Saturday, September 24, 2016

පාර දිගේ


හෝබෝවා හැමදාමත් පාරට බහින්නේ තව ටිකකින් මැරෙයි කියලා හිතාගෙනය. තාර පාරේ කතන්දරේ ඒ තරමට භයංකාරය. ටිපර් පදින අයියලා හිතාගෙන ඉන්නේ එයාලා පදින්නේ ත්‍රීවීලර් කියාලාය. කන්ටේනර් අයියලාද එසේමය.එයාලාගේ ඉස්සරහා කෑල්ල පාරේ වමෙන් යනකොට පස්සාපැත්ත යන්නේ දකුණේය. හරවන්නේ කනේ වැලි ගාගෙනය. ට්‍රැපික් වෙලාවට මෙයාලා යන්නේ නැත්තේ පේමන්ට් එකේ විතරය. මෙයාලා පිටිපස්සෙන් සාටමොයිකලයක් වාගේ පැදගෙන යනවා නම් මාසෙකට ලොකු රක්ෂණ වාරිකයක් ගෙව්වාට පාඩු නැත. කන්ටේනර පෙට්ටිය නැතිව ට්‍රේලර් එක විතරක් ඇදගෙන යන අයියලා පස්සේ යනවා නම් පපුව ගෙදර අල්මාරියේ තියා ආවාට කමක් නැත. ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කිරීමට අපූරුය. 

ත්‍රීවීල්වල යන අයියලා හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලා එලවන්නේ කන්ටේනර් කියාය. හැප්පුනාම අර පපඩම් බොඩිය තැලෙන්නේ නෑ කියාය. ත්‍රීවීල් එකේ වැඩි හරිය ටයිටේනියම් වලින් හදා තියෙන හන්දා මෙයාලා සමහර වෙලාවට රෝද දෙකෙන්ද යන්නෝය. මෙයාලා මාර වැඩ්ඩෝය. ලොරි ද තඩි ලේලන්ඩ් ද කියා වෙනසක් නැත්තේය. ගෙමක් නැතිව මේවා මැද්දෙන් දාන්නේය. මයිකල් නයිට් දැක්කා නම් කිට්ගේ කනින් අල්ලා අන්න අහම පල කියන්නේය. ලඟදී හික්කඩුවෙන් එද්දී සුද්දෙක් අත දෙකද කකුල් දෙකද බෙල්ලද එලියේ දාගෙන වීල් එකක යන්නේය. තොපිට ඔහොම පන් එකක් ගන්න ලංකාවටම එන්න ඕනෙ බොලව් කියා හෝබෝවාට හිතුනෙන් රට පිළිබඳ අප්‍රමාණ ජාති ආලයක් උපන්නේය. ඉන්දියාවේ සේරෝම වීල් එක වාගේය, කහ පාට වැඩිය. තායිලන්තේ ටුක් ටුක් විසාලය. අපේ එව්වායේ වාගේ රෙකොඩ් බාර් නැත. කොන්ඩේ වවාගෙන පච්ච ගහපු මැක්සා බුවාලා එලවන්නේ නැත. අපේ වීල් මොඩිෆයි කරපුවාම හමර්, ඩිෆෙන්ඩර් වාගේය. හදිසියකට හෝබෝවා යන්නේද වීල් එකේය. පරක්කු වෙච්චි දාට වීල් අයියාව පේන්නේ සුපර් මෑන් වාගේය. 
ලංකාවේ ප්‍රාඩෝ, පැජරෝ, ඩිෆෙන්ඩර්,ඩිස්කවරි එළවගෙන යන බොස්ලා හිතාගෙන ඉන්නේ එයාලා ලයිට් ගහපුවාම අපි එකත්පස්ව අයින් වෙලා එයාලාට යන්ඩ දෙන්ඩ ඕනෑ කියාය. ලඟදී අපේ මාමා එක්ක ගමනක් ගොහින් එද්දී, මනුස්සයා අස්ප වේගෙන් වාහනේ පැද්දේය. හෝස් ගාගෙන ගේ ලඟට විත් වාහනය නැවැත්තූ මාමා ආතබූත කඩාගෙන ගෙට දිව්වේය. මනුස්සයාට දැවැන්ත බරක් ඇති වී ඇත. අස්ප වේගෙන් ඒමට කාරණාව වී ඇත්තේද එයය. මේ සේරෝම වෙන දීහා බලාගෙන හිටි මාමාගේ පොඩි එකා කිව්වේ, අර මහ හයියෙන් ලයිට් ගහගෙන, හෝන් ගහගෙන පාරේ යන මාමලා සියල්ලන්ටම විසාල කක්කා බරක් ඇති බව තේරුණේ දැන් කියාය. මෙව්වා ලිව්වාට කමක් නැත. එව්වායේ යන බොස්ලා අපේ දුප්පත් බ්ලොග් කියවන්නේ නැත. ඒ හින්දා උන් හැමදාම පුරුදු විදීයටම උන්ගේ පැජරෝ එලවනු ඇත. අපි කානු වල බසිනු ඇත. සමහර වාක්‍ය අපි කියා පටන් ගත්තාට මුයන්නෙන් ඉවර වෙන්නේ නැත. ඒ ජීවිතේ හැටිය. 

