින් එහාට ගිය අරුතක් මෙහි ජපන් නමේ ඇතුලත් වෙන්වා. සිංහලෙන් මේ ජපන් නමේ අරුත, 'අඳුරු ආත්මයක චිත්‍රය: ඔයුකිගේ දර්ශනය වීම', කියලා අපට ගන්න පුලුවන්. 

අතීත කතාවලට අනුව නම්, මේ තරුණ චිත්‍ර ශිල්පියාට ඔයුකි කියන තරුණියක් එක්ක පෙම් පළහිලව්වක් තිබිලා තියෙනවා. විස්තරේට අනුව ඔයුකි කියන්නේ ගේෂාවක්. මේ ගේෂාව තරුණ කාලයේදීම මියගොස් තිබෙනවා. මේ මිය යෑම කෙසේ වූවාද යන්න ගැන සඳහන් නැහැ. ඔයුකිගේ මියයෑම ගැන චිත්‍ර ශිල්පියා ඉතාම කම්පාවට පත්වුණාලු.

ඉතින් මේ විදියට කම්පාවෙන් සිටි චිත්‍ර ශිල්පියා දිනක් නින්දට වැටී සිටි වේලාවක, හදිසියේම අවදි වූවාලු. එහෙම අවදි වූ විට එයාගේ හිසට උඩින් ඔයුකිගේ අපහැදිලි රුවක ඡායාවක් කැරකෙමින් සිටියාලු. තත්පර කිහිපයක් පෙනී සිටපු ඔයුකි, එක විටම නොපෙනී ගියාලු. දඩිබිඩි ගාලා ඇඳෙන් බැහැ ගත්තු චිත්‍ර ශිල්පියා, තමන් දුටුව දර්ශනය ඒ විදියටම චිත්‍රයට නැගුවාලු. 

මුරයාමා ඕක්යෝ චිත්‍ර ශිල්පියා Naturalistic Artist කෙනෙක් විදියට තමයි ජපානයේ ප්‍රසිද්ධියට පත්වෙලා තිබුණේ. ඒ කියන්නේ, මුරයාමා යමක් ඇන්ඳොත්, ඒක ඇති සැටියෙන්ම අඳින බවට ජපනුන් දැඩිව විශ්වාස කළා. ඉතින් එදා ඉඳන් ජපනුන් මේ චිත්‍රයට දැඩි සේ ගෞරව කලා සේම හොල්මනක් නම් මේ විදිහයි කියා දැඩිව විශ්වාස කළා. 


නූතන ජපන් හොල්මන් චිත්‍රපට භයානක ඒවා වුණත් කයිදන්කයි වල ඇතුලත් බොහොමයක් කතා ඒ වගේ ත්‍රාසජනක ඒවා නොවෙයි. ඒ වගේ තව එක් දුක්බර හොල්මන් කතාවක් තමයි මේකත්.

ඔන්න එකෝමත් එක කාලෙක සමුරායි කෙනෙක්, දුර ඈත ගමකට ගියාලු එහේ පාලන කටයුතු කරන්න. ඒ ගමනේදී ඔහු ඔහුගේ බිරිය ගෙන යන්නේ නැහැ. අලුත් ගමට ගිය සමුරායිවරයා, එහෙන් අලුත් බිරියක් විවාහ කරගන්නවා. තමගේ රාජකාරි කාලය ඉවර වුනු පසු සමුරායිවරයා ආපිට තමන්ගේ ගම් පලාතට එනවා. තමන්ගේ පැරනි බිරිය මතක්වෙන සමුරායිවරයා, එයාගේ පරන නිවසට ගොඩ වදිනවා.

ඒ සරත් සමයේ එක් රාත්‍රියක්. නිසල අහසේ සඳ බබලමින් තිබෙනවා. ලා සඳ එළියක් නිවසේ කවුළු වලින් නිවස තුලට වැටී තිබෙනවා. සමුරායිවරයාගේ දොරකඩ ඔහුගේ පැරණි බිරිය වාඩිවී සිටිනවා. තමන් අතහැර දැමුවාට පැරණි බිරිය ඔහුට බැණ වදින්නේවත්, රණ්ඩුසරුවල් කරන්නේවත් නැහැ. ඈ නිහඬව සමුරායිවරයා පිළිගන්නවා.

මෙයින් ඉතාම සංවේගයට පත් සමුරායිවරයා ඇයව යළි කිසිදු දිනක හැර නොයන බවට පොරොන්දු වෙනවා. ඔහුත් සිය පැරණි බිරිය අසලින් හිඳගෙන ඇයව තුරුලු කරගෙන නින්දට වැටෙනවා. 

පසුවදා උදෑසන අවදිවෙන සමුරායිවරයා තමන්ගේ ගරාවැටුණු නිවස දකිනවා. තමන්ගේ උකුළ මත මිය ගිය සිරුරක ඇටකටු කූඩුවක් වැතිරී සිටිනවා. ඉතාම භීතියට පත්වුණු සමුරායිවරය ගෙදරින් පැනලා දුවන්වා. අතරමගදී හමුවුණු කෙනෙකුගෙන් සමුරායිවරයා අහනවා අර නිවසේ හිටපු කාතාව කොහේදැයි කියා.

