Monday, May 30, 2016

සෙන් කතා i

වරක් එක්තරා තරුණ සෙන් ශිෂ්‍යයයෙකු අතින් සිය ගුරුතුමාගේ ප්‍රියතම මල් බඳුන බිඳී ගියේය. 
ගුරුතුමාගේ පියවර හඬ ඇසුණු ගෝලයා හනික බිඳී ගිය මල් බඳුනේ කොටස් පිටුපසට කරගෙන සඟවා ගත්තේය.
ගුරුතුමා සිය ආසන්නයට පැමිණි විට ගෝලයා මෙසේ අසයි.
"ගුරුතුමනි, අයෙකු මිය යන්නේ ඇයිද?"
"එය සොබාවික සිදුවීමක්," ගුරුතුමා පිළිතුරු දෙයි. "සියල්ලටම ඇතිවීමක් සහ නැසීයාමක් තිබෙනවා. සියල්ල ඒවාට හැකි කලක් පැවතී පසුව නැසී යනවා."
ගෝලයා තමා සඟවාගෙන සිටි බිඳුණු මල් බඳුනේ කැබලි ටික ගුරුවරයා වෙත පාමින් මෙසේ කියයි. "ගුරුතුමනි, ඔබේ මල් බඳුනටත් නැසී යාමට කාලය උදාවී තිබෙන හැඩයි."

ඇනාබෙල් ලී


වස් ගණනාවකට එපිට
සිඳු අද්දර රජදහනක
අඳුනනවා ඇති නුඹත්
සිටියා එහි එක දැරිවියක්
නමින් ඇය ඇනාබෙල් ලී ය.
අන් සිතැඟි නැති ඒ යුවතිය
පෙම් ලබා මගෙන් පෙම් කරන්නිය මට
ඇය දැරියකද මා කොලුවෙකුද වී සිටියා
රජදහනේ සිඳු අද්දර
නුමුදු අපි ආලය කළෙමු
ප්‍රේමයට වඩා වූ ප්‍රේමයකින්
-මා ද මගේ ඇනාබෙල් ලී ද-
ආලය නිසාවෙන්
පියපතරැති දෙව්පුර සුර දූතයින්
බැඳුණා ලොබින් ඇයටද මට ද

නිමිති විය එය, බොහෝ කලකට පෙර
රජදහනේ සිඳු අද්දර
රාත්‍රිය අසබඩ වූ වලාවකින්
පැන ආ මාරුතය
සීත කර ගියා මගේ ඇනාබෙල් ලී ව.
ඇගේ කුලවත් නෑසියන් විත්
ගෙන ගියා ඈ මගෙන්
සොහොන් කුටියක ලා වසන්නට
රජදහනේ සිඳු අද්දර

දෙව්පුර සුරදූතයින් අසතුටුව
රික්ෂාවෙන් ඈ හා මා ගැන
ඔව්! එයම විය නිමිත්ත. (කවුරුත් දනියි
රජදහනේ සිඳු අද්දර)
වලාවකින් පැන ආ මාරුතය
සීත කර මරා දැම්මා
මගේ ඇනාබෙල් ලී ව.

නුමුදු අපගේ ආලය
සවිමත්ය
අපට පෙර සිටි උන්ගේ
අපට වැඩි නුවනැත්තන්ගේ
ප්‍රේමයන්ට වැඩිය.
දෙව්පුර උඩ වැඩි සුරදූතයන්ට
හෝ සමුදුර පත්ලේ ඉන්නා යකුන්ට
මාගේ ආත්මය වෙන් කළ නොහැකිය
ආත්මයෙන් ඇනාබෙල් ලී ගේ සුන්දර.


සුන්දර ඇනාබෙල් ලී ගැන මා වෙත
සීන නොගෙන සඳ පායන්නේ නැත.
කිසිදින තරුකැට පිබිදෙන්නේ නැත
නුමුදු දකිමි මම
සුන්දර ඇනාබෙල් ලී ගේ දිදුලන මිණි දෑස.
එ නිසා හැම උදම්-රාත්‍රියකම
වාඩිගෙන සිටිමි මම, අසලින්ම
මාගේ පෙම්බර, මාගේ සොඳුර, මාගේ ප්‍රාණය,මගේ මනාලිය
ඇගේ සොහොන් කුටියේ සිඳු අද්දර
ඇගෙ සොහොනේ සිඳු අද්දර.

එඩ්ගා ඇලන් පෝ

Sunday, May 29, 2016

එල්දොරාදෝ


සැරසිගත් ආයිත්තමෙන් ඉහළ
එක් නයිට්වරයෙක් ශූර
දහවල ද අඳුරේ ද
බෝ දුරකතරක් ගොස් ය.
ගයමින් ගීතයක්
සොයමින් එල්දොරාදෝව.

වියපත් වී ගියේය හේ
ධීර නයිට්වරයා මේ
ඔහුගේ හදවත මත්තේ
දුක් සෙවණැල්ලක් වැටුණේ
මහ පොළොවේ එක තැනකුදු හෝ
නොවූ නිසා මෙන් එල්දොරාදෝ

අවසන සිය ඔද 
හැරදා යද්දී
මුණගැසුණා ඔහුට
සෙවණැල්ලක් යන වන්දනාවක
"මායාව," ඇසුවා ඔහු
"කොහේද ඇත්තේ මේ
එල්දොරාදෝ නම් බිම?"