සාටමොයිකල් වල යන මල්ලිලා ගැන පොතක් ලියන්නට ඇහැකිය. ඉස්කූටි එලෝන අක්කලා, නැන්දලා ලඟින් යනවා නම් කල්පනාවෙන් සිටිය යුතුය. එයාලා වමට සිග්නල් දමා දකුණට කැපීමට හරිම දස්සය. ට්‍රේල් බයික් පදින මල්ලිලා වෙට්ටු දාගෙන යන්නේ හැඬල් එක උඩ වාඩි වෙලාය.අත් දෙක තියාගෙන ඉන්නේ කිහිල්ලේ ගෙඩි දමා තිබෙනවා වාගේය. කන පිටිපස්සෙන් ඇවිත් රෝද උස්සන මල්ලිලා ද ඇත. නිදහසේ යන එවුන් ඒවාට බය වී වැටී බෙල්ල කඩා ගන්නකොට, උන්ට හෙනයක්වත් නැත. හෝබෝවා නම් ඒ වාගේ එකෙක් දැක්කාම 'අනේ වැටියන්!' කියා මතුරන්නේය. සාටමොයිකල් මල්ලිලා වැඩි හරියක් යන්නේ පේමන්ට් වලට. ඉඳහිට පාරේ ද යන්නේය. මෙයාලාට ට්‍රැපික් අදාළ නැත්තේය. උදේ කොළඹ වැඩට යනවා නම් හොඳම වාහනේ සාටමොයිකලේය. සිග්සැග්, නැටි,හෙරින්බෝන්, කතිර ආදී ඕනෑම මැස්මක හැඩේට සයිකලේ පදින්නට අවසර ඇත්තේය. උදේට පොලිස් මාමලාද ඉර කැපුවාට මුකුත් කියන්නේ නැතිය. එයාලා හරි හොඳය. දැන් සිරමැදිරි වල සීසීටීවී හයි කර තිබෙන්නේය. සාටමොයිකලෙන් වැටිලා මල්ලී බෙල්ල කඩා ගත්තදාට ගොසිප් සයිට් එකක රේටිං වැඩි කරදිය හැකිය. නොමිලේ හොඳ පොටෝ ෂූට් එකක්ද කරගත හැකිය. ඔය කියනා තරම් දයියා කූර නැත.

පයිවට්, සීටීබී කියා වෙනසක් නැත. ලඟපාත එයින් එකක් යන්නේ නම් වාහනේ පොඩි කඩේක නවතා තේ එකක් කාරිය බීලා ගියාට කමක් නැත. ඉන්දියාවේ ටාටා මහත්තයා මෙහෙ ටාටා බස් එලෝන හැටි දැක්කා නම් පපුවේ අමාරුවක් හැදී එතනම සෙත්තපෝච්චි වෙන්නේය. හැරී පෝටර්ව ලීකි කොල්ඩ්‍රන් එක වෙනකම් අරගෙන ගිය මැජික් බස් එක චිත්තරපටියේ පෙන්නනකොට මට හිනා ගියේය. අපි හැමදාම යන්නේ ඒවාගේ ලේලන්ඩ් බස්වලය. ඒ වුණාට අපිට කලන්තේ හැදෙන්නේ නැත. බය දැනෙන්නේ නැත. අපි හරි මාරය. බස් මාමලා යන්නේම වමින් හන්දා සර්කස් එකේ කවුරුත් මාරක ලිඳේ යන්නේ නැත. අපිට ඔව්වා සිම්පල්ය. බැරිවෙලාවත් කවුරුත් මේවාගේ බස් එකකට හැප්පුණොත්, හැප්පුනු එකාට දෙයියන්ගේම පිහිටය. මළේ නැත්නම්, නිවැරැද්දේම අමු තිත්ත කුනුහරුප නොමිලේ අහගත හැකිය. 