"ආ..ඒ කාන්තාවගේ සැමියා ඇයව දමා ගියා. ඇය බොහෝ කල් සිය සැමියා එනකම් මගබලාගෙන සිටියා. ඇය ඉතාම ශෝකයට පත්වී අන්තිමේදී ඇයට සාංකාව හැදුණා. මේ සරත් සමයේදී ඈ දුකින්ම මිය ගියා. ඇගේ මිනිය වල දමන්නට හෝ ඇයට අවමංගල්‍ය උත්සවයක් පවත්වන්නට කවුරුවත් නැහැ. මේ සරත් සමය පුරාවට ඇගේ මිනිය ඔය නිවසේ තිබෙනවා." ඔහු සමුරායිවරයාට කිව්වා. 


අඳ තරුණියගේ අවතාරය කතාව නම් ටිකක් මීට වඩා දරුණු කතාවක්. ඔන්න එකෝමත් එක කාලයක, තවත් එක් සමුරායිවරයෙක් මොකද්දෝ වැඩකට දුර පළාතකට ගමනක් ගියාලු. ඔය ගමනේදී ඔහු එක්තරා ලැගුම්හලක නවාතැන් ගත්තාලු. ඔහු තමන්ගේ කාමරයෙහි ගිමන් හරිමින් සිටිනකොට ඔහුට යාබද කාමරයෙන් ඉතාම මිහිරි කටහඬක් ඇසෙනවාලු. මේ ඉතාමත් මිහිරි කටහඬ අසා සිටින සමුරායිවරයා, මේ හඬට ලොබ බැඳී මේ කටහඬ පැමිණෙන කාමරයට ඇතුල්වෙනවා. මේ මිහිරි කටහඬ අයත් විය යුත්තේ එවැනිම සුන්දර කාන්තාවකට යැයි සිතන සමුරායිවරයා, කාමරයට කඩාවැදී, මේ ගී ගයන කාන්තාව දූෂණයට ලක්කරනවාලු. හැබැයි පුදුමයකට වගේ, මේ කාන්තාවගෙන් සමුරායිවරයාට කිසිම විරෝධයක් එල්ල වෙන්නේ නැතිලු.

උදේ අවදිවුණාම තමයි සමුරායිවරයාට දෙලෝ රත් වෙන්නේ. තමන් ලඟ වැතිරී සිටින මිහිරි ගී ගැයූ කාන්තාව ඉතාම අවලක්ෂණ අන්ධ කාන්තාවක් බව ඔහු දැනගන්නේ ඒ වේලාවේදීයි.

අවලක්ෂණ අන්ධ කාන්තාව අන්තිමේදී තමන්ගේ සත්‍ය ප්‍රේමය මුණගැසුණා කියා සිතාගෙන ඔහුත් සමග එන්න ඇවිටිලි කලාලු.

මේ කපටි සමුරායිවරයා, මේ කාන්තාව කැටුව යන අතරතුරේදී ඇයව කන්දක් පහළට තල්ලු කරලා මරා දමනවා. දැන් ඉතින් ඔන්න මගේ ප්‍රශ්නය ඉවරයි කියලා හිතාගෙන සමුරායිවරයා තමන්ගේ ගමට යන්න පිටත් වෙනවා. 

කාලයක් ගතවුණාට පස්සෙ, මේ සමුරායිවරයාට ආපිට අර අඳ තරුණිය මුණගැහුණු ගම්පලාතට යන්න වෙනවා. පුරුදු විදියටම එදා ගමනේ රාත්‍රිය ගත කරන්නට සමුරායිවරයා ගිමන්හලකට යනවා. නමුත් එයාට වැඩි වෙලාවක් ගිමන් හරින්නට නම් වෙලාවක් ලැබෙන්නේ නෑ. එක පාරටම ඔහුගේ ඇඳ ඉද්දරින්, ඔහු මරා දැමූ අඳ තරුණියගේ අවතාරය මතුවෙනවා.

"උඹ මාව රවටා මරා දැම්මා නේද?" කෝපයට පත්ව සිටි අවතාරය විමසා සිටියා.

අද නම් උඹට මගෙන් ගැලවීමක නැහැ, එහෙම කියූ අවතාරය සමුරායිවරයාගේ කකුල් දෙකෙන් ඇදගෙන යන්න පටන්ගත්තා. සමුරායිවරයා බේරෙන්න උත්සහ කලත්, ඔහුට ගැලවිල්ලක් නම් ලැබුනේ නැහැ.

අවතාරය සමුරායිවරයාවත් ඇදගෙන සොහොන් බිමක් වෙත ආවා. එක් සොහොන් කොතක් ලඟ නතර වුණු ඇය, සමුරායිවරයා දෙස බලා දත් විලිස්සා සිනාසුණා. ඔහුගේ ශරීරය බදා ගත් ඇය ඔහුවත් ඇදගෙනම ඇගේ මිනී වලට පැන්නා. එදා ඉඳන් කාටවත් සමුරායිවරයාව දකින්නට ලැබුනේ නැහැ.