"නිසයුරුගේ කඳු වැටියට එපිටින්
මායා මිටියාවතේ පහළින්
යනු, යනු එඩිතරව,"
පිලිවදන් දුණි මායාව
"සොයනුයේම නම් ඔබ එල්දොරාදෝව!"

එඩ්ගා ඇලන් පෝ

Wednesday, May 18, 2016

සුරංගනා කතාන්තර සහ ඒවායේ කුප්‍රකට මූණත-1



"එදා ඉඳන් ඒ කුමාරයයි කුමාරියි බොහෝම සතුටින් ජීවත් වුණාලු...." ඇච්චා කාලේ ඉඳන් අද වෙනකම්ම කියවන, බලන හැම කතාවක්ම ඔන්න ඔය විදියට ඉවර වෙනවනම් තමයි මම නම් සතුටු. බොහෝ විට ඔයාලත් එහෙමම වෙන්න ඇති. අපි කවුරුත් දුඛාන්ත වලට වැඩිය සුඛාන්ත වලට ප්‍රියයිනේ.ඔය හැම කතාන්තරයකම වගේ පුංචි ඈයන්ට ඉගෙනගන්න යම් උපදෙසක්, පණිවුඩයක් හරි එහෙමත් නැත්නම් යම් ආප්තයක් සම්ප්‍රේෂණය වන පරිද්දෙන් ගෙතී තියනවා.අපි හුරුවෙලා තියන සරල කතාන්තර රාමුව තමයි ඒ.

 කවුරු කවුරුත් ළමා කාලයේදී රස කර කර කියවපු අහපු මේ සුරංගනා කතාන්තර බොහොමයක් අපේ අතට පත් වෙන්නෙ බොහොම කාලයක් පටන් එක් එක් අය අතින් සංස්කරණයට ලක් වීමෙන් පසුවයි.ග්‍රීම් සොහොයුරන්, පිලිප් පුල්මන් වැනි කතාකරුවන් මෙවැනි ප්‍රසිද්ධ සංස්කාරකවරුන් අතරින් කිහිප දෙනෙක්. මේ සංස්කරණ නොවෙන්නට මේ සුරංගනා කතාන්තර රහ කර කර කියවන එක නම් උගහට! මොකද, සමහර සුරංගනා කතාන්තර වල නිදාන කතා අන්තිම බිහිසුණු සහ  නිරාචාරී වෘතාන්ත. මේ නිදාන කතා කිහිපයක් කියවලා බැලුවම මට හිතුනේ මේ කතා කොයි තරම් 'රියලිටිය' ට ආසන්නද කියලා. වෙලාවකට ඒවා හරියට අර වෑර්ලස් එකේ යන අවාසානාවට ඇත්ත කතාවක්/කනාමැදිරි රාත්‍රිය වගේ කතා නේද කියලා මට හිතුණා. ඒ වගේම එදා කතාකාරයා අද කතාකාරයා තරම් 'සදාචාරය' පිලිබඳව විමසිල්ලක් දක්වලා නැතිද, එහෙමත් නැතිනම් මේවා හුදෙක් 'ප්‍රවෘතියක්' ලෙස කටින් කට ව්‍යාප්ත වෙලා කාලයත් සමග 'කතාන්තර' හෝ 'පුරවෘත' බවට පත් වෙලා ඇති කියලා හිතන්නට පුළුවන්. 

මේ වගේ අසම්ප්‍රදායික නිදාන කතාවක් තිබෙන සුප්‍රසිද්ධ සුරංගනා කතාවක් තමයි 'Sleeping Beauty' හෙවත් 'නිදි කුමරිය' ගේ කතාව. දැන් අපි අහලා තියන විදියට නම් කතාවේ ඉන්න මේ ලස්සන කුමාරිය නූල් කටින ඉද්දක් ඇඟිල්ලේ ඇනිලා සදාකාලික නින්දකට වැටුණාලුණේ. ඊට පස්සෙ කාලයක් ගිහාම කඩවසම් කුමාරයෙක් ඇවිත් මේ කුමරියගේ මුව සිපගත්තාම ආයෙමත් මේ කුමාරියට පණ ආවලු. 