රටේ ලෝකේ මිනිස්සු රතු ලයිට් එක පත්තු වෙනකොට වාහන නවත්තන්නෝය. කහ ලයිට් එක පත්තු වෙනකොට වාහනේ නවත්තගන්න ලෑස්ති වෙන්නෝය. කොළ ලයිට් එකේදී පරිස්සමට වාහනේ පැදගෙන යන්නෝය. ලංකාවේ රතු ලයිට් එක ටිකක් වෙනස්ය. පොලිසියෙන් හරි කැමරා හරි නැත්නං රතු පත්තු වුණත් ගියාට කමක් නැත. කහ ලයිට් එක පත්තු වෙන පාටක් තියේ නම් ඇක්සිලරේටරේ නප්පියටම පාගා, බැට්මෑන් වාගේ යායුතුය. කොළ පාට ගණන් ගන්නේම නැති තරංය. ඔව්, අපි හරි වෙනස්ය. ට්‍රැපික් ලයිට් වලට නවත්වූ විට පිටිපස්සේ එකා පස්සපැත්තට හෝන් ගහන්නේය. පාර පයින්න කහ ඉරක් ලඟ නතර කලොත් ඒත් පිටිපස්සේ එවුන් හෝන් ගහන්නේය. හැරෙව්වත් හෝන් ගහන්නේය. නිදහසේ පැත්තකට වී එලෝගෙන යනකොටත් හෝන් ගහන්නේය.නිකනුත් හෝන් ගහන්නේය. හෝබෝවා ජපානේ හිටි අවුරුද්දටම වාහනයක් හෝන් ගහනවා ඇහුනේ දෙපාරක් විතරය. ජප්පන් හෙන මෝඩය. 

පයින් යන උන්නාන්සේලාද මීට දෙවනි නැත. පෝන් එකට මූණ ඔබාගෙන කනට හෙඩ්පොන් ගහගෙන මෙයාලා පාරේ ඇවිදගෙන යන්නේ අමරණීය ගෙඩි කාලා වාගේය. ගෙදර ප්‍රශ්න විසඳ විසඳ වාහන එනකල් බලාගෙන ඉඳ එව්වාටම පනින්නෝය. සමහර නංගිලා හිතන්නේ එයාලා පස්ස පද්ද පද්ද බිමට හිනා වෙවී යනකොට අපි වාහන නවත්තාගෙන එයාලාගේ රූප සෞන්දර්ය බල බලා සිටිය යුතු බවය. සමහර ඇන්ටිලා කහ ඉර උඩ ඉඳගෙන බතක් මාළුවක් උයන්නේ නැති ටික විතරය. පාරේ යන මාමලාත්, වාහන වල යන මාමලාත් පාර පුරා බුලත් කෙළ බැරල් ගනන් හලන්න්නෝය. කාරා කෙල ගහන්නේ කාසෙ හැදිලා වාගේය. මෙව්වා කියන්නට ගියොත් හෝබෝවාට පෙෂර් හැදෙන්නේය. ඒ හින්දා අපේ තිබුණු දෙදාස් පන්සීය ගැන හිතාගෙන ආඩම්බරයෙන් හිතට අරන් ඉන්නේය. ගෝල්පේස් එකේ සේනානායක මාමා ගිනි අව්වේය. කාක්බෙටි නාලාය. ඒ අතින් හෝබෝවාට කරදරයක් නැත. හෝබෝවා හෙන වාසනාවන්තය. 

Wednesday, September 21, 2016

අත්තම්මාගේ රස කතා - චණ්ඩි

එක එක අටමගල් පස්සෙ හිත රෝන්දෙ දුවන්න ගත්තාම කොරන වැඩෙත් හරියට කොරාගන්න බැරි වෙනවානෙ...මේ ටිකේම ලියාගන්න නිදහසක් නෑ හිතට.ඕං දැං හරි.
                                                                                 -මීට හෝබෝ-


අද නිවාඩු දවසකි. නිවාඩු දවසට අත්තම්මා කලින් වැඩ අහවර කර පුටුවකට වෙයි. අත්තම්මාගෙන් කතන්දර ඇසීමට කදිම වෙලාවකි එය.


අපි පොඩි කාලෙ ගංගොඩේ ගෙවල් තිබුණෙ ඈතින් ඈත. හුඟාක්ම ගෙවල් අහ තියෙන්නෙ කැලෑවල්. දවල් කාලෙට වගේ වගක් නැතිව කැලේ ඇවිද්දාට රෑට නම් ඉතින් ඒ දිහාව බලන්නත් බයයි. වතාවක් මං පොඩි කාලෙ හොඳහැටි බයවුණා. එදා වෙනදාටත් වඩා ටිකක් කළුවර දවසක්. අපෙ අම්මා කුසියේ උය උයා හිටියෙ. අල්ලපු වත්තෙ ඈත තියනවා ගෙයක්. අම්මා උයන කල් මං පස්ස දොර පැත්තෙන් ඔය පැත්ත බල බලා මොනාදෝ කරමින් උන්නා. එක පාරටම මං දැක්කා මහ විසාල මිනිහෙක්, පොල් ගෙඩි වගේ අලි ඇස් ගෙඩි දෙකක් තියන, මගේ දිහාවේ බලාගන ඉන්නවා කිසිම හැලහොල්මනක් නැතිව. මං ගිරිය යටින් හූවක් තියාගෙන කුස්සියට පැනලා අමාගෙ ඇඟේ එල්ලුණා.කවුද මිනිහෙක් අපේ ගේ පැත්ත බලාගෙන ඉන්නවා කියලා මං අම්මට කිව්වෙ වෙව්ල වෙව්ල. ඉතින් අපේ අම්මා මාව එක අතකින් අල්ලගෙන, අනිත් අතින් ලිපෙන් ගත්තු ගිනි පෙනෙල්ලකුත් අරගෙන මං අර මිනිහා ඉන්නවාය කියලා කියාපු තැනට වෙනකම්ම ගියා නෙව මාවත් ඇදගෙන.ඒ ගියාට එතන මොකෙක්වත් හිටියෙ නැහැ. හැබැයි එහෙම මාව ඇදගෙන ගිය එකෙන් හිතේ තිවුණ ගැස්සිල්ල නම් අඩුවෙලා ගියා. කොහොමත් ඒ කාලෙ ගං වල හැමදාම රෑට බෙර ගහනවා. තොවිල් නටනවා. ඒවාටත් අපේ හිත ගැස්සිලානෙව තියෙන්නෙ. ගං වල මිනිස්සුන්ගෙ අත් පුරා එක එක නූල් ගැට ගහලා තියනවා. හැම එකාම බෙල්ලෙ මොකාක් හරි තඹ සුරයක් එල්ලාගෙන තමා ඉන්නෙ. 

පොඩි කාලෙ හොල්මන් වලට බය වුණාට ගැටිස්සි කාලෙ නම් මං යකෙකුටවත් බය නෑ...අත්තම්මා පුරාජේරුවට කියයි. ගමේ කොල්ලො එහෙම නිකමටවත් වචනයක් කියන්නෙ නෑ. මං පාරේ යනකොට ඉස්සරහට කොල්ලො රොත්තක් එහෙම ආවොත් උන් උන්ගෙ කෑකෝව එහෙම නවත්තලා පෙරහැරේ වගේ එකා පස්සෙ එකා වැටිලා යනවා මාව පහුවෙනකල්ම පාරේ අනික් පැත්තෙන්. ඉස්සර මට තිවුණා වෙනම නාන්න ලිඳක්. අපේ ඉඩම අක්කර අටක් ඉතර ලොකුයි. වැඩි හරියක් බැද්ද. ඔය අක්කර අටෙන් පහු තිබුණේ වෙල. ඔය වෙලේ තාත්තා ලිඳක් කපා තිබුණා පොඩි. ඒකේ නාන්න දුන්නෙ මට විතරයි. මං යනවා නාන්න තනියම ඔය ලිඳට. ඒ කාලෙ මට තිබුණා ඉතා දිග කොණඩයක්. නාලා අහවර වෙලා මං ගෙදර එන්නෙ තෙත කොණඩෙ අග්ගිස්ස පනිට්ටුවට දාගෙන. වතාවක් මට මගුල් යෝජනාවක් ගෙනාපු නවගමුවෙ දිහා කපුවෙක් කීවාලු අපේ තාත්තාට, අනේ වෙද මහත්තයෝ අපට දුව දෙන්නෙ නැතිනම් කොණ්ඩෙ හරි දෙන්නය කියලා, අත්තම්මා එය සිහි කරන්නේ ආඩම්බරයෙනි.  