හැබැයි අපි දන්න මේ කතාවේ නිදාන කතාව නම් ඔය කියන තරම් සුන්දර නැහැ. මේ කතාවට අනුව, කුමාරිගෙ නියපොත්ත අස්සට රිදී පාට හණ නූල් කෑල්ලක් ගියාම එයා මැරිලා වැටෙනවා. ඊටපස්සෙ තමන්ගේ දූ කුමාරිය මිය ගියා කියලා පිළිගන්න බැරි වුණු රජතුමා වෙනම මාලිගයක තමන්ගේ දූ කුමරිය සතපවා තියනවා. මේ අතරේ දඩයමේ යන වෙන රජකෙනෙක් තමන්ගේ ගමනක් අතර වාරයේ මේ මියගිය කුමරිය දකිනවා. දැන් මේ කතාකාරයාට අනුව මේ කුමාරිය ඇහැරව ගන්න බැරි වුණු රජතුමා එයාව දූෂණය කලාලු! ඔන්න නිකමට හිතන්නකො ඔය කතාව අපේ මොන්ටිසෝරියේ ටීචර් එහෙම අපට කියලා දුන්නානම් කොහොමට තියේවිද කියලා.ඉතින් කතාව තව ටිකක් ගියාම ඔයිටත් වඩා අභූත වෙනවා. ඉතින් මේ කතාවට අනුව මේ කුමාරියට අර රජතුමාගෙන් ළමයි දෙන්නෙකුත් හම්බුවෙනවලු. එහෙම ළමයි හම්බුවෙලා තියෙන්නෙත් කුමාරිය මැරිලා ඉන්නකොට! ඉතින් ඔහොම ලැබුණ ළමයි දෙන්නාගෙන් කෙනෙක් පණ නැති අම්මාගේ ඇඟිල්ලක් උර උරා ඉන්නකොට අර ඇඟිල්ල අස්සේ හිරවුණු රිදී පාට හණ නූල් කෑල්ල එලියට ආවාලු. එතකොට මිය ගිහින් හිටි කුමාරිට ආයෙමත් පණ ලැබුණාලු.   අර හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට වගේ, අර රජතුමා ඒ වෙද්දිත් විවාහ වෙලාලු ඉඳලා තියෙන්නෙ. ඉතින් පණ ආපු නිදි කුමාරිව විවාහ කරගන්න ඕනෙ වුණු රජතුමා තමන්ගේ පරණ බිරියට ගිනි තියලා මරලා දානවාලු. හැබැයි ඉතින් රජතුමාගෙ පරණ බිරිය රජතුමාට දාව නිදි කුමාරිට උපන් පුංචි ළමයි දෙන්නාව මරලා දාන්න හදපු බව කියලා මේ සිද්ධිය හරි අපූරුවට සාධාරණීකරණය කරලාත් තියනවා!

ඔන්න ඔය කතාවට (සමහරවිට මේ කතාව ඇත්තම කතාවක් වෙන්නත් පුළුවන්!) ලස්සන රෝස පාටක් ගාලා, අයිසින් කරලා, දිලිසෙන වීදුරු කුඩු ඉහලා බොහොම ලස්සන අපූරු සුන්දර ආදරබර කතාවක් විදියට අපට තිළිණ කරලා තියනවා. 

Thursday, May 12, 2016

හෝබෝ?

හැබෑට මොකද්ද මේ 'හෝබෝ' කියන්නෙ?

'හෝබෝ' කියන්නෙත් 'බොහො' (බොහීමියානු යන්න කෙටියෙන් හඳුන්වන ආකාරය ) යන්නමද? නෑ, 'හෝබෝ' සහ 'බෝහො' අතර ලොකු වෙනසක් තියනවා. 'බෝහො' හෙවත් 'බොහීමියානු' යන්නෙන් අරුත් ගැන්වෙන්නෙ 'සංස්කෘතිකමය හෝ සමාජයීය වශයෙන් වෙනස් කියවීමක්, ප්‍රවේශයක් ඇති' කියන එකයි. 'හෝබෝ'යන්නෙන් අදහස් වෙන්නෙ 'කිසියම් ආදායම් මාර්ගයක් සලසා ගනිමින් තැනින් තැන ඇවිද යන්නා' කියන එකයි. ඒ වගේම මෙහිදී වැඩි වැදගත්කමක් දෙන්නේ ආදායම් මාර්ගයක් සලසා ගන්නවා කියන එකට නොවෙයි, තැනින් තැන ඇවිද යනවා යන්න ඇගවීමටයි. හෝබෝ ජීවිතයක් ගත කරන්නෙකු මූලිකත්වය දෙන්නේ සංචාරය කිරීමටයි. මුදල් ඊට පහසුවක් සලසන්නක් පමණයි.  එකදාස් අටසිය ගණන් වලදී තමයි එක්සත් ජනපදයෙන් මේ 'හෝබෝ' කියන වචනය බිහිවෙන්නෙ. 

හරි, එතකොට මම? මම හෝබෝ කෙනෙක්ද....? කුන්ග්-ෆූ කතාවේ කේන්, නැතිනම් ජැක් ශෙෆර් ගේ ෂේන් වගේ මම ඔරිජිනල් හෝබෝ කෙනෙක් නෙවෙයි, මම කතාන්තර සොයා යන්නෙක්. දුර ඈත රටවල, සංස්කෘතිවල පුරාණ මිනිස්සුන්ගෙ මනසින් බිහිවුණු අපූරු චරිත දඩයම් කරමින් යන හෝබෝ කෙනෙක්. ලෝකෙ සෑම ජන කොටසක්ම අතිශය අපූරු බව සිතන, පිට කසා දෙන් පූසන් සිටින මහ මූකලානට ආදරය කරන සයිකො හෝබෝ කෙනෙක්.