අපේ ඔය අයියා ඉන්නවනෙ. එයා ඉගෙන ගත්තෙ බේසික් විද්‍යාලෙ. හොඳට ඉංග්‍රීසි එහෙම පුළුවන්. මහදෙණිය පැත්තෙ තිබුණා අපේ විසාල කුඹුරක්. කුඹුරු හාන්න මී හරක් ගේන්න වතාවක් ගියා අපේ අයියයි, තාත්තයි. අර ඉඩං හොරට ලියාගන්න කර්නිස් අත්තාගෙන් තමා මී හරක් ඉල්ලගන්න යන්නෙ. ඔහොම ගිහින් එනකොට මේ ගොල්ලො පහුකරගෙන එනවා හෙට්ටි ගෙදර කියලා ගෙයක්. ඔය හෙට්ටි ගෙදර ඉන්නවා ආවිසා කියලා එකෙක්. ඌ නාහෙට අහන්නෙ නැති අලුකුත්තේරුවෙක්. මොකාක් හරි කෝන්තරේකට ඔය ආවිසා අපේ අයියා එක්ක බහින්බස් වෙලා අතක් උස්සන්න හදලා. ඔය පයිංඩේ වෙන පරක්කුවට ආවා අපේ ගෙදරට. ඈතින් පේන ගිනි පන්දම් එළිය දිහා බල බලා මං ගෙදර කැරකි කැරකි උන්නෙ කොටියෙක් වගේ කේන්තියෙන්. ඒ කාලෙ මගේ ලඟ තිබුණා බස්තමක්. මං ගත්තා බස්තම අතට. අම්මා කෑගැහුවා ගෙයින් අඩියක්වත් එළියට එහෙම තියනවා නොවෙයි කියලා. මං කොහෙද එව්වා අහන්නෙ, බස්තමත් අරං මං පැන්නා එළියට. කෙලින්ම ගියේ ආවිසාලගේ ගෙදරට. යනකොට තාමත් අයියයි, තාත්තයි එතන. ආවිසත් ඉන්නව. මං ඇහුවා අයියගෙන් මොකද කියලා. මූ අපට ගහන්න ආවානෙ, අයියා කිව්වා. මං ඉතිං ආයෙ බල බලා උන්නෙ නෑ, මැද්දට පැනලා ගැහුවා ආවිසාගෙ කන හරහා රත් වෙන්න පාරක්. ඊට පස්සෙ ඌට හොඳ හැටියට බැනලා පන්නා ගත්තා. මට ඒකාව කොහොමටත් පෙන්නන්න බැරුවයි හිටියෙ. වතාවක් ඌ රදා කෙල්ලෙක්ව ඇරන් උන්නා. ඊට පස්සෙ චූටි කියලා කෙල්ලක් තියාගෙන ඒකිට ළමයි දෙන්නෙක් දීලා ඒකිව විනාස කළා. ඒ කාලෙත් දැන් වගේම තමයි, මහ වනචර මිනිස්සු උන්නා, උං කරන දේවල් පත්තරේ යන්නෙ නෑ, එච්චරයි වෙනස.  

වතාවක්, මට එතකොට වයස අවුරුදු පහළොවක් දාසයක් විතර ඇති, නාන්න ගිහින් ආපිට ගෙදර ආ පයට මාව සිහි නැති වෙලා වැටුණාලු. අපේ තාත්තා වෙදමහත්තයෙක් වුනාට මොකක්දෝ හිතිලා එයා මාව ඉස්පිරිතාලෙ අරගෙන ගිහින් තියෙනවා. කිසිම සිහියක් නැතිව මම දවස් දාහතරක් ඒ විදියට ඉඳියාලු. දොස්තරලා දන්න තරම් හැම දේම කලත් මට සිහි ආවෙම නෑලු. අන්තිමට දොස්තරා කිව්වාලු තාත්තාට මේ ළමයගෙ ලෙඩක් හොයාගන්න බෑ, සිහි නැති එක තමයි තියෙන්නෙ, ඒ නිසා මෙයාව ගෙදර අරන් යන්න කියලා. තාත්තත් ඉතින් මාව ආපිට ගෙදර ගෙනල්ලා. අපේ අක්කගෙ මනුස්සයාගෙ නම චාර්ලිස්. එයාට උන්නා හිතවත් කට්ටාඬියෙක්. දවසක් කොහේද යන අතරේ චාර්ලිස් අයියාට ඔය කට්ටඬියාව මුණගැහිලා තියෙනවා. මට වෙලා තිඅයන සන්තෑසිය කීවාම, කට්ටාඬියා කිව්වාලු යමු එහෙනම් ඔය කියන ළමයාව බලන්ට කියලා. එහෙම ඇවිල්ලා මාව බලලා වතුර ටිකකට මොනාද මතුරලා ඉස්ස විතරයි, දවස් දාහතරක් සිහි නැතිව වැටිලා උන්නු මම නැගිට්ටාලු. නැගිටලා අර කට්ටාඬියා දිහා බලාලා කිව්වාලු, 'මෙයා ඔය කොච්චර කළත්, මෙයාගෙ හිත හොඳ නෑ' කියලා. ඊට පස්සෙ කට්ටාඬියා මට ලොකු තොවිලයක් කලා. අපේ ගමේ මිනිස්සු විතරක් නෙමෙයි, පිටගම්කාරයොත් ආවා ඒ තොවිලේ බලන්න. ඒ තරම් විසාලෙට කලේ. දැන් ඉතින් ඔය තොවිලේ අස්සෙත් මම එතන හිටපු කට්ටඬියාගෙ දෙවනියගේ බෙල්ලට පැනලා මිරිකගෙන හොඳටෝම ඌට තඩිබෑවලු. ඕං ඊටපස්සෙන් පහු තමයි අර මහ කට්ටඬියා කියලා තියෙන්නෙ, මට ඒ කරලා තිබුණ කොඩිවිනේ කරවා ගත්තෙ එයාගෙන්ය කියලා. මගෙත් එක්ක තරහක් හිතේ තියාගෙන උන්නු අපේ නැන්දා කෙනෙක් තමයිලු මිනිහාගෙන් මේ කොඩිවිනේ කරගෙන තියෙන්නෙ. ඒත් වෙද මහත්තයාගේ කෙනෙක් කියලා දැනගෙන උන්නෙ නෑ, එහෙම දැනගෙන උන්නා නම් කවදාවත් එහෙම කරන්නෙත් නෑ කියලා තමයි කට්ටඬියා නම් කිව්වෙ. අන්තිමට කොහොමහරි ඔය කොඩිවිනේ කලාය කියපු අපේ නැන්දා ඊට ටික කාලෙකට පස්සෙ බස් එකකට පැනලා දිවි නසා ගත්තා, පව්කාර ගෑණියක්...අත්තම්මා මොහොතකට අපවත් අතහැර දුර ඈත අතීතයේ තනිවෙයි. 

ඒ අතරේ හෝබෝවා හෙමීට මගේ හෝබෝ කතා දිහාට ඇදී යයි.ජීවිතයට ද ඔබට ද මට ද ලෝකයට ද කතාවක් ඇත. ඒ සෑම කතාවකට අනන්‍යතාවක් ඇත. හෝබෝවා දඩයමේ යන්නේ ඒ කතාන්තරය සොයාගෙනය. 

Friday, September 2, 2016

මාටිං අයියාගේ කෑම වට්ටෝරුව

මාටිං අයියා මේ ලඟකදී සෙල්ලම් අහස්යාත්‍රාවක ඉස්සරහා රෝදය ගිල දැම්මේය. ගෙදර මිනිස්සුන්ගේ වාසනාවකට වාගේ අහස් යාත්‍රා රෝදය කුඩාය, ප්ලාස්ටික්ය. නැත්නං ගෙදර කාටකාටත් ඉන්න වෙන්නේ අහස්යාත්‍රාවක් ගිල්ලා වාගේය. අහස්යාත්‍රා රෝද මාටිං අයියාගේ සාමාන්‍ය ඩයට් එකට අඩංගු නොවුණත් මාටිං අයියාගේ කෑම රුචිය සාමාන්‍යයෙන් ටිකක් වෙනස්ය. මාටිං අයියාට වැඩිය කන්න බැරිය. අපට වඩා ටිකක් කන්නේය. කන ඒවා යන්නේ කොහාටද කියා හොයාගන්නට බැරිය.ඉස්මුරුත්තාවට කෑ දවසට මාටිං අයියාගේ බ්‍රෙස්ට් කටු ටික අමාරුවෙන් ටොම්බා සයිස් වූ බඩ ගෙඩිය බදාගෙන සිටී. රෝදය ගිල දැමූ පසු මාටිං අයියා සහලෝලාම බය වී සිටියාට ගෙදර ඈයින්ට බය පෙන්වන්නේ නැත. ඇඳට වී බයටම පාන්දර එක දෙක වෙනකම් අවදිව සිටිනා මාටිං අයියා ගෙදර ඈයින්ව සනසයි. "අයියෝ බය වෙන්න එපා, දොස්තර මහත්තයා කිව්වානෙ හෙට උදේට රෝදෙ එයි කියලා ටොයිලට් යද්දි...ඒ හින්දා ඔයාලා බය වෙන්න එපා....ඕක පොඩි දෙයක්නෙ..." ගෙදර කවුරුත් මාටිං අයියාගේ පසුදින වැසිකිලි ගමන පිළිබඳ මහත් වූ සිහින දකිමින් නින්දට වැටෙති. 


මාටිං අයියා අහස්යාත්‍රා රෝද වල සිට ඕනෑම දෙයක් කා දැමීමට හපනෙකි. "මේ ගෙදර මිනිස්සු මට කැඳ ටිකක්වත් හදලා දෙන්නෙ නැති හැටි..." වෙලාවකට මාටිං අයියා දෙවොල් තියයි. කොළ කැඳ, ලුණු කැඳ, බත් කැඳ ආදී ඕනෑම කැඳ වර්ගයක් මාටිං අයියා ගිල දමන්නේ පුදුමාකාර සතුටකිනි. "මේ කණුරාකරලා මට හෙටවත් මුං ඇට ටිකක් තම්බලා දෙනවද..." මාටිං අයියා කියන්නේ ආතෙක් වගේය. හොඳ හැටි තැම්බූ මුං ඇට හෝ කව්පි සමග යහමින් මිරිස් එක්කර ගලේ අඹරා පදමට ලුණු ද දෙහි ද දැමූ ලුණුමිරිසක් සමග කෑමට ලැබීම මාටිං අයියා සලකන්නේ දිව්‍ය භෝජනයක් ලැබුණු ගානටය. පුසුඹ ගහන ලුණුමිරිස් තලියක් ද වදෙන් පොරෙන් කාට හෝ කියා ගා ගන්නා පොල් තලයක් ද සමග කව්පි පිඟන් දෙකතුනක් අහවර කිරීම මාටිං අයියාට මහ කජ්ජක් නොවේය. ගෙදර තම්බන කඩල මුට්ටියටද සිදුවන්නේ ඔය සන්තෑසියමය. මුං ඇට කිරිබත් මුට්ටියට ද සිදුවන්නේ ඒ කතන්දරයම ය. බත් පිඟානක් එක්ක යහමින් ඉඟුරු, සුදුළුූණු,ගම්මිරිස්, මිරිස්, තුනපහ සමග රතු කළු වෙන්නට ඉවූ උණු උණු කුකුළු මස් කරිය එක හුස්මට කා දමන මාටිං අයියා කට්ට කරෝල හොද්ද සමග අඟුණ කොළ හෝ කුරිඤ්ඤං කොළ ඇම්බුම ද ගිල දමන්නේ ඒ හා සමාන ගැම්මකින්ය. තිත්තට කරවිල ද, ඇඹුලට අච්චාරු ද, දැවිල්ලට රතු සම්බෝලය ද කන්නට හපන්කම් පාන මාටිං අයියා, බතුයි සුදට පරිප්පුයි තිබුණ ද බෑ නොකියා ඉන් ද බත් පිඟානක් දෙකක් කා දමන්නේය.


මාටිං අයියා බිත්තර බුල්සායි කර පාන් එක්ක කන්නට ද ආසාය.ඊට ලූණු ගෙඩියක් කපා පොඩියට ලුණු මිරිසක් ද ඇත්නම් රසේ බැරිය. නිකම් තැම්බූ බිත්තර ගෙඩි දෙක තුනක් දෙනවා නම් කෑම ද මාටිං අයියාට ඒ හැටි කාරියක් නොවේය. අලුත ගෙනා ටෝස්ටරයෙන් පිලිස්සී උඩ පනින පාන් පෙති චරබර ගා නිකම් කන්නටද, ඒවා මත මාජරින් හෝ බටර් තවරා කෑමට ද මාටිං අයියාට ඇත්තේ නොතිත් ආසාවකි. හවහාට චූං පාං අයියා පාරේ පන්නාගෙන යන මාටිං අයියා අඩුගාණේ කිඹුලා බනිසකට හෝ වග කියයි. සීනි බනිස්, මාළු බනිස්, සොසේජ් බනිස්, ඉස්පන්චි ආදී එකී මෙකී ඕනෑ දෙයක් එපා නොකියා කන මාටිං අයියා කන්න මුකුත්ම නැත්නම් අඩුම ගාණේ රෝස් පානක් එක්ක කුකුළු මස් කරියේ හොද්දකටවත් වග කියයි. කුස්සියේ බිම වාඩිගෙන මොකක් හෝ හොද්දක් ඉවූ දැලි වලඳක බත් අනාගෙන කන්නට මාටිං අයියාට ඇත්තේ පුදුමාකාර ආසාවකි. හොද්ද අඩිය මොකක් වුවත් පොල්කටු හැන්ද පුරවා බත් හැඳි දෙකක් වුවත් මහ අමාරුවක් නැතිව ගිලබත් කිරීම මාටිං අයියාට මහ කජ්ජක් නොවේය. දැලි වලඳ වටේ නටමින් ඉහේ පටන් දෙපතුල වෙනකම් දැලි නාගෙන බත් කෑමෙන් මාටිං අයියාගේ ඇස් සතුටින් දිලිසෙන්නේය.   

කොටුවේ පිලාවුස් එකෙන් චීස් කොත්තු ගෙනත් දුන් දා පටන් මාටිං අයියාට පුදුමාකාර කොත්තු පිස්සුවක් ගසා ඇත. මහ රෑ මර නින්දේ හිටි වේලාවක ගෙනා කොත්තුව මාටිං අයියා  ඇහැරවා කවන්නට වූ විට, හීන හතක් දැක්කද කොත්තුවෙන් ටිකක් පිඟානකට බෙදා දෙන ලෙස මාටිං අයියා ගෙදර ඈයින්ට අණ කළේය. නින්දෙන් වැටි වැටී පුටුවේ ඉඳගෙන දෙපාරක්ම චීස් කොත්තු බෙදාගෙන කෑ මාටිං අයියා පහුවදා අලුතින් චීaස් කොත්තු කෑමට සිහින මවයි. නිතරම කොත්තු ගැන මතක් කරයි. චීස් කොත්තු කඩේ ඇරලාද විමසයි. ආයේ චීස් කොත්තුවක් ගේන්නේ කවදාද අසයි. ගෙදර නිකම් ඇවිදින ගමන්, "මං චීස් කොත්තු කන්න පුදුම ආසයි" කියා නිවේදනය කරයි. කඩෙන් කොත්තු කෑමට බලමණ්ඩලයෙන් කචල් නිසා මාටිං අයියාගේ කොත්තු හීනය පිරිමහන්නට ගෙදරදී කොත්තු හදන්නට තීරණය වන්නේ මෙවැනි පසුබිමකදීය. 

කොත්තු හදන ගෝදම්බ රොටී පැකට් එකක් ද, එළවළු ද, කුකුළු මස් ද, චීස් කෑලි කීපයක් ද රැස් කරගෙන ගෙදර කවුරුත් යමරෙට කොත්තු හදන්නට කුස්සියට එක් රොක් වී සිටින අයුරු දකින් මාටිං අයියාට ඉහේ මලක් පිපුණා වාගේය. කැරට් කැපෙන පිහිය දෙසටත්, මස් තැම්බෙන ලිප දෙසටත් පිස්සුවෙන් වාගේ දිව යන මාටිං අයියා, ඔයාලා හැමෝම මට කොත්තුව හදන්න උදව් වෙනවාදැයි අසමින් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් උඩ පනියි. පුටුවක් තබා ඈතින් සිට ලිප තබා ඇති හට්ටියට එබිකම් කරයි. කොත්තුවට දාන්නේ මොනාදැයි විමසයි. කොත්තුව හදන පිළිවෙල අසයි. දැං කමුදැයි අසයි. මේසය උඩට වැඩැම්මවූ ගෙදර හැදූ කොත්තුව බෙදා දෙනකම් මාටිං අයියාට සිහියක් නම් නැත. කොත්තුවේ මුල්ම කට හුස්ම කටක්ද නොගෙන කා දමන මාටිං අයියා, මේ කොත්තුව නම් රහේ බැරි බවත් එය ඉතා මරු බවත් කියයි. අනෙක් අයටද කොත්තුවේ මරුව බලාගැනීමට  කොත්තු බෙදාගෙන කන ලෙසත් කියයි. ඔයින් ටික කාලයකට මාටිං අයියාගේ කොත්තු සිහිනය දින කීපයකට සමනය වෙයි.

කන්න ඒ හැටි පිරියක් නැති දාට මාටිං අයියාගේ එකම ආසාව හොඳ හැටි ලුණු ඇඹුල් දැමූ සම්බෝලයක් එක්ක සුදු බත් කෑමය. සම්බෝල එක්ක නම් බත් පිඟානක් පිරෙන්නම කා දමන්නට මාටිං අයියා සමත්ය. ඉඳහිට බත් කවන්නට කියන මාටිං අයියා ස්වාධීනව අනාගෙන බත් කෑමට වැඩියෙන් කැමතිය. හාස් හූස් කියමින් සම්බෝලය කන මාටිං අයියා වතුර ඉල්ලමින් ගේ පුරා දුවන්නේ වතුර කරාමයට තවම උස මදි හන්දාය. ඉස්මුරුත්තාවට කට දැවිල්ල වැඩි දවසට පුටුවකට නැගගෙන මේසයට කිට්ටු කරන මාටිං අයියා හකුරක් හෝ සීනි කැට ටිකක් කටේ දමාගෙන හප හපා යයි. පහුවදාට මොට්ටසෝරි ගෙන යන්න කෑම පෙට්ටියට දාන්නේ මොනවාදැයි අසමින් එදා කෑම වට්ටෝරුව නිමා කර මාටිං අයියා නිදා වැටෙයි.